Friday, 26 October 2018

නිවුන් දරු උපත් සිදුවන්නේ, ස්වාභාවික ක්‍රියාවලියේ වරදක් නිසාද?


    ජීවීන්ගේ  පැවැත්ම සඳහා ප්‍රජනනය මූලික වේ. ප්‍රජනනය දෙආකාරයකට සිදුවිය හැකිය. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය මේ ආකාර දෙකයි. සමහර සතුන්ගේ සහ ශාකවල මෙම ප්‍රජනන ක්‍රියාවලි දෙකම දකින්නට ලැබේ. මිනිසා ඇතුළු පෘෂ්ඨ වංශීන්ගේ දකින්නට ලැබෙන්නේ ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පිරිමි සතාගේ ශුක්‍රාණුවක් මගින් ගැහැණු සතාගේ ඩිම්බයක් සංසේචනය කිරීම නව ජීවයක ආරම්භයයි. 
මෙසේ හටගන්නා කළලය මෝරා පැටව් / දරුවෝ  බිහි වෙති. ගෙදරවල ඇතිකරන රට හාවෙක් හෝ බැල්ලියක් එකවර පැටවුන් කිහිප දෙනෙකු බිහි කිරීම එතරම් අරුමයක් නොවේ.  එහෙත් කාන්තාවක් එක් ප්‍රසුතියකදී දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් බිහි කළහොත් එය තරමක අරුමයක් ලෙස පිළිගැනේ. මෙසේ බිහිවන දරුවන් නිවුන්නු ලෙස හැඳින්වේ.

නිවුන් දරුවන් බිහිවනුයේ ස්වභාවික සංසේචන ක්‍රියාදාමයේ අනු පිළිවෙලෙහි, වෙනසක් සිදු වීම නිසා බව පිළිගැනීමක් ඇත.

සාමාන්‍ය දරු උපතකට මුලික වනුයේ ස්ත්‍රියගේ පරිණත ඩිම්බයක් පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් සමග සංසේචනය වීමයි.  මේ මගින් හටගන්නා නව සෛලය යුක්තාණුව යි. තනි සෛලයක් වන යුක්තාණුව ශීඝ්‍රයෙන් බෙදී ගොස් කළලයක් වී, පසුව ගර්භාෂය තුළ වර්ධනය වී දරුවෙකු බිහිවේ. මෙය සාමාන්‍ය දරු උපතක් සිදුවන ආකාරයයි.

යුක්තාණුව බෙදී බහු සෛල අවස්ථාවක් වන ආකාරය පහත දැක්වේ.



ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ජන්මාණු වල (ඩිම්බය සහ ශුක්‍රාණුව) එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ තිබේ. ශරීරයේ අනිකුත් සෛල වල මෙන් නොව මේවායේ න්‍යෂ්ටිය තුළ ඇත්තේ එක වර්ණදේහයක් පමණකි. නැතහොත් ඩිම්බය තුළ X වර්ණදේහයක් ඇති අතර, ශුක්‍රාණු වල  X හෝ Y වර්ණදේහ තිබිය හැකිය. මේ නිසා ශුක්‍රාණු ප්‍රභේද දෙකකි. ජන්මාණු වළ මෙම ස්වභාවය ඒකගුණී (haploid) වශයෙන්  හැඳින්වේ.

ශුක්‍රාණුව මගින් ඩිම්බය  සංසේචනය කිරීමෙන් පසු හටගන්නා යුක්තාණුවේ, වර්ණදේහ යුගලයක් තිබේ. මෙයින් එකක් පුරුෂයාගෙන් ලැබෙන අතර දෙවැන්න ස්ත්‍රියගෙන් ලැබේ. වර්ණදේහ යුගලයක් සහිත මෙම ස්වභාවය ද්විගුණී (diploid) ලෙස හැඳින්වේ. මේවා ස්ත්‍රියකගේ XX සහ පුරුෂයෙකුගේ XY ලෙස සංකේතාත්මකව දැක්වේ.  වෙනත් ආකාරයකින් කියතහොත්, ජීවියෙකුගේ සාමාන්‍ය දේහ සෛල සියල්ලම ද්විගුණි වන අතර ජන්මාණු පමණක් ඒකගුණී තත්ත්වයෙන් පවතී.

සාර්ථක සංසේචනයකින් පසු හටගන්නා XX යුක්තාණුවකින් ගැහැණු දරුවෙකු සහ XY යුක්තාණුවකින් පිරිමි දරුවෙකු හට ගැනීම ස්වාභාවිකය.

මේ නිසා අලුත් ජීවියෙකු හටගැනිමේ මුල්ම අවදිය යුක්තාණුවයි. ඉහත විස්තර කළ ක්‍රියාදාම සියල්ල අනුපිළිවෙලට සාර්ථක වූ පසු, කළලයක් හටගනී. ගර්භාෂය තුළ වර්ධනය වන කළලයකින්  පිරිමි හෝ ගැහැණු දරුවෙකුගේ උපත සිදුවේ.

   
එකම පිළිසිඳ ගැනීමක ප්‍රතිඵලය වශයෙන් දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩිගණනක් හටගැනීම නිවුන් භාවය ලෙස සැලකේ. පොදුවේ  ‘නිවුන්නු’ ලෙස වැඩිපුරම හඳුන්වනුයේ එක් ගර්භණි භාවයකින් උපත ලැබූ දරුවන් දෙදෙනෙකුටය. තුන් නිවුන්, සිව් නිවුන් ආදී වශයෙන් බහු නිවුන් දරුවන් හටගැනීමද කලාතුරකින් දකින්නට ලබේ.

නිවුන් දරුවන්ගේ ගති ලක්ෂණ හටගැනීම ආකාර දෙකකින් සිදුවේ.
1.  එකාකාර (සර්වසම) (identical) නිවුන්නු.
ඉහත (1.) සටහනෙහි පෙන්වා ඇති පරිදි, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව සංසේචනයෙන් පසුව හටගන්නා යුක්තාණුව දෙකට බෙදුණු විගසම එකිනෙකින් වෙන්වේ. ඊටපසු මෙම කොටස් දෙක යුක්තාණු දෙකක් ලෙස වෙන වෙනම ගර්භාෂයට බද්ධ වී නව කළල දෙකක් නිර්මාණය වේ. මේ දෙකෙහිම සෑම අතින්ම ඒකාකාර වර්ණදේහ තිබෙන නිසා එසේ ලැබෙන නිවුන් දරුවෝ සර්වසම ගැහැණු දරුවන් දෙදෙනෙකු (XX, XX) හෝ සර්වසම පිරිමි දරුවන් දෙදෙනෙකු (XY, XY) වෙති.
2.  ආකාර දෙකක (විසම) (nonidentical) නිවුන්නු.
     ඉහත (2.) සටහනෙහි දැක්වෙන පරිදි, මවගේ ඩිම්බ කෝෂවලින් එක වරකදී ඩිම්බ දෙකක් මුක්ත වනු ඇත. මේ ඩිම්බ දෙක වෙන වෙනම සසේචනය වී යුක්තාණු දෙකක් හටගනී. මෙම යුක්තාණු (XX, XY), (XX, XX) හෝ  (XY, XY) විය හැකිය. මෙහිදී නිවුන් දරුවන්  දෙදෙනා පිරිමි සහ  ගැහැණු  හෝ ගැහැණු දෙදෙනෙකු හෝ පිරිමි දෙදෙනෙකු විය හැකිය.  


මේ ආකාරයට එකවර පිළිසිඳ ගැනීමක් මගින්  නිවුන් දරුවන් දෙදෙනෙකු හටගැනීමේ ප්‍රවණතාව, දරු උපත් වලින්  2% පමණ වන බව සංඛ්‍යා ලේඛන වලින් පෙනේ.

කලාතුරකින් හෝ මුණ ගැසෙන නිවුන් දරුවන් හොඳින් නිරීක්ෂණය කළහොත්, ඔවුන් එකාකාරද, ස්වරුපයෙන් විවිධද යන්න සහ එසේ වීමට හේතු වන්නට ඇත්තේ කුමන සාධකද යන්නත් මෙම කරුණු ආශ්‍රිතව ඔබටම නිරාකරණය කර ගත හැකිය.

තුන් නිවුන් සහ බහු නිවුන් දරුවෝ ?

තුන් නිවුන් දරු උපත් හෝ සිව් නිවුන් හෝ බහු නිවුන් උපත් ගැනද ඉඳහිට අසන්නට ලැබේ. මෙසේ සිදුවන තුන් නිවුන් දරු උපතකට මුලික වියහැකි කරුණුද මඳක් විමසා බලමු.

අප කලින් සාකච්ඡා කළ ආකාරයට මෙය සිදුවිය හැකි එක ආකාරයක් මෙසේය.

ස්ත්‍රියකගේ ගර්භාශය තුළට පැමිණෙන සංසේචිත ඩිම්බයක් නැතහොත් යුක්තානුවක් පළමු බෙදීම සහ දෙවන බෙදීම අවසන් වන විට  දිවිගුණි සෛල සතරක් නිපදවයි. ඉතාමත් කලාතුරකින් මෙම සෛල එකිනෙකින් වෙන්වී, එයින් එකක් රෝධනය (abort) වී, ඉතිරි සෛල තුන වෙන වෙනම යුක්තාණු ලෙස වර්ධනය වේ. මේ යුක්තාණු  සියල්ල වර්ධනය වී කළල හට ගනුයේ එකම  භෲණ පටලයක් (‘waterbag’) තුළය. එකාකාර වර්ණදේහ සහිත මෙම යුක්තාණු වලින් හටගන්නා කළල මගින් නිර්මාණය වන නිසා හටගන්නා නිවුන් දරුවන් තිදෙනාම සර්වසම නිවුන් දරුවන් වේ. එනම් ඔවුන්, ගැහැණු දරුවන්ම තිදෙනෙකු (XX, XX, XX) හෝ  පිරිමි දරුවන්ම තිදෙනෙකු (XY, XY, XY) විය යුතුය.

දෙවන ආකාරයේ තුන් නිවුන් දරු උපතක් සිදුවිය හැක්කේ මෙසේය.
මුක්ත  වූ ඩිම්බයක් සංසේචනය වීමෙන් පසු දෙකඩ වී නව යුක්තාණු දෙකක් සකස් වන විටම යම්කිසි හේතුවක් නිසා ඩිම්බ කෝෂයෙන් තවත් ඩිම්බයක් මුදාහැරේ. මෙම ඩිම්බයද ශුක්‍රාණුවක් මගීන් සංසේචනය වී තවත් යුක්තාණුවක් හට ගැනේ. මේ වන විට ගර්භාෂය තුළ වර්ධනය වන යුක්තාණු තුනකි. මෙයින් පළමුවෙන් හටගත් එකාකාර යුක්තාණු දෙක එක්  භෲණ පටලයක් තුළ සහ අනික් යුක්තාණුව වෙනම භෲණ පටලයක් තුළද වර්ධනය වී කළල තුනක් සාදයි. මෙම කළල වලින් ලැබෙන දරුවන් තිදෙනා සර්වසම නිවුන්නු දෙදෙනෙකු සහ ඔවුන්ට සමාන නොවන එක් අයෙකු විය හැකිය. මෙයින් සර්වසම අය, ගැහැණු හෝ පිරිමි දරුවන් විය හැකිය, තුන් වැන්නා ඔවුන්ට වඩා වෙනස් පිරිමි හෝ ගැහැණු දරුවෙකු වේ. ඒ නිසා මෙම තුන් නිවුන් දරු උපතේ සම්භාවිතාව, ගැහැණු දරුවන්ම තිදෙනෙකු (XX, XX, XX), පිරිමි දරුවන්ම තිදෙනෙකු (XY, XY, XY), ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු (XX, XX, XY) හෝ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවෙකු (XY, XY, XX), විය හැකිය.

සිව් නිවුන් දරු උපතක් හෝ ඊටත් වැඩි, බහු නිවුන් දරු උපතක් වුවද මෙම න්‍යායයන් අනුව විග්‍රහ කර සර්වසම හෝ අසම ලක්ෂණ සහිත දරුවන් හටගැනීමේ සම්භාවිතාව ගණනය කර ගත හැකි වේ.

අන්තර්ජාලයේ සඳහන් වාර්තාවකට අනුව, දැනට වසර තුන් සියයකට පමණ ඉහතදී, රුසියාවේ ජීවත්වූ ‘ශුයියා’ නමැති ගැමි කාන්තාවක්, ගර්භණී අවස්ථා 27 ක් තුළදී. දරුවන් 69 දෙනෙකු ප්‍රසුත කර තිබේ. මෙම දරුවන් අතර සාමාන්‍ය නිවුන්නු යුගල 16 ක්ද, තුන් නිවුන් දරු උපත් 7 ක්ද, සිව් නිවුන් දරු උපත් 4  ක්ද වූ බව නිල වශයෙන් සඳහන් කර ඇත. මෙය මෙතෙක් අභියෝගයට ලක් නොවූ ලෝක වාර්තාවක් ලෙස සඳහන් කර තිබේ.              (Link- https://www.google.com.au/search?q=world+record+of+multiple+births&rlz=1C1CHZL)


ඉන්දියාවේ මෑතදී සිදුවූ ආන්දෝලනාත්මක බහු නිවුන් දරු උපතක් සමග තවත් විරල සංඛ්‍යාත්මක ලක්ෂණයක් ඉස්මතුවී තිබීමද විෂ්මයජනක අහඹුතාවයකි. මෙම දරු උපත සිදුවී ඇත්තේ 2011  වසරේ  නොවැම්බර් මස 11 වෙනිදාය. එම දිනය කෙටියෙන් දක්වතොත් එය 11.11.11 ලෙස අංක පිහිටයි. ඊටත් වඩා ඒ බහු නිවුන් උපතේ දරුවන් 11 දෙනෙකුද සිටීමද තවත්අහඹුතාවයකි. 
(http://2.bp.blogspot.com/5BL7NY1sck/VXCpXzZBL3I/AAAAAAAABos/GDLVX1cMJl8/s1600/11209376_1140715422613928_8343840519387924226_n.jpg)


පවතින සංඛ්‍යාලේඛන වලට අනුව සමස්ත ලෝකයේ සිදුවන නිවුන් දරු උපත් වලින්  සියයට අනූවකටත් වඩා දරුවන් දෙදෙනෙකු බිහිවන උපත් වේ. තුන් නිවුන් උපතකට වඩා වැඩි උපත් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.
(ඡායාරූපය සහ ලෝක වාර්තාව පිලිබඳ තොරතුරු ස්තුති පුර්වකව අන්තර්ජාලයෙනි.)









14 comments:

  1. තමන් ලබනා දරුවන් වාසනා ඇතී
    එවන් තුටක් මව්පියනට තවත් නැතී
    නිවුන් දරු දැරියො පිළබඳ ලියා ඇතී
    එවන් දැණුම සැමටම වටිනවා ඇතී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      අහඹු දෙයකි නිවුනුන්ගේ දරු උපත
      ඉතා හොඳයි ඒ අය උපදින නැකත
      දෙමාපියන් හට සරුවී බත බුලත
      ළඟා වීම නියතයි සැමටම සැපත.

      ඔබට ජයම !

      Delete
  2. වැදගත් ලිපියක්...
    අපිටත් ඉන්නවා නිවුන් කොළු පැටව් දෙන්නෙක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකුපුතා,
      වාසනාවන්. නිවුන් 'කොලු පැටව්' දෙන්නාට ඉතාමත් වාසනාවන්ත අනාගතයකට මගේ සුබ පැතුම්. මේ දෙදෙනා identical ද nonidentical ද? මොවුන් ගැන සුවිශේෂී විස්තර සටහන් කර තබන්න. පසුවට ප්‍රයෝජනවත් වෙනවා.
      දැනට වසර හතළිහකට පමණ ඉහතදී ගුවන් විදුලියේ ප්‍රචාරය වූ 'ක්‍ෂිතිජය' නම් විද්‍යා වැඩසටහනේ මෙම විෂයය යටතේ සාකච්ඡා වට කිහිපයක් සඳහා මා සහභාගී වූවා. මේ වැඩ සටහන් හරිම ජනප්‍රිය වූවා. ඒ සියල්ල පසුව ලිපි පෙළක් ලෙසට 'රසවාහිනි' සඟරාවේ පළවුවා.
      මෙයටම අදාළ තවත් ලිපී කිහිපයක් ලිවීමට බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. ගොඩක් ස්තුතියි සුබ පැතුම් වලට...
      ඒ දෙන්න identical කැටගරි එකට තමා අයිති...

      /// මොවුන් ගැන සුවිශේෂී විස්තර සටහන් කර තබන්න. පසුවට ප්‍රයෝජනවත් වෙනවා. ///
      ස්තුතියි මේ උපදේශයට, එහෙම කරන්න පටන් ගන්න ඕනේ. දැනට ගොඩක් සිදුවීම් වයිෆ් වීඩියෝ කරනවා...
      ඒ හරහා විස්තර එක්කාසු වීමක් සිදු වෙනවා...

      Delete
    3. //ඒ හරහා විස්තර එක්කාසු වීමක් සිදු වෙනවා...//
      නිවුන් දරු උපත ගැන අවබෝධයක් ඇතිව දරුවන්ගේ සියලුම තොරතුරු (සමාජයීය, අධ්‍යාපන, දක්ෂතා, කුසලතා ආදී) තොරතුරු එකතුවකින් ඔබට පසු කලකදී අත්දැකීම් සහිත කරුණු ඇතුලත් පොතක් වුවත් පළ කළ හැකි වෙවී.

      Delete
  3. Thank you Pra Jay,
    I purposely did not use technical terms that need further explanation.
    Also simply thought of the people who have long forgotten their O.L Genetics. Bear with me pl.

    ReplyDelete
  4. හොඳ පැහැදිලි කිරීමකි. දෙබිඩි දරුවන් ගැන ද සදහන් කළා නම් වටී . අපේ ගම්වල අම්මලා දෙබිඩි දරුවන් ඇති වේ යයි බියෙන් දුලාට දෙබිඩි කෙසෙල් කන්නට දෙන්නේ නැත!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාලිනී,
      දෙබිඩි දරුවන් ගැන මතක් කිරීමත් සඳහන් කළා නම් හොඳයයි මටත් සිතෙනවා.
      //දුලාට දෙබිඩි කෙසෙල් කන්නට දෙන්නේ නැත//
      අපගේ ගම්බද සමහර අයගේ මෙම විශ්වාසයත් සම්බන්ධ කර ගනිමින් දෙබිඩි දරුවන් ගැන ජීව විද්‍යාත්මක තොරතුරුත් ඇතුලත් තව post එකක් ලියන්නට හැකිවේයයි සිතනවා. අදහස දීම ගැන ස්තුතියි.

      Delete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ,
      මේ සම්බන්ධයෙන් මට හැකි පමණින් ඔබට උදව් කිරීමට කැමතියි. ඔබගේ "අහස් ගව්වෙන් එහා ලෝකයට" අඩවියට පිවිසීම සඳහා මගේ list එකට ඇතුලත් කර ගත්තා.
      නිර්මාණ කිරීම සඳහා අනවශ්‍ය මහන්සියක් වියයුතු නැහැ. සිතට එන ඕනෑම දෙයක් ලියන්න. භාෂාව හැසිරවීම ගැන නම් ටිකක් සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ අත්දැකීම් වලට වැඩි ඉඩ කඩක් දෙන්න. මම ලියන බොහෝ දේ පසුගිය දශක කිහිපය තිස්සේ මා ලද අත්දැකීම්. විවිධ පරාස කරා යා හැකිනම් එය තවත් වැදගත්. එසේ වූ විට කියවන්නාට ඇතිවන නීරස භාවය නැති වෙනවා.
      ඔබට ජයම !

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. මෙම නිවුන් දරු උපත් පිලිබඳ නවතම සොයා ගැනීමක් ගැන 2019 පෙබරවාරි 28 දින "Live Science" විද්‍යා සඟරාවේ පළවූ ලිපියක Link එකක් පහත දැක්වේ. මෙම පර්යේෂණය කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේය
    https://mail.yahoo.com/d/folders/1/messages/AD4BvCB45j6OXHihPQSzINPCnm4

    ReplyDelete