බල්ලා, සර්පයා සහ මම ....
අප කුඩා කාලයේ සිටම, අපගේ මහ ගෙදර බල්ලෙකු ඇති කිරීම සිරිතක් විය. ඒ කාලයේ
බල්ලන් ඇති කළේ, උන් සුරතල් කිරීමට වඩා
ගෙදර දොර සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිසය. අපේ ගෙදර විවිධ ප්‍රභේද
වලට අයිති බල්ලන් ඇතිකර තිබේ. අපට ඇල්සේෂන්, ජර්මන් ෂෙපර්ඩ් වැනි බල්ලන්ද ඇතිකර
පුරුද්දක් තිබුණි. ඒ නම් දැරූ බල්ලන්ට වඩා අපට ඉතාම හිතවත්, ගෙදර සියලු දෙනාටම මහත් ලෙන්ගතු
කමක් දැක්වූ, වැදගත් යයි සම්මත බලු
පරම්පරාවකට අයත් නොවූ බල්ලෙකු ගැන සුවීශේෂී මතක සටහනකි මේ.
බල්ලන් මිනිසා සමග සමීපව සිට ඇති බව ආදී තොරතුරු
වලින්ද හෙළිවේ. අද ලොවපුරා, විවිධ ආකාරයේ බලු ප්‍රභේද දෙසියයකටත් වඩා සිටින
බව වාර්තාවී තිබේ. සුරතලට ඇති කරන බල්ලෝ, දඩයම් බල්ලෝ, එඬේර බල්ලෝ, ගුවන්
තොටවල ඉව අල්ලන බල්ලෝ, සහායක බල්ලෝ, මුර
බල්ලෝ ආදී වශයෙන් විවිධ ප්‍රභේදයේ බල්ලෝ සිටිති. බාහිර
ලක්ෂණ වලින් විවිධ වුවත්, සියලුම බල්ලන් අයත් වනුයේ Canis familiaris නම් සත්ත්ව විශේෂයටය. ශරීර
ප්‍රමාණයෙන් විවිධ වුවත්, ඔවුන්ට අන්තර් අභිජනනය කර, සරු ජනිතයින් ඇති කිරීමට හැකි
බැවින් සියලුම බලු ප්‍රභේද familiaris විශේෂය ට අයත් බව ජීව විද්‍යාත්මකව පිළිගෙන
තිබේ.
මොවුන් හීලෑ බල්ලන් වන අතර හීලෑ
බැවින් මිදී වල් වැදුණු බල්ලෝද සිටිති. ‘සිංහල දඩබල්ලා’ හෝ ‘ලංකා දඩබල්ලා’ යන නමින්
හැඳින්වෙන බලු ප්‍රභේදයක පාශාණිභුත ඇට සැකිලි ශ්‍රී ලංකාවේ නිල්ගල ගල් ලෙන් වලින් සහ
බෙල්ලන්බැඳී පැලැස්ස ප්‍රදේශයෙන් හමුවී තිබේ. ක්‍රිස්තු පූර්ව 4500 දී පමණ
ජීවත්වූ, බලන්ගොඩ මානවයා දඩයම් කිරීම සඳහා
බල්ලන් යොදවා ඇති බව මෙම ඇට සැකිලි වලින් තහවුරු වේ.
ශ්‍රී ලංකාවේ ආදී වාසි වැදි ජනතාවද, දඩයම් කිරීම
සඳහා මෙම බල්ලන් යොදාගෙන ඇති බවට සාක්ෂි තිබේ. ඔවුනට දඩයම් කිරීමේදී, දුන්න සහ
ඊතලය තරමටම බල්ලාද ප්‍රයෝජනවත් වන්නට ඇත. ආදී වාසී ජනතාවගේ සමාජ රටාවේ සඳහන් වන
පරිදි, ඔවුන්ගේ පවුල්වල දියණියන් විවාහ කර දීමේදී, දඩයම් බල්ලෙකු දෑවැද්ද වශයෙන්
දීමද සිරිතක් වශයෙන් පැවතී බව පෙනේ.
දකුණු ඉන්දියාවේද සිටින්නට ඇතැයි විශ්වාස කරන ලද
මෙම බල්ලන් ‘pariah dogs’ වශයෙන් ඉන්දියානු භාෂාවකින් නම්කර තිබේ. මෙහි Pariah යනු බලු ප්‍රභේදයට
යොදන නමක් වුවත්, අපේ පොදු ව්‍යවහාරයේදී
‘පරයා’ යන වචනය සිංහලෙන් ගෙන, එයට, දීන බව හඟවන තේරුමක්ද දී තිබේ. කෙසේ
වෙතත් මෙම pariah බල්ලන්
ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන, මිනිසා ගන්නා ඔනෑම ආහාරයක් බුදින, බලු ප්‍රභේදයකි. අදත්
බොහෝ විට ගම්බද ගෙවල ඇති කරනුයේ මෙම බල්ලන්ය.
මගේ
මතක සටහනට පාදක වන බල්ලාද එම ප්‍රභේදයේ බල්ලෙකි. එහෙත් ඌ ‘පර බල්ලෙක්’ නම් නොවේ.
අපට ඉතාමත් සමීප බොහෝ ලෙන්ගතු බල්ලෙක් විය. ඉහත බල්ලන් පිලිබඳ කෙටි ඉතිහාසය සඳහන්
කළේ මේ වැරදි වැටහීම නිවැරදි කිරීම සඳහාය.
මගේ
බල්ලාගේ නම ‘ටුටූ’ ය. උගේ වයස අවුරුදු පහක් පමණ විය. ඌ,
ගෙදර සහ ගෙවත්තේ නිදැල්ලේ හැසිරීමට පුරුදුව සිටියේය. බල්ලන් කූඩුවකට දැමීමේ
පුරුද්දක් එකළ නොවිය. ඉඳහිට අවශ්‍යතාවයක් වුවිට,
ඌ දම්වැලකින් බැඳ දැමීම පමණක් කරන ලදී. මා
ගෙදර සිටින විට ටුටූ මා අසලින් සිටීමට මහත් කැමැත්තක් දැක්විය.
ගේට්ටුව වසා තිබෙන
නිසා, ඉඳහිට තාප්පය උඩට පැන ඒ මත ඇවිදිමින් සිට, අසල තිබුණු ඉඩමටත් ගොස්, ගෙදර
පිටුපසින් ඇති පිට්ටනියේත් දුව පැන
ඇවිදිමින් සිට, ඌ ආපසු පැමිණ තාප්පයෙන් නොපැන, ගේට්ටුව අසල නතරවේ. අප ලවා ගේට්ටුව
විවෘත කරවා ගැනීමට වල්ගය වනමින් නොයෙකුත් හඬින් ශබ්ද නැගීම උගේ පුරුද්දකි.
තාප්පයෙන්
එලියට පනින බල්ලා ආපසු එසේ නොඑන්නේ අප ලවා ගේට්ටුව විවෘත කර ගැනිමටමදෝ යන්න අපට
මහත් ප්‍රහේලිකාවක් විය.
එක්
සති අන්තයක උදේ,
මා ගෙදර ඉස්තෝප්පුවේ පුවත් පත කියවමින් සිටියදී
ටුටූ මා අසලම බිම දිගාවී සිටියේය. එවෙලේ තරමක පොද වැස්සක්ද විය. හිටි ගමන්ම
තිගැස්සී නැගිට ගත් බල්ලා, බිම ඉව කරමින් මිදුලට බැස, තාප්පය අසලට ගොස් අමුතු
හඬකින් බුරන්නටත්, වරින් වර උඩ පනින්නටත් විය.
පුටුවෙන් නැගිට මිදුලට බැස විපරම්
කළ මට, බල්ලා බුරන ස්ථානයේ සර්පයෙකු සිටින
බව දකින්නට ලැබිණ. මා ඒ අසලට එන බව දුටු බල්ලා, සර්පයාට තවත් කිට්ටු වන විට,
සර්පයා පෙනය පිප්‍පීම නිසා ඒ නාගයෙකු බවත් ඌ අඩි හතරක් පමණ දිග ඇති නාග පැටියෙකු බවත් මට පෙණින.
ටුටූ
නාගයාගේ හිස කටින් ඩැභැ ගත්තේය.
කුඩා
වුවත් නාගයා බල්ලාට දෂ්ට කරනු ඇතැයි මට
එක් වරටම සිතිණ. මේ නිසා නාගයා පලවා හැරිම හෝ බල්ලා ඉවතට ගැනීම වහාම කළ යුතු විය.
ගේට්ටුව
අසල තිබුණු තරමක් දිග උණ ලියක් අතට ගත්
මා සර්පයාගේ ශරීරය මත එය තබා තද කිරීමට උත්සාහ කළත් එය වැලකී ගියේය. මෙයින්
තවත් උරණ වූ සර්පයා,
පෙනය පුප්පා ශරීරය කෙලින් කර, මාසිටි දෙසට
පැන්නේය.
මා තරමක් පස්සට යන විටම,
ටුටූ නාගයා පෙනයට පහලින් කටින් අල්ලා
ගත්තේය.
මට
කළ හැකි කිසි දෙයක් නොවිය.
බල්ලාගේ
බෙල්ල වටා තම ශරීරය ඔතාගත් නාගයා කටින් ලිස්සා බල්ලාගේ හොම්බේ පැත්තකට දෂ්ට කර,
බිමට පැන්නේය.
නැවත
නාගයා වෙත දුව ගිය බල්ලා, උගේ පෙනය කටින් අල්ලා හපා, හිස පොඩිවී ගිය නාගයාගේ සිරුර
කටින් ඩැහැගෙන තාප්පයට පැන, ගෙදර පිටුපස පිට්ටනිය දෙසට දුවන්නට විය.
එතැනට
පැමිණි දියණියට සිද්ධිය යම්තමින් පවසා, මම ඉක්මණට බල්ලා පසු පස දුව ගියෙමි.
පිට්ටනිය
අසලට ගිය බල්ලා, එහි තිබුණු වැලිගොඩක් හාරා, නාගයාගේ
සිරුර එය තුළට දමා හොම්බෙන් පස් දමා වසා දැම්මේය. වළ දෙපැත්තේ පිටට
තිබුණු නාග සිරුර ඒ වන විටත් දඟළන බව මට පෙනුනි.
මා
ටුටූ ට කතා කළ විට, ඌ මා දෙස බලා වල්ගය වනා, නැවත වරක් හොම්බෙන් පස් දමා, නාග සිරුර තවත් වසන්නට විය. ඊට පසු
ටුටූ මා අසලට ඒමට තැත් කරන විටම උගේ පසුපස පාද අප්‍රාණික වීමෙන් බිම දිගාවී
බඩගාමින් මෙන් මා වෙත ඇදෙන්නට විය. මොහොතකින් මුළු ශරීරයම අප්‍රාණික වී බල්ලා බිම දිගාවිය.
දියණියන් සහ බිරිඳ ඒ වන විට තාප්පය අසලට පැමිණ
විශ්ණිම්භුතව බලා සිටියහ.
සිහිසන්වී
බිම දිගාවී සිටි බල්ලාගේ කටින් සෙම
වැගිරෙන්නට විය.
කළහැකි
කිසිදෙයක් නොමැතිව, තරමක් කලබලවූ මා වහාම බල්ලා
දෑතින් ඔසවා ගෙනවිත්, තාප්පය මත
තැබීමි. මා මිදුලට ඒමටත් පෙර දියණියන් විසින් බල්ලා ගෙනගොස් ගරාජයේ මේසයක් මත තබන
ලදී.
සිහි
මූර්ඡා වී වැටුණු බල්ලා
මම
වහාම මගේ හිතවතෙකු වූ පශු වෛද්‍ය වරයෙකුට දුරකථනයෙන් ඇමතීමි.
‘ඩොක්ටර්,
අපේ බල්ලට දැන් පැය කාලකට විතර ඉස්සෙල්ල නයෙක් දෂ්ට කළා. විනාඩි කිහිපයකින් සිහිය නැතිවෙලා වැටුනා. දැන් කටින් සෙම
දමනවා. පුළුවන් තරම් ඉක්මනට එන්න.’
‘බල්ලට
සිහියත් නැති නම්, anti-venum එකක් දෙන්න ඕනෑ. අපි ළඟ නම් ඒවා නැහැ. මෙහෙ ෆාමසි වලත් නැහැ කොළඹින් තමයි ගන්න
වෙන්නේ. මම කොයි එකටත් ඉක්මනට එන්නම්’ ඔහුගෙන් ක්ෂණික පිළිතුරක් ලැබිණ.
බල්ලාට
කළ හැකි ප්‍රතිකාරයක් නොමැති බව දැනගත්තත්, පශු වෛද්‍ය වරයා ඒම අපට තරමක
අස්වැසිල්ලක් විය.
බල්ලා
හොඳින් පරික්ෂා කළ වෛද්‍යවරයා
‘වැඩේ
ටිකක් දරුණු පාටයි. අපි කොයි එකටත්
ඩෙක්ස්ට්‍රොස් ලොකු ඩෝස් එකක් දීල බලමු. සිහිය ආවොත් ගොඩ දාන්න පුළුවන් වෙයි.’
කිවේය.
ඒ
වන විට බල්ලා මුත්‍ර පිටකර ඇති අතර, කටින් සෙම වැගිරීම එලෙසම පැවතුනි.
බල්ලාගේ
ඉදිරි පාදයකට ඩෙක්ස්ට්‍රොස් කාන්දු උපකරණය (drip) සවිකර එහි ද්‍රවය ගලායාම සීරු මාරු කළ
වෛද්‍යවරයා
‘ඩෙක්ස්ට්‍රොස්
ඩ්රිප් එකට පැයක් විතර යනවා. එය අවසන් වීම කිට්ටු වෙන කොට මට කතාකර ගුණාගුණ
කියන්න’ කියා ආපසු ගියේය.
සිදුවූ
දෙය ගැන කම්පාවට පත්වූ අපි බල්ලා කෙරෙහිම සිත් යොමු කරමින් බලා සිටියෙමු.
පැය
භාගයක් පමණ යන විට ඌට දෙවරක් මුත්‍ර පිටවිය. කටින් සෙම පිට කිරීම ටික ටික අඩුවිය.
මේ බව වෛද්‍ය වරයාට දැන්වීමි. අවශ්‍ය වන බෙහෙත් ද රැගෙන ඔහු තව පැයකින් පමණ එන බව
කිවේය.
අපි
බල්ලා ගැන විමසිල්ලෙන් සිටියෙමු.
තව
ටික වෙලාවකින් බල්ලා පා ගස්සන්නටත් සෙමින් කෙඳිරි ගාන්නටත් විය.
වෛද්‍ය
වරයා නියමිත වෙලාවට පැමිණියේය. බල්ලාගේ හෘද ස්ඵන්දනය පරික්ෂා කළ ඔහු,
‘යන්තම්
ගොඩ ආවා වගෙයි. තව ටිකකින් සිහිය එයි.
මූර්ඡා ගතිය මග හැරෙන්නට මම බෙහෙතක් දෙන්නම්’
කියා ඔහු ගෙනවිත් තිබුණු බෙහෙත් පෙති
කිහිපයක් කිරිවල දියකර බීම පිණිස දුන්නේය.
ඩ්රිප්
එක ගලවා ඉවත් කළ විගසම මඳක් ඇස් හැර මා දෙස බැලූ බල්ලා ‘කරන ලද උපකාරයට ස්තුතියි’
කියන්නාක් මෙන් වල්ගයද මඳක් සෙලවිය.
බල්ලා
ඔසවා වෙනත් තැනකින් තැබූ අපි, ඌ උණු වතුරෙන් පෙඟවූ රෙදි කඩකින් පිසදමා රෙද්දකින්
ඔතා, උණුසුම් කළෙමු. බල්ලා ටික වෙලාවකින් හිස එසවිය. එහෙත් ඌට තවමත් නැගිට සිටීමට
නොහැකි බව අපට දැනුණි.
කිරි
කෝප්පයක් සාදා එයට බෙහෙත් පෙත්තක්ද මිශ්‍ර කර දුන්විට, බල්ලා හාන්සිවී සිටිමින්ම එයින්
භාගයක් පමණ බීව්වේය.
තව
ටික වෙලාවකින් බල්ලා පසුපස දෙපයින් නැගිටීමට වෙර දරන බව දුටු අපි, ඌ ඔසවා බිමින්
තැබුවෙමු. ඉතාමත් ආයාසයෙන් ඉදිරි පා වාරු කර ගත් බල්ලා පසු පා එසවීමට
නොහැකිව, තවත් පැයක් පමණ එලෙසම වැතිරගෙන සිටියේය. මින්පසු දෙවන බෙහෙත් පෙත්ත,
කිරිවල දියකර බල්ලාට බොන්නට දුන් විට, කිරි සියල්ලම ආශාවෙන් බිව් නිසා, තවත් කිරි
කෝප්පයක් දුනිමු.
සිද්ධිය
සිදුවී පැය පහක් පමණ ගතවූ විට බල්ලාට පා සතරෙන් සිට ගැනීමට හැකිවුවත්, ඇවිදීමට
හැකිවුයේ තවත් පැය දෙකක් පමණ ඉක්ම ගිය පසුය.
පසුදින
උදයේ අප අවදිවූ විගසම,
අප අසලට දුවමින් ආ ටුටූ,
සුපුරුදු පරිදි උඩ පනිමින් සහ වලිගය වනමින් කිසිදු අනතුරක් සිදුවූ නියාවක්වත්
නොපෙන්වා මහත් සතුටින් දුව පැන ඇවිද්දේය.
නාගයා
මා සිටි පැත්තට පනින බව දුටු ටුටූ, එකවරටම පැන
නාගයාගේ පෙනය අසළින් කටට ඩැහැ
ගත්තේ, විසකුරු සතාගෙන් මට සිදුවිය හැකි
අනතුරකින්, මා බේරාගැනීම පිණිස බව මම විශ්වාස කළෙමි.
දරුණු
නාග විෂ ශරීර ගතව සිහි මූර්ඡා වී බිම ඇද වැටුණු බල්ලා ‘ඩෙක්ස්ට්‍රොස් ඩ්රිප් එකකින්’
පමණක් පැය කිහිපයකදී ප්‍රකෘති තත්ත්වයට
ගෙන ඒමට හැකිවීම ආශ්චර්යමත් සිද්ධියක් බව
පශු වෛද්‍යවරයාද පැවසුවේය.
http://thattayagekolama.blogspot.com/2018/01/blog-post.html
ReplyDeleteස්තුතියි ලිඛිතා,
Deleteඔබගේ link එකේ කතාව කියවූවා. ඒ කතාවේ rattle snake ලෝකයේ සිටින උග්‍රම විෂ සහිත පොළඟුන් විශේෂයක්.
'රෝවර්' තමන්ගේ දිවි තොර කිරීමට උත්සාහ කළ අය කෙරෙහිවත් වෛරයක් නොමැතිව විෂඝෝර සර්පයාගෙන් ඔහු (ස්වාමියා) ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීම බල්ලන්ගේ උතුම් චරිත ලක්ෂණයක් විදහා දක්වනවා. මෙය කලකට ඉහතදී පළකර තිබෙන කොලම අයිති, තට්ට මල්ලිටත් මගේ ප්‍රණාමය.
මාරයි විස වැඩිය ශරීර ගතවෙලා නැතුවද
ReplyDeleteස්තුතියි ලක්මාල්,
Deleteඒ බව තමයි vet කීව්වෙත්. කොහොම වෙතත් පැය හත අටක් ගත උනාට පස්සෙයි ප්‍රකෘති තත්ත්වයට ආවේ. බල්ලා නයාගේ බෙල්ල හරියෙන් තදින් විකාගෙන සිටි නිසා ඌට විෂ සියල්ලම වදින ලෙස 'නයා ගැසීම' (striking) කරන්නටත් බැරි වන්නට ඇති බවයි අප තේරුම් ගත්තේ.
බල්ලෙක් කියන්නේ නියම මිත්‍රයෙක්. දැං තට්ටු නිවාසයක ඉන්න නිසා එකෙක් හදාගන්න විදිහක් නෑ.
ReplyDeleteස්තුතියි දිනුක,
Deleteතට්ටු නිවාසයක සිටින විටනම් හදන්නට වෙන්නේ 'pomanarian'වගේ pocket edition එකේ බල්ලෙක්. දවසකට වරක්වත් එළියේ ඇවිදින්නට යාමත් කරන්නට වෙනවා. ඊට වඩා අමාරු වෙන්නේ බල්ලාට 'toilet training' දෙන එකයි. ඕස්ට්‍රේලියාව වගේ දැඩි නීති රීති වලට අනුව බල්ලන් ඇතිකරන අයගේ පහසුව සඳහා කුඩා කාලයේ සිටම බල්ලන් එම කටයුතු සඳහා පුහුණු කරන පුහුණු මධ්‍යස්ථාන තිබෙනවා.
පොඩි කාලෙ හිටිය එකෙක්.
ReplyDeleteආයෙ එකෙක් හදන්න ආසයි වෙලාවක් නැහැන.
සති දකෙකට කලින් ගෙදර ගියා අම්ම දැන් ආපහුු ගදෙර ගිහින් නිසා බල්ලෙක් අරන් යන්නනත් හිතුව. ඕනි වෙන එකක් නෑ වගේ අහල පහල ගෙවල් වල බල්ලොාාාටික කට්ටියම අපේ දිහාට සංක්‍රමනය වෙලා.
හදන්න දෙයක් නෑ. තමුන්ට සලකන තැනට උං ඉබේම එනවා.
Deleteස්තුතියි මද්දා,
Delete'Once a dog lover is always a dog lover' කියා කියමනකුත් තිනවානේ. ඒ නිසා පසුබට වන්න එපා නැවත බල්ලෙක් ඇති කරන්න. ඔය කියන ආකාරයට කෑම සඳහා පමණක් ඇවිත් යන, දඩාවතේ යන බල්ලෝ ගෙදර අයට ඒ තරම් ලැදි කමක් ඇති කර ගන්නේ නැහැ.ගෙදර ඇතිකරන බල්ලාට විශේෂ සැලකිලි ලැබෙන විට ඒ අය හෙමිහිට ඉවත් වෙනවා.
සුරන්ගමීර් කියන්නෙත් අයාලේ යන බල්ලෝ ගැන නේද? එහෙම එකෙකුව උනත් සැලකිල්ලෙන් නාවලා එහෙම ගෙදර ඇති කරන එකෙක් වගේ තබාගැනීමට උත්සාහකරන්නත් පුලුවන්ද කියා බලන්න.
Deletehttps://en.wikipedia.org/wiki/Pariah
ReplyDeleteමගෙ ඔය අත් දැකීම වෙනස්. විනාඩි 15 කට වඩා ජීවත් වුනේ නෑ. දැන් මාස් 9ක් විතර ඇති. අපි තාම අඬනවා. වෙට් කිව්ව වගේම පුදුමයි. ජීවත්වුනත් ටික කාලෙකින් වකුගඩු ප්‍රශ්නවලින් වගේ මියයන අවස්ථා වැඩියි.
නයාගෙ විෂ සැක්ස් හුඟක් හිඳිල තිබිල ඇති. ඉස්සර ගොදුරකට දෂ්ඨ කරල වගේ දෙයක් නිසා.
P.E.P.දැරණියගල කුකුල්ලු යොදාගෙන කරපු පර්යේෂණවල මිය නොගිය අවස්ථා වාර්ත කරල තියනව
ඒ ගැන අපේ බලවත් කනගාටුව.
Deleteස්තුතියි Pra Jay,
DeleteLink එකේ තොරතුරු කියවූවා. 'Parayah' යන වචනය භාවිතයට ඇවිත් තිබෙන්නේ 'කුල හීන' යන අර්ථය ඇතිව. ඒ උනත් මේ බලු ප්‍රභේදයට ඒ වචනය ගැලපෙන්නේ නැති බවයි මගේ අදහස.
ඔබගේ බල්ලාට සිදුවූ අකල් මරණය ගැන කණගාටුයි. සමහරවිට ඌට දෂ්ට කළේ පොළඟෙක් වෙන්නට ඇති. අපේ බල්ලා නම් ඊට පසුව අවුරුදු පහක් පමණ සිටියා. අවසාන කාලයේ කන් ඇසීම දුර්වල උනා.
ඔබ සඳහන් කරන ආකාරයට විෂ අඩු උනේ කලින් ගොදුරක් අල්ලා ගත් නිසා වෙන්නටත් පුළුවන්.
සුර්න්ගත් බල්ලන්ට බොහොම කැමති මෙන් වගෙයි. නේද?
Deleteඔය වර්ගෙට කියන්නෙ වල්ටේශන්. විහිළු තහලු කරල හිනාවෙලා නිතරම සතුටින් ඉන්න සත්තු වර්ගයක්. සෑහෙන කළගුණ තියෙනවා. ඒ වගෙම තමයි අපි හිතන දේ තේරුම් ගන්නත් හැකියාව තියෙනවා. ටුටුවා ගොඩයාම ගැන සතුටුයි.
ReplyDeleteස්තුතියි සුරංග,
Deleteඔබත් බල්ලන්ට ඉතා ලැදි කෙනෙක් බව පෙනෙනවා. තවමත් ගම්බද බොකෝ අය ඇතිකරන මේ ගනයේ බල්ලන්ට ගැලපෙන හොඳ සිංහල උරුවේ නමක් දමා ගැනීම ගැන සිතා බැලුවොත් නරකද? ස්වාමි භක්තිය, ලෙන්ගතු කම, ඕනෑම දෙයක් ආහාරයට ගැනීම, ආරක්ෂාව ආදී කරුණු සියල්ලම ඒ නමට යොදන්නට හැකියි. Blog post වලින්ම එයට මුල පුරමු.
අපේ ගෙදරත් නිතර බල්ලන් පූසන් ඇතිකලා. පසු කාලයේදි මෙය බල්ලන් පමණක් වුණා. මම හිතන්නේ බල්ලන් තම හිමිකරුවන්ට දක්වන ලැදියාව නිසා වෙන්න ඇති. බොහෝ විට මේ සත්ව කරුණාව තිබුණේ මගේ බාල සොහොයුරියට, ඔවුන්ට නම් තබා, කෑම බීම දුන්නේ ඇය තමයි.
ReplyDeleteබල්ලා නිසා සිදුවීමට ගිය අනතුරකින් බේරුණු ඔබද, ඔබේ ජීවිතය බේරා දී තම පණ ද රැකගත් බල්ලාද වාසනාවන්තයි.
ස්තුතියි තිසර,
Deleteකොහොමත් බල්ලන් පුසන්ට වඩා ගෙදරට හිතවත්. පුසෝ ආත්මාර්ථකාමී සුරතල් සතුන් බව පිළිගැනීමක් තිබෙනවානේ. බල්ලන් ඇති කිරීමේ පුරුද්ද ඇති අයට එය ජිවිතයට අත්‍යාවශ්‍ය අංගයක් වෙනවා.
එදා නයා ඉදිරියට පැන්නේ, ලීයෙන් තද කළ නිසා කිපී මට දෂ්ට කිරීමට විය යුතුයි. මා හිතන්නේ බල්ලා එය තේරුම් ගන්නට ඇති. ඊටත් වඩා හිස පොඩි කළ නාගයාගේ සිරුර කටින් ඩැහැගෙන තාප්පයෙන් පිටතටත් පැන්නේ මන්ද යන්න අපට සිතා ගන්නටවත් බැරි උනා. සර්පයා සිටින බව බල්ලා නොදැක්කා නම් ඌ කාට හරි දෂ්ට කරන්නට තිබුණා.
තාත්තා, මේ සිද්ධියෙන් පස්සේ ටුටූගේ කන් ඇහෙන්නේ නැතිව ගියා මතකද? ඒ වගෙම උගේ 'කෑම රුචිය'ත් බොහොම වැඩි වුණා! ඊට කලින් බොහොම ජෙන්ට්ල්මන් ගතිගුණ තිබුණු ටුටූ නයා දෂ්ට කළාට පස්සේ අනිත් බල්ලන්ගේ කෑම පිඟන් වල කෑමත් හොරෙන් කන්න පටන් ගත්තා!සමහර විට ඒ සිද්ධියේ අතුරු පලයක් වෙන්න ඇති.'ටුටූ' කතා නම් තව සෑහෙන්න තියෙනවා නේද? තාත්තාට 'ටුටූ සීරිස්' එකක් උනත් ලියන්න පුළුවන්! :)
ReplyDeleteස්තුතියි මලී දුව,
Deleteටුටූට පසු කලකදී කන් ඇසීම අඩුවූ බව මට අමතක උනා. ඌ පස්සේ හුඟක් මහත් උනා. කිව්වා වගේම 'ටුටූගේ කතා' series එකක්ම ලියන්නට හැකිවේවි. ඊට පස්සේ සිටි ශැණ්ඩිලා, මීෂලා දෙන්නා ගැනත් හුඟක් දේවල් ලියන්නට පුළුවන් වේවි.
අපේ ගෙදරත් හදන්නෙම ඔය වල්ටේෂන් එවුවො තමයි. දැනුත් එකෙක් ඉන්නව.
ReplyDeleteඅපේ ගෙදරටනං සරපයො ආවම බලාගන්නෙ පූසො සැට් එක තමයි. එක වතාවක් නයෙක් ඇවිල්ල ඌට වැට මායිමෙන් මෙහාට එන්න නොදී හතරපස්දෙනා එක්ක වට කරගෙන හිටිය. තව වතාවක පූසෙක් හිටිය ඌට සරපයො පේන්න බෑ හපල දානව. මොනව උනත් ඔබේ සුරතලාට හානියක් නොවීම ගැන සතුටුයි.
ස්තුතියි ප්‍රසන්න,
Deleteලොකු කුඩා සර්පයෝ කවුරුත් පූසන්ට ටිකක් බයයි. පූසෝ සැට් එකකට නම් කොහොමත් ඕනෑම සර්පයකු මෙල්ල කර ගත හැකි වේවි. සර්පයෙකු දෂ්ට කර පූසෙක් මැරුණු බව නම් අසාවත් නැහැ. උන්ගේ නියපොතු පුප්පා ගසන පහර පැයකට කිලෝමීටර් විස්සක තිහක වේගයෙන් වදිනවා. ඒ වගේම එවැනි පහරක් ඇස් වලට වදීය කියා අනිකුත් සත්තු බොහෝ විට පුසන් මග හරිනවා.
කන බොන එකේ ගුණ මතකයෙ තබාගෙන
ReplyDeleteමොන දේ වුනත් ගෙහි හිමියා ගැණ හිතන
ගුන පිරි සුනඛ වර්ගය පිළිබඳ සොඳින
පින ඇත ඔබට ලිව්වට මෙය ඉඩ රැගෙන....
ජයවේවා!!!
ස්තුතියි දුමී,
Deleteකන බොන තැනට ගෙදරට ලැදි කම පෙන්වා
සොර සතුරන් එතොත් බුරමින් මුව දල්වා
දුක සැප දෙකේදීම තම වලිගය සොලවා
බල්ලා හිතවත්ය බිය සැක හැර පලවා
ඔබට ජයම !
++++++++++++++
ReplyDeleteThank you Thadi malli.
Deleteමොන එකක්ද මන්දා, මගෙ කමෙන්ට් වල අවුලක් තියෙනවා. ඉමෝජි වැටෙන්නෙ නෑ.
ReplyDeleteමේ ලින්ක් දිගේ ගිහින්, දුක්මුසු බලු කතා කියෙව්වා.RIP ප්‍රාජේගෙ සුරතලා & ටුටූ!:(