Thursday, 13 April 2017

අධ්‍යාපනයට ‘බින්න බැසීම’

අධ්‍යාපනයට ‘බින්න බැසීම’
   ප විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන කාලය රටෙහි නිදහස් අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල ඉතා මැනවින් දකින්නට ලැබුණු වකවානුවකි. ඒ සමගම ‘සැමට ම විද්‍යාව’ යන නව සංකල්පයද රටෙහි ප්‍රචලිත වෙමින් පැවතින. ’56 භාෂා පෙරළියෙන් පසු, උසස් අධ්‍යාපනය ස්වභාෂා වලින් දිය යුතුය යන මතවාදයද රටෙහි ගොඩ නැගෙමින් පැවතුනි. මේ නිසා රජයේ පාසල්වල, විශේෂයෙන්ම මධ්‍ය විද්‍යාල වලට තදබල විද්‍යා ගුරු ඉල්ලුමක් තිබුණි. කොළඹ ප්‍රධාන විදුහල් හැරෙන විට උසස් පෙළ විද්‍යා පන්ති පැවැත්වුනේ මධ්‍ය විද්‍යාල අතලොස්සක පමණකි. ඒ කාලයේ විද්‍යා උපාධි පාඨමාලාව තිබුනේ ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ පමණක් නිසා වසරකට විද්‍යා උපාධිධාරීන් පිටවන සංඛ්‍යාව 50 කට වඩා වැඩි නොවීය. මාර්තු, අප්‍රියෙල් මාස වල උපාධි අවසාන විභාග පවතින දිනවල, විදුහල්පතිවරු, විශ්ව විද්‍යාලයට පැමිණ සිසුන් තම පාසැල්වල ගුරුවරු ලෙස යාම පිණිස කැමති කරවා ගැනීමට මහත් වෙරක් දරති.
අපට වඩා වසරක් පහලින් සිටි මගේ මිතුරෙකු වන ආනන්ද (ඔහු පසුව රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරයා විය)   ගේ ඥාතියෙකු  දකුණේ මධ්‍ය විද්‍යාලයක විදුහල්පති වරයා විය. අපට විභාග අවසන් වූ දිනයේම විශ්ව විද්‍යාලයට පැමිණ සිටි එම ඥාතියාට ඔහුගේ විදුහලේ ගුරු පත්වීමක් සඳහා  ආනන්ද මා හඳුන්වා දුන්නේය. ගුරු පත්වීමක් සඳහා යාමට මා අදි මදි කලත්, ඔහු මාගේ ලිපිනය උපන් දින වැනි තොරතුරු ලබා ගත්තේය.
විභාග අවසන් වී ගෙදර ගොස් සතියකින් මට එම විදුහලට ගුරු පත්වීමක් ලැබුණි. මගේ තවත් හිතවතෙකුටද එම විදුහලට පත්වීමක්  ලැබී ඇති බව පසුව දැනගතිමි. වෙනත් රැකියාවක්‌ ලබාගන්නා තුරුවත් ගුරු පත්වීම සඳහා යාමට තීරණය කළෙමි.
නියමිත දිනට කලින් දිනයේ විදුහලට ගියෙමි. ඒ වන විටත් මගේ අනික් මිතුරා එහි ගොස් සිටියේය. විදුහලේ ශිෂ්‍ය නිවාසයේ ගුරු කාමරයක් අප වෙනුවෙන් වෙන්කර තිබුණි.
පසුදින උදයේ ශිෂ්‍ය නිවාසය භාර ගුරු මහතාද සමග අපි කාර්යාලයට ගියෙමු. ඒ වන විටත් පැමිණ සිටි විදුහල්පතිතුමා අප සාදරයෙන් පිළිගත්තේය. එදින උදය රැස්වීමෙදී අප සිසුනට හඳුන්වා දුන් විදුහල්පති තුමා උසස් පෙළ විද්‍යා පන්ති ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ බව ප්‍රකාශ කළේය. මට ‘උගුලකට හසුවූවාක්’ වැනි හැගීමක් ඇතිවිය.
විදුහල්පති තුමාම, අප විද්‍යාගාරය වෙත කැඳවාගෙන ගොස් සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ සිටි පන්තියට අප දෙදෙනා නැවත හඳුන්වා දුන්නේය.
අප දෙදෙනා ඉගැන්වීම ආරම්භ කළෙමු. උසස් පෙළ සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව  කාල ඡේද  අට බැගින්ද සාමාන්‍ය පෙළ පන්ති තුනක රසායන විද්‍යාව කාල ඡේද පහළොවක්ද මට පවරා තිබුණි.
ඉගැන්වීම එතරම් අපහසු නොවුවත් සිංහලෙන් ඉගැන්වීම සඳහා පාඨ ග්‍රන්ථ හිඟය සහ පාරිභාෂික වචන නොමැතිවීම මහත් ගැටළුවක් විය. බොහෝ වචන ශබ්ද කෝෂ වලද නොවීය.
සිසුන් විභාග සඳහා සූදානම් වන පන්තිවල ඉගැන්වීම අපට මහත් අභියෝගයක් විය. ඉගැන්වීම සඳහා උපදෙසක් ලබාගැනීමට ගුරු උපදේශක වරුද එකළ නොවීය. ඉගැන්වීම සඳහා අවශ්‍ය සටහන් ඉංග්‍රීසියෙන් සකස් කර සිංහලට පරිවර්තනය කරගැනීමට සිදුවිය. බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය වන තුරුද අප දෙදෙනා ඉගැන්වීම සදහා සූදානම් වූවෙමු. සිසුන් සියලු දෙනාම දක්ෂයින් වූ නිසා සිතට සතුටක්ද දැනිණ.
මේ අතර අප ගැසට් පත්‍රයේ සහ පුවත් පත්වල පුරප්පාඩු සඳහන් කර තිබුණු රැකියා සඳහා අයදුම් පත් යැවීමු. සම්මුඛ පරීකෂණයකට යාම සඳහා නිවාඩු ඉල්ලු විටක විදුහල්පති තුමා මේ  බව දැනගත්තේය. ඔහු එයට අකමැති බව දැනගන්නට ලැබිණ. මට ‘උගුලකට හසුවූවාක්’ මෙන් ඇතිවූ හැගීම  තහවුරු විය.
මාස කිහිපයක් ගතවිය. අපගේ ප්‍රතිඵල පිටවිය. අප දෙදෙනාම සමත් වී ඇත. භෞතික විද්‍යා විෂයයන් හැදෑරු මගේ මිතුරා දෙවන පෙළ සාමාර්ථයක් ලබා තිබුණි.
උසස් පෙළ පන්තියේ සිසුන් සංඛ්‍යාවද ටිකින් ටික වැඩි වන්නට විය. අප විදුහලට පැමිණ මාස පහකදී පමණ මගේ කාමර සගයාට අලුතින් පිහිටුවන ලද ග්‍රහලෝකාගාරයේ දේශකයකු වශයෙන් පත්වීමක් ලැබුණි. ඔහු ගිය පසු පන්තිවල වැඩ අඩාළ විය. මට මහත් උදාසීන ගතියක් දැණින. ශිෂ්‍ය නිවාසයේම සිටි මගේ පන්තිවලම  සිටි දක්ෂ සිසුන් කිහිප දෙනාගේ පාඩම් වල ගැටළු සඳහා සවස් කාලයේදී උදව් කිරීමට අවස්ථාවක් ලැබීම මට මහත් අස්වැසිල්ලක් විය.
උසස් පෙළ සත්ත්ව විද්‍යාව සඳහා සත්ත්ව විච්ඡේදන රාශියක් කිරීම එකළ අවශ්‍යතාවකි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ප්‍රායෝගික පරීක්ෂණයක්ද විය. විෂයය නිර්දේශයේ තිබුණු ගැඩවිලා, කැරපොත්තා, මැඩියා සහ මීයා යන සතුන්ගේ පද්ධති කිහිපයක් විච්ඡේදනය කිරීම ප්‍රායෝගික අවශ්‍යතාවක් විය. මා බොහෝ විට සවස් කාලයේ සිසුන් සමග විද්‍යාගාරයට ගොස් විච්ඡේදන කිරීම් හෝ විද්‍යාගාරය ක්‍රමාණුකූලව සකස් කිරීම් වැනි දේ කළෙමි.
එක්‌ දිනක සිසුවෙක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල මැඩියෙකු (ගෙම්බෙකු)  අල්ලාගෙන මට පෙන්වීය. එම මැඩියා ප්‍රමාණයෙන් විශාල නිසා, කංකාල පද්ධතිය ආදර්ශයක් ලෙස සකස් කිරීමට යෝග්‍ය එකක් බව මට සිතාගත හැකිවිය. අපගේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් දේශනයකදී කංකාල දර්ශක සකස් කිරීම පිළිබඳව විස්තර කර තිබුණි. ඒ මැඩියාගේ කංකාලය සකස් කරමු යයි මම සිසුනට යෝජනා කළෙමි. ඔවුන් එයට එක හඬින් කැමති විය. එදින සවසට විද්‍යාගාරයේදී එම ව්‍යාපෘතිය කිරීමට සුදානම් කළෙමි.
UNESCO’ ගුරු අත්පොතක මෙවැනි ක්‍රියාකාරකම් සඳහා පැහැදිලි උපදෙස් තිබිණ.
මුලින්ම ක්ලෝරෝෆෝම් කර නිර්වින්දනය කරණ ලද ගෙම්බා, 5% පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් ද්‍රාවණයක පැය භාගයක් පමණ තම්බන ලදී. සිසුන්ට මෙන්ම මටද, මෙය නවතම අත්දැකීමක් විය. ඔවුන්ටද මෙහි කිසිම අප්‍රිය භාවයක් නොවීය. පැය භාගයක් තම්බන විට ගෙම්බාගේ මාංශ පේශි සහ අභ්‍යන්තර කොටස් දියවී ගොස් කංකාල කොටස් පමණක් ඉතිරිවී තිබිණ. පෙරණයකින් පෙරා, කංකාල කොටස් වෙන්කර, හොඳින් සෝදා ටික වේලාවක් වේලෙන්නට තබා ලෑලි කෑල්ලක සවි කළ සිහින් කම්බි අධාරකයක කංකාලය සවි කිරීමට පටන් ගතිමු. පාදවල අස්ථි පමණක් වෙන්වී තිබුණු නිසා අපට කාර්යය පහසු විය. වෙන්වූ කොටස් ලාටු වර්ගයකින් ඇලවීමට සිසුවෝ යුහුසුලු වුහ.
විද්‍යාගාරය තිබුණේ විදුහලට අවතීර්ණ වන පාර අසලමය. ඒ පාරේ විදුහලේ කාර්යාලය දෙසට යමින් තිබුණු මෝටර් රථයක්‌ නතර කර කෙනෙකු අප සිටි දෙසට පැමිණියේය. සිසුනට තම කාර්යයේ නිරත වීමට ඉඩ හැර මම ඉදිරියට ගොස් ආ පුද්ගලයා ගැන විපරම් කළෙමි. ඔහු මෝටර් රථයේ රියැදුරා  බව සිතා ගතිමි. ටිකකට පසු ඒ මෝටර් රථයේ පැමිණි අමුත්තා විද්‍යාගාරය දෙසට පැමිණෙනු දුටිමි. අප කළ වැඩය දිගටම කරගෙන ගියෙමු. ජාතික ඇඳුම සහ කර වැසූ කබායක් හැඳ  සිටි ඔහු පළාතේ මන්ත්‍රී තුමාදැයි සිසුහු සැක කළහ. මම ඔහු නොහඳුනමි. විද්‍යාගාරය තුළට පැමිණි ඔහු
‘මොකද මේ ළමයි අවේලාවේ ‘ලැබ්’ එකේ කරන්නේ’ කියා තරමක් උස්  හඬින් ඇසීය.
ඉදිරියට ගිය මා ‘මම මෙහෙ ගුරුවරයෙක්. ළමයිත් එක්ක ප්‍රැක්ටිකල් එකක් කරනවා’ යයි කීවෙමි.
‘ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිකල් මොනවද?’ කී අමුත්තා මේසය වෙත පැමිණ සිසුන් කරන කාර්යය දෙසස තුෂ්නිම්භුතව බලා සිට ‘UNESCO’ අත්පොතද පෙරලා බැලීය.
Mounting of animal skeletons ........ යන පිටුව පෙරළු ඔහු ටික දුරක් කියවන විට, අමුත්තා මන්ත්‍රී වරයා නොවේ දෝයි මට සැකයක්ද ඇති උනා. පොතෙහි පෙරවදන ලියා ඇති අයගේ නම ඇඟිල්ල තබා පෙන්වා ‘මෙයා හඳුනනවාදැයි’ මගෙන් ඇසීය.
‘ඒ නම ජිනපාල අලස්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්’ විය.
‘මම දන්නේ නැහැ’ අවංකවම කීවෙමි.
‘කමක් නැහැ. දැන් දැන ගත්තානේ. ඒ මම’. ‘මමත් ඉස්සර කෙමිස්ට්‍රි ටීචර්  කෙනෙක්. මොකක්ද ළමයි එක්ක කරන වැඩේ ?’ අමුත්තා ඇසීය.
මම සියල්ල මුල සිට විස්තර කළෙමි.
‘අපූරු වැඩක්නේ. මෙතෙක් කල් ගුරුවරයෙක් මෙහෙම වැඩක් කරනවා මම දැක්කාමයි.’
කී අධ්‍යක්ෂ ජනරාල් වරයා ස්ටුල් එකක් ඇදගෙන සිසුන් සමග හිද ගත්තේය. සිසුන් නැගිටින්නට සැරසෙන විට ඔහු එය වැලක්වීය. ටික වේලාවක් මා හා සිසුන් සමග සුහදව කතාකළ අධ්‍යක්ෂක ජනරාල් තුමා වාහනයේ සිටි රියදුරුට කතාකර හෙමිහිට යමක්‌ කීවේය. ආපසු ගිය රියැදුරු ලිපි ගොනුවක් රැගෙන පැමිණියේය. එහි පිටු පෙරලු ඔහු මැද පිටුවක් ප්‍රවේශමෙන් නවා, සීරුවෙන් කඩා, ගොනුවෙන් වෙන්කර  මා අත තැබීය.
මට මෙය මහත් ගැටළුවක් විය. මා දෙස ටික වෙලාවක් බලාසිටි ඔහු.
‘ඔය අලුත්ම ගැසට් එකේ පිටුවක්. ඔය තනතුර සඳහා ඔල්ලුම් පත්‍රයක් යවන්න’.
‘සර්, මම වෙන ජොබ් ........’ මට වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉඩක් නොතබා
‘අපට ඕනෑ දැනුම ලබාදෙන ගුරුවරු. අඩු වයසෙන් ඔය තනතුර ලැබුනොත් ඉහලටම යන්නට් පුළුවන්’ කියා මා අස්වැසීය.
එහි වුයේ රජයේ ජේෂ්ඨ විදුහල් වල ගුරුවරු සඳහා ප්‍රදානය කරනු ලබන දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු පිලිබඳ ගැසට් නිවේදනයයි.
අමුත්තා නික්ම ගියේය.
අපි  කරමින් සිටි වැදගත් කාර්යය මැනවින් සම්පූර්ණ කළෙමු.
හදිසියේ හමුවූ අමුත්තා පිළිබඳව කී විට ගුරු මණ්ඩලයේ කව්රුත් පුදුම විය.
විශේෂ තනතරු පිලිබඳව අනිත් ගුරුවරු විවිධ මත පළ කළහ.
එක් ජේෂ්ඨ ගුරුවරයෙක් පමණක් ‘දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු වල මූලික වැටුප දැන් ලබන වැටුප වගේ දෙගුණයක්. මම හිතන්නේ ලැබුනොත් ලොකු වාසියක්. අවුරුදු විස්සක් සේවය කරලත් මම තවම ඒ තලයට ඇවිත් නැහැ.’ කී විට මට තරමක සහනයක් ලැබුනා.
සති දෙකක් පමණ අවිනිශ්චිත භාවයකින් සිට, අවසානයේදී මම අයදුම් පත තැපැල් කළා.
සති දෙකකින් පමණ අධ්‍යාපන අමාත්‍යංශයේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. එහිදී මට කීමට වැඩි යමක් තිබුණේ නැහැ. ශිෂ්‍යත්වධාරී දක්ෂ සිසුන්ට සවස් කාලයේදී පාඩම් වලට උදව් කරන බවත්, අමතර ප්‍රායෝගික වැඩ සඳහා මග පෙන්වන බවත් ප්‍රකාශ කළා. එපමණයි. එදා හමුවූ අමුත්තාත් පරීක්ෂණ මණ්ඩලයේ සිටියා. ඔහු මා දැක ඇති බවක්වත් ඇඟවූයේ නැහැ.
තවත් සති  කිහිපයකට පසු විදුහල්පති මගින් මට ලැබුණු ලිපියකින් මා දෙවන ශ්‍රේණියේ විශේෂ (විද්‍යා) තනතුරක් සඳහා තෝරාගත් බව දන්වා, සේවය ස්ථිර කිරීමෙන් පසුව නව වැටුප් තලයේ පිහිටුවන බවත් සඳහන් කර තිබුණා. මා කෙසේ හෝ ‘උගුලට ’ හසු වූ බව තේරුම් ගත්තා.

මා හට අධ්‍යාපනයේ  ‘බින්න බසින්නට’ සිදුවුයේ  මේ ආකාරයටයි.               

12 comments:

  1. දැවැද්ද හොඳයි, මනමාලි ලස්සනයි, වෙන මොනවද, නේද සර්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      සියල්ල එලෙසම සිදුවුවා

      Delete
    2. ගති ගුණ මොකක් වුණත් මොකද නේද? හෙහ් හෙහ්

      Delete
  2. ඉන්න මොහොතක දරු පිරිස හා පාඩමක වැඩ කරමිනී
    ඔන්න ඔහොමලු වාසනාවත් ආවෙ ළඟටම වැනි වැනී
    බින්න බහිනට හොඳ තැනක් තව තිබෙයිදෝ පාසල වැනී
    යන්න යන්නේ අලුත් අවුරුදු සුභම වෙන්නට පතමිනී.....

    ජයවේවා!!!

    ReplyDelete
  3. 'බින්න බැස්සට' පාඩුවක් නම් කිසිම දවසක නොමවුනී
    යන්න නිසි මග ඉදිරි ගමනට මනා අයුරින් හමුවුනී
    ගන්න ඕනෑ සියලු තනතරු නියම ලෙසටම හිමිවුනී
    මෙන්න මගෙනුත් අලුත් අවුරුදු තිලිණ සමගින් කිරීපැනී

    ඔබට ජයෙන් ජයම

    ReplyDelete
  4. හොද අද්දදැකීමක් , රසවත්ව ලියා තියෙනවා. මගේ කතාවත් ඔය වගේ එත් තරමක් වෙනස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඔබේ කතාවත් කියවන්නට ආසයි. කොහොමද අඩවියට පිවිසෙන්නේ?. මම කියන කාලයේ අද වගේ political තනතුරු තිබුනේ නැහැ.වැඩ කිරීම පමණයි අවශ්‍ය වූයේ.
      නැවත හමුවෙමු.

      Delete
    2. මම ඒක තවම ලිව්වේ නැහැ. දැන්නම් මටත් හිතෙනවා ලියන්න.අටම්පහියේ සමරසේකර කියල තියෙන්නෙ මම ලියන ඒවා

      Delete
  5. හැම විටම හොඳ බොසාලා හමුවීමට ඔබ වාසනාවන්ත වී තිබෙනවා.

    ReplyDelete
  6. ස්තුතියි ඉයන්,
    එක අතකට ඒකත් ඇත්ත. මට හිතෙන හැටියට සමහර 'බොසාලාත්' මගෙන් යම් යම් දේ ඉගෙනගෙන තිබෙනවා.

    ReplyDelete
  7. /උසස් පෙළ සත්ත්ව විද්‍යාව සඳහා සත්ත්ව විච්ඡේදන රාශියක් කිරීම..../

    සත්ත්ව යන වචනය නිවැරදිව ලියන අන්දම කළු ලෑල්ල පිරෙන්නට ඒ වචනය ලියල අපිට ඉගැන්වූ පහ ශ්‍රේණියේ අපේ පන්තිභාර ගුරුතුමා වූ මුදියන්සේ මහත්මයා මේ වෙලාවෙ මගේ මතකයට ආවා.

    බොහෝ දෙනෙක් වරද්දන අනික් වචනය තමයි තත්ත්වය....

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි රවී.
      අපට ඒ කාලයේ සිංහල උගන්වන්න ඉතාමත් හොඳ ගුරුවරු සිටියා.මගේ කලින් බ්ලොග් එකක එවැනි ගුරු මහත්මයෙකු ගැන ලියා ඇති.කොහොමත් කියමනක් තිබෙනවානෙ 'සෑම ගුරුවරයෙකුම භාෂා ගුරුවරයෙකුද විය යුතු' බව.අපට ඒ කාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාව කරද්දී ලැබුණු උපදෙසක් තමයි විෂයය කුමක් වුවත් භාෂාවේ වැරදි (සිංහල හෝ ඉංග්‍රීසි) තිබෙතොත් නිවැරදි කර සටහනක් යොදන ලෙසට.
      තවත් වැරදි වචනයක් තමයි විද්‍යාලය. එය විද්‍යාලයය විය යුතුයි.

      Delete