(විදුහල් භූමියක තිබු ජෛව විවිධත්වය සහිත කොටසක් වසර
කිහිපයක් තිස්සේ, ක්‍රමයෙන් ‘පරිණාමය’ වී,
තාක්ෂණ විප්ලවයට හසුවී, ‘තිරසාර’ ඉදිකිරීම් වලින් අවසන් වීම)
1 වන කොටස - විදුහල් බිමේ මුඩුබිම කුඹුරක් බවට පත්වෙයි.
මෙහි ආරම්භය 1969 වර්ෂයයි. ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි.
එවකට මා එහි විද්‍යා ගුරුවරයෙක් විය.
රට පුරා මහා ‘වගා සංග්‍රාමයක්’ දියත් කර තිබිණ.
රජයේ ඉහලින්ම ලැබුණු නියෝග අනුව සෑම බිම අඟලක්ම වගා කළ යුතු විය. ඒ කාලයේත් සෑම
අලුත් අදහසක්ම ආරම්භ කළ යුතුව තිබුණේ පාසැල් වලිනි. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්
ලැබුණු චක්‍ර ලේඛය විදුහල්පති තුමා විසින් හදිසියෙන් කැඳවු ගුරු රැස්වීමකදී කියවා,
විදුහලේ සෑම අංශයකින්ම වගා ව්‍යාපෘතිය බැගින් ඉදිරිපත් කළ යුතු බව දැන්වීය. ‘වගා
සංග්‍රාම’ කටයුතු සඳහා සතියේ එක් දිනක පාසල් කාලයේ කාල ඡෙද හතරක් යොදා ගත හැකි බවද එහි සඳහන් කර තිබිණ. එම
රාජකාරියේ ප්‍රගතිය සිදුවන ආකාරය සෙවිල්ලෙන් සිටීම සඳහා නියෝජ්‍ය විදුහල්පති වරයා
පත් කරන ලදී. ඒ ඒ අංශයෙන් සකස් කෙරෙන ව්‍යාපෘති පිලිබඳ වාර්තාවක් මසක් ඇතුලත,
අමාත්‍යංශයට යැවිය යුතු විය.
විද්‍යා අංශයේ ප්‍රධානියාව සිටි මා, සියලුම විද්‍යා
ගුරුවරු හමුවී අප විසින් කළ යුතු වැඩ කොටස ගැන සාකච්ඡා කර අදහස් ලබා ගතිමි. වගා
කටයුතු වලට අවශ්‍ය බොහෝ දේ කෘෂි විද්‍යා අංශයෙන් කෙරෙන නිසා අපට ව්‍යාපෘතියක් සොයා
ගැනීම තරමක් අපහසු විය. ‘මල් පෝච්චිවල බතල සිටුවීම’, ‘පෝෂක ද්‍රාවණ වල එළවලු වගා
කිරීම’, ‘පාසල් වත්තේ කොස් පැළ සිටුවීම’ වැනි යෝජනා කිහිපයකින් පසුව පළපුරුදු විද්‍යා
ගුරුවරයෙකු මෙන්ම වී ගොවිතෑනෙහිද නිරත අයෙකු වූ අතුකෝරල මහතා ඉතාමත් ගැලපෙන අදහසක්
ඉදිරිපත් කළේය. ඔහු යෝජනා කළේ පාසැල් වත්තේ එක් මායිමක් ආසන්නයේ පිහිටි අත්හැර දමා
තිබුණු මඩ සහිත මුඩු බිමෙහි කුඹුරක් අස්වැද්දීමයි. ඔහු විසින්, ගොවිජන සේවා
දෙපාර්තමේන්තුවේද උපදෙස් අනුව එය සැලසුම් කළ හැකි ආකාරය විස්තර කළ පසු කවුරුත් ඒ
අදහසට එකඟ විය.
මුඩු බිම පාසැල් වත්තේ එක් මායිමක් වන හොරණ -
මොරොන්තුඩුව මහා මාර්ගයට මුහුණ ලා පිහිටියේය. එකළ මේ පැත්තේ තාප්පයක් නොතිබුණු
අතර, කම්බි වැටක් පමණක් තිබිණ. පාසැල් වත්තේ අනික් මායිමේ ජලය බැස යන කුඩා ඇලක්ද
විය. අපගේ ඉල්ලීම අනුව ගොවිජන සේවා නිලධාරියා පැමිණ ඇළෙහි අමුණක් බැඳ යෝජිත කුඹුරට
ජලය ලබා ගැනීම පිලිබඳ උපදෙස් දී ඒ සඳහා නිත්‍යානුකුල අවසරයද ලබා දුන්නේය. ව්‍යාපෘතිය
ආරම්භ කරන දිනයේ අතුකෝරල මහතාගේ ගොවියන් කිහිප දෙනෙකුද පැමිණ නියරවල් බැඳීම, ලියදි සකස් කිරීම, වක්කඩ බැඳීම වැනි
කාර්යයන් කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය. සිසු සිසුවියන්ද ඉතා ඕනෑකමින් එම
කටයුතු වලට සහභාගී විය.
අපට සති හතරකින් පමණ මනා ජල සැපයුමක් සහිත ලියදි පහකින් යුක්ත, කුඹුරක් සකස් කරගත හැකි විය. මෙහිදී සිසු
සිසුවියන් සහ ඔවුන් සමහර දෙනෙකුගේ දෙමාපියන් දැක්වූ උනන්දුව විශේෂයෙන් සිහිපත් කළ
යුතුය.
නියමිත දිනයේදී අතුකෝරල මහතා විසින් බිත්තර වී පැලට
දමා සකස් කරන ලද, පැලවී අවශ්‍ය ප්‍රමාණය ගෙනෙන ලදී. විදුහල් පතිතුමා, ගුරු මණ්ඩලයේ
කිහිප දෙනෙකු සහ දෙමාපියන් කිහිප දෙනෙකුගේද සහභාගිත්වය ඇතිව සිසුන් විසින් වී
වැපිරීම කරන ලදී.
සතියක් පමණ වන විට ගොයම් පැලපත ඉතාමත් දැකුම්කලු
විය. බොහෝ සිසුන් පාසලට පැමිණි විගසම කුඹුර බැලීමට දුව ගියහ. වල් පැළ නෙලීම, වක්කඩ
බැඳීම, පොහොර යෙදීම වැනි දේ සිසුන් විසින් සිය කැමැත්තෙන්ම කරනු නිතර දකින්නට ලැබිණ.
සිසුන් කිහිප දෙනෙක් කුඹුරෙහි වල් පැලැටි එකතුවක් සකස් කර ඒ පිලිබඳ අධ්‍යයනයක් කළහ.
නියරවල් දිගේ මෑ, බණ්ඩක්කා, තම්පලා වැනි එළවලු වර්ග වැවීමට සිසුවියන් කිහිප දෙනෙක්
ඉදිරිපත් විය. මෙම කුඹුරට වැටක් අවශ්‍ය නොවුවද, සිසුවෙකු විසින් කරන ලද යෝජනාව අපි
අනුමත කළෙමු. දින කිහිපයකින් කුඹුර වටා කඩුල්ලක් සහිත පැළඉනි වැටක්ද ඉදිවිය.
දැන් ‘තක්ෂිලාවේ කුඹුර’ වගා සංග්‍රාමයේ වැදගත්
අංගයක් විය. අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්ද පැමිණ ඒ පිලිබඳ විශේෂ ඇගයීමක්ද
කළේය. පාරේ යන එන අයද කුඹුර බලා සතුටු
වුහ.
බන්ඩි ගොයම සෑදෙන විට වී පැලයක උස, පුරුක් ගණන,
පත්‍ර ගණන ආදිය පිලිබඳ සටහන් තබාගැනීමටත්, ගොයම් පුදින විට පුෂපයේ ව්‍යුහය, රේණු
සංඛ්‍යාව, කිනිත්තක පුෂ්ප සංඛ්‍යාව වැනි සටහන් තබාගැනීමටත් ඔවුන් උනන්දුවක්
දැක්වුහ. එසේම පුෂ්ප පරාගනය සිදුවන ආකාරය, සමහර වී ඇට බොල් වන හේතුවද අධ්‍යයනය
කිරීමට පෙළඹුනහ.
මේ පාරේ නිතර ගමන් කරන ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු
එක් දිනක් සිසුන් නොයෙකුත් ක්‍රියාකාරකම් වල යෙදෙමින් සිටින විට තම මෝටර් රථයෙන්
බැස වැට අසලට පැමිණ මහත් ඕනෑ කමකින් බලා සිටිනු මම දුටුවෙමි. ඔහු හොරණ ශ්‍රී පාලී
විද්‍යාලයයේ ආදී කතෘ, විල්මට්. ඒ. පෙරේරා මැතිතුමාය. වැට අසලට ගිය මා අපගේ ව්‍යාපෘතිය
ගැන ඔහුට විස්තර කළෙමි.
‘මට පාසැල් වත්ත ඇතුලට එන්න අවසරද’? ඔහු මගෙන් ඇසීය.
‘සර්ට අවසර මොකටද?, එන්න එන්න’
කී මා ගේට්ටුව ඇර ඔහු කුඹුර වෙත කැඳවාගෙන ආවෙමි.
ඉතාමත් පුදුමයට පත්වූ ඔහු සිසුන් කරන ක්‍රියාකාරකම්
හොඳින් නිරීක්ෂණය කර
‘මේක හරිම ශශ්‍රීක කුඹුරක්නේ. කාගේද මේ අදහස’
මෙය ශිෂ්‍යයින්ගේ වැඩක් බවත් රටේ වගා සංග්‍රාමය
සඳහා අපගේ දායකත්වය මෙය බවත් පහදා දුනිමි.
‘කව්රුත් මේ වගේ වැඩ කළොත් එකත් එකටම වගා සංග්‍රාමය
සාර්ථක වී රට බතින් සරුවේවි’
කී එතුමා
‘මගෙන් කෙරෙන්න ඕනෑ උදව්ව මොකක්ද’?
කියා ඇසීය. කිසිවක් අවශ්‍ය නැති නිසා මම නිරුත්තර
වීමි.
‘ළමයි ගොවිතැන් කරන ගමන් පොහොර, වල් පැළෑටි, මල්,
ගෙඩි වගේ දේවල් ගැනත් ඉගෙන ගන්නවා නේද’? ඔහු නැවත ඇසීය.
’ඔව් මේ හැම දෙනාම විද්‍යාව ඉගෙන ගන්නා අය. මේ ප්‍රායෝගික
වැඩ විද්‍යා පාඩම් වලදීත් ප්‍රයෝජනවත්
වෙනවා.’
මම කීවෙමි.
‘අර නියරේ බණ්ඩක්කා පැළ වල කරලුත් තියෙනවානේ’.
‘මෙන්න මේ විධියේ ප්‍රායෝගික අධ්‍යාපනයක් ගැන
තමයි මමත් කල්පනාකරමින් සිටින්නේ’
කී ඔහු සිසුවියකට කතා කර, ඇය අතේ තිබුණු බන්ඩි වී
කරල අතට ගෙන, එය ගැන විස්තර අසා
‘මමත් ලපටි වී කරලක් අතට ගත්තේ අදමයි’ කියා
‘දැන් ළමයින්ට බඩගිනිදැයි ඇසීය.’
මා කිසිවක් කීමට පෙර ඔවුන් කිහිප දෙනෙක්
‘ඔව සර්’
යයි හඬ නගා කීහ.
එතුමා වාහනයේ සිටි රියදුරුට කතාකර කිට්ටුව තිබෙන
ධනපාල බේකරියෙන් බනිස් පනහක් සහ තේ ගෙනෙන ලෙස කිය.
පැයක් පමණ අව්වේ සිටි සිසුන්ට බනිස් සහ තේ ප්‍රණීත
ආහාරයක් විය.
කන්නය අවසානයේදී අපගේ කුඹුරෙන්ද හොඳ අස්වැන්නක්
ලැබිණ. ගොයම් කපන දිනයේදී, සිරිත් විරිත් ප්‍රකාර චාම් උත්සවයක් පැවැත්විණ. අප සමග
ගුරු මණ්ඩලයේ සිටි රෝහණ බැද්දගේ ශුරීන් විසින් සිසු සිසුවියන් පිරිසක් සමග ගායනා
කරන ලද ගොයම් කවි නිසා එහි දේශීය මුහුණුවර තවත් වැඩිවිය.
වසර කිහිපයක් කුඹුර සාර්ථකව වගා කරන ලදී. අතුකෝරල
මහතා විශ්‍රාම ගත්තේය. මටද වෙනත් රැකියාවක් ලැබුණි. ඊට පසු කුඹුර ටිකින් ටික වල්
බිහි වනු දකින්නට ලැබිණ. ටික කලකදීම එය තරමක ලඳු කැළෑවක් වී තිබිණ. (දෙවන කොටස පසුව)
මෙවන් අත්දැකීම් ලබාගන්න ගුරු වෘත්තිය තරම් වෙන වෘත්තියක් නැහැ. ඔබගේ අත්දැකීම රසවින්ඳා
ReplyDeleteස්තුතියි ඉයන්,
Deleteඔබගේ දිරි ගැන්වීම මට ලොකු සවියක් උනා. දැන් ඉතින් දිගටම ලියනවා. මේකෙත් දෙවෙනි කොටස බර වන්නේ වෙනත් අංශයකට.
ඔබට ජය.
ළමයින්ට මේ විදියට නිවැරදි ප්‍රායෝගික අධ්‍යාපනයක් සමග හසුරුවන ගුරුවරුන් මට නම් පාසල් කාලය තුල හමුවී නැහැ. පැලයක් ගෙදරින් හිටවාගෙන එන්න කියා මිස කවදාවත් සිසුන් සමග එකතු වී එවැනි සුළු දෙයක්වත් නිවැරදිව කරන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පෙන්වා දුන්නේ නැහැ.
ReplyDeleteඔබතුමාගේ ලිපිය කියවන විට මගේ පාසල් කාලය ගැන කනගාටුවක් ඇති උනා..
බබා ඔබට ස්තුතියි,
Deleteදැන් පේන හැටියට තාක්ෂණ දියුණුවක් නොතිබුණු ඒ කාලයේ පාසල්වල අධ්‍යාපන මට්ටම දැනට වඩා ඉහළින් තිබිලා. ඒ කාලේ පාඩමකට අවශ්‍ය සටහනක් photocopy කර ගන්නවත් ක්‍රමයක් තිබුණේ නැහැ. අපි මහා ලොකුවට උගන්වන දැනුම,කුසලතා සහ ආකල්ප යන දේවල් වලින් දැනුම පමණක් වැඩි දියුණුවී කුසලතා සහ ආකල්ප කාබාසීනියා වෙලා වගෙයි මට පෙනෙන්නේ. අපට වැරදුනේ කොතනද?
පොතේ දැණුමට එහා ගිය නුඹ ළමුන් හා නිති එක්වෙලා
ReplyDeleteඇතේ කුඹුරක් බිමේ මතුකොට නිලට නිලේ එය හැඩවෙලා
සිතේ සතුටද අත්දැකීමද ඔබ සැමට ඉන් අත්වෙලා
සෙතේ ගෙනදුන් ගුරුපියෙකි නුඹ සැමට ආදර්ශය වෙලා.........
ජයවේවා!!!
ස්තුතියි දුමින්ද,
Deleteසරු කළ හැකි වෙතොත් මෙලෙසින් නිසරු බිමක්
හැකිවෙයි නිවන්නට ලොව සාගින්න ටිකක්
කියවන්නට මෙහිම අත්දුටු වෙනම පසක්
පළවෙයි අද හෙටම අලුතින් 'පෝස්ට්'එකක්
ඔබට ජයම!
මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග අධ්‍යාපනය ලබා දෙන්න පුලුවන් කම තියෙනවනං පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ළමයි රස්සා නෑ කියල පාරවල් ගානෙ නන්නත්තාර වෙන එකක් නෑ. මෙහෙම නැතුව ළමයි පොතටම හිරකරල තියෙන අධ්‍යාපන ක්‍රමය කණගාටුවට කරුණක්. මෙහෙම ගුරුවරු ඉන්න එක ළමයින්ගෙ වාසනාව.
ReplyDelete++++++ Praසන්ன
Deleteස්තුතියි.
Deleteමා හිතන්නේ පරිසරය, එළිමහන, වටපිටාව සම්බන්ධ කරගත් විට ඕනෑම විෂයයක් රසවත්ව උගන්නන්නට පුළුවනි.
ඒ විල්මට් පෙරේරා ගැන මා අසා තියෙනවා. ශ්‍රී පාලියේ හොස්ටල් එකේ මගේ පුංච් අම්මලා සිටි කාලයේ ඔහු වරින් වර ඒ ළමුන්ට විශේෂ කෑම වර්ග එවනවා ලු.
ReplyDeleteස්තුතියි
Deleteවිල්මට් පෙරේරා ලක්ෂපතියෙක් වුවත් පොළොවේ පය ගසා සිටි සාමාන්‍ය පුද්ගලයෙක්.සෞන්දර්ය ආයතනයක් වූ ශ්‍රී පාලියෙන් පිටවූ රසිකයින් රටේ සෑම ප්‍රදේශයකම සිටිනවා.