(විදුහල් භූමියක තිබු ජෛව විවිධත්වය සහිත බිම් කොටසක් වසර කිහිපයක්
තිස්සේ, ක්‍රමයෙන් ‘පරිණාමය’ වී, තාක්ෂණ විප්ලවයට හසුවී, ‘තිරසාර’ ඉදිකිරීම්
වලින් අවසන් වීම)
3 වන
කොටස - ‘තිරසාර සංවර්ධනය’ - සියල්ල
අභිබවා ක්‍රියාත්මක වෙයි.
පරිගණක සම්පත් මධ්‍යස්ථානය එක් ‘තිරසාර’ සංවර්ධනයකි.
’90 දශකයේ අග භාගය වනවිට අධ්‍යාපනයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය
මගින් පාසැල්වල පරිගණක මධ්‍යස්ථාන පිහිටුවීම ආරම්භ කරන ලදුව, මෙයින් එක් මධ්‍යස්ථානයක් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේද පිහිටුවීමට තීරණය කරන ලදී. මෙම මධ්‍යස්ථානය
සම්පත් මධ්‍යස්ථානයක්ද වන නිසා යාම් ඊම්
පහසුවද සලකා එය මහා මාර්ගයකට ආසන්නව
පිහිටුවීමට සුදුසු බව කාගේත් මතය විය. මේ සඳහා විදුහල් භුමියේ ඇති එකම ඉඩකඩ වූයේ
කලකට පෙර කාගේත් අවධානයට යොමුවූ වන වදුලක් සහිත බිමයි. මේ වන විට එ පැත්තේ මායිමේ
පැරණි කම්බි වැට වෙනුවට විශාල තාප්පයක් ඉදිවී තිබුණි.
‘70 දශකයේදී ‘වන රක්ෂිතයක්’ ලෙස නම්කර, සිසු සිසුවියන් දහස් ගණනකට පරිසර අධ්‍යයන පිළිබඳව මූලික පාඩම්
ඉගෙනීම සඳහා ‘එළිමහන් විද්‍යාගාරයක්’ වූ
එම භුමියෙහි දිය සීරාව නොමැති ඉහල කොටස, නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා
තෝරාගන්නා ලදී. තවමත් භුමියෙහි මඩ සහිත
වගුරු බිම් කොටස ඉතිරිව පවතී.
මේ වනවිට කලින් තිබූ දැකුම්කලු ‘වන අරණ’ ප්‍රිය මනාප භාවය මැකී ගොස් තරමක්
වල්බිහිවී, නැවත මුඩු බිමකට පරිවර්තනය වෙමින් පැවතිණ. එසේ වුවත් ජෛව විවිධත්වයේ
සමහර ලක්ෂණ ඉතිරිව තිබුණි. කළකට පෙර එම බිමෙහි, තමන් බොහෝ දේ ඉගෙන ගත් බව කීමට
කිසිවෙක් දැන් නැත. දශක තුනකට ඉහතදී එම බිමෙහි අස්වද්දන ලද කුඹුරෙහි ගොයම් කපන
දිනයේදී රෝහණ බැද්දගේ ගුරුතුමා සමග ගොයම් කව් ගායනා කළ සිසු සිසුවියන් අද එහි නැත.
ඔවුන් වැඩිහිටියන් වී ඇත. සමහරවිට ඔවුන්ගේ
දරුවන් මෙහි ඉදිවන‘පරිගණක සම්පත් මධ්‍යස්ථානයෙන්’ දැනුම ලබා දීප්තිමත් අනාගතයක්
ලබා ගනු ඇත. සරුවට වැඩී ඇති දම්පාට මලින්
බර ‘මුරුත’ ගස තමන්ට අත්විය හැකි ඉරණම තේරී,
හෙලන ලද සුසුම් සුළඟට මුසුවූවා මිස,
කිසිකෙනෙකුට ඇසෙන්නට නැත.
තීරණය කර සති දෙකකින් පමණ ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදී. එය විවෘත
කිරීමේ අවස්ථාව පසුකලකදී තක්ෂිලා වෙබ්
අඩවිය විසින් වාර්තා කර ඇත්තේ මෙසේය.
“..........විදුහලේ ආදී ශිෂ්‍ය සහ හිටපු අධ්‍යාපන
නියෝජ්‍ය ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මැතිතුමා, 1996.11.10 වෙනි දින මෙම පරිගණක සම්පත් මද්‍යස්ථානයට
මුල්ගල් තබන ලද අතර 1998.03.28 වැනි දින එතුමා විසින්ම, සිසුන් සඳහා මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථානය
විවුර්ත කරණ ලදී. පාඨමාලා ආරම්භ කීරීම 1998.09.15 වැනි දින එවකට වැවිලි කර්මාන්ත ඇමති
රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරණ ලදී.”
තක්ෂිලා පරිගණක සම්පත් මධ්‍යස්ථානය
පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාර වුයේ විදුහලේම සිටින පරිගණක විද්‍යා උපාධිධාරී ගුරුවරයෙකුටය. ඔහු විද්‍යාලයේම ආදී ශිෂ්‍යයෙකු විය. ‘භුමි පරිණාමයේ’ සමහර අවස්ථා ඔහු දකින්නට ඇතුවාට සැකයක් නැත. කෙසේ හෝ ඔහු තම සම්පත් මධ්‍යස්ථානය අවට මල් සහ වෙනත් ගහකොළ වවන්නට උත්සාහයක් ගෙන ඇත. එසේ වුවත් කලින් තිබුණු ජෛව විවිධත්වයට ආසන්න වීමටවත් එය ප්‍රමාණවත් නොවේ.
පිහිනුම් තටාකය දෙවන
‘තිරසාර’ සංවර්ධනයයි
විදුහලට අවශ්‍ය බොහෝ දේ සම්පුර්ණ වූවත්, තවත්
නවීන අංගයක් වන පිහිනුම් තටාකයක්ද තිබිය යුතු බව ගුරු සිසු දෙපක්ෂයේත්, ආදී ශිෂ්‍යයින්ගේත්
අදහස විය. ඔව්හු මේ සඳහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය රත්නසිරි
වික්‍රමනායක මැතිතුමාගෙන් ඉල්ලීමක් කරන ලදී. එතුමාගේ අනුග්‍රහය ඇතිව ජපානයේ බෞද්ධ
ආගමික නායකයෙකු විසින් මෙහි බරපැන දැරීමට කැමැත්ත පළ කළේය.
පිහිනුම් තටාකය ඉදිකිරීම සඳහා ස්ථානයක් සොයා ගැනීම අපහසු නොවීය.
පැරණි ‘වන රක්ෂිතයේ’ ඉතිරිවී තිබෙන කොටස මේ සඳහා ගැලපෙනම ස්ථානය විය. එම ස්ථානයේ
පිහිනුම් තටාකය සකස් කිරීමට තීරණය කරන
ලදී. ටික කලකින්ම වැඩ අවසන්වූ නවීන පිහිනුම් තටාකය, 2009 ජුනි මස 29 වන දින
උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
තක්ෂිලා
පිහිනුම් තටාකය
විද්‍යාලයේ නවතම අංගය
වන පිහිනුම්
තටාකය සිසු සිසුවියන් අතර ඉතාමත් ජනප්‍රිය විය. කලින් ගගේ, ඇළේ, දොළේ පැන පිහිනීමට
යොමුවූ ඔවුන්ට තක්ෂිලා පිහිනුම් තටාකය අරුමයක්ම
විය. ශරීර සුවතාවය සඳහාත්, විද්‍යාත්මක පිහිනුම් ක්‍රම ප්‍රගුණ කිරීම සඳහාත්
පිහිනුම් තටාකය මහෝපකාරී විය.
කලකට පෙර ‘එළිමහන් විද්‍යාගාර’ වූ ‘කුඹුර’ හෝ ‘වන
අරණ’ එහි තිබුණු සේයාවක්වත් නැත. එදා පරිසරයෙන් ප්‍රායෝගිකව ලබාගත් දැනුම අද ලබනුයේ අන්තර්ජාලයෙනි. එදා,
පළාපෙත්තෙකු තණපතක් බුදින ආකාරයත්, ඒ පළාපෙත්තා කටුස්සකුගේ ගොදුරක් වීමත් සියැසින්
දැක “ආහාර දාමයක පුරුක් දෙකක් දැක්කා .....” කියමින් හඬ නගා කී දරුවන් අද නැත. ඒ
වෙනුවට අද දරුවන් අන්තර්ජාලයෙන් ආහාර දාම සිය ගණන් දකිති. එහෙත් ඔවුනට
එළිමහනේදි පළාපෙත්තෙකු හෝ කටුස්සකු
හඳුනාගැනීම අපහසු කාර්යයක් වනු ඇත. එදා ‘ජංගි’
කොටයක් ඇඳගත් ගගේ, ඇළේ, දොළේ දියබුං ගැසූ කෙල්ලන්ට කොල්ලන්ට පිහිනුම් තටාකයේ එවැනි
නිදහසක් නැත. එහි පනවා ඇති ‘චර්යා ධර්ම’ වලට අවනත විය යුතුය.
ජෛව විවිධත්වයේ ඉතිරිවී තිබුණ කොටසද, පිහිනුම් තටාකයේ ජලයට යටවී ගියේය. එයද සදාතනික යටවී යාමකි.
ජෛව විවිධත්වයේ ඉතිරිවී තිබුණ කොටසද, පිහිනුම් තටාකයේ ජලයට යටවී ගියේය. එයද සදාතනික යටවී යාමකි.
‘තිරසාර සංවර්ධනය’ මෙයද ?
‘සංවර්ධනය’ යන වචනයට ඉදිරියෙන් ‘තිරසාර’, ‘ධරණීය’
වැනි කනට මිහිරි උපමා රූපක කොපමණ යොදා ගනු ලැබුවත් සංවර්ධනය යනු කෘතීම සහ ආගන්තුක
සංකල්පයක් මිස සොබාදහමේ ස්ථිරසාර භාවය සුරැකීමට අහලකින් වත් යාමට නොහැකි ක්‍රියාදාමයක්
බව නොරහසකි. දශක පහක් තිස්සේ නිරීක්ෂණය කරන්නට ලැබුණු ඉහත දක්වන ලද විපර්යාස (මා
මෙය ‘පරිණාමය’ ලෙස නම් කළේ එය ආපසු දකින්නට නොලැබෙන නිසාය) දකින විට ඇත්ත වශයෙන්ම ‘තිරසාර සංවර්ධනය’ මුලාවක් බව
පෙනේ.
(ඡායා
රුප සියල්ල, ස්තුති පුර්වකව, අන්තර්ජාලයෙනි)
මුඩු බිම කුඹුර ලෙස සැකසී තිබුණි එදා
ReplyDeleteඅඩු වක් නොවුණු කැලෑවකුත් සැදුණි එදා
නඩු නෑ එතැන ගොඩනැගිලිය ඇත්තෙ මෙදා
අඩුවක් කරනු කිම ගස් වැල් ඕනෙ සදා.....
ජයවෙවා !!!
ස්තුතියි දුමින්ද
Deleteසංවර්දනය වන අයුරින් 'තිරසාර'
වියැකී යමින් පරිසරයම සරුසාර
තාක්සනය හැඩි දැඩි ලෙස යනපාර
වලකා පෙන්වන්ට හැකිවෙද හරිපාර
ඔබටත් ජයම !
ලෝකේ හැටි ඔහොම තමයි!
ReplyDeleteකලකට පසු කෞතුකාගාරයක් සාදා එහි "වන අරණ" හදා ගන්නට වේවි!
ස්තුතියි රසික
Deleteදැනටමත් කොළඹ කෞතුකාගාරයේ එවැනි පද්ධති රාශියක්ම කෘතීම ලෙස සකස් කර තිබෙනවා. ඒවා නම්කර තිබෙන්නේත් 'ස්වාභාවික පරිසර පද්ධති' කියායි.
ප්‍රායෝගිකව ලබන අධ්‍යාපනය පරිගණක තිරයකින්වත්, පාලනය කර ඇති ස්ථානයකින්වත් කවදාවත් ලබන්න පුලුවන් දෙයක් නෙමෙයි. සංවර්ධනය විය යුතු උනත් පරිසරය රැක ගනිමින් එය වීමයි වැදගත්.
ReplyDeleteස්තුතියි
Delete'තිරසාර' සහ 'ධරණීය' යන වචන වලට මීට වඩා පුළුල් අර්ථ කථනයන් දිය යුතු බවයි මගේ හැඟීම. ඒ වචන වලින් ආවරණය වන පරාසය තව පුළුල් කළ යුතුයි.