Monday, 24 April 2017

බාඳුරා මලද සියුමැලි සාමාන්‍ය මලකි. එහෙත් බාඳුරා කෙන්ඩිය දරුණුය. මාංශ භක්ෂකය ...

බාඳුරා ‘බොක්ක’ (කෙන්ඩිය) සහ බාඳුරා ‘මල’ ගැන අදහසක් ........?

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ මධ්‍ය කඳුකරයේ වගුරු බිම ආශ්‍රීතව වැඩෙන බාඳුරා ශාකය මාංශ භක්ෂක ශාකයක් ලෙස වැදගත් කමක් ගනී. ඉංග්‍රීසියෙන්  (Pitcher plant) ලෙස හැඳිවෙන මෙම ශාකයේ, ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට ලැබෙනුයේ Nepenthes distillatoria  යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන විශේෂයයි.

බාඳුරා ශාකය පිලිබඳව අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධියක් ගැනයි මේ සටහන.

‘70 දශකයේ මුල් කාලයේදී විද්‍යා අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් ලොව පුරාම ඇතිවිය. මේ කාලයේදී අප රටේත් විවිධ විද්‍යා අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක විය. ද්විතීය පාසැල් සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයන වැඩ සටහන මෙයින් එකකි. ‘ස්ථානගත පරිසර අධ්‍යයන’ (On-site environmental studies) යන නමින් හැඳින්වූ මෙම වැඩ සටහන ගුරු සිසු දෙපක්ෂය අතරම ඉතාමත් ජනප්‍රිය විය.   ශ්‍රීපාද අඩවිය පාමුල පිහිටි ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලයේ ආරම්භ කරන ලද  ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය අවට පරිසරය, ජෛව විවිධත්වයෙන් අනුන ප්‍රදේශයක් වූ නිසා මෙහිදී කරනු ලැබූ ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා විශාල ඉල්ලුමක්ද පැවතින.
රත්නපුරයේ සිට ශ්‍රී පාදස්ථානයට යන මාර්ගයේ වාහන ගමන් කළහැකි අවසාන ස්ථානය වුයේ කාර්ණිය නම් කුඩා ගම්මානයයි. මෙහිදී කළු ගඟින් එතෙර වීම සඳහා ඇත්තේ පයින් පමණක් ගමන් කළ හැකි පටු පාලමකි. කළු ගඟද සාමාන්‍ය දොළ පාරක්‌ මෙනි. පාලමෙන් එගොඩ වී ටික දුරක් ගිය විට මනස්කාන්ත පරිසරයක පිහිටි ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලය හමුවේ.
ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයා විසින්  මෙම මධ්‍යස්ථානයේ සංවිධානය කරන ලද පරිසර අධ්‍යයන වැඩ කඳවුරක උපදේශක වරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා මටද ඇරයුම් කරන ලදී. එම වැඩ සටහන නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරි කණ්ඩායමක්ද පැමිණීමට නියමිත බවද දැනගන්නට ලැබිණ. මට පැවරී තිබුනේ ගං ඉවුරේ සිට මීටර් දහයක් පමණ ඔබ්බෙන් තිබු ස්වාභාවික වගුරු බිම කොටසක ජෛව විවිධත්වය පිළිබඳව සිසුන් කණ්ඩායමක් සමග අධ්‍යයනයක් කිරීමටය. මෙම සිසුහු දිස්ත්‍රික්කයේ විදුහල් කිහිපයකින් පැමිණි අය වුහ. එම  විදුහලකින් පැමිණි ගුරු මහත්මියක්ද අප කණ්ඩායමට එකතු වුවාය. මෙවැනිම තවත් කණ්ඩායම් තුනක් පරිසරයේ වෙනත් අධ්‍යයන වල නිරතව සිටියහ.
මගේ කණ්ඩායමේ සිසු සිසුවියන් දසදෙනක් සිටියහ.  ක්ෂේත්‍ර අධ්‍යයන සඳහා අවශ්‍ය උෂ්ණත්වමාන, අත් කාච, ඩැහි අඬු, ෆෝමලීන්, බීකර, කුඩා ප්ලාස්ටික් මලු ආදී සියල්ල ඔවුන් ගෙනවුත් තිබිණ. අප විසින් එහි තිබුණු කොක්මොට, බිනර, පඹ, නියඟලා, පන් වර්ග   වැනි ශාක කිහිපයක් සහ බත්කුරන්, ඉස්ගෙඩියන්, මිරිදිය මසුන්, පලාපෙත්තන්, කොරවක්කන්  වැනි සතුන් ගේ වාසස්ථාන, අන්තර් සම්බන්ධතා, භෝජන විලාස, ආදිය පිළිබඳව සරල අධ්‍යයන කිහිපයක් අවසන් කර වගුරු පෙදෙසේ තරමක් වදුල සහිත ස්ථානයක තිබුණු බාඳුරා ශාක ගොන්නක් පිළිබඳව අධ්‍යයනය කිරීමට පෙර සුදානමක් වෙමින් සිටියෙමු.
                      
                  Nepenthes distillatoria   (බාඳුරා) ශාකයේ මල් සහ කෙන්ඩිය


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැමිණි නිලධාරි කණ්ඩායම ඊළඟට අපගේ අධ්‍යයන ස්ථානයට පැම්ණීමට නියමිත බව පණිවුඩයක් ලැබිණ. එම කණ්ඩායමේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති තුමාද සිටින බව දැන ගතිමු.
අපි අපගේ බාඳුරා අධ්‍යයනය දිගටම කරගෙන ගියෙමු.
අප සිටි ස්ථානයට පැමිණි ඇමති තුමා අප කණ්ඩායම විසින් කරගෙන යනු ලබන අධ්‍යයනය දෙස තුෂ්නීම්භූතව බලා සිට සිසුන්ගෙන් ප්‍රශ්න කළේය.
                                                                                                                        
                                                  
                         වදුල සහිත තැනක වැඩෙන බාඳුරා ශාකයක ඇති විවර වූ කෙණ්ඩියක්

‘මොනවද ළමයි මේ බොහොම ආසාවෙන් ඉගෙන ගන්නේ’
‘සර්, පරිසර අධ්‍යයනයක්. මේක මාංශ භක්ෂක පැළෑටියක්, නම බාඳුරා’
‘මාංශ භක්ෂක කියන්නේ මස් කන එක  නේද?  ඔය පැළෑටියේ මල ද සත්තුන්ව අල්ලා ගන්නවායයි කියන්නේ’?
ශිෂ්‍යාව පිළිතුරක් දීමට අදී මදි කළ විට ශිෂ්‍යයෙකු පිළිතුර සැපයීය.
‘මේ පැළෑටියේ මල් වෙනම තිබෙනවා. ඒ උනාට සත්තු අල්ලා ගැනීම සඳහා සකස් වී තිබෙන්නේ මේ කෙන්ඩිය’.  
කියා ශාකයේ තිබුණු ‘බාඳුරා බොක්කක්’ (කෙණ්ඩියක්) සහ මල් වෙන වෙනම ඇමති තුමාට පෙන්වීය.
‘මම මෙච්ච්ච්ර කල් සිතා හිටියේ සත්තු අල්ලා ගන්න බාඳුරා බොකු, බාඳුරා පැළෑටියේ  මල් කියලනේ’
මේ ගැන තව ටිකක් විස්තර කරන ලෙස ඇමති තුමා ඉල්ලීමක් කළ විට අපි ශාකය පිලිබඳ  විද්‍යාත්මක තොරතුරු රාශියක් ඉදිරිපත්කර, පියන්පත ඇරී තිබෙන කෙණ්ඩියක් සහ පියන්පතින්  වැසී තිබෙන කෙණ්ඩියක් වෙන වෙනම පෙන්වා, විවෘත කෙන්ඩිය තුලට වැටී සිටින කුඩා කෘමීන් සිටින බවද  පෙන්වුයෙමු. මෙම ශාකය කුඩා සතුන් ගොදුරු කරගන්නා නිසා එය මාංශ භක්ෂක ශාකයක්‌ ලෙස හඳුන්වන බවද පෙන්වා දුනිමු. එම ශාකයේම තිබුණු මල් රාශියක් සහිත කිනිත්තක් පෙන්වූ විට ඇමති තුමා තවත් පුදුමයට පත්විය.
අපුරු වැඩ ටිකක්නේ මේ අය කරන්නේ. මේවා රටේ අනිත් තැන් වලත් කරනවාද’? ඇමති තුමා නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කළා.
නිලධාරියා කිසිවක් නොකියා තවත් කෙනෙකු දෙස බැලුවා.
‘තව මධ්‍යස්ථාන කිහිපයක්‌ තිබෙනවා. ඒ තැන් වලත් වැඩ ටිකක් කෙරෙනවා’. කියා සැකයෙන් මෙන් උත්තර දුන්නා.
-------------------------------------------------------------------------------- 
බාඳුරා ශාක-භක්ෂක ශාකයක් බව නවවන ශ්‍රේණියේදී පමණ සිසුන් ඉගෙන ගන්නවා. ඒ උනත් ස්වභාවික පරිසරයේ වැඩෙන ශාකය දැක තිබෙන්නේ ටික දෙනයි. බාඳුරා ‘බොක්කේ’ (කෙන්ඩියේ) පියන්පත විවෘත වනුයේ එය පරිණත වූ පසුවයි. මෙම කෙන්ඩිය තුල ඇති දියරයේ  කෘමීන් වැනි කුඩා සතුන්ගේ කොටස් දිරවීම සඳහා සුදුසු එන්සයිම තිබේ. කෙන්ඩිය ගැට්ටේ ඇතුලට නැමුණු සියුම් කටු වැනි කෙඳි ඇති අතර ඇතුලත බිත්තිය ලිස්සන සුළුය. ජලය සොයා කෙන්ඩියේ ගැට්ටට එන කෘමීන් දියරය තුලට වැටුණු විට, ලිස්සන බිත්තිය දිගේ උඩට යන්නට නොහැකිය. මේ නිසා ද්‍රවයට වැටෙන සතා එන්සයිම මගින් ජීර්ණය කර ශාකයට උරා  ගනු ලැබේ.
මෙම කෙන්ඩිය අංකුරයක් හෝ වෙනත් අවයවයක් නොවේ. එය පත්‍රයේ (කොළයේ) මධ්‍ය නාරටිය විකරණය වී (දික්වී) සෑදෙන අනුවර්තනයකි.
සාමාන්‍ය ද්විබීජ පත්‍රීය ශාකයක් වන මෙහි මල් වෙනම කිනිති මෙන් සෑදේ. මල් වලින් හට ගන්නා බීජ වලින් අලුත් ශාක හටගනී.
(බාඳුරා කෙන්ඩියේ තිබෙන දියරය කක්කල් කැස්ස සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව අපි කුඩා කාලයේ අසා ඇත්තෙමු.)

කෙසේ වෙතත් මෑත කාලයේදීත් නවකථා. කෙටිකතා, ගී සින්දු වල කොතෙක්වත් බාඳුරා මල් ගැන ලියවී තිබෙන්නේ,බාඳුරා මල් මාංශ භක්ෂකය’ යන වැරදි අවබෝධයෙන් යුතුව බව පෙනේ. මේ නිසා ‘බාඳුරා මල්’ චිත්‍රපටියේවත් නම කාලීන වශයෙන් වෙනස් කිරීමට සිතුවොත් නරකද?       

9 comments:

  1. ආදරේ රන් බිඟුන් නැසූ
    බාඳුරා බොක්ක ඔබයි ළඳේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      හරියට හරි. පළමුවෙනි සංස්කරණය ඔබෙන් !

      Delete
  2. හොඳාකාරව කෙණ්ඩියක් ලෙස පත්‍ර වී අනුවර්ථන
    හදාගත් උගුලක් නිසා අද බාඳුරා ලැබු පෝෂණ
    බදාගෙන පොඩි කෘමියො ටික ටික කරයි හොඳහැටි ජීරණ
    එදා පාසල් චාරිකාවෙදි සිංහරාජෙදි හමුවුණ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද,

      ඔබට පිළිතුරක් කවියෙන්ම.

      රටේ කෙතරම් බහුල වුවත් බොහෝ අය මේ ගැන නොදන්නේ
      ළඳු කැලෑවල නිසරු බිම්වල මනා ලෙස සරුවට වැඩෙන්නේ
      'කෙන්ඩියේ' ඇති උගුල පිළිබඳ මඳක් වත් නොසිතා තිබෙන්නේ
      'බාඳුරා මලටත්' නිගාදී නොදත් අය කව් ගී ගයන්නේ

      Delete
  3. මම හිතාන හිටියේත් වැරදියට.මල නෙමේ එහෙනම් බිලි ගන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      මෙය විතරක් නොවෙයි, ශ්‍රී ලංකාවේ තවත් මාංශ භක්ෂක ශාක විශේෂ කිහිපයක්ම තිබෙනවා.

      Delete
    2. http://all-that-is-interesting.com/coolest-carnivorous-plants/2

      Delete
  4. මෙච්චර කල් අපි හිතන් හිටියේ බාඳුරා මල තමයි කෙස් කියලා ..මල වෙනමයි කෙන්ඩිය වෙනමයි නේ තියෙන්නේ

    ජය වේවා ..!!!

    ReplyDelete