Monday, 3 September 2018

“ලොකු උනහම, ....අපිත් විමලරත්න මහතාට .....” (ලී මෝල් හිමියාට....)


     මා සේවය කළ අධ්‍යාපන ප්‍රදේශයේ ඇති, කීර්තිමත් ඉතිහාසයක් සහිත විදුහලක උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වූ පරිසර විද්‍යා කාර්ය සැසියකට සම්පත් දායකයෙකු ලෙස සහභාගිවීමට, මටද ඇරයුමක් ලැබිණ. මා මිට කලින්ද කිහිප වරක්ම රාජකාරි කටයුතු සඳහා ගොස් තිබුණු මෙම විදුහල, නගරය මධ්‍යයේ පිහිටි සෞන්දර්යය අධ්‍යාපනය සඳහා ඉහල නමක් ලබා ඇති කේන්ද්‍රස්ථානයකි. විදුහල්  පරිශ්‍රයේ  ක්‍රමාණුකුලව වවා ඇති විවිධ ගහ කොල නිසා එය වන අරණක් ලෙස විචිත්‍රවත් වී තිබේ. ප්‍රසිද්ධ මහා මාර්ගයකට මුහුණලා පිහිටි විදුහල් භුමිය, දශක හත අටකට ඉහතදී මහා මාර්ගයෙන් වෙන් කර තිබුණේ පැළඉනි වැටකින් බව පැරණි ඡායාරූප වලින් පෙනේ.

කාලය ගෙවී යාමත් සමග, පැරණි පැළඉනි වැට වෙනුවට තාප්පයක් බැඳ තිබේ. මහා මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සඳහා ඉඩ සැලසීම පිණිස, තාප්පය ඉදිකර තිබෙනුයේ තරමක් පාසල් භුමිය ඇතුලට වන්නටය. මේ නිසා ආරම්භයේදී සිට, පැළඉනි වැටෙහි තිබී  වැඩුණු ගස් කිහිපයක් පාසලේ තාප්පයටත් මහා මාර්ගයටත් අතරේ ඉතිරිවී ඇත. 

මෙයින් එක් ගසක් ‘හොර’ ශාකයකි. දශක හත අටකටත් වඩා පැරණි විය හැකි එම ‘හොර’ ශාකය මීටර් හතළිහක් පමණ උසට වැඩුණු රූස්ස ගසකි. තනි කෙලින් ඉහලට වැඩී ඇති ගසෙහි අතු කිහිපයක් ඇත්තේ මුදුනේ පමණකි. ඒ නිසා රූස්ස හොර ගසෙන් වැඩි සෙවනක් නොලැබේ. හොර ඵලය සුළඟ මගින් ප්‍රචාරණය වීම සඳහා එයට පියාපත් දෙකක් වැනි අනුවර්තනයක්ද තිබේ. මාර්තු අප්‍රියෙල් මාස වලදී මේ ගසේ හොර ඵල (බීජ) සුළඟේ පාවී යන විට කුඩා සිසුන් ඒවා අල්ලා ගැනීම පිණිස පසුපස දුව යනුද මම දැක ඇත්තෙමි.

මෙම  හොර ශාකයේ බිජයකින්ම හටගන්නා ලදැයි සිතිය හැකි, තවත් හොර පැළයක්  මෑත කාලයේදී,  මව් ගසට මීටර් හතරක් පමණ ඈතින් තාප්පය අසලම පැළවී තිබේ. ඒ කාළයේ විදුහලේ සිටි විදුහල්පති තුමා විසින් වැටක් සකස් කරවා  හොර පැළය ආරක්ෂා කිරීම නිසා එය නිරුපද්‍රිතව වැඩී දැන් තරමක් ලොකු ‘හොර ශාක පැටියෙකු’ ලෙස දකින්නට තිබේ. මේ ගස අතු පතර විහිදී ගස යට සෙවනක්ද ලබාදේ. 
වනාන්තරයක වැඩෙනු වෙනුවට, නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක තිබෙන මේ  හොර ගස් දෙක දකින සෑම විටකම, ඒවාට උපද්‍රවයක් නොවේවා යයි මම බොහෝවිට ප්‍රාර්ථනා කළෙමි.
   
එදින නියමිත කාර්ය සැසිය සඳහා මා විදුහල් භූමියට පිවිසෙන විටම, හොර ගස් දෙක පිලිබඳ සිතුවිලි මාලාවක් සිතට නැගුණි. එකම හොර විශේෂයේ ලොකු ගසෙහි සහ කුඩා ගසෙහි දකින්නට ලැබෙන විවිධත්වය  ගැනද  මොහොතක් කල්පනා කළෙමි.

මා විද්‍යාගාරයට ගිය විගසම මා වෙත පැමිණි, ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා වන සෙනරත් එදින යෝජිත වැඩ සටහන ගැන මට මෙසේ පැවසීය.

‘සර්, අද අපේ වැඩ සටහනේ වැඩි කාලයක් මිඩංගු කරන්නේ, පාසල් වත්තේ තිබෙන තෝරාගත් ශාක විස්සක් පමණ හඳුනාගෙන, ඒවායේ විද්‍යාත්මක නම් සහ පොදු නම් සමග ගස ගැන සුළු විස්තරයක්,  නාම  පුවරු වල ලියා, ගස් අසල සවි කිරීමයි.’

එසේ කියමින් ඔහු විදුහල් පරිශ්‍රයේ, නම් කිරීම සඳහා තෝරාගෙන තිබෙන ශාක ඇති ස්ථාන දැක්වෙන සිතියමක්ද මට පෙන්වීය.

‘ඉතාම හොඳ අදහසක්නෙ’ කී මම සිතියම බලා,  විද්‍යාගාරය අසල තිබෙන ගස් සමුහය දෙස සිත් යොමු කළෙමි.

මට එකවරටම පාසල ඉදිරිපිට ඇති හොර ගස් මතක් විය.

‘මේ ලේඛනයට තව වැදගත් ගසක් ඇතුලත් වෙන්නටම ඕනෑ.’ යයි කී මම

‘ඇයි එළියේ තාප්පය අයිනේ තිබෙන හොර ගහ ඇතුලත් නොකළේ ’ යනුවෙන්  ප්‍රශ්න කළෙමි.

“ඒ ගහ දැන් අපට අයිති නැහැනේ’ සෙනරත් කීවේය.

‘එහෙම නොවෙයි. ඒකටත් නාම පුවරුවක් සවිකර අපි ඒකත් මේ ව්‍යාපෘතියටම අයිති කර ගනිමු. එතකොට ඒක සදහටම විදුහලටම අයිති ගහක්  වේවි.’ මම කීවෙමි.

සිසුහු  මගේ යෝජනාවට එක හඬින් කැමති වූහ. එයට විදුහල්පති තුමාගෙන් සහ ගුරු මහත්මා මහත්මීන්ගේද අනුමැතිය ලැබිණ.

නියමිත වෙලාවට කාර්ය සැසියේ වැඩ කටයුතු ආරම්භ විය. උසස් පෙළ සිසු සිසුවියන් පනස් දෙනෙකු සහ ගුරු මහත්මා මහත්මීන් කිහිප දෙනෙක්ද ආරම්භක සැසියට පැමිණ සිටියහ. විදුහල්පති තුමා විසින් කාර්ය සැසිය පිලිබඳ හැඳින්වීමක් කළ පසු, විද්‍යා ගුරු මහත්මියක් දිනයේ වැඩ සටහන පැහැදිලිව විස්තර කළාය. සම්පත් දායකයෙකු ලෙස පැමිණීම පිලිබඳව මා හට ස්තුති කළ ඇය, මෙවැනි ව්‍යාපෘති වල වැදගත්කම ගැන සිසුන් දැනුවත් කරන ලෙසද මගෙන් ඉල්ලීමක් කළාය.

මෙවැනි කාර්යයන් මගින් කා තුළත් පරිසරය පිලිබඳව සංවේදීතාවයක්, වැඩිදියුණු කළ හැකි බව පැහැදිලි කළ මම, පාසල් වත්ත ඉදිරිපිට තිබෙන හොර ශාකයේ අතීතය සහ ඒ අසලම තිබෙන කුඩා හොර පැළය ගැනත් දන්නා තොරතුරු කීවෙමි. ඒ ශාකද  මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කර ගත යුතු බව මම අවධාරණය කලෙමි. 
එයින් පසු එම ගස් දෙක කෙසේ හෝ රැක ගත යුතුය යන අධිෂ්ඨානයක්ද සිසුන් තුළ ඇතිවූ බව මට හැඟී ගියේය.

Dipterocarpus alatus  යන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම හොර විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බව පැහැදිලි කර,  එහි ඇති දැවමය වැදගත් කම ගැනත්, කෙලින් උසට වැඩෙන ශාකයක් නිසා, ගසේ කඳන් විදුලි රැහැන් සවි කිරීමේ කණු සඳහාද බෙහෙවින් ප්‍රයෝජනවත් බවද, පෙන්වා දුනිමි. 
මේ ශාකයට Dipterocarpus යන නම යෙදෙනුයේ ග්‍රීක් භාෂාවෙන් ‘පියාපත් දෙකක් සහිත ඵලය’ (di- දෙකක්, ptero-පියාපත්,  carpus-ඵලය)  යන අර්ථයෙන් බව තේරුම් කර දුන් මා, එම දිනවල (මාර්තු මාසයේ අග) ශාකයෙන් වැටෙන පරිණත ඵල (‘හොර කුරුල්ලෝ’) කෙතරම් දුරකට  සුළඟේ පාවී විසිරෙන්නේද  යන්න ගැන, සොයා බැලීමේ පවරුමක්ද පහසුවෙන්ම කළ හැකි බව පැවසුවෙමි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර වල වැඩෙන හොර ශාකය තවම වඳවී යාමේ තර්ජනයට මුහුණපා නොමැත. එසේ වුවත් වාසභූමි විනාශය සහ අත්තනෝමතික ලෙස ගස් කැපීම වහාම  පාලනය නොකළහොත් නුදුරු අනාගතයේදීම මෙම ශාකයද, IUCN රතු දත්ත පොතෙහි ‘වඳවී යාමේ’ ලේඛනයට ඇතුලත් විය හැකි  බවට තොරතුරු ලැබී තිබේ.

එදින සවස් වන විට පාසල් වත්තේ ශාක විස්සක් සහ පාර අයිනේ හොර ශාකය සඳහා සකස් කරන ලද, ශාක නාමකරණය සහ එක් එක් ශාකය පිලිබඳ කෙටි විස්තරයක්ද සහිත නාම පුවරු අදාළ ගස් අසල, බිම සිටුවන ලදී. මේ සියල්ලෙන්ම  වැඩිපුර කැපී පෙනුනේ රූස්ස හොර ගස අසල සකස් කළ නාම පුවරුවයි.

දින කිහිපයකින්ම, විදුහලේ සිසුන් විසින් කරන ලද, ශාක නාමකරණ ව්‍යාපෘතියට, විවිධ අංශ වලින් පැසසුම් ලැබී ඇත. විශේෂයෙන්ම මහා මාර්ගය අසල ඇති හොර ශාකයට “නිහඬව හඬක් නැගීම” සඳහා ඉවහල්වූ සිසුන්ට විදුහලට සම්බන්ධයක් නොමැති අයගෙන් පවා සුබ පැතුම් ලැබී තිබේ. විදුහලේද  සෑම සිසුවෙකුම පාහේ තමන් නිතර දෙවේලේ දකින හොර ශාකය පිලිබඳ තොරතුරු සහ එහි විද්‍යාත්මක නාමයද ඉක්මනටම ඉගෙන ගත්හ.

මාස කිහිපයක් ගත විය. පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට දින නියම විය. විදුහල අසල නිවසක පදිංචි විමලරත්න  මහතාද මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දෙන ලදී.

මැතිවරණයට දින තුනකට ඉහතදී, පාසැල ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ ඔහුට අයිති ඉඩමේ ඡන්ද ප්‍රචාරක කාර්යාලයක් ඉදිවිය. විමලරත්න  මහතා යාබද නගරයක මහා පරිමාණයේ දැව ජාවාරම් කරනු ලබන ළී මෝලක හිමි කරුය. ඔහු මුදල් හදල් අතින් කැපී පෙනෙන පුද්ගලයෙක් විය. ඔහුගේ අවසාන ඡන්ද ප්‍රචාරක රැස්වීම එම ඉඩමේ පැවැත්වීමට සුදානම් කරන ලදී.

එදින සවස, විමලරත්න  මහතා සිනහ මුසු මුහුණින් පෙනී සිටින විශාල ඡායාරූපයක් සහිත මීටර් දෙකක පමණ පෝස්ටරයක්, කිසිවෙකුගෙන් නොවිමසා, මහා මාර්ගය අසල ඇති හොර ගසෙහි සවිකරන ලදී. මෙම දැවැන්ත පෝස්ටරය නිසා, සිසුන් විසින් විශාල ප්‍රයත්නයක් දරා සකස් කරන ලද ශාකය පිලිබඳ විස්තර ඇතුලත් පුවරුවද වැසී ගියේය. පෝස්ටරයේ “අපි විමලරත්න මහතාට” යනුවෙන් විශාල අකුරෙන් සඳහන් කර තිබිණ. මෙම අකටයුතු ක්‍රියාව දුටු බොහෝ අය කම්පා වූහ. එහෙත් කිසිවෙකු ඒ ගැන අදහස් ප්‍රකාශ නොකළහ.

අවසාන  ඡන්ද ප්‍රචාරක රැස්වීම හෙටට යෙදී ඇත.

හෙට දිනය උදාවිය.

හිමිදිරි උදයේම කුඩා හොර ශාකය අසලද තරමක් විශාල  පෝස්ටරයක්‌ දකින්නට ලැබිණ. එහි චිත්‍රයට නගා තිබුණේ 'කඳුළු සලන ගසක දුඃකිත විලාසයයි'. මේ චිත්‍රය දුටු කාගේත් ඇසට කඳුලක් උනන්නට ඇත. එහෙත් එහි අන්තර්ගත, දැඩි උපහාසය සහ ව්‍යාජෝක්තිය නිසා ඔවුන් සැනසුම් සුසුමක්ද හෙලන්නටද ඇත. එම පෝස්ටරයේ කඳුළු සලන ගසට යටින් අනික් පෝස්ටරයේ අකුරු තරමටම ලොකු අකුරෙන් “ලොකු උනහම, අපිත් විමලරත්න  මහතාට” කියා සටහන් කර තිබුණි.

මෙම දෙවන පෝස්ටරය කා විසින් සකස් කරන ලද්දක්ද යන්නත්, එය කුඩා හොර ගස යටට පැමිණියේ කෙසේද යන්නත්  කිසිවෙකු නොදත්හ.....

කෙසේ වෙතත් රැස්වීම පවත්වන වේලාව වනවිට පෝස්ටර් දෙකම අතුරුදන්වි ගොස් තිබුණි.

‘රූස්ස හොර ගස’ සහ ‘හොර ගස් පැටියා’ යන ශාක දෙකම, සාහසිකයෙකුගේ පොරොව පහරට හසු නොවී, තවමත් නිරුපද්‍රිතව තිබෙන බව දැනගන්නට තිබේ.

පාසල් සිසුන්ගේ සත් ක්‍රියාවට මාගේ ප්‍රණාමය !

12 comments:

  1. පොඩි කාලෙ ඉඳලම පාසල්වල ළමයින්ට පරිසරයේ වැදගත්කම ගැන අවධාරණය කරනවනං මේ වෙන විනාසය ටිකකින් හෝ අඩුකර ගන්න ඒක හේතු වෙයි.
    උසස්පෙල කරන කාලෙ ඩිප්ටෙරෝකාපස් කියන නම අහල තිබුණට ඒක හැදුනෙ කොහොමද කියල අද තමයි දැනගත්තෙ.

    විමලරත්න මහත්තයටනං කට උත්තරත් නැති වෙන්න ඇති දෙවෙනි පෝස්ටරේ දැක්කට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. අප බොහෝ දෙනෙකු, දැනට දශක තුන හතරකට ඉහතදී ජනතාව පරිසරය පිලිබඳ දැනුවත් කිරීම් සඳහා විශාල මහන්සියක් ගත්තා. ඒ කාලයේ දැනුවත් වූ අයත් සමහර වැදගත් සංකල්ප නොසලකා හරින බවයි පෙනෙන්නේ.
      /ඩිප්ටෙරෝකාපස් කියන නම/ 'Learning from womb to tomb'
      උපහාසය තේරුම් ගත් විමලරත්නම එදින දහවල් වනවිට පෝස්ටර් දෙකම ඉවත් කරවූ බවයි පසුව ආරංචි වුයේ.

      Delete
  2. දෙර ණ පුරා වටිනා ගස් ඇත රැඳිලා
    හොර ගස් අපට ඇත වටිනාකම බැඳිලා
    වෙර ගත් සිසුන් ගස් රැකුමට පෙල ගැසිලා
    සුර පුර කරමු ලක් මව ගස් වැල් හදලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,

      රුක් රෝපණය ගැන නම් වැඩ බොහෝ ඇත
      එනමුත් සිටවූ ගහකොළ රැක ගන්නෙ නැත
      මේ ගැන යළිත් යොදවා තම තමන් සිත
      රැකුණොත් පරිසරය, සැමහට එයයි සෙත

      ඔබට ජයම !!

      Delete
  3. Replies
    1. Thank you Ravi,

      Glad to see you stepping in after a along time.

      Delete
  4. මේ ප්‍රසිද්ධ කතාවේ උපත සිදු වී ඇත්තේ ඔබ කියන පාසලේ ද, එසේ නැතිනම් වෙනත් මූලාශ්‍රයකින් එය අසා තිබුණු අයකු මෙහි සඳහන් කර ඇති විහිළුව කළා ද?

    ReplyDelete
  5. ස්තුතියි රසික,
    මෙම අහිංසක විහිළුවේ වෙනත් මුලාශ්‍රයක් තිබුණු බව නම් මා අසා නැහැ. ඒ උනත් මා සඳහන් කළ මේ සිද්ධිය සැබවින්ම සිදුවූ දෙයක්. විශාල හොර ශාකය සහ කුඩා හොර ශාකය යන දෙකම තවමත් නිරුපද්‍රිතව තිබෙන බව නම් මා දන්නවා. මෙහිදී සිදුවූ තවත් වැදගත් දෙයක් තමයි ඔය හොර විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බවත් හොර ඵලය සුළඟ මගින් බොහෝ ඈතට ප්‍රචාරණය වන බවත් පාසල් සිසුන්ට සහ බොහෝ වැඩිහිටියන්ටත් අවබෝධ වීම.

    ReplyDelete