Monday, 17 September 2018

ස්වභාව විද්‍යා කෞතුකාගාරය හෙවත් "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය" ගැන මතක සටහනක් .........


    හැත්තෑව දශකයේදී විද්‍යා අධ්‍යාපන නිලධාරි වරයෙකු ලෙස සේවය කරද්දී, මා විසින් ප්‍රදේශයේ උසස් විදුහලක ආරම්භ කරන ලද, "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ " පරිසරයට අදාල,  නවතම අධ්‍යාපන පිවිසුමක ආශ්වාදය ලැබූ සිසුවෙකු විසින්, මටද පිටපතක් සහිතව, Face Book සමාජ ජාලයට මුදා හැර ඇති සටහනක් මෙසේ පළ කරමි. මෙහි සඳහන් මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ පරිසර කටයුතු සඳහා අමාත්‍යංශයක්වත් නොතිබුණි. මධ්‍යස්ථානය ආරම්භ කර වසර තිහකට පමණ පසු එහි අධ්‍යයන වලට සහභාගිවී සුරු හුරුකම් ලබාගත් ඔහුගේ සොඳුරු අතීතය යළි සිහි ගන්වන අව්‍යාජ සටහන, මතක මං පෙත ලෙස නම්කර තිබේ.

 මතක මං පෙත
---------------------
තක්ෂිලාවේ ස්වභාව විද්‍යා කෞතුකාගාරය හෙවත් "ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය"
(
මෝදිත සෙන්දනායක)
තක්ෂිලාවේ තිබුණු ඉතා සුවිශේෂී ස්ථාන වලින් එකක් තමයි ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය. කවුරුත් ඕකට කිව්වේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර්(Field Study Centre) එක කියලා. බරසාර ඉතිහාසයකට කිමිකම් කියන තැනක්. 1978 වසරේදී , කළුතර අධ්‍යාපන ප්‍රදේශයේ විද්‍යා අධ්‍යාපන අධ්‍යක්ෂකව සිටි, දයාරත්න වීරසේකර මැතිතුමාගේ මූලිකත්වයෙන් පාසලට එක් වන මෙම මධ්‍යස්ථානය, දශක ගණනාවක් යන තුරුම ඒ වර්ගයේ පාසල් මධ්‍යස්ථාන ලෙස ලංකාවේ පැවති අතළොස්සක් අතුරින් ප්‍රමුඛතම එකක් ලෙස ඉතිහාස ගත වන ඒකකයක්.
ඕකට මම හා හා පුරා කියලා පය තිබ්බේ තක්ෂිලාවේ ශිෂ්‍යයෙක් වෙන්නත් සෑහෙන කලින්. කොටින්ම කිව්වොත් එක වසරේදිමයි. ඒක සිද්ධ වුනේ මෙහෙමයි. පළමු ශ්‍රේණියේ පාසල නිමා වෙන්නේ බොහොම කලින්. මගේ පියා තක්ෂිලාවේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් නිසා ඔහුට පස්වරුව වන තෙක් රාජකාරි එමටයි. ඒ දවස් වල අද කාලේ වගේ සුලභ ව පාසල් ප්‍රවාහනය තිබුණේ නෑ. මේ මීට වසර 28 කට කලින්. ඒ නිසා වැඩ කටයුතු අධික බොහෝ දින වල ඔහු සිදු කලේ තක්ෂිලා ප්‍රාථමිකයේ පළමු ශ්‍රේණිය නිමා වූ සැණින් එතැනින් මා රැගෙන තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට පැමිණීමයි. එතැන ඉතුරු පැය කිහිපය ගෙවූ මගේ ප්‍රධාන රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයෙන් එකක් තමයි මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක.

මගේ ජීවිතය වෙනස් කිරීමට පවා මේ සුන්දර ස්ථානය සෘජුවම දායක වුනා කියා ආපසු හැරී බලද්දි මට වැටහෙන දෙයක්. ඒ විදිහට එක වසරෙන් පටන් ගත්තු මේ සොඳුරු සම්බන්ධතාවය 5 වසරේ ශිෂ්‍යත්වයෙන් පසු තක්ෂිලාවට ඇතුලත් වී 13 වසරේ උසස් පෙළින් පසු මා පාසලින් නික්ම යන තෙක්ම පැවතුනා. ඒක හරිම අපූරුයි.

මගේ කුඩා අවධියේ මේ ඇසුරේ ගෙවුණු කාලයේ මගේ මනස කුල්මත් කල දේවල් බොහොමයක් ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකේ තිබුණා.

රසායනික ද්‍රාවණ වල ගිල්වා විශාල බෝතල් තුළ දමා තිබූ සත්ව නිදර්ශක, විශාල බිත්ති පුරා ආවරණය වන සේ එල්ලා තිබූ වනජීවී පොස්ටර් සහ චිත්‍ර, විශේෂයෙන්ම ප්‍රීතිවිරාජ් සත්ත්වවේදියාගේ තෙළිතුඩින් සිතුවම් වූ වනජීවී රූප බොහොම ජීවමානව පෙණුනා. ලංකාවට ආවේණික උරග, පක්ෂි, මත්ස්‍ය සහ අනෙකුත් ජීවී විශේෂ පිළිබඳ කලාගාරයක් බඳුයි මේ ශාලාව. ඇතුල් වන තැනම තිබුණු දැවැන්ත අලි හිස්කබල සහ මට මතක හැටියට ඊට පසෙකින් තිබුණු ලංකා කුළු මිව්වෙකුගේ විශාල අං යුගල සහිත හිස්කබලත් මේ ශාලාවට එක් කලේ ප්‍රතාපවත් බවක්.

හැබැයි මිනිස් හිස් කබල් සහ අනෙකුත් අස්ථි පංජර කොටස් නම් කුඩා මා යම් දුරකට බිය වූ දේවල්. නමුත් ඒවාත් අපූරුයි. තවත් විවිධාකාර සතුන්ගේ අස්ථි කොටස් සහ විවිධ දුලභ ශාක වල සංරක්ෂණය කරන ලද බීජ ආදිය මෙහි තිබුණා.

ඒ වගේම භූ ගර්භ විද්‍යාත්මක වටිනාකමින් ඉතා ඉහළ නොයෙකුත් පාෂාණ වර්ග වල නියැදි මෙහි ප්‍රදර්ශණයට තබා තිබුණා. ඒ සමහර නියැදි වෙන කිසිම තැනකින් සොයා ගත නොහැකි දේවල්. මානව පරිණාමය පිළිබඳ ආකර්ෂණීය චිත්‍ර සහ සටහන් පවා මෙහි තිබුණා. පසුකාලීනව මානව පරිණාමය පිළිබඳ තොරතුරු සොයා දැන ගැනීමේ පිපාසාව මට ඇති කලේ මේ දේවල්. 9 වසරේදී එම්.එෆ්. නේස්තුර්හ් විසින් රචනා කල, පසුව සිංහලට පරිවර්ථනය වූ "මානවයාගේ සම්භවය" පොත බැරි බැරි ගාතයේ කියවූයේ මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකෙන් ලැබූ උත්තේජනය නිසා.

ඊළඟට මෙහි තිබූ තවත් සුවිශේෂීම වස්තු සමූහයක් තමයි මිල කල නොහැකි පොත් පත් සම්භාරය. උද්භිද විද්‍යාවේ, සත්ත්ව විද්‍යාවේ කුඩා සිංහල පොත් පත් වගේම දෘඩ පිටකවර සහිත විශාල සාරගර්භ ඉංග්‍රීසි පොතුත් මෙහි තිබුණා. මට හොඳට මතකයි වතාවක් මා ඉතාම ලස්සන කවරයක් සහිත සඟරාවක් මෙහි දුටුවා. පසු කාලීනව මා දැන ගත්තේ ඒ සියවසකට ආසන්න ඉතිහාසයක් සහිත ලංකාවේ සුප්‍රකට ලොරිස් නම් වන ජීවී සඟරාවේ පැරණි පිටපතක් බව. කුඩා කාලයේ මේ විෂයයන් සම්බන්ධව මෙලෝ දහමක් මා නොදැන සිටියත් අපූරු ලෝකයක් මට විවෘත කල දොරටුවක් තමයි මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක.

මේ ශාලාවේ එක තීරුවක් ආසන සකස් කර සිසුන්ට විවිධ රූපවාහිනී වාර්තා වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩසටහන් නැරඹීමට අවස්ථාව සලසා තිබුණා. තරමක් විශාල රූපවාහිනියක් සහ ඩෙක් පීස් යන්ත්‍රයක් ඊට සම්බන්ධ කර තිබුණා. ඒ කාලේ 6 වසරේ සිට 13 වසර දක්වා ලමයි විවිධ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ මෙහි පැමිණ ඒ දැනුම උකහා ගත්තා. සිංහරාජ වන පෙත පිළිබඳව ජාතික රූපවාහිනියේ 90 දශකයේ මුල් භාගයේ විකාශනය වූ ඉතාම සුන්දර වාර්තා වැඩසටහන සහ වෙනත් විදේශීය විද්‍යා වැඩසටහන් අපි හරිම ආසාවෙන් ඩෙක් පීස් වලින් නැරඹුවා.

මම ජීවිතේ මුල්ම වතාවට කැළණි පාලම වේදිකා නාට්‍යය නැරඹුවේ මේ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකේ ඩෙක් පීස් එකකින්. හුණු වටය 8 වසරේ පමණ නැරඹුවේ එලෙසමයි. උසස් පෙළ විද්‍යා අංශය විතරක් නෙවෙයි, කලා වාණිජ ඇතුළු මුළු මහත් තක්ෂිලා ශිෂ්‍ය ප්‍රජාවම රසවින්දනය කියන දේ හොඳින්ම රසවින්ද තැනක් එය. ගුරු භවතෙකු නැතිව හිස් වන කාල පරිච්ඡේදයක නිකරුනේ කාලය ගත නොකර පූර්ව අනුමැතිය ඇතිව මෙතැනට ඇවිත් මෙවැනි දේ නැරඹීමේ ක්‍රමවේදයක් මා පහළ පන්ති වල සිටියදී සකසා තිබුණා.

ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ අනෙක් කොටස තනිකරම දේශන ශාලාවක්. විවිධ වැඩමුළු, විෂය සමගාමී දේශන වගේ ම ආරාධිත දෙසුම් වලටත් මෙය යොදා ගත්තා. අන්තර් පාසල්, සමස්ථ ලංකා මට්ටමේ වැඩසටහන් රැසක් අතීතයේ සිට මෙහි පවත්වා තිබෙනවා. මේ දේශන ශාලාවේ ඈත කොනකින් ඇතුළතින් පිවිසුමක් තිබෙන ඉතා කුඩා කාමරයක් තිබුනා. ඒ තමයි 90 දශකයේ මුල පාසලේ පරිඝණකයක් ස්ථාපිත කල පරිඝණක කාමරය. ඒ කාලයේ ඉතාම දුලබ වස්තුවක් වුන මේ මහාර්ඝ යන්ත්‍ර රාජයා ක්‍රියාත්මක වුනේ ඩොස් මෙහෙයුම් පද්ධතියෙන්. තාත්තාගේ පිහිටෙන් දවසක් දෙකක් වගේ ඔය කාමරයට රිංගාගෙන මේක අතපත ගාන්න වගේ ම ඇරෝ කීස් වලින් ඩොස් තිරයේ රටා අඳින්න තරං මම වාසනාවන්ත වුනා. ඒ කාමරයට යාබදව එළියෙන් පිවිසුමක් තිබෙන අනිත් කාමරය තමයි ශිෂ්‍ය භට බාලක මූලස්ථානය. අද පවා එය එලෙසම ඇතැයි මා විශ්වාස කරනවා.

ඊළඟට අමතක කල නොහැකිම කොටස තමයි මේ ගොඩනැගිල්ල නිවාස කොට වැඩවසමින් සිසුන්ට සිය ජීවිතයම කැප කල ගුරු තරු. මුලින්ම මෙහි සමාරම්භක භාරකාරත්වය දැරූ කරුණාදාස මහතා මතක් කල යුතුමයි. දැන් එතුමා අප අතර නැහැ. මේ ශාලාව දෙවොලක් නම් ඒ දෙවොලට අධිගෘහිතව බොහෝ කලක් මුළුල්ලේ වැඩ වාසය කල දේව රාජෝත්තමයාණන් වහන්සේ තමා අපේ සදාදරණීය ආනන්ද පට්ටිආරච්චි ගුරුතුමා. කරුණාදාස මහතාට පසු මෙහි භාරකාරත්වය පැවරුනේ එතුමාට. තාත්තා මාව ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එකට ගෙනත් පාසලේ උගන්වන්නට ගියේ මෙතුමාගේ ආදරණීය රැකවරණය භාරයේ රඳවා. එතුමා ගැන වෙනම පරිච්ඡේදයක් ලියන්නට පුළුවං. කොටින්ම ආනන්ද සර් සහ ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඒ දෙක එතරම් ම එකාත්මීකයි. විශ්‍රාම යන තෙක්ම මේ මධ්‍යස්ථානය ඔහු සිය දරුවෙකු සේ ආදරයෙන් රැක බලා ගත්තා.

පසු කාලීනව මෙතැනට ජනක් කුමාරසිංහ සර් එක් වෙනවා. ඒ ඔහුගේ සමහර පර්යේෂණ සහ ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට මේ නිස්කලංක ඥාණ කෝෂ්ඨාගාරයේ ඉඩ කඩ භාවිතා කිරීමට. මා කලින් කී ඉතා කුඩා පරිඝණක කාමරයේ ඒ යන්ත්‍රය බලා කියා ගනිමින් ක්‍රියාත්මක කරමින් තාක්ෂණික විෂයානුබද්ධ ඉගැන්වීමේ යෙදුණේ අපේ නන්දලාල් වීරසේකර ගුරුතුමා. මේ නන්දලාල් සර් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි ෆීල්ඩ් ස්ටඩි සෙන්ටර් එක බිහි කිරීමේ මූලිකත්වය ගත් අපේ දයාරත්න වීරසේකර සර් ගේ බාල සහෝදරයා. පසුකාලීනව එතුමා පාසලෙ පරිඝණක අධ්‍යාපනයේ මූලිකත්වය හෙබවූ අතර වසර ගණනාවක පටන් පාසල් භූමියේම ස්ථාපිත කර ඇති "හොරණ කලාපීය පරිඝණක සම්පත් මූලස්ථානයේ" මූලිකත්වය හොබවමින් කලාපයේම සිසු පරපුර දනුමින් පෝෂණය කරමින් තවමත් සේවය කරනවා.

පෙර කී පරිඝණක කාමරයට යාබදව තිබුණු අනිත් කාමරයේ පැවති බාලක ශිෂ්‍ය භට කණ්ඩය බාර ආචාර්ය වරයා ලෙස සේවය කල ගුරුතුමා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු ගැන කිව යුතු දේ බොහොමයි. ඒ ගැන වෙනම සටහනක් තැබිය යුතුයි. මේ වන තෙක් මගේ මුළු ජීවිත කාලය තුළ එවන් ගරු කටයුතු ප්‍රතාපවත් ගුරුවරයෙකු හමු වී ඇත්තේ එක අතක ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඔහු 15 වන ජාතික ශිෂ්‍ය භට බලකායේ ප්‍රධාන අණ දෙන නිළධාරී තැන් හෙබවූ, තක්ෂිලාවේ විනය භාර සොඳුරු ආඥාදායකයාණන් වූ ලුතිනන් කර්නල් උපාලි කළුබෝවිල ගුරුතුමා. තවත් එක් අයෙකු ගැන සඳහන් කල යුතුමයි. ඔහු ගුරුවරයෙකු නොවුනත් මේ ගොඩනැගිල්ල ආශ්‍රිතව සිටි අපූරු පුද්ගලයෙක්. ඒ කම්කරුවෙකු වූ කළංසූරියයි. වෙහෙසකර වැඩක නිමාවෙන් පසු ඔහු මේ ගොඩනැගිල්ල පිටුපස කොටස සහ පසුපස තාප්පය අතරතුර ඇති සිමෙන්ති තීරුවේ සුරුට්ටුවක් උරමින් විවේක සුවයෙන් සිටීම සුලබ දසුනක් වුනා.

තක්ෂිලා ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය පිළිබඳ මගේ ආත්මීය මතකය එබඳුයි. එය සැබැවින්ම ඥාණ කෝෂ්ඨාගාරයක්. ස්වභාව කෞතුකාගාරයක්. දැනුම් කේන්ද්‍රයක්. විවිධ විශේෂ පාසල් සංවර්ධන ක්‍රියාවලි සහ නොයෙක් විශේෂ වැඩසටහන් වල සැළසුම් සාකච්ඡා වූ තිඹිරි ගෙය මෙතැනයි. පාසලේ විශේෂ උත්සව සහ සභාවාර වලදී මෙය නිතැතින්ම මෙහෙයුම් මූලස්ථානයක් වූයේ එහි නිරායාසයෙන්ම තිබූ වැදගත් බව නිසයි. මහේශාඛ්‍ය බව නිසයි. එයින් දුටු දේ, ඇසූ දේ සහ උකහා ගත් දෙයින් මගේ ජීවිතය විශාල බලපෑමක් වූ බව මම තරයේ විශ්වාස කරන දෙයක්. ඒ වගේම එය ඇසුරු කල ඇසූ පිරූ ගුරු භවතුන් නිසා එහි ආලෝකය ඉතා දීප්තිමත්ව පාසල එකළු කරමින් විහිදුනා. අද වන විට එය යම් අබලන් තත්වයක පවතින බව දැන ගැනීමට ලැබීම ඉතාම කණගාටුවට කරුණක්. මෙහි ඇති දුර්ලභ නිදර්ෂක, ලිපි ලේඛණ සම්භාරය මෙන්ම මේ පරිශ්‍රයද ජීවිතය මෙන් ආරක්ෂා කර ගත යුත්තේ එහි ඇති අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය වටිනාකම නිසා ම පමණක් නොවේ, එය තක්ෂිලාවේ ආත්මයේ අනුලංඝනීය උරුමයේ මහා ජීවමාන සාක්ෂියක් නිසා. අදත් එය එදා මෙන් ම නිහඬව අරලිය ගස් වියන මැදින් මහා මතක සමුදායක බර දරා නිසලව බලා හිඳී.

(Moditha Sendanayaka is  Senior Executive - Solutions Development at Sandbox)


6 comments:

  1. ගුරුවරගේ එදා සේවය අගය කරගනිමින් එදා
    ගෝලයෙක්ගේ මතක ලියවිලි සටහනක් වී ඇත මෙදා
    ළමාහැමගේ විදු දැණුම් නිති උසස් කරගන්නට සදා
    ඔබතුමාගේ සේවෙ කාගෙත් මනසෙ රජවෙනු ඇත සදා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තුතියි දුමී,
    සේවයට කැප වෙලා වැඩකළ ගෙවුණු කාලය මිහිරියාවකි.
    කවුරු කවුරුත් එකට එක්වී ලැබූ ඉගෙනුම ලබැඳියාවකි
    අලුත් පරපුර පෙරට ගන්නට පරිසරය හොඳ තක්සලාවකි
    අදත් ඒ ගැන සිතා සොම්නස් වන්ට ලැබුමත් වාසනාවකි.

    ඔබට ජයම !

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගෙ පොතක් සම්මාන උළෙලට නිර්දේශිත වීම සතුටකි. සුභ පැතුම්.
      ඔබ තුමාට විවේකී මොහොතක අමතන්න. 0777940772

      Delete
    2. සුබ පැතුමට ස්තුතියි දුමී. ඔබගේ අංකය සටහන් කර ගත්තා. හැකි ඉක්මනින් ඔබ අමතන්නම්.

      Delete