Wednesday, 12 September 2018

‘SMART’ ජංගම දුරකථන භාවිත කිරීමේ උන්මාදයක් තිබේද...... ?


   ව තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් වන ජංගම දුර කථනය අද වනවිට, එදිනෙදා ජීවිතය සඳහා නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්වී තිබේ. ජංගම දුර කථන පහසුකම් වලට මඟ පෑදුනු  විද්‍යාත්මක සංකල්පය වන තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (communication satellites) ලොවට හඳුන්වා දුන්නේ, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින් 1945 වර්ෂයේදීය. මෑතදී මෙලොවින් සමුගත් මෙතුමා ජිවිතයේ අවසාන කාලය ශ්‍රී ලංකාවේ ගතකළේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙසටය.


ආතර් සී. ක්ලාක් මැතිතුමාගේ තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (Information satellites) නමැති නව සංකල්පයට, පහසුවෙන් තේරුම් ගතහැකි විද්‍යාත්මක සිද්ධාන්තයක් පසුබිම් වේ. මේ අනුව පෘථිවි ගෝලය මධ්‍යයේ සිට කිලෝමීටර් 42,164 ක දුරින් පිහිටි නිරක්ෂීය කක්ෂයක නැතහොත් පෘථිවි මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර් 35,787 ඉහලින් අභ්‍යවකාශයේ ඇති කක්ෂයක ස්ථානගත කරනු ලබන චන්ද්‍රිකාවක්, පෘථිවියේ  මතුපිට ඕනෑම ස්ථානයකට ජියාස්ථිතික (geostationary) ලෙස පිහිටයි.





මෙයින් අදහස් කරනුයේ, ඉහත මිනුම් වලට අනුකුලව උඩු ගුවනට යවනු ලබන  කෘතීම චන්ද්‍රිකාව පෘථිවියට ඉහලින් එකම තැනක රැඳී ඇතැයි පෙනෙන සේ කක්ෂ ගත වීමයි. මෙහිදී පෘථිවියේ භ්‍රමණ වේගයට සාපේක්ෂව චන්ද්‍රිකාවද භ්‍රමණය වීම නිසා එහි ජියාස්ථිතික පිහිටීමක් හට ගනී.
    (ඉහත  https://en.wikipedia.org/wiki/File:Geostat.gif link එක බලන්න)

ආතර් සී. ක්ලාක් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින්, තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා ගමන් කළයුතු, මෙම පථය  සොයාගැනීම  නිසා එය Clarke orbitයනුවෙන් නම්කර තිබේ. 1965 ප්‍රියෙල් හය වන දින මුල්ම ජියාස්ථිතික සන්නිවේදන තාක්ෂණ චන්ද්‍රිකාව (geostationary communication satellite) කක්ෂ ගත කර තිබේ. දැනට මෙම කක්ෂයේ තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා තුන් සියයක් පමණ ස්ථානගත කර ඇත.

මෙම නව සොයාගැනීමත් සමග තොරතුරු තාක්ෂණයේ මහත් පෙරළියක් සිදුවි තිබේ. දැනට ලොව පුරා භාවිත වන, එම පෙරළිකාර යෙදවුම් කිහිපයක් මෙසේය:



1.    Navigation - සිතියම් කියවීම මගින් මුහුදු සහ ගොඩබිම් ගමන් මඟ හැසිරවීම - භුමි ස්ථානීය පිහිටුම් පද්ධතිය මෙහි උපාංගයකි  (GPS System)
2.    Communication - සන්නිවේදනය, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික මාධ්‍ය මගින් තොරතුරු යැවීමේ ක්‍රම
3.    Weather - කාලගුණික තත්ත්ව දත්ත මගින් ඇතිවන සිදුවීම් නිරීක්ෂණය සහ පාලනය කිරීම පිණිස පියවර ගැනීම සහ අනාවැකි පළ කිරීම.   
4.    Earth observation - පෘථිවි නිරීක්ෂණ, වනාන්තර, වනජීවීන්, ආපදා ආදිය පිලිබඳ නිරීක්ෂණ  

මෙම දැනුම් සම්භාරයෙන්, සන්නිවේදන ක්‍ෂේත්‍රයේ අංශු මාත්‍රයක් ලෙස ගිණිය හැකි ජංගම දුර කථන භාවිතය පිලිබඳ අදහස් කිහිපයක් සඳහා පමණක් මෙහිලා සිත් යොමු කරවමි.

අද  බොහෝ සන්නිවේදන උපකරණ සහ උපාංග භාවිතයේදී SMART යන වචනය බහුලව භාවිත වේ. මෙම ඉංග්‍රීසි වචනයේ  සාමාන්‍ය භාෂා ව්‍යවහාරය සඳහා  හපන්, බුහුටි. කඩවසම්. කඩිසර, බුද්ධිමත්,  උද්‍යෝගිමත්, කැපීපෙනෙන, සුහුරු යන අදහස් රාශියක් සිංහලට ලබාගත හැකිය. එහෙත් නව සන්නිවේදන ක්‍ෂේත්‍රයේ SMART යන වචනය යෙදෙනුයේ දිගු වැකියක් මුලකුරු මගින් කෙටියෙන් හැඳින්වීම සඳහාය.


 “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තාකිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) යන්න ‘SMART’ ලෙස දැක්වේ. 


එම වැකියේ අර්ථයට අනුකුලව සිංහල භාෂාවෙන්  ‘සුහුරු’ යන වචනය මෙම තාක්ෂණය සඳහා හොඳින්ම ගැලපෙන බව පෙනේ. අද භාවිත වන බොහෝ ජංගම දුරකථන ‘සුහුරු’ (‘SMART’) තාක්ෂණික උපාංග වේ. ‘SMART’ යනු ඉතාමත් බුද්ධිමත්ව හැසිරෙන සහ හැසිරවිය හැකි නව තාක්ෂණයකි.


ලොව පුරා ‘SMART’ විරුදාවලිය ලැබූ මෝටර් රථ, බස්රථ, දුම්රිය, කාර්යාල, පන්ති කාමර, රුපවාහිනි, බැංකු, නගර වැනි විවිධ ස්ථාන  සහ උපකරණ වල එකිනෙකට  අදාළ සන්නිවේදන පහසුකම් සමුහය බැගින්  ස්ථාපනය කර තිබේ. 


උදාහරණයක් වශයෙන් ‘SMART’ බස් රථයක් ගතහොත්, එහි රියැදුරාට තම ආසනයේ සිට, රථය ධාවනය කරමින්,  තම ආයතනය ඇමතීම, මගියෙකුගේ ගෙවුම් පත අලුත් කිරීම, ෆැක්ස් පණිවුඩයක් ලබාගැනීම සහ යැවීම, බස් රථය ඇතුලත ගැන සුපරීක්‍ෂාකාරිවීම වැනි කටයුතු රාශියක් කළ හැකිය. ශ්‍රී ලංකාවේද මීට දින කිහිපයකට පෙර එක්තරා විදුහලක ‘SMART’ පන්ති කාමරයක් විවෘත කළ බවට ප්‍රවෘත්තියක් අසන්නට  ලැබිණ.


‘SMART’  සංකල්පයට අනුකුලව ලොව වැසි සියලු දෙනාටම ‘සුහුරු’ හෝ කඩවසම් විය හැකිනම් එය ඉතා අගනේය. ප්‍රායෝගිකව මෙම සංකල්පයට  අදාළ කරගත හැකි උපාංග රාශියක් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.


‘SMART’  ජංගම දුර කථනය අධ්‍යාපන කටයුතු සඳහා ඉතා හොඳ සහායකයෙකු ලෙස සැලකිය හැකිය. එහෙත් අද අප සමාජයේ බොහෝ අය, මෙයින් නිසි ප්‍රයෝජන ගන්නේද යන්න සැකයකි. සමහරවිට එසේ සිදුවනුයේ ‘SMART’  යන්නෙහි නියම අර්ථය වන . “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තාකිරීමේ තාක්ෂණය” යන්න හරිහැටි අවබෝධ කර නොගැනීම නිසා වන්නට පුළුවන. 


තවමත් බොහෝ දෙනෙකු සිතනවා වියහැක්කේ, එවැනි ජංගම දුරකථනයක් තිබීම තමන් ‘ස්මාර්ට් හෝ කඩවසම්’ ගණයට ගෙන ඒමේ සංකේතයක් ලෙස පිළිගැනෙන බවය. අද නිතර දකින්නට ලැබෙනුයේ විශ්ව විද්‍යාලවල, වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සහ පාසල්වල අධ්‍යාපනය ලබන බොහෝ තරුණ තරුණියන්  ‘SMART’  ජංගම දුරකථන ‘සෙල්ෆි, ගොසිප්, චැට්’ වැනි සම්පප්‍රලාඵ සඳහා යොදාගන්නා බවයි. මෙම විද්‍යාර්ථීන් එවැනි දේ සඳහා නාස්ති කරනුයේ අධ්‍යාපනය සඳහා වැය කළහැකි අගනා කාලය නොවේද? අප තරුණ තරුණියන්ගෙන් කී දෙනකු පර්යේෂණ කටයුතු, නිබන්ධන, පැවරුම්, අධ්‍යාපනික තොරතුරු සෙවීම්, වාර්තා සකස් කිරීම් වැනි කටයුතු  සඳහා ජංගම දුරකථන හෝ අන්තර්ජාලය යොදා ගනිත්ද?  මෙතරම් අග්‍රගණයේ තොරතුරු සපයන උපකරණයක් හුදු විනෝදය සඳහා පමණක් භාවිත කිරීම  කාලය, ශ්‍රමය සහ ධනය නිකරුනේ අපතේ යැවීමකි.  


පසුගිය දිනක පුවත් පතක කියවූ ලිපියකට අනුව ,  ඩේවිඩ් වොන්ග් නමැති අධ්‍යාපනඥයා ප්‍රකාශ කර තිබෙන  
නව තාක්ෂණය දෙවියෙකු හෝ යක්ෂයෙක් වන්නේ මිනිසුන් එය භාවිත කිරීමට තෝරා ගන්නා ආකාරය අනුවය 
යන කියමන මෙහිලා සඳහන් කිරීම වැදගත්ය.

අපගේ තරුණ පරම්පරාවද ‘දෙවියා වෙනුවට යක්ෂයා’ තෝරාගෙන ඇති බව බොහෝ දුරට පැහැදිලි වේ. මෙයට ස්වයං පාලනයක් නොඑළඹෙන තත්ත්වයක්  උද්ගත වන්නේනම් ඒ සඳහා නීතිමය පාලන ක්‍රමවේදයක් සකස් කිරීමට සිදුවේද?  බොහෝ තරුණ තරුණියන් අතර ‘SMART’  උන්මාදයක් හටගෙන ඇත්තේදැයි කෙනෙකු තුළ  සැකයක්ද ඇතිවිය හැකිය.

‘SMART’ වීම අගතියට යන අවස්ථාද නැත්තේ නොවේ. පාසල් පද්ධතියේ මෙවැනි දේ සිදුවන එක් අවස්ථාවක් පෙන්වාදිය හැකිය. 

සිසුනට පරිසරයේ විවිධත්වයට අදාළ සංකල්ප ඉගැන්වීමේදී ‘ස්ථානීය පරිසර අධ්‍යයන’ (on-site environmental studies) යන නමින් හැඳින්වෙන -පරිසරයට පිවිස, ඇසින් දැක, කනින් අසා, නහයෙන් ආඝ්‍රාණය කර, අතින් ස්පර්ශ කර- යම් යම් ස්වාභාවික ක්‍රියා දාමයන් හඳුනා ගැනීම් ආශ්‍රිතව ඉගැන්වීමේ ක්‍රමවේදයක්  ගුරු සිසු දෙපාර්ශවයම අතර බොහෝ ජනප්‍රියවී තිබේ. එහෙත් මෙසේ එළිමහනට ගොස් ආශ්වාදයක්ද භුක්ති විඳිමින්, ලබන ඉගෙනුම වෙනුවට වීඩියෝ දර්ශන වලට පමණක් සීමා වීමේ ප්‍රවණතාවක්ද ඇතිවීගෙන යන බවක් අසන්නට ලැබේ. 

දැන් සිදුවනුයේ වනාන්තරයක අසිරිය පවා පරිගණක තිරයෙන් දැක තොරතුරු සටහන් කර ගැනීමකි. වනාන්තර අධ්‍යයනයකදී, කෙනෙකුගේ සියලුම ඉන්ද්‍රියය වලට හසුකර ගනිමින් ආශ්වාදයක්ද ලබාගත හැකි  ක්‍රියාකාරකම් මගින් ලබන සංවේදීතාවය, ‘SMART’ වීම නිසා ඇසින් ඡායාරූප පමණක් දැකීමට සීමා වුවහොත්, එය ඛේදජනක තත්ත්වයකි. මෙය ගුරු සිසු කාගේත් අවධානයට යොමු විය යුතු කරුණකි.

අධ්‍යාපනයේ පමණක් නොව වෙනත් බොහෝ ක්‍ෂේත්‍ර වලද  ‘SMART’ වීම නිසා මෙවැනි පසුබෑම් සිදුවනු දකින්නට තිබේ. ඒ කෙසේ වෙතත් පොදුවේ ගත්කළ තාක්ෂණික වශයෙන් ‘SMART’ වීම, ප්‍රගතියේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මා කලින් සඳහන් කළ පුවත් පත් ලිපියෙහි ‘SMART’ යන්න පිලිබඳ අවබෝධයක් නොමැතිව වචනයේ අර්ථය පමණක් ගෙන SMART වීමට තැත් කරන බොහෝ තරුණ පිරිස් වල මෙම උන්මාදය ‘සුහුරු කුලප්පුව’ ලෙස නම්කර තිබේ. එම අර්ථ කථනය ඒ ආකාරයටම දැක්වීම යෙහෙකැයි මටද සිතේ. ඇත්තටම එය පාලනය කරගත නොහැකි, චර්යාවක් වී ඇති  නිසා ‘කුලප්පුවක්ම’ වේ.

නුදුරු අනාගතයේදීම තරුණ පරපුර  ‘සුහුරු කුලප්පුව’ නිසා සිදුවිය හැකි ආපදා වලින් බේරා ගැනීම සඳහා මහා විප්ලවයක් කළයුතු බවට මතයක් ගොඩ නැගීමටද කාලය එළඹ තිබේ යයි විශ්වාස කරමි.
මේ ගැන අවධානය යොමු කිරීම කාලෝචිතය.
(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි.)

















4 comments:

  1. අඳුරු වූ මුත් ඈත පෙර දින ලෝකයා සතුටින්මනේ
    නුහුරු නුපුරුදු දෙයක් වූවලු නව දැණුම ඒ පෙර දිනේ
    කවුරු කවුරුත් අතට ආ මේ දුරකතනෙ වැදගත් වුනේ
    සුහුරු දැඟලුම නිසා වරදක් වේවිදෝ ළං ළං දිනේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,

      අඳු රු ලොවකට දැනුම් එළියක් විද්වතුන් සපයා තිබේ
      නුහුරු නුපුරුදු වුවත් ඒවා මගින් නිරතුරු පල ලැබේ.
      කවුරු කීවත් නොපිළිගන්නා අගතියට වැටෙනා ඉබේ
      'සුහුරු දැඟලුම' තිබෙන අයහට තැනක් නැති වෙනවා සබේ

      ඔබට ජයම !!

      Delete
  2. වටින ලිපියක්. දුරකථනය ස්මාර්ට් වුනාට මදි. පාවිච්චි කරන්නා ස්මාර්ට් නොවී. ස්මාර්ට් දුරකථනයක් පාවිච්චි කරන ස්මාර්ට් නැති පුද්ගලයා එය ඔන්ලයින් ගේම්ස්, පුද්ගල සම්බන්ධතා සඳහා පමණක් භාවිතා කරනවා. ඒත් ස්මාර්ට් පුද්ගලයෙකුට පුළුවන් බොහෝ දේවල් ඉගෙනගන්න, උපාධි සහ සුදුසුකම් අත්කරගන්න, තමන්ගේ සහ අනෙක් අයගේ ජීවිත පහසු කරන්න දේවල් කරන්න, වගේ දේවල්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      'SMART' යන කෙටි යෙදුම ගැන අවබෝධයක් නොමැති නිසා මේ වචනයේ සාමාන්‍ය අර්ථය ගැන පමණක් සිතා එය සැහැල්ලුවට ගෙන කටයුතු කිරීම මේ ව්‍යසනයට මුල බවයි මගේ හැඟීම. එම කෙටි යෙදුමේ ඇති ගැඹුරු අර්ථය හරිහැටි තේරුම් ගත් අය එම තාක්ෂණයේ නියම ප්‍රයෝජනය ගන්නවා.

      Delete