මම අටවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ අපගේ
පන්ති භාරව සිටි ගුරු මහතා අපගේ ඉංග්‍රීසි ගුරුවරයාද විය. ටයි කෝට් හැඳ හිසට තොප්පියක්ද
පැළඳ, පාසලට එන, තරමක්
තරබාරු ඔහු, අප විසින් රහසින් හඳුන්වනු
ලැබුවේ, Mr. Bumble යන නමින්ය. මේ නම
පටබැඳුනේ ඔහු Oliver Twist පොතෙහි එන අනාථ
නිවාස පාලකයා මෙන් තරබාරු සිරුරක් සහිත වූ නිසාය. පොතෙහි Mr. Bumble මෙන් නොව, මේ ගුරු තුමා ඉතාමත්
කාරුණික, ශිෂ්‍යයින් වෙනුවෙන් ඉතාමත් කැපවීමකින් වැඩකළ ආදර්ශමත් ගුරුවරයෙකු විය.
එතුමා ඉංග්‍රීසි භාෂාවේ වචනවල අක්ෂර වින්‍යාසය
(spelling) ගැන විශේෂ සැකිල්ලක් දැක්වූ කෙනෙකි. අපගේ ඉංග්‍රීසි රචනා වල
spelling වැරද්දක් තිබුණහොත් ඒ ගැන වහා ක්‍රියාත්මක
වන ගුරුතුමා, එම වචනය නිවැරදි ලෙස දසවරක්,
අප ලවා කළු ලෑල්ලේ ලියවීමට පුරුදුව සිටියේය.
සමහරවිට පාසල් කාලයේදී ඔබටත් ඉංග්‍රීසි පාඩම්
වලදී වචන වල spelling වැරදුණු අවස්ථා
කොතෙකුත් තිබෙන්නට ඇත.
මගේ පන්තියේ සිටි, හිතවත් මිතුරෙකු වූ
පියසිරි spelling ගැන වැඩි උනන්දුවක් නොදැක්වූ අතර ඔහු තරමක් දඟකාරී කෙනක්ද විය.
එක් වතාවක, පියසිරිට තම රචනාවක ‘habit’ යන
වචනය ‘habbit’ ලෙස වැරදියට ලියා තිබී, එයට දඬුවම වශයෙන්, පන්තිය ඉදිරියට පැමිණ හරි වචනය කලුලෑල්ලේ දසවරක් ලිවීමට සිදුවිය.
ඊළඟ සතියේ රචනාවකද, ඔහු එම වැරද්දම කර තිබෙන
බව ගරුතුමාට දකින්නට ලැබිණ. එකම වැරැද්ද
දෙවරක් කිරීම ගැන දොස් පැවරූ ගුරුතුමා, පියසිරි පන්තිය ඉදිරියට කැඳවා ඔහුගේ අභ්‍යාස
පොතෙහි ‘habit’ යන වචනය ලියාදී දඬුවමක් වශයෙන් එම වචනය එවලේම සිය වරක් පිටපත් කරන ලෙසද අණ කළේය. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත ‘habit’ වචනයේ
තිබෙනුයේ එක් ‘b’ අකුරක් බව වැඩිදුරටත් අවධාරණය කිරීම සඳහා ගුරුතුමා විසින්
වචනයේ තනි ‘b’ අකුර කැපිටල් කර. ‘haBit’ යන ලෙසට ලියා දී තිබුණි.
දඟකාර පියසිරිද, එම වචනය ගුරුවරයා විසින්
ලියා දුන් ආකාරයටම මැද කැපිටල් ‘B’ අක්ෂරය සහිතව ‘haBit’ යනුවෙන් සිය වරක් ලියා
අභ්‍යාස පොත ගුරු මේසය මත තැබුවේය.
අභ්‍යාස පොත නැවත කියවා බැලූ ගුරු තුමා, මහ
හඬින් සිනාසී, පියසිරි පන්තිය ඉදිරියට කැඳවා ‘You are a witty rascal’ කියා ඔහුගේ
පිටට තට්ටු කර සිද්ධිය පන්තියට පැහැදිලි කළේය. මෙය දැනගත් අපි කවුරුත් තුෂ්ණිම්භුතව
බලා සිටියෙමු.
ඊටපසු පන්තිය ඇමතු ගුරුතුමා, ඉංග්‍රීසි
භාෂාවේ කැපිටල් සහ සිම්පල් අකුරු නිවැරදි භාවිතය පිළිබඳව ඉතා අගනා පාඩමක් කියා
දුන්නේය. එම පාඩම මට අදත් හොඳින් මතකයේ තිබේ.
මෙම සිද්ධියට කෙලින්ම සම්බන්ධ නැතත්, ඉංග්‍රීසි
භාෂාවේ වචන කියවීමේදී spelling අවශ්‍යමද
යන කරුණ පිළිබඳව පහත සඳහන් සටහන ගැන සිත් යොමු කිරීම ඔබට භාර කරමි.
මිනිසා ලිවීම සහ කියවීම පටන් ගන්නට ඇත්තේ
ශිෂ්ටාචාරයේ කුමන අවදියේ සිටද?
මේ ගැන විවිධ මති මතාන්තර තිබෙන බව පෙනේ. ආදී
මිනිසා තම මුඛයේ දත්, දිව, උඩු තල්ල, තොල් සහ ස්වරාලය ආශ්‍රිතව නිපදවා ගන්නා ශබ්ද, වචන වලට
හරවා පිටකිරීම, භාෂා උපත විය හැකි බව බොහෝ වාග් විද්‍යාඥන්ගේ මතයයි. අන්තර්ජාලයේ Wikipedia තොරතුරු වලට අනුව භාෂාව, කථනය සහ ලිවීම මානව පරිණාමයත්
සමග හැඩගැසී කාලාන්තරයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැගී ඇති බව පෙනේ. https://en.wikipedia.org/wiki/Main_Page
පරිණාමයේදී වඳුරා, වානරයා සහ ප්‍රාග්
ඓතිහාසික මිනිසා ඇතුළු වෙනත් සත්ත්ව කොට්ඨාස කිහිපයක්ම තම වර්ගයා සමග සන්නිවේදනය
පිණිස විවිධ ශබ්ද භාවිත කර තිබේ.මෙහිදී සුවිශේෂී ලක්ෂණයක් වී ඇත්තේ, වඳුරන් සහ
වානරයින් ශබ්ද නිපදවීම සඳහා දිව භාවිත කර නොමැති අතර, ආදිම මිනිසා ශබ්ද කිරීමේදී
දිව ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. විද්‍යාත්මක වර්ගීකරණයේදී Homo යන ගණ නාමයෙන් හැඳින්වෙන
ආදී මිනිසා, තම මුඛයේ දිව, තොල් සහ අනිකුත් චලනය කළ හැකි ව්‍යුහයන් සමායෝජනය කර
නිපදවන ශබ්ද කථනය සඳහා උපකාරී වන්නට ඇතැයි මතයක් තිබේ. කථනය මගින් අදහස් හුවමාරු
කරගැනීම පහසු වූ අතර, පසු කලකදී යම් යම් සංකේත හැඩතල සහ රූප ඇඳීම මගින් ලිවීම
ආරම්භ වී තිබේ.
පරිණාමයේදී ලබා ඇති මෙම ජයග්‍රහණය කුමන
වකවානුවකදී සිදුවී ඇතිදැයි තීරණය කිරීමට ප්‍රබල සාක්ෂි නොමැත. එසේ වුවත් ලැබී ඇති
තොරතුරු විශ්ලේෂණය කිරීමෙන්, වසර මිලියන හයක් සහ අටක් අතර පෙර කාලයේදී සිටි
Primate වර්ගයේ වානරයෙකු වැනි සත්ත්වයෙකු,
වානරයින් සහ ආදී මිනිසා අතර පොදු මුතුන් මිත්තා වන්නට ඇතැයි විශ්වාසයක් පවතී. මෙම
ආදී මුතුන් මිත්තාගෙන්, විකසන රේඛා දෙකක් ඔස්සේ පරිණාමය සිදුවන්නට ඇතැයි හේතු
දක්වා තිබේ. මෙසේ වෙන්ව සිදුවූ රේඛීය පරිණාම
දෙකෙන් එකක භාෂා හෝ කථන හැකියාව වර්ධනය වී ඇති අතර අනිකෙහි එවැන්නක් සිදුවී නොමැත.
මෙම හැකියාව ලද්දෝ ආදිම Homo මානවයින් වූහ. මානව රේඛාවේ විකසනය වූවන්ට ඒ මග යාම සඳහා,
අභියෝග රාශියක් ජය ගැනීමට සිදුවිය. ඔවුනට සිරස්ව දෙපයින් ඇවිදීම, පූර්ව ගාත්‍ර අත්
ලෙස භාවිතය, අල්ලා ගැනීම සඳහා අතේ ඇඟිලි හුරුකර ගැනීම, සිරස් ශරීරය ඍජුව තබාගැනීම
යනාදී කාර්යයන් රාශියක් සඳහා සුරුවිරුකම් අවශ්‍ය විය. ඒ සමගම කථනය මගින් අදහස්
හුවමාරු කර ගැනීමද අවශ්‍ය විය. මේ සියල්ල සඳහා වසර මිලියන ගණනක් ගතවී තිබේ. කථනය
සංවර්ධනය වීමත් සමගම, එයට සමාන්තරව ලිවිම
සහ කියවීමද ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
වානර ප්‍රතිරූපයෙන් බෙදී ගිය දෙවන කොටස වානර
ස්වරුපයෙන්ම තම සුපුරුදු පරිසරයට අදාළ අනුවර්තන තවදුරටත් සකසා ගනිමින් වානරයින්
ලෙසටම පරිණාමය වී තිබේ. අදටත් දකින්නට ලැබෙන වානර වර්ග මෙම මගෙහි පරිණාමය වූ ප්‍රයිමේටයෝ
වෙති.
දිගු කාලාන්තරයක් ඔස්සේ පරීණාමය වෙමින් කථනය,
භාෂාව, ලිවීම වැනි කාර්යයන් ප්‍රගුණ කළ වර්තමාන මිනිසා Homo sapiens ලෙස නම් කෙරේ.
වසර ලක්ෂ ගණනාවක පරිණාමයෙන් පසු දෙපයින් හිට
ගැනීමට වරම් ලත් මානවයාගේ මොළයද ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී ඔහුට චින්තන හැකියාව
ලැබිණ. ඒ සමගම ගින්දර සොයා ගැනීම, මෙවලම් සහ ආයුධ භාවිතය, සමාජ ව්‍යුහය සකස්වීම,
සංස්කෘතියක් නිර්මාණය වීම යන සාධක නිසාද කථනය, භාෂාව සහ ලිවීමේ හැකියාව වැඩිදියුණු විය. අද පවතින තත්ත්වයේ
දියුණු භාෂා ව්‍යාප්ත වීම ආරම්භ වුයේ දැනට වසර හාරදහසකට පමණ පෙර සිටය.
වසර මිලියන තුන හතරක් තිස්සේ සිදුවූ ඒ මහා ප්‍රාතිහාර්යය
නිසා වත්මන් මිනිසා මොළය වෙහෙසා වැඩකරන, ප්‍රබල චින්තන ශක්තියක් සහිත, ස්වාභාවික සංසිද්ධි හඳුනාගත්, තාක්ෂණය
මෙහෙයවන, සමාජශීලී ජීවියෙකු බවට පත්වී තිබේ.
පරිණාමය වන මානවයාට භාෂාව අවශ්‍ය වනුයේ අදහස්
හුවමාරු කර ගැනීම සඳහාය. සමාජශීලී මානවයාට, භාෂාව, දිවි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය
සාධකයක් බවට පත්විය.
අද ලෝකයේ රටවල් 196 ක් තිබේ. මෙම රටවල භාවිත
වන විවිධ භාෂා 6500 ක් පමණ ඇත. මෙයින් භාෂා 4500 කට පමණ අකුරු ලිවීමේ හෝඩි ක්‍රමයක්
තිබේ. අද ලෝකයේ බහුලම වශයෙන් භාවිත වන භාෂා කිහිපයක් අනුපිළිවෙලට මෙසේය. චීන,
ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, අරාබි ආදී වශයෙනි.
භාෂා ව්‍යවහාරයේදී වචනවල අකුරු හරිහැටි
භාවිතය හෝ අක්ෂර වින්‍යාසය (spelling) පිලිබඳව තදබල නීති රීති ආදේශ කරගෙන තිබේ. බොහෝවිට වචනයක අකුරු, වැරදි ආකාරයකට සටහන් වුවහොත් එම වචනයේ අර්ථයද වෙනස් විය හැකිය.
මෙසේ වුවත් යම්කිසි පාඨයක් කියවීමේදී අකුරු
අනු පිළිවෙලට තිබීම වැදගත් වේද යන්න
පිළිබඳව භාෂා විශේෂඥන් විසින් විවිධ පර්යේෂණ කර තිබේ. මෙසේ කර ඇති එක් පරීක්ෂණයක්
මෙහිලා සලකා බලමු.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීත් රේනර් නම්
මනෝවිද්‍යාව පිලිබඳ මහාචාර්යවරයාගේ පර්යේෂණයකට අනුව වචනයක් කියවීමේදී එහි මුල් අකුර සහ අග අකුර ප්‍රමාණවත්
යයි උපකල්පනයක් ගොඩ නගා තිබේ. මෙය ඔබට කෙතරම් දුරට ගැලපේදැයි පහත දැක්වෙන සරල ඉංග්‍රීසි
පාඨය කියවීමෙන් හඳුනා ගත හැකිය.
මෙය කියවීමට උත්සාහ ගන්න
වචනවල අකුරු මිශ්‍ර කර ඇති පාඨය
දැන් ඔබගේ ප්‍රතිචාරය කෙසේද? කියවීම සඳහා
වචනයක අක්ෂර වින්‍යාසය අවශ්‍යමද? ඔබට ඉහත පාඨය කියවීමට හැකි වූවානම් ඔබගේ තීරණය
වනුයේ කියවීම සඳහා අක්ෂර වින්‍යාසය අවශ්‍ය නැත යන්නයි. එහෙත් ඔබට ඉහත පාඨය කියවීමට නොහැකි නම් කියවීම සඳහා අක්ෂර
වින්‍යාසය අවශ්‍ය බව ඔබගේ තීරණය විය හැකිය.
දැන් එහි අක්ෂර වින්‍යාසය හරි පිළිවෙලට ඇති පහත
දැක්වෙන පාඨය කියවා බලන්න.
වචන වල අකුරු නිසි පිළිවෙලට
ඇති එම පාඨය
පුදුම සහගත සංසිද්ධියක් නොවේද? ඉහත අක්ෂර වින්‍යාසය රහිත පාඨය කෙරෙහි
විමසිලිමත් වීමේදී, එහි අකුරු තුනකට වඩා ඇති සෑම වචනයකම, මුල් අකුර සහ අග අකුර
නියමිත පිළිවෙලට ඇති බව දකින්නට ලැබේ. මේ නිසා මෙම පාඨය කියවිය හැකි අය වචන
කියවනුයේ එහි මුල් අකුර සහ අග අකුර පමණක් ගැන සිතා බලා බව පැහැදිලි වේ.
උදාහරණයක් වශයෙන් ‘understand’ යන වචනය
ගනිමු. එය මුල් පාඨයේ තිබෙනුයේ ‘uesdnatnrd’
යන ආකාරයටය. එහෙත් සෑහෙන පිරිසකට මුළු පාඨයම කියවන විට එය කියවා තේරුම් ගත හැකිය. කියවන්නා, එම වචනයේ පළමු ‘u’ අකුර සහ අවසාන ‘d’ අකුර හඳුනාගෙන,
ඉතිරි අකුරු අට ඉතා ඉක්මනින් මනසේ සැකසුම් කර කියවා ගනියි.
එය මනස ක්‍රියාකරනු ලබන ආශ්චර්යාත්මක ආකාරය
වේ. අපගේ මනසෙහි, කියවීම සඳහා වචන සැකසීම
සිදුවනුයේ අදාල වචනයේ මුල් අකුර සහ අග
අකුර පමණක් සැලකිල්ලට ගෙන බව මෙයින් පැහැදිලි වේ.
මිනිස් ගහණයෙන් සියයට පනස් පහකට මෙම හැකියාව
තිබෙන බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයෝ අනාවරණය කරගෙන තිබේ.
රේනර් මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් කරන
ලද පර්යේෂණයකදී ඔහුගේ ශිෂ්‍යයින් දෙසියයක
පමණ කණ්ඩායමකට ඉහත ආකාරයට වින්‍යාසය වෙනස් කරන ලද වාක්‍ය අසූවක් කියවීම සඳහා දෙන
ලදී. සහභාගී වූ බොහෝ අයට අක්ෂර වින්‍යාසය
වෙනස් කරන ලද වාක්‍ය කියවීමේ වේගය අඩුවී තිබේ.
එම ශිෂ්‍යයින්ට මිනිත්තුවකදී, අක්ෂර වින්‍යාසය නිවැරදි වාක්‍ය
වල වචන 255 ක් කියවීමට හැකිවූ අතර, අක්ෂර වින්‍යාසය වෙනස් කළ වාක්‍ය වල වචන 227 ක්
පමණක් මිනිත්තුවකදී, කියවීමට හැකිවී තිබේ.
මේ අනුව කියවීමේ වේගය අඩුවී තිබෙන්නේ 12%
කින් පමණ බව හෙළිවී ඇත.
ඔබටත් වේගයෙන් පොත් පත් කියවිය හැකි නම් ඔබද ඉහත පළමු ගණයට වැටෙන කෙනෙක් විය හැකිය.
අපගේ මනසෙහි ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ මෙම සංසිද්ධිය ඔබම අත්හදා බලන්න.
ආශ්‍රීත ලිපි ලේඛන:
මටනං අවුලක් නැතුව පලවෙනි ඡේදෙ කියවගන්න පුලුවන් උනා. කාලෙකට කලිනුත් මේ අග මුල අකුරු ගැන විස්තරයක් මම කොහෙදි හරි කියෝල තියෙනව.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න,
Deleteපාසැල් සිද්ධිය මතක් කළේ, අප කාටත් ඒ කාලයේ සිටි ගුරුවරු සෑම දෙයක්ම හරියාකාර ලෙස ඉගෙන ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කළ බව සිහි කිරීමටයි. ඇත්තටම spelling වැරදුනු වචනයක් දහවරක් කළුලෑල්ලේ ලිවිම දඬුවමක්ම නොවෙයි. එය 'ක්‍රියාවෙන් අවබෝධය' නමින් හඳුන්වන අධ්‍යාපන සංකල්පයේ ඉතාමත් සරල අවස්ථාවක්.
අප කවුරුත් පොත පත කියවන විට නොදැනුවත්වම වාගේ අනුගමනය කරන්නේ මේ ක්‍රමවේදයයි. Scrabble වැනි word game එකකදිත් මනස මේ ආකාරයට ක්‍රියා කරනවා.
මටත් කියවෙන්නේ වචන, වෙන් වෙන් අකුරු නෙමෙයි. එනිසා ඔය jumbled up වචන කියවන්න පුලුවන් ඉක්මනට. ඒත් උඩ සිට පහලට වචනයක් ලිව්වාම මට කියවන්න වෙලා යනවා , ඒ කියවෙන්නේ එක් අකුර බැගින් නිසා
ReplyDeleteස්තුතියි Pra Jay,
Deleteඅප කුඩා කළ සිටම තිරස්ව ඇති වචන කියවා පුහුණුව ලබා ඇති නිසාත්, වම් පැත්තේ සිට දකුණට කියවන නිසාත් වචනයක මුල් සහ අග අකුරු පමණක් කියවා මනසින් වචනය සකස් කිරීමට හැකියවක් ලබා තිබෙනවා, සමහර විට දකුණේ සිට වමට කියවන භාෂා වලත් මේ සංසිද්ධිය මේ ආකාරයටම ඇති. වචනයක අකුරු උඩ සිට පහලට ලියා ඇතිවිට මනසට එක වරටම එය හඳුනාගැනීමට නොහැකි විය හැකියි. මෙය තව දුරටත් කරුණු සෙවිය හැකි මාතෘකාවක්.
වාක්‍යයම එක සැරේ කියවන නිසා කිසිම අවුලක් නැතිව කියවාගන්න පුළුවනි.
ReplyDeleteස්තුතියි හැලප මල්ලි,
Deleteවාක්‍යයම එක සැරේ කියවෙන්නෙත්, එක් එක් වචනය සකස් වීමෙන් පසුව විය හැකියි. කොහොම වෙතත් අප භාවිත කරන සිංහල, ඉංග්‍රීසි වගේ භාෂාවල වම සිට දකුණට කියවන නිසා අපේ මනස ඒ ආකාරයට අනුවර්තනය වී ඇති බවයි පෙනෙන්නේ. අරාබි වැනි වෙනත් ආකාරයට ලියන සහ කියවන භාෂාවක් භාවිත කරන අයගෙනුත් මේ ගැන තොරතුරු සොයා ගන්නට ලැබුනොත් හරි අගෙයි.
++++++
ReplyDeleteස්තුතියි ඉයන්.
Deleteසැමදා අගේ ලිපි ලියනා බව දනිමී
ReplyDeleteලියනා ලිපිද නිතරම මම රස විඳිමී
විදු දැණුමක්ද එමගින් මම ලබා ගමී
නුඹේ නිහතමානි කමට ගරු කරමී.....
ජයවේවා!!!
ස්තුතියි දුමී,
ReplyDeleteපොතපත නිරතුරුව මගෙ ඇසුරට ගනිමී
විදු දැනුමෙන් බොහෝ දේ විනිවිද දකිමී
හැකි සැම විටම දන්නා දේවල් ලියමී
තව තව අලුත් දේ ගැන නිතරම සොයමී
ඔබට ජයම!
මේ ගැන කලින් ඉන්ටර්නෙට් එකේ දැකල කියවල තියෙනවා. වැඩි අපහසුවකින් තොරව කියවන්න නම් පුළුවන්.
ReplyDeleteතව කාලයක් යද්දී දැනට ජනප්‍රිය වෙමින් යන කෙටි කරගත් වචන (bro,2moro,OMG) නිසා මේ අකුරු පිළිවෙල කොහෙත්ම වැදගත් නැති වෙන්න ඉඩ තියෙනවා කියල මට හිතෙනවා. අවුරුදු 10-15 වයසේ ඉන්න ළමයි දැන් sms/චැට් වලදී සම්පුර්ණ ඉංග්‍රීසි වචන එහෙම බාවිතා කරන්නෙම නැති තරම්. ඔවුන් ටක් ටක් ගාල කෙටි කරගත් වචන වලින් කතා කරනවා. නමුත් මට එහෙම කෙටි වචන බාවිතා කරන එක නිකන් නුහුරු ගතියක් තියෙනවා. ස්පෙලින් නිවැරදි වීම කෙසේ වෙතත් දැන් තියෙන වචන අලුත්ම විදියකට ලියවෙන කාලයක් ඉස්සරහට එයි කියලත් හිතෙනවා.
ස්තුතියි පැතුම්,
Deleteඔබත් මේ ආකාරයට කියවිය හැකි සියයට 55 කොටසට වැටෙනවා. විශේෂයෙන්ම පොත් පත් කියවන විට අප නොදැනුවත්වම කියවන්නේ මේ ආකාරයටයි.
අලුත් පරම්පරාව නව තාක්ෂණය හඹා යන ආකාරයට අනාගතයේදී කුමකින් කුමක් වේදෝයි කියන්නට බැහැ. දැන් පොත් කියවීමේ ප්‍රතිශතය අඩුයි. ඒ වගේම පෑනක් පැන්සලක් භාවිත කර ලියන අයත් අඩුයි. අපට උනත් ලියනවාට වඩා කොම්පියුටරයේ කොටන එක පහසු වගෙයි තේරෙන්නේ. දැන් දැන් කැල්කියුලේටර් පාවිච්චිය නිසා මනෝමයෙන් සරල එකතුකිරීම් අඩුකිරීම් වත් කරන්නට නොහැකි අය බොහෝ සිටිනවා.
රසවත් ලිපියක්. පළමු ඡේදය කියෙව්වා. Spelling වැරද්දුවම ගුරුතුමිය අපි පුටු උඩ නංගුව . නමුත් spelling හරියට ලියන්න ඉගෙන ගත්තා .සිංහල අක්ෂර වින්‍යාස හරිම අමාරුයි. න ,ණ ,ල,ළ වරදිනවා . මගේ කියවීම හරිම වේගවත්. උත්තර පත්‍ර ලකුණු කිරීමේදී ද කියවීම වේගවත් වීම හරිම වැදගත්.
ReplyDeleteස්තුතියි මාලිනි.
Deleteඔබත් එහි කියා තිබෙන සියයට 35 ට අයත් වෙනවා. බොහෝ දෙනෙක් නොදැනුවත්වම මේ ක්‍රමය අනුගමනය කරනවා.
විභාග උත්තර පත්‍ර ලකුණු කිරීමේදී අපි වසර ගණනාවක්ම මෙය නිරායාසයෙන්ම කර තිබෙනවා. අසාමාන්‍ය වේගයකින් පොත් පත් කියවීමට මටත් හැකියාව තිබෙනවා.