Wednesday, 31 May 2017

ගල්ලෑල්ල සහ ගල්කුරේ සිට, ‘අයි-පෑඩය’(i-pad) දක්වා ලිවීමේ මෙවලම් විකාශණය වීම ......

මෙය තරමක් අතීතයට යාමකි. ආරම්භය 40 දශකයේ මැද කාලයේය. කාල පරාසය දශක හතක් පමණ වේ.

අපි කුඩා කාලයේ වයස අවුරුදු තුන හතර වන විට පාසල් යාමට අවස්ථාව සැලසිණ. දරුවෙකු මුලින්ම යනුයේ හෝඩිය පන්තියටය. ඊට පසු පහළ බාලාංශය සහ ඉහල බාලාංශය පන්ති තිබේ. හෝඩි පන්තියේදීත්. බාලාංශ පන්ති වලදීත් ලිවීම සඳහා භාවිත කළේ ගල්ලෑල්ල සහ ගල්කුරය. දැන් මේ පාසල් උපකරණ ඇතොත් ඒවා කෞතුක භාණ්ඩ ලෙස සැලකිය හැකිය. ගල්ලෑල්ල කළු සිමෙන්තියෙන් හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදන ලද ඔප දැමූ තුනී තහඩුවකි. මෙය මත හීන් දිගටි ගල් කුරෙන් පැහැදිලිව ලිවිය හැකිය. පළමුවෙන්ම හෝඩි පන්තියට ගියදා, විදුහල්පතිනිය (ඒ කාළේ ලොකු ඉස්කෝලේ හාමිනේ) මා උකුලට ගෙන ගල් කුර දකුණු අතට දී ඇයගේ අතින් මගේ අත අල්ලා ගෙන ගල්ලෑල්ල පුරාම ‘අ’යන්න ලියවූ හැටි මට තවමත් මතකය.

අවුරුද්ද මුලදී පන්ති භාර ගුරුතුමිය අලුතින් පන්තියට එන  දරුවන්ගේ ගල්ලෑලි වල, රූල් ගසා දීමද කරදෙනු ලැබේ. මේ සඳහා මිට ගැසූ ඇණයක් වැනි දිග කටුවක් ඇයගේ බෑගයේ තිබේ. ගල්ලැල්ලේ එක පැත්තක දික් රූල් ගසන අතර අනික්‌ පැත්තේ කොටු රූල් ගැසීම සිරිතය. ගල්ලෑල්ලට ලීයෙන් කළ කුඩා රාමුවක්ද තිබේ. ඒ කාලයේ සතියකට දෙකකට වරක් ගල්ලෑල්ල හොඳින් අඟුරු වලින් මැද සෝදා ගත යුතුය. එසේ කළ විට ඔතුපිට ඇති තෙල් ගතිය පහව යයි. එහි රාමුව පිරිසිදු කිරීම සඳහා ‘කොරස’ කොළ භාවිත කළෙමු. බොහෝ දිනවල පන්තියේ ගණන් සෑදීම, කියවන විට ලිවීම වැනි අවස්ථා වලදී  පන්තිය වටේ රවුමක දෙදෙනා බැගින් මුහුණට මුහුණ ලා සිටගෙන වැඩ කිරීම අපි අතිශයින් ප්‍රිය කළෙමු. අපගේ හෝඩි පොත වුයේ ශික්ෂා මාර්ගය හෝ ශික්ෂාවතාරයයි. කුමාරොදය එළිදක්වන ලද්දේ මෑත කාලයේදීය. අප ළඟ තිබුණු ගල්ලැල්ලේ විශාල ආකෘතිය පන්තිය ඉදිරිපිට තිබෙන කළු ලෑල්ලයි. ඒ මත ලියන්නේ රටහුණු වලිනි. (ඒ කාලයේ ගම් වල සිටි වින්නඹු මාතාවන් තමන් ආ ගිය තැන් ලකුණු කළේද කාමරයෙන් පිටත එල්ලා තිබුණු ගල්ලැල්ලකය.)

ඉහල බාලාංශයට පසු එන දෙවෙනි පන්තියේදීත් ලියන්නේ  ගල්ලැල්ලේ මය. තුන්වන පන්තියේදී අභ්‍යාස පොත්වල තීන්තෙන් ලිවීම හුරු කෙරේ. මෙය ගූරු මහත්මියට පැවරෙන බැරෑරුම් කාර්යයකි. ලිවීම සඳහා ගන්නේ ‘කටු පෑන’කි. දිග මිටක් සහිත පෑනෙහි ලියන අග්‍රයේ පෑන් තලයකි. පෑන් තළය තීන්ත කුප්පියේ ඔබා අභ්‍යාස පොතේ අකුරු ලිවිම ඉතා අමාරු වැඩකි. අතෙහි සහ පොතෙහි තීන්ත වැගිරෙන අවස්ථා එමටය. ලිවීම සඳහා පෑන් තල දෙවර්ගයක් විය. ඒවා ‘ජී’(G) පෑන් තල සහ ‘කටු’ පෑන් තල විය. ‘ජී’ පෑන් තල තුඩ තරමක් කෙටි වූ අතර  ‘කටු’ පෑන් තලයේ තුඩ දිග ටිය. සතියක් දෙකක් පමණ පුරුදුවූ පසු ලිවීම කළහැකි වේ.  ඒ කාලයේ දරුවන්ගේ අත් අකුරු ලස්සන වීම සඳහා කටු පෑනෙන් ලිවිය යුතුය, යන මතයක්ද විය. අපට තුන්වන පන්තියේ සිට ඉංග්‍රීසිද ඉගෙනීමට අවස්ථාව ලැබිණ  ‘රෝයල් ක්‍රවුන් කොපි බුක්’* වල කටු පෑනෙන් ලිවිම පටන් ගන්නා ලදී. පසුව ඩබල් රූල් අභ්‍යාස පොත්ද සකස් විය.

කටු පෑනෙන් ලිවීම සඳහා ‘තීන්ත කුඩුව’ක් අවශ්‍ය විය. තීන්ත දමන කුඩා බෝතලය ‘තීන්ත කුඩුව’ ලෙස නම් කළේ මන්දැයි මම තවමත් නොදනිමි. අප අසනීප වූ විට බෙහෙත් ගැනීමට යන ගමේ ඩිස්පෙන්සරියේ සිටි දොස්තර මහතාගේ මේසය මත නිල් සහ රතු තීන්ත සහිත එකට ඈඳූ කුඩා බෝතල දෙකක් විය. සමහර විට   තීන්ත කුඩුව මෙය විය හැකිය. ඔහු බෙහෙත් තුන්ඩු ලිව්වේද කටු පෑනෙණි. අප පාසලට ගෙනයන තීන්ත කුඩුව හරිම අවහිරයකි. අතේම ගෙනයන තීන්ත කුඩුව සෙලවී තීන්ත අතපුරා සහ ඇඳුම් වලත් තැවරේ. මෙයට පිළියමක් ලෙස, ඉහල පන්ති වල සිටි ලොකු අක්කලා අපට උපදෙස් දී තිබුණේ තීන්ත කුඩුවට තුත්තිරි ගසක් දමන ලෙසටය.

තීන්ත කුප්පි කඩවල විකිණීමට තිබුණි. ‘ස්වෝන්’ (Swan) සහ ‘කුවීඉන්ක්’   (Qu ink) මිලදී ගතහැකි තීන්ත වර්ග විය. මෙයින් ‘කුවීඉන්ක්’ නිල්. කලු, කලුනිල් සහ රතු පාට වලින් ලබා ගත හැකි විය. කලාතුරකින් කොළ පැහැයද තිබුණි. පාසල්වල තිබුණු ඩෙස්කු වලද තීන්ත කුප්පිය නොසෙල්වී තැබීම සඳහා සකස් කරන ලද රඳවණයක්ද තිබුණි. 
    
ඒ කාලයේ  පොත්වල ලියන ලද අභ්‍යාස ලකුණු කරණුයේ රතු පැන්සල කිනි. ගුරුතුමිය රතු පැන්සලයෙන් ‘හොඳයි’ කියා ලියා ඇති වාර ගණන ගණන් කිරීමට අපි පුරුදුව් සිටියෙමු. මේ අතරතුර සමහර  ලිවීම් සඳහා පැන්සලද පාවිච්චි කිරීමට සිදුවිය.

තීන්ත පුරවා ලිවීමට ගන්නා ‘ෆවුන්ටන්’(Fountain) පෑන් මේ කාලයේ ඉතා දුර්ලභය. මම හතර පන්තියේ පළමුවෙනියා වීම නිසා අපේ බාප්පා කෙනෙකු වන පියරතන හාමුදුරුවෝ මට ‘ෆවුන්ටන්’ පෑනක් තෑගී කළහ. එය ‘බ්ලැක් බර්ඩ්’ (Black bird) පෑනකි. එය මුලින්ම පන්තියට ගෙනගිය දවසේ මට ලොකු ආඩම්බරයක් ඇතිවිය. පන්තියේ ‘ෆවුන්ටන්’ පෑනක් තිබුණේ මට පමණකි. ගූරුතුමියද  එය අතට ගෙන බලා

‘මේක වටිනා පෑනක් නැති කර ගන්නට එපා’ යයි අවවාදයක්ද දුන්නාය.

මේ පෑන් උල්පත් පෑන් කියාද නම්කර තිබුණි. පෑන් කඳේ බටය තුළ තිබෙන තීන්ත උල්පතකින් මෙන් ගලාඑන නිසා මෙම නම තබන්නට ඇත. කලාතුරකින් කඳ තුළ රබර් බොක්කක් තිබෙන උල්පත් පෑන්ද විය. මෙයට තීන්ත පිරවීමට කඳ ගලවා වෙන් කළ යුතු නැත. පෑනේ තලය සහිත අග්‍රය තීන්ත කුප්පිය තුළට දමා කඳෙහි තිබෙන කුඩා ලිවරය දෙතුන් වරක් ඉහලට පහලට ඉස්සු විට බොක්ක තුළට තීන්ත පිරේ. මෙම පෑන් වල ක්‍රියාකාරිත්වය කුඩා අපට මහත් අරුමයක් විය. ඒවායේ ක්‍රියාකාරිත්වය වායු ගෝලීය පීඩනයේ බලපෑම නිසා සිදුවන බව අප ඉගෙන ගත්තේ අටවන පන්තියට ගිය පසුවය.

පහේ පන්තියේදී ශිෂ්‍යත්ව විභාගයට පැන්සලෙන් ලිවීම වඩාත් හොඳ නිසා පෑනෙන් ලිවීම තරමක් අඩු කිරීමට සිදුවිය. අනික් අග්‍රයේ මකණයක් සවිකර තිබුණු පැන්සලයක මිල තරමක් වැඩිය. මේ කාලය වන විට ‘පයිලට්’(Pilot) සහ ‘යූත්’ (Youth) නම් තරමක් මිල අඩු  ‘ෆවුන්ටන්’ පෑන්ද වෙළඳ පළට ලැබී තිබුණි.

අපි උසස් පෙළ පන්ති වලදීත් සියලුම ලිවීම්  කළේ ‘ෆවුන්ටන්’ පෑනෙනි. රුප සටහන් ඇඳීමට සහ ජ්‍යාමිතිය වැඩ වලදී පැන්සල අවශ්‍ය විය.

මිල අඩු ‘බෝල් පොයින්ට්’ (Ball point) පෑන් සුලභ වුයේ කලකට පසුවය. මිට පෙරද ‘පාකර් බයිරෝ’ (Parker Biro) වැනි බෝල් පොයින්ට් පෑන් ඇති බව අප අසා තිබුණි. බෝල් පොයින්ට් පෑන්, ලිවීමේ මහත් විපර්යාසයක් ඇති කළේය. මුලින්ම ආ බෝල් පොයින්ට් පෑන් වල වේනම් ‘ක්ලිප්’ (Clip) එකක් තිබිණ. ක්‍රමක්‍රමයෙන් ක්ලිප් එක නැතිවී ගොස් අද තිබෙන නානා ප්‍රකාර හැඩරුව සහ විවිධ ක්‍රමවලට ලියන, තුඩ පිටතට දමන නොයෙකුත් මෝස්‌තර වල පෑන් සුලභ විය.

මේ වන විට ගල්ලෑල්ල සහ ගල්කුර සම්පුර්ණයෙන්ම වාගේ භාවිතයෙන් ඉවත්ව ගොසින්ය. කටු පෑන් සහ තීන්ත කුප්පිද අභාවයට ගොස්ය. ‘ෆවුන්ටන්’ පෑනක් තවම කලාතුරකින් දකින්නට ලැබේ. මේ සියල්ලද  ළඟදීම කෞතුක වස්තු ගණයට වැටෙනු ඇත. අද සෑම අස්සක් මුල්ලක් නෑරම, සෑම කෙනෙක් ළඟම ‘බෝල් පොයින්ට්’ පෑනක් තිබේ. ඒවායේ මිල පහසුය. පාවිච්චිය සරලය. පරිස්සම් කිරීමට ද වෙහෙස වීමට අවශ්‍ය නැත.

‘බෝල් පොයින්ට්’ පෑනද අභාවයට යන තත්ත්වයක් දැන් දැන් උද්ගත වෙමින් පවතී. මේ අලුත්ම තාක්ෂණික මෙවලම් නිසාය. පොත් පත් අන්තර්ජාලය ඔස්සේ හෝ ඊ-බුක්ස් (e-books)  මගින් ලබාගත හැකිය. ලිවිම වෙනුවට පරිගණක පුවරුවක අකුරු කළ හැකිය.  පුස්තකාලයකට නොගොස් අන්තර්ජාලය හෝ ඊ-බුක්ස් වලින් දැනුම පහසුවෙන්ම ලැබේ. එසේම හෝඩි පොත් සහ පාඩම් පොත්ද අතිශයින් නවීකරණය වෙමින් පවතී.

නවීනතම ලිවීමේ සහ කියවීමේ මෙවලම ‘අයි-පෑඩය’යි (i-pad). පෑන සහ පැන්සල වෙනුවට එහිදී භාවිත වන්නේ ඇඟිල්ලයි. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාදාමයන් නවීකරණය නොවී අපට ඉදිරියට යා නොහැකිය. එසේ වුවත් අනාගතයේදී ලිවීමට නොහැකි, දැනුම ලබාගැනීම සඳහා පොත් පත්  වලට යොමු නොවී, අන්තර්ජාලයේ පිහිටම පතන ජනතාවක් බිහිවේද යන්නත් සැක සහිතය. තව කලක්‌ යනවිට දැනුම කෙලින්ම මොළයට සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේද ඇතිවන ලකුණු දැනටම පහළ වී තිබේ.

 


32 comments:

  1. මගේ අම්මා (b 1939) ඔය කටු පෑන් තල ගැන කියා තියෙනවා.

    ගල්ලෑලි ගල්කූරු මෙන්ම උල්පත් පෑන් සහ තීන්ත බෝතල් නම් මාත් පාවිච්චි කළා. මගේ මුල්ම උල්පත් පෑන සියල්. ඒකේ තීන්ත ඇතුලට උරා ගන්න බටයක් තියෙනවා. කේජී නම් වර්ගයේ පෑනේ යට කොටසටමයි තීන්ත පිරවිය යුත්තේ.

    මෙන්න ගල්ලෑල්ල ගැන මගේ සොඳුරු මතකයක්-
    https://rasikalogy.blogspot.com/2016/04/written-in-heart.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික
      ඒ කාලෙත් ඔය පෑන් තල සකස් කර තිබුණේ විද්‍යාත්මක මූල ධර්මයක් අනුව. පෑන් තලයේ මැද හරියේ සිට තුඩ දක්වා පැල්මක් තිබෙනවා.ඒ පැල්ම දිගේ කෙශාකර්ෂණය මගින් තීන්ත එනවා.බටය ඇතුළත පීඩනය පාලනය කිරීමට දිවත දිගේ සියුම් ඇලි කපා තිබෙනවා.

      Delete
  2. Replies
    1. කතා දෙක කියෙව්වා. ස්තුතියි එව්වාට.

      Delete
  3. අපිත් හෝඩියෙදි ගල්ලෑලි පාවිච්චි කළා. තාමත් මා ගාව ඒ ගල්ලෑල්ල තියෙනව. ගල්කූරු අාවෙ ලි වලින් හදපු පොඩි පෙට්ටි වල. අපේ කඩේ ඒ කාලෙ ගල්කූරු විකුණුව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න
      ගල්ලෑල්ල කෞතුක භාණ්ඩයක්. ප්‍රවේසම් කර ගන්න.

      Delete
  4. අපිට තීන්ත පෑනකින් ලියන්න අවසරේ ලැබුණෙ පහේ පන්තියෙදි විතර. ඒ කාලේ බහුලවම තිබුණෙ හීරෝ පෑන් තමයි. මටනං ඒ වැඩේ එච්චර අල්ලල ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය එකක්වත් 'කටු' පෑන තරම් ඉතිහාසගත වෙන්නේනම් නැහැ. මම හිතන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් පොත් ලියන්න ඇත්තෙත් 'කටු' පෑනෙන්.

      Delete
  5. කව මැණිකාගේ ගල් ලැල්ල කළුම කළු වගේ- ඉරි ඇඳලා කොටු ගසාලා ඒක හරි අගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදාර,
      ගල්ලෑල්ල, ගල්කුර, පැන්සල වගේ පාසල් උපකරණ ගැන ළමා ගී බොහෝ ලියා තිබෙනවා. මතක්‌ උනොත් තව ලියන්න.

      Delete
    2. ළමා ගීතයක් නම් නොවේ.හැබැයි එච්.ආර් ජෝතිපාලයන් ගයනා කරන "පුංචි දෝණි තරහා වෙලා" කියන ජනප්‍රිය ගීතයේ අන්තරා කොටසක තියෙනවා නේ // ගල් ලෑලි,ගල් කුරු නැහැනේ දුට ස්කෝලේ ගුටි කන්න වේදෝ // කියලා කොටසක්.

      Delete
    3. හිතවත් මනෝජ්,

      // ගල් ලෑලි,ගල් කුරු නැහැනේ. දුට ස්කෝලේ ගුටි කන්න වේදෝ //
      සිහිපත් කළාට ස්තුතියි.

      Delete
  6. ගල් ලෑල්ල සහ පෑන අතර පැන්සල පාවිච්චි කලයුතු කාලයක් තියෙනවා නේද? මට මත 2 පන්තියේ සිට 3 හෝ 4 පන්තිය දක්වා පැන්සලෙන් ලියනවා. ඒකාලයේ පැන්සල් පෑන් සියල්ල ලංකාවේම නිපදවූ ඒවා.

    ReplyDelete
    Replies
    1. ඔවු, අපිටත් පහේ පන්තියට විතර එනකල් පැන්සල විතරයි පාවිච්චි කරන්න දුන්නෙ.

      Delete
    2. හිතවත් ඉයන්,
      මම කියන කාලේ කටු පෑනෙන් ලිවීමට හුරු කිරීම ප්‍රාථමික පන්ති භාර ගුරු මහත්මියන්ට පැවරෙන වැදගත්ම රාජකාරියක්. මා දන්නා හැටියට, පහේ ශිෂ්‍යත්ව විභාගයේදී දරුවන් අමාරුවේ වැටෙන නිසා, පස්සේ පැන්සලයෙන් ලිවීමට ඉඩදී කටු පෑන ටික ටික ඉවත් කළා.

      Delete
  7. ලාබ Cial ෆවුන්ටන් පෑන් තිබුන නේද 70 මුල /මැද ගණන්වල

    ReplyDelete
    Replies
    1. 72 අවුරුද්දෙ පහේ පන්තියට ගියාමයි මම මුලින්ම තින්ත පෑනකින් ලිව්වෙ. ඒක සියල් පෑනක්.කේ.ජී. පෑනක් පාවිච්චි කලා පස්සෙ.

      මුලින්ම ලියපු කාබන් පෑන බික් එකක්. තැඹිලි පාටයි. කවකටු පෙට්ටි තිබ්බෙ මෙටලික්ස්

      Delete
    2. ස්තුතියි රවී,
      Bic වගේ කාබන් පෑන් සුලභ උනේ 1967 විතර කාලේ.ඒ එක්කම තීන්ත පැන් භාවිතය ටික ටික යටපත් උනා. කාබන් පෑන් හදන ආයතන පාසැල් වලට ගොස් ඒවා ප්‍රචාරණ කටයුතුත් කළා.

      Delete
  8. තීන්ත කූඩුවෙ තුත්තිරි ගහෙන් මොකක්ද වුනේ?

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ඊට බොහොම කලින්

      Delete
    2. මම හිතන්නේ කැලත්තෙන එක ටිකක් අඩු වෙනවා.

      Delete
  9. හිටු කියාලා කූරකින් ගල් ලෑල්ලක් මත ලිව්වලූ
    කටු පෑන ඉන්පසුව ඇවිදින් නිතර ඳඟකම් දැම්මලූ
    දුටු වෙ නෑ මා එහැම දේවල් ඉතින් මට දැන් දුකයිලූ
    තටු නොමැති තැන එහැම අද දින පෙනෙන්නටවත් නැහැයිලූ........

    ගල්ලෑල්ල, ගල්කූර, කටුපෑන මේවා මම අහලා විතරයි තියෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      බා ල කාලෙදි උගත් සැමදේ නැවුම් මිහිරක් දෙනු ලබයි
      තා ලයට ගී ගැයූ හැටි දැන් මතක් වන විට හරි අගෙයි
      ගෝල බාලයො තැනූ ගුරුවරු නොමැත අද එය හරි දුකයි
      කා ලයාගේ ඉක්ම යාමෙන් සියලු දේ අමතක කරයි

      ඔබට ජයම !

      Delete
  10. සියල් පෑන් මතකද

    ReplyDelete
    Replies
    1. සියල් පෑන් ආවේ බොහෝ මෑතදී. 1990 ගණන වල.

      Delete
  11. අපේ පරම්පරාවට අසන්න්න කාලෙකදි ගල් ලෑලි සම්පූර්නෙන්ම නැති වුනා

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට නව ප්‍රාථමික අධ්‍යාපන සංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමෙන් පසුව (1980 කාලයේ) ක්‍රමක්‍රමයෙන් ගල්ලෑල්ල සහ ගල්කුර වෙනුවට අභ්‍යාස පොත සහ පැන්සල වෙත යොමු වූවා. ගල්ලෑල්ලේ ලොකුම අඩුපාඩුව ලියු දේ ඉක්මණටම මකා දැමීම.

      Delete
  12. අපි තීන්ත පැන් ගෙනිච්චේ වාර අවසාන දවසේ භාවිතයටයි.

    ReplyDelete
    Replies
    1. ආත්මාරක්ෂක උපකරණයක් ලෙසත් පෑන යොදා ගැනුණා

      Delete
    2. Thank you, Nutty
      එකම මෙවලම පුද්ගලයාගේ හැදියාව අනුව විවිධ කාර්යයන් සඳහා භාවිත කළ හැකි බවට හොඳ උදාහරණයක් !

      Delete
  13. I still use Hero fountain pens with multiple colors of ink. Ink, other than blue, black, and red are expensive. But I use purple, green, orange, and brown ink. Amazon sells for about $10.00 a bottle. Nostalgia!

    ReplyDelete
  14. It is interesting to to hear about a nostalgia of pens and ink !!!

    ReplyDelete