Friday 5 May 2017

පරිසර අධ්‍යයන කාර්ය සැසියකදී පොල් පිලිබඳ .........( 2 - කොටස )



පරිසර අධ්‍යයන කාර්ය සැසියකදී පොල් පිලිබඳ ගැටළුවක් ඔස්සේ ගොඩ නැගුනු රසවත් තොරතුරු රැසක් .........( 2  - කොටස )

‘දෙබිඩි පොල්’ එලොව පොල්ද ?

මෙහි 1 කොටසේ සදහන් කළ පරිදි සිසුන්ගේ කාර්ය සැසියට විස්තර කරදීම සඳහා සීෂෙල්ස්හිදී මට තෑගි ලැබුණු  ‘දෙබිඩි පොල්’ ගෙඩිය ගෙනවුත් මේසය මත තැබූ පසු, එය දුටු සියල්ලෝම කුතුහලයකින් යුතුව නොඉවසිලිමත් වුහ. එය දැක, ගුරු සිසු දෙපක්ෂයේම  මුහුණු අමුතුවනු දුටුවෙමි. එකිනෙකා පහත් ස්වරයෙන් යම් යම  දේ මිමිනුවා මිස, කිසිවෙකු යමක් ප්‍රකාශ කළේ නැත. කාටත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වන පරිදි ‘දෙබිඩි පොල් ගෙඩිය’ අතින් අත යැවීමි. කාලය සීමිත නිසා මට විනාඩි  තිහකින් පමණ විස්තරය නිම කිරීමට සිදුවිය. ‘දෙබිඩි පොල්’ පිලිබඳ පහත සඳහන් වැදගත් කරුණු මම   ඔවූනට පැහැදිලි කර දුනිමි.

1.    මෙය ඉන්දියන් සාගරයේ දකුණු දිගින් පිහිටි සීෂෙල්ස් දුපත් සමුහයේ ‘ප්‍රාලේ’  (Praslin) දුපතට ආවේනික ශාකයකි.
                 Image result for Cocode mer 
             සීෂෙල්ස් දුපත් වල පිහිටීම, මැඩගස්කරයට ඊශාන  දෙසින්

2. තාල වර්ගයේ ගසක්‌ වන මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Lodoicia maldivica   වේ.
3.    මෙහි බීජය (ලෙල්ල ඉවත් කරනලද ‘ගෙඩිය’) ලොව තිබෙන විශාලතම බීජයයි. 
4.  ශත වර්ෂ ගණනාවක් තිස්සේ මුදේ පාවී ආ මෙම බීජය එනු ලබන්නේ කොහි සිටදෝ නොදත් නිසා එය මහ මුහුද පතුළේ  තිබෙන දේව බලයක් සහිත අද්භූත ගසක ගෙඩියක්යයි විශ්වාසයක් පැවතුනි.
5.    ලෙලි සහිත ගෙඩියක් කිලෝ ග්රෑම් 20 ක් 25 ක් පමණ බරකින් යුක්තය.
6.    මුලින්ම එය ප්‍රංශ බසින් ‘කොකෝ  ඩෙ මේ’- Coco de mer - (මුහුදෙන් ආ පොල්)  යනුවෙන් නම් කර තිබේ
  
                        Image result for Cocode mer
                                      ජායා ශාකයක ගෙඩි  සහිත වලු.  
          
7.    පසුව මාලදිවයින් අසල මුහුදේ කලාතුරකින් හමුවූ නිසා ශාකය එම ප්‍රදේශයේ මුහුදු පතුලේ ඇතැයි විශ්වාස කර එයට Lodoicia maldivica යන උද්භිද විද්‍යාත්මක නාමය  ලැබී තිබේ.

                          Image result for Cocode mer
                             ‘ප්‍රාලේ’ දිවයිනේ දෙබිඩි පොල් වනාන්තරයක්

8.  දැනට ශත වර්ෂ දෙකකට පමණ ඉහතදී සීෂෙල්ස්හි ‘ප්‍රාලේ’ දුපතෙහි ‘දෙබිඩි පොල්’, ප්‍රමුඛ ශාකය ලෙස ඇති අක්කර 100 ක පමණ වනාන්තරයක් සොයාගෙන තිබේ.( 1985 වර්ෂයේදී සීෂෙල්ස්හි   බහු තාක්ෂණ ආයතනයේ සේවය කරද්දී, විද්‍යා සිසුන් සමග මෙහි පරිසර අධ්‍යයනයක් කිරීමට මට අවස්ථාව ලැබිණ)
9.  ‘දෙබිඩි පොල්’ වනාන්තරය  සොයාගනු ලැබුවාට පසු එම දිවයින් වලට ගෞරවයක් වශයෙන්  ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය  සමහර අවස්ථාවලදී  Lodoicia maldivcia seychellarum  කියාද යොදා ගෙන  තිබේ.
10.  පොල්  ගසකට වඩා බෙහෙවින් විශාල  ‘දෙබිඩි පොල්’ ගස් වල       පුං ශාක (male plant) සහ ජායා ශාක (female plant) වෙන වෙනම තිබේ.
11.       දෙබිඩි පොල් වෙන වෙනම ඇති ශාකවල හටගන්නා පුං සහ ජායා පුෂ්ප පරාගණය වී සංසේචනය වීම සිදුවන්නේ කෙසේදැයි පිලිබඳ විද්‍යාත්මක තොරතුරු දුර්ලභය. ( එම දුපත් වලට  ආවේණික කොළ පැහැති හූනෙක්  වැනි කුඩා උරග විශේෂයක් මගින් මෙය සිදු කරනු ඇති බව  දැන් විශ්වාස කෙරේ.)                                                  
12.           ජායා ශාකයේ හටගන්නා ගෙඩිය (බීජය) කාන්තාවකගේ උකුල් ප්‍රදේශයේ හැඩය ගන්නා අතර, පුං ශාකයේ හටගන්නා පුෂ්ප මංජරිය පුරුෂ ලිඟුවක  හැඩය ගනී.
                             Image result for coco de mer fruit images
                                              දෙබිඩි පොල් පරිණත බීජය

                           
                                 දෙබිඩි පොල්, පුං ශාකයේ පුෂ්ප මංජරී

13.           මෙම ස්වාභාවික ආශ්චර්‍යමත් ව්‍යුහය  නිසා ආදම් සහ ඒව (Adam and Eve) මෙම දිවයින් වල විසු බව විශ්වාස කර, දේව කථා ආශ්‍රීතව මෙම දිවයින් සඳහා, පාරාදීස දිවයින්  ( Islands of Paradise) යන  අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබේ. ආදම් සහ ඒව තම ආත්මයේ ජෛව සංකේත මෙම ශාක වලට ආරුඪ කළාහු ද?
14.           කෙසේ හෝ මෙම ශාකවල පුෂ්ප පරාගණය  පිළිබඳවද දේව කතාවක් නිර්මාණය වී තිබේ. එයට අනුව පුන්සඳ පායා, අහසේ තරු බැබලෙමින්, මන්ද මාරුතයද  තිබෙන දිනවල රාත්‍රී කාලයේදී  පුං සහ ජායා ශාක දේව අනුහසින් නැමී ආලිංගනය කරගන්නා බවත්, එය හේතු කොටගෙන  පුෂ්ප පරාගණය වී සංසේචනයෙන් පසු ගෙඩි හටගන්නා  බවටද විශ්වාසයක් පවතී.
කාලය සීමා වූ නිසා මට සිසුන් සමග කතාබස් කළ හැකිවුයේ ඉහත දැක්වෙන තොරතුරු පමණකි.
ප්‍රශ්නය ඉදිරිපත් කළ සිසුවා ගේ ‘එලොව පොල්’ කතාව පිළිබඳවද යමක් සඳහන් කළ යුතුය. අපගේ ගැමි වහරෙහි හැටියට ‘එලොව පොල් පෙනුනා’ යයි කියන්නේ යම්කිසි ‘බැරි බරක්’ හිසට දමාගත් විටය. මෙය හිස මතට ඇත්ත වශයෙන්ම වැටුණු බරක් හෝ මනසට ඇතුල්වූ උභතෝකෝටික ප්‍රශ්නයක් විය හැකිය. බර සැහැල්ලු කරගත් පසු හෝ මනසේ ගැටලුව විසඳා ගත් පසු  එලොව පොල් පෙනුන බව පවසනු  අප අසා තිබේ. එය විස්තර කිසිවක් නොදන්නා, අතාත්වික ‘එලොව’ තිබේයයි සිතන පොල් විය හැකිය. මෙයට කොස්, අඹ, දොඩම් වැනි වෙනත් ගෙඩි වර්ගයක් නොගන්නේ එහි සැඟවුණු අර්ථයක් තිබෙන නිසා විය හැකිය.
කෙසේ වෙතත් ‘මෙලොව’ සිටින අය කියන ‘එලොව පොල්’ අපගේ සැලකිල්ලට භාජන වන ‘දෙබිඩි පොල් විය නොහැකිද? මෙහි එලොව වශයෙන් සඳහන් වන්නේ (තිබේයයි  බොහෝ අය විශ්වාස කරන) දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක. අපාය වැනි ස්ථානද?
‘දෙබිඩි පොල්’ වලට පහත දැක්වෙන අයුරු දේව කථාද ඈඳී  තිබේ.          
·       මුලින්ම මෙය මහ මුහුද පතුළේ  තිබෙන දේව බලයක් සහිත අද්භූත ගසක ගෙඩියක්යයි විශ්වාසයක් පැවතුනි
·       ජායා ශාකයේ හටගන්නා ගෙඩිය (බීජය) කාන්තාවකගේ උකුල් ප්‍රදේශයේ හැඩය ගන්නා අතර, පුං ශාකයේ හටගන්නා පුෂ්ප මංජරිය පුරුෂ ලිඟුවක  හැඩය ගනී. මෙයද දේව බලයෙන් සිදුවුවක්දැයි සැකයෙකි.?
·       ආදම් සහ ඒව (Adam and Eve) මෙම දිවයින් වල විසු බව විශ්වාස කර, දේව කථා ආශ්‍රීතව මෙම දිවයින් සඳහා පාරාදීස දිවයින්  (Islands of Paradise) යන  අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබේ
·       පුං සහ ජායා ශාක දේව අනුහසින් ආලිංගනය කරගන්නා බවත්, එය හේතු කොටගෙන  පුෂ්ප පරාගණය වී සංසේචනයෙන් පසු ගෙඩි හටගන්නා  බවටද විශ්වාසයක් පවතී.
·       ආදම් සහ ඒව තම ආත්මයේ ජෛව සංකේත මෙම ශාක වලට ආරුඪ කළ බවටද මතයක් තිබේ.

සභාව ධර්මයේ තිබෙන මෙවැනි ආශ්චර්යමත් සංසිද්ධීන් සඳහා ව්ද්‍යාත්මකව විසඳුම් සෙවීම විනා, වෙනත් අද්භූත බලවේග වල එල්බ සිටීම නම් මුලාවකි.


මෙම විශ්වාස නිසා දැනටද සීෂෙල්ස්හි ගැමියන් අතර ‘දෙබිඩි පොල්’ පිළිබඳව විශාල භක්තියක් තිබේ. ඔවුන් එයට වැඳුම් පිදුම් නොකළත් එය අනර්ඝ වස්තුවක් ලෙස සලකති. ඔව්හු මෙම පොල් ගෙඩියක් බිඳීමටවත් අකමැතිය. මෙම පොල් ගෙඩියේ මද කෑ කෙනෙකුට එහි පොල් කටුවම භාවිත කර සිඟමන් යැදීමට සිදුවන බව එරටෙහි පැරැන්නෝ තදයේ විශ්වාස කරති.

මේ සියලු විශ්වාසයන් නිසා ප්‍රාලේ දුපතේ තිබෙන දෙබිඩි පොල් වනාන්තරය දැඩි රක්ෂිතයක් ලෙස නිරුපද්‍රිතව පවතී. මෙම භුමිය ලෝක උරුමයකි. Lodoicia maldivika (seychellarum)  ශාකය  ස්වාභාවික හේතු නිසා වඳවීයාමේ තර්ජනයට මුණ පා ඇති ශාකයක් ලෙස ජාත්‍යන්තර සොබාදහම සංරක්ෂණ සංගමයේ (international Union for Conservation of Nature -IUCN) රතු දත්ත පොතෙහි සඳහන් කර තිබේ. 

 (ඡායා රුප සියල්ල, ස්තුති පුර්වකව, අන්තර්ජාලයෙනි)    

14 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ගැහැණු ශාඛයක හැදෙන ඵලයද ලියකගේ උකුලක් වගේ
    පිරුණු ලස්සන මංජරිය නිති පුරුෂ ලිඟුවක හැඩ වගේ
    කෙරුණු විස්තර අනුව දැන් මෙය වඳවෙලා යන්නට වගේ
    කරුණු ලියනට නුඹද බොහොමත් වෙහෙස වීලා ඇති වගේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හිතවත් දුමි,
      ඉන් දිය සාගරේ විස්මිත 'දෙබිඩි පොලේ'
      දැන් ලොව පුරා වීමසිල්ලකි ඉහල පෙළේ
      මන් මත් කරන හැඩරුව එහි නිමා කළේ
      අන් කිසිවෙක්ද? නැත සොබදම් මහඟු බලේ

      ඔබට ජය!
      Delete

      Delete
  3. ලිපි දෙකම කියෙව්වා. අළුත් දේවල් ඉගෙනගත්තා. බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. හිතවත් ඉයන්,
      ධනාත්මක දිරි ගැන්වීම් වලට ස්තුතියි

      Delete
  4. එලොව පොල් කොහොම වෙතත් දෙබිඩි පොල් ගැන නොදැන හිටි තොරතුරු ටිකක් දැනගත්ත.

    ‍මිනිස්සුන්ගෙ අන්ධ විස්වාස නිසා හරි 'පොල් කැලේ' පරිස්සං වෙලා තියෙන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      මම අධ්‍යයනයක් කරන්න එහෙ ළමයි සමග ගිය වෙලෙත්, විශේෂයෙන්ම බාලිකාවෝ වනාන්තරය ඇතුළේ සරල මිනුම් ලබාගන්නා විටත්, පපුවේ කුරුසිය සටහන් කරමින් වැඩ කළේ. 'දෙබිඩි පොල්'ගැන පුදුම භක්තියක් තිබෙන්නේ. (රටෙහි සියයට අනුනවයක්ම කතෝලික)

      Delete
  5. මේකනම් පට්ට..

    'එලොව පොල් පෙනුනා' කියල කියන්නේ අතිශයින් විශ්මයට පත් වුනාම/ වික්ෂිප්ත උනාම නෙවෙයිද? මට මතක විදියට ඒ වගේ අදහසකින් තමයි අපි නම් එහෙම කියන්නේ.. උදාහරණයකට 'පොල් ගණන් ඇහුවම එලොව පොල් පේනවා' කියල මේ දවස්වල නිතර ඇහෙනවා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒකත් ප්‍රදේශ අනුව වෙනස් වෙනවා.

      Delete
  6. කලින් පෝස්ට් එකේ රසික ගේ කොමෙන්ට් එක දැක්කම මේක මතක් උනේ.. පොල් හා සම්භන්ද කතා දෙකක්..

    පොල් බිඳලා ඒ බැයේන්ම පොල් වතුර බොන්න එපා කියල ඉස්සර අපේ අම්මලා කියනවා.. එහෙම කලාම බඳින දවසට වහිනවලු.. :) අනික තමයි පොල් ගෙඩිය බින්දම ඉස්සෙල්ල ගෑණු බෑය හෙවත් හිල් තියෙන කොටස මුලින් ගාන්න ඕනෙලු. නැත්නම් ගෙදර පිරිමියාට අපලයි ලු. :)) මුල් කතාවට හේතුවක් හිතා ගන්න බැරි උනාට දෙවෙනි එකටනම් හේතුව ගෑණු පොල් බෑය හිල් නිසා ඉක්මනට නරක වෙන්න පුළුවන් වීම වෙන්න පුළුවන්.
    මමනම් අදටත් පොල් ගෙඩියක් බිඳින්න ලැබුනොත් වතුර ටික කොහොම හරි බොනවා.. කසාද බැඳපු දවසේ වැස්සා නම් තමයි.. :)))

    ReplyDelete
    Replies
    1. පුංචි ළමයි 'කෝම් පිට්ටු' හදන විටත් පොල් කටු තෝරනවා.සිදුර තිබෙන පොල් කටුවට වැලි පුරවලා තට්ටු කරන්නේ අනිත් පොල් කටුවෙන් නේද?
      මම අහලා තියෙනවා ලොකු බොරුවක් කියා නඩුවකට අහු වූ කපටි මිනිහෙක් නඩු දිනයේ උදයේම තම මවට කියා පොල් කටුවෙන් වතුර වක්කරගෙන නාලා ගොසින් උසාවියේදී දිවුරා කිව්වලු "අනේ ස්වාමීනි, අම්මා පොල් කටුවෙන් නාවපු දවසේ සිට මා බොරුවක් කියා නැහැ" කියා. මිනිහා 'ඇත්ත' කීම නිසා නඩුවෙන් නිදහස් උනාලු.

      Delete
    2. මට පස්සේ මතක උනේ.පොල් බින්දාට පස්සේ සිදුර තිබෙන පැත්තේ බෑය කලින් ගාල ඉවර කරන එකට හේතුවක් වශයෙන් විද්‍යාත්මක අදහසකුත් තිබෙනවා.පොල් ගෙඩිය පැළවෙන විට endosperm යේ (මදයේ) ඇති පෝෂණ කොටස් දාවණය කර ගැනීමට අවශ්‍ය එන්සයිම සිදුර අවට ගබඩා කර තිබෙනවා.සිදුර විවර වූ වහාම එම එන්සයිම ක්‍රියාත්මක වී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. අපට පිටින් පෙනෙන්නේ 'නරක් වෙනවා' වගෙයි. බැක්ටීරියා ක්‍රියාත්මක වීමකුත් තිබෙනවා. සැල්මොනෙල්ලා දිලීරයත් මෙහි වර්ධනය වෙන්නටත් හැකියාවක් තිබෙනවා.

      Delete
  7. මිට පස්සේ ඇස් තියෙන බෑය මුලින් ගාන්නම්

    ReplyDelete