Saturday 13 May 2017

ඇමතිගේ නියෝගය ‘කැකිල්ල රජ්ජුරුවන්ගේ’ නඩු තීන්දුවක් වගෙයි.......


  මෙය කලකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ මගේ මිතුරෙකු විසින් මට පවසන ලද, සත්‍ය ප්‍රවෘත්තියකි.

ඒ කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය තිබුනේ මැලේ වීදියේය. ඉපැරණි දෙමහල් ගොඩනැගිල්ලට අමතරව වරින් වර ඉදිකරන ලද තාවකලික ගොඩනැගිලි නිසා මුළු අමාත්‍යංශ පරිශ්‍රයම අපිළිවෙලකට පැවතින. අධ්‍යාපන ඇමතිතුමාගේ කාර්යාලය පිහිටියේ අමාත්‍යංශයට ඇතුල් වන ගේට්ටුවට මඳක් ඉදිරියෙනි.

අපගේ සැලකිල්ලට භාජන වන ඇමතිතුමා බොහෝ ඇසූ පිරූ තැන් ඇති මැදිවියද පසුකළ, තරමක් තරබාරු, ජාතික ඇඳුම අඳින කඩවසම් පෙනුමක්   ඇති කෙනෙකි. දවසකට කිහිප වරක් තම ආසනයෙන් නැගිට අමාත්‍යංශ පරිශ්‍රයේ එක් එක් අංශ වලට ඇවිද යාමත්, ඒ ගමනේදී හමුවන අය සමග කතාබස් කිරීමටත් ඔහු ප්‍රිය කළේය.  

දිනක්, ඔහු දිවා ආහාරයෙන් පසු තම කාමරයෙන් එළියට පැමිණ එළිමහනේ ඇවිදිමින් සිටින විට තරමක පොද වැස්සක් වැටුණි. පොද වැස්ස නිසා තම ගමන වෙනස් කළ ඇමති තුමා කිට්ටුවම තිබුණු කොරිඩෝරය දිගේ ඉදිරියට ගමන් කළේය. ඒ පැත්තේ තාවකාලික ගොඩනැගිලි කිහිපයක් විය. මෙසේ කොරිඩෝර කිහිපයක් ඔස්සේ හැරෙමින් ගිය ඔහු නොදැනුවත්වම අමාත්‍යංශ පරිශ්‍රයේ ඈත කොණකටම ගියේය.

මේ වන විට ඇමති කාර්යාලයේ සිටි අය කලබලවී ඇමති තුමාව සොයන්නට විය. ඒ වන විට ඇමති තුමා අමාත්‍යංශ ආපනශාලාවට ගොස්ය. ඔහු සොයා පැමිණි ප්‍රධාන ලිපිකරු මහතා, ආපනශාලාවේ සිටින ඇමති තුමා දැක පුදුමයට පත්විය. ආපනශාලාවේ සේවක පිරිසද බිරාන්තව සිටියහ.

තම ලිපිකරු දුටු ඇමතිතුමා ඔහුට කථා කර 

‘ රූපසිංහ, මෙතන මොන ශාඛාවද ?  මේ එක්කෙනෙක්වත් කථා නොකර බිල්ලෝ වගේ ඉන්නේ මොකද?’ 
කියා ඇසීය.

සිනහව ඉතා අමාරුවෙන් මැඩ පවත්වාගත් රූපසිංහ
‘සර්, මේක ශාඛාවක් නෙමෙයි. මේක අපේ ආපන ශාලාව’ 

යයි කෙටියෙන් උත්තර දුන්නේය.

ආපන ශාලාව කියන්නේ අමාත්‍යංශයේ වැදගත් අංශයක්නේ. ඒකටත් ශාඛාවක් තියෙන්න ඕනනේ  
ඇමති තුමා කීය.

මේ වන විට ආපන ශාලාව පවත්වාගෙනයන අය දෙකට තුනට නැමෙමින් බැගෑපත්ව පැමිණ ලිපිකරු මහතාට පසකින් සිට ගත්තේය.

‘ඔහේ කවුද? ‘ 

ඇමති තුමා උස් හඬකින්  ඒ තැනැත්තා ඇමතීය.

‘සර්. මමයි කැන්ටිම කරන්නේ.’

ඔහුගේ පිළිතුර විය.

මේ කාලයේදී අමාත්‍යංශ ආපන ශාලාවක් වුවද නිසි ප්‍රමිතියකට කර ගෙන ගිය ඒවා නොවීය. සාමාන්‍යයෙන් අපිරිසිදු තත්වයෙන් පැවතුනු ආපන ශාලා දිවා ආහාර වේලාවෙන් පසුව කසල ගොඩවල් මෙන් විය. ඉඳුල් පිඟන්, අත පිසදැමු කඩදාසි  කැබලි, අවුල්වූ මේස පුටු, වතුර වැටී තෙත්වී ඇති බිම ආදියද සමග ඉඳුල් මත වසා සිටින මැසි පොදීද නිසා අපිරිසිදු බව දෙගුණ තෙගුණ වේ.

ටිකක් වට පිට බැලු ඇමති තුමා 

‘මේ කුණු ගොඩවල් මොකද? මේවා සුද්ද පවිත්‍ර කරන්නේ නැද්ද?’ 

කියා සැරෙන් කථා කළේය. 

බියට පත්වූ  ආපන ශාලා කරු

මේ දැන් සුද්ද පවිත්‍ර කරනවා සර්’ 

කියා යටහත් පහත් ලෙස කථා කළේය. 

‘මෙහෙම හරි යන්නේ නැහැ. එන්න කියනවා සහකාර ලේකම්ට’ 

කියා ලිපිකරුට අණ කළේය.

පණිවුඩය ලැබුණු වහාම, සහකාර ලේකම්, කුමක් හෝ ජංජාලයක් සිදුවී ඇති බව දැනී හිස කසමින් ඇමති තුමා අසලට පැමිණියේය.

‘මේ බලන්න කැන්ටිමේ හැටි. මෙතන මිනිස්සුන්ට තියා සත්තුන්ටවත් කන්නට පුළුවන් තැනක්ද? හරිම අපිරිසිදුයි. මේවා ගැන බලන්නේ නැද්ද?’

කියා ඇමති තුමා ඔහුගෙන් ප්‍රශ්න කළේය. 

‘ලන්ච් වේලාවෙන් පස්සේ තරමක් අපිරිසිදු වෙනවා. දැන් ඉක්මනටම පිරිසිදු කරනවා.’ 
ඔහු  කීය.

‘එහෙම බැහැ. හැම වෙලාවකම කන බොන තැන පිරිසිදුව තියෙන්න ඕනෑ. මෙයාට මේ වැඩේ බැරිනම් වෙන කෙනෙක් පත්  කරන්න.’ 

ඇමති තුමා  විධානයක්‌ කළේය.

‘සර්, අපට එහෙම අස් කරන්න, පත්  කරන්න බැහැ කැන්ටිම කරන එක්කෙනා කොන්ත්‍රාත් එකක් අරගෙන අවුරුද්දකට. එයා අපේ සේවකයෙක් නොවෙයි’ 

සහකාර ලේකම් වරයා කීවේය.

‘එහෙනම් එයා ව අපේ සේවකයෙක් කර ගන්නට, වහාම  මගේ නිර්දේශය උඩ, ගුරු පත්වීමක් දී, වැඩ භාරගත් දවසේ ම  වැඩ තහනම් කරන්නට කටයුතු යොදා, මට වාර්තා කරන්න.’ 

කියා ඇමති තුමා නියෝග කළේය.

ආපන ශාලා කරු, ලිපිකරු සහ ඉහල නිලධාරියා යන සියලු දෙනා කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්විය. කෙසේ වෙතත් ඇමති තුමාට සියලු දේ පැහැදිලි කර දීමට සුදුසු ස්ථානය එය නොවන බව තේරුම ගත් සහකාර ලේකම් වරයා පසුව ඒ ගැන කථා කිරීමට තීරණය කළේය.

ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි ඇමති තුමා 

‘දැන් මම ඔෆිස් එකට යන්න ඕනෑකොයි පැත්තෙන්ද ? මට පාර වැරදුනා’ 

යයි කීවේය.

ඇමති තුමා අමාත්‍යංශ පරිශ්‍රයේම අතරමං වී ඇති බව වහා තේරුම් ගත් ප්‍රධාන ලිපිකරු ඔහුට ආපසු යාමට පාර පෙන්වීම සඳහා ඉස්සර විය.

ඇමති තුමාට, පාර වැරදුනා වගේම රාජකාරියත් වැරදුනා වගෙයි.
    

            

13 comments:

  1. අවුලක් නෑ. සමස්ත අධ්‍යාපනයටම පාර වැරදිලා කියනවානේ!

    කැන්ටින්කාරයාට ගෘහ විද්‍යා පත්වීමක් දෙන්න ඇති!

    ReplyDelete
    Replies

    1. හිතවත් රසික,
      ස්තුතියි.
      මම හිතන්නේ ඇමති වරයාට කියපු දේ සනාථ කරන්නම ඕනෑකම තියෙන්න ඇති. කොහොම වෙතත් සහකාර ලේකම්ලා වගේ අය සිටින්නේ ඇමති වරුත් ඉඳහිට කරන අමන වැඩ වළක්වන්නත් එක්කහේ.

      Delete
  2. පෙනුමෙන් කඩවසම් රුව හිමි ඒ ඇමතී
    අවිදින් කැන්ටිමේ පිරිසිඳු කම දකිතී
    රජුමෙන් කැකිල්ලේ තිරණ පුදන නිතී
    ඇසුමෙන් දුකක් විත් මගෙ හද වැළඳ ගතී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      දැනුමෙන් හරි උගත් යයි අප සිතන නිතී
      පෙනුමෙන් කඩවසම්, බලගතු කමක් ඇතී
      මහතැන් වලම වැජඹෙන ඔය මැති ඇමතී
      පෙරපින් ඇතත්, ඉඳහිට වැරදිද කරතී

      ඔබට ජය.

      Delete
  3. ඇමතිගේ නම දැම්මත් වරදක් වෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      නම දැමීම ගැනත් හිතුවා. ඒ උනත් අපි මේ විනෝදයට වගේ කරන වැඩ වලින් කාට හෝ හිත් රිදීමක් සිදු වුවොත් හරි නැහැ වගෙයි මට සිතෙන්නේ.

      Delete
  4. අහම්බෙන් දැකල ඇවිත් බැලුවෙ. පරණ ලිපි කිහිපයක්ම කියෙව්වා. “අධ්‍යාපන රසකතා“ කිව්වම, කාලෙකට කලින් ඉරිදා පත්තරයක ගියපු “විනිසුරු දිවියෙ රසකතා“ ලිපි පෙල මතක් උනා. එයත් සතිපතා මා ආශාවෙන් කියවූවා. ඒ වගේම පරිපාලන නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන් වගේ යම් යම් ක්‍ෂේත්‍රවල සිටින අයගෙ අත්දැකීම් ඇසුරෙන් ලියපු මේ ආකාරයේ ලිපි, පොත් (ස්වයං චරිතාපදාන වගේ ඒවා) කියවන්න මම සෑහෙන්න කැමතියි. බොහෝ වෙලාවට එයින් යම් විනෝදයක් වගේම අන් අයගෙ අත්දැකීමකින් අපිටත් ප්‍රායෝගික දැනුමක් ලබාගන්න පුළුවන් නිසා. ජීවිතයෙ කවදා හෝ ඒවා අවශ්‍ය විය හැකියි.

    ReplyDelete
  5. DDT ඔබට ස්තුතියි මගේ අඩවියට පය ගැසීම ගැන.

    සමහර වෙලාවට අහම්බෙන් හමුවෙන අය තමයි කලකදී ගජ මිතුරන් වන්නේ.
    මා ලියන දේවල් සියල්ලම හරිම රසවත් අත්දැකීම්. මමත් ඒවායින් හරියට පාඩම් ඉගෙන ගෙන තිබෙනවා.ඉදිරියට තව ලියන්නම්. ඒවත් කියවා බලන්න.

    ReplyDelete
  6. තව කිදෙනෙකුට පත්වීම් දුන්නද දන්නැ

    ReplyDelete
  7. ඇමතිතුමා නියෝගයක් දුන්නාට එහෙම පත්වීමක් කරන්නේ නැතුව ඇති.එත් සමහර ගුරුවරුන් දිහා බැලුවාම දැනෙන්නේ එහෙම පත්වීම් ගත්තු අයත් ඇතිද යන සැකයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      ඒක තමයි ලොකුම ගැටලුව. ඇමතිලට පෝස්ටර් ගසමින් පස්සෙන් ගිය සමහර අයත් ගුරුවරු වශයෙන් පත්වීම් ලබා උගන්නනවා දැකල තියනවා.

      Delete
  8. "ගම හැරදා ගියා නොවේ" නමින් චන්ද්‍රසේකර කියල මහත්තයෙක් තමන්ගේ ගුරු, අධ්‍යාපන දෙපාර්තමේන්තු, අමාත්‍යංශ සහ දේශපාලන ජීවිතය ගැන ලියපු පොතක් (ගොඩගේ )මට කියවන්න ලැබුනා මෑතකදී
    බද්යුද්දීන් මොහමඩ්, රිචර්ඩ් පතිරණ (-. පී. රිචර්ඩ්) සමග වැඩ කරපු කෙනෙක්. ෆෙරියල් අෂ්රොෆ් ( ඉස්මායිල්) ට උගන්නපු කෙනෙක්

    මට මේ බ්ලොග් එක මතක්වුනා

    ReplyDelete
  9. බලාගෙන යනකොට ඒ කාලෙත් මේ කාලේ වගේ වැඩ වෙලා තියෙනවා හිටං

    ReplyDelete