Tuesday 23 May 2017

‘අලුත් මිස්ගේ’ පුහු ආඩම්බරය තුනී විය ........


   ව වර්ෂයට විදුහල පටන් ගත් මුල්ම දිනය එය විය. විදුහල් කාර්යාලයට වැඩ අධික දිනයකි. අලුතින් මාරුවීම් ලැබ පැමිණි ගුරුවරු ගුරුවරියන් කිහිපදෙනෙකි. ඒ සමගම නව පත්වීම් ලබා පැමිණි කිහිප දෙනෙක්ද වුහ. නව පත්වීම් ලබා පැමිණි ගුරු මහත්මියන් තිදෙනාම කළා උපාධිධාරිණියන් වීය. ඒ කාලයේ විදුහලේ කාල සටහන සකස් කළේ මා ය. මට  නිළ නොලත් නීයෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කිරීමට සිදුවී තිබිණ. එදින උදයේම මට කතාකළ විදුහල්පතිතුමා, අලුතින් පැමිණෙන අයට වැඩ භාරගැනීමේ කටයුතු සදහා අවශ්‍ය උදව් කරණ ලෙසටත්, කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසටත් මට පවරා සහාය පිණිස රෝහණ හවුල් කරගන්නා ලෙසද කීවේය.

වැඩිපුර ඉඩකඩ නොතිබුණු විදුහල් කාර්යාලයේ පැත්තක තිබුණු කුඩා මේසය මත අත්සන් පොත, පන්ති නාමලේඛන. පාසැල් සීනුව වශයෙන් භාවිත කළ, එල්ලා තිබෙන පැරණි ලොරි ‘රිම්’ එකට ගසා නාද කිරීමට යොදා ගන්නා  ‘බෙල් පොල්ල’, ගම් බෝතලය, කර්යාල සහායක තිසේරා අයියාගේ බුලත් මඩිස්සලය වැනි කී නොකී ලට්ට ලොට්ට සියල්ලම තිබෙන්නේ ඒ මේසය උඩය. නාමලේඛන සහ අත්සන් පොත හොරෙන්ම ලිපිකරු මහතාගේ මේසය උඩ පැත්තකින් තබා, අපගේ රාජකාරිය සඳහා ඒ කුඩා මේසය මත  ඉඩකඩ සලසා ගතිමි. විදුහල්පති තුමා, අලුත් ගුරුවරුන් එක් එක්කෙනා සමග කථා කර, මාරු හෝ පත්වීම් ලිපි බලා ඔවුන් අප වෙත යොමු කළහ.

අපවෙත එන අයගේ ලිපිලේඛන ගොනුවකට දැමීම, වෙනත් අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීම, පන්ති භාරව සිටින අයට පැවරෙන වැඩ කටයුතු ආදිය පැහැදිලි කරදීම රෝහණ විසින් කරනලදී. කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු වන උපාධි විෂයයන් හෝ ගුරුපුහුණු ක්‍ෂේත්‍රය, ඉගැන්වීමට ප්‍රිය කරන විෂයය අනුපිළිවෙල ආදී තොරතුරු මම ලබාගතිමි. එදින අලුතින් පැමිණ සිටි අයගේ මුලික තොරතුරු ලබාගැනීමට පැය එකහමාරක් පමණ ගතවිය. ස්ථාන මාරු  ලබා පැමිණි අය, රාජකාරි කටයුතු ගැන දන්නා නිසා ඔවුන්ගේ තොරතුරු සපයා ගැනීම පහසු විය.

නවක උපාධිධාරිණියන් තිදෙනාගෙන් තොරතුරු සඳහා ධනාත්මක ප්‍රතිචාර නොලැබිණ. ඒ තිදෙනාගෙන් පළමු ගුරු මෙනෙවිය උසස් පෙළ ආර්ථික විද්‍යාව පමණක් ඉගැන්විය හැකි බව තරයේම කියා සිටියාය. සිංහල සහ ඉතිහාසයද ඇයගේ  උපාධි විෂයය විය. කෙසේ වෙතත් ඇයට සාමාන්‍ය පෙළ බුද්ධාගම, සිංහල, සාහිත්‍යය වැනි විෂයයක්ද ඉගැන්වීමට සිදුවන බව දැන්වූ විට එය ප්‍රතික්ෂේප කළාය. මේ නිසා ප්‍රශ්නය විසඳීම විදුහල්පතිට භාරකළ අපි අනිත් දෙදෙනාගේ තොරතුරු ලබාගෙන කාල සටහන සැලසුම් කළෙමු.

විදුහල්පතිතුමා ඇය සමග අප සිටි තැනට පැමිණ ‘මේ අලුත් මිස් වෙනුවෙන් වෙනසක් කරන්න බැරිද?’ කියා මගෙන් ඇසීය.

 කළහැකි වෙනත් දෙයක් නොමැති නිසා 

‘උසස් පෙළ ආර්ථික විද්‍යාව සියලුම පන්තිවල තිබෙන්නේ කාල ඡේද දහසයක් විතරයි’  මම කීමි.

‘මට ඉන්ග්ලිෂ් විතරක් දෙන්න’ ඇයගේ ඊ ළඟ ඉල්ලීම විය.

‘එහෙම කරන්න බැහැ. ඔය මිස්ගේ උපාධි සහතික අනුව උගන්නන්නට වෙනවා.’ විදුහල්පති කීය.

‘ඒ උනාට මට ඉන්ග්ලිෂ් හොඳට පුළුවන්’ ඇය නැවතත් කීවාය.

‘ලබන මාසේ විශ්‍රාම යන පොන්සේකා ගේ ඉන්ග්ලිෂ් කාල සටහන මේ මිස්ට දෙන්න පුලුවන්ද?’ විදුහල්පති මගෙන් ඇසීය.

කාල සටහන් සාරාංශය (synopsis) පෙරලා බැලු මට පොන්සේකා මහතාගේ සාමාන්‍ය පෙළ පන්ති පහක කාල ඡේද විස්සක් ඇති බව දැකගන්නට ලැබිණ.

‘එහෙනම් කාල  ඡේද විස්සම දෙන්න වෙනවා’. එතකොට උසස් පෙළ ආර්ථික විද්‍යාව දහසයයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විස්සයි. සියල්ලම තිස් හයයි’    මම කීමි.

‘හා, එහෙම හොඳයි’ විදුහල්පති එකඟ විය.

එහෙත් නවක ගුරු මහත්මියගේ මුහුණ ඇඹුල් විය. එම වෙනසටද ඇය එකඟ නොවන හැටියක් පෙනේ. විදුහල්පති තුමා පණිවුඩයක් යවා පොන්සේකා මහතා කැඳවීය.

‘පොන්සේකා,  මේ අලුත් මිස්ට ඉංග්‍රීසි පන්ති කිහිපයක්‌ ඉල්ලනවා. ඔයාගෙන් කාල  ඡේද විස්සක් ගන්නවා . කැමතිද?’ කියා ඇසීය.

ඔහු ඩබ්ලිව්. ඩබ්ලිව්. පොන්සේකාය. කවුරුත් ඔහු හැඳින්වුයේ වැඩි වැඩ (W.W) පොන්සේකා කියාය. ඔහු ඉගැන්වීම සැලකුවේ තමන්ට අයිති වැඩවලින් පස්වෙනි හෝ හයවන අංකය ලෙසටය. පළමුවෙනි දෙවැනි සියල්ල වැඩක් නැති වැඩි වැඩය.

‘කමක් නැහැ සර්, ඔක්කොම ගත්තත් කමක් නැහැ. මම අලුත් මිස්ට උදව් කරන්නම්’ කීවේය.

කෙසේ වෙතත් කාලඡේද තිස් හයක්‌ ලැබුණු අලුත් මිස් අප දෙස රවා බලා, ගස්සමින්, යමක්‌ මුමුණමින් පිටව ගියාය.

ඇය සමගම විදුහලට පැමිණි අනිකුත් ගුරු මෙනෙවියන් දෙදෙනාට උසස් පෙළ පමණක් විෂයය තිස් දෙක බැගින් ලබාදීමට හැකිවිය.

තමන්ට පමණක් කාල ඡේද තිස් හයක්‌ දීම ගැන කිහිප වරක්ම විදුහල්පතිට විරෝධය පා ඇති ඇය අප දෙදෙනා සමගත් තරහකින් සිටියාය. ඈතින් ඇයගේ ඥාති වරියක් වන ගුරු මණ්ඩලයේ වෙනත් මහත්මියක් සමග අපට තදින්ම දොස් කියා ඇති බවද දැනගන්නට ලැබිණ. දැන් ඇය අපගේ මුහුණ බලන්නේවත් නැත.

විශ්ව විද්‍යාලයේදීද කිසි කෙනෙකු සමග වැඩි ආශ්‍රයක් නොමැතිව සිට ඇති ඇය, වැඩිපුර සිංහල නොදන්නා, හොඳින් ඉංග්‍රීසි කතා කරන කෙනෙකු බවට පෙන්වන පුහු උඩඟු කමකින් යුක්ත තැනැත්තියක බව දැනගන්නට ලැබිණ. ඒ ඉංග්‍රීසියට ‘කඩුව’ යන අන්වර්ථ නාමය පටබැඳුන අලුතමය. ඇය එතරම් ප්‍රසන්න පෙනුමක් නොමැති අතර තරමක් කාල වර්ණ ශරීර පැහයකින්ද යුක්තය. ඇයගේ ඉංග්‍රීසියට ආවැඩිම නිසා පළමුව ‘කඩුව’ වූ අතර පසුව, සරීර පැහැයත්  එයට එකතු වී, විශ්ව විද්‍යාලයේදී ඇය ‘බලු කඩුව’ වී ඇත. මේ විහිලුවට ඇය තදින්ම කේන්ති ගන්නා බවද ආරංචි විය.

සති කිහිපයක් ගතවිය. ඇය කිසිම කෙනෙකු සමග ආශ්‍රයක් නොමැති බව කාගේත් නිරීක්ෂණය විය. කෙසේ හෝ ඇයගේ මේ මුරණ්ඩු කම මෙල්ල කළ යුතු බව කාටත් වැටහිණ.

එක්‌ දිනක උදය කාලයේ ගුරු විවේක කාමරයේ ඇය සහ තව දෙතුන් දෙනෙක් පමණක් සිටින විට කාමරයට පැමිණි රෝහණ ප්‍රවෘත්ති පත්‍රයක්ද රැගෙන අයට ඉදිරිපසින් වූ සැප පුටුවෙහි වාඩිවී කකුල් හොඳින් උස්සා දිගහැරගෙන සිටියේය. ‘වනචර මිනිස්සු’ කියමින් කේන්තියෙන් නැගිට ගත් ‘අලුත් මිස්’ කෙලින්ම විදුහල්පති කාර්යාලයට ගොස් හඬමින් යමක් විදුහල්පතිට පවසා, ඇයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ගුරු කාමරයේ සිටි තවත් කෙනෙකුට කකුල උස්සා තම සෙරෙප්පු අඩිය පෙන්වූ රෝහණ
‘බලා ගනිමු. දැන් ලොකු ජංජාලයක් වෙයි’ කීවේය.

සෙරෙප්පු දෙකේ අඩි වල ලියා තිබුණු වචන කියවූ කාටත් සිනා නවත්වා ගත නොහැකිවිය. මොහොතකින් තිසේරා අයියා ගුරු කාමරයට පැමිණ රෝහණට කතා කර,

‘සර්ට ප්‍රින්සිපල් සර් එන්න කියනවා’ යයි

පණිවුඩයක් කීවේය. විදුහල්පති කාර්යාලයට ගිය ඔහුට වියරු  මුහුණක් ඇතිව සිටින ‘අලුත් මිස්’ දකින්නට ලැබිණ.

‘ආ.... රෝහණ මොකක්ද ඔයාගේ සෙරෙප්පු කුට්ටම ගැන මේ මිස් මොනවද කියනවා?

‘මගේ සෙරෙප්පු කුට්ටම අලුත් එකක්. ඒක ‘බාටා’. තව මොනවද දැනගන්නට ඕනෑ?

‘නැහැ ඕයි, ඕකේ අඩිය’

‘හා... අඩියද? අඩිය රබර්, මම හිතන්නේ ‘ආර්පිකෝ’, මිස්ට ගැලපෙන ඒවත් සාප්පුවේ තිබුණා.’ ඔහු එක දිගටම කියාගෙන ගියේය.

විදුහල්පතිතුමා අමාරුවෙන් සිනහව මැඩ ගනිමින්, තරමක් සැරෙන් මෙන්

‘ඔය සෙරෙප්පුවක් මට මෙහාට දෙනවා’ යයි කීය

‘ඇයි සර් මගේ සෙරෙප්පුව අතට ගන්නවද? 
කියමින් සෙරෙප්පුවක් ගලවා ඔහු තම අතට ගත්තේය.

‘මට ඕකේ අඩිය පෙන්වන්න.’ කී විදුහල්පති

අහක බලා ගනිමින් සිනහව මැඩ ගත්තේය. රෝහණ උපහාසාත්මක  හිනාවක්‌ දමා, සෙරෙප්පු අඩිය විදුහල්පති තුමා පැත්තට හැරවීය.

‘ඔය මොකක්ද අඩියේ ලියලා තියෙන්නේ?’

විදුහල්පති, (මවාගත්) කේන්තියකින් ඇසීය.

සෙරෙප්පුව තමන් වෙතට හරවා බැලු රෝහණ මහත් පුදුමයකින් මෙන් 

‘මෙහා.... මමත් දැනුයි දැක්කේ. “බලු කඩුව”........ අලුත් කඩු ජාතියක් වගෙයි. කවුද මේක විහිලුවකටද කොහෙද මගේ සෙරෙප්පු අඩියේ ලියලා’ 

කියන විටම අලුත් මිස් විදුහල්පති කාර්යාලයෙන්  පිටතට ගියාය. 

‘මෙන්න සර්, අනිත් සෙරෙප්පු අඩියේත් ඒකම ලියලා. මේක ගැන වහාම පරික්ෂණයක් පවත්වන්නට ඕනෑ’ යයි  මහා හඬින් සිනාසෙන්නට විය.

‘මේ......රෝහණ, ඔය විකාර නවත්තලා දානවා. මම ඒ මිස්ට ගුරු මණ්ඩලයත් එක්ක සිටින හැටි කියා දෙන්නම්’

විදුහල්පති අවධාරණයෙන් කීවේය.

රෝහණ ගුරු කාමරයට නොගොස් කෙලින්ම සංගීත කාමරය පැත්තට ගියේය.

තවත් සති කිහිපයක් ගතවිය. අලුත් මිස් ටිකින් ටික කා සමගත් කුළුපග වෙන්නට විය. ඇය ජීවත්වීමේ  අලුත්  පිටුවක් පෙරලුවාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්වත් නොලත් පන්නරයක් සමාජ ආශ්‍රයෙන් සති කිහිපයකදී ලබාගත්තාය.

පසු කලකදී ඇය ඉතාමත් මිත්‍රශීලී විෂයය බාහිර ක්‍රියාකාරකම් වලද නියැලුණු ගුරු මහත්මියක් වුවාය. සියල්ලන්ටම  ‘කඩුව’ අමතක විය.               

  

          

22 comments:

  1. එල ද බ්‍රා
    කඩුව අමතක වෙලා බලු ඉතුරු උනාද

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කැම්පස් එකෙන් ආපු ගමන් අයට ලොකු degree මාන්නයක් තිබුනානේ. කළු සුද්දෝ වෙන්න හදන අයත් හිටියා.පාඩම ඉගෙන ගත්තට පස්සේ කාටත් අනවර්ථ නාම දෙකම අමතක වෙලා ගියා.

      Delete
  2. පොතක දැණුමෙන් පිරී ගියමුත් රැඳෙනවිට මේ ලෝකයේ
    හිතක සතුටින් අන් අයත් හා සිටියවිට දුකනම් නොයේ
    නවක ගුරු හිත කඩුව අතැතිව හිටියමුත් පුහු මානයේ
    දිනක ඈ යහ මගට ආවිට හැමෝගෙම තුතියක් තියේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,

      උපාදියෙන් පමණක් දැනුම ලැබගෙන
      'කඩුවත්' කොහොම හරි කට තොලෙහි ගාගෙන
      මානය නමැති රෝගෙන් සමහරු පෙලෙන
      බෙහෙතත් මෙයයී ටික කලකින් සුව කරන

      ඔබට ජය !

      Delete
  3. ඇය සාමාන්‍ය උපාධියක් කළ අයෙකු ද? එහෙමයි පෙන්නේ, නැතිනම්, ආර්ථික විද්‍යා විශේෂ උපාධිකාරිනියක් ද?

    ReplyDelete
    Replies

    1. සාමාන්‍ය උපාධි සිංහල,ඉතිහාසය සහ ආර්ථික විද්‍යාව. එ උනාට සිංහල උගන්වන්න බැරි බව කිව්වා.

      Delete
  4. ඔය වගේ පුහු මාන්නෙ තියෙන අයට ‍ඔහොම තමයි සලකන්න ඕන.
    අපි ඉස්කෝලෙ යන කාලෙනං ඔහොම අය ළමයින්ගෙනුත් හොඳට මට්ටු උනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      උපාධිය ගන්න තුරු ඉගෙන ගන්න කොට වත් පුහු මාන්නය නැති විය යුතු නේද?
      ඔය කියන ආකාරයේ සිද්ධි මාත් අසා තිබෙනවා.

      Delete
  5. හපොයි.. ඉස්කෝලේ ළමයින්ගේ කනට එහෙම ඕකේ කොනක් හරි ගිහින් තිබ්බනං උන්දා ඉස්කෝලේ වසලා හමාරයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,

      එහෙම කිසි දෙයක් අපට නම ආරංචි උනේ නැහැ.
      කලකට පසු ළමයි අතරත් ජනප්‍රිය උනා.ඉංග්‍රීසි උගන්නන එක ලේසි නැති බව තේරිලා පස්සේ වෙන විෂයය ඉල්ලා ගත්තා.

      Delete
  6. ට්‍රේන්ඩ් ටීචර් හා ග්‍රැජුවට් වෙනස සෑහෙන්න තිබුනා නේද ඒ කාලෙ?

    ReplyDelete
    Replies
    1. හිතවත් Pra Jay,
      තිබුණා තදටම.
      පස්සේ සියල්ල මග හැරී ගියා. ඉස්සර තිබුනේ Secondary Trained කියල. English,Science සහ Maths එ ගණයට වැටුණා. ඒක ඉංග්‍රීසි මාධ්‍ය. ඒ අතර අලුත් උපාධිධාටී අයට වඩා හොඳ අයත් සිටියා

      Delete
    2. මගේ තාත්තා "අවසානය" සමත් වී ගුරු වෘත්තිය ඇරඹූ අයෙක්. පසුව ඔහු මීරිගම ගුරු විදුහලෙන් පුහුණුව ලැබ පුහුණු ගුරුවරයකු වී තියෙනවා.

      ඉන් පසු පුද්ගලිකව උසස් පෙළ සහ ජීඒකිව් සමත් වී සේවයෙන් නිවාඩු ලබා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී කලා උපාධිය ලැබු බවයි මා අසා ඇත්තේ. ඒ මා ඉපදෙන්න පෙර.

      ඔහු ජීවත්ව සිටියා නම් පුහුණු සහ උපාධි වෙනස ගැන අහන්න තිබුණා.

      Delete
    3. විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල පටන් ගත්තාට පස්සේ බොහෝ සිංහල මාධ්‍ය උගතුන්ට උපාධිය ලබාගැනීමට හැකි උනා. 1965 පමණ වනවිට විශේෂයෙන්ම ගුරුවරු සහ විදුහල්පතිවරු සිය ගණනක්‌ කලා උපාධි ලබාගත්තා. පසුව විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ PABA නම් පරිපාලන ක්ෂේත්‍රයට අදාල පාඨ මාලාවකුත් පටන් ගත්තා.

      Delete
  7. උපාධිධාරිගුරුවරිය හොඳම පාඩම ඉගෙනගෙන තියෙන්නේ විශ්ව විද්‍යාලයෙන් නෙමේ උගන්වන්න ආපු පාසලෙන්.

    ReplyDelete
    Replies
    1. මාස කිහිපයකදී පාසල් වට පිටාවෙන් ඉගෙනගත් සමාජයට අනුගත වීමේ වැදගත් පාඩම පශ්චාත් උපාධියක්‌ තරමට වටිනවා. ඒ උනත් ඒකට ලෝගු (cloaks) හෝ මල්දම් {garlands) පළඳවන්නට කවුරුවත් නැහැ.

      Delete
  8. පිරිමි ළමයි විතරක් හිටපු අපේ පාසලේ නම් වැඩි කැටයම් දාන්න කවුරුත් ආවෙ නෑ.දවසෙන් දෙකෙන් නෝමල් ජීවිතේට අනුගත වෙනවා.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,
      ඒ උනාට ගුරුවරුන්ගේ කාල සටහන් හදන කොට මතුවෙන අර්බුද පාසලේ ළමයි දන්නේ නැහැනේ. මට හොඳ සිද්ධියකට මුහුණ පාන්නට සිදු උනා. එක් දක්ෂ ගුරු මහත්මියක් ඒ වසර අවසානයේදී විභාගයට පෙනී සිටින හොඳම පන්තිය එපා කියමින් ඇවටිලි කළා. මේක වෙන අය ලබාගැනීමට පොරකන පන්තියක්. කිහිප වරක් හේතුව ඇසුවත් ඇය කිව්වේ නැහැ. පස්සේ වෙන කෙනෙක් අත පණිවුඩයක් ඒවා තිබුණා ඇයට අගෝස්තු මාසය වන විට දරු ප්‍රසුතියක්‌ තිබෙන බව. එතෙක් මේ බව යෙහෙලියන්ටවත් නොකියා රහසක් ලෙස තබා ගෙන තිබිලා.

      Delete
  9. ගුරු විතරක් නෙවෙයි කොයි රස්සාවෙත් ඔහොම අය ඉන්නවා. අපි නං ඔය වගේ අය කොං වෙන්න ඇරියා. හැබැයි තවත් සමහරු ඔහොම වෙන්නේ එයාලගේ වෙනිං මොකක් හරි අවුලක් වුනහම. ඒ අයට සමීපව කතාබහ කලාම සමහර වෙලාවට ඒ හේතු එළියට එනවා. සමහර හේතු හරි සංවේදීයි. ඒ ගැනත් මොහොතක් හිතන්න.

    ReplyDelete
  10. සුරංග, මෙතනනම් තිබුණේ පුහු ආඩම්බරයම පමණයි. පස්සේ හරි ගියේ ඒකයි. ඔය කියන ආකාරයේ අයත් අපට හමුවී බොහෝ විට ගොඩ දාල තිබෙනවා.

    ReplyDelete