Friday 26 May 2017

ජනවාර්ගික අනන්‍යතාව තහවුරු කිරීම පිලිබඳව අධ්‍යාපනයේ ප්‍රයෝගික අත්දැකීමක් ඕස්ට්‍රේලියාවෙන් ......



  අධ්‍යාපනයේ රසකතා වලට මෙතෙක් පසුබිම් වුයේ පසුගිය දශක කිහිපය තුලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශ වල හමුවූ රසවත් සිද්ධීන්ය. මෙම සිද්ධිය මට දකින්නට ලැබුණේ ඉතා මෑතදි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ හැම්ප්ටන් පාක්හි දීය.  දිනය 2017 අප්‍රියෙල් මස 29 වනදා ය..

එය වික්ටෝරියානු භාෂා පාසල් පද්ධතියේ, හැම්ප්ටන් භාෂා පාසලේ සිංහල භාෂා අංශය මගින් පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු උත්සවයයි.

මෙම වැදගත් සිද්ධියට පාදක වන ක්‍රියාදාමය මඳක් විමසා බලමු.


Image result for Australia maps
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත
ඔස්ට්‍රේලියා මහාද්වීපය ප්‍රාන්ත හතකින් යුක්ත තනි රාජ්‍යයකි. ජනගහනය වැඩිම, නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය සිඩ්නි නුවරයී.  දෙවැන්න වන වික්ටෝර්යා ප්‍රාන්තයේ අග නගරය මෙල්බර්න් නුවරයී.  දුපතක් වන තස්මේනියාවද  ඕස්ට්‍රේලියානු රාජ්‍යයේ එක් ප්‍රාන්තයකි. රාජ්‍යයේ පරිපාලන අග නගරය වනුයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි කැන්බරා නගරයයි.


ලෝකයේ විවිධ රටවලින් නිත්‍යානුකුලව සංක්‍රමණය වූ විවිධ ජාතීන් පනහකට අධික සංඛ්‍යාවක්  ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙති.  මේ අතර   ශ්‍රී ලාංකිකයෝද  ප්‍රධාන තැනක් ගනිති.  මෙයින් වැඩිම සිංහල ජනගහනයක් සිටිනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේය. මෙම සිංහල ජනයාගේ සුභසිද්ධිය සඳහා විවිධ සමිති සමාගම් සහ ආගමික වැඩ සටහන් සංවිධානය කරගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු රජය මගින් ලොව අන් කිසිම රටක දකින්නට නොලැබෙන ආකාරයේ ප්‍රජා සත්කාරයන් මගින් විවිධ ජනවාර්ගික කොටස් වලට ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වෙමින් තම අනන්‍යතාවද පවත්වාගෙන යාම සඳහා   අනුපමේය සේවයක් කරනු ලබයි. මෙයින් ප්‍රධානතම එකක් වනුයේ රජයේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලබන වික්ටෝරියානු භාෂා පාසැල් පද්ධතියයි. සෙනසුරාදා දිනවල උදේ වරුවේ පවත්වනු ලබන මෙම භාෂා පාසැල් වල විදේශ භාෂා ඉගැන්වීමට පහසුකම් සලස්වා තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ භාෂා පාසැල් 40 ක් තිබෙන අතර එයින් හතක සිංහල උගන්වනු ලබයි.

හැම්ප්ටන් පාක් භාෂා පාසැල මෙයින් එකකි. මෙහි පළමුවෙනි ශ්‍රේණියේ සිට නවවන ශ්‍රේණිය දක්වා පන්ති හතක්‌ පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ හැදී වැඩි, ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිංහල දරු දැරියන්ට සිංහල භාෂාව හසුරුවීම සඳහාත් සිංහල අනන්‍යතාව උරුම කර දීම සඳහාත් භාෂා පාසැල් මහත් මෙහෙවරක් කරනු ලබයි.

හැම්ප්ටන් පාක් භාෂා පාසලේ සිංහල අංශය මගින් පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු උත්සවයට සහභාගී වීමට මට ලැබුණේ මහඟු  අවස්ථාවකි.

මෙම උත්සවය සංවිධානය කිරීමට භාෂා පාසලේ ගුරු මණ්ඩලය, දරුවන්ගේ දෙමාපියන් සහ දරු දැරියන් මහත් වෙහෙසක් ගෙන තිබේ. අධ්‍යාපනයේ අභිමතාර්ථය දැනුම පමණක් ලබාදීම නොව ඒ මගින් කුසලතා ඔප් නංවා, ආකල්පද වැඩිදියුණු කළ  යුතු බව මෙම පරිශ්‍රමයේදී  මැනවින් ඔප්පු කර තිබේ.

මෙම භාරදුර කාර්යය සඳහා මුලිකත්වය ලබා දුන්නේ හැම්ප්ටන් පාක්  භාෂා පාසලේ සිංහල අංශය සම්බන්ධීකරණය කරණ, එමෙන්ම එම පාසලේ ගුරු මහත්මියක් ලෙස සේවය කරන තුෂාරි පෙරේරා මහත්මියයි. මට ඇය සමග මේ සම්බන්ධයෙන් කෙටි පිළිසඳරක යෙදීමට අවස්ථාවක් ලැබිණ.

‘තුෂාරි පෙරේරා මහත්මිය, මේ අවුරදු උත්සවය ගැන යමක් කියන්නට පුලුවන්ද?  මම ඇසීමි.

‘ඔව්, මම මේ භාෂා පාසලේ සම්බන්ධීකාරක තනතුර භාරගත්තේ අවුරුදු හතරකට පෙර. මේ අපි පවත්වන සතරවන අවුරුදු උත්සවය.’

‘ඔබ මෙහේ වෙනත් රැකියාවක්  කරනවා ද?’

‘ඔව, මම පුර්ණකාලීන ව පාසැල් පුස්තකාලාධිපතිනියක් ලෙස වැඩ කරනවා. සෙනසුරාදාට උදය වරුවේ මෙම භාෂා පාසලේ වැඩ කරනවා.’

‘අචාර්ය මණ්ඩලයේ තව ගුරු මහත්මියන්ද සිටිනවා නේද?

‘ඔව, තව හතර දෙනෙක්  සිටිනවා. ඒ සියලු දෙනාම ලංකාවේ පාසල්වල සේවය කළ පළපුරුදු අය. අපි සියලු දෙනාගේම සාමුහික උත්සාහයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ.’

අචාර්ය මණ්ඩලයේ අනිකුත් ගුරු මහත්මියන් ඉතා කැපවීමකින් වැඩ කිරිම නිසාත් දෙමාපියන්ගේ නොමඳ සහයෝගය ලැබෙන නිසාත්, දරුවන්ගේ දැඩි උනන්දුව් නිසාත් උත්සවය සාර්ථක කර ගැනීමට හැකි වූ බව  ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
අවධානය වෙනත් දිශාවකට යොමු කළ මම, තුෂාරි පෙරේරා මහත්මියගේ අධ්‍යාපන ක්‍රියාවලියේ පසුබිම ගැන ප්‍රශ්නයක් යොමු කළෙමි.

‘තුෂාරි පෙරේරා මහත්මිය ඔස්ට්‍රේලියාවට පැමිණ කොපමණ කල්ද?’  ‘දැනට අවුරුදු පහළොවක්  වෙනවා.’

‘ලංකාවෙදී හිටියෙත් ගුරු වෘත්තියෙමද ?’

‘ඔව්..... මම විද්‍යා උපාධිධාරි ගුරුවරියක් ලෙස උසස් පෙළ පන්තිවල ඉගැන්නුවා.’

‘කැමතිනම්, ඉගැන්වීම, ගම් ප්‍රදේශය ආදිය ගැන කියන්න.’

‘මගේ ගම් ප්‍රදේශය හොරණ. ඉගැන්වූයේ පානදුර බාලිකා විද්‍යාලයේ.’

‘මම අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයේ’.

‘ඔබ ඉගෙන ගත් විද්‍යාලය සමග තවමත් සම්බන්ධකම් තිබෙනවාද?’

‘ඇත්තෙන්ම, අපි ඕස්ට්‍රේලියාවෙත් තක්ෂිලා ආදී ශිෂ්‍ය සංගමයක් ආරම්භ කරළා විදුහලට උදව කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා, අවශ්‍යතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා’.

මෙවැනි ක්‍රියාකාරකම් නිසා එම ගුරු මහත්මියන් ලබන තෘප්තිය පිළිබඳවත් ප්‍රශ්න කිරීමට මා නිතැතින්ම පෙළඹුනා.

‘ඔබගේ ගුරු මණ්ඩලයත් ඔබත් මේ අවුරුදු උත්සවය ගැන මහත් කැපවීමකින් සහ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව  කටයුතු කරන බව කීවා. කාලය සීමිතව තිබියදීත් මේ  පුහුණුවීම් කළේ කොහොමද?’

‘අපේ ගෙදර ත්, අපේ ගුරු මණ්ඩලයේ අයගේ ගෙවල් වලත්, සමහර දිනවල දරුවන්ගේ  ගෙවල් වලත් පුහුණුවීම් කළා. දරුවන්ට සාමාන්‍ය පාසැල් කටයුතු තිබෙන නිසා හුඟාක්‌ පුහුණුවීම් කළේ සවස් කාළයේ හෝ රාත්‍රියේ.’

‘ඔබගේ උත්සවයේ සාර්ථකත්වය පිළිබඳව ප්‍රාදේශීය කලමණාකාර තුමාත් හොඳ ඇගයීමක් කළා. පිට රටකට පැමිණ සිංහල දරුවන්ගේ අනන්‍යතාව රැකදීමට සහ සිංහල භාෂාව හැසිරවීම පුරුදු කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව අපගේ ස්තුතියද ඔබ සැමට පුදකරනවා.’

එම උත්සවයේ විස්තරයක්, වික්ටෝරියා ප්‍රාන්තයේ තිබෙන සිංහල රුපවාහිනී නාලිකාව වන  විශ්වවාහිනි මගින් ප්‍රචාරය කරන ලදී. මෙහි පහත දැක්වෙන ‘ලින්ක්’  එකෙන් එය බලන්න.


භාෂා පාසැල් පිලිබඳ මෙම ප්‍රසංශනීය සංකල්පය හඳුන්වාදීම ගැන ඕස්ට්‍රේලියානු රජයටත්, එය මැනවින් අධීක්ෂණය කරනු ලබන ප්‍රාදේශීය කලමණාකාර තුමාටත්, පාසලේ සම්බන්ධීකරණ නිලධාරිනීයටත්, ආචාර්ය මණ්ඩලයටත්, දෙමාපියන්ට සහ දරු දැරියන්ටත් අපගේ ප්‍රණාමය පුද කරමු.

විවිධ රටවල්වලින් පැමිණ තිබෙන විවිධ ජන වාර්ගික පිරිස් වල ස්වදේශීය අනන්‍යතාව රැක ගැනීම සඳහා කිසිදු කුහක කමකින් හෝ ජාතිවාදයකින් තොරව, අධ්‍යාපනය මෙවලමක් කරගනිමින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන  මෙම වැඩ පිළිවෙල ලොවටම ආදර්ශයකි.


8 comments:

  1. අපේ එවුං ඕස්ට්‍රේලියාවට ගිහිනුත් කනානේ කරවල, කතා කරන්නේ සිංහල කියා ලංකාවේ ඉන්නා සමහරු හිනාවෙනවා මා දැක තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඕනෑම ජනවර්ගයකට ආඩම්බර විය හැකි අනන්‍යතාවක් තිබෙනවා.මේ කාරණය තේරුම නොගත්තොත් ජාතියක් වශයෙන් ඉදිරියට යාම දුෂ්කරයි. ජපන් රට හෝ චීනය මේ අතින් අපට වඩා හුඟක් ඉදිරියෙන් සිටින්නේ.

      Delete
  2. Replies
    1. links දෙකේම ලිපි කියවුවා. ඔබගේ අත් දැකීම අදත් බොහෝ අය අතර තිබෙනවා. ඒ නොදන්නා කම මග හැර ගැනීමට භාෂා පාසලේ සිංහල පන්ති ටිකක් වත් උදව වෙනවා නේද? මා දන්නා හැටියට මේ පන්ති හුඟක් ජනප්‍රියයි.

      Delete
  3. //අධ්‍යාපනයේ අභිමතාර්ථය දැනුම පමණක් ලබාදීම නොව ඒ මගින් කුසලතා ඔප් නංවා, ආකල්පද වැඩිදියුණු කළ යුතු බව// මෙහේ නොවෙන්නෙත් ඕකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      කවදා හරි අපගේ ගුරුවරුන් සහ දෙමාපියන් ඔය කාරණය හරිහැටි තේරුම අරගෙන වැඩ කටයුතු කරන තාක් කල් ශ්‍රී ලංකාවේ අපට අධ්‍යාපනයෙන් සමුර්ධිමත් රටක් ගැන හිතන්නවත් බැහැ.

      Delete