Saturday 20 May 2017

මාගම්පුර නව අන්තර්ජාතික රඟහලේ මුල්ම වේදිකා නාට්‍යය ....(නිළ නොවන) ??..


මෙය මෑතදී සිදුවූ කතා පුවතකි.

   මා අවසාන වරට විදුහලක ගුරුවරයෙකු ලෙස සේවය කළේ 1982 වර්ෂයේය. එම විදුහලේ ඉතා සාර්ථක ඇදුරු මිතුරු හවුලක් තිබේ. මෙම හවුලට වර්තමාන ආචාර්ය මණ්ඩලය සහ කලින් ගුරු මණ්ඩලයේ සිටි කවුරුත් අයිතිය. සාමාජික සංඛ්‍යාව 350 ක් පමණ වේ. වසර කිහිපයකට ඉහතදී ගත් සංඛ්‍යා ලේඛන වලට අනුව ඒ අය අතර වයස 80 ඛණ්ඩයේ අයද තුන් දෙනෙක් සහ වයස 70 ඛණ්ඩයේ  අය 12 දෙනෙක්ද සිටයහ. ලාබාලම අය සිටියේ වයස 30 ඛණ්ඩයේ ය.

ඇදුරු මිතුරු හවුල මගින් වාර්ෂිකව, සුහද හමුවක්, දානමය පින්කමක්, ධර්මදේශනාවක් ආදියද සංවිධානය කෙරේ. වසර දෙකකට වරක් එක් දින චාරිකාවක නිරත වීමට අවස්ථාව සැලසේ.

එම වසරට නියමිත චාරිකාව වුයේ හම්බන්තොට මාගම්පුර නව සංවර්ධන කටයුතු නැරඹිමයි.බොහෝවිට චාරිකාව සංවිධානය කරනුයේ විදුහලේ දැනට සේවයකරන අය සහ මෑතදී විශ්‍රාම ගත් අයගෙන් සමන්විත කමිටුවක් මගිනි. අලුතින් මාරුවීම් ලබා විදුහලට පැමිණ ඇති අය හඳුනා ගැනීමටද චාරිකාවෙදී හැකිවේ. එම චාරිකාව සඳහා 50 දෙනෙක් පමණ සහභාගී වුහ.

ගමන සඳහා සුඛෝපභෝගී බස් රථයක් සුදානම් කර තිබිණ. තංගල්ලේ හෝටලයක් අයිති ආදී ශිෂ්‍යයෙකු විසින් දිවා ආහාරය සපයා දීමටද සුදානම් කර තිබිණ. පෙරවරු අටට පමණ විදුහලින් පිටත් වූ අපට අධිවේගී මාර්ගයෙන් ගොස් දහවල් දහයට පමණ තංගල්ලට යා හැකිවිය. තංගල්ලේ ටික වේලාවක් නතර වී සිට, ආදී ශිෂ්‍යයාගෙන් දහවල් ආහාර පාර්සල්ද ලබාගෙන හම්බහ්තොටට පැමිණියෙමු.

හමබන්තොට නගරයෙන් එහා මහා සංවර්ධන සැලස්මක් ක්‍රියාත්මක වෙමින් තිබුණු බැවින් බර වාහන ගමනාගමනය නිසා  අවට සෑම තැනම දුවිල්ලෙන් පිරී ගොස්ය.

සංවර්ධන කලාපයට යාමට අවසර ලබාගැනීම අති දුෂ්කර විය. කලින්   ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබුනත් නැවත නොයෙකුත් කොන්දේසි වලට ද අත්සන් කිරීමෙන් පසුව කලාපයට ඇතුල් වීමු.

වරායේ ඉදිකිරීම් බලාගැනීමට හැකිවුයේ තරමක් ඈතින් සිටය. ගුවන් තොටුපල අසලටම ගිය අපට එහි පර්යන්තය වටා ඇවිදීමට හැකිවිය. ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකු ගොඩනැගිල්ල තුල සිටිනු දකින්නට ලැබිණ.  සම්මන්ත්‍රණ ශාලාවට යාමට අපට අවස්ථාව ලැබි තිබුණේ පස්වරු දෙකටය.

තවත් වේලාව තිබුණු බැවින්  තරු තුනේ හෝටලයකින් ලැබුණු ප්‍රණීත දහවල් ආහාරය පර්ශ්‍රයේ ඉතිරිවී තිබුණු ගස් කිහිපය යට වාඩිවී භුක්ති වින්දෙමු. වාඩිවීමට තැනක්‌ නොලැබුණු සමහර අය හිටගෙනම දිවා ආහාරය ගත්හ.

පස්වරු දෙකට ආසන්න වෙත්ම අපට කලින් සම්මන්ත්‍රණ ශාලාව අසලට  ගොස් සිටි පාසල් සිසු කණ්ඩායමක් පිටවී යනු දැක්කෙමු.

අපට ලැබී තිබුණේ අංක පහයි. එදිනට එහි යන පස්වන කණ්ඩායම අප විය යුතයි. ආරක්ෂක නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරියෙක් අප වෙත පැමිණ අපගේ අංකය ප්‍රවේශ ලිපිය  සහ අප සියලු දෙනාගේ හැඳුනුම් පත් පරීකෂා කර, ඡායාරුප ගැනීමේ තහනම් නියෝගයක්ද අපට දමා,   අප සමග සම්මන්ත්‍රණ ශාලාව අසලට ගියේය.

සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රවේශ දොරටුව අසලම සිටි නිලධාරියෙක්‌ අපගේ ප්‍රවේශ පත්‍රය දුටු විගසම පිරිස දෙස විමතියෙන් මෙන්  බලා, 'මේ අපේ සර්ලා මිස්ලානේ' කියා සිනහ මුසු මුහුණක් ඇතිව කියා සිටියේය. ඔහු තමන්ගේ ගෝලයෙකු බව පිරිසේ සිටි කිහිප දෙනෙක්ම එකවර හඳුනා ගත්හ.

'මේ සංජීවව  හඳුනා ගන්නත් බැහැනේ දැන් හුඟක්ම වෙනස් වෙලානේ' කියමින්  විශ්‍රාම ගෙන තිබෙන  කලින් සිටි විදුහල්පති වරයෙක් ඉදිරියට ආවේය.

'සර් මම අවුරුදු 20 ක් විතර එංගලන්තයේ සම්මන්ත්‍රණ ශාලාවක් භාරව කටයුතු කළා. මේ සම්මන්ත්‍රණ ශාලාවේ වැඩ කටයුතු බලා කියා ගැනීමට ඇමතිතුමාම ඉල්ලීමක් කළා. මම ඇවිත් සති තුනයි.'
'අලුත් සර්ල මිස්ලාත් ගොඩක් ඉන්නවා' යි

කී ඔහු වෙන කිසිම සෝදිසියක්‌ නොකර  අප ශාලාව තුලට කැඳවාගෙන විත් ඡායාරුප කිසිවක්‌ නොගන්නා ලෙස කාරුණික ඉල්ලීමක්ද කළේය.

'සර්ලගේ කණ්ඩායම තමයි ශාලාව ඇතුලට මුලින්ම ගත්තේ. අදම උදේම සවි කරපු අලුත්ම පුටුවල වාඩි වෙන්න'

කී සංජීව වේදිකාව  අසලට ගොස්  වායු  සමනය ක්‍රියාත්මක කළේය.

සම්මන්ත්‍රණ ශාලාවේ  අභ්‍යන්තර වැඩ මේ වනවිට සම්පුර්ණයෙන් අවසන් කර තිබුනේ නැත. සමහර උපකරණ ලී බඩු  ආදිය තැන් තැන් වල ගොඩ ගසා තිබුණි. ආසන සියයක් පමණ සවි කර තිබිණ.

දහවල් සිටම තද අව්වේ වේලෙමින් ඩහදිය දමා දුවිල්ලෙන් හෙම්බත්වී සිටි අපට වායු සමානය කළ ශාලාව තුල සුව පහසුවට වාඩිවී සිටීම කිය නෙහැකි තරම් ආස්වාදයක් විය.

'තවම ස්ටේජ් එකේ කර්ටන්ස් එහෙම දාලා හැහැ  චීනෙන් ගෙන්වපු  කර්ටන්ස් දැමීමට ටෙක්නීෂියන් කෙනෙක් ලබන සතියේ එනවාලු' කි

සංජීව පැත්තක තිබුණ අඩි හත අටක් උස පාර්සල් ගොඩක් පෙන්වීය.

මේ අතර සුව පහසුවට වාඩිවී සිටි අපගේ පිරිසට අලුත් අදහසක් පහළ වුවා සේ තරමක කසු කුසුවක් ඇසුනි.
සංගීත ගුරු මහත්මියත් නැටුම් ගුරු මහත්මියත් විදුහල්පති ලඟට ගොස් යමක් පැවසීය.
මෙය දුටු සංජය

'ඇයි මිස් මොනවක්වත් දැනගන්නට ඕනෑද? මට පුළුවන් ඕන දෙයක් මිස්ලා වෙනුවෙන් කරන්නම්' කීය

මෙයින් සතුටට පත් ඇය
'තවම ස්ටේජ් එක විවෘත කරලා නැද්ද?
කියා ඇසීය.

'තවම කර්ටන්ස් දාලත් නැහැ. ලයිටින් කරලත් නැහැ. තව මාසයක් විතර යයි' කීවේය.

'අපට ස්ටේජ් එක බලන්න ආසයි ' යනුවෙන් කියන විටම

'ඕනනම් මිස්ලා රංගනයක් කරන්න' කියා සංජය කීවේය

ඔවුන්ගේ අවශ්‍යතාවද එයම  විය. සන්ජයටද එය ඉවෙන් මෙන් දැනෙන්නට ඇත.

ගුරුවර ගුරුවරියන් කිහිප දෙනකු ටික වෙලාවක් කතා කරමින් සිට ' එහෙනම් අපි පොඩි නාට්‍ය කෑල්ලක් කරලා බලන්නම්. අපට අවසරද? '
කියා  ඇසීය.
ටිකක් වට පිට බලු සංජය ප්‍රධාන දොරටුව වසා යතුරු දැමීය.

'නාට්‍යය කරන්න මිස් විනාඩි දහයක් විතර' කී
ඔහු එයට කැමතිවිය.

එක ගුරු මහත්මයෙක් වේදිකාවට නැගී අසල තිබුණ ලී කැබෙල්ලක් මයික්‍රෝෆෝනය ලෙස කට ලඟට කර

'දැන් වේදිකාවට පැමිණෙනුයේ "කාලගෝල නාඩගම" . අත්පොලසන් නාදයකින් පිළිගන්න ' කියා හඬ නැගුවේය.

ඒ සමගම හැඳ  ගෙන සිටි සාරි  එහෙ මෙහෙ කර සකස් කරගත්  දෙදෙනෙක් අත්පොලසන් නාදය මධ්‍යයේ වේදිකාවට ගොඩවී 'කාලගෝල සහ දික්තල' මෙන් නියම රංගනයක් ඉදිරිපත් කළහ.

ඡායා රුප ගැනීමේ තහංචිය නිසා කිසිවෙකු ළඟ මෙහි සිහිවටනයක් නැත.

මෙයද 'කාලගෝල' වේදිකා නාට්‍යයකිනි.

සිහිවීම සඳහා මෙසේ සටහනක් පමණක් තබමි.
නියම "කාලගෝල නාඩගම" නැවත මතක් කර ගැනීමට මේ ලින්ක් එකෙන් බලන්න
https://youtu.be/iwyg71HF8M8

කෙසේ වෙතත් අපගේ ඇදුරු මිතුරු හවුලට ඉතිහාස ගතවන රංගනයක් කිරීමට අවස්ථාව ලැබිණ. මේ 'නිළ නොවන' පළමු රංගනය ගැන තවමත් දන්නේ සුළු පිරිසක් පමණකි.  

14 comments:

  1. මෙය සංචාරවල දී, පාසල් අධ්‍යාපන ගමන්වල දී නරඹන රඟහලක් පමණයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔබට තුති රසික,
      සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වූ බව දන්නවා. ඒ උනත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල හරියාකාර සංවර්ධනය වී නැහැ.

      Delete
  2. ඉඩක් ලැබුණු මොහොතේ වැඩි දුර නොබලා
    වැඩක් කෙරුව වේදිකාව මත නැගලා
    ඉඩක් දුන්නු ගෝලයාට සුභ පතලා
    මතක් වෙන්න ෆොටෝ එකක් නෑ රැඳිලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතවත් දුමි, ස්තුතියි.

      ඇදුරු මඩුල්ලක සිටි අය එකතු වෙලා
      සිරිතකි යාම එන්නට රට තොටද බලා
      කලකින් නොදුටුමූත්, යහගුණ පෙරටු වෙලා
      ගෝලයො නොමැත කිසිවිටකත් අහක බලා

      ඔබට ජයම!

      Delete
  3. ඔය රසික කියන්න වගේ තවමත් ඒ පැත්තට ඔය කියන වගේ රඟහලක තදබල අවශ්‍යතාවයක් නෑ මම හිතන්නෙ. රඟහලවල් අවශ්‍ය තැන්වලට - නැත්නම් අඩු තරමෙ තියෙන ඒවයෙ පහසුකම් දියුණු කරන්නවත් ඒ මුදල යෙදෙව්වනම් ඊට වඩා ප්‍රයෝජනවත් වෙන්නත් තිබුනා.

    කොහොම උනත් ඔයාලගෙ අත්දැකීම නම් රසවත් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි DDT,
      සත්‍යය නම එය තමා.ඒ උනත් සත්‍යය හරිහැටි නොපෙනෙන අවස්ථාවල්ද තිබෙන බවයි පෙනෙන්නේ. ඒ පැත්තේම පිටින් ගස් ගෙනැවිත් මාසයකදී පමණ සකස් කළ උද්භිද උද්‍යානයක්ද (Botanical garden) තිබෙන බව දන්නවාද? එසේ සිටවන ලද බොහෝ ශාක දැන් මැරී ගොස්.
      අපගේ කණ්ඩායම නම් අවස්ථාවට උචිත අන්දමට ක්‍රියාකර අවශ්‍ය විනෝදය ලබා ගත්තා.

      Delete
  4. Nalandaye nam noweyi ?? About 25 km off Colombo.

    ReplyDelete
  5. රඟහල දැන් ඇත අඩ අඳුරේ විජේරත්න වරකාගොඩ මහත්මයාගේ සින්දුව මතක් වෙනවා.

    ඔය රඟහලේ සම්මන්ත්‍රණ කිහිපයක් තිබ්බාට තවමත් නාට්‍යක් නම් නිල වශයෙන් පෙන්වා නැති වෙන්න ඕනේ.

    ReplyDelete

  6. ස්තුතියි,
    නාට්‍ය පෙන්නුවත් බලන්න අය පිටින් ගෙන්වන්නට වේවි. ඉතාමත් නවීන උපකරණ සහ පහසුකම් අපරාදේ !!

    ReplyDelete
  7. ලොක්ක දැනගත්තනන් සංජිවට පෙන්නන්න වෙන්නේ සිරිසඟබෝ.. :)

    මාත් දැකල තියෙන දෙයක් තමයි ඔය ගුරුවරු සෙට් වෙච්ච වෙලාවට හෙන ජොලි වැඩ කරනවා.. පන්තිවල ළමයි ඉස්සරහ ආදර්ශමත්ව ඉඳල ඉඳල ඇති වෙලාද කොහෙද.. :)

    ReplyDelete
  8. කල්‍යාණ මිත්‍ර,
    ඒ සිද්ධිය දන්නේ අපේ කණ්ඩායමත් සංජිවත් විතරමනේ !

    ReplyDelete