Sunday 7 May 2017

ස්ථාන මාරු නිර්දේශ ලිපියේ පලහිලව්වට අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාට යකා නගී............


විශ්‍රාම ගැනීමට ඔන්න මෙන්න කියා සිටි අධ්‍යක්ෂක කෙනෙකු යටතේ මට ටික කලක්  සේවය කිරීමට සිදුවිය. ඔහු මිත්‍රශීලී කෙනෙකු වුවත් සුළු දෙයකට වුවත් කේන්ති යාමත්, කඩා පැනීමත් ඔහුගේ සිරිතක් විය.

නගරයෙන් තරමක් ඈත විදුහලක ඉතා හොඳින් ඉගැන්වීම කළ විද්‍යා ගුරුවරයෙකු ටික කලක සිට ඉගැන්වීම් කටයුතු අතපසු කරන බව මට දැනගන්නට ලැබුණි. ගුරුවරයා  ජයකොඩි නමැත්තෙකි. ඔහුගේ ගැටලුව ගැන සොයා බැලීමට මම එම විදුහලට ගියෙමි. ඔහු මහත් කරදර ගොඩකට මැදිවී තිබෙන බව කතාබස් කළ විට දැනගන්නට ලැබුණි. ඔහු ප්‍රකාශ කළ පරිදි, රැකියාවක් නොකර ඔහුගේ භාර්යාව  අසනීපෙනි. මහලු මව බලා ගැනීමටද සිදුවී ඇත්තේ ඔහුටය. යාබද දිස්ත්‍රික්කයේ ඔවුන් පදිංචි නිවසේ සිට පාසැලට තරමක් දුර බැහැර නිසාත් ගමනාගමන පහසුකම් අඩු නිසාත් ඔහු පාසැලට කිට්ටු නවාතැනක සිට ගෙදර යන්නේ සති අන්ත වලට පමණකි. ඔහුගේ දුක්‌ ගැනවිල්ලට කන්දුන් මම  ඔහු පදිංචි ප්‍රදේශයේ පාසලකට යාම පිණිස අප දිස්ත්‍රික්කයෙන් නිදහස් කරදීමට තීරණය කළෙමි.

ඊට සති කිහිපයකට පසු අලුත් ගුරු පත්වීම් ලේඛනය ලැබී තිබුණු නිසා, ඔහු දැනට සිටින පාසලෙන් නිදහස් කිරීම පිණිස, ලිපියක් සකස් කරගෙන, ඊළඟ බදාදා කාර්යාලයට පැමිණ, මා මුණ ගැසෙන ලෙස ඔහුට පණිවුඩයක් යැව්වෙමි.

ඒ අතරතුර  අලුතින් ලැබුණු ලේඛනයේ තිබුණු නම්වලින් පාසැලට කිට්ටු ලිපිනයක් තිබෙන ගුරු මහත්මියක්‌ එම විදුහලට යැවීමටත් සුදානම් කර ගතිමි.

නියමිත බදාදා ඔහු උදය වරුවේම කාර්යාලයේ සිටිනු මම දුටුවෙමි. පස්වරු දෙකට පමණ මා හමුවීමට පැමිණි ඔහු දුක්ගැනවිල්ල සහිත ලිපිය මට දුන්නේය. එය හොඳින් කියවූ මා ලිපියෙහි පහල හිස්ව තිබුණු කොටසේ ඔහු නිදහස් කල හැකි බවට මගේ නිර්දේශය ලියා, ලේඛනයේ නම තිබුණු ගුරු මහත්මිය ඒ පුරප්පාඩුව සඳහා පත් කළ හැකි බවද සඳහන් කළෙමි. අලුත් ගුරු මහත්මිය මා කතා බස් කර හඳුනාගෙන තිබුණු  කෙනෙක්  නොවුවත් දෙදෙනාටම සාධාරණය ඉටුවන පරිදි මගේ නිර්දේශය කිරීමට හැකිවීම ගැන සතුටු වීමි.

මගේ නිර්දේශය සහිත ලිපියට  අධ්‍යක්ෂක තුමාගේ අත්සන ලබාගෙන විෂයය භාර ලිපිකරුට එය භාරදෙන ලෙස මම ඔහුට වැඩිදුරටත් උපදෙස් දුනිමි.

පැය භාගයකට  පමණ පසුව කාර්යාල සහායක වෙත්තසිංහ මා සිටි කාමරයට් දුව විත්
‘අන්න අධ්‍යක්ෂක තුමා සර්ට කතා කරනවා. හොඳටම කේන්ති ගිහිල්ලා. අඩිත් හප්පනවා.’

ටිකක් කල්පනා කළ මම, මා විසින් නිර්දේශ කරන ලද ස්ථාන මාරු සහිත ලිපි ගොනුවද රැගෙන අධ්‍යක්ෂක තුමාගේ කාමරයට ගියෙමි.

මා දුටු විගසම වියරු වැටුණු අයෙකු මෙන් උස් හඬින් කථා කළ ඔහු 

‘මොකද්ද අයිසේ, මේ වැඩේ තේරුම මොකක්ද මේ බස් ටිකට් එකක්  වගේ කඩදාසි කෑල්ලක ගුරු මාරු වලට නිර්දේශ එවන්නේ. රාජකාරිය කරන හැටි දන්නේ නැද්ද?’ 
කියා මගෙන් ඇසීය.

මට උඩ බිම බැලිණි.   කර ඇති වැරැද්ද  කුමක්දැයි නොදත්තෙමි.

ජයකොඩි බිත්තිය අයිනට වී බැගෑපත් ආකාරයකින් හිස කසමින් සිටියේය . තවත් කාන්තාවක්ද කාමරයේ පසක සිටියාය.

‘නෑ සර්, මම එහෙම මොකවත් ලිව්වේ නැහැ’ කීවිට 

‘මේ අත්සනත් තියෙන්නේ, එහෙනම් මොකක්ද මේක?’

කියා අඟල් දෙකක් පමණ පළල කඩදාසි තීරුවක්‌ මට දික් කළේය.

එය අතට ගත් මම කාරණය තේරුම ගතිමි.

ඈතින් සිටි ජයකොඩි දෙස බැලු විට, ඔහු හිස නමා ඉතාමත් හෙමින් ‘සොරි සර්’ කියනු මට ඇසිණ.

‘ජයකොඩි කෝ ලියුම ?’

කියා ඔහුගෙන් ඇසූ විගසම, නමා සාක්කුවේ දමාගෙන තිබුණු ලියුමේ වැදගත් කොටස එලියට ගෙන මා වෙත දික් කළේය. එය අතට ගෙන අධ්‍යක්ෂක තුමාගේ මේසය මත තබන ගමන්ම ජයකොඩිට කාමරයෙන් පිටවන ලෙස මම අතින් සන් කළෙමි. කාමරයේ සිටි අනිත් කාන්තාවද පිටවූවාය.

කේන්තිය අඩුකරගෙන සිටි අධ්‍යක්ෂක තුමා ජයකොඩිගේ ලිපියත්, ඉරා වෙන්කර තිබුණු මගේ නිර්දේශයත් දෙකම එකට අමුණා, දෙකෙහිම දින මුද්‍රාවද තබා, ගොනුව තුළට දමා 

I am sorry, that fool misled me’ කියා මට කීය. මමද  

That’s all right sir,’ කීවෙමි

මට, ඉදිරියේ තිබුණු පුටුවෙන් වාඩිවෙන ලෙස කී අධ්‍යක්ෂක තුමා, කාමරයට පැමිණි කාන්තාව එයාගේ (ජයකොඩිගේ) භාර්යාවදැයි මගෙන් ඇසීය. මම එය නොදන්නා බව කීවෙමි.

මෙම සිද්ධියට සවන් දෙමින් පිටුපස කාමරයේ සිටි ගුරුමාරු විෂයය භාර ලිපිකරු මෙවිට ලිපි ගොනුවක්ද රැගෙන කාමරයට පැමිණියේය.

‘සර්, දැන් කරදරයක් කළ ගුරුවරයා අද උදේ සිටම කාර්යාලයේ එහෙ මෙහෙ යමින් සිටියා. අලුත් ලයිස්තුවේ නම තිබෙන ........ ගුරු මහත්මියව එයා සිටින පාසලට දමා, තමන්ව නිදහස් කරදෙන ලෙස මගෙන් ඉල්ලීමක්ද කළා’

කී ලිපිකරු ගොනුවෙහි තිබුණු ඒ නම පෙන්වීය.

එය මා නිර්දේශ කළ නමම විය.

සිද්ධිය වන අවස්ථාවේ ජයකොඩි සමග අධ්‍යක්ෂක තුමාගේ කාමරයේ සිට ඇත්තේද එම ගුරු මහත්මිය බව පසුව දැන ගතිමි. ඔවුන් හඳුනා ගත්තේ කෙසේදැයි විමසීමක් අපට අවශ්‍ය නොවීය.

එදිනම පස්වරු හතරට පමණ  අධ්‍යක්ෂක තුමා නැවත මා කැඳවීය.

‘අයිසේ අර ගුරුවරයා මෝඩ කපටියෙක්. මෙහෙන් නිදහස් කර දාලා, නිර්දේශ කරපු අනිත් ගුරුවරියව එතෙන්ට දාමු’.

මම එයට එකඟ වීමි.

ඊට පසු කිසි දිනක මට ජයකොඩි හමු නොවීය.

කලකට පසු, ඔහු විසින් ඉදිරිපත් කරණ ළද  ස්ථාන මාරු ලිපියේ තිබුණු කරුණු සියල්ල අසත්‍ය  බව දැන ගතිමි. ඔහුගේ භාර්යාවද ගුරුවරියකි. තදබල අසනීපයකින් පෙලෙන දරුවෙක්ද ඔහුට නොමැත. මවද ඔහු සමග නැත.

අලුත් ස්ථාන මාරුව ලබා, අලුත් පාසැල ට ගිය පසු ඔහු මහා පරිමාණයෙන් උසස් පෙළ ගණිතය පෞද්ගලික පන්ති පවත්වන බවද දැනගන්නට ලැබිණ.

මෙන්න සමහර ගුරුවරු!    


12 comments:

  1. මූ ශිෂ්‍යයෙකු කාළෙත් මහා අමාරුකාරයෙකු වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික
      ඒ උනාට මුල් කාලයේදී හොඳට ඉගැන්නුවා. බොරු කරන්නට ගත්තේ කලකට පසුවයි. ඒකත් අමාරු කාරයෙකුගේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්

      Delete
  2. යමෙක් හිතකින් තවත් කෙනෙකුට කරයි නම් උපකාරයක්
    ඉඩක් ලදවිට දැනෙන සතුටද පුබුදුවයි සංසාරයක්
    ගුරෙක් එපරිදි බොරුව අතැතිව කරත් මහ ජංජාලයක්
    හිතක් කොහොමද දැහැමි වෙන්නේ ඒක නම් මහ පාපයක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies



    1. හිතවත් දුමි, ඔබට ස්තුතියි.

      කෙනෙක් කරනා විටදී හොඳ හිත ඇතිව පිහිටක් වන දෙයක්
      අනෙ ක් මිනිසා එය ලබනු ඇත සිතේ නොමැතිව කිසිම කුකුසක්
      හිත ක් පපුවක් නොමැති දුදනන් එවැනි දේටත් කරති අවැඩක්
      කොතෙක් ඉගෙනුම ලබාගත්තත් ඔවුන් පෙළඹෙති වෙතම නපුරක්

      Delete
  3. ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ගොඩක් තියෙන කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      වෛද්‍ය වෘත්තියට කොහොම වෙතත් පාතාල කල්ලි නායකයෙක් හැටියට නම් ඉතා සාර්ථක සේවයක් කරන්නට හැකිවේවියයි මට හිතෙනවා.

      Delete
  4. ලෝක අණ්ඩයෙක්නේ... ඒත් අර ලියුමෙන් කෑල්ලක් විතරක් ඉදිරිපත් කරපු හේතුව පැහැදිලි නෑ. මිනිහා බොරු දුක් ගැනවිල්ලක් ලියපු නිසාද?

    ReplyDelete
    Replies

    1. ඔබට තුති,
      සමහර අධ්‍යක්ෂක වරු, ඔය වගේ ලියුම් වලට තොරතුරු සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරිගේ සහතිකයක් ඉල්ලනවා. මිනිහා ඒගැන අසා තිබෙන්නට ඇති. ඒකයි විස්තර තිබෙන කොටස කඩා ඉවත් කර මෝඩ කමක් කළේ. අපේ අධ්‍යක්ෂක වරයා මගේ නිර්දේශය පිළිගත්තා. ඒ නැතත් ඒ කාළයේ අනුප්‍රාප්කයෙකු පත් කර ගුරුවරයෙකු නිදහස් කළ හැකිව තිබුණා. ඒ උනාට දැන් දිස්ත්‍රික් සේවය නිසා ඊට වඩා ටිකක් දුරට යන වැඩ පිළිවෙලක් තිබෙනවා.

      Delete
  5. අණ්ඩපාල කෙනෙක්

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සුමුදු.
      අණ්ඩපාල කෙනෙක් උනත් හොර වැඩේ හරි කරන්නට ගොස් අමාරුවේ වැටුනා. ඔය වැඩේට විනය පරීක්ෂණයක් තබා මිනිහාට දඬුවමක් කරන්නත් තිබුණා. ඒ අතින් අපේ පැසුණු බුද්ධියක් තිබුණු අධ්‍යක්ෂක වරයා වැඩේ ගොඩින් බේරා දමා එයාව ගොඩ දැම්මා.

      Delete
  6. හැක්.. ඔය මොළේ ළමයින්ට උගන්නන්නත් පාවිච්චි කළානං කොච්චර වටිනවද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ඔබට තුති,

      ඒ උනත් එයා කරපු 'නුවණක්කාර' වැඩේ අතේම පත්තු වී ගියානේ.

      Delete