Friday, 4 November 2022

අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ “නොබෙල් ත්‍යාග”

 අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ “නොබෙල් ත්‍යාග”

සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන, ලෝකයේ ඉතාමත් උත්කර්ෂවත් උත්සවයක දී, තෝරාගත් විෂයය ක්ෂේත්‍ර කිහිපයක පර්යේෂණ හෝ ක්‍රියාකාරකම් මගින් මානව සංහතියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉස්තරම් මෙහෙවරක් කරන ලද ස්වල්ප දෙනෙකු ලෝකයේ ඉහලම සම්මානයෙන් පිදුම් ලබති. මොවුන් “නොබෙල් සම්මාන ලාභීන්” (Nobel Laureates) ලෙස හඳුන්වනු ලැබේ. මේ 2022 වර්ෂයේ දී ද ක්ෂේත්‍ර හයක සම්මානලාභීන් නව දෙනෙකුට මෙම අනභිභවනීය ත්‍යාග හිමිවී තිබේ. 

මෙම අගනා ත්‍යාග සඳහා තම ධනය යොදවන ලද්දේ ඇල්ෆ්‍රඩ් නොබෙල් නමැති ධන කුවේරයෙකු විසිනි. එහෙත්, ඔහු එම මුදල් උපයා ගත්, දැනුදු “අසම්මත” යයි පිළිගැනෙන ක්‍රමවේදය නිසා, ආරම්භයේ දී සිට ම, මෙම “සම්මාන ත්‍යාග ව්‍යාපෘතිය” මහත් කුතුහලයට සහ විවේචනයට ලක් වී ඇත.

“වෙඩි බෙහෙත්” (Gunpowder) පුපුරන ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම ආරම්භ වී දැන් ශත වර්ෂ හත අටක් ගත වී ඇත. වෙඩිබෙහෙත් යනු “පොටෑසියම් නයිට්‍රේට්, ගෙන්දගම් කුඩු සහ අඟුරු කුඩු අඩංගු රසායනික මිශ්‍රණයකි. මේ මිශ්‍රණය පතරොමක් හෝ ගල් බෝරයක් වැනි සීමිත ඉඩකඩක් තුළ දහණය වීමට සැලැස්වූ විට, පුපුරා, ඉතා බලවත් ඉදිරි තෙරපුමක් ඇති වේ. සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරනු ලබන තුවක්කු පතරොම්වල පුපුරන ද්‍රව්‍යය වන්නේ ද වෙඩි බෙහෙත් ය. යුද සහ ආරක්ෂක කටයුතුවලදීත් වෙඩි බෙහෙත් භාවිත කර ඇත ඒ භාවිතය නිසා මිනිසුන් ද ලක්ෂ ගණනින් මිය ගොස් ඇත.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ පියා වූ ස්වීඩන් ජාතික, ඉම්මානුවෙල් නොබෙල්, ඉංජිනේරුවෙකු, නව නිපැයුම්කරුවෙකු මෙන් ම සාර්ථක ව්‍යාපාරිකයෙකු ද වූ අයෙකි. දහනමවන ශත වර්ෂය මැද දී රුසියාවට සංක්‍රමණය වූ ඉම්මානුවෙල්, එවකට එරට සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සම්බන්ධ වී වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් රුසියාවේ ආරම්භ කළේය. රුසියාව 1853 වර්ෂයේ සිට මැදිහත්වූ “ක්‍රිමියානු” යුද්ධයේ දී, රුසියානු යුද හමුදාවට වෙඩි බෙහෙත් ඇතුළු වෙනත් පුපුරණ ද්‍රව්‍ය සැපයීම මගින් ඉම්මානුවෙල් විශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ ය. එහෙත් 1856 දී පමණ යුද්ධය අවසන් වීමත් සමගම ඔහුගේ ව්‍යාපාරය අකර්මන්‍ය තත්ත්වයට පත් විය. මේ වන විට තරුණයෙකුව සිටි ඇල්ෆ්‍රඩ් නොබෙල්, රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ උසස් අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව ඉගෙන ගනිමින් සිටි අතර පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට ගොස් වෙඩි බෙහෙත් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට පටන්ගත්තේ ය. 

ඒ වන විට, කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ලෙස බිහි වූ නව නිපැයුම් සඳහා ගල් අඟුරු අත්‍යවශ්‍ය ඉන්ධනයක් බවට පත් වී තිබුණි. ගල් අඟුරු ආකර ඇති ප්‍රදේශවල පතල් හාරා අභ්‍යන්තරයේ ඇති ගල් අඟුරු නිධි කඩා ගත යුතු වූ නමුත් ඒ සඳහා වෙඩි බෙහෙත් භාවිත කිරීම මහත් අන්තරායකාරී ක්‍රියාවක් විය. 

“නයිට්‍රෝ ග්ලිසරීන්” (Nitro glycerine) නමැති තවත් පුපුරන ද්‍රව්‍යයක් වෙනත් පර්යේෂකයෙකු විසින් සොයාගෙන තිබුණු නමුත් එහි අධිකතර ගාමක බලයත්, ගබඩා කර තැබීම අනතුරුදායක නිසාත්, ගල් අඟුරු ආකරවල භාවිත කළ නොහැකි විය. තම රසායන විද්‍යා පර්යේෂණවල නියැලී සිටි ඇල්ෆ්‍රඩ්, “නයිට්‍රෝ ග්ලිසරීන්” වෙනත් අක්‍රීය ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කර අන්තරායකාරී බවෙන් අඩු මිශ්‍රණයක් නිපදවීම අභිමතාර්ථය කර ගනිමින්, විවිධ පර්යේෂණ කළේය. 

එසේ කළ පර්යේෂණයක් අතරතුර සිදු වූ මහා පිපුරුමකින්, ඇල්ෆ්‍රඩ් ගේ සහෝදරයෙකු වූ එමිල් ද තවත් කිහිප දෙනෙකු ද මිය ගියහ. ඒ 1864 දී ය. මෙයින් ද පසුබට නොවූ, ඇල්ෆ්‍රඩ් නොබෙල් තම පර්යේෂණ තවදුරටත් කරගෙන ගොස් 1867 දී, ඒක සෛලීය ඩයටම් ජීවී සෛල බිත්ති අවශේෂ බහුල, “ඩයැටෝමේශියස් අර්ත්” (diatomaceous earth) නමින් හැඳින්වූ සියුම් අවසාදිත මුහුදු වැලි, පාදක කර ගනිමින් “නයිට්‍රෝ ග්ලිසරීන්” අන්තර්ගත කළ හැකි මිශ්‍රණයක් නිපදවා ගත්තේය. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂාකාරී පුපුරන ද්‍රව්‍යයක් විය. ඔහු මෙම නව රසායන මිශ්‍රණය “ඩයිනමයිට්” (Dynamite) ලෙස නම් කළේ ය. ග්‍රීක් භාෂාවෙන් dynamis ලෙස හැඳින්වෙනුයේ බලය (power) යන අර්ථයයි. 

ඉතා ඉක්මණින්ම ජනප්‍රිය වූ මෙම ආරක්ෂාකාරී පුපුරණ ද්‍රව්‍යය, ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා බහුලව යොදා ගන්නා ලද අතර ඇල්ෆ්‍රඩ් නොබෙල් ටික කාලයකදීම අති විශාල ධනස්කන්ධයක හිමිකරුවෙකු බවට පත්විය. භූගත ගල් අඟුරු ලබාගැනීම සඳහා තම නිෂ්පාදනය භාවිත කිරීම මිනිස් සංහතියටම සෙතක් අත්පත් කර දෙන බව, ඇල්ෆ්‍රඩ් නොබෙල් තදින්ම විශ්වාස කළ ද, ඩයිනමයිට් නිසා මිනිස් ජීවිත විනාශ වීම සම්බන්ධව බොභෝ මතභේද ඉස්මතු වන්නට විය. විශේෂයෙන්ම සමහර පුවත්පත්, මෙම නිෂ්පාදනය විවේචනයට භාජන කළේය. 

මේ අතරතුර ඇල්ෆ්‍රඩ් ගේ තවත් සහෝදරයෙකු හදිසියේ ම මිය ගියේය. මෙම ආරංචිය වැරදි ආකාරයකට තේරුම් ගත් ප්‍රංශ පුවත් පතක්, එසේ මිය ගියේ ඇල්ෆ්‍රඩ් යැයි වරදවා අදහස් කර (Le marchand de la mort est mort) “මිනිස් ඝාතන වලට මග පෑදූ වෙළෙන්දා මියයයි” යන සිරස් තලය යටතේ ලිපියක් පළකර තිබුණි. ඇල්ෆ්‍රඩ් නොබෙල් මෙම සිද්ධිය නිසා මහත් කනස්සල්ලකට පත්විය. 

විවාහ නොවී තනිකඩයෙකු ලෙස ජීවත් වූ ඇල්ෆ්‍රඩ්, තමාට මහත් අවමානයක් කළ පුවත් පත පිලිබඳව ඇති වූ කනස්සල්ල මග හරවා ගැනීම සඳහා හොඳම මාර්ගයක් ගැන කල්පනා කළේය. “ඩයිනමයිට්” අලෙවි කර ඔහුට මෙතෙක් ලැබී ඇති මහා ධනස්කන්ධයත්, ඉදිරියේ දී ලැබිය යුතු ධනයත් මානව සංහතියේ අභිවෘද්ධිය සඳහාත් විශේෂයෙන් ම ලෝක සාමය සඳහාත් යෙදවීම තමාගේ යුතුකම බව ඔහු තේරුම් ගත්තේ ය. තම අන්තිම කැමති පත්‍රය ඒ අනුව සකස් කළ ඇල්ෆ්‍රඩ් නොබෙල්, වසර 63 ක් ආයු වළඳා 1896 දී මිය ගියේය.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ නමින් ම පිදෙන නොබෙල් ත්‍යාග පරිපාලනය කිරීමට පහත සඳහන් ආයතන ඔහු විසින් නම් කර තිබුණි.

  • ස්විඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය: භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිලිබඳ ත්‍යාග 

  • ස්විඩිනයේ සොලෝනා විශ්ව විද්‍යාලයයේ කැරොලින්ස්කා ආයතනය: වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිලිබඳ ත්‍යාගය

  • ස්වීඩන් ඇකඩමියේ භාෂා අංශය: සාහිත්‍යය පිලිබඳ ත්‍යාගය 

  • නෝර්වීජියානු පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතනය: සාමය පිලිබඳ ත්‍යාගය 

මෙම පැවරීම් වලට පසුව නොබෙල් ත්‍යාග පිරිනැමීමේ කටයුතු පරිපාලනය සඳහා “නොබෙල් පදනම” පිහිටුවන ලදී. ආරම්භයේදී නොබෙල් ත්‍යාග අරමුදල, ස්විඩීන ක්රෝනා මිලියන තිස් එකකට අධික විය. 

පළමුවෙනි නොබෙල් ත්‍යාග ප්‍රදානය පවත්වන ලද්දේ 1901 වර්ෂයේ දී ය. මෙහි දී X කිරණ සොයාගත් Conrad Röntgen කොන්රඩ් රොන්ට්ජන් භෞතික විද්‍යාව සඳහාත්, ශාකවල ආස‍්‍රැති පීඩනය සොයාගත් Vant Hoff වැන්ට් හොෆ් රසායන විද්‍යාව සඳහාත් ත්‍යාග ලැබූහ. පළමුවෙනි නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ වරයා වූ හෙන්රි ඩුනාන්ට් Henry Dunant ට ය. 

පසුව 1968 සිට ආර්ථික විද්‍යාව සඳහා ද, “ස්වෙරිජස් රික්ස්බෑන්ක්” හෙවත් ස්වීඩනයේ මහ බැංකුව මගින් නොබෙල් ත්‍යාගය හා සමාන ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කරන ලදී. පසුව මෙම ත්‍යාගය ද නොබෙල් ත්‍යාගයක් වශයෙන් පිළිගෙන එහි පරිපාලන කටයුතු ද, නොබෙල් පදනම වෙත පවරා තිබේ.

ආරම්භයේ සිට 2021 වර්ෂය දක්වා, ආර්ථික විද්‍යාව සඳහා වන ත්‍යාගය ද ඇතුළුව නොබෙල් ත්‍යාග 975 ක් සම්මානලාභීන් 609 දෙනෙකුට ප්‍රදානය කර තිබේ. අදාළ කේෂේත්‍ර සීමාවේ සිට සමස්ත මානව සංහතියේ අභිවෘද්ධිය සඳහා ඉවහල්වන උත්කෘෂ්ඨ සේවයක් වෙනුවෙන් පමණක් පිරිනැමෙන මෙම සම්මාන ලාභීන් අතර හැටදෙනෙකු කාන්තාවෝ වෙති. සම්මාන වැඩි ප්‍රතිශතයක් හිමිවී ඇත්තේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර වල කර ඇති අද්විතීය නව සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා ය. මොවුන් අතරින් මාරි කියුරි (Marie Curie) විද්‍යාඥවරිය, 1903 දී භෞතික විද්‍යාව සහ 1911 දී රසායන විද්‍යාව යන විෂයය ක්ෂේත්‍ර දෙකට නොබෙල් සම්මාන දෙකක් ලබා වාර්තාවක්ද පිහිටුවා ඇත. 

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන සුවිශේෂී රන් පදක්කම පහත දැක්වේ. 

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන සුවිශේෂී රන් පදක්කම 


මෙහි මූණතේ ඇත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ රුවයි. එහි දකුණු පැත්තේ, ඔහුගේ උපත සහ මරණය සිදුවූ වර්ෂ රෝම ඉලක්කම්වලින් සඳහන් කර ඇත. එකක් 200 g බරින් සහ විෂ්කම්භය 66 mm ක් වූ, මෙම රන් පදක්කම් 1980 වර්ෂය දක්වා නිර්මාණය කර ඇත්තේ, කැරට් 23 රත්‍රන් වලිනි. පසුව ඒවා කැරට් 18 ප්‍රතිචක්‍රීය කරන ලද රත්‍රන් වලින් සෑදීමට පියවර ගෙන තිබේ. 

විවිධ ක්ෂේත්‍රයන්හි නොබෙල් ත්‍යාග පිළිබඳ තීරණ ගැනීමේදී නොයෙකුත් මති මතාන්තර සහ මතභේද වලට තුඩු දුන් අවස්ථාද එමටය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම නෝර්වීජියානු බලධාරීන් ඒවා සමථයකට පත්කර අවසාන තීරණ ගෙන තිබේ. මෙවැනි සිදුවීම් සහ වෙනත් සුවිශේෂී ඇගයීම් කිහිපයක් පහත දැක්වේ. 

  • රසායන විද්‍යාව සඳහා 2019 දී නොබෙල් සම්මානය දිනූ ජෝන්. බී. ගූඩ්ඉනෆ්, එවකට වයස අවුරුදු 97 ක වයෝවෘද්ධයෙක් විය. මොහු නොබෙල් සම්මානයක් දිනු වැඩිමහලුම පුද්ගලයා ය. ජෝන්. බී. ගූඩ්ඉනෆ්

  • පාකිස්තානු ජාතික මලාලා යුසෆ්සායි වයස අවුරුදු 17 දී නොබෙල් සාම සම්මානය ලබා, වයසින් අඩුම සම්මානලාභිණිය වූවා ය. 


  • මලාලා යුසෆ්සායි
  • ත්‍යාග සඳහා නම් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වූ නිසා, “මරණයට පසු සම්මාන” (posthumous awards) ලැබූ සම්මානලාභීන් තිදෙනෙකු ගැන ද සඳහන්වේ.

  • 1939 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර තිබුණු ඇඩොල්ෆ් හිට්ලර්, දෙවන ලෝක යුද්ධයේ දී මිනිස් සමුලඝාතනවලට මුල්වූ පුද්ගලයා බව ඔප්පු වීමෙන් පසු, ඔහුගේ නාම යෝජනාව ඉවත් කරන ලදී.

  • නොබෙල් ත්‍යාග හිමිවූ දෙදෙනෙකු එම ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇති අතර, නොයෙකුත් හේතු නිසා තවත් සිව් දෙනෙකුගේ ත්‍යාග අහිමි කර තිබේ.

  • මියන්මාරයේ අවුන් සාන් සුකී (Aung San Suu Kyi) සහ තවත් දෙදෙනෙකු නොබෙල් ත්‍යාග ලාභීන් වන විට, තම රටවල දේශපාලන සිරකරුවන් වී සිටියහ.

  • නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු කළු භේදය ඉවත් කිරීමට මූලික වීම නිසා ද, අමෙරිකා එක්සත් ජනපදයේ බැරැක් ඔබාමා සාමය සඳහා ජාත්‍යන්තර සහයෝගය ගොඩනැගීම වෙනුවෙන් ද, නොබෙල් සාම ත්‍යාගය ලැබූ රාජ්‍ය නායකයෝ දෙදෙනෙකි. 

  • එමෙන්ම බෞද්ධ නායකයෙකු වන 14 වැනි දලයි ලාමා තුමා සහ කතෝලික සාන්තු වරියක ලෙස නම්කර ඇති, තෙරේසා මව්තුමිය ද නොබෙල් සාම ත්‍යාග ලැබූ ආගමික නායකයින් අතර වෙති. 

  • 1948 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර සිටි භාරතයේ මහා මානව හිතවාදියා වන මහත්මා ගාන්ධි, එම තේරීම් ප්‍රසිද්ධියට පත්කිරීමට දින දෙකකට පෙර, සාහසිකයෙකුගේ වෙඩි පහරින් මියගිය නිසා, ත්‍යාගය පිරි නැමීම අත්හිටවන ලදී.

  • ලෝකප්‍රසිද්ධ “ගීතාංජලි” කාව්‍ය සංග්‍රහය උදෙසා 1913 දී, රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියාට සහ, “මිනිස් සාරධර්ම ඇගයීම” පිලිබඳ කෘතියට සහ චතුර කථිකත්වය උදෙසා වින්ස්ටන් චර්චිල් දේශපාලනඥයාට 1953 දී ද, සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග හිමිවී තිබේ.  රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්

  • “සාපේක්ෂතා වාදය” ලොවට හඳුන්වා දුන් විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ “ප්‍රකාශ විද්‍යුත් ආචරණය” පිලිබඳ සොයා ගැනීම් සඳහා ය. 

මිනිසාගේ අභිවෘද්ධියට අහිතකර, “අසම්මත” ද්‍රව්‍යයක් ලෙස ශිෂ්ඨ සමාජයේ ගැරහීමට ලක්වූ “වෙඩි බෙහෙත්” අලෙවියෙන් ලබාගත් මහා ධනස්කන්ධය, එම්මානුවෙල් නොබෙල් ගේ අවෑමෙන්, ඔහුගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් නොබේල්ට අයිති විය. ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා වෙඩි බෙහෙත් අනාරක්ෂිත පුපුරණ ද්‍රව්‍යයක් නිසා ඇල්ෆ්‍රඩ් තව දුරටත් තම පර්යේෂණ කටයුතු මෙහෙයවා, ආරක්ෂාකාරී “ඩයිනමයිට්” සොයා ගත්තේය. කාර්මික යුගයේදී ඉතාමත් බහුල ලෙස භාවිත කළ ඩයිනමයිට් නිසා ඇල්ෆ්‍රඩ් ගේ ආදායම දෙතුන් ගුණයකින් වැඩි විය. වෙඩි බෙහෙත් සහ ඩයිනමයිට් යන ද්‍රව්‍ය දෙකම පුපුරන ද්‍රව්‍ය වූවත්, ඒවායින් මිනිස් සංහතිය සඳහා ලැබී ඇති ප්‍රතිලාභ මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. තම නිෂ්පාදන වලින් ඉදිරියේ දීත් මිනිස් සංහතියටම සෙතක්ම අත්පත් කර දෙන බව, ඇල්ෆ්‍රඩ් නොබෙල් තදින්ම විශ්වාස කළේය. විද්‍යා ගවේෂණ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු, නුදුරු අනාගතයේදීම ලෝක සාමය උදාවී, සමානාත්මතාවය ලොව පුරා පැතිරී යා යුතු බව තදින්ම විශ්වාස කළේය. මේ නිසාම ඔහු තම ධනය සම්පූර්ණයෙන්ම සදා අනුස්මරණීය නොබෙල් ත්‍යාග සඳහා වෙන්කරන ලදී. විශේෂයෙන්ම විද්‍යා ගවේෂණ වෙනුවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන අංශ තුන සඳහා ත්‍යාග තුනක් වෙන් කරනලද්දේ ඒ සම්බන්ධයෙන් ඔහු තුල පැවති මහත් ගෞරවය නිසාමය. සාහිත්‍යය සහ සාම ත්‍යාග වලින් අදහස් කරන ලද්දේද ලෝක සාමය උදෙසා කරනු ලබන මෙහෙවර ඉහලින්ම ඇගයීමකි. 

දයාරත්න වීරසේකර 

(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි) 

 


Wednesday, 5 October 2022

'රාජකීය අත්වැරැද්ද' නිසා මුළු රටම පාරිසරික අර්බුදයක....!

 ‘රාජකීය අත් වැරැද්ද’ නිසා මුළු රටම පාරිසරික අර්බුදයක…!

ජපානයේ හිරෝහිතෝ අධිරාජයා,1926 වසරේ සිට 1989 දක්වා . රාජ්‍ය පාලනයේ යෙදෙමින් සාගර ජෛව  විද්‍යාඥයෙකු ලෙසද මහත් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ එකම පුත්‍රයා වූ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයාද, තම පියාගේ අඩිපාරේ යමින් ජීව විද්‍යාව සම්බන්ධව මහත් උනන්දුවක් දැක්වීය. පාසල් කාලයේ සිටම ඔහු මත්ස්‍ය ජීව විද්‍යාව පිලිබඳ   සිත් යොමු කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුවද, විද්‍යාත්මක මත්ස්‍ය අධ්‍යයනය ඔහුගේ විනෝදාංශය බවටද පත්විය.

ජපානයේ අනාගත ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා 1960 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා පිටත් විය. එවකට ඔහුගේ වයස අවුරුදු 26 කි. මෙම සංචාරයේදී ඔහු චිකාගෝ නගරයට පැමිණි අවස්ථාවේදී  එම නගරයේ නගරාධිපති  වූ  රිචර්ඩ් ඩේලී විසින් ඔහු රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගන්නා ලදී. ඩේලීද මත්ස්‍ය අධ්‍යයනයේ යෙදෙමින් මත්ස්‍ය අභිජනනය පිලිබඳ පර්යේෂණ කරන්නෙකු වීම නිසා, ඔවුන් දෙදෙනාට අහම්බෙන් මෙන් මත්ස්‍ය චර්යා පිලිබඳ බොහෝ අධ්‍යයන කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය. ලෝක ප්‍රසිද්ධ ‘Shedd මින්මැදුර’ පිහිටුවා ඇත්තේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ  නගරයේය. ඩේලි නගරාධිපති වරයාගේ ආරාධනය පරිදි නගරයේ වැදගත්ම ස්ථානයක් වන මින්මැදුර නැරඹීමට ගිය  අකිහිතෝ කුමරු, එහි සිටි විවිධ මත්ස්‍ය විශේෂ දහස් ගණනක් දැක බලා ගැනීමෙන්  මහත් අමන්දානන්දයට පත්විය. 

තම රාජකීය මිතුරාගේ සහ තමන්ගේත්  අධ්‍යයන විෂයය පථයට බොහෝ සේ සමීප, මිරිදිය මත්ස්‍ය තොගයක් තෑග්ගක් වශයෙන් කුමාරයාට පිරිනැමීමට නගරාධිපතිවරයා එවලේම තීරණය කළේය. අකිහිතෝ කුමරුද  මෙම අදහසට මහත් ප්‍රසාදය පළකළේය. මේ අවස්ථාවේදී, නගරාධිපති වරයා විසින් කුඩා අතංගුවක්  භාවිත කර එක් මත්ස්‍ය තටාකයකින් අල්ලා ගත් සිත් ඇදගන්නාසුළු මත්ස්‍යයින් 18 දෙනෙකු කුමාරයාට තෑගී කළේය. 

Bluegill "නිල් කරමලයා" Ruby Barb "බුලත් හපයා"

මෙසේ තෑගි ලැබුණේ,  උතුරු ඇමරිකාවට ආවේණික, විශේෂයෙන්ම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බහුල, එමෙන්ම ඉතාමත් ජනප්‍රිය Bluegill “නිල් කරමලයා” (Lepomis macrochirus)  ලෙස හැඳින්වෙන ගංගා, විල් සහ පොකුණු වල ජීවත් වන අලංකාර මිරිදිය මත්ස්‍ය විශේෂයෙකි. මෙම මත්ස්‍යයා පෙන්සිල්වේනියා ප්‍රාන්ත රජයේ නිල මත්ස්‍යයා වීමද විශේෂත්වයකි. මෙම මත්ස්‍ය විශේෂය ආසියානු රටවලට ආවේණික මත්ස්‍ය විශේෂයක් නොවේ. එහෙත් ආසියානු කලාපයේ බහුල  Ruby Barb, “බුලත්හපයා ” (Pethia nigrofasciata), හැඩරුවෙන් නිල්  කරමලයාට තරමක් සමීප වුවත් ශරීර ප්‍රමාණයෙන් කුඩා  මත්ස්‍යයෙකි. 

“මාහට ඇමෙරිකා සංචාරයේදී ත්‍යාගයක් වශයෙන් ලැබුණු Bluegill  මත්ස්‍ය තොගය නිසා මත්ස්‍ය අභිජනනය පිලිබඳ මාගේ උද්‍යෝගය දෙගුණ තෙගුණ වුවා.  මා ජපානයට සේන්දු වූ විගසම, රජ මාලිගය වටා ඇති පෞරාණික මිරිදිය අගල පිළිසකර කරවා, එය මත්ස්‍යාගාරයක් ලෙස සකස් කර, මේ මත්ස්‍ය තොගය දිය අගලේ සුරතල් මසුන් ලෙස ඇතිකිරීමට පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා” 

යයි, උද්‍යෝගිමත් තරුණ මත්ස්‍ය විද්‍යාඥයෙකු වූ, අකිහිතෝ කුමාරයා, අමෙරිකාවෙන් පිටත් වීමට පෙර   චිකාගෝහි ‘Tribune’  පුවත් පතට ප්‍රකාශයක් කර තිබේ.


පැසිෆික් සාගරයට ඉහලින්  චිකාගෝ සිට ටෝකියෝ දක්වා දිගු ගුවන්   ගමනට නිරුපද්‍රිතව ඔරොත්තු දුන්නේ තෑගී ලැබුණු මත්ස්‍යයින් 15 දෙනෙකු පමණකි. වහාම මෙම මත්ස්‍යයින් රැක බලා ගැනීම  සහ අභිජනනය සඳහා සූදානම් කිරීම පිණිස, ජපානයේ ජාතික ධීවර ආයතනයට කුමාරයා විසින් භාරදෙන ලදී. ඔවුන් විසින් අභිජනන කාර්යාවලිය ඉතාමත් සාර්ථකව සිදු කරන ලදුව, මාස කිහිපයකදීම bluegills මාලුපැටවුන් සිය  ගණනක් ලබාගත හැකිවිය. 1961 වර්ෂය මුලදී පළමු මත්ස්‍ය පැටව් තොගය, නවීකරණය කරනලද ආරක්ෂක දිය අගලට මුදාහරින ලදී. විලෝපීයයන් කිසිවෙක් නොමැති කම නිසාත්, හොඳින්ම පෝෂණය ලැබීම  නිසාත්, විශේෂයෙන්ම රාජකීය ‘හස්තයක’ බලපෑම නිසාත්   මෙම විදේශීය මත්ස්‍යයින් ඉක්මණින්ම වර්ධනය වන්නට විය. එහෙත් දිය අගලේ කෘතීම පරිසරයේ මත්ස්‍ය අභිජනන වේගය අඩු බව පසුව පෙනී ගියේය. මේ නිසා මත්ස්‍ය පැටවුන් ස්වාභාවික පරිසර පද්ධති වලටද මුදා හැරීම ගැනද සිත් යොමු  කරන්නට සිදුවිය. මෙතෙක් කල් ජපානයේ දකින්නට නොලැබුණු, රටට ආවේණික  එම හැඩහුරුකම ඇති වෙනත්  මත්ස්‍යයින්ට  වඩා ප්‍රමාණයෙන් විශාල, සිත් ඇදගන්නාසුළු  වර්ණයෙන් යුත් මෙම bluegills ඉක්මණින්ම කාගේත් ආකර්ෂණයටද ලක්විය. 

ඔටුන්න හිමි අකිහිතෝ කුමරුන් විසින් රටට හඳුන්වා දුන් මත්ස්‍යයෙකු නිසා මොවුනට ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන අන්වර්ථ නාමයක්ද පටබැඳිණි. ‘කුමාර මත්ස්‍යයා’ ජපානයට හඳුන්වා දීම වෙනුවෙන්  ගෞරව කිරීමේ සංකේතයක් වශයෙන් වසර කිහිපයකට පසු,  අකිහිතෝ කුමාරයාගේ තොරතුරු සහ එම මත්ස්‍යයාට  ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන නම පට බැඳීමට හේතුවද සටහන් කර විශාල ශෛලමය ඵලකයක්ද, ස්මාරකයක් වශයෙන්  මුහුදු වෙරළ  ආසන්නයේ  ස්ථාපනය කරන ලදී. 1966 වසර වන විට bluegills පැටවුන් ජපානයේ විශාල ජලාශ කිහිපයකට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලටද   මුදා හරින ලදී. ස්වාභාවික ජලාශවල ඇති ප්‍රශස්ත පාරිසරික සාධක නිසා මත්ස්‍ය අභිජනනයද  වේගයෙන් සිදුවිය.                                                                                   

මේ කාලයේ ජපානයේ සිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය පර්යේෂණ විද්‍යාඥයෙකු වූ  නකායි කට්සුකි (Nakai Katsuki) විසින් ජපානයට අලුතින් හඳුන්වාදුන් Bluegills මත්ස්‍යයින් පිළිබඳව තම නිරීක්ෂණ ප්‍රකාශයට පත්කර තිබුණේ මෙසේය.                                                                                      “මේ දක්වා ජපානයේ ආක්‍රමණශීලී මත්ස්‍යයින් පිලිබඳ කිසිම හෝඩුවාවක්වත් නොමැත. අලුතින් බෝ කරන ලද අලංකාර මත්ස්‍ය විශේෂය වන Bluegills  ඔවුන්ගේ භෝජන විලාසය අනුව අනිකුත් දේශීය මත්ස්‍ය විශේෂ වලට කිසිම ආකාරයකින් හානිදායක නොවෙති. එමෙන්ම ඔව්හු මත්ස්‍ය භක්‍ෂකයෝද නොවෙති.” 

මේ ආකාරයට තවත් වසර කිහිපයක් ගතවිය. Bluegills  මත්ස්‍යයින් පිළිබඳව උනන්දුවද ක්‍රමයෙන් තුනීවී ගියේය.  

රජ මාලිගය වටා පිහිටි කෘතීම දිය අගල් පරිසරයේ  Bluegills   ගහණ ඝනත්වය  ක්‍රමක්‍රමයෙන් අඩුවී ගියේය. එහෙත් ස්වාභාවික ජලාශවලට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලට මුදා හරින ලද  මත්ස්‍යයින්ගේ ගහණ ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහල යන බව නිරීක්ෂණය කරන ලදී. එපමණක් නොව, එම මත්ස්‍යයින්ගේ කලින්  දකින්නට ලැබුණු සරල භෝජන රටාවද වෙනස් වී ඔවුන් ආහාර වශයෙන් ගත් ජලජ කෘමීන්, ප්ලැන්ක්ටන් සහ ජලජ ශාක වලට අමතරව කූනිස්සන් සහ දේශීය මත්ස්‍යයින්ගේ බිත්තරද බහුල වශයෙන් ආහාරයට ගන්නා බවද හෙළි විය. මේ ආකාරයට මොවුන්ගේ භෝජන විලාසය වෙනස් කිරීම සහ ඔවුන් විලෝපියයන්ගේ, ස්වරූපයක් ආරෝපණය කර ගැනීමත්,  දේශීය මත්ස්‍ය ගහණවල  පැවැත්ම සඳහා, බරපතල තර්ජනයක් වියහැකි බව විද්‍යාඥයින් විසින් බලධාරීන්ට ඒත්තු ගන්වන ලදී.  

මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් කරනලද පරීක්ෂණ අනුව Bluegills ජපානයට ආක්‍රමණික මත්ස්‍ය විශේෂයක් බවට පරිවර්තනය  වී ඇති නිසාත්  ඔවුන්ගේ ව්‍යාප්තිය පාලනය කළ යුතු බව තීරණය කර, ඒ සඳහා අවශ්‍ය විධි විධානද  රජය විසින් පනවන ලදී. මේ අනුව 1999 වර්ෂයේදී රටපුරා ඇති මිරිදිය ජලාශ සහ වෙනත් ජලජ ප්‍රභව වල එම මත්ස්‍ය ව්‍යාප්තිය පිළිබඳව පුළුල් සමික්ෂණයක්ද  කරන ලදී. එහෙත් මේ වන විට, පාලනය කළ නොහැකි ආකාරයකට Bluegills මත්ස්‍ය ගහණය රටපුරා ව්‍යාප්ත වී ඇති බව හඳුනා ගන්නා ලදී. 

මේ වනවිට අකිහිතෝ කුමරු ජපානයේ අධිරාජයා බවට පත්වී සිටියේය. තමන් විසින් වසර 40 කට පමණ ඉහතදී, අමෙරිකාවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස ජපානයට ගෙන එන ලද Bluegills විසිතුරු මත්ස්‍යයින් විසින් මේ වනවිට රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට කර ඇති බලගතු  විනාශය ගැන ඔහු මහත් කම්පාවට පත්විය. මෙම ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා අවශ්‍ය වන සියලු ප්‍රතිපාදන වහාම සකස් කර දෙන ලෙස ඔහු අදාල සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.  මේ අනුව රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වය සුරැකීම සඳහාත් Bluegills මත්ස්‍ය ආක්‍රමණය මගහරවා ගැනීම සඳහාත් විවිධ විද්‍යාත්මක මෙන්ම වෙනත් පියවර ගැනද රටෙහිම අවධානය යොමුවිය. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අභිජනනය පාලනය කිරීමේ ක්‍රමවේදයකින් මිස  මෙම ව්‍යසනය පාලනය කරගත නොහැකි  බව අවසාන තීරණය විය. රටෙහි මහජනතාව අතර, Bluegill මත්ස්‍යයින් වැඩිපුර ප්‍රමාණයක් ආහාරයට ගැනීම ජනප්‍රිය කරවීම සඳහාද විවිධ  ක්‍රමවේදද  ඉදිරිපත් විය. මේ අනුව ජපානයේ සමහර ප්‍රාන්ත වල, මිරිදිය ධීවරයින්ට   Bluegill මසුන් වැඩිපුර ඇල්ලීම දිරිමත් කිරීම සඳහා


මත්ස්‍ය කිලෝග්රෑම් එකකට ඩොලර් තුනක දිරි දීමනාවක් දීමටද පියවර ගන්නා ලදී.


එමෙන්ම විවිධ පර්යේෂණ ආයතන මගින් එම මසුන් ඇල්ලීම සඳහාත්, මත්ස්‍ය බිත්තර එකතු කිරීම සඳහාත් නව පන්නයේ උගුල්ද නිෂ්පාදනය කරන ලදී.

තවද ජලාශවල ධීවර කටයුතු සඳහා අලුතින් Bluegill මත්ස්‍ය ගහණ  ස්ථාපනය කිරීමද නීතියෙන් තහනම් කර, අනවසරයෙන් එසේ කිරීම ඩොලර් 1000 ක දඩයකටද යටත් කරන ලදී.


මේ කිසිම ක්‍රමවේදයක් සාර්ථක නොවූ බැවින් 2002 වර්ෂයේදී ජපානයේ පරිසර අමාත්‍යාංශය මගින් Bluegill ආක්‍රමණශීලී  මත්ස්‍ය විශේෂයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. 

මේ අවාසනාවන්ත සිද්ධිය නිසා මහත් පසුතැවිල්ලට පත්වූ අකිහිතෝ අධිරාජයා 2004 වර්ෂයේදී, තමාගේ නොසැලකිලිමත් භාවය නිසා තම රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට සිදුවූ බරපතල හානිය පිළිබඳව ජාතියෙන් සමාව අයදින බව ප්‍රකාශයට පත් කළේය. 


මෙම ප්‍රකාශය හුවා දක්වමින් Japan Times පුවත්පත “අකිහිතෝ අධිරාජයා විසින් දශක හතරකට ඉහතදී තමා අතින් සිදුවූයේයැයි කියැවෙන, Bluegill මත්ස්‍යයින් රටට ගෙන ඒමේ සුළු වරද නිසා වූ මහා ව්‍යසනය පිළිබඳව අදද තම හදවත සලිත වන බව සඳහන් කර, ඒ වෙනුවෙන්   මේ ආකාරයට කණගාටු වෙමින් පසුතැවීම, ඉතාමත් නිරහංකාර රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ උතුම් ප්‍රතිචාරයක් බව සනිටුහන් කර තබමු.” යයි ප්‍රධාන ප්‍රවෘත්තියක්  පළකිරීමද සුවිශේෂී සිද්ධියකි. 


ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා පිළිවෙත් සෙවීමෙහි නිරතවූ විද්‍යාඥයෝ පිරිසක් මේ ගැන වැඩි දුරටත් අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත සොයාගැනීම පිණිස ඇමෙරිකාවට ගියහ. මොව්හු එහිදී ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වල සිටින Bluegill ගහණ රාශියක මත්ස්‍යයින්ගේ DNA සමග, ජපානයේ එම මත්ස්‍ය ගහණ 56 කගේ DNA සංසන්දනයක් කරන ලදී. මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වූ ඉතා වැදගත් විද්‍යාත්මක සාධකයක් වූයේ, ජපානයේ ව්‍යාප්ත වී ඇති සියලුම Bluegill නැතහොත්  ‘කුමාර මත්ස්‍ය’ (prince fish) ගහණ සියල්ලම 1960 වර්ෂයේදී අකිහිතෝ කුමාරයාට ඇමෙරිකාවේදී තෑගී ලැබුණු   Bluegill මසුන්  15 දෙනාගෙන්ම බෝවූ අය බව තහවුරු වීමයි. මෙයින් සෑහීමට පත්වූ ජපන් විද්‍යාඥයෝ ජාන තාක්ෂණයේ නවතම ක්‍රමවේදයක් භාවිත  කර මෙම ගැටලුව විසඳීමට තීරණය කළහ.


2012 වසරේදී පමණ ලොවට හඳුන්වා දී තිබෙන, ‘ජිනෝම සංස්කරණය’  (genome editing) නමැති ජාන තාක්ෂණයේ නව පිවිසුම   Bluegill මත්ස්‍ය පාලනය සඳහා යොදාගත හැකි බව ජපන් විද්‍යාඥයින්ගේ  අදහස විය.  ‘CRISPR-Cas9’ යන කෙටි යෙදුමෙන්  දැක්වෙන මෙම තාක්ෂණය, “Clustered Regularly Interspaced Short Palindromic Repeats and CRISPR-associated protein 9” යන සංකීර්ණ විද්‍යාත්මක නාමයකින් විස්තර කර තිබේ. ඉතාමත් සංකීර්ණ මෙම තාක්ෂණයේ මුලධර්මය වනුයේ, යම්කිසි කාර්යයක් සඳහා තෝරාගන්නාලද ජීවියෙකුගේ DNA දාමයක,  එක්තරා ස්ථානයක ඇති යම්කිසි සුවිශේෂී ජානයක් ඉවත් කර,  ඒ වෙනුවට අවශ්‍ය කරන වෙනත් ජානයක් එම ස්ථානයට බද්ධ කිරීමයි. ජපානයේ Bluegill ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද්දේ, ස්ත්‍රී ලිංගික  Bluegill මත්ස්‍යයින්ගේ DNA දාමයේ ‘බිත්තර දැමීමේ හැකියාව’ සඳහා ඇති ජාන ඉවත්කර ‘බිත්තර දැමීමට නොහැකි ලක්ෂණ සහිත’ ජානයක් බද්ධ කිරීමයි. මේ ආකාරයට ‘ජිනෝම සංස්කරණය’ කරනලද  ස්ත්‍රී ලිංගික මත්ස්‍යයින් පරිසරයට මුදාහළ විට, ඔවුන් අභිජනනයට භාජන වූවත් බිත්තර නොදමති. මේ ආකාරයට යෝජනා කරන ලද ජෛව පාලන ආකෘතිය පිළිගන්නා ලදුව, එය ක්‍රියාත්මක කිරීම සඳහා  රජයේ අනුමැතියද ලැබිණ. මේ සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ කරනලද  විද්‍යාගාර පර්යේෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවද හෙළිවේ. මෙම තාක්ෂණය මගින්ද සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා අඩුම වශයෙන්, මුළු රටෙහි සියලුම මිරිදිය ජලාශ, විල්, ගංගා ආදියෙහි සිටින ස්ත්‍රී ලිංගික Bluegill මත්ස්‍යයින්ගෙන් 7% කට වත් ‘ජිනෝම සංස්කරණ’ ප්‍රතිකර්මය යෙදිය යුතු බව සංකීර්ණ ගණනය කිරීම් මගින් අනාවරණය කර ගෙන තිබේ. දැනටමත් මේ ක්‍රමවේදය මගින් සැලකියයුතු මට්ටමක සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව හෙළිදරව් වී ඇත.   නුදුරු අනාගතයේදීම මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ජපානයේ වසංගතයක් මෙන් ව්‍යාප්තවූ  Bluegill මත්ස්‍ය උවදුර පාලනය කරගත හැකි වේයයි  විශ්වාසයක් තිබේ. 


අකිහිතෝ කුමාරයා විසින් 1960 වර්ෂයේදී Bluegill මත්ස්‍යයින් ජපානයට ගෙන ආ  කාලයේදී ගුවන් තොටෙහි දැඩි මත්ස්‍ය නිරෝධායන නීති රීති නොතිබෙන්නට ඇත. එසේ වුවත් මත්ස්‍ය ජෛව විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා තිබුණු ඔහු එසේ කිරිමේ තිබිය හැකි  ආදීනව පිලිබඳ හොඳින් දැනුවත් වී සිටින්නට ඇත. එසේ දැනුවත්ව සිටියදීත් ඔහු හුදෙක් විනෝදය සඳහාම සුරතල්  මත්ස්‍යයින් ආනයනය කිරීම මගින් රටට විශාල අලාභ හානියක් කර තිබේ. දශක හතරක් පහක් තිස්සේ විශාල ධනස්කන්ධයක් වැය කිරීමෙන් පසුව වුවද මෙතෙක් එම උවදුර සඳහා  තිරසාර පිළියමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මෙම ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ජපානයේ එක් ප්‍රාන්තයක කොටසක  පමණක් වැය කර ඇති අති විශාල මුදල් ප්‍රමාණය ගැන සිතා බැලීමෙන් පමණක් මෙම “රාජකීය අත්වැරැද්ද” නිසා රටට සිදුවී ඇති අලාභය සිතා ගත හැකිය. 2007 වර්ෂය වනවිට, ‘කුමාර මත්ස්‍ය’ ගහණය  මිලියන 25 පමණ වන්නට ඇතැයි ගණනය කර තිබේ. මේ වනවිට ජපානයේ විශාලතම මිරිදිය ජලාශය වන ‘බීවා විලෙහි’ (Biwa lake) සම්පූර්ණ මත්ස්‍ය ගහණයෙන් 90% පමණ Bluegill  ‘කුමාර මත්ස්‍යයින්’ වීමම  මහත් ඛේදවාචකයක් ලෙස සැලකේ. එම ප්‍රාන්තයේ මෙම ආක්‍රමණික මත්ස්‍යයින් ටොන් 420 පමණ  ඉවත් කිරීම සඳහා 2005 වර්ෂයේදී ඩොලර් මිලියන 1.2 ක් පමණ වැය කර තිබේ. දැනටද මෙම කාර්යය සඳහා වාර්ෂිකව ඩොලර් 270,000 ක් පමණ වියදම් වන බව වාර්තාවේ.


මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෙන තිබෙන මෙවැනි අනර්ථකාරී තීරණ නිසා ලෝකයේ තවත් රටවලද ජෛව විවිධත්ව ව්‍යසන සිදුවී තිබේ. තවත් හොඳම උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව ගත හැකිය. ඕස්ට්‍රේලියා මහාද්වීපයට පැමිණි මුල් යුරෝපීය සංක්‍රමණිකයින් විසින් වරින් වර ගෙන එන ලද ඔටුවන්, හාවුන් වැනි ශාක භක්ෂක ක්ෂීරපායී සතුන් මෙන්ම, වල්වැදී ඇති බළලුන්ද, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා ගෙනැවිත් වනාන්තර වලට මුදා  හරින ලද නරින්ද  මේ වන විට උග්‍ර ආක්‍රමණික සතුන් වී තිබේ. විශේෂයෙන්ම වල් වැදුණු  බළලුන් විසින් වර්ෂයකට ඔස්ට්‍ර්ලියාවේ පක්ෂීන් ඇතුළු කුඩා දේශීය සතුන් බිලියන දෙකක් පමණ දඩයම් කරන බව මෑතදී පුවත් පතක වාර්තා විය. 

මේ තොරතුරු ගැන සලකා  බලන විට ආක්‍රමණශීලී ශාක සහ සතුන් යන ජීවීන් දෙවර්ගයම නිසා ස්වභාවික ජෛව සමතුලිතතාව අවුල්වී යාමෙන් බොහෝ විට පරිහානියට මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පාන්නේ, අනුවර්තනය වීමේ හැකියාව අඩු දේශීය ජීවීන්ම වීම, මහත් කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා,  දැනට ලෝකයේ බොහෝ රටවල තදබල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙමින් පාලනයක් සිදු කරනුයේ ඒ ඒ රටවල දේශීය වශයෙන් වැදගත් ජීවීන්ගේ සුභසිද්ධිය සඳහාම බව කාගේත් සැලකිල්ලට භාජන විය යුතුය. 

රාජකුමාරයෙකු විසින් අනිටු ප්‍රතිඵල  ගැන දැනුවත්ව සිට, අත්තනෝමතික ලෙස මත්ස්‍ය  විශේෂයක් එක්  රටක සිට තවත් රටකට ගෙන ගියත්, වැඩි උගත් කමක් නොමැති ගොවියෙකු විසින් නොදැනුවත්කම නිසා යම්කිසි කෘෂි භෝගයක් එක්  රටක සිට තවත් රටකට ගෙන ගියත්, අවසානයේදී වන්නේ එම ජීවීන් එසේ ගෙනයන ලද සත්ත්ව හෝ ශාක විශේෂ, රටට විපත්තිදායක ආක්‍රමණශීලීන් බවට පරිවර්තනය වීමයි.  

දයාරත්න වීරසේකර