Friday 4 November 2022

අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ “නොබෙල් ත්‍යාග”

 අති විශිෂ්ඨයින්ට පමණක් හිමිවන උත්කෘෂ්ඨ “නොබෙල් ත්‍යාග”

සෑම වර්ෂයකම ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන, ලෝකයේ ඉතාමත් උත්කර්ෂවත් උත්සවයක දී, තෝරාගත් විෂයය ක්ෂේත්‍ර කිහිපයක පර්යේෂණ හෝ ක්‍රියාකාරකම් මගින් මානව සංහතියේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉස්තරම් මෙහෙවරක් කරන ලද ස්වල්ප දෙනෙකු ලෝකයේ ඉහලම සම්මානයෙන් පිදුම් ලබති. මොවුන් “නොබෙල් සම්මාන ලාභීන්” (Nobel Laureates) ලෙස හඳුන්වනු ලැබේ. මේ 2022 වර්ෂයේ දී ද ක්ෂේත්‍ර හයක සම්මානලාභීන් නව දෙනෙකුට මෙම අනභිභවනීය ත්‍යාග හිමිවී තිබේ. 

මෙම අගනා ත්‍යාග සඳහා තම ධනය යොදවන ලද්දේ ඇල්ෆ්‍රඩ් නොබෙල් නමැති ධන කුවේරයෙකු විසිනි. එහෙත්, ඔහු එම මුදල් උපයා ගත්, දැනුදු “අසම්මත” යයි පිළිගැනෙන ක්‍රමවේදය නිසා, ආරම්භයේ දී සිට ම, මෙම “සම්මාන ත්‍යාග ව්‍යාපෘතිය” මහත් කුතුහලයට සහ විවේචනයට ලක් වී ඇත.

“වෙඩි බෙහෙත්” (Gunpowder) පුපුරන ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම ආරම්භ වී දැන් ශත වර්ෂ හත අටක් ගත වී ඇත. වෙඩිබෙහෙත් යනු “පොටෑසියම් නයිට්‍රේට්, ගෙන්දගම් කුඩු සහ අඟුරු කුඩු අඩංගු රසායනික මිශ්‍රණයකි. මේ මිශ්‍රණය පතරොමක් හෝ ගල් බෝරයක් වැනි සීමිත ඉඩකඩක් තුළ දහණය වීමට සැලැස්වූ විට, පුපුරා, ඉතා බලවත් ඉදිරි තෙරපුමක් ඇති වේ. සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරනු ලබන තුවක්කු පතරොම්වල පුපුරන ද්‍රව්‍යය වන්නේ ද වෙඩි බෙහෙත් ය. යුද සහ ආරක්ෂක කටයුතුවලදීත් වෙඩි බෙහෙත් භාවිත කර ඇත ඒ භාවිතය නිසා මිනිසුන් ද ලක්ෂ ගණනින් මිය ගොස් ඇත.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ පියා වූ ස්වීඩන් ජාතික, ඉම්මානුවෙල් නොබෙල්, ඉංජිනේරුවෙකු, නව නිපැයුම්කරුවෙකු මෙන් ම සාර්ථක ව්‍යාපාරිකයෙකු ද වූ අයෙකි. දහනමවන ශත වර්ෂය මැද දී රුසියාවට සංක්‍රමණය වූ ඉම්මානුවෙල්, එවකට එරට සිටි රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සම්බන්ධ වී වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් රුසියාවේ ආරම්භ කළේය. රුසියාව 1853 වර්ෂයේ සිට මැදිහත්වූ “ක්‍රිමියානු” යුද්ධයේ දී, රුසියානු යුද හමුදාවට වෙඩි බෙහෙත් ඇතුළු වෙනත් පුපුරණ ද්‍රව්‍ය සැපයීම මගින් ඉම්මානුවෙල් විශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ ය. එහෙත් 1856 දී පමණ යුද්ධය අවසන් වීමත් සමගම ඔහුගේ ව්‍යාපාරය අකර්මන්‍ය තත්ත්වයට පත් විය. මේ වන විට තරුණයෙකුව සිටි ඇල්ෆ්‍රඩ් නොබෙල්, රුසියාවේ පීටර්ස්බර්ග් නගරයේ උසස් අධ්‍යාපන ආයතනයක රසායන විද්‍යාව ඉගෙන ගනිමින් සිටි අතර පසුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට ගොස් වෙඩි බෙහෙත් පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට පටන්ගත්තේ ය. 

ඒ වන විට, කාර්මික විප්ලවයේ ප්‍රතිඵල ලෙස බිහි වූ නව නිපැයුම් සඳහා ගල් අඟුරු අත්‍යවශ්‍ය ඉන්ධනයක් බවට පත් වී තිබුණි. ගල් අඟුරු ආකර ඇති ප්‍රදේශවල පතල් හාරා අභ්‍යන්තරයේ ඇති ගල් අඟුරු නිධි කඩා ගත යුතු වූ නමුත් ඒ සඳහා වෙඩි බෙහෙත් භාවිත කිරීම මහත් අන්තරායකාරී ක්‍රියාවක් විය. 

“නයිට්‍රෝ ග්ලිසරීන්” (Nitro glycerine) නමැති තවත් පුපුරන ද්‍රව්‍යයක් වෙනත් පර්යේෂකයෙකු විසින් සොයාගෙන තිබුණු නමුත් එහි අධිකතර ගාමක බලයත්, ගබඩා කර තැබීම අනතුරුදායක නිසාත්, ගල් අඟුරු ආකරවල භාවිත කළ නොහැකි විය. තම රසායන විද්‍යා පර්යේෂණවල නියැලී සිටි ඇල්ෆ්‍රඩ්, “නයිට්‍රෝ ග්ලිසරීන්” වෙනත් අක්‍රීය ද්‍රව්‍යයක් සමග මිශ්‍ර කර අන්තරායකාරී බවෙන් අඩු මිශ්‍රණයක් නිපදවීම අභිමතාර්ථය කර ගනිමින්, විවිධ පර්යේෂණ කළේය. 

එසේ කළ පර්යේෂණයක් අතරතුර සිදු වූ මහා පිපුරුමකින්, ඇල්ෆ්‍රඩ් ගේ සහෝදරයෙකු වූ එමිල් ද තවත් කිහිප දෙනෙකු ද මිය ගියහ. ඒ 1864 දී ය. මෙයින් ද පසුබට නොවූ, ඇල්ෆ්‍රඩ් නොබෙල් තම පර්යේෂණ තවදුරටත් කරගෙන ගොස් 1867 දී, ඒක සෛලීය ඩයටම් ජීවී සෛල බිත්ති අවශේෂ බහුල, “ඩයැටෝමේශියස් අර්ත්” (diatomaceous earth) නමින් හැඳින්වූ සියුම් අවසාදිත මුහුදු වැලි, පාදක කර ගනිමින් “නයිට්‍රෝ ග්ලිසරීන්” අන්තර්ගත කළ හැකි මිශ්‍රණයක් නිපදවා ගත්තේය. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂාකාරී පුපුරන ද්‍රව්‍යයක් විය. ඔහු මෙම නව රසායන මිශ්‍රණය “ඩයිනමයිට්” (Dynamite) ලෙස නම් කළේ ය. ග්‍රීක් භාෂාවෙන් dynamis ලෙස හැඳින්වෙනුයේ බලය (power) යන අර්ථයයි. 

ඉතා ඉක්මණින්ම ජනප්‍රිය වූ මෙම ආරක්ෂාකාරී පුපුරණ ද්‍රව්‍යය, ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා බහුලව යොදා ගන්නා ලද අතර ඇල්ෆ්‍රඩ් නොබෙල් ටික කාලයකදීම අති විශාල ධනස්කන්ධයක හිමිකරුවෙකු බවට පත්විය. භූගත ගල් අඟුරු ලබාගැනීම සඳහා තම නිෂ්පාදනය භාවිත කිරීම මිනිස් සංහතියටම සෙතක් අත්පත් කර දෙන බව, ඇල්ෆ්‍රඩ් නොබෙල් තදින්ම විශ්වාස කළ ද, ඩයිනමයිට් නිසා මිනිස් ජීවිත විනාශ වීම සම්බන්ධව බොභෝ මතභේද ඉස්මතු වන්නට විය. විශේෂයෙන්ම සමහර පුවත්පත්, මෙම නිෂ්පාදනය විවේචනයට භාජන කළේය. 

මේ අතරතුර ඇල්ෆ්‍රඩ් ගේ තවත් සහෝදරයෙකු හදිසියේ ම මිය ගියේය. මෙම ආරංචිය වැරදි ආකාරයකට තේරුම් ගත් ප්‍රංශ පුවත් පතක්, එසේ මිය ගියේ ඇල්ෆ්‍රඩ් යැයි වරදවා අදහස් කර (Le marchand de la mort est mort) “මිනිස් ඝාතන වලට මග පෑදූ වෙළෙන්දා මියයයි” යන සිරස් තලය යටතේ ලිපියක් පළකර තිබුණි. ඇල්ෆ්‍රඩ් නොබෙල් මෙම සිද්ධිය නිසා මහත් කනස්සල්ලකට පත්විය. 

විවාහ නොවී තනිකඩයෙකු ලෙස ජීවත් වූ ඇල්ෆ්‍රඩ්, තමාට මහත් අවමානයක් කළ පුවත් පත පිලිබඳව ඇති වූ කනස්සල්ල මග හරවා ගැනීම සඳහා හොඳම මාර්ගයක් ගැන කල්පනා කළේය. “ඩයිනමයිට්” අලෙවි කර ඔහුට මෙතෙක් ලැබී ඇති මහා ධනස්කන්ධයත්, ඉදිරියේ දී ලැබිය යුතු ධනයත් මානව සංහතියේ අභිවෘද්ධිය සඳහාත් විශේෂයෙන් ම ලෝක සාමය සඳහාත් යෙදවීම තමාගේ යුතුකම බව ඔහු තේරුම් ගත්තේ ය. තම අන්තිම කැමති පත්‍රය ඒ අනුව සකස් කළ ඇල්ෆ්‍රඩ් නොබෙල්, වසර 63 ක් ආයු වළඳා 1896 දී මිය ගියේය.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ නමින් ම පිදෙන නොබෙල් ත්‍යාග පරිපාලනය කිරීමට පහත සඳහන් ආයතන ඔහු විසින් නම් කර තිබුණි.

  • ස්විඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය: භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව පිලිබඳ ත්‍යාග 

  • ස්විඩිනයේ සොලෝනා විශ්ව විද්‍යාලයයේ කැරොලින්ස්කා ආයතනය: වෛද්‍ය විද්‍යාව හෝ කායික විද්‍යාව පිලිබඳ ත්‍යාගය

  • ස්වීඩන් ඇකඩමියේ භාෂා අංශය: සාහිත්‍යය පිලිබඳ ත්‍යාගය 

  • නෝර්වීජියානු පාර්ලිමේන්තුවට අනුබද්ධ ආයතනය: සාමය පිලිබඳ ත්‍යාගය 

මෙම පැවරීම් වලට පසුව නොබෙල් ත්‍යාග පිරිනැමීමේ කටයුතු පරිපාලනය සඳහා “නොබෙල් පදනම” පිහිටුවන ලදී. ආරම්භයේදී නොබෙල් ත්‍යාග අරමුදල, ස්විඩීන ක්රෝනා මිලියන තිස් එකකට අධික විය. 

පළමුවෙනි නොබෙල් ත්‍යාග ප්‍රදානය පවත්වන ලද්දේ 1901 වර්ෂයේ දී ය. මෙහි දී X කිරණ සොයාගත් Conrad Röntgen කොන්රඩ් රොන්ට්ජන් භෞතික විද්‍යාව සඳහාත්, ශාකවල ආස‍්‍රැති පීඩනය සොයාගත් Vant Hoff වැන්ට් හොෆ් රසායන විද්‍යාව සඳහාත් ත්‍යාග ලැබූහ. පළමුවෙනි නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ වරයා වූ හෙන්රි ඩුනාන්ට් Henry Dunant ට ය. 

පසුව 1968 සිට ආර්ථික විද්‍යාව සඳහා ද, ස්වෙරිජස් රික්ස්බෑන්ක්” හෙවත් ස්වීඩනයේ මහ බැංකුව මගින් නොබෙල් ත්‍යාගය හා සමාන ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කරන ලදී. පසුව මෙම ත්‍යාගය ද නොබෙල් ත්‍යාගයක් වශයෙන් පිළිගෙන එහි පරිපාලන කටයුතු ද, නොබෙල් පදනම වෙත පවරා තිබේ.

ආරම්භයේ සිට 2021 වර්ෂය දක්වා, ආර්ථික විද්‍යාව සඳහා වන ත්‍යාගය ද ඇතුළුව නොබෙල් ත්‍යාග 975 ක් සම්මානලාභීන් 609 දෙනෙකුට ප්‍රදානය කර තිබේ. අදාළ කේෂේත්‍ර සීමාවේ සිට සමස්ත මානව සංහතියේ අභිවෘද්ධිය සඳහා ඉවහල්වන උත්කෘෂ්ඨ සේවයක් වෙනුවෙන් පමණක් පිරිනැමෙන මෙම සම්මාන ලාභීන් අතර හැටදෙනෙකු කාන්තාවෝ වෙති. සම්මාන වැඩි ප්‍රතිශතයක් හිමිවී ඇත්තේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍ර වල කර ඇති අද්විතීය නව සොයාගැනීම් සහ නව නිපැයුම් සඳහා ය. මොවුන් අතරින් මාරි කියුරි (Marie Curie) විද්‍යාඥවරිය, 1903 දී භෞතික විද්‍යාව සහ 1911 දී රසායන විද්‍යාව යන විෂයය ක්ෂේත්‍ර දෙකට නොබෙල් සම්මාන දෙකක් ලබා වාර්තාවක්ද පිහිටුවා ඇත. 

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන සුවිශේෂී රන් පදක්කම පහත දැක්වේ. 

නොබෙල් ත්‍යාග සඳහා පිරිනමනු ලබන සුවිශේෂී රන් පදක්කම 


මෙහි මූණතේ ඇත්තේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ රුවයි. එහි දකුණු පැත්තේ, ඔහුගේ උපත සහ මරණය සිදුවූ වර්ෂ රෝම ඉලක්කම්වලින් සඳහන් කර ඇත. එකක් 200 g බරින් සහ විෂ්කම්භය 66 mm ක් වූ, මෙම රන් පදක්කම් 1980 වර්ෂය දක්වා නිර්මාණය කර ඇත්තේ, කැරට් 23 රත්‍රන් වලිනි. පසුව ඒවා කැරට් 18 ප්‍රතිචක්‍රීය කරන ලද රත්‍රන් වලින් සෑදීමට පියවර ගෙන තිබේ. 

විවිධ ක්ෂේත්‍රයන්හි නොබෙල් ත්‍යාග පිළිබඳ තීරණ ගැනීමේදී නොයෙකුත් මති මතාන්තර සහ මතභේද වලට තුඩු දුන් අවස්ථාද එමටය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම නෝර්වීජියානු බලධාරීන් ඒවා සමථයකට පත්කර අවසාන තීරණ ගෙන තිබේ. මෙවැනි සිදුවීම් සහ වෙනත් සුවිශේෂී ඇගයීම් කිහිපයක් පහත දැක්වේ. 

  • රසායන විද්‍යාව සඳහා 2019 දී නොබෙල් සම්මානය දිනූ ජෝන්. බී. ගූඩ්ඉනෆ්, එවකට වයස අවුරුදු 97 ක වයෝවෘද්ධයෙක් විය. මොහු නොබෙල් සම්මානයක් දිනු වැඩිමහලුම පුද්ගලයා ය. ජෝන්. බී. ගූඩ්ඉනෆ්

  • පාකිස්තානු ජාතික මලාලා යුසෆ්සායි වයස අවුරුදු 17 දී නොබෙල් සාම සම්මානය ලබා, වයසින් අඩුම සම්මානලාභිණිය වූවා ය. 


  • මලාලා යුසෆ්සායි
  • ත්‍යාග සඳහා නම් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වූ නිසා, “මරණයට පසු සම්මාන” (posthumous awards) ලැබූ සම්මානලාභීන් තිදෙනෙකු ගැන ද සඳහන්වේ.

  • 1939 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර තිබුණු ඇඩොල්ෆ් හිට්ලර්, දෙවන ලෝක යුද්ධයේ දී මිනිස් සමුලඝාතනවලට මුල්වූ පුද්ගලයා බව ඔප්පු වීමෙන් පසු, ඔහුගේ නාම යෝජනාව ඉවත් කරන ලදී.

  • නොබෙල් ත්‍යාග හිමිවූ දෙදෙනෙකු එම ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇති අතර, නොයෙකුත් හේතු නිසා තවත් සිව් දෙනෙකුගේ ත්‍යාග අහිමි කර තිබේ.

  • මියන්මාරයේ අවුන් සාන් සුකී (Aung San Suu Kyi) සහ තවත් දෙදෙනෙකු නොබෙල් ත්‍යාග ලාභීන් වන විට, තම රටවල දේශපාලන සිරකරුවන් වී සිටියහ.

  • නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ සුදු කළු භේදය ඉවත් කිරීමට මූලික වීම නිසා ද, අමෙරිකා එක්සත් ජනපදයේ බැරැක් ඔබාමා සාමය සඳහා ජාත්‍යන්තර සහයෝගය ගොඩනැගීම වෙනුවෙන් ද, නොබෙල් සාම ත්‍යාගය ලැබූ රාජ්‍ය නායකයෝ දෙදෙනෙකි. 

  • එමෙන්ම බෞද්ධ නායකයෙකු වන 14 වැනි දලයි ලාමා තුමා සහ කතෝලික සාන්තු වරියක ලෙස නම්කර ඇති, තෙරේසා මව්තුමිය ද නොබෙල් සාම ත්‍යාග ලැබූ ආගමික නායකයින් අතර වෙති. 

  • 1948 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම්කර සිටි භාරතයේ මහා මානව හිතවාදියා වන මහත්මා ගාන්ධි, එම තේරීම් ප්‍රසිද්ධියට පත්කිරීමට දින දෙකකට පෙර, සාහසිකයෙකුගේ වෙඩි පහරින් මියගිය නිසා, ත්‍යාගය පිරි නැමීම අත්හිටවන ලදී.

  • ලෝකප්‍රසිද්ධ “ගීතාංජලි” කාව්‍ය සංග්‍රහය උදෙසා 1913 දී, රවීන්ද්‍රනාත් තාගෝර් මහා කවියාට සහ, “මිනිස් සාරධර්ම ඇගයීම” පිලිබඳ කෘතියට සහ චතුර කථිකත්වය උදෙසා වින්ස්ටන් චර්චිල් දේශපාලනඥයාට 1953 දී ද, සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාග හිමිවී තිබේ.  රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්

  • “සාපේක්ෂතා වාදය” ලොවට හඳුන්වා දුන් විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ “ප්‍රකාශ විද්‍යුත් ආචරණය” පිලිබඳ සොයා ගැනීම් සඳහා ය. 

මිනිසාගේ අභිවෘද්ධියට අහිතකර, “අසම්මත” ද්‍රව්‍යයක් ලෙස ශිෂ්ඨ සමාජයේ ගැරහීමට ලක්වූ “වෙඩි බෙහෙත්” අලෙවියෙන් ලබාගත් මහා ධනස්කන්ධය, එම්මානුවෙල් නොබෙල් ගේ අවෑමෙන්, ඔහුගේ පුත්‍රයා වන ඇල්ෆ්‍රඩ් නොබේල්ට අයිති විය. ගල් අඟුරු ආකාරවල භාවිතය සඳහා වෙඩි බෙහෙත් අනාරක්ෂිත පුපුරණ ද්‍රව්‍යයක් නිසා ඇල්ෆ්‍රඩ් තව දුරටත් තම පර්යේෂණ කටයුතු මෙහෙයවා, ආරක්ෂාකාරී “ඩයිනමයිට්” සොයා ගත්තේය. කාර්මික යුගයේදී ඉතාමත් බහුල ලෙස භාවිත කළ ඩයිනමයිට් නිසා ඇල්ෆ්‍රඩ් ගේ ආදායම දෙතුන් ගුණයකින් වැඩි විය. වෙඩි බෙහෙත් සහ ඩයිනමයිට් යන ද්‍රව්‍ය දෙකම පුපුරන ද්‍රව්‍ය වූවත්, ඒවායින් මිනිස් සංහතිය සඳහා ලැබී ඇති ප්‍රතිලාභ මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. තම නිෂ්පාදන වලින් ඉදිරියේ දීත් මිනිස් සංහතියටම සෙතක්ම අත්පත් කර දෙන බව, ඇල්ෆ්‍රඩ් නොබෙල් තදින්ම විශ්වාස කළේය. විද්‍යා ගවේෂණ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ ඔහු, නුදුරු අනාගතයේදීම ලෝක සාමය උදාවී, සමානාත්මතාවය ලොව පුරා පැතිරී යා යුතු බව තදින්ම විශ්වාස කළේය. මේ නිසාම ඔහු තම ධනය සම්පූර්ණයෙන්ම සදා අනුස්මරණීය නොබෙල් ත්‍යාග සඳහා වෙන්කරන ලදී. විශේෂයෙන්ම විද්‍යා ගවේෂණ වෙනුවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යන අංශ තුන සඳහා ත්‍යාග තුනක් වෙන් කරනලද්දේ ඒ සම්බන්ධයෙන් ඔහු තුල පැවති මහත් ගෞරවය නිසාමය. සාහිත්‍යය සහ සාම ත්‍යාග වලින් අදහස් කරන ලද්දේද ලෝක සාමය උදෙසා කරනු ලබන මෙහෙවර ඉහලින්ම ඇගයීමකි. 

දයාරත්න වීරසේකර 

(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි) 

 


2 comments:

  1. වැදගත් සටහනක්.
    ඔබාමට ඕක දුන්න එක... හරිනෑ කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. එහෙම මත භේදයක් ඒ කාලේ තිබුණු බවටත් වාර්තා වී තිබෙනවා.

      Delete