Tuesday, 8 February 2022

ලෝකයටම අමතකවූ “චන්ද්‍ර ශාක” (Moon trees)

‘ඇපලෝ 14’ අභ්‍යවකාශ ගමන සහ ශාක බීජ. 


පසුගිය 70 දශකයේදී ලොව පුරා මහත් සැලකිල්ලට ලක්වී තිබී, ඉක්මණින්ම අමතකවී ගිය වැදගත් සිද්ධියක් පිලිබඳ ලිපියක් මා  හට මෑතදී  කියවන්නට ලැබිණ. “චන්ද්‍ර  ශාක වලට කුමක් සිදුවීද?” (What happened to  Moon trees?) යන්න මෙම ලිපියේ මාතෘකාව විය. 70 දශකයේදී,  අපද ‘අභ්‍යවකාශ තරණය’ නමැති මිනිසාගේ අපූර්ව ව්‍යායාමය ගැන, ඉමහත් කුතුහලයකින් යුතුව අවධානය යොමු කළ බවද  මට වහාම මතකයට නැගුණි. 

මේ වූකලී සෝවියට් දේශය සහ බටහිර බලවතුන් අතර සීතල යුද්ධයක්ද  ලියලමින් පැවති සමයයි. පරමාණු බලශක්තිය, න්‍යෂ්ටික අවි භාවිතය, කලාපීය බල අධිකාරිය, අභ්‍යවකාශය ජයගැනීම   වැනි කරුණුද සීතල යුද්ධයට හේතු කාරක විය. මේ වන විට ලෝක බලවත්තු දෙපාර්ශවයම තරඟයට මෙන්  ‘අභ්‍යවකාශ තරණය’ සඳහා ආදාළ වන විවිධ පිවිසුම් අත්හදා බැලීමද  ආරම්භ කරමින් සිටියහ. සෝවියට් දේශයේ බොහෝ අභ්‍යවකාශ චන්ද්‍රිකා, ‘ස්පුට්නික්’ (sputnik) යන නමින්ද ඇමෙරිකා එකසත්  ජනපදයේ බොහෝ අභ්‍යවකාශ චන්ද්‍රිකා ‘ඇපලෝ’ (Apollo) යන නමින්ද පොදු ව්‍යවහාරයට පවා එක්විය. 


අපගේ විමසිල්ලට භාජන වන ‘චන්ද්‍ර  ශාක’ පිලිබඳ සිද්ධියට පාදක වනුයේ, 1971 ජනවාරි මස 31 වන දින කක්ෂ ගත කරන ලද ‘ඇපලෝ 14’ ඇමෙරිකානු චන්ද්‍රිකාවයි. මෙය ඇමෙරිකාව විසින් මිනිසුන් සඳ මතට යැවීම සඳහා සැලසුම් කරන ලද තුන්වන පරිශ්‍රමයයි. මේ සඳහා යොදාගත් අභ්‍යවකාශ යානයේ ගමන් කරන ලද්දේ ඇලන් ෂෙපර්ඩ්, එඩ්ගාර් මිචෙල් සහ ස්ටුවර්ට් රූසා නම්  ගගනගාමීන් තිදෙනාය. මොවුන් අතුරෙන්  ඇලන් ෂෙපර්ඩ් සහ එඩ්ගාර් මිචෙල් සඳ මතට ගොඩ බැස විවිධ පර්යේෂණ කරමින් අවශ්‍ය සාම්පල එකතු කර ගැනීමෙහි නිරත වූහ. මේ අතර ස්ටුවර්ට් රූසාගේ මෙහෙවර වූයේ, ඔවුන් ගමන් කළ ‘මව්  යානය’ නිර්දේශිත චන්ද්‍ර කක්ෂය ඔස්සේ නිරුපද්‍රිතව හැසිරවීමයි. 


ඇපලෝ 14 අභ්‍යවකාශ තරණයේ යෙදුනු ස්ටුවර්ට් රූසා

 

මෙම මෙහෙයුමෙහි සියලුම කාර්යයන් නියමිත වෙලාවට අපේක්ෂිත පරිදි සිදුවිය.


සම්ප්‍රදායක් වශයෙන් අභ්‍යවකාශ චන්ද්‍රිකාවක කක්ෂ ගතවන සෑම ගගනගාමියෙකුටම තමන් කැමති ‘පෞද්ගලික දේ’ ස්වල්පයක් තම ගමනේදී ‘සිහිවටන’ සඳහා ගෙනයාමට අවසර තිබේ. කෙසේ වෙතත් මේවා නියමිත ප්‍රමිති වලට අනුකූලව නිරෝධානයට ලක් කරණ අතර, එම දේවල් ගැන වැඩි ප්‍රසිද්ධියක් දෙනු නොලැබේ.


‘ඇපලෝ 14’ චන්ද්‍රිකාවේ නියමුවා වූ, ස්ටුවර්ට් රූසා, අභ්‍යවකාශ වැඩ සටහනට සම්බන්ධ වීමට පෙර ප්‍රබල පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු ඇමෙරිකා  එක්සත් ජනපදයේ වනාන්තර සංරක්ෂණ සේවයේ කටයුතු කළ අතර, ලැව් ගිනි මැඩ  පැවැත්වීමේ ක්‍රියාන්විත වලදී හෙලිකොප්ටරයක සිට පැරෂූටයකින් බැස ගිනි නිවීමට දස්කම් දැක්වූවෙකි. පරිසර කටයුතු වලට අදාළ යම් කිසිවක් ඔහුගේ  ‘පෞද්ගලික දේ’ ලෙස අභ්‍යවකාශ ගමනේදී ගෙනයාමටද ඔහුට  අවශ්‍ය විය. ශාක වර්ධනයේදී සිදුවන ස්වාභාවික සංසිද්ධි පිළිබඳව පාසැල් කාලයේදී උගත් සිද්ධාන්ත පිළිබඳව සිත් යොමු කළ රූසාට, ප්‍රරෝහණය වූ ශාක බීජයකින් හටගන්නා ‘බීජ පැලයක’ (seedling) මූල පද්ධතිය ගුරුත්වාකර්ෂණය නිසා පස තුළට වැඩෙන බවත් එහි කඳ කොටස ගුරුත්වාකර්ෂණයට විරුද්ධ දිශාවට වැඩෙන බවත් මතකයට නැගුණි. ඒ සමගම තමන්ගේ අභ්‍යවකාශ ගමනේදී දින කිහිපයක් තිස්සේ ඉතාමත් අඩු ගුරුත්වයක් සහිත කුටියක ගතකිරීමට සිදුවීමේදී සහ චන්ද්‍ර කක්ෂයේ ගමන් කිරීමේදී ශාක  බීජ වලට කුමක් සිදුවේද යන්නත් සොයා බැලීමට මෙය කදිම අවස්ථාවක් බවට ඔහුට හැඟී  ගියේය. මේ නිසා ඔහුගේ ‘පෞද්ගලික දේ’ සඳහා ලැබෙන මල්ලේ ශාක බීජද ගෙන යාමට තීරණය කළේය. මේ සම්බන්ධව ඔහු වනාන්තර සංරක්ෂණ සේවා ආයතනයේ ප්‍රධානියා ඇමතීය.


“ මම ස්ටුවර්ට් රූසා……., අපගේ අභ්‍යවකාශ ගමනේදී, මගේ පෞද්ගලික මල්ලේ ශාක බීජද ගෙනයාමට අදහස් කළා. මට අවශ්‍ය වී ඇත්තේ ක්ෂුද්‍රගුරුත්වය (microgravity)   බිජ ප්‍රරෝහණයේදී  බලපාන්නේ කෙසේද යන්න සොයා බැලීමටයි. මේ සඳහා මට උදව් කරන්න.” 


“ඔබට සුබ පතනවා. ඔබගේ අදහස ඉතාමත් කාලෝචිත එකක්. මගේ සහෝදර නිලධාරීන් සමගද සාකච්ඡා කර ඉක්මණින්ම ඔබ අමතන්නම්.”


රූසාගේ ඇමතුමට ආයතන ප්‍රධානියාගේ ප්‍රතිචාරය මෙසේ විය.

 

ටික වේලාවකට පසු නැවත රූසා ඇමතු වනාන්තර සංරක්ෂණ සේවා ප්‍රධානියා, 


“ඔබගේ ව්‍යාපෘතියට සහාය වීමට අප ඒකමතිකව තීරණය කළා. මේ සඳහා අපට මේ ප්‍රදේශවල බහුලව  වැවෙන දැවමය වටිනාකමක් සහිත ශාක විශේෂ පහක,  ශක්‍ය (viable)  බීජ දෙතුන්සියයක් ලබාදිය හැකිය යි.” කීවේය. 


(යෝජිත පරිදි රූසාට ලැබුණු බීජ තොගයේ, 

  1. Loblolly pine - Pinus taeda,  

  2. Sycamore - Platanus occidentalis, 

  3. Sweetgum - Liquidambar styraciflua, 

  4. Redwood - Sequoia sempervirens සහ  

  5. Douglas fir - Pseudotsuga menziesii යන ශාකවල බීජ ඇතුළත් විය.)



අභ්‍යවකාශයේ ගෙනගිය බීජ සහ ඒවායින් හටගත්  බීජ පැළ 

 

Apollo 14 යානයේ  චන්ද්‍ර තරණ ආරම්භය නියමිත දිනයේ නියමිත වේලාවට සිදු විය. දින පහක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කළ යානය, පෙබරවාරි 5 වන දින චන්ද්‍ර කක්ෂයට සේන්දු විය. එදිනම ගොඩ බැසීමේ උප යානය මගීන් සඳ මත පිවිසි ඇලන් ෂෙපර්ඩ් සහ  එඩ්ගාර් මිචෙල් පැය පහක් තිස්සේ පාෂාණ සාම්පල එකතු කිරීම ඇතුළු තම කාර්යයන් නොපිරිහෙලා ඉටුකළහ. ඒ අතරතුර ස්ටුවර්ට් රූසා මව් යානය චන්ද්‍ර කක්ෂය ඔස්සේ මෙහෙයවන අතරම,  අවශ්‍ය ඡායාරූප ගැනීමෙහිද  නිරත විය. මේ ආකාරයට චන්ද්‍ර කක්ෂයේ වට 34 ක් යාමෙන් පසු, ඇලන් ෂෙපර්ඩ් සහ  එඩ්ගාර් මිචෙල් උප යානයට ඇතුල්වී එය  මව් යානයට පූට්ටු කර ගන්නා ලදී. ඉන්පසු පෘථිවිය කරා ආපසු ගමන ආරම්භ කළ ඔව්හු, පෙබරවාරි 9 වන දින, පැසිෆික් සාගරයේ සැමෝවා දූපත් අසල ස්ථානයකට පතිත වූහ. එහි සිට  ඔවුනට නිරුපද්‍රිතව ගොඩ බිමට ඒම සඳහා  සියලුම පහසුකම් සලස්වා තිබිණ. සැලසුම් කර තිබුණු ආකාරයට නිරෝධායන කටයුතු සහ විෂබීජ නාශක මගින් පවිත්‍ර  සේවා අවසන් කිරීමෙන් පසු, ගගන ගාමීන්ට, ගමන ආරම්භ කර දින දොළහකට පමණ පසු,  සුපුරුදු පෘථිවි පරිසරයට අවතීර්ණ වීමට හැකිවිය.


නිරෝධායන අවදියේදී කරන ලද එක්තරා පරීක්ෂණයකදී, රූසාගේ පෞද්ගලික දේ අඩංගු බෑගයේ තිබුණු ශාක බීජ සහිත මල්ල යම් කිසි හේතුවක් නිසා හදිසියේම පුපුරා ගියේය. මේ නිසා සමහර බීජ විනාශ වූ අතර, ඉතිරි බීජද සී සී කඩ විසිර ගියේය. අභ්‍යවකාශ ව්‍යාපෘතියට කෙලින්ම අදාළ සිද්ධියක් නොවන නිසා එයට වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණි. 


මෙම අවස්ථාවේදී එහි සිටි, වනාන්තර සංරක්ෂණ සේවා ආයතනයේ ජාන විද්‍යාඥයෙකු (geneticist) විසින් විසිරි ගිය හොඳ තත්ත්වයේ බීජ ස්වල්පයක් එකතුකර, ඒවායේ ප්‍රරෝහණ තොරතුරු ලබාගැනීම පිණිස, හූස්ටන්හි පිහිටි NASA ආයතනයේ විද්‍යාගාරයකට යොමු කරන ලදී. ඉතිරි බීජද රටෙහි විවිධ ප්‍රජා සංවිධාන සහ පළාත් පාලන ආයතන වලට බෙදා දෙන ලදී. අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණි මෙම බීජ වලින් ලැබෙන ශාක තම උද්‍යානවල ප්‍රදර්ශනය කර ඇපලෝ යුගයේ ගාම්භීර භාවය රැක ගැනීමට බොහෝ ආයතන උනන්දු වූහ. මුල් වසර කිහිපයේදී මෙම අද්විතීය වටිනාකමක් සහිත  ශාක පිළිබඳව බොහෝ අය විමසිලිමත් වූවත් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන උනන්දුව අඩු වී ගියේය. ස්ටුවර්ට් රූසා 1994 දී මිය ගිය පසු, චන්ද්‍ර ශාක සම්පූර්ණයෙන්ම වාගේ අමතක වී ගියේය. 


       

        ස්ථාන දෙකක ඇති “චන්ද්‍ර ශාක”  පිළිබඳව අටවා ඇති දැන්වීම් පුවරු.  


අනාගතයේදී   පාලක පරීක්ෂණ සඳහා ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි,  මෙම ව්‍යාපෘතියේ ‘චන්ද්‍ර බීජ පැළ’ සිටවූ සමහර ස්ථාන අසල,  අභ්‍යවකාශ ගත නොවූ එම විශේෂයේම බීජ පැළය බැගින්ද සිටුවන ලදී. සමහර උද්‍යාන වල එම, පැළ සිටවූ දිනය සමග එය චන්ද්‍ර ශාකයක් බවද සඳහන් නාම පුවරුද සවි කරන ලදී. එහෙත් කාලයාගේ ඉක්ම යාමත් සමග, 70 දශකයේදී  ලබාගත් එම අභිමානය ටිකින් ටික තුනී වී ගොස් අමතක වූ තත්ත්වයටම පත්විය. 


‘චන්ද්‍ර ශාක’ පිලිබඳ  පසු විපරම් 


  1. චන්ද්‍ර ශාක පිලිබඳ තොරතුරු කාළය නමැති කඩතුරාවෙන් වැසී  යද්දී, 1996 වර්ෂයේදී අහම්බෙන් සිදුවූ දෙයක් නිසා යළි මහජන අවධානයට ලක්විය. ඇමෙරිකාවේ Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලක ගුරුවරියක් වන ගොබ්ලේ   මහත්මිය තමන්ගේ තුන්වන ශ්‍රේණියේ සිසුන් සමග, තම පාසැල අවට  ප්‍රදේශයේ ඇති රූස්ස ශාක ගැන ව්‍යාපෘතියක නිරත වූවාය. මේ අතරතුර  දිනක පන්තියේ එක්  ශිෂ්‍යාවක්   ඇය වෙත පැමිණ,

Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලේ  සිසුන් අධ්‍යයනය කළ චන්ද්‍ර ශාකය 


“මිස්….අපේ ගෙවල් කිට්ටුව,  බාල දක්ෂිකා කඳවුරු භුමිය අසල ‘චන්ද්‍ර ශාකයක්’ තිබෙන බව අසල්  වැසියෙක් කිව්වා. ඒ ගහ මොකක්ද ?” යයි ඇසුවාය. 


මෙයින් තරමක් පුදුමයට පත්වූ ඇය, 


“මම නම්  ඒ ගැන දන්නේ නැහැ. අපි ලබන සතියේ ව්‍යාපෘති කාල ඡේදයෙදී එතැනට ගොස්  තොරතුරු ලබා ගනිමු” යයි  දරුවන්ට පැවසුවාය. 


ගිවිසගත් පරිදි ඊළඟ සතියේ ඇය  පන්තියේ දරුවන් සමග එතැනට ගියාය. ඔවුනට එතැනදී සාමාන්‍ය ප්‍රමාණයේ sycamore ගසක් දකින්නට ලැබුණි. ඒ අසල තිබුණු තරමක් දිරාපත්වූ පුවරුවක එය ‘චන්ද්‍ර ශාකයක්’ බව සඳහන් කර තිබුණි. 


ආපසු පාසලට පැමිණි ගොබ්ලේ මහත්මිය මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්  සකස් කිරීම පිණිස සිසුන් යොමු කරවීම සඳහා, ඒ පිලිබඳ  තොරතුරු අසා  NASA  ආයතනයට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැව්වාය.


මෙම පණිවුඩය ලැබුණේ Maryland ප්‍රාන්තයේ පිහිටි.NASA ආයතනයේ  Goddard අභ්‍යවකාශ ගමන් පිලිබඳ මධ්‍යස්ථානයේ, ග්‍රහලෝක විද්‍යාඥයෙකු වන  ඩේව් විලියම්ස් ටය. මෙම චන්ද්‍ර ශාක පිළිබඳව ඔහු  කිහිප දෙනෙකුගෙන් විපරම් කළ නමුත් ඒ ගැන කිසිම  හෝඩුවාවක්වත්  දැනගැනීමට නොහැකි විය.  ඇපලෝ අභ්‍යවකාශ වැඩ සටහන ක්‍රියාත්මක වූ කාලයේදී එහි සේවය කර ඇති පැරැන්නෝද කිසිවෙක් මේ ගැන නොදත්හ. මෙයින් නොනැවතුණු විලියම්ස් තම  ආයතනයේ ඓතිහාසික තොරතුරු ඇතුළත් පුස්තකාලයේ විමර්ශන අංශයේ ඇති පැරණි දත්ත අවුස්සා බලා හෝ මෙම සිද්ධිය සම්බන්ධ කරුණු සොයා බැලීමට උත්සාහයක් ගත්තේය.


ඔහුගේ ප්‍රයත්නය බොහෝ දුරට සාර්ථක විය. ගගනගාමී ස්ටුවර්ට් වනසංරක්ෂණ ආයතනයෙන් ශාක බිජ ඉල්ලා සිටීම, එම බීජ ඇපලෝ 14 අභ්‍යවකාශ යානයේ ගෙනයාම, ආපසු ගෙන එන ලද බීජ මල්ල පුපුරායාම, ඉතිරි බීජ ප්‍රරෝහණය කිරීම, බීජ පැළ බෙදාහැරිම වැනි තොරතුරු රාශියක් එහි ඇති පැරණි ලියකියවිලි වල දකින්නට ලැබුණි. රෝපණය කරනලද චන්ද්‍ර ශාක හයක් පිලිබඳ තොරතුරු ස්වල්පයක්ද ඔහුට හමුවිය.  මේ අතර, ඒ කාළයේ පුවත් පතක පළවී තිබුණු චන්ද්‍ර ශාකයක් සිටුවීම පෙන්වන   පහත දැක්වෙන ඡායාරුපයක්ද හමුවිය.


මෙම තොරතුරු සපයාගත් විලියම්සන්, ඒ සියල්ලේ පිටපත්,  Indiana ප්‍රාන්තයේ ප්‍රාථමික විදුහලේ  තුන්වන ශ්‍රේණියේ  ගුරුවරිය වන ගොබ්ලේ  මහත්මිය වෙත තැපෑලෙන් යවන ලදී. ඒ සමගම ඇයගේ උනන්දුව පිළිබඳව NASA ආයතනයේ ස්තුතිය පුද කිරීමේ ලිපියක්ද නිකුත් විය. දිගු කලක් තිස්සේ (වසර විස්සක් පමණ) අමතක වී ගොස් තිබුණු, ‘චන්ද්‍ර ශාක’ පිළිබඳ සිද්ධිය මින් පසු නැවතත් ලෝකයේ අවධානයට  යොමුවිය.

a woman digging a hole in the ground

                                  .

මෙය 1977 සැප්තැම්බර් මාසයේ  ‘Goddard News’ පත්‍රයේ පළවී  තිබුණු ඡායාරූපයකි.  



කුඩා දරුවන් සම්බන්ධකර ගනිමින් වුවද, පාසැලක කරනු ලබන ව්‍යාපෘතියක් මගින් රටෙහිම අවධානය යොමු කළහැකි, පාරිසරික මෙහෙයුමක්  දියත් කළ හැකි බවට මෙය හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැකිය. 


  1. මේ සම්බන්ධයෙන් තවත් කරුණු සොයා ගැනීම පිණිස උනන්දුවක් දැක්වූ විලියම්සන් විසින් තොරතුරු ඇතොත් විද්‍යුත් මාධ්‍යය  ඔස්සේ තමන් අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්  කරමින් අන්තර්ජාල පිටුවක්ද ආරම්භ කළේය. මෙයටද යහපත් ප්‍රතිචාර රාශියක් ලැබුණි.   


  1. මේ ආකාරයට ලැබුණු තොරතුරු අනුව චන්ද්‍ර ශාක සියයක්  සිටුවා තිබෙන ස්ථාන අනාවරණය කරගත හැකිවිය. මෑතදී කරන ලද සමීක්ෂණයකට අනුව මෙයින් 34 ක් දැනටමත් මැරී  ගොස් හෝ කපා හෙලිම නිසා අතුරුදහන් වී තිබේ. එසේ සිටුවා තිබී ශාක අතුරුදන් වූ ස්ථානවල රතුපැහැති තරු ලකුණක් සහිත  පුවරු තිබෙන අතර එම තරුවෙන් අදහස් කරන්නේ චන්ද්‍ර ශාකයක් තිබී අතුරුදන් වූ වගයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවන ශත සංවත්සරය, පැවැත්වූ 1976 වර්ෂයේදී, එම සැමරුම නිමිතිකර ගනිමින්  රෝපණය කරන  ලද චන්ද්‍ර ශාකද රාශියක් තිබේ. දෙවන ශත සංවත්සරයට සම්බන්ධ මෙම චන්ද්‍ර ශාක, එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති වරයා වන ජෙරල්ඩ් ෆෝර්ඩ් විසින් තම අත්සනින්  යුත් ආවරණ ලිපියක් සහිතව අදාළ ස්ථාන වලට යවා ඇති බවද වාර්තා වේ. ජනාධිපතිවරයාගේ පණිවුඩය මෙසේය: 


“ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවෙනි ශත සංවත්සරය පැවැත්වෙන මේ අවස්ථාවේ ඔබ වෙත මෙවැනි තිළිනයක් එවීමට හැකිවීම ආඩම්බරයකි. මේ පැළයේ බීජය,1971 ජනවාරි 31 දින පෘථිවියෙන් පිටත්වී, චන්ද්‍ර කක්ෂයක  සැරිසැරූ, ඇපලෝ 14 චන්ද්‍රිකාවේ ගමන් කළ  බවත්, මෙම ශාකය එයින් හටගත් බවත් අභිමානයෙන් යුතුව සහතික කරමි.”                                                                                                


  1. අභ්‍යවකාශයට ගෙනගොස් ආපසු  ගෙනෙන ලද   බීජ වලින් සුළු ප්‍රමාණයක් බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, සහ ජපානයටද යවා ඇති බවද  සටහන් වී තිබේ. 


  1. මෑතදී මේ සම්බන්ධයෙන් වාර්තාවී ඇති තරමක් හාස්‍යයට තුඩු දෙන සුවිශේෂී සිද්ධියක්ද මෙහිලා සඳහන් කිරීම උචිතයයි  සිතමි.  The Atlantic  සඟරාවේ විද්‍යා ලේඛිකාවක් වන Marina Koren විසින් ඇපලෝ 14 චන්ද්‍රිකාව කක්ෂ ගතකර අඩ  සියවසක්  පිරිම නිමිත්තෙන් සකස් කෙරෙන ලිපියකට චන්ද්‍ර ශාක පිලිබඳවද යමක් එකතු කිරීමට සිතුවාය. 1976 දී Loblolly pine චන්ද්‍ර ශාකයක්  වොෂින්ටන්හි ධවල මන්දිර පරිශ්‍රයේ රෝපණය කරන ලද  බව ඇයට දැනගන්නට ලැබිණ.  වැඩිදුර තොරතුරු ලබාගැනීම  සඳහා ඇය ඩේව් විලියම්සන්ගේ Moon Trees වෙබ් අඩවියට පිවිසියාය. වෙබ් අඩවියේ එම ශාකයේ  පින්තූරයක් නොමැත. ඒ වෙනුවට ‘රතු තරු සටහනක්’ සහිත දිරාගිය පුවරුවක් පමණක් දකින්නට ලැබිණ !  එම සටහනෙන් සංකේතවත් වන්නේ ඇපලෝ 14 චන්ද්‍ර බීජයකින් හටගත්, එහි රෝපණය කරන ලද  Loblolly pine ශාකය, අකාලයේ මියගොස් ඇති බවයි. ධවල මන්දිර පරිශ්‍රයේ සිටවූ චන්ද්‍ර ශාකයේ ඉරණම එසේ වූයේ නම් අනිකුත් චන්ද්‍ර ශාක ගැන කියනුම කවරේද?


  1. 1977 දී,  NASA ආයතන පරිශ්‍රයේද  චන්ද්‍ර ශාකයක් රෝපණය කරන  ලද බව  ලේඛනගතවී තිබේ. මෙය sycamore (Platanus occidentalis) ශාකයකි.  

1977 දී NASA ආයතනයේ රෝපණය කරන ලද චන්ද්‍ර ශාකය  


මෙම ශාකය පිළිබඳව ‘National Geographic’ සඟරාවේ 2019 ජුලි  කලාපයේ පළකර තිබුණු ඉහත දැක්වෙන ඡායාරුපය සහ විස්තරය එම සඟරාවට ස්තුති පූර්වකව මෙසේ උපුටා දක්වමි. 


‘A moon tree’ stands tall, illuminated from behind by artificial lights,  at NASA's   Goddard Space Flight Center in Greenbelt, Maryland.   Planted in 1977, the sycamore (Platanus occidentalis) grew from a seed that orbited the moon during the Apollo 14 mission in 1971’  

                                                            

            ඡායාරූප සහ සමහර තොරතුරු ස්තුති පූර්වකව අන්තර්ජාලයෙන් ලබාගත් බව සඳහන් කරමි.

 

Monday, 13 December 2021

මාගේ අලුත්ම පොත “ආ මග සටහන්”

      ශක පහකට වැඩි කාලයක් තිස්සේ, මා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා වල නිරතව සිට ලද අත්දැකීම් වලින් බිඳක්,  “ආ මග සටහන්”  නමින් පොතක් ලෙස සකස් කිරීමට හැකිවිය.  කොරෝනා වසංගතය නිසා, වසර දෙකක් පමණ  මුද්‍රණ කටයුතු අඩාල වී  තිබී, දැනට සති කිහිපයකට පෙර  එය කොළඹ, ගොඩගේ සහෝදර සමාගම මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුනට මාගේ ප්‍රණාමය පුද කරමි. දශක කිහිපයක් තිස්සේ ගතකළ ඒ සුන්දර කාලය තුළදී   හමුවූ විවිධ දෙස් විදෙස්  සහෘදයින්, ආ ගිය ගමන් බිමන්, අත් විඳි රසබර සිදුවීම්, මුහුණ පෑ  දුක් කම්කටොලු, රාජකාරි කටයුතුවල අත්දැකීම් ආදී දහසකුත් එකක් එසේ නැවත සිහියට නැගීමට හැකිවීම මහත් සතුටකි.  

පොතෙහි පිට කවරය 


‘අතීතය සුන්දරය, වර්තමානය කාර්ය බහුලය, අනාගතය අවිනිශ්චිතය’, යන වැකියේ ගැබ්වී ඇති අදහසට අනුව, තම ජීවිත කාලය ගෙවී යන්නේ නොවේදැයි,  කෙනෙකුට සිතෙනු ඇත. ඊයේ,  අද සහ හෙට ගැන සිතා බැලුවත්, ඊයේ ගතවී ගොස්ය. අද ගතවෙමින් පවතී. හෙටක් යළි උදා විය හැකිය . 

ඉංග්‍රීසි ජාතික ශේක්ස්පියර් කවියාගේ ‘මිනිස් ජීවිතයේ අවස්ථා හත’ (The seven ages of man) නම් පද්‍යය ,  ‘All the world’s a stage, And all the men and women merely players; ……’ ලෙස ආරම්භ කර, අවසන් කරන්නේ, ‘Sans teeth, sans eyes, sans taste, sans everything.’ යනුවෙනි.   

ශේක්ස්පියර් කවියාගේ, මෙම පද්‍යය ගැන ගැඹුරින් සිතා බලන විට, ජීවිතයේ යථාර්ථය පැහැදිලි වේ. ඕනෑම මිනිසෙකු හෝ ගැහැනියකු  තම ජීවිත කාළය  තුළදී,  විවිධ භූමිකා වල රඟ පෑම් කරන බව, ඔහු පෙන්වා දෙයි. අවසානයේදී, ඔවුනට තමන්ගේම වැඩ කටයුතු පවා කර ගැනීමට නොහැකි, වයෝවෘධ  තත්වයකට පත්වන බව එහි යථාර්ථයයි. ශේක්ස්පියර් විස්තර කරන ආකාරයට, කෙනෙකු තොටිල්ලේ නැළවෙන බිළිඳු  අවස්ථාවේ සිට, මිය යන අවස්ථාව දක්වා කරනු ලබන  සියල්ලම ‘රංගන’ වේ. සෑම කෙනෙකුටම සාධාරණ විය හැකි, මටද එසේ වූ, එවැනි රංගන ස්වල්පයක තොරතුරු, මේ මගින් ඔබ සමග බෙදා හදා ගැනීම, මගේ බලාපොරොත්තුවයි. මේ සත්‍ය තොරතුරු වලින් පාඨකයාට  ජීවිතාවබෝධය විනිවිද දැකිය හැකි  සියුම් ඉඟියක්ද ලැබේය යන්න මගේ විශ්වාසයයි. 

පාසැල් කාලයේ සිට, රැකියාවෙන් විශ්‍රාම ලබන තුරු සහ ඊට පසුවද,  දශක හයක් පමණ නොකඩවාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවල නිරතව සිටි මට, ආපසු හැරී බලනවිට, පෙනෙන දසුන් වල ඇති, හදවතට බොහෝ සමීප සිද්ධි වලින් බිඳක්  මෙසේ සටහන් කර තැබීම, අගනේයයි සිතක් පහල විය. මෙහි ඇති සියලුම ‘කතන්දර’ සත්‍ය සිද්ධි මුල්කර ගනිමින් ගොඩ නගන ලද ඒවා බව විශේෂයෙන් සඳහන් කළ හැකිය. එසේ වුවත් පෞද්ගලිකත්වය හෙළි කිරීම නුසුදුසුයි හැඟී ගිය අවස්ථාවලදී සහෘදයින්ගේ නම් සහ ස්ථාන නාම වෙනුවට ව්‍යාජ නාම දමා වෙනස් කිරීමට සිදුවිය.  ඒ සුන්දර චමත්කාර අතීතය ගෙවී ගොස්ය. වර්තමානය දැන් පෙර මෙන් කාර්ය බහුල නැත. ඒ අවිනිශ්චිත අනාගතය දැන් උදාවෙමින් තිබේ. දිවි මගෙහි ඉතිරි කොටස කෙටිය. ඒ කෙටි  කාලයේදී අතීත ආවර්ජනය මෙසේ  ටිකින් ටික සනිටුහන් කිරීමට හැකිවීම භාග්‍යයකි.  

බෞද්ධ දර්ශනයේ දැක්වෙන, ‘ලාභෝ අලාභෝ අයසෝ යසෝච’ යන අටලෝ දහම් විග්‍රහය අනුව, කෙනෙකුට තම ජීවිත කාලය තුළදී, ලාභ, යස, ප්‍රශංසා, සැප යන සුඛාස්වාද මෙන්ම, අලාභ, අයස, නින්දා හා දුක යන දුක්ඛාස්වාද  වලටද, නිසැකවම  මුහුණ දීමට සිදුවේ.  මේ දෙපැත්තේම රංගන මෙන්ම, මධ්‍යස්ථ  භූමිකාද  මෙහි පිටු  අතර තිබිය හැකිය.

මෙහි දක්වා ඇති පරිදි ගතවී ඇති කාළය තුළදී ඇසුරු කරන්නට ලැබුණු හිතවතුන් සහ හිතවතියන් දහස් ගණනක් විය හැකිය. ඔවුන් සියලු දෙනාටම කෘතගුණ සැලකීමක් වශයෙන් පොතෙහි මෙවැනි සටහනක් කළෙමි.

පිදුම- දශක හයක හතක කාළ පරාසයක් තිස්සේ,  ලොව කිහිප ස්ථානයකදී හමුවී, ඉතා සුහදව ඇසුරු කළ,  මෙම සත්‍ය සිද්ධි වලට හවුල්වී, නිර්ව්‍යාජ ‘රංගන’ දැක්වූ සියළු දෙනාටම මාගේ ආදර ගෞරවය පුද කරමි. ඔවුන්  අතුරෙන් පරලෝ සැපත්වී සිටින කිහිප දෙනාට,  මතු භවය ඉතාමත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.

අද ආපසු හැරී බලන විට, ඒ සහෘදයින් බොහෝ දෙනෙකු මෙලොවින් සමු ගෙන ඇත. විදේශ වලදී හමුවී ඇසුරු කළ සියල්ලෝම පාහේ, මෙම ජීවිතයේදී  නැවත කිසිදිනක හමු නොවනු ඇත. සමහර විට ඔවුන්ටද අප සම්පූර්ණයෙන් අමතකවී ගොස් ඇත. පාසල් අධ්‍යාපන කාලයේ සිටි පන්ති මිතුරන්ගෙන් තවමත් ඇසුරේ සිටින්නේ අතලොස්සක් පමණකි. දෛවෝපගතව ජීවිතයේ සැඳෑ සමය විදේශයක ගත කිරීමට සිදුවූ නිසා කුඩා කළ ඇසුරු කළ අය සහ සමහර නෑදෑ හිත මිතුරන්ද නාම මාත්‍ර  බවට පත්වී සිටිති. නව  තාක්ෂණික මෙවලම් වලට පින්  සිදුවන්නට  ඉඳහිට හෝ එවැන්නෙකුගේ කටහඬ හෝ ඉලෙක්ට්‍රොනික ඡායාරූපයක්වත් දැකගන්නට ලැබීමද අරුමයකි. පසුගිය වසර දෙකක් තිස්සේ මුළු ලොවම වෙලාගෙන සිටින ‘කොරෝනා’ වසංගත තත්ත්වය නිසා ලොව බොහෝ දේ උඩු යටිකුරු වී ඇති ආකාරයටම අපගේ  බොහෝ සමාජ බැඳීම් වලටද තිත තැබී ඇත.

යටගියාවේ සමහර සම්බන්ධතා නටබුන් බවට පත්වී ඇතත්,  ඒ අතීතය සුන්දරය. අව්‍යාජයය. ඒ වකවානුව  මෙනෙහි කිරීමද සුවදායකය. එහි ආවර්ජනය කළහැකි, එසේ ආවර්ජනය කිරීමෙන් චිත්ත සන්තර්පණයක් ඇතිකර ගතහැකි දේ බොහෝය. මා “ආ මග සටහන්” ලෙස නම් කරන ලද මෙම අතීත ආවර්ජනා නැවත කියවා  සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත හැකිය. ඒ සමගම නෙත’ගට නැගෙන කඳුළු බිඳුවකින් දුක්ඛ දෝමනස්සයන් මගහරවා ගත හැකිය. 

ඔබටද “ආ මග සටහන්” කියවීමට අවස්ථාවක් ලැබුණහොත්, කියවා ඒ සම්බන්ධව ඉතිරි කර තබන මොනයම් ප්‍රතිචාරයක් වුවද මා හට තවත් ලිවිම සඳහා මහත් උත්තේජනයක්ම වනු ඇත.                                                                                                                                                                                                                                                                                                                                                                                                          

   


Wednesday, 8 December 2021

දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි)

දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව.      2 කොටස  

(කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) 


2021 ග්ලාස්ගෝ සමුළුව සහ ප්‍රගති සමාලෝචනය


2015 වසරේ පැරිසියේදී පවත්වන ලද ඓතිහාසික ජගත් පරිසර සමුළුවේදී සම්මත කරගන්නා ලද පරිසර ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් වසර පහකට පසුව 2020 වසරේදී පැවැත්වීමට තීරණය කර තිබුණි. එහෙත්, 2020 වසරේදී පැවතී  උග්‍ර COVID 19 වසංගත තත්ත්වය නිසා යෝජිත  සමුළුව පැවැත්වීමට නොහැකිවිය. වසංගත තත්ත්වය තරමක් තුනීවූ පසු, එය 2021 ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 15 දක්වා, දින දහසයක් තිස්සේ   එකසත්  රාජධානියේ,  ස්කොට්ලන්තයේ,  ග්ලාස්ගෝ නගරයේදී පවත්වන ලදී., .


එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ CoP26 -  (26th Conference of  Parties) යන නමින් හැඳින්වූ  මෙම සමුළු සැසි වාරයේ එක් අරමුණක්  වූයේ,  2015 සිට මේ දක්වා කාලය තුළදී, ගෝලීය උණුසුම් වීම මැඩපැවැත්වීම සඳහා ගන්නා ලද උත්සාහයේ,  ලබා ඇති ප්‍රගතිය පිලිබඳ සාකච්ඡා කිරීමයි. එක්  එක් රාජ්‍යය විසින් පැරිස් සමුළුවේදී ගන්නා ලද තීරණ කෙතරම් දුරට ක්‍රියාත්මක කර තිබේද යන්න පිළිබඳව කරුණු  ප්‍රකාශයට පත්කිරීම සහ ඒවායේ තිබිය හැකි අඩුපාඩු නිරාකරණය කර ගැනීම සමුළුව ආරම්භයේදී  සාකච්ඡාවට භාජන විය.  2015 දී තීරණය කරගත් පරිදි,  බලාපොරොත්තු වූ ඉලක්ක කරා පිවිසීම සහ විශේෂයෙන්ම කාබන් මධ්‍යස්ථ භාවය (Carbon neutrality) ලඟා කර ගැනීම සාක්සාත් කර ගැනීම පිණිස අනුගමණය කරන ලද  ක්‍රමවේද ගැනද,  මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී.


2015 පැරිස් සමුළුවේදී ඉදිරිපත් කරන  ලද,  ප්‍රක්ෂේපිත ගණනය කිරීම් (projected calculations) වලට අනුව 2030 වනවිට, වායු ගෝලයේ සමස්ථ හරිතාගාර ආචරණ වායු ප්‍රමාණය  (Global Green House Gas  emissions),  CO2  සමක,  ගිගා ටොන් 54 ක් පමණ විය හැකි බව තීරණය කර තිබේ. (ගිගා ටොන් එකක් යනු ටොන් බිලියනයකි.) මෙම අගය 54GtCO2-eq   ලෙස දැක්වේ. (Gt- ගිගා ටොන්,  CO2-eq  - CO2 සමක). එහෙත් 2015 වසරේදී ගිවිස ගන්නා ලද්දේ, 2030 වනවිට  වායුගෝලයේ සමස්ත හරිතාගාර වායු ප්‍රමාණය  27GtCO2-eq   මට්ටමේ තබා ගැනීමටය. 


මෙය මහත් අභියෝගයකි. 2021 වර්ෂය  වන  විට පවා  මෙම ප්‍රමාණය 31GtCO2-eqපමණ වී ඇති බව වාර්තා වේ. ඉලක්කගත කාලය වන 2030 දක්වා තවත් ඇත්තේ වසර නවයක් පමණකි. මේ නිසා ඉදිරියට ඇති සුළු කාල පරාසය  තුළදී හරිතාගාර ආචරණය 50% කින් වත් අඩුකර ගතහොත් මිස, 2030 වනවිට බලාපොරොත්තු විය හැකි,  එම අති අවදානම් තත්ත්වය මගහැර ගත  නොහැකි බව ඉතාමත් පැහැදිලිය. 


ගෝලීය  උණුසුම් වීමේ අවදානම  සම්බන්ධයෙන් SCIENCE INSIDER නම් සඟරාවේ පළකර තිබු ලිපියකට සම්බන්ධ කර ඇති ප්‍රස්තාරයකින්,  මෙම ශත වර්ෂයේ ඉදිරි දශක අට තුළදී සිදුවිය හැකි ගෝලීය උණුසුම් වීම පිලිබඳ ඉඟියක් කර තිබේ.  (එම ලිපියේ කතුවරයාට ස්තුති පූර්වකව එම ප්‍රස්තාරය මෙහි උපුටා දක්වමි). පහත ප්‍රස්තාර සටහන බලන්න 


මෙම ප්‍රස්ථාරයේ සිරස් අක්ෂයෙන් (y අක්ෂය)  දැක්වෙන්නේ සියලුම හරිතාගාර වායුවලින් එකාබද්ධව වසරකට ඇතිකළ හැකි ගෝලීය උණුසුම් වීමේ, CO2 සමක සංඛ්‍යාව ගිගා ටොන් (GtCO2-eq)) වලින්ය. එහි තිරස් අක්ෂයේ (x අක්ෂය)  දැක්වෙන්නේ 1990 සිට  2100 දක්වා කාලයයි.

 

සිරස් අක්ෂයේ 0 ලක්ෂ්‍යයේ සිට ඇති තිරස් රේඛාව මගින් දැක්වෙනුයේ, වායු ගෝලයේ හරිතාගාර වායු,  ශුන්‍ය බලපෑමක් නැතහොත් ශුන්‍ය මුක්ත වීමක් (zero emission) බලාපොරොත්තු විය හැකි ආකාරයයි.  


මෙහි  ප්‍රස්තාර රේඛා කිහිපය  නිර්මාණය කිරීමේදී භාවිතයට ගෙන ඇත්තේ,  2015  වසරේ පැරිස් සමුළුවේදී සැලකිල්ලට භාජන කරන ලද ගිවිසුම්,  ‘පිළිපැදීම හෝ ඒවා නොසලකා හැරිම’ අනුව,  ඉදිරි කාලය තුළදී (2030 සිට 2100) සිදුවිය හැකි ගෝලීය උණුසුම් වීම පිලිබඳ පෙරැයීම්  වේ. මේ ආකාරයට  සිදුවියහැකියයි අනුමාණ කල හැකි  දේ,  ආචරණ සිද්ධි පහක් ලෙස ප්‍රස්තාරයේ  දකුණු පැත්තේ  අංක 1 සිට 5 දක්වා සටහන් කර තිබෙන පරිදි දැක්වේ. ඒවා මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.

 

  1. දැනට පවතින සමහර අස්ථිර ප්‍රතිපත්ති අනුව බලාපොරොත්තු විය හැකි තත්ත්වය.

  

  1. දැනට දී ඇති ප්‍රතිඥා, යෝජිත පරිදි කාලීනව ඵල ගැන්වූ පසු ඇතිවන තත්ත්වය. 


  1. අභිමත කාබන් මධ්‍යස්ත භාවයේ සිටින විට පැවතීම. 

 

  1. උෂ්ණත්ව උපරිමය 2°C  මට්ටම සීමාවට  පැවතීම. 


  1. යෝජිත පරිදි පරිසර උෂ්ණත්ව වැඩිවීම 1.5 °C ප්‍රශස්ත මට්ටමේ තබාගැනීම. 


 (https://www.science.org/content/article/paris-climate-pact-5-years-old-it-working ඇසුරෙනි) 



මෙම ප්‍රස්තාරයෙන්  දැක්වෙන සංකල්ප  අවබෝධ කර ගැනීම සඳහා තවත් අර්ථ දැක්වීම් කිහිපයක්ද භාවිත කළ යුතුවේ. ඒවා නම්:

  • හරිතාගාර වායු, ශුන්‍ය මුක්ත වීම (Carbon zero) - මෙසේ  හැඳින්වෙනුයේ, වායු ගෝලයට ස්වාභාවිකව මුක්ත වන හරිතාගාර වායු, හා සමාන ප්‍රමාණයක්  වනාන්තර සහ සාගරය වැනි තවත් සංචිත වලට උරාගැනීම  හෝ කෘතීම ගබඩා වල රැස් කිරීම මගින්  මනා තුලිතතාවයක් ඇති කිරීමයි.

  • ‘කාබන් ප්‍රතිසමතුලිත තාවය’ (Carbon offsetting) - යම්කිසි කෙනෙකු හෝ ආයතනයක් විසින් මුදා හැරෙන  හරිතාගාර වායු ප්‍රමාණය සමතුලිත කිරීම සඳහා වන රෝපණය වැනි  කාර්යයක හෝ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්‍රියාවලියක ආයෝජනය කිරීම. 

  • ‘කාබන් මධ්‍යස්ථ භාවය’ (Carbon neutrality) - විවිධ පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කරමින් හරිතාගාර වායු මෝචනය පරිසර හානියක් නොවන මට්ටමක  පවත්වා ගැනීම .


1990 සිට 2015 දක්වා කාළය තුලදී පරිසර උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන ආකාරය ප්‍රස්තාරයේ ආරම්භක අවස්ථාවේ සිට තද කලු  පැහැයෙන් දක්වා ඇත. මෙම කාලය තුළදී පමණක් වායු ගෝලීය හරිතාගාර වායු ප්‍රමාණය ගිගා ටොන් 15 කින් පමණ වැඩිවී තිබේ.

ඒ සමගම 2020 වසරේ සිට COVID19 වසංගතය සමයේ පරිසරය උණුසුම් වීම සැලකියයුතු ආකාරයකට අඩුවීමේ ඓතිහාසික ප්‍රවණතාව  ප්‍රස්තාරයේ තියුණු නැම්මකින් පෙන්නුම් කෙරේ. මෙතැන් සිට දැක්වෙනුයේ අනාගතයේදී ගන්නා පියවර අනුව ඉදිරියට සිදුවිය හැකි දේ පිලිබඳ පෙරැයීමයි. ප්‍රස්තාරයේ ඒ ඒ කොටස් සහ රේඛා වලින් හැඟවෙන අදහස් පහත දක්වා ඇති පරිදි  සම්පිණ්ඩනය කළ හැකිය.


ඉහත ප්‍රස්තාරයේ ඒ ඒ කොටස් සහ රේඛා වලින් හැඟවෙන අදහස් තවදුරටත් මෙසේ සම්පිණ්ඩනය කළ හැකිය.


  1. සමහර රටවල අද පවතින යම් යම් අවිනිශ්චිත ප්‍රතිපත්ති තීරණ නිසා, 2015 පැරිස් ගිවිසුම හරියාකාරව ක්‍රියාත්මක නොවුවහොත්, පැවතිය හැකි හරිතාගාර ආචරණ ස්වරූපය 35GtCO2eq සිට  47GtCO2-eq පමණ විය හැකිය.මෙම තත්ත්වය ප්‍රස්තාරයේ (නිල් පැහැ තීරුව) කොටසින් දැක්වේ.(මෙසේ තීරුවකින් දැක්වෙන්නේ එහි අවිනිශ්චිත භාවය නිසාය)

  2. දැනට දී ඇති ප්‍රතිඥා අනුව ඉදිරියට කටයුතු කළහොත්  2100 දී, හරිතාගාර ආචරණය  27GtCO2-eq මට්ටමේ පැවතිය හැකි බව. 

  3. ප්‍රතිපත්ති තීරණ ඒ ආකාරයටම ඉටු වුවහොත්  අභිමත කාබන් මධ්‍යස්ථ භාවය ලෙස සැලකෙන, 15GtCO2-eq සීමාවේ  එලෙසම පවත්වා ගත හැකි බව. 

  4. හරිතාගාර ආචරණය මගින් ගෝලීය උණුසුම් වීම, 2°C ඉලක්කය නොඉක්මවා  පවත්වා ගතහොත් කාබන් ශුන්‍ය භාවයට ආසන්න මට්ටමක  පැවතිය හැකි ආකාරය.

  5. කෙසේ හෝ ගෝලීය උණුසුම් වීම, 1.5°C ඉලක්කය අනුව  පවත්වා ගතහොත් කාබන් ශුන්‍ය භාවය යථාර්ථයක් බවට පත්කර ගතහැකි බව. 


ජාත්‍යන්තර බලශක්ති ආර්ථික විද්‍යාඥයෙකු වන, ඩැනියෙල්  වෙල්ස්බි සඳහන් කර ඇති පරිදි,  2015 දී සම්මත කරගන්නා  ලද ආකාරයට ගෝලීය උණුසුම් වීම සීමා  කර ගැනීමට නම්, ලොව ඇති සියලුම භූගත නිධි වලින් ගල් අඟුරු කඩා   ගොඩ ගැනීම සහ ගල් අඟුරු ඉන්ධනයක් ලෙස භාවිතය වහාම නතර කළ  යුතු වේ. ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ, 2050 වර්ෂය වන විට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම 1.5°C සීමාවේ තබාගැනීමේ අභිලාශය, 50% ක මට්ටමකවත් තබා ගැනීම සඳහා, මේ මොහොතේ සිටම, වායු ගෝලයට CO2 සහ අනිකුත් හරිතාගාර වායු මුක්ත කිරීම නතර කළ යුතු වේ. 2100 දක්වා ඉතිරි කාලය තුළදී, සියලුම රටවල් විසින් වායු ගෝලයට මුක්ත කළහැකි CO2 සමක උපරිමය, ගෙගා ටොන් 580 කි. (580 Gt) .


මෙම සීමාවට එළඹීම සඳහා, ඒ වන විට, අද පවත්නා  ගල් අඟුරු නිධි වලින් 89% ක්,  තෙල් සංචිත  වලින් 58% ක් සහ භුගත ගෑස් සංචිත වලින් 59% ක් ස්වාභාවික ආකාරයටම  භූගතව තිබිය යුතුය.  එපමණක්ද නොව, මෙම ඉලක්කය ස්ථාවර කර ගැනීම පිණිස, දැන් සිටම වායුගෝලයෙන් CO2  උරා ගැනීමේ හෝ ඉවත් කිරීමේ ක්‍රමවේද සහ වායුව සුරක්ෂිතව ගබඩා කර තැබීමේ ක්‍රම සහ විධි අනුගමනය කළයුතු වන බවද ඔහු අවධාරණය කරයි. ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන පරිදි ගෝලීය උෂ්ණත්වය වැඩිවීම,  1.5°C සීමාවේ තබාගත හැකි වුවහොත් 2100 වනවිට, ගෝලීය උණුසුම නැවත වරක්,  කාර්මික විප්ලවයට කලින් තිබුණ තත්ත්වයට ඉතා ආසන්න ප්‍රමාණයකට ගෙනගිය හැකි බවත්, එම තත්ත්වය ඉතා සෞම්‍ය දේශගුණික ලක්ෂණයක් විය හැකි බවත්   උපකල්පනය කෙරේ.


මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සැකෙවින් 


පැරිස් සමුළුවෙන් පසු මෙතෙක් හඳුනාගෙන තිබෙන ගැටළු සියල්ලටම පාහේ, ග්ලාස්ගෝ සමුළුවේදී, කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සෙවීම මහත් අභියෝගයක් විය. කෙසේ වෙතත්, පෘථිවියේ සහ එහි වාසය කරන මිනිස් සංහතියේත් අනිකුත් සියලුම ජීවීන්ගේත් අනාගත ඉරණම විසඳෙනුයේ මේ අවස්ථාවේදී  ගන්නා තීරණ අනුවය.  


මේ ආකාරයට අත්විය හැකි අනාගත ඉරණම විසඳීමෙන් අත්වන ප්‍රතිලාභ හෝ එය නොසලකා හැරිම නිසා අත්විය හැකි පාඩු මෙතෙකැයි විස්තර කළ නොහැකි තරම් ය.  


2015 පැරිස් සම්මුතියේ ප්‍රතිඥා වල ප්‍රගතිය පිලිබඳ  අගැයීමක් ග්ලාස්ගෝ සමුළුවට ටික දිනකට   පෙර කර තිබෙන බව සැලවේ. එම ප්‍රගති වාර්තාවට අනුව ධනාත්මක පිවිසුම් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. 


  • නව ඇමෙරිකානු ජනාධිපති 2021 ජනවාරි මාසයේ තනතුරට පත්වී දින කිහිපයකින්ම, පැරිස් සමුළුවේ ගිවිසුම් වලට යළි එකඟතාව පළකිරීම මේ අතර  සුවිශේෂී සිද්ධියකි.

  • ලොව දැවැන්ත තෙල් ව්‍යාපාර කිහිපයක් වහාම කාබන් මධ්‍යස්ත භාවය කරා ළඟාවීමට ප්‍රතිඥා දීමත්, ලොව පුරා මෝටර රථ නිෂ්පාදක සමාගම් රාශියක් ඛනිජ තෙල් භාවිත වාහන නිෂ්පාදනය අත්හැර දැමීමත්,  විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගැනීමත් සාධනීය පියවර කිහිපයකි.

  • හරිතාගාර වායු වැඩි ප්‍රතිශතයක් මුක්ත කරනු ලබන ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ  ජපානය  වැනි රටවල් 2030 වසර වන විට, කාබන් ශුන්‍ය භාවයට පත්කිරීමේ ප්‍රතිඥාව සනාථ   කර තිබේ. ඉන්දියාව  2050 වන විට මේ සඳහා තම දායකත්වය සැපයිය හැකි බවට ගිවිස ගෙන ඇත. එමෙන්ම 

  • හරිතාගාර වායු වලින් 22% පමණ මුදාහරිනු ලබ, මේ  සම්බන්ධයෙන් ලොව පළමු ස්ථානයේ සිටින චීනයද, 2060 වන විට කාබන් ශුන්‍ය භාවයට එළඹීමට තීරණය  කර තිබේ.

  • ලෝකයේ ප්‍රධානතම  ඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටක් වන සවුදි අරාබියද  2060 වන විට කාබන් ශුන්‍ය තත්ත්වය ලඟා කර ගැනීමට එකඟ වී තිබේ.

  •  කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල්  20 ක්, 2022 වසරෙන් පසු, පොසිල ඉන්ධන භාවිත වන කිසිම ජාත්‍යන්තර ව්‍යාපෘතියකට මූල්‍යාධාර සැපයීමෙන් වලකින බවටද  ගිවිසුමක් අත්සන් කර තිබේ. 

  • බල ශක්තිය  සඳහා බහුලව ගල් අඟුරු භාවිත කරන ඉන්දුනීසියාව සහ පෝලන්තයත් ඇතුළුව රටවල්  23ක්, ගල් අඟුරු අවශ්‍ය වන  නව ව්‍යාපෘති කිසිවක් ආරම්භ නොකිරීමටත්, දැනට ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිත වන ව්‍යාපෘති සියල්ලම ක්‍රමක්‍රමයෙන් පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වලට පරිවර්තනය කිරීමටත් එකඟත්වය පළකර තිබේ.


මේ  අතර, රටවල් කිහිපයක් තම ගිවිසුමේ ප්‍රතිඥා  නොසලකා හැර තිබීමේ අවාසනාවන්ත  සිද්ධි ද අනාවරණය වී තිබේ.

  • ලෝකයේ විශාල වශයෙන් තෙල් නිපදවන රටවල් දෙකක් වන ඉරානය සහ ලිබියාවත්, අරාබි ලෝකයේ තරමක් දිළිඳු රටක් වන  යේමනයත් මේ වන තුරු පැරිස් ගිවිසුමට එකඟතාව පළකර නොතිබීම මහත් ගැටළුවක් වී තිබේ. 

  •  ඉරානය සහ ලිබියාව ඇතුළු රටවල් 13 ක් අයත්වන ඛනිජ තෙල් අපනයන රටවල සංවිධාන (OPEC) සාමාජිකත්වයද  යේමනයට හිමිවී නොමැත.

  • තුර්කිය සහ ඉරාකයද සම්මුතියට අත්සන් තැබුවේ අවසන් මොහොතේ,  2021  ඔක්තෝබර් මාසයේදීය.

.

COP26 සමුළුවේ සභාපති, ආලෝක් ශර්මා මේ ගිවිස ගැනීම් සියල්ල නිරීක්ෂණය කරමින්, “ගල් අඟුරු භාවිතයේ අවසානය අත ළඟටම පැමිණ තිබේ” යයි උදම් අණමින්,  තම තමන්ගේ ප්‍රතිඥා ඉටු කිරීමට ප්‍රයත්නයක් දරන රටවලට ස්තුතිය පුද කර වැදගත් ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද දැනගන්නට ඇත.


ආර්ජන්ටිනාවේ ජාතික විද්‍යා සහ තාක්ෂණ පර්යේෂණ විශ්ව විද්‍යාලයයේ, ආචාර්ය පැබ්ලෝ කැන්ෂියානි පෙන්වාදෙන ආකාරයට, වර්තමාන දශකය තුළදී, වායු ගෝලයට එකතුවන  හරිතාගාර වායු ප්‍රමාණය හරි අඩකින්වත් අඩු කර ගැනීමට නොහැකි වුවහොත්, 2030 වනවිට ලොවපුරා ඇතිවිය හැකි,   සුළි කුණාටු, සැඩ  සුළං, ලැව්ගිනි, දැඩි  නියඟ ආදියේ ප්‍රබලතාව දෙගුණ විය හැකිය. මෙසේ වුවහොත් 2030 වනවිට, ලෝකයට කිසිසේත් ඔරොත්තු නොදෙන ආකාරයෙන්  දිනකට ඩොලර් බිලියන දෙකක පමණ අලාභයක් විය හැකි බව ඔහු තවදුරටත් අවධාරණය කරයි.


ඉන්දියාවේ නවදිල්ලි නුවර,  විද්‍යා සහ පරිසර කේන්ද්‍රය (Centre for Science and Environment -CSE) මගින් ග්ලාස්ගෝ සමුළුවට පෙරාතුව කර තිබෙන අධ්‍යයනයකට අනුව, 1990 සිට 2019 දක්වා කාලය තුළදී, ලෝකයේ ඇති හරිතාගර වායු වලින් තුනෙන් දෙකක් පමණ පරිසරයට මුක්ත වීම  සඳහා වගකීම, ඉහලම ආදායමක් ලබන රටවල්  කිහිපය  භාරගතයුතු බව ප්‍රකාශයට පත්කර තිබේ.

 

1997 වර්ෂයේදී පොදු ගිවිසුකට එළඹි පරිදි, 2008 - 2012 කාලය වනවිට, හරිතාගාර වායු මෝචනය, 1990 දී තිබුණු තත්ත්වයේ සිට 5% කින් අඩු කිරීම සඳහා වූ පොරොන්දුවද   මෙම ධනවත් රටවල්  විසින්  නොසලකා හැර ඇති බවද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ය.    

 

විවිධ රටවල් වලින් ඉදිරිපත් කර, එමෙන්ම ගිවිසුම් ගත වී ඇති මෙම පිවිසුම් සහ එවැනිම තවත් සාධනීය අදහස් රාශියක් නිසා පෘථිවියේ අනාගතය පිලිබඳව,  සැනසුම් දායක තත්ත්වයක් උදාවිය හැකි බව අනුමාන කළ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තවත් එවැනි පරිසර හිතකාමී සංවිධාන සහ ආයතන මගින් මේ වෙනුවෙන් ඇපකැපවී කටයුතු කිරීමද ප්‍රශංසනීයය.     


එක්සත් ජාතීන් විසින් ගනු ලබන  මීළඟ සාධනීය පියවර 


පැරිස් නගරයේ පැවැත්වූ   COP21 සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කරන ලද්දේ, මානවජනක ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට මුක්ත කරනු ලබන CO2 වායුව මගින්  සිදුවන පරිසර හානිය අඩුකර ගැනීම සඳහා වැඩ සටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම පිලිබඳවය. ඉහත දළ  වශයෙන් දක්වන ලද්දේ මේ පිලිබඳව  දැනට  දැනගන්නට ලැබී ඇති ඇති ප්‍රගතියයි.   


මෙවර ග්ලාස්ගෝහිදී පැවැත්වූ  එක්සත් ජාතීන්ගේ විසිහයවන සමුළුවේදී (COP26), ගෝලීය උණුසුම් වීමට මෙන්ම දේශගුණ විපර්යාස අර්බුදයට මූලික වන, ශේෂමාත්‍ර (residuals) වශයෙන්  වායු ගෝලයේ පවතින හරිතාගාර වායු වන   මීතේන්- CH4, නයිට්‍රස් ඔක්සයිඩ් - N2O සහ ක්ලොරෝෆ්ලුරෝකාබන් - CFC,  වැනි  වායු  පිළිබඳවද වැඩි අවධානයක් දැක්වීමට කටයුතු කර තිබේ. විශේෂයෙන්ම, වායුගෝලයේ ඉහල ස්ථර  වල තිබෙන ඕසෝන් වියනටද හානි පමුණුවන නිසා, මීතේන් වායුව   වායුගෝලයට එකතුවීම පාලනය කිරීම සඳහා ප්‍රමුඛ ස්ථානය දිය යුතුව ඇත.


මෙහිදී රටවල් සියයක් පමණ, 2030 වනවිට තම දේශයන්හි මීතේන් වායුව මුක්ත වීම 30% කින් අඩුකර ගැනීමට ගිවිස ගෙන තිබේ.  ලෝකයේ සියලුම රටවල් මෙම සම්මුතියට පැමිණියහොත්, ඉදිරි දශක කිහිපය තුළදී, උෂ්ණත්වය වැඩිවීමේ  සීමාව  පහසුවෙන්ම 1.5°C මට්ටමේ තබාගත හැකි වනු ඇතැයි  විශ්වාස කෙරේ. 

 

බලාපොරොත්තුව මෙසේ වුවත්, ලෝකයේ වැඩිපුරම මීතේන් වායුව වායුගෝලයට මුදා හරිනු ලබන පිළිවෙලින් පළමුවන දෙවන සහ සිව්වන රටවල් වන චීනය, රුසියාව සහ ඉන්දියාව මෙතෙක් මීතේන් අඩුකිරීමේ ගිවිසුමට එකඟතාව පළකර නොතිබීම කනස්සල්ලට හේතුවකි. මිනිසා හා සම්බන්ධ ක්‍රියාකාරකම් මගින් වායු ගෝලයට මීතේන් වායුවෙන් 35 % පමණ මුදා හරිනුයේ මෙම රටවල් වීමද බලාපොරොත්තු ප්‍රතිඵල සඳහා බාධකයකි. තවද, පිළිවෙලින් ලෝකයේ තුන්වන සහ පස්වන මීතේන් මුදාහරින්නන් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ  යුරෝපා සංගමය, මීතේන් ශුන්‍ය භාවය සඳහා එම  රටවල අභිප්‍රාය ප්‍රකාශ කළ පසු, බ්‍රසීලය, ඉන්දුනීසියාව සහ නයිජීරියාවද  තම රටවල කැමැත්ත ප්‍රකාශ කළ නිසා  සමස්ත අඩුකර ගැනීමේ ප්‍රතිඥාව  40% පමණ වී තිබිමද  සැලකියයුතු ප්‍රගතියකි. කෙසේ  වෙතත් නුදුරු අනාගතයේදීම චීනය, රුසියාව සහ ඉන්දියාව සම්මුතිය සඳහා එකඟතාව පළ කරනු ඇතැයි  ඇමෙරිකාවේ  පරිසර සංරක්ෂණ අධිකාරිය (Environment Protection Authority) බලාපොරොත්තු ඇතිකරගෙන තිබේ. 


ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ ඒවා ප්‍රවාහනයේදීද, මීතේන් වායුව සුළු වශයෙන් මුක්තවේ. මෙයට අමතරව කෘෂිකාර්මික කටයුතු වලදී පොලොව සීසෑම, ගොවිපළ ආශ්‍රිත සත්ත්ව පාලනය, ඉඩම් සංවර්ධන කටයුතු වැනි මිනිස් ක්‍රියාකාරම්  වලදී සහ කෙලින්ම වගුරු බිම් වලින් සහ ඓන්ද්‍රීය ද්‍රව්‍ය දිරාපත්වීම වැනි ස්වාභාවික සංසිද්ධි  මගින්ද   මීතේන් වායුව බහුලව වායුගෝලයට මුදාහැරේ. විශේෂයෙන්ම ගවයින්, බැටළුවන්  වැනි ශාක භක්ෂකයින්ගේ ආහාර දිරවීමේදී පිටවන වායුවලින්ද  44% පමණ මීතේන් වන බව නිරීක්ෂණය කර තිබේ.  


නයිට්‍රස් ඔක්සයිඩ් N2O වායුවද මිනිස් ක්‍රියාකාරකම් නිසා වායු ගෝලයට මුදාහැරෙන හරිතාගාර වායුවකි. ෆොසිල ඉන්ධන නිෂ්පාදන කටයුතුවලදීත්, බොහෝ කර්මාන්ත වල අතුරු ඵල ලෙසද,  විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු වලදී නයිට්‍රජනිය පොහොර භාවිතයේදී, පාශු  බැක්ටීරියා මගින් ඒවායේ ඇති නයිට්‍රජනිය සංයෝග   වියෝජනය වන විටද,  N2O වායුව මුක්ත වේ. එමෙන්ම මළාපවහන පද්ධති වල අපද්‍රව්‍ය පවිත්‍රකරණයේදී බහුලවද,  මිනිසාගේ භාවිතය සඳහා පානීය ජල නිෂ්පාදන  ක්‍රියාවලියේදී ස්වල්ප  වශයෙන්ද, N2O වායුව වාතයට එකතු වේ.

  

ෆොසිල ඉන්ධන දහනය සීමා කළ විට, CH4 මෙන්ම  N2O ද  වාතයට මුදා හැරිම සැලකිය යුතු ප්‍රමාණයකින්  නතර වනු ඇත. එහෙත් ලොව පුරා ආහාර නිෂ්පාදනය සඳහා,  කෘෂිකාර්මික කටයුතු සහ සත්ත්ව පාලනය නොකඩවා කළයුතු නිසාත්, පානීය ජලය නොකඩවා පිරිසිදු   කළ යුතු නිසාත්  මෙම හරිතාගාර වායු මුක්ත වීම මුළුමනින්ම නතර කිරීම කිසිසේත් කළ නොහැකිය. මේ නිසා එම ක්‍රියාවලි වලදී හරිතාගාර වායු උත්පාදනය වීම අවම කිරීම සඳහා නව ක්‍රමවේද  සොයා ගැනීම සඳහා සිත් යොමු කර ගෙන තිබීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ  හැකිය. 


සත්ත්ව ගොවිපළ වල ඇතිකරනු ලබන ගව, එළු, බැටළු ආදී සතුන් විසින් වාතයට මුසු කරනු ලබන මීතේන් වායුව අවම කර ගැනීම සඳහා එම සතුන්ගේ ආහාරයේ සංයුතිය වෙනස් කිරිමෙන්  කළහැකි බව මෑතදී  කරන ලද  පර්යේෂණ වලින් ඔප්පු වී තිබේ. මෙම සතුන්ගේ ආහාරයේ  තණකොළ, පිදුරු වැනි ද්‍රව්‍ය වලට 3%  ප්‍රතිශතයක්, මුහුදු ඇල්ගී එකතු කිරීමෙන් මීතේන් හටගැනීම 80% පමණ අඩුකර ගත හැකි බව සොයාගෙන තිබේ. ලෝකයේ ඇතිකරනු ලබන ගවයින් බිලියනයක් පමණ සිටින නිසා, මෙය මීතේන් ප්‍රමාණය අඩුකර ගැනීමේ සාධනීය පියවරක් ලෙස ප්‍රචලිත වෙමින්  පවතී.


කසල ගොඩ ගසන ස්ථානවල සහ ඉඩම් ගොඩ කරනු ලබන ස්ථානවල  එකතුවන කාබනික අපද්‍රව්‍ය නිර්වායු (anaerobic) ස්වසනයට භාජන වීමේදී මීතේන් වායුව බහුලව හටගනී. කසල  ටොන් එකකින් මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායුව, කාබන් සමක ටොන් එකක් (1CO2-eq)   පමණ නිපදවෙන බව ගණනය කර තිබේ. මෙය මැඩ  පැවැත්වීම සඳහා එම කසල අපද්‍රව්‍ය, සවායු (aerobic) ස්වසනයට ලක්කර කොම්පෝස්ට් බවට පත්කිරීමෙන් මීතේන් මුක්තවීම අඩුකරගත හැකි බව  සොයාගෙන තිබේ.   

නයිට්‍රස් ඔක්සයිඩ්  අති ප්‍රබල හරිතාගාර වායුවක් ලෙස හඳුනාගෙන තිබේ.  මෙම වායුව  වායු ගෝලයට එකතු වනුයේ, කෘෂිකාර්මික කටයුතු වලදී සහ    නයිට්‍රජනීය රසායනික පොහොර භාවිතයේදී  බව අවිවාදයෙන් පිළිගෙන තිබේ. වායු ගෝලීය නයිට්‍රජන් වායුව පාදක කර ගනිමින්, රනිල කුලයේ වැනි ශාක වල මූල ගැටිති වල සිටින බැක්ටීරියා මගින් නිපදවන නයිට්‍රජනිය පෝෂක වලින් මේ ආකාරයට සිදුවන පරිසර හානිය අවම වේ. කෙසේ වෙතත් රසායනික පොහොර නොමැතිව කෘෂිකාර්මික ඵලදායිතාවය වැඩිකර ගත නොහැකිය.  මේ නිසා නයිට්‍රස් ඔක්සයිඩ් මුක්ත වීම අවම මට්ටමක රසායනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වීමට පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික කටයුතු වල නව පෙරළියක් ඇති කරමින්, අවම පරිසර හානියක් සිදුවන නව ආරයේ කෘෂි රසායන පොහොර නිෂ්පාදනය පිණිස නැනෝ තාක්ෂණ  මෙවලම් භාවිතය පිළිබඳව විවිධ ක්‍රමවේදද එළි දකිමින් තිබේ



.