Sunday, 21 April 2019

වසර හැටපහකට පමණ ඉහතදී ගණිත පන්තියේදී අත්විඳින ලද රසමුසු තැන් කිහිපයක් හදිසියේ මතක් විය. ....


  මාගේ පොත් අල්මාරියේ යටම තට්ටුවේ අසුරා තිබුණු, වසර ගණනාවක් තිස්සේ පෙරළා බැලීමටවත් නොහැකිවූ, පරණ පොත් කිහිපයක, දූවිලි පිස දමද්දී වසර හැටකට පමණ ඉහත අතීතය නැවත මතක් කළ පොතක් හමුවිය.  ඒ පොත හා බැඳුණු රසමුසු සිද්ධි මාලාව මෙසේ සටහන් කරමි.

එසේ හමුවූ පැරණි පොත වීජ ගණිතය (ජ්‍යාමිතිය) පොතකි. ‘A new Geometry for Junior Forms – Bernard and Child.’ නම් එම ගණිත පොත, එංගලන්තයේ මැක්මිලන් ප්‍රකාශණයකි. 

ඒ කාලයේ අටවන පන්තියේ සිටි අප සියලුම විෂයයන් ඉගෙන ගත්තේ  ඉංග්‍රීසි මාධ්‍යයයෙනි. සිංහලද  අනිවාර්ය විෂයයක් විය. අපට ගණිතය ඉගැන්වූයේ ඩොනල්ඩ් ගුණසේකර නම් කඩවසම් ගුරු මහත්මයෙකි. ඔහු සිංහලෙන් කථා කළේ ඉතාමත් කලාතුරකිනි. ඒවා ‘කැඩිච්ච සිංහල’ විය. චතුර ලෙස ඉංග්‍රීසි කථාකළ ඔහුගේ ඇඳුම, සුදු කලිසම, සුදු කමිසය සහ සුදු කබායක්ද විය. ඔහු ඇඳුම් කට්ටලයට විවිධ ‘ටයි’ පටිද පලඳීන්නෙකි. අපේ ගුරුතුමාට තිබෙන ටයි පටි සංඛ්‍යාව ගණන් කිරීමට අපි කිහිප වරක්ම පටන් ගත්තත්, ඒවායේ ඇති විවිධ රටා  මතක තබාගැනීමට අපහසු විය.  පන්තියේ සිටි  චිත්‍ර ඇඳීමට දක්‍ෂ එක් සගයෙක්, ඒ ඒ දිනවල ගුරුතුමා පළඳින ටයි පටිවල රටා පොතක අඳින්නට පටන් ගත්තේය. කෙසේ හෝ ඔහුට ටයි පටි වල තිබුණු රටා විස්සක්  පමණ  සටහන් කර ගැනීමට හැකිවිය.

ගණිතය විෂයය සඳහා වීජ ගණිතය සහ ජ්‍යාමිතිය යන කොටස් දෙකක් තිබුණත්, ගුරුතුමා වැඩි කැමැත්තක් දැක්වුයේ ජ්‍යාමිතියටය. අපගේ ජ්‍යාමිතිය පන්ති පොතෙහි, අභ්‍යාස  අනු පිළිවෙල වුයේ, එක්තරා ප්‍රමේයයක් (theorem) විස්තර කර එයට අදාල ගැටළු රාශියක් ඉදිරිපත් කිරීමයි.
ගුරුතුමා නිරතුරුවම,  අභ්‍යාස දීම සඳහා, පන්තියේ ඉදිරි පෙළෙහි වාඩිවී සිටි මාගේ ජ්‍යාමිතිය පොත ඉල්ලා ගැනීමට පුරුදුවී සිටියේය.

සෑම ගණිත පාඩමකදීම, ප්‍රමේයය සහ ගණිතමය සංකල්ප අපට ඉතා හොඳින් විස්තර කරදෙන ගුණසේකර සර්, අපට තෝරාදෙන ප්‍රමේයයට අදාළ ගැටළු පහක්වත් විසඳීම අනිවාර්ය විය. අපද තරඟයට මෙන් එම ගැටළු විසඳුවෙමු. අප ගැටළු විසඳන තුරු පන්තිය වටේ යන ඔහු වරින් වර විහිලුවක්ද කරයි. සමහර විහිලු අපට නොතේරුණත්, අපි ඒවාට සිනහ වීමට පුරුදුව සිටියෙමු.

එක් දිනක ඔහු අපට දුන් ගැටලුවක් සඳහා පන්තියේ කිසිවෙකුට  විසඳුමක් ලබා ගත නොහැකි විය. ගුණසේකර සර්ද  ගැටලුව කලුලෑල්ළේ, විවිධ නිර්මාණ (constructions) කිහිපයක්ද යොදා, විසඳීමට  උත්සාහ කළත් විසඳුමක් නොලැබුණි. ඔහු මෙවේලේ  සිංහලෙන් කතා කළේය

‘ළමා...යි,....මේකට ‘සොලුයුෂන්’ නැහැ. පොතේ ‘එඩිටර්ට’ වැරදීමක් වෙලා ...... වගෙයි. මේක Bernard ගේ   එකක් නොවෙයි, එයාගේ  Child ගෙ එකක් වෙන්නට ඇති.... !’

කියා මහා හඬින් සිනාසෙන්නට විය.

අප කිහිප දෙනෙකුට විහිලුව නොතේරුණි. ඒ බව තේරුම් ගත් ගුරුතුමා, මේසය මත තිබුණු මගේ මෙම පොතම ඔසවා පන්තියට පෙන්වා,

‘පේනවා නේද මේ පොත ලියලා තියෙන්නේ ‘Bernard and Child’, ඒ කියන්නේ Bernard සහ එයාගේ ‘පුතා’! , ඒකයි මේ දෝෂය. පුතා ගණිතයට දුර්වලයි. ඒ ප්‍රශ්නය  අත හැර දාන්න.’  

කියා නැවතත් මහ හඬින් සිනාසෙන්නට පටන් ගත්තේය.

ඊට පසු, අපි අපගේ ජ්‍යාමිතිය පොත විහිලුවටත් සමග  ‘Bernard and  Child’ නොව  ‘Bernard and  his Child’ ලෙස නම් කළෙමු.

ගුණසේකර සර්ගේ තවත් විශේෂත්වයක් මෙහිදී සිහියට නැගේ.

ජ්‍යාමිතියෙදී, යම්කිසි ගැටළුවක් විසඳූ  විගසම එයට යටින් ‘Q.E.D’ යන්න ලිවිය යුතුමය, යන්න ඔහු නිතර අවධාරණය කරන දෙයකි.  මෙය "Quod Erat Demonstrandum" යන ලතින් වාක්‍ය ඛණ්ඩයේ කෙටි යෙදීමයි. එහි තේරුම වනුයේ ‘අසා ඇති දේ ඔප්පු කර තිබේ.’ යන්නයි.

මේ ආකාරයටම   ජ්‍යාමිතියෙදී, යම්කිසි නිර්මාණයක් කල විට ‘Q.E.F’ යන කෙටි යෙදුමද අත්‍යාවශ්‍ය බව ඔහු තරයේම කියා සිටී. මෙයින් හැඟවෙන්නේ Quod Erat Faciendum යන ලතින් වාක්‍ය ඛණ්ඩයේ කෙටි යෙදීමයි. එහි තේරුම වනුයේ ‘අසා ඇති දේ සඳහා නිර්මාණයක් කර තිබේ.’ යන්නයි.

ගුණසේකර ගුරුතුමා ‘Q.E.D’ සහ ‘Q.E.F’ ලතින් වාක්‍ය ඛණ්ඩ දෙක පන්තියේදී, කිහිපවිටක්ම උච්චාරණය කර අපට සිහිපත් කිරීමට උත්සාහයක් ගත්තේය.

කුඩා කළ, අප ගණිත පාඩම් වලදී පුරුදු පුහුණු කරනලද මෙම වාක්‍ය ඛණ්ඩ  ග්‍රීක් භාෂාවේ සිට ලතින් භාෂාවට කරනලද පරිවර්තනයන්ය. Euclid  සහ Archemedes  වැනි පැරණි ගණිතඥන් විසින්ද මෙම වාක්‍ය ඛණ්ඩ  එලෙසම භාවිත කර ඇති බව වාර්තා වේ. අපගේ ගුරු තුමාද එම පැරණි  සම්ප්‍රදාය එලෙසම රැකීම අපි අගය කළෙමු. මෙම යෙදුම් වලට සමාන අර්ථය ඇති කෙටි යෙදුම්, වෙනත් විවිධ භාෂාවලින්ද යොදාගන්නා බව පසුව දැනගන්නට ලැබිණ. සිංහලෙන් නම්  එබඳු යෙදීම් නොමැතියයි සිතමි.

‘A new Geometry for Junior Forms – Bernard and Child.’ පොත මුලින්ම මුද්‍රණය කර තිබෙන්නේ 1905 වසරේදීය. මගේ පොත 1950 වර්ෂයේ  18  වන මුද්‍රණයයි. 

S Barnard (MA) සහ J M Child (MA)  මහා බ්‍රිතාන්‍යයයේ සිටි ගණිත ඉතිහාසඥයින් දෙදෙනෙකි. මෙම කතුවරු දෙදෙනාගේ ‘A new Geometry for Junior Forms’ ජ්‍යාමිතිය පොත, මූලික ගණිත සංකල්ප ඉගැන්වීමට අදාළ සම්භාව්‍ය ග්‍රන්ථයක් ලෙස අදද පිළිගැනේ.

වසර හැටපහකට පමණ පෙර අපට ගණිතය ඉගැන්වූ දක්‍ෂ ගුරුවරයෙකු විසින් ගතානුගතික පෙළඹවීම නිසා හෝ, එකළ අනිවාර්යෙන්ම අවශ්‍යයමැයි සිතන ලද ‘Q.E.D’ සහ ‘Q.E.F’ ගැන,  අපට  අදටත් වැඩිදුර සිතීමට දෙයක්, ඉතිරි කර තිබීම කෙතරම් අගනේද?
   

Monday, 15 April 2019

අප්‍රියෙල් මස 22දා ට යෙදෙන මිහිකත දිනයේදී පරිසරය ගැන සිතා බලමු.


  අප්‍රියෙල් මස  විසි දෙවන දින  ජගත් මිහිකත දිනයයි. ලෝක ප්‍රජාවේ නියෝජිතන්ගේ සමුළුවකදී  ‘මිහිකත දින සම්මුතිය’ ප්‍රකාශ කිරීමෙන්  පසු, මෙවර එළඹෙනුයේ හතලිස් නවවන මිහිකත දිනයයි. පසුගිය දශක පහක් තිස්සේ  මිහිකත රැක ගැනීම වෙනුවෙන් ජගත් ප්‍රජාව දක්වන ලද සහයෝගය ඉමහත්ය. ඔව්හු මේ කාලය තුලදී  'පරිසර සෝදාපාළුව' මැඩ පැවැත්වීම උදෙසා විශාල ප්‍රයත්නයක් දරන ලදී. ලෝකයේ විවිධ රටවල මිනිස් ජාතීන් දෙසියයක් පමණ එකාවන්ව එකතුවී, පරිසරය සුරැකීම සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් දියත් කර තිබේ. එසේ වුවත්, මේ වන තුරු පරිසරය රැක ගැනීමේ සටන සම්පූර්ණයෙන් ජය ගැනීමට නොහැකි වී ඇත.
මෙවර ජගත් පරිසර දින තේමාව ‘අපගේ ජෛව විශේෂ සුරකිමු’යන ආදර්ශ පාඨයයි.

සොබා දහම විසින් මිහිකත වෙත ලබා දී  ඇති  මහඟු දායාදය වනුයේ, මිලියන ගණනක් වන ගස් වැල්, සතා සීපාවා ඇතුළු ජෛව විශේෂ සමුහයයි. වරක් ජෛව විශේෂ වල ප්‍රබලම සාමාජිකයින්ව සිටි, ඩයිනොසෝරයන්, වසර මිලියන හැටකට පමණ ඉහතදී සදහටම මෙලොවින් තුරන්වී ගොස් තිබේ. අවාසනාවකට මෙන්, එවැනිම මහා ජීවී වඳවී යාමක් දැනට මේ යුගයේදීද  සිදුවෙමින් පවතී.
මෙම මහා ව්‍යසනයට හේතු වී තිබෙන්නේ වනාන්තර  විනාශය, ජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය, තිරසාර නොවන කෘෂිකර්මය, දේශගුණ විපර්යාස, නීති විරෝධී දඩයම් කිරීම හෝ වන සතුන් ඇල්ලීම, පරිසර දුෂණය  සහ පළිබෝධ නාශක භාවිතය වැනි විෂම ක්‍රියාකාරකම් වේ.
මෙම වසරේ මිහිකත දින තේමා පාඨය  වශයෙන් ‘අපගේ ජෛව විශේෂ සුරකිමු’  (Protect our species) යන්න තෝරාගෙන තිබෙන්නේ ජීවීන් වඳවී යාමේ තර්ජනය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ සහිතවය. මේ සම්බන්ධයෙන්  ‘Earth Day Network’ නම් ජගත් සංවිධානය විසින් හෙළිකර තිබෙන දත්ත අනුව මහා ව්‍යසනයක් අත ළඟම තිබෙන බව පෙනේ. මෙම ව්‍යසනයට මූලික විය හැකියයි හඳුනාගත් සිද්ධි කිහිපයක් පිළිබඳව මඳක් සිත් යොමු කර බලමු.
                              I.        වාර්තාගත වී ඇති අයුරු,  අතීතයේදී  සාමාන්‍යයෙන් වසරකට ජීවී විශේෂ පහකට අඩු සංඛ්‍යාවක්  වඳ වී යාම ස්වභාවික සංසිද්ධියක් ලෙස සලකා තිබේ. එහෙත්, විද්‍යාඥයින් විසින් ගණනය කර තිබෙන ආකාරයට, දැනට   එමෙන් දහස් ගුණයක් හෝ ජීවීන් දස දහස් ගණනක්  වාර්ෂිකව වඳවී යනු වාර්තා වෙමින් පවතී.
                           II.        මෑතදී කරනලද අධ්‍යයනයකට අනුව, පසුගිය වසර 28 ඇතුලතදී, ජර්මනියේ කෘමි විශේෂ  75% කින් පමණ අඩුවී ඇත. සාමාන්‍යයෙන් වනාන්තර වල ඇති ශාක වලින් 80% පමණ පුෂ්ප පරාගණය කරනු ලබන්නේ කෘමීන් විසිනි. එසේම පක්ෂීන්ගෙන් 60 % පමණ යැපෙනුයේද  කෘමීන් ආහාරයට ගැනීමෙනි.
                          III.        ලෝකයේ සිටින වන සතුන්ගෙන් අඩක් පමණ, වාසස්ථාන විනාශය, දඩයම් කිරීම සහ දේශගුණික විපර්යාස නිසා වඳවෙමින් පවතී.
                         IV.        පරිණාමයේදී මිනිසාට ඉතාමත් කිට්ටු සම්බන්ධතාවක් ඇති, ලෝකයේ සිටින ප්‍රයිමේටයින් (වානර) විශේෂ 504 න්  60% පමණ උග්‍ර වඳවී යාමේ තර්ජන වලට මුහුණ පා සිටින අතරම ඔවුන්ගේ ගහණයන්ද ශීඝ්‍රයෙන් තුනී වෙමින් පවතී.
                          V.        ධීවර ආම්පන්න වල ගැටීමෙන් හෝ දැල්වල පටලැවීම නිසා වසරකට සමුද්‍ර ක්ෂීරපායින් 650,000  පමණ විනාශ වෙති
                         VI.        ලෝකයේ සිටින පක්ෂී විශේෂ වලින් 40% ක පමණ වඳවී යාමේ ලක්ෂණ පහළවී තිබේ.
              VII.       බිළාල කුලයට අයත් කොටි, ව්‍යාඝ්‍රයින්  වැනි සත්ව විශේෂ වල   සාමාජිකයින්ගෙන් සෑහෙන ප්‍රතිශතයක් ඉදිරි දශකය තුළදී, දගයම් කිරීම නිසාම,  මිහි මතින් තුරන් වනු ඇත. මෙම සතුන් දඩයම් කරනුයේ බොහෝවිට ඔවුන්ගේ ශරීර කොටස් සහ සම සඳහා ඉහල මිලක් සහිත හොඳ වෙළඳපලක් තිබෙන නිසා 
                     VIII.        උරගයෝ දේශගුණ විපර්යාස වලට බෙහෙවින් සංවේදී සත්ත්වයෝ වෙති. අද පවතින  දේශගුණ විපර්යාස, පාලනය නොකළහොත් ඉදිරි දශක තුන හතර තුලදී, ලොව සිටින උරගයින්ගෙන් 40% පමණ වඳ වියහැකි බව ගණන් බලා  තිබේ. 
                         IX.        නුතන සංවර්ධන විප්ලවයට පෙර, මෙක්සිකෝවේ සිට ඇලස්කාව දක්වා නිදැල්ලේ හැසිරුණු මිලියන ගණනක්වූ ඇමෙරිකන් බයිසන් ගවයින්ගේ වාසස්ථාන, මේ වනවිට, තිබුණු ප්‍රමාණයෙන් 1% දක්වා අඩුවී ගොස් ඇත. දැනට සීමිත ප්‍රදේශයකට කොටුවී සිටින බයිසන් ගවයෝ, ගාල් කර සිටින රැලක ගවයින් මෙන් මහත් පීඩාවක්  විඳිති. 
                          X.        පසුගිය දශක දෙක තුලදී තල්මසුන්, මුහුදු සිංහයින්, ඩොල්ෆින් වැනි සමුද්‍ර ජීවී විශේෂ වලින්  65% පමණ අකල්  මරණයට ගොදුරුවී තිබේ.    
මේ සියල්ල අනාගතයට බෙහෙවින් බලපාන, අති දැවැන්ත ව්‍යසන බව බැලූ බැල්මටම පෙනේ. මේවාට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සාමුහිකත්වය යටතේ පියවර ගත යුතුය. මේ සඳහා ජාත්‍යන්තරය දැනටමත් පියවර ගනිමින් සිටීම භාග්‍යයකි. එසේ වුවත් මිහිකත සුරැකීමේ මහත් අභියෝගය සඳහා ඉතාමත් සුළුවෙන් හෝ දායකත්වය ලබාදීම,  අප සෑම කෙනෙකුගේම යුතුකමකි.
බොහෝවිට අප නොදැනුවත්වම වාගේ අපගේ සමහර ක්‍රියාකාරකම් නිසා, පරිසරයට හානි සිදුවන අවස්ථා තිබේ. සෑම කෙනෙකුටම  එවැනි දේ ගැන දැනුවත් වීමක් තිබේනම්, පරිසරයට අහිතකරයයි පිළිගත්  ක්‍රියාවලින් වැළකී සිටිය හැකිය. මේ සඳහා දැනුවත් වීම පිණිස, මිනිසාගේ බලපෑම නිසා පරිසරයට පීඩාකාරී වන පහත දැක්වෙන තොරතුරු ගැන විමසිලිමත් වෙමු. මෙහි දැක්වෙන බොහෝ ක්‍රියාවලියන් ජීවීන් වඳවී යාම සඳහා තුඩු දෙන බව පරිසර විද්‍යාඥයින් විසින් තහවුරු කර තිබේ.
1.   මිනිසා විසින් ජීවී විශේෂ ‘සූරා කෑම’ (exploitation) –
ඕනෑම දෙයක්, ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීම හෝ ප්‍රයෝජනයට ගැනීම 'සූරා කෑම' ලෙස හැඳින්විය හැකිය. ගහකොළ, සතුන්, වනාන්තර, වැනි ඕනෑම ප්‍රභවයකට තම ඵලදායිතා ධාරිතාව තුලින්, බාහිර අවශ්‍යතාවයන් සඳහා සැපයිය හැකි උපරිම සීමාවක් තිබේ. අද මෙම ප්‍රභවයන්ගේ ස්වාභාවික සීමාව ඉක්මවා  ඵල ප්‍රයෝජන ගැනීමට මිනිසා පෙළඹී සිටින බව දකින්නට ලැබේ.  මිනිසාගේ ආහාර හෝ පරිහරණ කටයුතු, අතුරු නිෂ්පාදන සකස්කිරීම සහ විනෝද කටයුතු සඳහා  විවිධ ජීවීන් සූරා කෑමට භාජන කිරීම  මහත් පරිසර හානියක් බවට පත්වී තිබේ.  
2.   සත්ත්ව හෝ ශාක වාසස්ථාන අහිමි වීම (habitat loss) –
මිනිසා විසින්  බොහෝ ජීවී වාසස්ථාන බලෙන්ම විනාශ කරනු ලබයි.  
i.             පරිසර විනාශය  (destruction)
බුල්ඩෝසරයක් භාවිත කර බිම් කොටසක ගස් වැල් උදුරා දමමින්, පස  සමතලා කිරීම අද බෙහෙවින් දකින්නට ලැබේ. එසේම  වගුරු බිම් සහ පහත් බිම් ගොඩ කිරීම, ගංගා ඇළ දොළ වල ඉවුරු හෑරීම (මැණික් ගැරීමෙදී) වනාන්තර විනාශ කිරීම වැනි පීඩාකාරී කටයුතුද  සිදු වේ.
ii.            ජීවී වාසස්ථාන කැබලි කිරීම  (fragmentation) –
නුතන සංවර්ධන කටයුතු සහ අලුතින් මහාමාර්ග සකස් කිරීම නිසා බොහෝ භෞමික වනජීවී වාසස්ථාන  කැබලි වලට වෙන් වෙමින් පවතී. එසේම, විවිධ අවශ්‍යතාවන් සඳහා ගංගා හරහා වේලි බැඳීම සහ නව වාරි මාර්ග සකස් කිරීම නිසා ජලජ ජීවී පද්ධති කැබලි වී ගොස් තිබේ. ‘සංවර්ධනය’ යන නමින් හැඳින්වෙන  මෙම ක්‍රියාවන් නිසා කැබලි බවට පත්වන ජීවී වාසස්ථාන බෙහෙවින් කුඩාය. මේවායේ එකිනෙකට සම්බන්ධය බිඳී ගොස් තිබෙන නිසා, සතුන්ට තම ආහාර හෝ සහකරුවන් සොයාගැනීම සඳහා විශාල සැරුම් ප්‍රදේශයක් (territory) තුළ ගමන් කිරීමට අවශ්‍ය වීම නිසා, මහත් අසාධාරණයක් සිදුවේ. මේ හේතුකොට ගෙන වාර්ෂිකව පර්යටනය වන සතුන්ට, අතරමග ආහාර සොයාගන්නා සහ ලැගුම් ගන්නා  ස්ථාන අහිමි වීම නිසා අතරමං වන අවස්ථාද බොහෝය.
iii.           පරිසර හායනය නොහොත් ගුණාත්මක භාවය අඩුවීම - (degradation)          
යම්කිසි පරිසරයකට ආගන්තුක සතුන් හෝ ශාක එකතු කිරීම, වායු  සහ රසායනද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දුෂණය වැනි කරුණු නිසා හෝ ලැව් ගිනි හෝ ගිනි තැබීම් නිසා සිදුවන ක්‍ෂණික හානිය හේතුවෙන්   යම්කිසි පරිසරයක ගුණාත්මක භාවය  හීනවී යාම නිසා ජීවීන්ගේ පැවැත්මට  මහත් තර්ජන ඇති වේ. 
3.   කාලගුණ විපර්යාස (climate change)
·        කාලගුණ විෂමතා නිසා වටපිටාවේ උෂ්ණත්වය වැඩි  වන විට, අදාල ප්‍රදේශයේ  දේශගුණික  රටා  විකෘති වන්නට පටන්ගනී. මෙම වෙනස්වීම් ශාක වලට සහ සතුන්ට එකලෙස බලපායි. උෂ්ණත්වය වැඩිවීම මගින්, ජෛව විවිධත්වය ලෙස හැඳින්වෙන ජීවීන්ගේ සංකීර්ණ පැතිරීමේ රටා  සහ පැවැත්ම, කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනු ලබන නිසා, සංඛ්‍යාත්මකව ඔවුන්ගේ ශීඝ්‍ර   අඩුවීමක් සිදුවන බව පෙනේ.
·       වනාන්තර විනාශය මගින් සිදුවන හානිය මෙන්ම, බල ශක්තිය ලබාගැනීම පිණිස ඛනිජ තෙල් සහ ගල් අඟුරු වැනි පාශාණිභුත ඉන්ධන දැවීම නිසා, කාබන්ඩයොක්සයිඩ් වායුව අධිකතර ලෙස වායු ගෝලයට එකතුවීමද අහිතකර වේ.  එසේම ගොවිපල වල, පශු සම්පත් සඳහා ඇතිකරන සතුන්ගෙන්, ආහාර දිරවීමෙදී, ඔවුන්ගේ ගුද මාර්ගය හරහා, මීතේන් වැනි අහිතකර වායුද  මුක්ත වේ. මෙම වායු හරිතාගාර වායු ලෙස හැඳින්වේ. මිනිසාගේ බලපෑම නිසා  වායු ගෝලයට එකතුවන හරිතාගාර වායු වලින් සියයට දහඅටක් පමණ සතුන් ඇතිකිරීම සහිත කෘෂිකාර්මික කටයුතු නිසා සිදුවන බව හෙළිවී තිබේ.
·        ගොවිපල සතුන්ගේ අපද්‍රව්‍ය වලින් සහ ඔවුන්ගේ ආහාර ජීර්ණයේ දී ද    මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි  හරිතාගාර වායු මෝචනය වේ. මිනිසා ගේ ජීවන තත්ත්වය යහපත් වීමත් සමග ඔහු වැඩි වැඩියෙන් මස් වර්ග සහ කිරි වැනි වෙනත් සත්ත්ව නිෂ්පාදන බහුලව පරිභෝජනය කරයි. ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් රාශියේම ජනතාව පරිභෝජනයට ගන්නා මස් සහ කිරි ප්‍රමාණයට වඩා බෙහෙවින්  වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වී ඇති රටවල් කිහිපයේ ජනතාව පරිභෝජනය කරන බව හෙළිවී තිබේ. මේ නිසා පසුගිය දශක තුන ඇතුලතදී ලෝකයේ මස් නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩිවී ඇත. මෙම දත්ත සහ පරිසර දුෂණය සසඳා බැලූ පරිසර  විද්‍යාඥයින් විසින්  පරිසර සංරක්ෂණය සඳහා පශු සම්පත් පරිභෝජනයේද යම්කිසි ප්‍රතිශතයක් කපා හැරීමටද සිදුවන බවටද අනතුරු හැඟවීමක් කර තිබේ.            

4.   කෘමි නාශක සහ පලිබෝධ නාශක භාවිතය  (The use of insecticides and pesticides)
මිනිසා සහ අනිකුත් සියලුම ජීවීන් ආහාර නිසා ජීවත් වෙති. ජීවත්වීම සඳහා  අවශ්‍ය ශක්තිය ආහාරවලින් ලැබේ. ආහාර නිෂ්පාදනයට මූලික වනුයේ හරිත ශාකයි. ශාක පත්‍ර වල ඇති හරිතප්‍රද වලට සුර්යාලෝකයෙන් ලැබෙන ශක්තිය ලබා ගෙන කාබෝහයිඩ්රේට නිපදවිය හැකිය. මේ නිසා සියලුම ජීවීන් තම ආහාර සඳහා කෙලින්ම හෝ අණියමින් හරිත ශාක මත යැපේ.  මේ ස්වාභාවික ක්‍රියාවලිය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වෙමින් පරිසර සමතුලිතතාවයකින් යුක්තව පැවතියේය.
මානව ශිෂ්ටාචාරයත් සමග, දඩයම් යුගය සහ කෘෂිකාර්මික යුගය පසුකර මිනිසා දැනට කාර්මික සහ තාක්ෂණික යුගයට අවතීර්ණවී සිටී. පසුගිය ශතවර්ෂ කිහිපය තුළදී සිදුවී ඇති කාර්මික විප්ලවය නිසා මිනිසා තම ආහාර ලබාගැනීම, නිවාස සෑදීම, ප්‍රවාහනය, සන්නිවේදනය ආදී සෑම ක්‍රියාවලියක් සඳහාම විවිධ ‘නවීන යයි කිවහැකි’ උපක්‍රම ආදේශ කර ගනිමින් දැනට ඒ සියල්ලේම පාහේ, උච්චම ස්ථානයකට පැමිණ සිටී. මෙම ගමන් මගෙහිදී, ඔහු විසින් සොබා දහම විසින් සපයා තිබුණු බොහෝ ආශ්චර්යමත් සංසිද්ධි නොසලකා හැර තිබේ. ඔහු වැඩි වැඩියෙන් ආහාර නිපදවා ගැනීම සඳහා වනාන්තර හෙළි පෙහෙළි කර ධාන්‍ය සහ වෙනත් භෝග වැවීමත්, කිරි සහ මස් වැනි ආහාර සඳහා සතුන් ඇතිකිරීමටත් පටන් ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වනාන්තර අඩුවී තණබිම් ඇතිවිය. වගාවන් වල  පළිබෝධ සහ කෘමි  උවදුරු බැහැර කිරීමට පළිබෝධ  නාශක හෝ  කෘමි නාශක සහ  පස සරු කර ගැනීම සඳහා කෘතීම රසායනික පොහොර භාවිතයත්  ආරම්භ කළේය.
දශක හත අටක් තිස්සේ සිදුවූ, වනාන්තර විනාශය,  වෙනත් සම්පත් සූරාකෑම, කෘතීම රසායනික පොහොර භාවිතය වැනි විපර්යාසයන්ගේ අනිසි ප්‍රතිඵල දැන් දැන් අපට දකින්නට ලැබේ. මිහිකත උණුසුම්වීම, කාලගුණ විපර්යාස, සාගර ජල මට්ටම ඉහළ යාම, කලින් නොතිබුණු අන්දමේ විවිධ ලෙඩ රෝග පැතිරීයාම වැනි උවදුරු වලට පාදක වී ඇත්තේ, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසා බව, ඔහුට දැන් අවබෝධවී තිබේ. 
මේ ව්‍යසනවලින් මුළු ලොවටම බලපාන එක් සංසිද්ධියක් පමණක් මෙහිලා සලකා බලමු. මෙය මෙතෙක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී නොමැති මී මැස්සන් පිලිබඳ ඛේදවාචකයකි.
අපගේ ආහාර වලින් වැඩි කොටසක් ලැබෙනුයේ ශාක වලිනි. ශාක වල ඵල හටගැනීම සඳහා ඒවායේ මල් පරාගණය සිදුවිය යුතුය. පරාගණයේ විශාල වැඩ කොටසක් සිදු කරනුයේ කෘමීන්ය. මෙහිදී මී මැස්සන් විසින් කරනු ලබන මෙහෙය සුවිශේෂීය. මී මැස්සෝ විශේෂ විසි දහසක් පමණ ලොව පුරා විසිරී සිටිති. පසුගිය වසර දහය ඇතුලතදී අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව, එම රටවල තිබුණු මීමැසි ගණාවාස වලින් 30% පමණ අතුරුදහන්වී තිබෙන බව අනාවරණය වී ඇත.  මෙම තත්ත්වය ලෝකයේ අනිකුත් රටවලද තිබිය හැකි බව සමීක්ෂණය කළ විද්‍යාඥයින්ගේ මතයයි. මෙය ජගත් ආහාර නිෂ්පාදනය සඳහා එල්ලවන බලවත් පහරකි. අධ්‍යයනය කළ සමහර ප්‍රදේශවල මී මැසි ගහණය 85% කින් පමණ අඩුවේ ඇති බවද වාර්තාවේ.
ලෝක ආහාර නිෂ්පාදනයෙන් 35 % පමණ ලැබෙනුයේ මීමැස්සන් විසින් පරාගණය කරනු ලබන, පලතුරු ශාක ඇතුළු වෙනත් භෝග වලින්ය. මේ මගින් ලැබෙන වාර්ෂික ප්‍රතිලාභය ඩොලර් බිලියන 577 ක් පමණ වන බව ගණන් බලා තිබේ. මේ අනුව, සාමාන්‍යයෙන් මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන ආහාර වලින්, තුනෙන් එකක් පමණ නිෂ්පාදනය කිරීම සඳහා සහාය වනුයේ මී මැස්සන්ය. අප බොහෝ විට මේ ගැන කල්පනා නොකළත් දැන් අපට ඒ ගැන සිතන්නට සිදුවී තිබේ.
අද බොහෝ අය මැස්සෙකු, මදුරුවෙකු හෝ කැරපොත්තෙකු දුටු පමණින්ම, කෘමි නාශකයක් ඉසීමෙන් එම සතුන් විනාශ කිරීමට පෙළඹී සිටිති. මෙම සතුන් අහිතකර වුවත්  ඔවුන් මර්දනය සඳහා, වෙනත්  පරිසර හිතකාමී ක්‍රම බෙහෙවින් තිබේ. පරිසරයට යොමු කරන ඕනෑම කෘමි නාශකයක් මී මැස්සන්ට ද අහිතකරය. සමහරවිට එක ස්ථානයක භාවිත කරන කෘමි නාශකයක් නිසා, වාතයේ රැඳී පවතින රසායන ද්‍රව්‍ය අංශු මගින්, මීමැසි ගණාවාස  කිහිපයක් විනාශ විය හැකිය. මල් පරාගණය  කරනු ලබන සමනලයින් ඇතුළු වෙනත් කෘමීන්ටද එම ඉරණමම  අත්විය හැකිය.
දැනට දශක කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල රාත්‍රී කාලයේදී, කණමැදිරියන් (fire-flies) බහුලව දකින්නට සිටියහ. එකළ කණමැදිරියන් රාත්‍රී කාලයේ චමත්කාරය වැඩි කළ කෘමීන් විය. කණමැදිරියන් ඳ වනුයේ ඔවුනට කෘමි නාශක ඉසීම නිසා නොවේ. වෙනත් කෘමීන් සඳහා යොදන ලද කෘමි නාශක නිසාය. ගම්බද ගෙවතුවල සිටි කූඩැල්ලන්ටද අත්වෙමින් පවතිණුයේ මෙම ඉරණමමය. කණමැදිරියන් සහ කූඩැල්ලන් එකිනෙකට වෙනස් සත්ත්ව කොට්ඨාශ දෙකක් වුවද ඔවුනට කෘමි නාශක එකලෙස බලපාන බව පෙනේ.
පොදුවේ කල්පනා කර බලන විට, මීමැස්සන්, සමනලයින් ඇතුළු අනිකුත් කෘමීන්ට මෙන්ම, හඬක් නැගිය නොහැකි අනිකුත් සියලුම ජීවීන්ට  මේ ඉරණම අත්වී තිබෙන්නේ මිනිසාගේ ආත්මාර්ථකාමී, අත්තනෝමතික ක්‍රියාවලියන් නිසාමය.  කලින්ද සඳහන් කළ පරිදි මෙම ඛේදවාචකයට හේතු වී තිබෙන්නේද  වන විනාශය, ජීවීන්ගේ වාසස්ථාන ආක්‍රමණය, තිරසාර නොවන කෘෂි කර්මය, දේශගුණ විපර්යාස, පරිසර දුෂණය  සහ පලිබෝධ නාශක භාවිතය වැනි විෂම ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලිය.
මේ ව්‍යසන අඩුකිරීම සඳහා අපගේ දායකත්වය ලබාදිය හැක්කේ කෙසේද?
පරිසරය උණුසුම් වීම හෝ වැඩිවන සාගර ජල මට්ටම  අඩුකිරීම වැනි දේ අපට තනි තනිව කළ නොහැකිය. එහෙත් සමස්ත ලෝක වාසීන්ම, එකාවන්ව තම යුතුකම ඉටු කළහොත් නිසැකවම ජය අත්පත් කර ගත හැකිය. ඉඩකඩ ඇති සෑම ස්ථානයක ප්‍රයෝජනවත් ගසක් සිටුවීම, පොලිතීන් හෝ ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම, ඝන අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීම වැනි සරල ක්‍රියාකාරකම් මගින් අප කාටත් පරිසරය සුරැකීමේ මහා සංග්‍රාමයට දායක විය හැකිය.
‘ඔබ පරිසරය සුරැකීමට දායක වන්නේ නම් පරිසරය ඔබ රකී.’       
(සමහර  තොරතුරු සහ ඡායාරූපය ස්තුති පූර්වකව, මිහිකත දින ලිපි ලේඛන වලිනි.)   


          

   

Friday, 29 March 2019


පරිසරය සුරැකීමේ, පහසු පියවරක් වන ‘මිහිකත හෝරාව’ සඳහා දායක වෙමු.


ද, 2019 මාර්තු මස 30 වෙනි සෙනසුරාදා, රාත්‍රී 8.30 සිට 9.30 දක්වා කාලය මෙම වර්ෂයේ මිහිකත හෝරාව යෙදෙන කාල පරාසයයි.

මිහිකත හෝරාව(Earth hour) යනු කුමක්ද

ලෝකයේ රටවල් දෙසියයක පමණ වාසය කරන සමස්ත ජනගහනයෙන් සැලකියයුතු ප්‍රතිශතයක් මගින්, එකම දිනයක තෝරාගත් පැය එකක පමණ කාලයක් තුලදී, එකාවන්ව සහභාගිවන පරිසර හිතකාමී සංකලපයකි “මිහිකත හෝරාව” (Earth hour).

පරිසරය සුරැකීමට අදාළ සම්මන්ත්‍රණ, සමුළු, සාකච්ඡා ආදියේදී විවිධ තීරණ ක්‍රියාත්මක කරනුයේ අදාළ සංවිධාන වල මෙහෙයවීම යටතේ වුවත් මිහිකත හෝරාවනම් මෙම සරල වැඩ සටහන අනුව, පරිසර හිතකාමී එම සංකල්පය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරවනුයේ, පහලම තලයේ බලශක්ති පාරිභෝගික ජනතාව  මගින් වීම සුවිශේෂි ලක්ෂණයකි.

ඉතාමත් සරල ආකාරයකට මෙම සංකල්පය විග්‍රහ කළහොත්, එයින් ගම්‍ය වනුයේ, යෝජිත  දිනයේ  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා ඇති පැයක කාලය  තුළදී, පාවිච්චි කරන විදුලි පහන් හෝ විදුලි බලය අවශ්‍ය වන උපකරණ හැකි පමණ විසන්ධි කර තබා විදුලි බලය වැයවීම අඩුකර ගැනීමයි.

මෙම අගනා සංකල්පය කෙරෙහි අද මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් පවතී.

2019 වසරේ  මිහිකත හෝරාව(Earth hour) ලෙස තෝරාගෙන ඇත්තේ  මාර්තු මස 30 වන සෙනසුරාදා  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා වන මිනිත්තු හැටක කාලයයි.


මෙම සංකල්පය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ, 2007 මාර්තු මස 31 වන සෙනසුරාදා, රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පුරා පැයක්‌, ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ සිඩ්නි නුවර, විදුලි ආලෝකය සම්පූර්ණයෙන්ම පාහේ විසන්ධි කර දැමීමෙනි.  මේ සඳහා පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ, ජගත් සොබාදහම සුරැකීමේ අරමුදල’ (World Wide Fund for Nature - WWF), නම් ලෝක ව්‍යාප්ත පරිසර සංවිධානය මගින්ය. WWF මගින් ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය අපගේ පෘථිවි ග්‍රහයා රැක ගැනීමට අදාළ  ලොව විශාලතම වැඩ සටහන ලෙස සැලකිය හැකිය.

එදින, මිලියන 2.2 ක ජනතාවක්, වෙළඳ ආයතන සහ වෙනත් විවිධ ආයතන දහස් ගණනක් හරහා  මෙම ක්‍රියාවලියට සහයෝගය දක්වමින්, මිනිත්තු 60 ක කාලය  අඳුරේ සිට, කාලගුණ විපර්යාස තම තමන්ට බලපාන ගැටළුවක් බව බලධාරීන්ට පෙන්වා දීමට සමත්වූහ.

දැනට ලෝකයේ රටවල් දෙසියයකට පමණ ව්‍යාප්ත වී ඇති මෙම සංකල්පය මගින්,  එකම දිනයකදී, එම රටවල  ප්‍රධාන නගර හත්දහසක පමණ එකවර ක්‍රියාත්මකවන  මෙම වැඩසටහන, මෙතරම් විශාල ජන සංඛ්‍යාවක් එකවර සහභාගී වනු  ලබන ලෝකයේ ඇති විශාලතම ක්‍රියාකාරකම විය හැකිය. මිහිකත සුරැකීම සඳහා මිනිස් වර්ගයා  විසින් විවිධ වත් පිළිවෙත් අනුගමනය කරන අතරම, මෙම සුවිශේෂී කාර්යයේදී  නියමිත දින රාත්‍රී 8.30 සිට මිනිත්තු හැටක කාලයක් විදුලි පහන් නිවා දමා, කරනු ලබන විදුලි බල අර පිරිමැස්ම, සාමුහික වගකීම පෙන්වීමේ සංකේතයකි.    


මිහිකත හෝරාව සමග බැඳී  තිබෙන ලාංචනයද සුවිශේෂී එකකි.  මෙය  Wi-Fi     අන්තරජාල සම්බන්ධතාව පෙන්වීමේ සලකුණයි. Wi-Fi    අන්තරජාල සම්බන්ධවීම, ඕස්ට්‍රේලියාවේම ගවේෂණ නිර්මාණයක් වන බැවින්, ඕස්ට්‍රේලියාවෙන්ම දියත් කරන ලද මිහිකත හෝරාව  සඳහාද එම  Wi-Fi     සංකේතය, #CONNECT2EARTH  පාඨයත් සමග යෙදීම සාධාරණය. මෙහි ‘CONNECT TO EARTH’ ලෙස දැක්වෙනුයේ මිහිකත සමග සම්බන්ධ වෙමු යන අර්ථයයි. මිහිකත හෝරාව සහ ඒ සම්බන්ධ අනිකුත් ක්‍රියාකාරකම් වලින් බලාපොරොත්තු වනුයේ, අපගේ පෘථිවි ග්‍රහලෝකය ආරක්ෂා කර ගැනීම සඳහා කතිකාවතක් ගොඩ නැගීමයි. මෙහිදී කෙලින්ම සම්බන්ධ වනුයේ සොබා දහම සමගයි.  Wi-Fi    සංකේතය මගින් අන්තර්ජාලයට සම්බන්ධ වන්නා සේම, Wi-Fi     සංකේතය සමග ඇති  ‘#CONNECT2EARTH’    පාඨයෙන් මිහිකත සමග සම්බන්ධ වී, ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය සහ දේශයට ආවේනික, වන ජීවීන් ගැන සිත් යොමු කිරීම බලාපොරොත්තු වේ.  


මෙය මුළු ලොවටම මහත් ආදර්ශයක් වූ අතර, එම සංකල්පය ලොව පුරා ප්‍රචලිත වූ අතර, එයින් දිරිමත්වූ මිලියන ගණනක ජනතාව, WWF මගින් දියත් කරනු ලබන දේශගුණික වීපර්යාස අවම  කිරීමේ සහ පරිසරය සුරැකීමේ ව්‍යාපෘති වලට එකහෙලාම සහයෝගය දෙනු ලබන බවට ප්‍රතිඥා දුන්හ. එසේම කාලගුණය පිලිබඳව, ලොව පිළිගත්  සම්මුති වලට අදාළ දැනුවත්වීම සහ ක්‍රියාකාරී භාවය, තවතවත් ජනතාව අතරට ගෙනයාමටද  කැමැත්ත පළ කළහ.

WWF මගින් එළි දක්වන ලදLiving Planet 2016  වාර්තාවට අනුව, මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසා, පෘථිවි ග්‍රහයා මත ති  ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති, ආපදා වලට ලක්වෙමින් පවතින අතර, මිනිසා, අනෙකුත් ජීවීන් සහ සමස්ත මිහිතලයම මහත් අවදානමකට පත්කරමින් ඇති බව හෙළිවී තිබේ. මේ නිසා මිහිකත හෝරාවසංකල්පය සහ තවත් එවැනි ක්‍රියාකාරකම් හැකිතරම් දුරට අනුගමනය කිරීමෙන්, ගෝලීයව පැතිරෙමින් පවතින  එම විෂම ප්‍රවණතාව වෙනස් කළ හැකි බව නොඅනුමානය. අපටද අද සිටම මේ සඳහා ක්‍රියාත්මක වීම මගින්, මිහිකත සුරැකීමේ මහා සංග්‍රාමයට දායක විය හැකිය.

2017 වසරේදී,   මිහිකත හෝරාවසැමරීම සඳහා රටවල් සහ රාජ්‍යයන් 187 ක්‌ සහභාගී වී ඇති අතර, එය පසුගිය දශකය තුළදී, මුළු මහත් ජගත් මිනිස් ප්‍රජාවම ඉතා කැමැත්තෙන් පිළිගත් අගනා සංකල්පයක් බවට‍ පත්වී තිබේ. අද වනවිට, දේශගුණ විපර්යාස කරණකොටගෙන ලෝකයේ සිදුවෙමින් පවතින මහා ව්‍යසන ගැන සිතා බලන කළ, ඒවා  මැඩපැවැත්වීම සඳහා වහාම පියවර ගතයුතු බව මනාව පැහැදිලි වේ. එම මහා ආපදා වලින් කිහිපයක් මෙසේය.
  • පෘථිවියේආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළයාම නිසාමෙතෙක් නොවූ අන්දමේවැඩිම ග්ලෙසියර් ප්‍රමාණයක් දියවී යමින් ඇති බව  වාර්තා වී තිබේ    (සාගර ජල මට්ටම ඉහල යාමට මෙය එක් හේතුවකි) 
  • දශක දෙකකට වඩා අඩු කාලයකදී, සිව් වන වරටත් ඕස්ට්‍රේලියාවේ මහා බාධක    පරයේ  කොරල් විශාල ප්‍රමාණයක්  විරංජණය  (Bleaching)  වෙමින් පවතී. (මෙය ඉතාමත් ඉහල සාගර ජෛව විවිධත්වයක්‌ විනාශවී යාමේ ලක්ෂණයකි) 
  • ලොව බොහෝ ස්ථානවල පසුගිය වසර 800,000  තුළදී තිබුණු තරමට වඩා, වායු ගෝලීය  කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවෙමින් පවතී. (මේ නිසා පෘථිවි තලයේ උණුසුම වැඩිවේ)
2007 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දියත් කරන ලද, ‘මිහිකත හෝරාවවැඩ සටහනට අනුව, ලොව පුරා විසිරි ඇති නගර 7000 ක පමණ, ජීවත්වන මිලියන ගණනාවක් ජනතාව තම විදුලි පහන් නිවා දමා එයට අනුකුලතාව දැක්වුහ.  2013 සරේදී මිහිකත හෝරාවඅනුව යමින් ආජන්ටිනාවේ බලධාරීන්, තම රටේ හෙක්ටයාර මිලියන තුනක් පමණ වන මුහුදු තීරය සංරක්ෂිත කලාපයක් බවට පත්කර ගැනීම සඳහා නීති රීති සම්පාදනය කර ගත්හ. 2015 වසරේදී ලොව රටවල් 172 ක් දේශගුණ විපර්යාස මැඩලීමේ සම්මුතියට අනුකුලත්වය දක්වමින්, ලොව පුරා විසිරි ඇති දසදහසක් පමණවූ,  දර්ශණීය ස්මාරක, සිහිවටන ආදියේ විදුලි ආලෝකය පැයක්‌ තුළ නිවා දමනු ලැබිය. ඒ සමගම දේශගුණ විපර්යාස වලට තුඩු දෙනු ලබන, මිනිස් චර්යායයන්  පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විවිධ ක්‍රියාකාරකම්, පනස් දහසක් පමණ ලොව පුරා දියත් කර තිබේ.

2017 වසරේදී   පරිසර සංවේදී ජගත් ප්‍රජාව වෙනුවෙන් පෙනීසිටින විද්වත්හු  තවත් වැදගත් පියවරක් ගන්නා ලදී. මේ වනාහි ජෛව විවිධත්වය සහ එහි  වැදගත්කම   පිලිබඳව  ලෝක ප්‍රජාව මැනවින් දැනුවත් කිරීමයි. මේ මගින් මිනිස් ප්‍රජාව විසින් දැනුවත් විය යුතු වැදගත් කරුණු වන,  මිහිපිට ඈති ඕනෑම ස්ථානයක -(රටක , දේශයක , මහාද්වීපයක හෝ මහා සාගරයේ) - ඇති   විශේෂ විවිධත්වය (species diversity), පරිසර පද්ධති විවිධත්වය (ecosystem diversity) සහ ජනක විවිධත්වය (genetic diversity) යන, පරිසර විවිධත්වයේ ත්‍රිවිධ සංඝටක පිලිබඳ අවබෝධයක් ලබා දීමට නියමිතය. 

අප ආහාර ගැනීමේදී , ජලය පරිහරණය  කිරීමේදී , සහ ස්වසනය කිරීමේදී  අප තුළ මෙම විවිධත්වය පිලිබඳ හැඟීමක්   තිබිය යුතුමය.

එය න්‍යායිකව  එසේ වුවත්, ජෛව විවිධත්වය  පිළිබඳ ජනතා දැනුවත් වීම ඉතාමත් අඩුය.

දැනට කලකට පෙර මිහිකත උණුසුම් වීම’ (Global warming) පිලිබඳ සංකල්පයද ජනතාවගෙන් බොහෝ දුරස්වූ,  සම්මන්ත්‍රණ, වාර්තා ආදියට පමණක් සිමා වූ සංකල්පයක් බවට පත්ව තිබිණ. එසේ සාකච්ඡා වලට භාජන වෙමින් පැවති, ‘මිහිකත උණුසුම් වීමමගින්  සිදුවෙමින් පවතින ආර්ථික, සමාජයීය සහ පාරිසරික ව්‍යසන ගැන    ජනතා දැනුවත් වීම පැවතියේ මඳ වශයෙනි. එහෙත්, කල්යාමේදී ඒවායේ  අනිටු විපාක විඳීම ආරම්භ වීමත් සමගම ජනතාවට ඒ පිලිබඳ හැඟීමක්‌ ඇතිවෙමින් පවතී.

ජෛව විවිධත්ව සංකල්පය පිළිබඳවද ජනතා ප්‍රතිචාරය  මෙසේමය. ජෛව විවිධත්වය පීඩාවට පත්වීම නිසා මිනිසාට  විඳීමට සිදුවිය හැකි ආර්ථික, සමාජයීය සහ පාරිසරික ගැටළු පිළිබඳව පොදු වශයෙන් ජනතා අවබෝධය තවමත් පහත් මට්ටමක පවතී. මෙසේ පැවතීම උග්‍ර උපද්‍රව වලට මුලික විය හැකිය.

මේවා සැලකිල්ලට භාජන කරගනිමින්, ජාත්‍යන්තරව පිළිගත්, ජෛව විවිධත්වය පිලිබඳ ප්‍රඥප්තිය   (The Convention on Biological Diversity –CBD ) මගින්  2017 – 2020 තෙවසර තුලදී, ලෝක ප්‍රජාව හැකි තරම් දුරට ජෛව විවිධත්වය ගැන දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ. මේ සඳහා ක්‍රමවේද රාශියක් ඉදිරිපත්කර තිබෙන අතර ඒවා මගින් පරිසර සංරක්ෂණ වත් පිළිවෙත්  සහ පරිසරයේ තිරසාර බව රැකගැනීම සඳහා ගතයුතු පියවර ගැන මනා අවබෝධයක් ලබාදීමට නියමිතය. මෙය, යම්තමින් හෝ පරිසර දැනුවත් භාවයේ සිටින ජනතාව,  ක්‍රියාකාරී පරිසර සංරක්ෂකයින් බවට පරිවර්තනය කිරීමේ අඩිතාලමයි.

කාලගුණ විපර්යාස වැනි මහා පරිමාණයේ ව්‍යසන වලට ප්‍රධාන හේතු කාරක වනුයේ මිනිස් ක්‍රීයාකාරකම් බව අද අවිවාදයෙන් පිළිගෙන තිබේ. කාලගුණ විපර්යාස මැඩපැවැත්වීමේ ප්‍රධානතම මුරභටයන් වශයෙන් සැලකිය හැකි, වනාන්තර සහ  සාගර පරිසර පද්ධති ආදියට එල්ලවී ඇති තර්ජන   සියලුදෙනාගේම විමසිල්ලට භාජන විය යුතු කාලය එළඹ තිබේ. පෘථිවි තලය තුළ ජීවය රඳා පවත්වා ගැනීමේ ප්‍රධානතම සාධකය වනුයේ ජෛව විවිධත්වය බව මැනවින් තේරුම් ගත් බ්‍රසීලය, ජපානය, යුක්රේනය වැනි රටවල් වල බලධාරීන් විසින්,  2017 වසරේ මිහිකත හෝරාවජෛව විවිධත්වය පිළිබඳව  ජනතාව දැනුවත් කිරීමට පමණක් නොව, එම සංකල්පය ඔස්සේ  ජෛව විවිධත්වය රැකගැනීම පිණිස ක්‍රියාකාරී මෙහෙයුම්ද දියත් කර තිබේ.

පරිසර විද්‍යාත්මක පා සටහන’ *(Ecological Footprintනම් නව සිද්ධාන්තයට අනුව පරිසර දුෂණය කෙරෙහි කෙලින්ම, 50% ක පමණ බලපෑමක් ඇති කරනුයේ  ෆොසිල ඉන්ධන දැවීම නිසා බව ගණනය කර තිබේ. මේ නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි අපට ටිකින් ටික ෆොසිල ඉන්ධන දැවීමෙන් ඉවත්වීමට සිදුවී ඇත. මෙම අන්තර්කාලය තුළදී, රාජ්‍යයන් විසින් තිරසාරව නිපදවෙන ප්‍රතිජණනීය ඉන්ධන කෙරෙහි ජනතා ප්‍රසාදය ඇතිකිරිම සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුව තිබේ.

එසේම ව්‍යාපාරිකයින් විසින් ෆොසිල ඉන්ධන ලබාගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන නොයෙදවීමටත්, එවැනි ඉන්ධන  ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සඳහා යොදා නොගැනීමටත්, ජනතාවගේ  ප්‍රතිජනනීය ඉන්ධන ඉල්ලුම් සඳහා වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමටත් ඒවා ලබාගැනීමට පහසුකම් සැලසීමටත් ක්‍රීයා කළ යුතුය. 2017 වර්ෂයේදී ඉන්දියාව, දකුණු අප්‍රිකාව, හංගේරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් මිහිකත හෝරාවව්‍යාපාරය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව, පෞද්ගලිකව හෝ ප්‍රජා සංවිධාන හරහා, නව තිරසාර බලශක්ති විසඳුම් සොයා යාමට උනන්දු කරවා තිබේ.

ජෛව විවිධත්වය සුරැකීමේ ක්‍රියාවලිය සඳහා සමස්ත මිනිස් වර්ගයාගේම සහයෝගය ඉතාමත් අවශ්‍ය බව දැන් ඉතාමත් පැහැදිලිය.  මිහිකත හෝරාවක්‍රියාදාමය මගින් ලබාදිය හැක්කේ ඒ සඳහා දැනුවත් කිරීමක් පමණකි. අපට ජීවත් වීමට තිබෙනුයේ මෙම පෘථිවි ග්‍රහයා පමණක් බව නිතර සිහියේ තබාගත යුතුය. මුළු ලෝකයේම මිනිස් ප්‍රජාව විසින් පරිසරය වෙනුවෙන් තම යුතුකම ඉටු කළහොත් අනාගතයේදී අදට වඩා ප්‍රසන්න, බලගතු ආපදා වලින් තොර මිහිකතක්‌ නිර්මාණය වනු ඇත.
[*Ecological Footprint යනුවෙන් හැඳින්වෙනුයේ, පරිසර දුෂණය කෙරෙහි බලපාන කාබන්ඩයොක්සයිඩ් වායු ඒකක සංඛ්‍යාවේ එකතුවයි]  

('මිහිකත හෝරාව' ආශ්‍රිතව පළවී ඇති ලිපි ලේඛන කිහිපයක් ඇසුරෙනි.)