Sunday, 3 September 2017

ජලය සහ ජල පරිහරණය පිළිබඳව අප දැනුවත්ද ?

   පිරිසිදු පානීය ජල පහසුකම් ලැබීම, මිනිස් අයිතිවාසිකමක් බව, 2010 වර්ෂයේදී පැවැත්වූ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමකදී, වැඩි ඡන්දයකින් සම්මත කර ගන්නා ලදී. මෙම යෝජනාවට රටවල් 122 ක් පක්ෂ වූ අතර නවසීලන්තය, ඊශ්‍රායලය, ඩෙන්මාර්කය, ජපානය, එක්‌සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 42 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්දය නොදුන් රටවල මතය වූයේ එවැනි මිනිස් අයිතිවාසිකමක් පිළිබඳව ජාත්‍යන්තර නීති පද්ධතියේ පැහැදිලි සඳහන් කිරීමක් නොමැති බවයි. 

මිට පෙර 1992 වසරේදී දී බ්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නුවරදී පවත්වන ලද එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සමුළුවේදී, න්‍යාය පත්‍රය 21 (Agenda 21) අනුව, මාර්තු මස 22 වන  දින ජගත් ජල දිනය ලෙස යෝජනා කරන ලදුව, 1993  මහා මණ්ඩල සැසි වාරයේදී සම්මත කර ගන්නා ලදී. ඉන්පසු, සෑම වර්ෂයකම මාර්තු මස 22 දිනය ලෝක ප්‍රජාව විසින් තම රටවල රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහය යටතේ, ජලය සහ ධරණීය සංවර්ධනයට අදාල, පිරිසිදු පානීය ජලය සහ ජල පහසුකම් ලබාදීම වැනි ජල වැඩ සටහන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමද මෙදිනදී කෙරෙන සුවිශේෂී කාර්යයකි.

  මීට දශක තුනකට පමණ ඉහතදී පවත්වන ලද, මා විසින් සංවිධානය කරන ලද ගුරු සේවාස්ථ පුහුණු සැසියකදී, ජලය පිලිබඳ වැදගත් කරුණු පොතපතින් සොයාගැනීම, කණ්ඩායම් පැවරුමක් ලෙස දෙන ලදි. එහිදී ලබාගන්නා ලද තොරතුරු අදටද බොහෝ සෙයින් වැදගත් කමක් ඇති නිසා මෙසේ සටහනක් තබමි. (එවකට අන්තර්ජාල පහසුකම් ඉතාමත් සීමිත විය)
ජල සංරක්ෂණය සහ ජල කළමනාකරණය පිළිබඳව අපගේ මුතුන් මිත්තන් නව තාක්ෂණයට බොහෝ දුරට සමීප ක්‍රමවේද දැනගෙන සිටි බවටද  අපගේ ඉතිහාසය සාක්ෂි දරයි.
ජලය පිළිබඳව පොත් පත් වලින් ලබාගෙන ඇති  වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ.

  • ජල අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් තිබේ. මෙම         සංඝටක දෙකම වායු වුවත් එම පරමාණු සංයෝජනයෙන් ලැබෙන ජල අණුව ද්‍රවයකි 
  • ජලයේ සංයුතිය  ආකාර කිහිපයකින් 
  • සමස්ත ලෝකයේම තිබෙන මිරිදියෙන්  70 % පමණ ඇත්තේ ග්ලෙසියර් අයිස් කුට්ටි       වලය.
  • ද්‍රව්‍ය වැඩිම සංඛ්‍යාවක් ද්‍රාවණය වන එකම ද්‍රාවකය ජලය වේ.(සාර්වත්‍ර ද්‍රාවකය)
  • ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.බෝතල් කළ ජලය නිපදවීම සඳහා ලොව පුරා  අවුරුද්දකදී වැය කරන විශාල  මුදලින් අඩක් ජල ව්‍යාපෘතියක යෙදවුවහොත්  මුළු ලෝකයේම පානීය ජල අවශ්‍යතාවෙන් පෙලෙන සියලු දෙනාටම ගුණාත්මක ජලය සැපයිය හැකිය.
  • හතර දෙනෙකුගෙන් යුත් පවූලකට දිනකට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ජලය ගැලොම් 6800 ක්‌ (ලීටර් 30,000 පමණ) වැය වේ. (කලින් ලිපියක සඳහන් කරන ලද ජල පා සටහන අනුව 

  • අපගේ අහාර පාන කිහිපයක 'ජල පා සටහන්' ජල ලීටර වලින් 
  •  පිපිඤ්ඤා ගෙඩියක 95 % පමණ ජලය තිබේ.
  • මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.
  • සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.
  • ජලය මිදී අයිස් වන විට 9 % ක්  පරිමාව වැඩිවේ.
  • වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )
  • සාමාන්‍ය  වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.
  • ජල කාර්යක්ෂම පිඟන් සේදීමේ යන්ත්‍රයක එක් වරකට ජලය ලීටර් 15 ක් පමණ වැය වන අතර  එම කාර්යයම අතින් කිරීම සඳහා  ජලය ලීටර් 100  ක් පමණ වැය වේ.
  • කෝපි කෝප්පයක ජල පා සටහන තේ කෝප්පයක ජල පා සටහන මෙන් සිව් ගුණයකි.
  • ලෝකයේ විවිධ මිනිස් කණ්ඩායම් අතර ක්‍රි. පූර්ව 3000 සිට මේ දක්වා ජලය සම්බන්ධ අර්බුද නිසා ගැටුම් 265 ක් පමණ සිදුවී තිබෙන බව වාර්තා වේ.
  • එකම තත්ත්ව යටතේ උණු ජලය සිසිල් ජලයට වඩා ඉක්මනින් මිදේ.
  • මුළු ලොව තිබෙන සියලුම ජලය ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත් අපට බීමට ඉතිරි වනුයේ ජලය මේස හැඳි එකක් පමණකි.
  • ලෝකයේ ඇති මිරිදියෙන් 90 % ක් පමණ ඇත්තේ ඇන්ටාක්ටික් මහාද්වීපයේ අයිස් වලය.
  • වායු ගෝලයේ උෂ්ණත්වය පාලනය කරනුයේ ජලයයි.
  • පෘථිවියේ වාසය කරන බිලියන 6.8 ක ජනගහනය සඳහා ඇත්තේ එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි.
  • අවුරුදු මිලියන ගණනකට පෙර පෘතුවියේ තිබුණු මුළු ජල ප්‍රමාණයම විවිධ ආකාරයෙන් අදටත් තිබෙන බව සත්‍යයකි.
  • අවුරුදු 100 ක් තුලදී එක් ජල අණුවක්, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීමද  ශරීරයට අහිතකරය.
  • ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා ජලය වායු ගෝලයේ තිබේ.
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ නයගරා දිය ඇල්ලේ එක් තත්පරයකදී ඇද හැලෙන ජල ප්‍රමාණය ගැලොම් 750,000 පමණ වේ. (ලීටර් 3,000,000 පමණ)
  • ජාත්‍යන්තර දේශ සීමා, මායිම්  ඔස්සේ හෝ  දේශ සීමා හරහා ගලා බසින, ගංගා 260 ක් පමණ ලෝකයේ ඇත.
  • ලෝකයේ වාර්තාගත හෙක්ටෙයාර් බිලියන 1.4 ක් පමණ වන වගා බිම්  වලින් 60 % ක්  පමණ වර්ෂා ජලයෙන් පෝෂණය වන අතර ඉතිරි 40 % ට ජලය ලබා ගනුයේ වාරි මාර්ග ඔස්සේය.
  • දළ වශයෙන් ගණන් බලා ඇති පරිදි අප රටෙහි නළ ජලය පාවිච්චි කරන නිවාස වලින් 10 % ක පමණ ජල බින්දුව බැගින් හෝ අපතේ යන බව පෙනේ.
  • තත්පරයකට ජල බින්දුව බැගින් අපතේ යන ජල කරාමයකින් වර්ෂයකදී ජලය ලීටර් 3000 ක් පමණ අපතේ යනු ඇත.
  • එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයකට අනුව 2025 වන විට ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ දැඩි ජල හිඟයකට මුහුණ පෑමට සිදු වනු ඇත.
  • එක් බීර වීදුරුවක්‌ නිෂ්පාදනය සඳහා ජලය ගැලොම් 20 ක් (ලීටර් 90 ක්) පමණ වැය වනු ඇත. මෙය බීර වීදුරුවක ‘ජල පා සටහන’ වන්නේය.
ජලය මහඟු සම්පතක් නිසාත්, මිනිසාගේ අනාගතය තීරණය වනුයේ ප්‍රධාන වශයෙන්ම ජලය මත නිසාත්, මුළු ලෝක ප්‍රජාවගේම අවධානය ජල සම්පත සුරැකීම කෙරෙහි යොමු කළ යුතු නිසාත් මාර්තු මාසයේ 22 දින ලෝක ජල දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය  විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

වර්තමාන ලෝක ආර්ථිකය මුහුණ පා තිබෙන උග්‍රතම ගැටලුව, ජල අර්බුදය බව, 2014 වර්ෂයේදී, පැරිස් නුවර පවත්වන ලද ජල සම්මුති සමුළුවේදී, තීරණය කරන ලදී. එහිදී සාකච්ඡා වූ පරිදි, ඉදිරි දස වසර තුලදී ලෝකයේ ජීවත් වන සෑම කෙනෙකුටම ජල හිඟය, ගංවතුර, යටිතල පහසුකම් අඩාල වීම, ව්‍යාපාර බිඳ වැටීම, ආර්ථික අර්බුද වැනි ජලයට අදාල ව්‍යසන එකකට හෝ කිහිපයකට මුහුණ පෑමට සිදුවන බවට ඉඟියක් පළ කරන ලදී.

ගෙදර දොර එදිනෙදා  කටයුතු සඳහාත්, පානය කිරීම සඳහාත් ජලය වැදගත් වන්නා සේම බල ශක්තිය නිෂ්පාදනය සඳහාත් ජලය අවශ්‍ය වේ. දැනට ගෝලීය ජල භාවිතයෙන් 15 % පමණ බල ශක්ති ජනන ක්‍රියාවලියන් සඳහා වැය වන බව ගණන්  බලා තිබේ. ලෝක බැංකුව මගින් කරන ලද ගණනය කිරීම් වලට අනුව 2035 වනවිට ජගත් බල ශක්ති අවශ්‍යතාව 35 % කින් වැඩිවන විට, බලශක්ති ජනනය සඳහා ජලය  වැය වීම 85 % කින් වැඩි වනු ඇත.

බල ශක්ති විශේෂයක් ලෙස විදුලිය නිෂ්පාදනය කිරීම පිණිස ජලයේ විභව ශක්තිය, ඉන්ධන හෝ න්‍යෂ්ටික බලය වැනි කුමන ක්‍රමයක් යොදා ගනු ලැබුවත් එම යන්ත්‍ර සුත්‍ර සිසිල් කිරීම සඳහා ජලය අවශ්‍ය වේ.

මෙසේ කල්පනා කර බලන විට ජලය කෙතරම් මහඟු සම්පතක්ද යන්න හොඳින් පැහැදිලි වේ. අපගේ දෛනික ජීවිතයේ, උදේ නින්දෙන් පිබිදුනු වේලේ සිට රාත්‍රියේ ආපසු නින්දට යන තුරු කරන කියන සෑම  ක්‍රියාවකදීම කෙලින්ම ජලය අවශ්‍ය වන ක්‍රියාවන් ඇත්තේ කිහිපයක් වුවත්, සෑම ක්‍රියාවක් සඳහාම සැඟවුණු හෝ අතාත්වික ජල පරිමාවක් තිබේ. මේ නිසා අප සෑම  කෙනෙක්ම ජලය හෝ වෙනත් භාණ්ඩ හෝ සේවා පරිහරණයේදී  අවබෝධයකින් යුතුව කටයුතු  කර ජල නාස්තිය වලක්වා ගතහොත්  ‘දිය පිපාසයෙන්’ පෙළෙන අපගේ මිහිතලය වෙනුවෙන් උපරිම යුතුකම ඉටු කළා වනු ඇත.
 
ජල දූෂණ මං අහුරමු.  ජලය අපතේ නොයවමු.  මහඟු ජල සම්පත සුරකිමු.


Wednesday, 30 August 2017

ගංවතුරේ පදිමින් සිටි ඔරුවට ගසක සිටි පොළඟෙක් පැන්නා...........

   අප කුඩා කළ ජීවත්වූ යේ කළු ගඟට කිට්ටුවෙන් පිහිටි රමණිය ගම් ප්‍රදේශයකය. අප්‍රියෙල් අවුරුදු නිවාඩුව කෙළි දෙලෙන් ගතකරන අපට ඊළඟට එළඹෙන වෙසක් සමය තවත් ආශ්වාද ජනක කාලයකි. වෙසක් කූඩු තැනීම, වෙසක් බලන්නට යාම, පන්සල් යාම වැනි දෙයටත් වඩා අප ප්‍රිය කළේ නොවරදාවාම ඒ දිනවලට වර්ෂාවත් සමග එන ගංවතුරේ කෙසෙල් කොට පහුරු පැදිමටය. අවුරුදු දිනවල වැසි වසින විට,

‘මේ පාර නම්.... හතලිස් පස් දොහේ ගංවතුර සිකුරටම එනවා’

යයි අපගේ සීයා කියන විට අපට පහුරු පැදීම සිහිවේ. 

අවුරුද්දට හිස තෙල් ගා අවසන් වූ වහාම,  අවුරුදු සංග්‍රහ සඳහා කෙසෙල් කැන් කැපු පසු ඉතිරිවන කෙසෙල් කොට එක්රැස් කර එකට අමුණා ගෙන, අපි පහුරු පැදීමට සුදානම් වන්නෙමු.

වැඩිහිටියන් වු පසුද කෙසෙල් කොට පහුරු කෙසේ  වෙතත් ගංවතුරේ ඔරු පැදීමට නම් පුදුම ආශාවක් තිබිණ. මගේ සේවා ස්ථානයේ සිටි එක් මිතුරෙකු වන ගුණසිරිද ගංවතුර ගලන  ප්‍රදේශයක පදිංචි කරුවෙකි. කාර්ය මණ්ඩලයේ එක වයසේ අප කිහිප දෙනෙක්ම විය.

මැයි මාසයේ වෙසක් පොහොය පසුවී සතියකින් පමණ තද වැසි වැස ගංවතුර ගැලිය. මා ඔරු පැදීමට කැමති බව දන්නා ගුණසිරි,

‘මේ සෙනසුරාද ගංවතුරේ ඔරු පදින්නට යමුද? කියා මගෙන් ඇසිය.

මම එම යෝජනාවට කැමති වීමි.

‘අපේ බාප්පලාගේ ගෙදර ඔරුවක් තියෙනවා. එහෙ මල්ලි කෙනෙක් ඉන්නවා ඔරු පදින්නට හරිම දක්ෂයා’ මම එයාටත් කතා කරලා ඔරු පදින්න ලැහැස්ති කර ගන්නම්’ කී  ඔහූ

‘ටිකක් දුරට  ගියොත් ඔරුවේ හිඳ ගෙනම ඉදුණු කැබෙල්ල ගෙඩි කන්නත් පුළුවන්’ කියා තවත් රසවත් දෙයක් මතක්‌ කළේය.

දං සහ කැබෙල්ල මා ඉතා ප්‍රිය කළ කැලෑ පලතුරු විය.

‘එහෙනම් අපි සෙනසුරාදා උදේ අපේ බාප්පලාගේ ගෙදරට යමු’. කියා ගුණසිරි ගමන ස්ථිර කළේය.

සෙනසුරාදා උදේ, අපගේ තවත් සගයෙකු සහ මම,  ගුණසිරි සමග ඔහුගේ බාප්පලාගේ ගෙදරට ගියෙමු. ගුණසිරිගේ ඤාති සොහොයුරා වූ සරත්, හෙදරට පේන තෙක් මානයේ ගංවතුර අසල තැනක, ඔරුව සුදානම් කර තිබිණ. දං  සහ කැබෙල්ල එකතු කර ගැනීම සඳහා වේවැල් කූඩා  දෙකක්ද සපයාගෙන තිබුණි.

ඔරුව අසලට පැමිණි අපට ඉමක්‌ කොනක් නොපෙනෙන තෙක් මානයේ ගංවතුර මහා සාගරය මෙන් දීස්විය. තරමක් ඈත ගංවතුරෙන් යටවූ මූකලන් වල කුඩා පඳුරු වල මුදුන් කොටස් පමණක් ජලයෙන් උඩට දකින්නට ලැබිණ. උදයේ හිරු රැස් වැටි දීප්තිමත්ව බැබලෙන මහා ජලස්කන්ධය, කුඩා කළ දුටු ගංවතුරට වඩා අමුතු සුන්දරත්වයකින් යුක්ත බව මට දැනුනේය. 

මේ ජලයෙන් යටවී තිබෙනුයේ ගැමියාට බත සපයන මහා කුඹුරු යාය බව අප දැන ගත්තේ ඒ බව ගුණසිරි ප්‍රකාශ කළ පසුවය.

අපි ඔරුවට ගොඩ වී කොල්ලෑව  මත පා තබා ලෑලි තට්ටුව මත හිඳ ගතිමු. සරත් ඔරුව දන වටක් පමණ ගැඹුරට තල්ලු කර ඔරු තල්ලේ එක පැත්තක හිඳ ගත්තේය ඔරු තල්ලේ අනික් කෙළවරෙහි හිඳගත් ගුණසිරි හබල මෙහෙයවා ඔරුව දියත් කළේය. සරත් ද හබල ගෙන දෙතුන් වරක් හබල් ගා, ඔරුව නිසි මගට ගත්තේය. දක්ෂ ඔරු පදින්නන් වූ සරත් සහ ගුණසිරි ගංවතුරේ විශාල රවුමක් ඔස්සේ ඔරුව පදවා පැය කාලකදී පමණ මුකලාන ඇති ප්‍රදේශයට් ලඟාවිය.

ඉදී දම්පැහැ වූ දං  පොකුරු ඔරුවේ ගෑවෙන මට්ටමේය. අප  ඇති තරම් දං  කා, තොල කට දම් පැහැ කර ගත්තෙමු. ටික වේලාවකින්  එක කුඩයක් දං වලු  වලින් පිරි ගියේය.

‘දන් මේ හරිය කොච්චර ගැඹුරුද? ‘

ඒ ගැන කිසිවක් නොදත් මම ගුණසිරිගෙන් ඇසුවෙමි.
.
‘දන් පඳුරක් අඩි දහයක් දොළහක්‌ විතර උසයි.’ එය ඔහුගෙන් ලැබුණු පිළිතුරයි.

මට ගැඹුරු දිය ගැන බිය මුසු චකිතයක් ඇතිවිය.

‘තව එහා කැබැල්ල තිබෙන හරිය මීටත් වඩා ගැඹුරුයි.’ 

මෙයින් මගේ චකිතය තවත් වැඩිවිය.
     
මූකලානේ තවත් ඔබ්බට ඔරුව පදින විට රන්වන් පැහැයට ඉදුණු කැබෙල්ල ගෙඩි වලින් වැසි තිබුණු  කැබෙල්ල යාය හමුවිය. එහි අතරින් පතර දම්පාට මල්පොකුරු වලින් පිරීගිය මුරුත ගස්ද දකින්නට ලැබුණි. කැබෙල්ල ගස් වල මුදුන් ජල මට්ටමෙන් තරමක් ඉහලට වැඩී තිබෙන නිසා, ඉදුණු ගෙඩි කඩා ගැනීම සඳහා, ඔරුව මත සිටගෙන අත දිගු කිරීමට සිදුවිය. මෙය තරමක් අසීරු කාර්යයක් විය.

ගුණසිරි ඔරුව කැබෙල්ල ගසක කඳ අසලටම ගෙන ගස තදින් අල්ලා ගත් පසු, ඔරු තල්ල මත හිටගත් සරත් කැබෙල්ල කඩා, කුඩයට දැමීම පිණිස අපට දුන්නේය. කූඩය පිරි ගිය පසු අප ආපසු හැරෙන විටම ‘දඩා..ස්’ යන ශබ්දයෙන් යමක්‌ ඔරුව මතට වැටුණි. කැබෙල්ල ගෙඩි ගැන සිත් යොමු කරගෙන සිටි අපට, ශබ්දය ඇසුන නමුත් එය කුමක්දැයි නොදත්තෙමු.

තරමක් කලබල වූ සරත් හබලත් අතට ගෙන ඔරුවේ කඳ ඇතුලෙහි යමක් පිරික්සන්නට විය.

‘දඟලන්නට එපා, ඔරුවට සතෙක් ගොඩවෙලා ’.

’සතෙක් ? මොකෙක්ද ? කිඹුලෙක්ද?   මම ඇසිමි.

‘කිඹුලෙක් නෙමෙයි. තඩි පොළඟෙක්.’

අපට කර කියා ගත හැකි දෙයක් නොවිය.

‘ගුණසිරි අයියේ, අයියා ගහ අල්ල ගෙන ඔහොම ඉන්න. මම සර්පයාව ‘ඩීල්’ කර ගන්නම්’  කී සරත්  හබල මානා ගෙන බලා සිටින අතර, ගුණසිරි  ගස තදින් අල්ලාගෙන සිටි.

හබල් නොගා එකතැන තිබෙන ඔරුව එහෙට මෙහෙට පැද්දේ.

අතේ කිසිවක් නොමැති අනීක්‌ සගයාත් මමත් බිරාන්තව සිටිමු.

අපි තවමත් පොළඟා නොදුටුවෙමු. ටික වේලාවකින් ඔරු කඳ ඇතුලතින් හිස එලියට දැමූ සර්පයා ඔරුවේ ඉදිරි තල්ල දෙසට ඇදෙන්නට විය. මා ජීවිතයටම දැක ඇති විශාලතම පොළඟා ඌ විය හැකිය. සාමාන්‍ය පිඹුරෙකු තරම් විශාල මේ විෂ ඝෝර සර්පයා ඊ ළඟ මොහොතේ කුමක් කරයිද යන්න අප කාටත් සිතාගන්නටවත් බැරිවිය. පොළඟා ඔරු තල්ල මතට ඇදෙනවාත් සමගම ක්‍රියාත්මක වූ සරත්, දෑත බදා  ඔසවා ගත්  හබලෙන් මරු පහරක් ගැසිය. එය පොලගාගේ හිස කුඩු පට්ටම් කිරීමට සමත් විය. ටික වෙලාවක් දැඟලු  පොළඟා ඔරු කඳ ඇතුලට වැටුණි.

ප්‍රහාරය නිසා ඔරුව ගැස්සුණු බැවින් ගුණසිරි කැබෙල්ල ගස අල්ලාගෙන  සිටි ග්‍රහණය මිදී ගොස්,  ඔරුව එකතැන කැරකෙන්නට විය. කඩිනමින් හබල අතට ගත් ගුණසිරි, කිහිප වරක් හබල් ගා කැරකෙන ඔරුව මෙල්ල කර ගත්තේය.

ගංවතුර නිසා කොටුවූ පොළඟා කැබෙල්ල ගසට නැග සිටින්නට ඇති බවත්, ඌ ගෙවීගිය සති දෙකකට වඩා කාලයක් නිරාහාරව සිටින්නට ඇති බවත් ඔවුන්ගේ මතය විය. කැබෙල්ල ගෙඩි කැඩිමේදී ගස සෙලවීම නිසා පොළඟා ඔරුව මතට වැටෙන්නට ඇති බව ඔව්හු කීවෝය. කෙසේ වුවත්. අපගේ බය සැක තවමත් තිබේ. තවත් පොළඟුන් ගසේ සිටිදැයි බියක්ද ඇතිවිය.

ජලය අඩි විස්සක් පමණ ගැඹුරු තැනකදී අපට අත්වන්නට තිබු ඉරණම සරත්ගේ හබල් පහරින් විසඳන්නට හැකිවීම ගැන සතුටු  වූවෙමු. එසේ වුවත් දින ගණනක් නිරාහාරව සිටි, අපට කිසිම හානියක් නොකළ අසරණ සර්පයාට අත්වූ ඉරණම ගැන මහත්සේ පම්පා වුවෙමූ.

‘ඔහොම දවස් ගනන් කෑම නැතිව කොටු වෙලා සිටින සර්පයෝ හරිම භයානකයි. ඒ වගේම හරිම විෂ සහිතයි. වෙලාවේ හැටියට නොමරා වෙන කරන්නට දෙයක් නැහැ.’ යයි සරත් කිවේය.

‘ආත්මාරක්ෂාව සඳහා කරන ලද නොවැලක්විය හැකි දෙයක් ‘ කියා  ගුණසිරිද සරත් කළදේ අනුමත කළේය.

අප අනතුරකින් බේරා ගැනීම ගැන සරත්ට ස්තුති කළෙමි.

‘අපි කුඩා කාලයේ මේ හරියේදී ගංවතුරේ පදිමින් සිටි ඔරුවකට නයෙක් ගොඩ වෙලා කලබලවීම නිසා ඔරුව පෙරලිලා  කීප දෙනෙක්ම දියේ ගිලී මැරිලා තියෙනවා’ සරත් ලොමු ඩැහැගන්වන පැරණි සිද්ධියක් මතක්‌ කළේය.

විනෝදයට ඔරු පැදීම අමතක කර දැමූ  අපි, හැකි ඉක්මණින් ආපසු නිවෙස් ‌ බලා පැමිණියෙමූ..


 


Tuesday, 29 August 2017

කාර්යාල දුම්රිය ගමනේදී කාන්තාවන්ගෙන් සිදුවූ අතවරයක්......

   බස් ගමනාගමනයේ අපහසු කම නිසාම මගේ කාර්යාල ගමනෙන් වැඩි කොටස දුම්රියෙන් යන එක පහසු නොවේදැයි මගේ මිතුරා සිරිසෝම, දිනක් මගෙන් ඇසීය. කෙසේ වෙතත් නිවසේ සිට කිලෝමීටර් හත අටක්‌ බස් රථයේ ගොස් නැවත දුම්රියේ යාම කරදරයක් වුවත් සිරිසෝමගේ පෙරැත්තය නිසාම ටික දවසක්වත් දුම්රියේ යාමට තීරණය කළෙමි. 

දුම්රිය ගමන ඇඟට තෙහෙට්ටුවක් නොමැති රසවත් ගමනක් බව මම පසුව තේරුම් ගතිමි. එකල මා සේවය කළේ මැලේ විදියේ තිබුණු විභාග දෙපාර්තමේන්තුවේ නිසා කොම්පඤ්ඤ වීදියෙන් බැස විනාඩි දෙකකින් පමණ කාර්යාලයට යාමට හැකිවිය. ඒ සමගම අලුතින් මිතුරන් රාශියක් දැන හඳුනා ගැනීමටත් දුම්රිය ගමන ප්‍රයෝජනවත් විය.

අප පානදුර දුම්රියපලින් ගොඩ වනුයේ මාතර සිට පැමිණෙන සමුද්‍රදේවී දුම්රියටය. මෙම දුම්රියේ මැදිරි ආසනවලට අයිතිය ‘පවරාගෙන’ සිටින පිරිසක්ද සිටින බව මා දැනගත්තේ ටික කලකට පසුවය. විශේෂයෙන්ම දකුණේ ඈත සිට පැමිණෙන කාන්තාවන් එම ආසන තමන්ගේ බව එකහෙලාම ප්‍රකාශ කරති. සමහර කාන්තාවන් ඇඳුම් ඇඳීම සහ හැඩ වැඩ වීම කරනුයේද දුම්රියේදී බව කලකදී දැන ගතිමි.

‘මල්ලි වැරදිලාවත් පස්වෙනි කොම්පාර්ට්මන්ට් එකට නම් නගින්නට එපා. ඒක බලගතු කාන්තා රාජධානියක්. එලියට තල්ලු කර දමයි’ 

ගමනට නුපුරුදු මට, පළපුරුදු අලුත් මිතුරෙකුගෙන් උපදෙසක්ද ලැබුණි.

‘ඒ කොම්පාර්ට්මන්ට් එක ලේඩීස් ඔන්ලි ද?  මම ඇසීමි.

‘ලේඩීස් ඔන්ලි ඒවා මේ කෝච්චියෙ නැහැ. ඒ උනත් දන්නේ නැද්ද බලගතු පක්ෂය ඒක බුත්තියට සින්න කරගෙන!’ කිහිප දෙනෙක්ම මට කීහ.

මමද  අනිකුත් මිතුරන් මෙන් ඒ උපදෙස අකුරටම පිලිපැද්දෙමි.

එක් දිනක්‌ අධික වර්ෂාව නිසා මා ගෙදර සිට පැමිණෙන බස් රථය මිනිත්තු කිහිපයක් ප්‍රමාද විය. මා දුම්රියපලට  එනවිටම දුම්රිය පිටත්විය. හෙමින් ඇදෙන දුම්රියේ කිට්ටුවම තිබුණු මැදිරියේ අත් වාරුවක එල්ලී  බිම නොවැටී යන්තම් ගොඩවිමි. දුවන්නට සිදුවූ නිසා ඇතිවූ හතිය මග හැරුණු පසු මැදිරිය ඇතුලට යාමට සිතා වට පිට බැලීමි.

මට කරකියා ගත හැකි දෙයක් නැතිවිය. එය කාන්තා රාජධානියයි. හිස් ආසන  කිහිපයක්ද විය. එහෙත් ඒවා නොදුටුවා සේ මම හිට ගෙන මුහුද පැත්ත බලාගෙන සිටියෙමි.

‘අන්න අද අමුත්තෙක් අපේ එකට නැගලා. එයා පිරිමිද ගෑණුද කියලා බලන්නකෝ!’

එක් කාන්තාවක් එසේ කියන විට සියල්ලෝම වාගේ  මහ  හඬින් සිනහ වුහ.

කුමක් කරම්දෝයි සිතමින් සිටින විට,

‘බැඳලා නැත්නම්........ මෙන්න මෙනෙවියෝ දෙන්නෙක් අතර සීට් එකේ මැද්දේ ඉඩ තිබෙනවා. ලක් බයි චාන්ස් ’

තව කෙනෙකුගේ කට හඬ ඇසින.

මෙය ඇසී මට ආ සිනහව අමාරුවෙන් මැඩ ගත්තෙමි.

‘ඒ උනාට වැඩක්‌ නැතුවා වගෙයි........ කන් ඇහෙන්නේ නැති එක්කෙනෙක්ද කොහෙද?’ ඒ තව කට හඬකි.

පානදුරයේ සිට මොරටුව  දක්වා දුම්රිය ශීඝ්‍ර ගාමිය. කෙසේ වෙතත් මට මොරටුවට යන තුරුවත් තව මිනිත්තු දහයක් පමණ මෙම අතවරයට් ලක්වීමට සිදුවන බව  දන්නෙමි. කිසිවක් නොඇසුනා ලෙස සිටීම හොඳම පිළියම බව තේරුම් ගෙන ඔවුන් කියන දේ පමණක් අසා ගෙන සිටියෙමි.

ටික වේලාවක නිශ්ශබ්දතාවය නිසා මම මැදිරිය ඇතුලත දෙස හොර ඇසින් බැලීමි. එක්‌ කාන්තාවක් මා සිටි පැත්තට පිටුපා සිටගෙන, හැඳ සිටි සාරිපොට පහලට දමා, යමක් කරනු දුටුවෙමි.

‘ඔන්න මේ පැත්තනම් බලන්න එපා........... මම උදේ වැරදුනු දෙයක් හරී ගස්ස ගන්න හදනවා’ 

ඒ කාටත් ඇසෙන සේ ඇය විසින් කරන ලද තහංචි පැනවීමක් විය යුතුය.

‘අනේ,....... අරයා බලා ඉන්නවානම් ඇවිත් මගේ මේ හැට්ටේ කටුව ගහන්න කියන්න. ගෙදරදී  නම් කටුව ගහන්නේ මගෙ මහත්තයා.’ 

ඒ සිටගෙන සිටි කාන්තාවයි.

ඇය ‘අරයා’ යනුවෙන් හැඳින්වුයේ මා විය යුතුය.

නැවත මඳ නිශ්ශබ්දතාවයකින් පසුව

‘ගොලුවෙක්ද කොහෙද  මොරටුවෙදී  බැස්සේ නැත්නම් ‘රැග්’ එකක් දෙමු’

එය තරුණ කාන්තා කට හඬක්‌ බව සිතා ගතිමි.

‘නැහැ අනේ,,,,,,, අඳ, ගොළු, බිහිරි ඔක්කොම තියෙන එක්කෙනෙක්.’

තව එකියක් කීවාය.

‘එහෙනම් මොරටුවෙන් බස්සලා ගොළු මඩමට යවමුද? තව කාන්තාවකගේ කට හඬයි.
    
මට සිනහවත් සමග තරමක අසීරුතාවයක්ද ඇති විය. මෙය මොවුන්ගේ අකාරුණික භාවයද විහිලුවට ඇති කැමැත්තද යන්න තේරුම් බේරුම් කරගැනීමට නොහැකි තත්වයට මම පත්වූයෙමි. කොයි එකටත් මෙවැනි අවස්ථා වලදී ගොළු වත රැකීම හොඳම පිළිවෙත බව මම විශ්වාස කළෙමි.

දුම්රිය වේගය අඩුවන විට මොරටුව ආසන්න බව දැනුණි. සම්පූර්ණයෙන් නතර කිරීමටත් පෙර දුම්රියෙන් බැසගත් මම, කාන්තාවන්ගේ සිනහ හඬ මැද දුව ගොස් සුපුරුදු මැදිරියට ගොඩ වුයෙමි.

මගේ සුපුරුදු සගයින් සමග සිදුවූ දේ විස්තර කලෙමි.

‘මමත් දවසක් වැරදිලා ඕකට නැගල හරි අමාරුවක වැටුනා,’ එක්‌ අයෙකු කිවේය.

මීට කලින්ද කිහිප දෙනෙකුම, කාන්තාවන් ‘බලෙන්  වෙන්කර ගෙන තිබුණු’ මැදිරියට වැරදීමකින් ගොඩවී බැට කා ඇති බව මගේ සගයින්ගෙන් දැන ගත්තෙමි.  



Monday, 28 August 2017

භීෂණය (71 කැරැල්ල) ආරම්භ වූ දින මතක සටහනක්....

  පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගනු ලබන්නේ අඩුම වශයෙන් වසර පහක් වත් ඉගැන්වීමේ පළපුරුද්ද ඇති ගුරුවරුන්ගෙන් ඉතා සුළු පිරිසකි. එවකට මෙම පාඨමාලාව පැවැත්වුයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පමණකි. මේ සඳහා වසරක් අධ්‍යයන නිවාඩු  ලැබේ. 1970 වසරේ ජුනි මාසයේදී දී මෙම පාඨමාලාව සඳහා තේරුණු අපට අවසාන විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුනේ 1971 අප්‍රියෙල් මාසයේ දෙවන සතියේය.

විද්‍යා අංශයෙන් පාඨමාලාව සඳහා තේරුණු අප තිදෙනෙකුට, මාර්තු මාසයේ මැද සිට අප්‍රියෙල් මාසයේ විභාගය අවසන් වනතුරු පමණක්, ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ නතර වීමට පහසුකම් ලැබිණ. බොභෝ දිනවල අපට දේශන හෝ නිබන්ධන පන්ති පැවැත්වුයේ උදය වරුවේ පමණකි. එදින අප්‍රියෙල් මස පස් වෙනිදාය  උදේ පළමු දේශනයෙන් පසු පැය දෙකක පමණ විවේකයක් ලැබුණු නිසා එක්තරා නිබන්ධනයකට අවශ්‍ය කරුණු සාකච්ඡා  කිරීම සඳහා පහල මාලයේ කොනක තිබුණු අපගේ කාමරයට ගොස් වැඩ කරමින් සිටියෙමු. එදින ඉතාමත් තද අව් රශ්මියක් තිබුණි. ශ්‍රී ලංකාවට හිරු මුදුන් වනුයේ අප්‍රියෙල් මාසයේ මුල් දින කිහිපයේදී නිසා තද හිරු රශ්මිය ඇති වන බව දැනගෙන සිටියෙමු.

මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ යම්කිසි අසහනකාරි බවක් උද්ගතවී තිබෙණු අපටද ආරංචි විය. එසේ වුවත් ඒ ගැන වැඩි තොරතුරක් අපට නොලැබුණි. නේවාසිකාගාරයේ සිසුන් වැඩිහිටියන් වු අප සමග වැඩි භජනයක් නොවිය. ඔව්හු අප ‘බාප්පලා’ යන අන්වර්ථ නාමයකින් හැඳින්වූ බව අපට ද දැන ගන්නට ලැබුණි.

එක් වරටම අපගේ කන් බිභිරි කරවන අති මහත් ශබ්දයකින් යුක්තව පිපුරුම් හඬක් සමගම යම්කිසි ඉදිකිරීමක් කඩා වැටෙනවාක් වැනි බිහිසුණු  ශබ්ද මාලාවක්ද ඇසෙන්නට විය. අපගේ කන් අගුල් වැටි, තොල කට වේලි, කථාකර ගැනීමටවත් නොහැකිව මඳ වෙලාවක් බිරාන්තව සිටියෙමු. ඇඳෙන් බිමට බැස ගැනීමටවත් නොහැකි තරමට දෙපා වෙව්ලන්නට විය.

විනාඩි දහයක් පමණ වන විට දේශන ශාලාවල සහ නේවාසිකාගාර වල සිටි සිසු සිසුවියන් මහත් ඝෝෂා කරමින් තැන්තැන් වල රොක් වන්නට විය. විශාල කලබලයක් හටගෙන තිබෙන බව අපට පැහැදිලි විය. අපී කළ යුත්තේ කුමක්ද යන්නවත් සිතා ගන්නට නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටියෙමු. පැය භාගයක් පමණ ගතවන විට පොලිස් රථ සහ යුද හමුදා රථ රාශියක් පැමිණ සන්නද්ධ හමුදා භටයින් සෑම තැනකම මුරකාවල් දමා සිසුන් තැන් තැන් වලට රැස්කර වට කර තැබීම ආරම්භ කළේය. දේශන ශාලා ගොඩනැගිල්ල ඉදිරියේ සිය ගණනක හමුදා බල ඇණියකි. අප සිටි  නේවාසිකාගාරය  තුළ සිටි සිසුන් සියලු දෙනාම පිටතට ගොස් ඇති බව අපට දැනුණි.

ටික වෙලාවකින් අවි අමෝරාගත් හමුදා භටයන් දෙදෙනෙකු අප සිටි තැනට පැමිණ

‘තවම මේක ඇතුලේ  මොන මගුලක්  කරනවද?  බහිනවා .... එලියට .....’
කියමින් මොර දෙන්නට විය.

‘අපි ...... මේ ..... මේ ....... ඩිප්......’ 

මගේ මිත්‍ර හරිස්චන්ද්‍ර යමක්‌ කීමට තැත් කරන විටම හමුදා භටයා අප තිදෙනා කාමරයෙන් එලියට තල්ලු කර

‘එලියට ගිහින් පෙළ ගැහෙනවා .....’

කියමින් එයට තවත් පරුෂ වචන කිහිපයක්ද එකතු කළේය.

අපද, සිසුන් සිටින තැනම පැත්තකට වී සිටියෙමු.

නේවාසිකාගාරය භාරව සිටි අප හඳුනන ආචාර්ය වරයා සිසුන් දෙස බලමින් නම් ලකුණු කරමින් සිටියේය. ඔහු අප ළඟට පැමිණි විට සිද්ධිය කුමක්දැයි ඔහුගෙන් ඇසුවිට

‘රට හැමතැනම කලබල. මෙහෙ බෝම්බයක් පුපුරලා’ යයි කීවේය.

එසේ කියා අපට වෙනත් ස්ථානයක් පෙන්වා එතැනට යන්නට කිවේය. අප නොහඳුනන, වැඩිහිටියන් යයි කිව හැකි තවත් කිහිප දෙනෙක් එතැන සිටියහ. ඔවුන්ද අප මෙන්ම සිදුවන්නේ කුමක්ද කියා කිසිවක් නොදන්නා බව අපට තේරුම් ගත හැකි විය.

දැන් දැන් ඝෝෂාව සහ කලබලකාරී තත්ත්වය වැඩිවන බව අපට දැනුනි. හමුදා රථ, පොලිස් රථ, කැරලි මර්දන සේනා, හමුදා භට පිරිස් ආදිය තවත් පැමිණෙන බව පෙනුනි.

සියලුම සිසුන් සවස හතරට ප්‍රථම නේවාසිකාගාර වලින්  පිටවිය යුතු බව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශනය වන්නට විය.

ටික වෙලාවකින් උසස් පොලිස් නිලධාරියෙක් අප සිටි තැනට පැමිණ අපගේ තොරතුරු විමසිය. අපගේ විශ්ව විද්‍යාල හැඳුනුම් පත් (එවකට පෞද්ගලික හැඳුනුම් පත් නොතිබුණි) පරික්ෂා කර සටහන් පොතක විස්තර ලියාගත් ඔහුට   ඩිප්ලෝමා පාඨමාලාව ගැන අවබෝධයක් තිබිණ. තව සතියකින් අපට විභාගය තිබෙන බව ඔහුට කී විට

‘ඕනෑ කරන පොත්පත් අරගෙන පේරාදෙණිය පොලිසියට යන්න වෙනවා.’

යයි අපට කීවේය. ඒ සමගම පොලිස් කොස්තාපල් වරයෙකු කැඳවු ඔහු

‘මේ මහත්වරු එක්ක ඇතුලට ගිහින් ඒ අයගේ පොත් පත් අරගෙන ජීප් එකෙන් පොලිසියට එක්කරගෙන යන්න. එතන සිටින ඕඅයිසීට භාරදෙන්න.’

කියා අප ඔහුට භාර කළේය. රටෙහි තත්ත්වය පිළිබඳව ඔහුගෙන් විමසු විට

‘මුළු රටටම පැය විසි හතරටම බලපාන විදියට ඇඳිරි නීතිය දාලා’ යයි ඔහු කීවේය.

අපට මහත් අවිනිශ්චිත භාවයක් ඇතිවී කුමකින් කුමක් කරම්දෝයි සිතාගන්නටත් නොහැකි විය. අප තිදෙනාටම කුඩා දරුවන් සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව කෙසේ වී ඇද්ද? අප පොලිස් ස්ථානයට ගෙන යනුයේ කුමක් පිණිසද?  යනාදී දහසක් ප්‍රශ්න සිතෙහි වැඩ කරන්නට විය.

ගමන් මල්ලත් පසෙකින් තබාගෙන පොලිස් ස්ථානයේ බංකුවක් මත හිඳගෙන සිටි අප ගැන බලන්නට කිසිවෙකු නොමැත. දිවා ආහාරයවත් නොගත් බව සිහි වුයේ මෙවිටය. අප වැන්නවුන් යයි සිතිය හැකි තවත් කිහිප දෙනකු අනෙක් බංකු මත වාඩිවී සිටියහ. ටික වෙලාවකින් අප කැඳවු ස්ථානාධිපතිවරයා අපගේ විශ්ව විද්‍යාල හැඳුනුම් පත සහ පාඨමාලාව සඳහා කැඳවුම් ලිපි කියවා තොරතුරු සටහන් කරගෙන, අපගේ අත්සන් ලබාගෙන, එයටම ඇඟිලි සටහන්ද ලබා ගත්තේය. කිසිම දෙයක් ගැන නොදත් අපද මහත් වරදක් කර, අල්ලා ගත් අය ලෙස සලකන ලදී. රටෙහි මහත් භීෂණ තත්ත්වයක් ඇති බව ප්‍රකාශයට පත්කර තිබ්යදී එසේ කිරීම සාධාරණය. ටික වෙලාවකින් අපට පොලිස් ස්ථානය පිටුපස තිබුණු කුඩා ශාලාවකට යන්නට සිදුවිය. එහිදී අපට බනිස් ගෙඩියක්‌ සහ තේ කෝප්පයක්‌ ලැබිණ.

මේ වන විට හමුදා රථවල නංවාගත් විශ්ව විද්‍යාල සිසුන් වියහැකි තරුණ තරුණියන් පිරිසක්ද  පොලිස් ස්ථානයට ගෙන එනු දුටුවෙමු. අපගේ අවිනිශ්චිත භාවය තව තවත් වැඩිවෙන්නට විය. ටික වේලාවකට පසු අප සිටි තැනට පැමිණි පොලිස් නිලධාරියෙකු
‘කොළඹ පැත්තට යන අයට පොල්ගහවෙල ස්ටේෂන් එකට යාමට කැමතිනම් එහි යන්නට හැකි හමුදා ට්‍රක්‌ රථයක්‌ දැන් පිටත්වෙනවා. යන්නට කැමති කෙනෙක් ඉන්නවාද?’
කියා ප්‍රශ්න කළේය. එතැන සිටිනවාට වඩා පොල්ගහවෙලටවත් යන එක සුදුසුයි සිතු අපි යාමට කැමති බව කීවෙමු. අප, පොලිස් පොතේ නැවත අත්සන් කළ  පසු ට්‍රක්‌ රථයට ගොඩ වීමට අණ  ලැබිණ.

රාත්‍රී එකොළහට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් අප බස්සවන ලදී. ඇඳිරි නීතිය නිසා මගීන්ගෙන් තොර දුම්ර්ය පලේ වේදිකාව අසල එක විදුලි පහනක් පමණක් දැල්වෙමින් තිබුණි. අප නැවතද මහත් අවිනිශ්චිත ස්වභාවයකට පත්වීමු. විදුලි පහන අසල තිබුණු බංකුවක වාඩිවී අපගේ ඉරණම කුමක් වේදෝයි සිතමින් සිටින විට, දුම්රිය ස්ථානාධිපති වරයා  අප අසලට පැමිණ අප සමග කතා කළේය. අප මුහුණ පා සිටින තත්ත්වය ඔහුට පැහැදිලි කළෙමු.

‘හෙට උදේ හතට විතර කොළඹට කෝච්චියක් යන්නට නියම  කර තිබෙනවා. ඒකේ යන්නට පුළුවනි. මේ  ලයිට් එකත් නිවන්නට කියා පොලිස් නියෝගයක් තිබෙනවා.’ ඔහු කීවේය.

‘අපි අද උදේ සිට කිසිම දෙයක් කෑවේ නැහැ’ මට ඉබේටම කියවිණ.

‘මේ වෙලාවට නම් කෑම ගන්න තැනක්‌ නැහැ .  ඇඳිරි නීතිය නිසා කඩ වහලා.’ කී  ඔහු යන්නට පිටත්වී ආපසු හැරී

‘ටිකක් ඔහොම ඉන්න. මම විනාඩි පහකින් එන්නම්’ කියා තම නිල නිවාසය වෙත ගියේය.

තද කුස ගින්න ඇතිවිට, බැගෑපත්වී, ඕනෑම කෙනෙකුගෙන් පිහිටක් යැදිය හැකි බව මට වැටහුණි.

ස්ථානාධිපතිවරයා  පිඟානක තැබූ පාන් පෙති හයක්‌  සහ සම්බෝල ස්වල්පයක්ද. වතුර බෝතලයක්ද, ඉටිපන්දමක් සහ ගිනිපෙට්ටියක්ද අපට ගෙනැවිත් දී,  දුම්රිය විවේක කාමරයේ සිටින ලෙස උපදෙස් දී, විදුලි පහනද නිවා දැම්මේය

අපට ඔහුගෙන් ලැබුණු උදව්ව ජීවිතයට මෙතෙක් ලැබුණු ලොකුම උපකාරය විය හැකිය. කුස ගින්නෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් සන්සිඳවාගත් අපි එළිවන තුරු නින්දේ දෝ නොනින්දේ දෝ යයි කිව නොහැකි මානසික තත්ත්වයකින් පසුවීමු. අඹු දරුවන් සහ ගේ දොර සිහිවී වරින් වර මහත් හද කම්පාවන් ඇතිවිය.
 
පසුදින උදයේ සන්නද්ධ හමුදා භටයින් විසින් මුරකාවල් යෙදු කොළඹ බලා යන දුම්රියක් වේදිකාවට ලඟාවිය. ස්ථානාධිපති තුමාට මුව නොසෑහෙනසේ ස්තුති කර හමුදා භටයින්ගේ සියුම් පරීක්ෂාවලින්   පසුව දුම්රියට ගොඩ වීමු. වෙනදා දුම්රියේ තිබුණු විනෝදජනක වට පිටාව එදා නැත. කවුරුත් අනිකා දෙස බැලුවෙත් බිය මුසු සැකයකිනි.

මන්දගාමි ස්වභාවයකින් ධාවනය වූ දුම්රිය සෑම දුම්රියපලකදීම දැඩි සෝදිසියට ලක් විය. මග දිගටම පෙනෙන තෙක් මානයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇත. මහාමාර්ග වල රථවාහන නොමැත. වෙනදා ජනාකීර්ණ දුම්රිය ස්ථාන හිස්වී ඇත. ඇඳිරි නීතියත් සමග රටම අඳුරු ස්වභාවයක්  ගෙන ඇති බව පෙනේ. එදින පස්වරු එක පමණ වන විට කොළඹට සේන්දු වූයෙමු.

කොටුව දුම්රිය පලේ සිට හමුදා ආරක්ෂාව යටතේ යොදවා තිබුණු බස් රථයකින් එදින සවස පහට පමණ ගෙදරට පැමිණියෙමි. කෙසේ වෙතත් අප නිරුපද්‍රිතව නිවෙස් බලා එමින් සිටින බවට අප පදිංචි ප්‍රදේශ වල පොලිසි හරහා, කලින් දින රාත්‍රියේම අපගේ නිවෙස් වලට පණිවුඩ යවා තිබිණ.

එතරම් භීෂණයක් තිබියදීත් පොලිසිය සහ හමුදාව, කිසිම වරදක් නොකර අතරමං වූ අයට පිහිට වීම ඉතාමත් අගනා ගුණාංගයක්‌ බව මෙසේ සටහන් කරමි.


එදින ජේම්ස් පීරිස් නේවාසිකාගාරයේ පුපුරා ගොස් තිබෙනුයේ කැරැල්ලට සම්බන්ධ සිසුන් විසින් ගෙනෙන ලද අත් බෝම්බයකි. එය  සඟවා තිබුණු ස්ථානයට තද අව් රශ්මිය වැටි ජනේලයේ වීදුරු තහඩුවේ කැටයම් උත්තල කාච මෙන් ක්‍රියා කර ආලෝක කිරණ බෝම්බය මත නාභිගත වී උෂ්ණත්වය වැඩිවූ නිසා එය පුපුරා යන්නට ඇති බව පසුව දැන ගන්නට ලැබුණි.