Saturday, 11 February 2023

අහඹුවෙන් හමුවූ ‘නොදුටු’ මිතුරෙක්

 අහඹුවෙන්  හමුවූ  ‘නොදුටු’ මිතුරෙක් 

මාගේ Blog පිටුවෙහි අමුතු  සටහනක් තැබීමට අදහස් කළේ මක්නිසාද  යන්න පැහැදිලි කිරීමද අවශ්‍ය වේයයි සිතෙන නිසා එය පාදක කර ගනිමින් මේ සටහන තබමි. එම සිද්ධිය කිසිදා ‘නොදුටු’ මිතුරෙකු අහඹුවෙන්  හමුවීම හා සම්බන්ධ වේ. 


ඔහු ‘බ්ලොග්’ සහ ‘ෆේස්‌ බුක්’ මිතුරෙකු වූ ‘තිලක සිත’ Blog පිටුව හිමිකරු තිලකසිරි එකනායකයෝ වෙති. 

  

යන්තමට ඉංග්‍රීසියෙන් යමක් ලිවීමට හැකිවන විටම, විදේශ රටකින්  “පෑනේ මිතුරෙකු (Pen friend) සොයා ගැනීම, අප කුඩා කාලයේ  පාසල් සිසුන් අතර ‘ෆැෂන් ’ එකක් මෙන් පැතිරී ගිය  අවශ්‍යතාවයක් ලෙස සලකන ලදී.  බොහෝ විට, මාස ගණනක් ගතවෙන ‘මුහුදු තැපෑලෙන්’, පෑනේ මිතුරෙකුගෙන් ලිපියක්   ලැබුණ විට පන්තියේ සගයින් සමග කියවා ඒ ගැන උදම් ඇනීම මහත් ආඩම්බරයක් විය. (පෑනේ මිතුරු ලිපි ගනුදෙනු ගුවන් තැපෑල මගින් කළේ ඉතාමත් කලාතුරකිනි)   ඒ කාලයේ අපගේ ගුරුවරු පවා අපට පෑනේ මිතුරු මිතුරියන්ගේ ලිපින ලබා දුන්හ. පුවත් පත්වල ළමා පිටුවලද බොහෝවිට එවැනි ලිපිනයන් පළවිය. මටද පෑනේ මිතුරන් කිහිප දෙනෙකු සිට. ඔවුන් සමග වසර කිහිපයක් තිස්සේ ලිපි හුවමාරු කරගෙන තිබේ. එහෙත් කාලය ඉක්ම යාමත් සමග අධ්‍යාපන කටයුතු වලට වැඩි  අවධානයක්  යොමු කිරීමට සිදුවූ නිසාදෝ,  පෑනේ මිතුරු සුහදතා ක්‍රමයෙන් අහෝසි වී ගියේය. ‘පෑනේ මිතුරු සබඳතා’  දිගු කාලයක් පවතින්නේ ඉතා කලාතුරකින් බව ප්‍රකට කරුණකි. මේ එදා….. තත්ත්වයයි.


මෙදා,.....  ඒ සියල්ල සිදුවී දශක හයකට හතකට පසු - දැන්,  ‘පෑනේ මිතුරන්’ ගැන අසන්නටවත් නොමැත. අද ඒ   වෙනුවට සිටිනුයේ “Blog මිතුරෝ ”  හෝ  “Facebook  මිතුරෝ ” වෙති. මෙය තොරතුරු තාක්ෂණයේ නව අද්විතීය සොයාගැනීම් නිසා සිදුවී ඇති එක් පරිවර්තනයකි.  පරිගණකය, ‘ටැබ්ලට්’ උපකරණය හෝ ජංගම දුරකථනය  වැනි මෙවලම්  පරිහරණය කිරීමට හැකි ඔනෑම කෙනෙකුට, අද අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන්ම එවැනි මිතුරෝ ආශ්‍රය කිරීමට මග පාදා ගත හැකිය. එසේම ක්ෂණයකින් ඔවුන් සමග සම්බන්ධ වී තොරතුරු හුවමාරු කර ගත හැකිය.


‘තිලක සිත’ බ්ලොග් අඩවියේ පළවූ සෑම සටහනකටම වාගේ මම ප්‍රතිචාර දැක්වූයෙමි. තිලකේද මාගේ ‘අධ්‍යාපන රසකතා’ බ්ලොග් සටහන්වලට ප්‍රතිචාර දැක්වූයේය. මේ අතරතුර අපි නිරායාසයෙන්ම වාගේ Facebook මිතුරන් බවටද  පත්වූවෙමු. හෙල්මලී ගුණතිලකගේ  “Hot Chocolate Days” බ්ලොග් සටහන් වලටද ප්‍රතිචාර දක්වූ තිලකේ  අහම්බයෙන් මෙන්, මා හෙල්මලීගේ පියා බවද දැනගෙන තිබේ.       


කුඩා කාලයේ පෑනේ මිතුරන් ඉතා සීමිත ගණනක් ඇසුරු කළ අපටද, අද  නව තාක්ෂණය වැළඳ ගැනීමෙන් පසු පරිගණකයට සහ අන්තර්ජාලයට පින් සිදු වන්නට,  දුසිම්  ගණනින්  “Blog මිතුරෝ ”  හෝ  “Facebook මිතුරෝ ” සිටිති. 


මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ මගේ ෆේස්බුක් පිටුවේ මෙම පණිවුඩය දැක්කෙමි. 


“මම මේ දවස්වල බෙල්බර්න්  ඉන්නේ. නිවාඩුවකට ඇවිත්. දකින්න කතා කරන්න ආසයි . මොබයිල් නොම්මරේ දාන්න.- තිලකසිරි” 


මෙම පණිවුඩයට මම කඩිණමින්ම මෙසේ පිළිතුරු යැව්වෙමි. 


“හරිම සතුටුයි. ඕස්ට්‍රේලියා පැමිණි බව දැනගත්තා. ඒ උනත් මෙල්බර්න් බව දැන සිටියේ නැහැ. මගේ මොබයිල් අංකය මෙන්න ………   ඔබ නතරවී සිටින්නේ කොහෙද? ටෙලිෆෝන් අංකයක් දාන්න. ඉක්මණට හමුවෙමු.” 


මේ බව හෙල්මලී ටද දැන්වූ විට, ඇයද  මහත් සතුටට පත්වී 

“දැන් නිවාඩු කාලේ නිසා මාත් ගෙදරනේ. අපේ ගෙදරදීම හමුවීමට කතාකර ගනිමු” යයි  යෝජනා කළාය.    


තිලකසිරිගේ දියණියන් දෙදෙනෙකු මෙල්බර්න්හි විශ්ව විද්යාලයයක අධ්‍යාපනය ලබන බව මා දැනගත්තේ හෙල්මලීගෙනි. ඒ දෙදෙනාද අපේ හමුවට එකතු කර ගන්නා බව ඇය පැවසුවාය.


අපි ජනවාරි මස මුල් සතියේ දිනක හෙල්මලී දියණියගේ ගෙදරදී හමුවීමු. ඉංජිනේරු පියා සහ තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සුරතල් දියණියන් දෙදෙනාද යන තිදෙනාම අපට අමුත්තෝ වූහ.ඔවුන් සමග ගතකළ සැන්දෑව ඉතාමත් සොඳුරු එකක්ම විය. 


අප නොයෙකුත් දේ කථා කළෙමු. අධ්‍යාපනය, තාක්ෂණය, සාහිත්‍යය, පොත්පත්, විශ්ව විද්‍යාල ජීවිතය  වැනි බොහෝ  දේ ගැන පැය තුන හතරක් කතාබස් කළෙමු. තවත් කථා කිරීමට දේ තිබුණත් කාළය එයට හරස් විය.   


එදා තිලකේ  ඉඟියකින් මෙන් මාගෙන් විමසූ “1960 ගණන්වලදීත් කොම්පියුටර් තිබුණද?”  වැනි පැණයට මා ගැලපෙන පිළිතුරක් නොදුන් නිසා, ඒ සම්බන්ධව මෙසේ අතීත ආවර්ජනයක් කිරීම ගැලපේ යයි සිතමි. 


අපට පළමු වරට පරිගණකයක් දකින්නට ලැබුණේ 1960 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබද්දීය. එවකට අපට  තිබුණු  එකම විශ්ව විද්‍යාලයය,   ශ්‍රී  ලංකා විශ්ව විද්‍යාලයයි. එහි කලා අංශය පේරාදෙණියේ තිබුණු අතර   විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ ස්ථාපනය කර තිබුණේ  කොළඹ මණ්ඩපයේය.  1960 වසර අවසානයේදී අප විශ්ව විද්යාලයයට ජපානයෙන්  “කොම්පියුටරයක් ” තෑගී ලැබී ඇති බවට ආරංචියක් කටින් කට පැතිර ගියේය. ඊට දින කිහිපයකට පසු  ජපානයෙන් විශ්ව විද්යාලයයට තෑගී ලැබී තිබුණු  “කොම්පියුටරය ” විද්‍යා අංශයේ සිසුන්ට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බවත්,  ඒ ගැන උනන්දුවක් දක්වන සිසුන්ට ඉදිරි දිනකදී ප්‍රධාන ශාලාවට රැස්වන ලෙසටත්  දැන්වීමක් ලේඛකාධිකාරී වරයාගේ අත්සනින් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර තිබිණ. එම හඳුන්වාදීම කරනුයේ භෞතික විද්‍යා මහාචාර්ය වරයාව සිටි, A.W. මයිල්වාගනම් මැතිතුමා බව වැඩිදුරටත් සඳහන්විය.

 

විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වූ  අප සියලු දෙනාම, නියමිත දින   King George ශාලාවට රැස්වී මේ අරුම පුදුම යන්ත්‍රයේ විශ්මය ජනක බව පිළිබඳව කළ විස්තරය සාවධානව අසා සිටියෙමු. එදින ඒ මහේශාක්‍ය යන්ත්‍රය අපට පෙන්වා හොඳින් විස්තර කර, එහි වැදගත් කම  පෙන්වා දුන් මහාචාර්ය තුමා  “ නුදුරු අනාගතයේදී පරීගණක නොමැතිව කිසිම කාර්යයක් කළ නොහැකි වේ” යයි අප පුදුම කරමින් ප්‍රකාශ කළේය.   


එදා මහ ඇදුරු තුමා අපට හඳුන්වා දුන් “කොම්පියුටරය සහ අනිකුත් උපාංග” කිලෝග්‍රෑම් 50 ට වඩා  වැඩි බරකින් යුක්ත වන්නට ඇත. 


උපකරණ හඳුන්වා දීමෙන්  පසු මහාචාර්ය තුමා, පරිගණක යතුරු පුවරුවේ යමක්   ටයිප් කර, එහි බොත්තමක් ඔබා පරිගණකය තුළ තිබුණු අඟල්  9 x 9 ප්‍රමාණයේ ‘Floppy Disc’ ලෙස නම් කළ,  පැතලි තුනී තහඩුවක් වැනි දෙයක්  පිටතට  ගත්තේය. එය අපට පෙන්වා තමන් ටයිප් කළ වගන්තිය එහි ලියවී සුරක්‍ෂිතව ඇති බවත්, තව විනාඩි කිහිපයකින් ඒ කුමක්ද යන්න අපට දැක ගත හැකි වන බවත් ප්‍රකාශ කළේය. මෙය අසා අප කාගේත් කුතුහලය දෙගුණ තෙගුණ විය.

 

මීළඟට, දිග වයරයකින් විදුලි පේණුවකට  ඈඳා තිබුණු ‘ප්රින්ටරය’ ලෙස නම්කළ තවත් උපකරණයකට  එම Floppy Disc එක ඇතුල් කර,  ඔහු තවත් යම්කිසි සංඥාවක් ටයිප් කළේය.  එසේ කළ විට, ‘ක්‍රාස්..ක්‍රාස්’ යන ශබ්දයක්ද සමග උපකරණයේ පිටුපසට සවිකර තිබුණු කඩදාසි රෝලක් කරකැවී එහි පිටුවක්  පිටතට පැමිණියේය. 

මහාචාර්ය තුමා එම කඩදාසිය කඩා අපට පෙන්වීය. මහත් පුදුමයකි.!  එහි,   

“Welcome to the latest way of preparing documents”  

යන වගන්තිය, විශාල අකුරෙන්   පිටුව පුරා මුද්‍රණය වී තිබිණ. එය  අපට හොඳින් බලාගැනීම පිණිස අතින් අත යැවීමටද  එතුමා කාරුණික විය.  දශක හයකටත් වඩා ඉහතදී  පරීගණකය  පිලිබඳ මාගේ පළමු අත්දැකීම මෙසේ සනිටුහන් කරන්නේ මහත් අමන්දානන්දයකිණි.


මහාචාර්ය තුමා අපට හඳුන්වා දුන් “Desktop”  පරිගණකය, එහි යතුරු පුවරුව සහ ප්‍රින්ටරය ඇටවීමට සහ එයට සම්බන්ධ වෙනත් විදුලි සැපයුම් මෙවලම් ආදිය සඳහා තරමක් විශාල මේසයක් අවශ්‍යව තිබිණ.  (මේ කිසිවක ඡායාරූපයක්වත් නොමැත.)  


එකළ කොම්පියුටරයක සහ අදාළ උපාංග වල හැඩිදැඩි බව සහ වැයවන ඉඩකඩ ගැන අවබෝධයක් ලබාගැනීමට, අන්තර්ජාලයෙන් ලබාගත් මෙම ඡායාරූපය, ස්තුති පූර්වකව ඇතුළත් කරමි.

 

                                                                                                   

ඒ කාලයේ කාර්යාලයයක desktop                                            කොම්පියුටරයක් භාවිත කරන ආකාරය 


විශ්ව විද්‍යාලයයෙන් පිටවී රාජ්‍ය සේවයේ නිරත වූ මුල් දශක කිහිපය තුළදීවත් අපට පරිගණක භාවිතය නුහුරු දෙයක්ම විය. විශ්‍රාම ගැනීමට ආසන්න වූ වකවානුවේදී රජයේ මැදිහත් වීමෙන් පැවැත්වූ Computer awareness නමැති වරකට පැය කිහිපයකට පමණක් සීමාවූ පාඨමාලා කිහිපයක  උදව්වෙන් ඉංග්‍රීසියෙන් පමණක් පරිගණකය භාවිත කිරීමේ සරල ක්‍රමවේද අවබෝධ කරගත හැකි විය.


තවත් වසර කිහිපයක් ගතවනවිට, මාහට පෞද්ගලික desktop  පරිගණකයක් මිලදී ගැනීමට වරම් ලැබිණ. මෙය කාලීන අවශ්‍යතාවයක් බව මට හොඳින් ඒත්තු ගොස් තිබිණ. මාස කිහිපයකදීම පරිගණක සුරුවිරු කම්  සැලකියයුතු ප්‍රමාණයක් ස්වයං අධ්‍යයනය මගින් ඉගෙන ගැනීමට  හැකි විය. එහෙත් සිංහල යතුරු පුවරුවකින් ලියවිල්ලක් සකස් කිරීම කිසි සේත් කළ නොහැකි අභ්‍යාසයක්ම විය. 


මේ අතරතුර අපට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය  වීමට  සිදුවිය. මේ වන විටත් අප දියණියන් තිදෙනා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවන් වී සිටියහ. පරිගණක හැසිරවීම ගැන මනා පරිචයක් ඇති හෙල්මලි දියණිය මාගේ පරිගණකයට ‘Unicode’ නමැති පදමාලාව ඔස්සේ සිංහල ටයිප් කිරීම හඳුන්වා දුන්නාය.  සිංහල වචනය උච්චාරණය වන ආකාරයට  ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරන විට එය සිංහල භාෂාවෙන් පරිගණක  තිරයේ දිස්වීම විශ්වකර්ම නිර්මාණයක් බව මට හැඟී ගියේය. 


Desktop පරිගණක භාවිතයෙන් ඉවත් වෙමින් Laptop පරිගණක කලඑළි බසිමින් තිබුණු මේ කාලයේ මටද  Laptop පරිගණකයක හිමිකරු වීමේ වාසනාව උදාවිය. සති කිහිපයකදීම මට  පරිගණක යතුරු පුවරුවේ ඉංග්‍රීසි අකුරු භාවිත කර  සිංහල වචන  ටයිප් කිරීම පහසුවෙන් කර, මාසයකදී පමණ යතුරු පුවරුව හැසිරවීම ඉතා හොඳින් ප්‍රගුණ කර ගත හැකිවිය. හෙල්මලී දියණිය කිසි ගුරු මුෂ්ටියක් ගැන නොසිතා පරිගණක හරඹයේ short cuts, applications,  special features ආදී සියල්ල පැහැදිලි කර දුන්නාය. වැඩිමහලු “ගෝලයෙකු” වූ මාහට ඒ සියල්ල එක වරටම අවබෝධ කර ගත හැකි වීම ගැන ඇය මහත් සතුටට පත්වූවාය. මාගේ ඊළඟ පරිගණක අභ්‍යාසය වූයේ Blog පිටුවක් නිර්මාණය කිරීම සහ Facebook ගිණුමක් සකස් කර ගැනීමයි. හෙල්මලීගේ උපදෙස් අනුව මේවාද කඩිණමින්ම කරගත හැකිවිය.  


මෙතරම් දිග විස්තරයක් කළේ, කලින් කිසිදිනක හමුවී කතාබස් කර නොතිබුණු පෑනේ මිතුරෙකුත් නොවන Blog සහ Facebook මාධ්‍ය වලින් පමණක් හමුවී දැන හඳුනාගෙන තිබුණු ‘නොදුටු මිත්‍රයා’ අහම්බෙන් හමුවීම ගැන ගැලපෙන පිවිසුමක් ලබාගැනීමටයි.    


“අධ්‍යාපන රසකතා” යන  මැයින් Blog පිටුවක් ආරම්භ කළ මා.  මාගේ මුල් සටහන ඉංග්‍රීසියෙන් පළ කළේ, එවකටත් සිංහලෙන් පරිගණකය හැසිරවීමේ ‘කෝඩු කාරයෙකු’ වූ නිසා Blog ප්‍රවීණයන්ගේ සමච්චලයට භාජන වේදෝයි සැකයක්ද  ඇතිවූ නිසාය.


ඉංග්‍රීසියෙන් ලියූ මාගේ පළමු Blog සටහනට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.


මෙයින් මන්දෝත්සාහයට පත් නොවූ මා, ඊට පසු පළකළ, සිංහලෙන් ලියූ සටහන් වලට හොඳ ප්‍රතිචාර ලැබිණ. මෙසේ නිරතුරුවම ඇගයීම සහිත ප්‍රතිචාර දැක්වූ එක්  අයෙකු වූයේ ‘තිලක සිත’ Blog සටහන් ලියන තිලකසිරි ඒකනායක සහෘදයාය. ඉක්මණින්ම තවත් Blog කරුවන් රාශියක් මා සමග සම්බන්ධ වී ප්‍රතිචාරද දක්වන්නට විය. මේ නිසාම බ්ලොග් සටහනක් ලිවීම මහත් ප්‍රබෝධයක් ගෙන දෙන්නක් විය. කෙසේ වෙතත් දැනට නම් ඒ ප්‍රබෝධය ටිකින් ටික වියැකී  යන බවක් දැනේ. එයට හේතුව නොදනිමි.  


පසුගිය වසර හයක් වැනි කාලය තුලදී මා හට Blog සටහන් 200 පමණ පළකිරීමට හැකිවිය. ඒ සම්බන්ධයෙන් තිලකේ පවසන්නේ මෙසේය: 


 “මම දයාවී  ගේ බ්ලොග් අඩවියට ගොඩ වී බැලුවෙමි . එය  සාරගර්භ ලිපිවලින් යාවත්කාලින වෙමින් තිබිණි . ඊට එකතු වුනු ලිපි අතර විද්‍යාව, කාලගුණය, ගුරුසේවය, සීෂෙල්ස් දූපතේ ජිවිත කතාද ඇතුලත් වුණූ  නිසා මගේ කුතුහලය තීව්ර විය.” 


එමෙන්ම මා ලියා අවසන් කර, පසුව මුද්‍රණය කළ  පොත් කිහිපයකම අත්  පිටපත් සිංහලෙන්  පරිගණක ගත කර ගැනීමද  තනිවම කරගත හැකි විය. තිලකේ ගේ. ‘තිලක සිත’ 1 සහ 2 පොත් දෙකම මට කියවීමට අවස්ථාව  ලැබිණ. ඔහුගේ පොත්වල දකින්නට ලැබෙන සරල භාෂා විලාසය, විද්‍යා පාරිභාෂික වචන හැකිතරම් අඩුවෙන් භාවිතය, අවශ්‍ය පරිදි රූප සටහන් සහ  ප්‍රස්තාර  යෙදීම වැනි දේ මාගේ පොත් වලටද ආදේශ කරගැනීම සඳහා මට  අභාෂයක් ලැබුණු බව සඳහන් කරන්නේ සතුටිනි.


සිරිත් පරිදි ‘Facebook’ සටහන් වලින් නිතර හමුවෙමු. අවස්ථාවක් ලැබුණොත් යළි පෞද්ගලිකව  හමුවී කතාබස් කරමු.


Wednesday, 11 January 2023

‘දිය ලබු ගැටය’ සහ ‘ගස් ගැටය’

සොබා දහමේ සම්මත නීති  රීති වලට එරෙහි නොවෙමින්, එහි ඇති සමහර සිත් ගන්නා සුළු නිමැවුම් විවිධ ආකාරයට හසුරවා නව අදහස් ජනිත කරවීමේ සහජ හැකියාවක් මිනිසාට තිබේ. නව තාක්ෂණය මගින් සොයාගෙන තිබෙන බොහෝ  සුරු විරු කම් වලින් කරනු ලබන විස්කම් වලට වඩා ස්වභාවික දේ හසුරුවා දක්වන දස්කම් අගයෙන් වැඩියයි සිතේ. 


මෙහි දැක්වෙනුයේ එවැනි නිමැවුම් කිහිපයකි.


  1. මෙය “දියලබු ගැටය” ලෙස නම් කළ හැකිය 

 

දිය ලබු ගැටය 

 

කුකර්බිටේසී (Cucurbitaceae) ශාක කුලයට අයත් මෙම දිය ලබු විශේෂය හැඳින්වෙන්නේ Lagenaria siceraria යන උද්භිද විද්‍යාත්මක නමින්ය.  මෙහි විශේෂත්වයක් වන්නේ එම ශාකයේ ඵලය  බෝතලයක හෝ ප්ලාස්කුවක හැඩය ගෙන දිග ‘බෙල්ලක්’ සහිතව වර්ධනය වීමයි. මෙම ඡායාරූපයේ දැක්වෙන පරිදි මෙම දියලබු වැලෙහි හටගත් ‘ගෙඩි මල්’ (Female flowers)  දෙකක් පරාගණය  වී සෑදුනු හෝ පරාගණය කර, සකස් කර ගත් කුඩා ඵල (ගෙඩි) දෙකක් දක්ෂ ලෙස හසුරුවා මෙම ගැටය සාදා තිබේ.  මෙම ලබු  වැල  වැවූ තැනැත්තා ඉතාමත් මහන්සියකින්, මනා  සංයමයකින් සහ නොපසුබට උත්සාහයකින්  යුක්තව මෙම සූක්‍ෂම නිර්මාණය කරන්නට ඇතැයි  සිතිය හැකිය.

ඝර්ම කලාපිය රටවල වැවෙන වට්ටක්කා, පිපිඤ්ඤා, කොමඩු, ලබු, පුහුල්, වැටකොලු, කරවිල වැනි ආහාරයට ගන්නා එළවලු වර්ග සහ ආහාරයට නොගන්නා ඵලද  දරන විශේෂ ඇතුළුව   ශාක විශේෂ 800 ක් පමණ  මෙම කුලයට අයත්ය.   




මෙම කුලයේ ශාක සියල්ලම පාහේ වැල් වශයෙන් ඇදී යන  ශාක වේ. මේවායේ බොහෝ විට එකම ශාකයේ  පූමංගි  සහ ජායංගී  පුෂ්ප වෙන වෙනම හට ගනී. ජායංගී පුෂ්පයේ පහලින් කුඩා ඵලය පහසුවෙන් දැකගත හැකිය. පරාගණය සඳහා අවශ්‍ය පරාග නිපදවනුයේ පූමංගි පුෂ්ප මගින්ය. (රූප සටහන බලන්න)


මෙහි ලබූ ගැටය සකස් කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ලැබූ වැලේ කිට්ටුවෙන් පිහිටි හෝ

වෙනම වැල් දෙකක හටගත්  සාර්ථක පරාගණය සිදුවී වර්ධනය වන ලපටි ඵල (ගෙඩි) දෙකකි. 

ලපටි අවස්ථාවේදී තරමක් බූව සහිත ගෙඩි ඉතාමත් ප්‍රවේශමෙන් ස්පර්ශ කළ යුතුය. බාහිර ඩහදිය වැනි අහිතකර දෙයක් හෝ වෙනත් විෂ සහිත දෙයක් තැවරුණහොත් ගෙඩි කුණුවී යාමට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත් සෙන්ටිමීටර් හත අටක් දිගට වැඩුණු ලපටි ගෙඩි දෙක ඉතාමත් ප්‍රවේශමෙන් නමා ගැටය ආරම්භ කළ හැකිය. කුඩා ගෙඩි වල වර්ධනයත් සමග, දින දහයක් දොළහක්  තිස්සේ දිනපතාම ගැටය   ක්‍රමක්‍රමයෙන් අවශ්‍ය ප්‍රමාණයට තද කර අවශ්‍ය අවසාන ගැටය නිර්මාණය කර තිබේ. මෙසේ සාර්ථකව සාදාගත් ‘ලබු ගැටය’ කෘමීන් වැනි බාහිර උවදුරු වලින් ප්‍රවේශම් කර ගත් විට සති අටකදී පමණ මෙම ප්‍රමාණයට විශාල වේ. ඒ වන විට මේ ආකාරයේ සම්පූර්ණ ‘දියලබු ගැටය’ ලබාගත හැකිය. 


විස්තර කිරීමට පහසු වුවත් මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා  නිර්මාණකරු අඩුම වශයෙන් හතර පස් වතාවක්වත් උත්සාහ කර අවසානයේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 

 

  1. ‘ගස් ගැටය’ 


මෙම රූපයේ දැක්වෙන්නේද එකිනෙක අසල පිහිටි වර්ධනය වෙමින් පවතින කුඩා ශාක දෙකක් ප්‍රවේශමෙන් නමා ගැටයක් සාදා,  පසුව ස්වාභාවික වර්ධනයට  සලස්වා මහඟු නිර්මාණයක් කර ඇති ආකාරයයි. මේ  සඳහාද  යොදාගෙන ඇත්තේ ඝර්ම කලාපීය රටවල බහුලව වැඩෙන    (මල් මාර  හෝ මැයි මාර) යන නම් වලින් හැඳින්වෙන Delonix regia  ශාකයයි. රනිල කුලයට අයිති වෘක්ෂයක් වන මෙම ශාකය අයත් වන්නේ Caesalpinioideae උප කුලයටය. මෙම ශාකයේ 

   

නිජබිම මැඩගස්කරය වේ. ‘විචිත්‍රවත්’ යන අර්ථය ගෙන දෙන  (flamboyant) සහ ‘වනාන්තරයේ ගිනි දැල්ල’ ලෙස දැක්වෙන  (flame of the forest) යන නම් වලින්ද හැඳින්වෙනුයේ මෙම  ‘මල් මාර’ ශාකයයි. මෙම අන්වර්ථ නාම ලැබී ඇත්තේ මෙම ශාකයේ පුෂ්ප දරන කාලයට එහි පැතලි  හැඩයකින් යුක්ත තුරු මුදුන, කහ පැහැය මිශ්‍ර තද රතු පැහැයෙන් දිදුලන  පුෂ්ප වලින් වැසි ගිය විට, එය  ගිනි ජාලාවක් ලෙසට ඈතට දිස් වන බැවින්ය. 

 

මෙම ගස් ගැටයේ නිර්මාණකරු බලාපොරොත්තු වන්නට ඇත්තේ පැළ දෙක එකට ගැට ගසා අවසානයේදී, විශාල ‘පිරිමි ගැටයක්’ (Reef Knot)  සහිත නිර්මාණයක් කිරීමට බව අනුමාන කළ  හැකිය. එසේ වුවත් ඔහුගේ හෝ ඇයගේ එල්ලය වෙනස් වී වෙනත් ආකාරයක ගැටයක් ලැබී  ඇතැයි  සිතිය හැකිය. පිරිමි  ගැටය තරමටම  විශ්වාසදායක නොවන මෙම ගැටය වෙනත් විවිධ නම් වලින් හැඳින්වේ. ‘පිරිමි ගැටය’ සෑම අතින්ම සමමිතික (symmetrical) ගැටයක් වන අතර, එය පාර්සලයක් බැඳීම, එකාකාර ලණු  දෙකක් එකට ගැට ගැසීම, සපත්තු නූල ගැට ගැසීම වැනි බොහෝ අවස්ථා වලදී භාවිත කරනු ලබන, එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය ප්‍රායෝගික  ගැටයකි.    


ඉහත දැක්වෙන ආකාරයට මහත් පරිශ්‍රමයක් දරා නිර්මාණය කර තිබෙන මෙම ‘ගස් ගැටය’ හොඳින් පරික්ෂා කළවිට, එය පිරිමි ගැටයෙන් වෙනස් වී ඇත්තේ මන්ද යන්න වටහා ගත හැකිය. (මේ සමග ඇති ‘පිරිමි ගැටය’ ආකෘතිය බලන්න.)

  1. මෙම නිර්මාණය කිරීමේ පළමු පියවරේදී, ඡායාරූපයේ දකුණු පැත්තේ ඇති (අංක 1) පැළයේ කඳ, එහි පෙනෙන  ආකාරයට වම් පැත්තට නමා, නැවත දකුණු පැත්තට පුඩුවක්  සකස් කර තිබේ. එමෙන්ම වම්  පස ඇති (අංක 2) පැළයේ කඳද ඒ ආකාරයටම දකුණු පසට නමා එවැනිම පුඩුවක්  වම්  පසට සාදා ඇත. 

  2. ‘පිරිමි ගැටය’ සෑදීම සඳහා දෙවෙනි පියවරේදී කළ යුත්තේ (අංක 1) පැළයේ ශාක කඳෙහි දකුණට නැමෙන කොටස උඩින්,  (අංක 2) ශාකයෙහි අග කොටස නමා එම අග්‍රය  (අංක 1) ශාකයේ වම්පස පුඩුව  ඇතුළෙන් ගැනීමයි. 

  3. මෙසේ කළ විට අංග සම්පූර්ණ  ‘පිරිමි ගැටයක්’ සකස් කර ගත හැකිය. 

 

මෙහි දැක්වෙන  ආකාරයට ‘ගස් ගැටය’ නිර්මාණය කිරීමේදී  කර තිබෙන්නේ ඉහත B පියවරේදී (අංක 2) ශාකයේ අග කෙලවර (අංක 1) ශාකයේ වම්පස පුඩුව (loop) තුළින් යවා,  (අංක 1) ශාකයේ අග කොටස  (අංක 2) ශාකයේ පුඩුව තුළින් යැවීමයි. මේ නිසා ගැටයේ සමමිතික බව වෙනස් වී වෙනත් ආකාරයක් ගැටයක් සකස් වී තිබේ.


අපගේ ගෙවතු වලත් මෙවැනි ස්වභාවික වස්තු සම්බන්ධ කර ගනිමින් නව නිර්මාණ කිරීම සඳහා සිත් යොමු කිරීමෙන් ඉමහත් ආශ්වාදයක් ලබාගත හැකි වනු ඇත.


(ඡායාරූප ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි. ඒවායේ මුල් අයිති කරුවන් අවිනිශ්චිත වූවත් ඔවුන්ටද මාගේ ප්‍රණාමය පුද කරමි.)


Thursday, 29 December 2022

මාගේ 200 වන Blog සටහන

මා පළමු බ්ලොග් සටහන ලියා පළ කළේ  2016 දෙසැම්බර් මස මුල් සතියේය. මේ වන විට එම ව්‍යායාමයට වසර හයක් සම්පුර්ණ වී තිබේ. 2022 වසර අවසන් වීමට කලින් මාගේ 200 වන බ්ලොග් සටහන කෙසේ හෝ පළකළ යුතු බවට දැඩි අධිෂ්ඨානයක්ද සිතේ  තිබුණි. මේ සඳහා වෙනත්ම මාදිලියක බ්ලොග් සටහනක් ලිවීම අවශ්‍ය විය. මේ නිසා, ඒ සඳහා තෝරා ගත්තේ  වෙනත් වර්ෂ වලට වඩා වෙනස් ආකාරයක ව්‍යාකුල බවක් නිරතුරුවම දකින්නට ලැබුණු 2022 වර්ෂයේ තොරතුරු කිහිපයකි.. 

මේ සඳහා 2022 වර්ෂයටම ආවේණික ලක්ෂණ කිහිපයක් ගැන මුලින්ම සිත් යොමු කළෙමි 

තව පැය කිහිපයකින් 2022 වසර අවසන්වී ගොස් සදහටම මතකයෙන් ඉවත් වනු ඇත. අවසන්වන මෙම වසර කුතුහලය දනවන වෙනත් බොහෝ දේ සිදුවූ වසරක් ලෙසද  සැලකිය හැකිය. මෙවැනි සිද්ධි කිහිපයක් ඉතාමත් සරල ආකාරයකට මෙනෙහි කිරීම මෙම බ්ලොග් සටහනේ දෙවෙනි අරමුනයි. 

2022 වසරේ පෙබරවාරි 22 දින ඉතාමත් සුවිශේෂී දිනයක් ලෙස සැලකිය හැකිය. සාමාන්‍ය ව්‍යවහාරයේදී එම දිනය දැක්වෙනුයේ 2 / 22 / 22  ලෙසටය.   2 ඉලක්කම් වලින් පමණක් දැක්වෙන මෙම දිනය ඉංග්‍රීසියෙන් ‘TWOSDAY’ (දෙකේ ඒවා දිනය) යනුවෙන්ද නම්කර තිබේ  මෙහි තවත් අමුත්තක් වනුයේ 2022 පෙබරවාරි 22 දිනය ඇත්තවශයෙන්ම TUESDAY (අඟහරුවාදා)  දිනයක්ද  වීමයි.  මෙම දිනය දක්වන සටහනේ ඇති සිත් ඇද ගන්නාසුළු ලක්ෂණ නිසාම, එදින සැමරීම සඳහා විවිධ සමරු භාණ්ඩද නිෂ්පාදනය කර තිබේ  

 

2/22/22 දිනය සිහිවීම පිණිස නිෂ්පාදනය කර තිබෙන කෝප්පයක් 

භාවිතය අනුව මෙම දිනය  තවත් ආකාරයකින් 22/02/22 ලෙසද ලිවිය හැකිය. මෙහි දැක්වෙන ආකාරයේද යම්කිසි රටාවක් පෙන්නුම් කෙරේ. මෙම රටාව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ palindrome ලෙසටය.  (a number or word that can be read the same way forwards and backwards is a palindrome ) මුල සිට අගටත් අග සිට මුලටත් එකම ආකාරයට කියවෙන වචන හෝ වාක්‍ය ඛණ්ඩ සහ අංක  මේ නමින් හැඳින්වේ. උදාහරණ:  ‘වඩුමඩුව’ , ‘රතුවතුර’, ගමටමග,  malayalam,  civic, radar, level, madam, refer, සහ 23532,  8001008 වැනි සංඛ්‍යා

22 / 02 / 2022   දිනය නව තාක්ෂණයේ ‘ඩිජිටල්’ ක්‍රමයේ ඉලෙක්ට්‍රොනික අංක වලින් දිස්   වනුයේ මේ ආකාරයටය. 

මෙහිද තවත් සුවිශේෂ ලක්ෂණයක් වනුයේ, එය උඩ   යටිකුරු කර සටහන් කිරීමේදීත්  එලෙසම දකින්නට ලැබීමයි. මෙම ලක්ෂණය ambigram ලෙස ඉංග්‍රීසියෙන් විස්තර කරනු ලැබේ. (An ambigram is a word, number, or other figure that looks the same or can still be read when viewed (or rotated) upside down.) පහත රූප සටහනේ වම්පස දැක්වෙන 22 02 2022 සමග ඇති සිරස් ඊතලයෙන් පෙන්වන්නේ  එය  සිරස්ව ඇති බවයි.  එහි දකුණු පසින් ඇත්තේ එම රූප සටහන උඩ  යටිකුරු කළවිට දකින්නට 

ලැබෙන ආකාරයයි. එසේ  කළවිටද අංක වල ඇසට පෙනෙන ස්වභාවයේ කිසිදු වෙනසක් දකින්නට නොලැබේ. මෙය  ambigram ලක්ෂණයයි  

මෙහි දැක්වෙනුයේ වම්  පැත්තේ ඇති සටහන සම්පූර්ණයෙන්ම අංශක 180 ක් කරකැවීමෙන් පසුවත් එහි අංක ඒ ආකාරයටම තිබෙන බවයි. බිංදුව සහ දෙක යන අංක දෙකෙහි ඩිජිටල් ව්‍යුහය නිසාම මෙම සුවිශේෂී ලක්ෂණය බලපා  තිබේ.

2022 වසරේ පෙබරවාරි 20 වන දින සිට ඉදිරියට පැවතී සම්පූර්ණ සතියේ සෑම දිනයක්ම දැක්වෙන ඩිජිටල් සංඛ්‍යා මාලාවම palindrome වීම තවත් විශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය පහත රූ ප සටහනෙහි දැක්වේ. 

   

2022 වසරේ ඉතිහාසගත වන වෙනත් සිදුවීම්

මේ සමග ඇති ප්‍රශ්න මාලාවට ගැලපෙන තොරතුරු රූප සටහන් ආශ්‍රීතව සපයා ගැනීමෙන් වර්ෂය තුළ සිදිවු විවිධ සිද්ධි පිළිබඳව සමාලෝචනයක් කරගත හැකි වනු ඇත. (පිළිතුරු ලිපිය අවසානයේ ඇත)    



Q 1.   හිස් තැන පුරවන්න. 2022 නොවැම්බර් මාසයේදී ලෝක ජනගහනය බිලියන …………… ඉක්මවීය.

  1. හතක් 

  2. අටක් 

  3. නවයක් 

  4. දහයක්   



Q 2.  2022 ජූලි මාසයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කුමන රටක හිටපු අගමැති වරයෙක්ද? 

  1. ජපානයේ 

  2. චීනයේ 

  3. රුසියාවේ  

  4. දකුණු අප්‍රිකාවේ 

  


Q 3.  රුසියාව විසින් යුක්‍රේනය   ආක්‍රමණය කරන ලද්දේ 2022 වසරේ කවදාද ?

  1. ජනවාරි 22 දා 

  2. අප්‍රියෙල් 17 දා 

  3. මාර්තු 14 දා 

  4. පෙබරවාරි 24 දා 

 

Q 4. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ  රැජින, 2022 සැප්තැම්බර් මාසයේ අභාවප්‍රාප්ත වුයේ වසර ………… රාජ්‍යය කිරීමෙන් පසුවය.  (හිස් තැන පුරවන්න)

  1. 62 ක් 

  2. 46 ක් 

  3. 70 ක් 

  4. 50 ක්  



Q 5. එක්සත් රාජධානියේ අගමැති වරයෙකු සේවයේ යෙදී සිටි අඩුම කාලය 2022 දී විය. එම කාලය කොපමණද?

  1. මාස 2 කි.

  2. දින 18 කි.

  3. දින 95 කි. 

  4. දින 50 කි    

 

 

 

Q 6.   2022 වසරේ ලෝක පාපන්දු ශුරතාවය දිනා ගනු ලැබුවේ කුමන රටද?

  1. බ්‍රසීලය 

  2. ජර්මනිය 

  3. ආර්ජන්ටිනාව 

  4. ප්‍රංශය 

 

.Q 7.  2009 වසරෙන් පසු උපත ලැබූ අයට, 2022 වසරේ සිට දුම්වැටි අලෙවිය තහනම් කරන ලද්දේ කුමන රටේද?

  1. නවසීලන්තයේ 

  2. ජර්මනියේ 

  3. ප්‍රංශයේ 

  4. කැනඩාවේ 


Q 8.  මෙම වගන්තියෙන් දැක්වෙන අදහස හරිද? වැරදිද? - “ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක්, සාර්ථකව මිනිසෙකුට බද්ධ කරන ලද්දේ 2022 වසරේදී ය.” 

  1. හරි 

  2. වැරදි  

 


Q 9. 2022 වසරේ ශීත ඍතු ඔලිම්පීක් ක්‍රීඩා තරඟ පවත්වන ලද්දේ කුමන රටේද ?

  1. ඉතාලියේ කොර්ටිනා ඩි’අම්පෙසෝහි දී 

  2. ජපානයේ ටෝකියෝහි දී

  3. ස්වීඩනයේ ස්ටොක්හෝම්හි දී 

  4. චීනයේ බීජිංහි දී     

                                                                                                   


 Q 10.  අධික ජලගැලීම් නිසා, 2022 අගෝස්තු මාසයේදී මරණ දහසක් පමණ සිදුවූ බැවින් එම තත්ත්වය, “දේශගුණ ව්‍යසනයක්” බව ප්‍රකාශයට පත්කළේ….

  1. පාකිස්තානයයි.

  2. හයිටි රාජ්‍යයයි 

  3. ආර්ජන්ටිනාවයි 

  4. වියට්නාමයයි     


 


Q 11. විල් ස්මිත් නළුවා විසින් 2022 ඔස්කාර් ප්‍රදාන සිදුකළ අවස්ථාවේදී, කම්මුල් පහරක් එල්ල කරන ලද්දේ කාටද?

  1. කෙවින් හාර්ට් ට 

  2. වෙවිඩ් චැප්පෙල් ට

  3. ක්‍රිස් රොක් ට 

  4. ක්‍රිස් ටක් ට    


තොරතුරු අන්තර්ජාලය සහ පොතපත ඇසුරෙනි.