Monday, 22 August 2022

ඇසට කඳුලක් අවශ්‍ය වන්නේම ද?

 ඇසට කඳුලක්  අවශ්‍ය වන්නේම ද?   

මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් සමීප සහ කාටත් හුරුපුරුදු කඳුළු පිළිබඳව විවිධ අදහස් උදහස් සහ මතවාද බහුලය. බොහෝ විට කඳුළු සහ හැඬීම අතර සම්බන්ධයක් තිබෙන බවද දකින්නට ලැබේ. එහෙත් කුඩා දරුවෙකු හඬමින් කඳුළු වැගිරීම සහ වැඩිහිටියෙකුගේ  හැඬීම සහ ඇස්වල කඳුළු දකින්නට ලැබීම එකිනෙකට බොහෝ වෙනස් හේතු නිසා සිදුවිය හැකිය.

 

නවීන විද්‍යාවෙන් ලබාගෙන තිබෙන දත්ත අනුව, මත්ස්‍යයින් හැර අනිකුත් සියලුම ප්රුෂ්ඨවංශි  සතුන්ගේ දෘෂ්ඨි අවයවය වන ඇස් වල, බාහිර ලෝකයට නිරාවරණය වන ඉතාමත් සියුම් කනීණිකාවේ (cornea) ආරක්ෂාව සඳහාත්, ඇස්  වල තෙතමනය පවත්වා ගැනීම සඳහාත් කඳුළු ප්‍රයෝජනවත් වන බව සනාථ වී  තිබේ. ඇස්  වල ස්වාභාවික ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යාවශ්‍ය කඳුළු නිපදවනුයේ  ඒ සඳහාම සකස් වී ඇති ග්‍රන්ථි පද්ධතියක් මගින්ය. (මේ සමග ඇති රූප සටහන බලන්න).  

https://lh4.googleusercontent.com/0445TftKzGzfJQy_BxabjPsU3vDHKVs0evO50q_j3ybHwFRORb-TrnckNg7S0K0QGlW_xuNGGZYC2n9ZV2xDvSCL4SPlBxuhIS5eddTnAeUONA-YrfuLyf1w0EtkuMMBDlbyR0kUjHbscrcBOrN0pcM


මෙහි දක්වා ඇති පරිදි, ඇසෙහි කඳුළු පටලය ස්තර  තුනකින් සමන්විතය. කඳුළු නිපදවන ප්‍රධානතම ව්‍යුහය වනුයේ, උඩ ඇසිපිය සහ ඇහිබැම අතර අක්ෂි ගෝලයට ඉහලින් පිහිටි  අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථිය වේ. කඳුළු ද්‍රවමය  ස්වභාවයකින්  පවතිනුයේ එහි 98%  පමණ ජලය තිබෙන නිසාය. ඇස මතුපිටට ශ්‍රාවය වී විසිරි යන කඳුළු පටලයේ කාර්ය භාරය සම්පූර්ණ කිරීම සඳහා තවත් ශ්‍රාව දෙකක් කඳුලට මිශ්‍ර විය යුතුය. ඇසෙහි කනීණිකා අපිච්ඡදයේ සෛල වලින් නිපදවන මියුසින් ස්තරය මගින් කඳුළු කනීණිකාව මත නොඇලී ගලා  යාම, ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි බැක්ටීරියා  වර්ධනය  වලක්වාලීම සලස්වයි. එමෙන්ම කඳුළු පටලයේ මතුපිටින්ම ඇති ලිපිඩ නැතහොත් මේද සියුම් ස්තරය මගින් කඳුළු ඉක්මණින් වාෂ්ප වී යාම වලක්වයි. (රූප සටහනෙහි ඇතිකඳුළු පටලයක ව්‍යුහයකොටස බලන්න). අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථි වල නිපදවෙන කඳුළු කුඩා නාලයක් ඔස්සේ ගලාවිත්, නාසය පැත්තේ ඇස මුල, ඇති විවරය මගින් ඇසට ගලායයි. වැඩිපුර නිපදවෙන කඳුළු වෙනත් නාලයක් ඔස්සේ නාස් කුහරයට වැගිරේ. සමහර අවස්ථාවලදී යම්කිසි හේතුවක් නිසා වැඩිපුර කඳුළු ගලන විට ඒ  සමග නාසයෙන්ද ද්‍රවයක් වැගිරෙන්නේ මේ නිසාය. අප ඇසිපිය ගසන සෑම අවස්ථාවකදීම ඇසෙහි කඳුළු කනිනිකාව මතුපිට විසිරී ගොස් ඇස්  වියලීම  වලක්වයි. කඳුළු ලුණු රසයකින් යුක්ත වන්නේ එහි සාමාන්‍ය ලුණු  (NaCl) ස්වල්ප වශයෙන් තිබෙන නිසාය. සාමාන්‍යයෙන් කඳුළු බින්දුවක ලුණු, 0.3 mg පමණ අන්තර්ගත වේ. එමෙන්ම සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට කඳුළු 150 ml කට වැඩි ප්‍රමාණයක් නිපදවන බවද සත්‍යයකි. 


කඳුළු ප්‍රභේද කිහිපයකි. 


විවිධ හේතු නිසා මිනිසාගේ ඇස්වල ස්වාභාවිකව පවතින කඳුළු, නිපදවීමට මුල්වන හේතුව සහ අවස්ථාව  අනුව සංයුතියෙන් වෙනස් බව නිරීක්ෂණය කර තිබේ. මෙසේ හටගන්නා කඳුළු අදාළ හේතු අනුව, පහත දැක්වෙන අයුරු ප්‍රභේද තුනකට වෙන් කළ හැකිය.

  1. සාමාන්‍ය (basal)  කඳුළු - නිරතුරුවම ඇසට ගලාඑන සාමාන්‍ය කඳුළු කනීණිකාව මත විසිරී ගොස් ඇසෙහි තෙතමනය රඳා පවත්වා ගන්නා අතරම ඇස් මතුපිට වියලීයාමද  වලක්වයි.

  2. ප්‍රතීක (reflex) කඳුළු - ඇසට නොරුස්නා යම්කිසි අපද්‍රව්‍යයක් හෝ ළූණු කැපීම  වැනි අවස්ථාවකදී හෝ  සුවඳ විලවුන් වාෂ්ප හෝ වෙනත් ආකාරයකින්  නිකුත් වන අහිතකර වායු (කඳුළු ගෑස්) වැනි කුමක් වුවද ඇසෙහි ගැටීමේදී නිපදවන්නේ  ප්‍රතීක කඳුළු වේ. අදාළ අපද්‍රව්‍ය හෝ වායුව ඇසෙහි ගැටුණු වහාම,ඇසට සම්බන්ධ ස්නායු මූලයට යැවෙන ප්‍රතීක පණිවුඩයක් මගින් අශ්‍රැ ග්‍රන්ථි වහාම උත්තේජනය වී ඇසට කඳුළු වැගිරේ.  

  3. චිත්තවේගීය (emotional) කඳුළු - යම්කිසි කෙනෙකුට වේදනාවක්, දුකක්, කේන්තියක්  හෝ වෙනත් ඕනෑම ආකාරයක චිත්ත වේගයක් ඇතිවූ විට, මොළයේ  චිත්තවේග සංජානන ස්ථාන  උද්දීපනය වේ. මෙහිදී මොළයෙන්  අශ්‍රැ ග්‍රන්ථි වලට යැවෙන පණිවුඩ මගින් ඒවා ක්ෂණයකින් උත්තේජනය වී ඇසට ගලා එනු ලබන කඳුළු චිත්තවේගීය කඳුළු වේ. චිත්ත වේග සෑමවිටම සෘණාත්මක නොවේ. සමහරවිට අධික ප්‍රීතිය, සිනහව ආදී ධනාත්මක චිත්ත වේග නිසාද කඳුළු හටගනී.   


සෑම කඳුළු වර්ගයකම ජලය, ලවණ, ලිපිඩ සහ හෝර්මෝන   තිබෙන අතර චිත්තවේගීය කඳුළුවල  මීට වඩා තරමක් සංකීර්ණ බවක් තිබේ. කෙනෙකුට කුමන අන්දමේ වුවද චිත්තවේගයක් එළඹී විට, ශරීරයේ ක්‍රියාකාරී පද්ධති හසුරුවනු  ලබන හොර්මෝන සමබරතාවය නැතහොත් සමස්ථිතිය අවුල් සහගත තත්ත්වයකට පත්වේ. මෙවැනි තත්ත්වයක් උදාවූ විට ඇතිවන චිත්තවේග, සමනය කිරීම සඳහා දායක වන වෙනත් හෝර්මෝන මෙන්ම ප්‍රෝටීන වර්ගද, නිපදවීමේ කෘතියක් කිරීමටද මොළයට හැකියාවක් තිබේ. මෙහිදී සිදුවනුයේ  මොළය මගින්  අදාළ සමනය  කිරීම් සිදුකරන හෝර්මෝන හෝ වෙනත් රසායන ද්‍රව්‍ය නිපදවෙන  මධ්‍යස්ථාන වලට පණිවුඩ යැවීමයි. මේ ආකාරයට නිපදවනු ලබන, සමබරතාවය පවත්වාගැනීමේ  හොර්මෝන සහ රසායන ද්‍රව්‍යද  කඳුළු වලටම එකතුවී චිත්තවේගී ආවේග ස්වභාවය ක්‍රමක්‍රමයෙන් තුනී කිරීමට පටන් ගනී.  


 කදුළු පිලිබඳ  විවිධ අදහස්  


සාහිත්‍යයේ, සංගීතයේ හෝ  ගද්‍ය හා පද්‍ය  පබැඳුම් වලදී  කඳුළු ගැන සඳහන් කිරීම් එමට දකින්නට ලැබේ.  බොහෝ විට මිනිසාට මුහුණ පෑමට සිදුවන, දුක් කම්කටොලු, බලාපොරොත්තු කඩවීම්, වියෝවීම්, විරහව  වැනි විවිධ ආවේගශීලී  අවස්ථාවලදී ඇතිවන හැඟීම් විස්තර කිරීමේදී කඳුළු සහ හැඬීම සම්බන්ධ කර ගැනීමට ප්‍රබන්ධකරුවෝ බොහෝ දක්ෂතා දක්වති. 


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ අමරසිරි පීරිස් ගායනා කරනඉකි ගසා හඬනනම් ගීතයෙන්ගොළු වූ ඒක පාර්ශ්වික ආදරයකට නතුවූ කෙනෙකුගේ සඟවාගත් හැඬීම සහ සඟවාගත නොහැකි කඳුළුපිළිබඳව මෙසේ හෙළිදරව්වක් කරයි. 

ඉකි ගසා හඬන අතීතයක,

කඳුළු එක්ක ගනුදෙනු කරනා

මට මගේ නොවන

මගේම ආදරයක් තිබුණා……..  

මේ ආකාරයට ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකුට මිනිසාගේ කඳුළු හෙලන ආවේගශීලී අවස්ථා පවා තවත් කෙනෙකුගේ හැඟීම්  දනවන ආකාරයට ඉදිරිපත් කළ හැකි බව මොනවට පැහැදිලිවේ. .


බෞද්ධ දර්ශනයේ දුක්ඛ දෝමනස්සයන්ට හේතුවන ප්‍රධාන කරුණු වශයෙන් ප්‍රිය විප්පයෝගය සහ අප්‍රිය සම්ප්‍රයෝගය ගැන විස්තර කර තිබේ. මෙහිදී කඳුළු හෝ කඳුළු හෙලීම ගැන සඳහන් කර නොමැති වුවත්, එවැනි ආවේගශීලී අවස්ථාවලදී සිත සන්සුන් කර ගැනීම සඳහා මෛත්‍රී, කරුණා, මුදිතා සහ උපේක්ෂා වැනි චිත්ත ශක්ති වල වැදගත්කම පෙන්වා දී තිබේ. මෙහිදී සිදු වනුයේද චිත්තාවේගයක් පැමිණිවිට ඒ ගැන කම්පා නොවී,  “මම සුවපත් වෙම් වා! දුකෙන් මිදෙම්වා !වැනි ආකාරයකට  ධනාත්මකව සිතීමේදී,   හැඬීම හෝ කඳුළු සැලීම පාලනය කරගත  හැකි වීමයි. මෙසේ කිරීමේදී ආවේගය  මගහැර ගැනීමේ හෝර්මෝන හෝ වෙනත් සංකීර්ණ රසායනද්‍රව්‍ය මගින් සිදුවන උත්තේජන නිසා එම ස්වභාවය තුනී වී යයි. 


යුදෙව් භක්තිකයින්ගේ හිතෝපදේශයක මෙසේ සඳහන් වේ.ළදරුවෙකු සෝදා පිරිසිදු කිරීම සඳහා සබන් භාවිත කරන ආකාරයට, යමෙකුගේ ආත්මය පිරිසිදුකර ගැනීම සඳහා කඳුළු ගැලීම ප්‍රයෝජනයට ගත හැකිය’. කඳුළු මගින් අධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට හැකිවෙනු ඇති බවට විශ්වාසයක් සමහර ජන කොටස් වල ඇති බවක්ද මෙයින් පැහැදිලිවේ. 


කඳුළු ගැන මේ සියල්ලටම වඩා වෙනස් මානයක ගැනෙන සංකල්පයකි  කිඹුල් කඳුළු’’.  බොහෝ මිනිස් කොට්ඨාශ වල, අතීතයේ සිට පැවත එන මෙම  යෙදුම මගින් අදහස් වන්නේ, සත්‍ය  වශයෙන්ම නොපවතින ශෝකයක් පවතින බවක් මවා පෙන්වීමයි. එහෙත් එය එසේ නොවන සංසිද්ධියක් බව නිරීක්ෂණය කර තිබේ. චලතාපී (cold blooded) පෘෂ්ඨවංශීන් වන කිඹුලන්ගේද කඳුළු නිපදවෙන්නේ අශ්‍රැ ග්‍රන්ථි මගින්ය. මෙහිදීද කඳුළු මගින්  ඇස පිරිසිදු කිරීම, නිමීලන පටලය ඇස මතින් ගමන් කිරීම පහසු කරවීම සඳහා ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි බැක්ටීරියා වර්ධනය වලක්වාලීම සිදු කරයි. කිඹුලන් දිගු වේලාවක් ගොඩබිම සිටින විට ඔවුන්ගේ ඇස් වියලීමට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කඳුළු වැගිරේ. එසේම මෙම සතුන් ගොඩබිම සිට ගොදුරු ආහාරයට ගන්නා අවස්ථාවල තදින් හැපීම නිසාද අශ්‍රැ ග්‍රන්ථි උත්තේජනය වී කඳුළු හටගනී. මේ ආකාරයට  ‘කිඹුල් කඳුළු දැකගත හැකි නිසා, ‘කිඹුලන් තමන්ට ගොදුරු වූ සත්වයා පිලිබඳ ශෝකයෙන්කඳුළු සලන්නේ යයි යන පදනම  මත මෙම පැරණි කියමන ගොඩනැගී ඇතැයි සිතිය හැකිය. .


කඳුළු ගැන ගුප්ත අර්ථ නිරූපණයක් 


ලෝකප්‍රසිද්ධ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වූ Giovanni Bragolin (1911–1981) විසින්,  Bruno Amarillo නම් අන්වර්ථ නාමයකින් අඳින ලද හඬන ළමයා (Crying Boy)  නමැති ඇස්  වලින් කඳුළු කඩා හැලෙන  පිරිමි දරුවෙකුගේඋඩුකය දක්වන ඉතාමත් ජනප්‍රිය ආලේඛ්‍ය චිත්‍රය අනුසාරයෙන් ලබාගත් මුද්‍රිත පිටපත් රාමු කර සෑදු පින්තුර, 1950 වර්ෂයේ සිට ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. මෙම පින්තුර අලෙවියෙන් විශාල වශයෙන් ලාභ ලැබූ ව්‍යාපාරිකයෝද සිටියහ.


1985  සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ, එසෙක්ස් ප්‍රාන්තයේ පුවත් පතක පළවූ, ගිනි නිවන හමුදා භටයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් නිසා රටෙහි  මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඔහුගේ ප්‍රකාශය අනුව, ඊට දින කිහිපයකට පෙර, ගින්නක් හටගෙන සම්පූර්ණයෙන් දැවී ගිය නිවසක, ඉහත සඳහන් කළ හඬන ළමයා පින්තුරය  කිසිදු හානියක් නොමැතිව තිබෙන බව දැක ගන්නට ලැබී ඇත. මොහු ගිනි  නිවීම සඳහා පළපුරුදු භටයෙකු වූ අතර ඔහුගේ ප්‍රකාශය සත්‍ය විස්තරයක් බවද සාක්කි සහිතව ඔප්පුවිය. මේ ආකාරට දැවී අළුවී ගිය වෙනත් නිවාස වලද මෙම පින්තුරය නිරුපද්‍රිතව තිබී ඇතිබවට ද, බොහෝ ආරංචි ලැබෙන බවද  පුවත් පත වැඩිදුරටත් වාර්තා කළේ ය.

මේ ආකාරයට මාසයක් පමණ ගතවන විට, මෙම හඬන ළමයා පින්තුරය ශාපලත් (cursed) එකක් බවත්, එය තබාගන්නා ඕනෑම නිවසක් දා අළුවී යාහැකි බවටත් මතයක් රට පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. 

https://lh3.googleusercontent.com/DRri3UIavzXutRMxk-6On6AH21B2YGGFTJ6VCElIe-oqi4c_Xxfyyk-CAMXBAnsHrLJOisRnXuQV9n7kdnitBX77l6DfyL2VBKRggH2JkPRqtL7SfRxZMf5T67VHlLLJpgpajDz6koK8NF67RVqWhks


මේ ප්‍රවෘත්තිය නිසා මහත් භීතියට පත්වූ, එම පින්තුරය නිවෙස් වල එල්ලා ගෙන සිටි නිවෙස් හිමියෝ, ඒවා විනාශකිරීම සඳහා යම්කිසි පියවරක් ගන්නා ලෙස ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් ඉල්ලා සිටියහ. ඒ සමගම දා අළුවී ගිය නිවාස රාශියක, මෙම පින්තුරය යහතින් තිබුණු බව සියැසින් දැක තිබෙන බව, ප්‍රාන්තයේ ගිනි නිවන හමුදා ඛණ්ඩයේ ප්‍රධානියාද, ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කළේය. මේ අනුව මහජනතාව විසින් තම පදිංචි   ප්‍රදේශයන්හි  නිවාස වලින්  සොයාගෙන  එවනු ලබන යථෝක්ත  හඬන ළමයා පින්තුර දහස් ගණනින් ගොඩගසා ගිනිබත් කිරීමේ වැඩ සටහනක්ද පුවත් පත මගින් ආරම්භ කරන ලදී.

බිය නිසා ඇතිවන කඳුළු….ශාපලත් බවට, ගිනි නිවන භටයින් විසින් සනාථ කරනලද ආලේඛ්‍ය පින්තුරය(Tears for fears… the portrait that firemen claim is cursed’) යන පාඨයද සහිතව මෙම පිංතුරය නිරතුරුවම පුවත් පතෙහිද පළ විය.


ප්‍රාන්ත වැසියන් මහත් භීතියට පත්කළ මෙම සිද්ධිය ඔස්සේ තොරතුරු සෙවීමෙහි නිරත වූ ප්‍රදේශයේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, එසේ බිය වීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශයට පත් කරනු ලැබුවත්, ජනතාවගේ බිය හා සැකය ඒ ලෙසටම පැවතුණි. මුලදී හඬන ළමයා පින්තූර අළෙවිය දහස් ගණනින් සිදුවූවද, පසුව එය සම්පූර්ණයෙන්ම නතර විය. මිනිස් සිත්වල ඇතිවූශාපය පිලිබඳ බිය මුසු සැකය, ඒ ආකාරයටම තව බොහෝ කලක් පවතිනු ඇත. මීට ටික  කලකට පසු, යම්කිසි පර්යේෂකයෙකු විසින් ආලේඛ්‍ය පින්තුරයේ සිටින සත්‍ය දරුවාගේ වගතුග සොයා ගැනීමෙන් පසුව, ඔහු නිසාම චිත්‍ර ශිල්පියාගේ චිත්‍රාගාරය ඇතුළු තවත් නිවාස කිහිපයක්ම දා අළුවී ගොස් ඇති බවටද සාක්ෂි ලබාගෙන තිබේ. මෙවැනි සිදුවීම් අදිසි බලවේගනිසා සිදුවන බව බොහෝ අය විශ්වාස කරනු ලැබුවත්, ඒවා අහම්බයෙන්ම සිදු විය හැකි සිද්ධීන් බව සිතනු විනා, වෙනත් සාධාරණ හේතු සෙවීම උගහටය. 

 

හැඬීම සහ කඳුළු - නව චින්තනය 


ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයයේ ජෛව රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරෙයෙකුව සිටි, Perry A. Frey විසින් මෑතදී  කරන ලද පර්යේෂණ මාලාවකින්  ලබාගෙන ඇති දත්ත මගින් හැඬීම සහ කඳුළු පිලිබඳ තොරතුරු රාශියක් හෙළිදරව් කරගෙන තිබේ. ඔහුගේ පර්යේෂණය සඳහා මිනිසුන් (කාන්තාවන්ද ඇතුළුව) දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන තිබේ. මොවුන්ගේ  හැඬීම් ආශ්‍රීතව, කඳුළු ගැලීම් බහුතරයක් සිදුවනුයේ දුක්ඛ දෝමනස්ස චිත්ත වේග නිසා බව හඳුනාගෙන ඇත. ඒ සමගම චිත්ත වේගීය හැඬීම් පහකට එකක් සතුටු කඳුළු බවද නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම දහයකට එක්  අවස්ථාවක් සඳහා කේන්තිය හෝ ක්‍රෝධය මූලික වන බවද, ආවේග පසළොසකට එකක්   අනුකම්පාව නිසාත් විස්සකට එකක් කාංසාව (anxiety)   නිසාත්, තිහකට එකක් භය නිසාත් සිදුවන බවද  හෙළිවී තිබේ. මෙම පර්යේෂණයේදී හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වනුයේ, සහභාගිවූ කාන්තාවන්  85% ක් සහ  පිරිමින්   73% ක් හැඬීම නිසාතමන් තුළ පැවතී චිත්තවේගී  ස්වභාවය පහව ගිය බව ප්‍රකාශ කර තිබීමයි.


ඇස් වල යහපත් ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට කඳුළු අත්‍යාවශ්‍ය සාධකයකි. සාමාන්‍ය කඳුළු සහ ප්‍රතීක කඳුළු මේ සඳහා ක්ෂණික ප්‍රතිචාර දක්වයි. මිනිසාගේ චින්තන ධාරාවේ  ධන සහ සෘණාත්මක ආවේග නිසා ඇතිවන කම්පන වලට ගැලපෙන ආකාරයට හැඬීම සහ බද්ධව, අවශ්‍යතා අනුව ගැලපෙන හෝර්මෝන සහ රසායනද්‍රව්‍ය ඇතුළත් කඳුළු සැපයීම සහ පසුව එම ආවේග සමනය කිරිම සඳහා අවශ්‍ය ප්‍රතිවිරුද්ධ කඳුළු සැපයීමද අශ්‍රැ ග්‍රන්ථි වලින් සිදුවන වැදගත්ම මෙහෙවර ලෙස සැලකිය හැකිය. 


(තොරතුරු පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි)


දයාරත්න වීරසේකර 

dayawee2@yahoo.com


Tuesday, 19 July 2022

ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

 ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි

    පෘථිවි ජෛව ගෝලයේ මුලින්ම හටගන්නා ලද  ජීවීහු  ජලයේ ජීවත්වූ  ඒක සෛලීකයෝ  වූහ. ජලයේ තිබුණු  වෙනත්  ස්වාභාවික ද්‍රව්‍ය අතර සිදුවූ  රසායන ප්‍රතික්‍රියා වලින් ලැබුණු  අතුරුඵල මොවුන්ගේ ආහාරය විය. මෙසේ වසර මිලියන ගණනක් යාමේදී, මෙයින් එක් ජීවී කොට්ඨාශයක් තුළ,  හිරු එළියෙන් ලැබෙන කිරණ ආශ්‍රීතව ශක්තිය ලබාගැනීම සඳහා උපයෝගී කරගත හැකි හරිතප්‍රද (chlorophyll) නමැති කොළ පැහැති, සංකීර්ණ රසායනික සංයෝගයක් හටගත්තේය. මේ නිසා මොවුනට තම පෝෂණය සඳහා සූර්ය ශක්තිය ආධාර කර ගනිමින්, ජලයේ ද්‍රාව්‍ය වී හෝ වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ්  වායුවද   භාවිත කර, ආහාර නිපදවා ගතහැකි විය. මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණයයි  (photosynthesis). 

තවත් කල්යාමේදී, තමන්ට තම ආහාර නිපදවා ගත නොහැකි, දෙවන කොට්ඨාශයේ ජීවීන්ට, හරිතප්‍රද සහිත ජීවීන් සහ ඔවුන්ගේ අතුරු ඵල, තම ආහාර වශයෙන් ගැනීම සඳහා අනුවර්තන ඇති  විය. මෙසේ වසර මිලියන ගණනක් මුළුල්ලේ විකසනය වෙමින්, බහු සෛලීකයින් වූ ජීවින් හටගෙන තිබේ. මේ ආකාරයට තම ආහාර නිපදවා ගත හැකි ජීවී කොට්ඨාශය ශාක රාජධානිය ලෙසත්   තම ආහාර නිපදවා ගත නොහැකි  දෙවන කොට්ඨාශය  සත්ත්ව රාජධානිය ලෙසත්  නිර්මාණය වී තිබේ. 

මෙම දෙකොටසටම අයත් නොවන බැක්ටීරියා, දිලීර, වැනි ජීවින්, අයත්වන ප්‍රාග් ජීවී යන අර්ථය ඇති Protista නම් ජීවී රාජධානියක්ද ඇත. (මෙහිදී අපගේ සැලකිල්ලට භාජන වනුයේ ශාක සහ සත්තු පමණකි.)

අපගේ පියවි ඇසට පෙනෙන සාමාන්‍ය ජීවීන්ගේ (ශාකවල  සහ සතුන්ගේ)  ප්‍රජනන ක්‍රම දෙකක් හඳුනාගෙන තිබේ. මේවා නම් අලිංගික ප්‍රජනනය සහ ලිංගික ප්‍රජනනයයි. ජන්මාණු සම්බන්ධයක් නොමැතිව සිදුවන අලිංගික ප්‍රජනනය වර්ධක ප්‍රජනනය ලෙසද හැඳින්විය හැකිය. සමහර ශාකවල අතු කැබලි, භූගත කඳන්, මුල් වැනි කොටස් වලින්  මේ ආකාරයට අලුත් ශාක ලැබේ. එමෙන්ම ඇමීබා වැනි එක සෛලීය සතෙකුට දෙකඩ වී නව සතුන් දෙදෙනෙකු නිර්මාණය කල හැකිය.

ශාක සහ සතුන්ගේ ප්‍රධානතම ප්‍රජනන  ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනයයි. මෙහිදී පුං (male) සහ ජායා (female) ජන්මාණු එකතු වී සෑදෙන යුක්තාණුව  (zygote) මගින් හටගන්නා,  නව ජනිතයෙකු  මගින්, ඊළඟ පරම්පරාව සකස් වේ. ශාකවල ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදුවනුයේ පුෂ්ප මගින්ය. බොහෝ විට එකම පුෂ්පයේ  පුං සහ ජායා අවයව දෙවර්ගයම පිහිටා තිබේ. පුෂ්පයක රේණු මත හටගන්නා පරාගවල  පුං ජන්මාණු සෑදෙන අතර, එහි ඩිම්බ කෝෂය තුළ, ජායා ජන්මාණු  වන ඩිම්බ හටගනී.

පුෂ්පයක පරාග වල ඇති පුං ජන්මාණුවක් ඩිම්බ කෝෂය තුළ ඇති ජායා  ජන්මාණුවක් සමග එකතුවීම සංසේචනයයි (fertilisation). මෙම සංසේචනය සඳහා පරාගණය සිදුවිය යුතුය. සාර්ථක පරාගණයකදී එක් ශාක පුෂ්පයක හටගන්නා  පරාග, එම විශේෂයේම වෙනත් ශාක පුෂ්පයක කලංකය මතට සංක්‍රමණය විය යුතුය. මෙය පරාගණයයි (pollination). පුෂ්ප පරාගණය කිරීමේ කාර්යය බහුලවම සිදු වනුයේ සමනලයින්, මී මැස්සන් වැනි කෘමින් මගින්ය. පෘථිවියේ සපුෂ්ප ශාක හටගත් අවදියේ සිටම, ඒවා පරාගණය කිරීම සඳහා විවිධ කෘමීන් විවිධ ආකාරයට අනුවර්තනය වී තිබේ. එසේම පරාගණය සඳහා කෘමින් ආකර්ෂණය කර ගැනීම සඳහාද පුෂ්ප විවිධ ආකාරවලට අනුවර්තනය වී ඇත. පුෂ්ප විවිධ වර්ණ සහිත වීම, මල්පැණි තිබීම, සුගන්ධය වැනි අනුවර්තන නිසා කෘමිහු  පුෂ්ප කරා ඇදී යති. කෘමියෙකුගේ ඇඟෙහි තැවරුණු එක් පුෂ්පයක පරාග, එම කෘමියා තවත් පුෂ්පයකට ගිය විට එහි බාහිරව පෙනෙන කලංකයේ පතිතවීම පරාගණයයි.

                        

මෙසේ පතිත වන පරාගයක් එහි ඇති ද්‍රව මාධ්‍යය තුළ විකසනය වී සුවිශේෂී නාලයක් හටගනී. මෙම නාලය  ඔස්සේ ගමන් කරන, පරාගයේ ඇති පුං ජන්මාණුවක් ඩිම්බකෝෂය හරහා ගොස් පරිණත ඩිම්බයක් සංසේචනය කරයි. මෙහිදී පරාගණය සිදු කරනු ලබන කෘමියා නොදැනුවත්වම කරනුයේ ශාකයේ ඉදිරි පැවැත්ම සඳහා ලිංගික ප්‍රජනනය සිදුවීම සඳහා ඉතා වැදගත් මෙහෙවරකි. මේ වෙනුවෙන් කෘමින් සඳහා ‘මධු විතකින්’ (මල්පැණි) සංග්‍රහයක් කිරීමට පුෂ්ප සැදී පැහැදී සිටින බවද  දකින්නට ලැබේ.

සාර්ථක සංසේචනයකින් පසු ඩිම්බ කෝෂය තුළ බීජ හටගනී. මෙම  බීජ පරිණත වූ පසු ඒවා නව පරම්පරාවක් සඳහා ජීවය සැපයීමට සමත් වෙති.

එසේ වෙතත් ශාකවල පුෂ්ප හටගන්නා තරමටම ඵල හෝ ගෙඩි හට නොගන්නා බවද දකින්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, අඹ ගසක් ගතහොත්, එහි මල් හටගන්නා මාර්තු, අප්‍රියෙල් මාසවලදී මුළු ගසම කුඩා මල් ලක්ෂ ගණනකින් පිරී යයි. මෙම මල් වලින් විශාල ප්‍රමාණයක් දුඹුරු පැහැ වී වැටෙන බව ඔබ දැක ඇත. එසේම ටික දිනකදී ඩිම්බ සංසේචනය වී සෑදී ඇති ලපටි නොමේරු කුඩා අඹ ගෙඩි දහස් ගණනක්ද  ගස යට වැටේ. අවසානය්දී පරිණත වනුයේ සාපේක්ෂව අඹ ගෙඩි සුළු සංඛ්‍යාවක් පමණකි. 

මේ ගැන තරමක් දුරට සිතා බැලුවහොත්, මේ සිදුවනුයේ ශාකයේ ඉදිරි ගමනට අවශ්‍ය ජන්මාණු වලින් නිර්මාණය වූ ඵල අපතේ යාමක් නොවේද යයි කෙනෙකුට ප්‍රශ්න කළ  හැකිය. සෑම පුෂ්පයකින්ම ඵලයක් හෝ බීජ හට නොගනී. සියලුම සපුෂ්ප ශාකවල දකින්නට ලැබෙන මෙම සංසිද්ධිය සාධාරණීකරණය කළ හැකිද? බැලූ බැල්මට සාධාරණීකරණය කළ නොහැකි බව පෙනේ. එසේනම් ලොව පුරා ඇති සෑම සපුෂ්ක ශාකයක්ම ලක්ෂ සංඛ්‍යාත පුෂ්ප වලින් බරවී, ලොවට හඬගා කියමින් සිටින මේ පණිවුඩය කුමක්ද? 

ශාක වල සිදුවන මෙම ක්‍රියාවලිය මහත් ආශ්චර්යමත් සංසිද්ධියකි. විවිධ වර්ණවලින්, හැඩයෙන් සහ සුගන්ධයෙන් සපිරුණු පුෂ්ප තනි තනිව හෝ මංජරි වශයෙන් දකින්නට ලැබේ. එසේම විවිධ හැඩහුරුකම් වලින් යුක්ත සමනළ, මීමැසි වැනි කෘමින්, ලොව සිටින විශාලතම ජීවී කොට්ඨාශය වශයෙන් පෙනී සිටිති. පරිසරයට විවිධත්වයක් සහ චමත්කාරයක් ගෙන දෙන පුෂ්ප සහ කෘමින් යන ජීවී ප්‍රභේද දෙකෙන් මුළු ලෝකයේම සිටින සමස්ත ජීවී සංහතියේම පැවැත්ම සඳහා ආහාර සපයමින් විශාල  මෙහෙවරක් කරන බවද  දකින්නට ලැබේ.

සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියේද මූලික ක්‍රියාදාමයන්, ශාක වල ඉහත විස්තර කරනලද ලිංගික ප්‍රජනනයට බොහෝ දුරට අනුරූප වේ. ඒ සමගම එය වඩ වඩාත් සංකීර්ණ වේ. මේ සංකීර්ණ භාවයේ උපරිමයට පැමිණ සිටින මිනිසාගේ ප්‍රජනන ක්‍රියාවලියේ ඇති මහත් ආශ්චර්යමත් භාවය ගැනද මඳක් විමසිලිමත් වීම වැදගත්ය. 

මිනිස් ජීවියාගේ ස්ත්‍රී ලිංගිකයෝ  සහ පුරුෂ ලිංගිකයෝ වෙන වෙනම සිටිති. මොවුන්ගේ ජන්මාණු නිපදවනුයේ ශරීර අභ්‍යන්තරයේ පිහිටි සුවිශේෂී අවයව වලය. ස්ත්‍රී ජන්මාණු නොහොත් ඩිම්බ හටගනුයේ  ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ වලය. පුං ජන්මාණු නොහොත් ශුක්‍රාණු හටගනුයේ පුරුෂයෙකුගේ වෘෂණ තුළය.

ස්ත්‍රී-පුරුෂ ලිංගික එක්වීමේදී ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයෙන් මුක්ත වන  ඩිම්බයක් පුරුෂයාගේ වෘෂණයෙන් නිකුත් වන ශුක්‍රාණුවක් සමග සම්බන්ධවී සංසේචනය සිදුවීමෙන් හටගන්නා යුක්තාණුව ගර්භාෂයේ තැන්පත්වී,  කළලයක් නිර්මාණය කරයි. කළලයේ සෛලවල ඇති වර්ණදේහ සංයුතිය අනුව බිහිවන දරුවා පිරිමි හෝ ගැහැණු භාවය ලබයි. මෙම ක්‍රියාවලියේද සරල බවක් පෙන්නුම් කරනු ලැබුවද, එහි අහඹුතාවය පිළිබඳව ඉමහත් සංකීර්ණ බවක් ඇත. ස්වාභාවිකව, වර්ගයාගේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය ජනිතයින් නිර්මාණය වීමේ මෙම ක්‍රියාවලියේදීද, ශාක පිළිබඳව කලින් සඳහන් කළ ආකාරයට, නව ජනිතයින් බිහිකිරීමේ භව්‍යතාව ඇති  ජන්මාණු අපතේ යාමක් සිදුවේද? එසේ වන්නේ නම්, ඒ මගින් ස්වභාව ධර්මය අපේක්ෂා කරනුයේ කුමක්ද යන්න සොයා බැලීමද උචිතය.

කුඩා ළදැරියක් උපත ලබන විටදීම ඇයගේ ඩිම්බ කෝෂ සකස්වී අවසන්ය. අනාගතයේදී පරිණත වීම සඳහා විභව්‍ය භාවයකින් යුක්ත නොමේරු ඩිම්බ සෛල මිලියන දෙකක් පමණ දැරියගේ ඩිම්බ කෝෂ තුළ අන්තර්ගතවේ. දැරියගේ වර්ධනයත් සමග ඩිම්බ සෛල විශාල ප්‍රතිශතයක් රෝධනය වී, ඇය වැඩිවිය පැමිණෙන අවස්ථාව වන විටද  ඩිම්බ සෛල ලක්ෂ තුනක් පමණ ඩිම්බ කෝෂ වල ඉතිරිවේ. මෙයින්ද පරිණත ඩිම්බ වශයෙන් විකසනය වනුයේ ඉතාමත් අඩු ප්‍රතිශතයකි. 

ස්ත්‍රියකගේ ප්‍රජනන සරු (වැඩිවිය පැමිණීමේ සිට ආර්තවහරණය දක්වා) කාලය තුළදී  පරිණත ඩිම්බ සෛල හාරසියයක් පමණ මුදාහැරේ. සාමාන්‍යයෙන් එක් ඔසප් චක්‍රයක් තුළදී, එක ඩිම්බය බැගින් මුදාහැර, ඔසප් චක්‍රය අවසාන කාලය වන විට ඩිම්බ රෝධනය ඉතා ඉක්මණින් සිදුවී ආර්තවහරණයත් සමග සියලුම ඩිම්බ සෛල රෝධනය වී යයි. මිලියන ගණනක් වශයෙන් ආරම්භ වන ඩිම්බ සෛල මෙතරම් ප්‍රතිශතයක් රෝධනය වීම අපතේ යාමක් ලෙස සැලකිය නොහැක්කේද?

ඩිම්බ සංසේචනය සඳහා ශුක්‍රාණු නිපදවනු ලබන  සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුගේ එම නිෂ්පාදන ක්‍රියාවලියද  කෙනෙකු මවිතයට පත්කරවන සුළු වේ. පිරිමියෙකුගේ ජන්මානු වන ශුක්‍රාණු නිපදවනු ලබන්නේ වෘෂණ කෝෂ තුළය. ඔහුට තම ප්‍රජනන සරු කාලය තුළදී ශුක්‍රානු බිලියන 525 පමණ නිපදවිය හැකියයි ගණනය කර තිබේ. මේ අනුව  සාමාන්‍යයෙන් මසකට ශුක්‍රාණු බිලියන 15 ක්  පමණ නිපදවේ. එසේම නිරෝගී පුද්ගලයෙකුට එක් මෝචනයකදී ශුක්‍රාණු මිලියන 200  ක් පමණ මුක්ත කළ හැකිය.  

එක තේ හැන්දක ප්‍රමාණයේ  පරිමාවක, ශුක්‍රාණු මිලියන දෙසියයක් පමණ තිබිය හැකිය. මේ සියල්ලම කෙසේ වෙතත් අඩුම වශයෙන් මෙයින් හරි අඩක්වත් සංසේචන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සමත් පුං ජන්මාණු වේ. මේ අතින් සලකා බලන කළ පුං ජන්මාණු නාස්තිය සහ අපතේ යාම,  ස්ත්‍රියකගේ ජායා ජන්මාණු අපතේ යාම මෙන් සිය දහස් ගුණයකි. මේ සියලුම ස්වාභාවික සිදුවීම් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් සොබා දහමේ ඉතාමත් සොඳුරු, විවිධත්වය සහ සමතුලිතතාව සුරැකීම පිලිබඳ සංකල්ප කිහිපයක අඩිතාලම කරා ළඟාවිය හැකිය.

කලකට පෙර ලොව ඉතා ජනප්‍රිය වූ  The Meaning of Life. නම් විකට චිත්‍රපටයට පාදක වූ පොතෙහි පුං ජන්මාණුව පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ. Every sperm is sacred, Every sperm is great, If a sperm is wasted, God gets quite irate (සෑම පුං ජන්මාණුවක්ම පූජනීය වේ, බලවත් වේ, යම් හෙයකින් පුං ජන්මාණුවක් නාස්තිවේ නම්  එයට දේව අනුමැතිය නොලැබේ) මේ ආකාරයට  පූජනීය බවක්  හඟවන්නේ එය ජීවයේ ආරම්භය නිසා විය හැකිය.

‘ජීවයේ මුලික ඒකක’ වන ජන්මාණු වල මෙවැනි මහා පරිමාණයේ නාස්ති වීමක් හෝ අපතේ යාමක් ගැන සොබා දහම ඇස් කන් පියාගෙන සිටින්නේද යන්න මඳක් සොයා බැලීම වටින්නේය.

මෙය සාධාරණීකරණය කිරීම සඳහා හේතු රාශියක් තිබේ.                                                                    පියවි ඇසට නොපෙනෙන, අන්වීක්ෂයක ආධාරයෙන් පමණක් දැකිය හැකි, ඉතා කුඩා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා ගර්භාෂයේ ඉහලම කෙලවරට යාමට සිදුවේ. මිලිමීටරයකින් විස්සෙන් එකක්  (0.05 mm) පමණ ප්‍රමාණයෙන් යුක්ත ශුක්‍රාණුවකට ඩිම්බයක් හමුවීම සඳහා සෙන්ටිමීටර් දහඅටක්, විස්සක්  පමණ දුරක් යාමට සිදුවේ. ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය සමග සසඳා බලනවිට සංසේචනය සඳහා එය ගමන් කළයුතු දුර ප්‍රමාණය අති විශාලය. එය විශ්වාස කළ නොහැකි තරමේ, දුරකින් යුත් ගමන් මගකි. මෙම දුර ප්‍රමාණය, ශුක්‍රාණුවේ දේහ ප්‍රමාණය මෙන් හාර දහස් ගුණයක් පමණවේ. ශුක්‍රාණුවේ ගමන් මග තරලමය මං පෙතක් නිසා, මෙය දක්‍ෂ පිහිණුම් කරුවෙකු සහභාගිවන, සැතපුම් දෙකක්, ගඟක උඩුගං බලා පිහිණීමේ, තරඟයකට සම  කළ හැකිය. ශුක්‍රාණුව උඩුගං බලා පිහිනා යන මෙම 'ගඟෙහිද' ගල්පර, රොඩු බොරොඩු, වක්කලම්, දිය සුළි  වැනි තවත් බාධකද බෙහෙවින් තිබේ. මේ නිසා පිහිනා යාම අතිශයින් දුෂ්කරය. තරඟය සඳහා තවත් 'අයද' රාශියක් සිටින නිසා ඉඩකඩද සීමා සහිතය. 

මෙහි දැක්වෙන  ස්ත්‍රී  ප්‍රජනන පද්ධතිය රූප සටහනේ විවිධ කොටස් ගැන විමසිලිමත් වීමෙන් මෙය තේරුම් ගත හැකිය. ශුක්‍රාණුවල  දුෂ්කර ගමන් මග පිලිබඳ අධ්‍යයනයක යෙදුනු  එක්තරා කළල විද්‍යාඥයෙකු, මෙම තරඟය සඳහා ඇති බාධක විස්තර කරනුයේ මෙසේය. 

  • හිතකර තත්ත්ව යටතේ ශුක්‍රාණුවක ආයු කාළය පැය පනහකට පමණ සීමාවේ.

  • යෝනි මාර්ගයේ පවතින ආම්ලික භාවය නිසා එයට ඇතුල්වන, ආරම්භක ශුක්‍රාණු  මිලියන දෙසියයක්  පමණ වන සංඛ්‍යාවෙන්  විශාල ප්‍රතිශතයක් අක්‍රීය බවට පත්වී, මිලියන දෙකක් පමණ ඉතිරි වේ.

  • ගැබ් ගෙල අසලට පැමිණෙන සක්‍රීය ශුක්‍රාණු, එහිදී මහත් සෝදිසියකට ලක්  කෙරේ. කුමන ආකාරයක සුළු විකෘති බවක් හෝ ඇති ශුක්‍රාණු, මෙහි ඇති ශ්ලේෂ්මල පටල මගින් පෙරා, වහා තරඟයෙන් ඉවත් කෙරේ.

  • එම සෝදිසියෙන් පසු සුදුසුයයි තීරණය වන ශුක්‍රාණු මිලියන එකක් පමණ ගැබ් ගෙළ පසුකර ඇතුල් වේ.

  • මේ  වන  විට මහත් විඩාවට පත්වී ඇති ශුක්‍රාණු  වලින් දස දහසකට පමණ ගර්භාෂයේ ඉහලට ගමන් කිරීමට වරම් ලැබේ. මෙයින්ද අඩක් පමණ නිසිමග සොයා ගැනීමට නොහැකිව අතරමං වේ.     

 

  • ඉතිරි ශුක්‍රාණු වලින් දහසකට පමණ සංසේචනය සිදුවන නාල අසලට යාමට අවස්ථාව ලැබේ.

  • අවසානයේදී ශුක්‍රාණු දෙසියයක්   පමණ  සංසේචනය සඳහා සුදානම්ව තිබෙන  ඩිම්බය අසලට සේන්දු වී  එය වටා රොක් වේ.

  • එහිදී ඇතිවන මහත් තරඟකාරී සටනින් ජයගන්නා එක්  ශුක්‍රාණුවක් පමණක් ඩිම්බයට ඇතුළ්වී එය සංසේචනය කරයි.

  • මෙය සිදුවූ වහාම, සංසේචිත ඩිම්බය වටා ආරක්‍ෂිත පටලයක් සකස් වේ.

  • තරඟයේදී පරාජය වූ අන් සියලුම ශුක්‍රාණු එහිදී රෝධනය වී යයි. 

මේ අතරම  ඩිම්බ කෝෂයෙන් මුක්ත වී, සංසේචනය බලාපොරොත්තුවෙන් ගර්භාෂය සොයා පැමිණෙන ඩිම්බයක ආයු කාලයද  පැය විසි හතරකට වඩා  වැඩි නොවේ. මෙයද සංසේචනයේ සීමාකාරී සාධකයකි.

තරඟය ආරම්භ කරනු ලබන  ශුක්‍රාණු මිලියන දෙසියයෙන්, අවසානයේදී ජයග්‍රහණය ලබන්නේ, සෑම අතින්ම ශක්තිමත් මනා ජවයකින් යුක්ත එකම එක ශුක්‍රාණුවකි.

මෙසේ විග්‍රහ කර බලන විට දරු උපතක ආරම්භය වන පිළිසිඳ ගැනීමද  මහත් ආශ්චර්යයකි.

මේ අනුව ශාකවල සහ සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට අදාල ජන්මාණු නිෂ්පාදනයේදී විශාල නාස්තියක් සිදුවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙතත් අතිශයින්ම උචිතයා පමණක් තෝරාගැනීමේ මහා තරඟයක් මෙහිදී ඇතිවන  නිසා, එහි  කිසිදු නාස්තියක් හෝ අපතේ යාමක් සිදුනොවන බව නිගමනය කළ හැකිය. මෙම ක්‍රියාවලි සමූහය, වර්ගයාගේ යහ පැවැත්ම සහ උන්නතිය සඳහා අත්‍යවශ්‍ය සාධක වේ. මෙසේ දකින්නට ලැබෙන අධිකතර ජන්මාණු නිෂ්පාදනය, ජන්මාණු අතර ඇතිවන ප්‍රබල සටන,  උචිතෝන්නතිය, ස්වාභාවික තේරීම යනුවෙන් හැඳින්විය හැකි  අනුපිළිවෙලකට සිදුවන සංසිද්ධි සමූහය ජීවීන්ගේ පරිණාමයට පවා තුඩු දෙන ඉතාමත් ඵලදාටී සාධක බව, ඩාවින්ගේ පරිණාම වාදයේ ද මැනැවින් විස්තර කර තිබේ.

දයාරත්න වීරසේකර 

dayawee2@yahoo.com