Sunday, 9 May 2021

මීළඟ බලගතු පරිසර දූෂණ කාරකය ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්ද ?

 

ලෝකයේ සෑම අස්සක් මුල්ලකම සිටින සියලු ජීවීන්ටම, මේ වන විට  පරිසර දූෂණය මහත් උපද්‍රව ගෙන දීමේ ව්‍යසනයක මට්ටමට පැමිණ තිබේ. ජීවීන්ගේ ජීව ක්‍රියාවලි සඳහා මූලික වන ශ්වසනය  සඳහා අවශ්‍ය, ඔක්සිජන් වලට  අමතරව  අහිතකර වායු මෙන්ම වෙනත් විවිධ අංශු වලින්ද  වායු ගෝලය පිරී  පවතින බව දැන් දැන් හෙළිවෙමින් පවතී. මේවා අතරින්  භයානක  අංශු විශේෂයක් වශයෙන් හැඳින්වෙනුයේ  ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වේ.

 

ප්ලාස්ටික් සහ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 


‘ඇදෙනසුළු ගතිය’ යන අර්ථය ඇති elasticity නම් ඉංග්‍රීසි වචනයට බොහෝ දුරට අනුරූප, ‘ඇඹීමේ කටයුතු  සඳහා යෝග්‍ය’ යන අර්ථය ඇති plasticity යන ඉංග්‍රීසි වචනයෙන් ‘ප්ලාස්ටික්’ (plastic) යන නාමය ලැබී තිබේ. අනාදිමත් කාලයක  සිට පිළිම සහ ප්‍රතිමා නෙළීම  සඳහාත් හැළි වළo  තැනීමේදීත් භාවිත කර ඇති මැටි ස්වාභාවික  ඇඹුම් ද්‍රව්‍යයකි. (moulding material). විසි වන ශත වර්ෂය මුල් කාලයේදී  කාබනික රසායන විද්‍යාවේ බහු අවයවීක (polymer) සංයෝග හඳුන්වා දීම,  ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයේ මූලාරම්භයයි. දිගු කාබන් දාම සහිත, පොලිමර් සංයෝග වෙනත් විවිධ ද්‍රව්‍ය සමග මිශ්‍ර කිරීමෙන් විවිධ ගති ලක්ෂණ වලින් යුක්ත  කෘතීම ද්‍රව්‍ය නිපදවා ගත හැකි විය.  බොහෝ විට, අධික පීඩනය සහ ඉහළ උෂ්ණත්වය යටතේ ඒවායේ ඇති සුවිශේෂී මොලොක් සහ සුමට ලක්ෂණ නිසා  ‘ප්ලාස්ටික්’ ලෙස නම්කළ මෙම කෘතීම ද්‍රව්‍ය,  භාණ්ඩ ඇඹීමේ  කාර්යයන් සඳහා ඉතාමත් යෝග්‍ය බව ප්‍රායෝගිකව දකින්නට ලැබුණි. ප්ලාස්ටික් ද්‍රව්‍ය වල සැහැල්ලු බව, කල් පැවැත්ම, නිෂ්පාදන පහසුව, මිල අඩු බව යනාදී කරුණු නිසා ඒවා ඉක්මණින්ම ජනප්‍රිය විය. මෙම ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය  සඳහා පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන වල අඩංගු  රසායන සංයෝග අමුද්‍රව්‍ය ලෙස පහසුවෙන්ම භාවිත කළ  හැකි බවද  සොයා ගන්නා ලදී

 

ලොව මුල්ම කෘතීම ප්ලාස්ටික් වන ‘බේක්ලයිට්’ (Bakelite) නමැති ද්‍රව්‍යය 1907 වර්ෂයේදී නිෂ්පාදනය කර තිබේ. මේ වන විට  ‘පොලිඑතිලීන්’, ‘පොලිවීනයිල් ක්ලෝරයිඩ්’ (PVC) වැනි බහු අවයවීක නැතහොත් පොලිමර්,  ප්ලාස්ටික් කර්මාන්තයේ බහුලව භාවිත වන සංයෝග වේ. දැනට ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් වලින් 30% ක්  පමණ ඇසුරුම් ද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ උපකරණ සහ ශරීර අභ්‍යන්තර අවයවල   ආදේශිත  කොටස් බද්ධ  කිරීමේදීත් විවිධ ප්ලාස්ටික් භාවිත කරනු ලැබේ. මෙයට අමතරව රථවාහන, ගෘහභාණ්ඩ සහ ක්‍රීඩා  භාණ්ඩ  නිෂ්පාදනය වැනි වෙනත් නොයෙකුත්  කාර්යය සඳහාද  පොලිමර් අත්‍යාවශ්‍ය අමු ද්‍රව්‍ය වී තිබේ. 

 

                               https://lh3.googleusercontent.com/uDeIsMUYmsWJg8sW1L9KiKVwcwYaXDG1c3BVZw2yMnGdxbPpxcGhbkKgFDM9BDYcaVkKcPQ0FQY_szmV9uBs5K43F4sKRi4niZrdYmDSaiN-aVRnAYDEfERF5NAGCEVzdXy3pYLQ                                ඇඟිලි තුඩක රඳවා ඇති විවිධ ආකාරයේ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සමූහයක් 

 

ඕනෑම ප්ලාස්ටික් වර්ගයක ඉතාමත් කුඩා කැබලි හෝ අංශු ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස දැක්විය හැකිය. යුරෝපීය රසායනික නියෝජිතායතනයේ  (European Chemicals Agency) අර්ථ දැක්වීමකට අනුව මිලිමීටර් 5 ක ප්‍රමාණයට අඩු ඕනෑම ප්ලාස්ටික් කොටසක් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ගණයට වැටේ. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් දෙආකාරයකට පරිසරයට එකතුවේ. 

  1. ප්‍රාථමික ප්ලාස්ටික් කෙඳි, පබළු හෝ කැටිති  -  විවිධ  කෘතීම රෙදි වර්ග හෝ  වෙනත්  එදිනෙදා ජීවිතයේදී  භාවිත කරනු ලබන විවිධ කෘතීම භාණ්ඩ වලින් කෙලින්ම පරිසරයට එකතු වන මිමී 5 හෝ ඊට අඩු  කොටස් 

  2. ද්විතීය ප්ලාස්ටික් අංශු - ප්ලාස්ටික් බෝතල්, ධීවර දැල්, ප්ලාස්ටික් මලු,   මෛක්‍රෝ වේව් උදුන් සඳහා සකස් කළ  උපකරණ ආදිය භාවිතයෙන් පසු, පරිසරයට එකතුවීමෙන්  ඒවායේ ස්වාභාවික ක්ෂයවීම සහ හායනය නිසා වෙන්වන  කොටස්  

මේ දෙවර්ගයම පාංශු  සහ ජලජ පරිසර වල එකතු වන අතර ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයේද  විසිරී පවතී.  

 

ප්ලාස්ටික් පරිසරයට එකතු වන්නේ කෙසේද ? 

 

ඔබ  ‘අම්ල වැසි’ ගැන දැනුවත් වී ඇතැයි  සිතිය හැකිය. වායු  ගෝලයේ ඇති සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ට්‍ර්යිඔක්සහිඩ්   වායු සාන්ද්‍රණය, අසාමාන්‍ය ලෙසින් වැඩිවූ විට, එම වායු  වර්ෂා ජලයේ දියවී එහි pH අගය අඩු විම නිසා ආම්ලික ස්වභාවයක් ගනී. මෙසේ ආම්ලිකවූ ජලය පොළොවට වැටෙනුයේ අම්ල වැස්සක් ලෙසටය. මේ ආකාරයටම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අධික ලෙස වායු ගෝලයට එකතුවීම නිසා නුදුරු අනාගතයේදී පෘථිවි තලය මත ‘ප්ලාස්ටික් වර්ෂා’ පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේ.

 

ප්ලාස්ටික් පරිසර දූෂණය අද මුළු ලොවටම  තදින් බලපානු ලබන උග්‍ර ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ඉතා කාර්යක්ෂම ක්‍රමවේද භාවිත නොවන ආසියානු සහ අප්‍රිකානු මහාද්වීපවල  සංවර්ධනය වෙමින් පවතින රටවල, ඉවත දැමෙන ප්ලාස්ටික් නිෂ්පාදනය කෙතරම් විශාල වීද යත්, ඉවත දමන එම අපද්‍රව්‍ය පාලනය  කිරීම අබිබවා ගොස් ප්ලාස්ටික් කඳු ගොඩ නැගෙමින් තිබේ. 

 

පරිසරය සමස්තයක් වශයෙන් ගත් විට, එහි ‘ඉවත’ ලෙස නම් කළහැකි කිසිම ඉඩකඩක් නොමැතිය. මේ නිසා අපද්‍රව්‍ය කළමනාකරණයේදී  කළ යුතු හොඳම ප්‍රතිකර්මය ‘ඉවත දැමීම’ නොව ප්‍රතිචක්‍රීකරණයයි. භාවිතය අවසන් වන ප්ලාස්ටික් කසලවල, විවිධ රසායන ද්‍රව්‍ය සහ  දෘඪතාවය සඳහා මිශ්‍ර කරනු ලබන  වෙනත්  ද්‍රව්‍යද අඩංගු වේ. මේ නිසා ප්ලාස්ටික්  භාණ්ඩ  විවිධ සංයුති  ස්වරූප දසදහස් ගණනකින් යුක්ත  වේ. මෙම හේතුව නිසා, ඒ සියල්ල ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද  මගින්  පමණක් මනා කළමණාකරණයකට යොමු  කිරීම  සඳහා සුදුසු එකම පිළිවෙතක් අනුගමනය කිරීමද කළ නොහැකිය. මෙය අති මහත් කළමනාකරණ ගැටළුවකි. 

 

පෙට්‍රෝලියම් වැනි ෆොසිල ඉන්ධන ආශ්‍රීතව ප්ලාස්ටික් නිෂ්පාදනය ආරම්භ කර, ශත වර්ෂයකට වඩා වැඩි කාලයක් ගතවී නොමැත. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පැවති  කාලයෙන් පසු ආරම්භ වූ නුතන  මිනිස් ජීවන රටාව අනුව, ප්ලාස්ටික් ද්‍රව්‍ය රහිත ජීවත් වීමක් ගැන සිතීමටවත් නොහැකි තරමට ඒවා මිනිස් ක්‍රියාකාරකම් සමග තදින් බැඳී පවතින බව නොරහසකි. ලෝක ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් 40% පමණ එක්  වරක් පමණක් භාවිත කර අත්හැර දමන, ආයු  කාලය මිනිත්තු කිහිපයක් පමණක් වන ඇසුරුම් හෝ ‘සිලි සිලි බෑග්’ වීමද   තවත් ගැටළුවකි. එහෙත් මේවා වසර ගණනාවක් දිරාපත් නොවී පරිසරයේ රැඳී සිටී.


https://lh5.googleusercontent.com/PkBAWSQ_0ukUcqTiRgdhzeVqrLkosUyoC2OYDRE5K9R5RA9YQddGtGtg19xWG6T_ub3c-c-ejPBmnKi7i6eY1AYqHCYqWLGU80dAgLQxQBFHSz5szIHLbO79DT9Ky4Kxa2FX2_yZ

  ‘එතිලීන්’ මොනොමරයෙන් ‘පොලිඑතිලින්’ පොලිමරය සෑදෙන ආකාරය 

 

අප නිරතුරුවම භාවිත කරන ‘සිලි සිලි බෑග්’ හෝ shopping bag යන නමින් හඳුන්වන මලු විශේෂයේ රසායන විද්‍යාත්මක නාමය පොලිඑතිලීන්ය.  එම නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී වායුවක් ලෙස පවතින එතිලීන් (CH2 =  CH2) හයිඩ්‍රෝකාබනයයි. මෙම සංයෝගය මොනොමරයකි (monomer). මෙවැනි සරල එතිලීන් අණු  ලක්ෂ සංඛ්‍යාත ගණනක් රසායනිකව එකට බැඳ එකතු කිරීමෙන් පොලිඑතිලීන් නිෂ්පාදනය කෙරේ. ඉහත සටහනෙහි දැක්වෙනුයේ එතිලීන් අණු  විශාල සංඛ්‍යාවක් එකට බැඳීම මගින් අති විශාල දාමයක් සහිත පොලිඑතිලීන් අණුවක් සෑදෙන ආකාරයයි. මෙය පොලිඑතිලීන් පොලිමරයකි (polymer). මෙහි එතිලීන් (CH2 =  CH2)  අණු n = 105 ක්       නැතහොත් අණු 100,000 ක්  පමණ එකට බැඳී තිබේ. මෙවැනි ප්ලාස්ටික් වර්ගයක් වුවද ස්වාභාවිකව දිරාපත් වීම සඳහා වසර සිය ගණනක් ගත විය හැකිය.

 

ලොව මෙතෙක් නිෂ්පාදනය කර තිබෙන සියලුම ප්ලාස්ටික් භාණ්ඩ, උපකරණ සහ මෙවලම් ආදියෙන් හරි අඩක් පමණ නිෂ්පාදනය කර තිබෙන්නේ පසුගිය වසර 15 තුළදීය.       

Science News සඟරාවේ පළකර තිබූ ලිපියකට අනුව 1950 වර්ෂයේදී ගෝලීය ප්ලාස්ටික්  නිෂ්පාදනය  ටොන් මිලියන 2.3 ක් වූ අතර, 2015 වසරේදී වාර්ෂික නිෂ්පාදනය ටොන් මිලියන 448 ක් වී තිබේ.   ලෝකයේ මෙම නිෂ්පාදන ධාරිතාව 2050 වන විට මෙය මෙන්  දෙගුණයක් වියහැකි  බවට පෙරැයීමක්ද කර තිබේ.

 

සෑම වසරකදීම මෙම  ප්ලාස්ටික් තොගයෙන් ටොන් මිලියන අටක් පමණ මහා සාගරයට එකතු වන බවටද ගණන් බලා තිබේ. මෙසේ කසල ලෙස එකතුවන විවිධ ප්ලාස්ටික් ද්‍රව්‍ය එකිනෙකට වෙනස් දැඩි බවකින් යුක්තවේ. මෙයින් සමහර ද්‍රව්‍ය ස්වාභාවිකව දිරා යාම පිණිස වසර 400 පමණ ගතවන බවද නිගමනය කර ඇත.

 

  ප්ලාස්ටික් ලොව පුරා විසිරීම 

 

පරිසරයේ ‘ඉවත’ යනුවෙන් ස්ථානයක් නොමැති වුවත් මිනිසා ජන්මයෙන්ම හුරු පුරුදු වී සිටිනුයේ තමන්  විසින් භාවිත කර ඉතිරිවන  දේ ’කසල’ ලෙස සැලකීමටය. මෙම කසල බොහෝවිට නතර වනුයේ පොළොවේ භුමිය   මත වේ. මෙයින් වැඩි කොටසක් ගංගා, ඇළ, දොළ සහ වෙනත්  ජල මාර්ග ඔස්සේ ගොස් අවසානයේදී සාගරයට එකතුවේ. බොහෝ විට මුහුදු වෙරළෙහි දකින්නට ලැබෙන මෙම අපද්‍රව්‍ය සාගර දියවැල් වලට හසුවී දියඹට සේන්දු වී වෙනත්  ප්‍රදේශ වලටද සංක්‍රමණය වේ. ඉහත දක්වන ලද සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක් මේ සම්බන්ධ කදිම උදාහරණයක් ගෙනහැර දක්වයි. 

 

මේ තොරතුර ලැබෙනුයේ, නවසීලන්තය සහ චිලි රාජ්‍යය අතර හරිමැද පිහිටා තිබෙන ජනශුන්‍ය ඉතා කුඩා හෙන්ඩර්සන්  දූපතෙනි.  එම වාර්තාවට අනුව මෑතදී කර ඇති  අධ්‍යයනයකදී  හෙළිවී ඇති ආකාරයට, එම දුපතෙහි මුහුදු වෙරළේ  රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, දකුණු අප්‍රිකාව, ජපානය සහ චීනය යන රටවල නිෂ්පාදිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවී තිබේ. මහා සාගරය මැද හුදකලා වී ඇති ජනශුන්‍ය මෙවැනි  දූපතකට වුවද ප්ලාස්ටික් මෙසේ වින කටින්නේ නම් අනිකුත් රටවල් වල ඉරණම කෙබඳු විය හැකිද?  

 

                     https://lh3.googleusercontent.com/hiQxl0YannEkODMPR9uhYPit4AwxZjKTZPoDp5WABjwcaeOxjzXPTVokhAKObYmt-4peFQsd3HicXrN3Tc9gPb79PMkzm1nnnqXDghb3G3GKXFZyFzdFonTuzO2wDVE9p9uSHpqP                                                        ජනශුන්‍ය හුදකලා ‘හෙන්ඩර්සන්’ දුපතේ මුහුදු වෙරළෙහි                                     ගොඩ ගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය  

 

සාගරයට පතිත වන විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හිරු එළිය, සුළඟ, රළ පහර වැනි හේතු නිසා ක්‍රමක්‍රමයෙන් කුඩා කැබලිවලට කැඩී බිඳී යාමට පටන් ගනී. මෙසේ කැඩී ගොස් හටගන්නා මිලිමීටර් පහකට වඩා  අඩු කොටස් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ගිණිය හැකිය. මෙම අංශු සාගරයේ සෑම ජල මට්ටමකම පාහේ දකින්නට ලැබේ. එපමණක් නොව ගොඩ බිම වුවද, හිමාලය කඳු ශිඛර වලසිට, ලොව ගැඹුරුම සාගර පතුල වන වන මරිනා  අගාධය (Marina Trench) දක්වා  සෑම අස්සක් මුල්ලක් නොහැර මෙම ප්ලාස්ටික් අංශු තිබෙන බව අනාවරණය වී තිබේ.  තවදුරටත්  කුඩා කැබලි වලට කැඩී  වෙන්වන මෙම අංශු ඉතා සියුම් කෙඳි වශයෙන් අපගේ  පානීය  ජලයේ සහ අප  ශ්වසනය  කරන වාතයේත් බහුලව සැරි සරමින් තිබෙන බව අධ්‍යයයන වලින් හෙළිවී ඇත. 

 

ප්ලාස්ටික් වලින් ජලජ සහ වන ජීවීන්ට සිදුවන හානි.

 

මිනිසාට මෙන්ම  වෙනත් ලක්ෂ සංඛ්‍යාත ජීවීන්ටද ප්ලාස්ටික් නිසා මරණයට පවා ගොදුරු වීමට සිදුවී තිබේ. 

https://lh5.googleusercontent.com/UbG-il-a9AqBnNW_IGhbzBUe4Z0UTeBfx_Mjs0Ro8x9CW_RrMiGhKB--II6PxotFNTaccXCwc2moPv1LZmJOt0pfY4JlXqAMeRqQYoYVv33FSUEzLBR5D458tuGpH3oIvYg3cgd1                                                                                                                   

  

                                        මුහුදේ පාවෙමින් තිබුණ    අත්වැස්මක්    මත්ස්‍ය උගුලක් වී  ඇති ආකාරය  

 

සාගරයේ මත්ස්‍යයින් සහ වෙනත් විවිධ සතුන්ද ජලාශ්‍රීත පක්ෂීන්ද බොහෝ විට මෙසේ පීඩා විඳිති. දැනට හඳුනාගෙන ඇති පරිදි, ජලජ ජීවී  විශේෂ 700 පමණ මෙම උවදුරට භාජන වී සිටිති. සියලුම මුහුදු පක්ෂී විශේෂ වල පාහේ සාමාජිකයෝ ප්ලාස්ටික් ගිල දමන බව නිරීක්ෂණය කර තිබේ. 

 

මත්ස්‍යයින්, ඉස්සන්, කකුළුවන් සහ මුහුදු බෙල්ලන් වැනි ජලජ විශේෂ සියයක පමණ ශරීර ව්‍යුහය තුළ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි තිබෙන බව අනාවරණය වී තිබේ. මෙම සමුද්‍ර ජීවීන්ගේ මාංශය  මිනිසාගේ ප්‍රියතම ආහාරයක් නොවේද? මේ නිසා මිනිස් ශරීර පද්ධති වලටද ක්ෂුද්‍ර ප්ලාස්ටික් සංක්‍රමණය වීම කිසිසේත්  වැළක්විය නොහැකිය. 

https://lh4.googleusercontent.com/vtn5TzrKbZVgqwhXpmNyeRnjDcFtX2fSu_4-Fp_CUS6OeuCydIDGp5nPKHd2CtuXgMDGTVQod6DJrTo9DQLiq8akhZHs1EVfXABZsOt4e7GVpLvye5VOfmhxpx9Hyz6b8c2woz-k

                                     වෙරළ ආශ්‍රිතව ජිවත්වන පක්ෂියෙකුගේ කූඩුව අසල                                        ගොඩගැසී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය කන්දක්  

 

අතහැර දමන ලද ප්ලාස්ටික් ධීවර ආම්පන්න, ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් ද්‍රව්‍ය සමහර අවස්ථාවලදී ජලජ සතුන්ගේ උගුල් බවට පත්වේ. කුඩා මත්ස්‍යයින්ට අමතරව මේවායේ පැටලෙන සීල්, තල්මසුන් සහ කැස්බෑවන් වැනි විශාල සත්තු පවා බොහෝ විට නිරාහාරව මිය යති. තවත් සමහර අවස්ථාවලදී, ගිල දැමූ  ප්ලාස්ටික්  ද්‍රව්‍ය ආහාර මාර්ගයේ සිරවීම නිසා ආහාර ගැනීමට නොහැකිව මියයන ජලජ සතුන් ගැනද වාර්තා වී තිබේ.ගොඩබිම වනාන්තර වල ජීවත් වන, අලි ඇතුන්, ශීබ්‍රා, ජිරාෆ්, කොටින්, ඔටුවන්,ගවයන් සහ වෙනත් ක්‍ෂීරපායින්ද  ප්ලාස්ටික් ද්‍රව්‍ය ආහාරයට ගෙන තිබෙන බවත් සමහර අවස්ථා වලදී ඒ නිසාම ඔවුන් මරණයට පත්වී ඇති බවද ලෝකයේ බොහෝ රටවලින් හෙළිවී තිබේ. 

 

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්:  සාගරයෙන් වායු ගෝලයට  

 

සාගරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත්කිරීම දුෂ්කර කාර්යයකි. වෙරළ ආසන්නයේ  සහ නොගැඹුරු මුහුදේ ගොඩගැසෙන ප්ලාස්ටික් යම්කිසි යාන්ත්‍රික ක්‍රමයකින් එකතු කර ගත හැකි වූවත්, දියඹේ  ඒ ඒ ජල මට්ටම් වල ඉල්පෙමින් පවතින ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් එසේ ඉවත් කළ නොහැකිය. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් විසිරි යාම සම්බන්ධව The Proceedings of the National Academy of Sciences නම් ප්‍රකාශණයක පළකර තිබෙන තොරතුරකට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශයේ වායු ගෝලයේ පමණක් එක්  වරකට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ටොන් 1100 ක් පමණ රැඳී තිබෙන බව, විද්‍යාත්මක ආදර්ශ (models) සහ ගණිත කර්ම උපයෝගී කර ගෙන ගණනය කර තිබේ.

 

මෙතරම් විශාල ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයක්  වාතයට එක්වන්නේ කෙසේද?  මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම ප්‍රකාශණයට අනුව, මෙයින්  සැලකියයුතු  ප්‍රතිශතයක් වාතයට මුසු වනුයේ මහා සාගරයෙන් බව අනුමාන කරයි. ගංගා, ඇළ, දොළ ඔස්සේ මුහුදට පිවිසෙනු ලබන  ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් වතුර බෝතල් ආදී ද්‍රව්‍ය  කල්යාමේදී  මිලි මීටර් පහකට වඩා කුඩා ක්‍ෂුද්‍ර අංශු බවට කැඩී  වෙන්වේ. ගෘහස්ත රෙදි සේදීමේ  යන්ත්‍ර  වලින් නික්මෙන අපද්‍රව්‍ය වල තිබෙන, රෙදිපිළි වලින් වෙන්වී යන ක්ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි මෙන්ම වැසිකිලි, කැසිකිලි වලින් ගලායන අපද්‍රව්‍ය වලද අඩංගු විවිධ අද්‍රාව්‍ය කෙඳි වර්ගද ජලඅපවහන පද්ධති ඔස්සේ ගොස් අවසානයේදී මුහුදු ජලයට මිශ්‍ර වේ. දශක කිහිපයක් තිස්සේ පැවති  මෙම ක්‍රියාදාමයේ අහිතකර බව දැන් දැන් හෙළිදරව් වෙමින් තිබේ. මීට අමතරව නගරවල මළඅපවහන පද්ධති වල කිඳා බසින ගොහොරු මඩ (sludge) ඉඩම් ගොඩ කිරීමට  සහ කෘෂිකාර්මික කටයුතු වලදීද භාවිත කෙරේ. මේවායේ ඇති ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කෙඳි විශාල වශයෙන් පසට එකතු වේ.  වගාකටයුතු වලදී බිම් කෙටීම  හෝ  පස් පෙරලීම සිදු කරන විට පිටවන දුවිලි සමගද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයට එකතුවේ. 

 

මිනිසා විසින් ස්වකීය අවශ්‍යතාවයන් සඳහා නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් වල අවසාන ඵලය වන ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මේ ආකාරයට නිරතුරුවම සාගරයට එකතුවීම නිසා, සාගරයේ ඒවා දරාගැනීමේ උපරිම හැකියාව, මේ වන විට ඉක්ම යමින් පවතී. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ  කොර්නෙල් විශ්ව විද්‍යාලයයේ,  නැතලි මාවෝල්ඩ්  විද්‍යාඥවරිය  ඉතා වැදගත් කරුණක් මෙසේ හෙළිදරව් කර තිබේ.

 

“ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්, වෙනත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන් වෙරළට ගොඩ නොගැසේ. රළ පහර සහ හමායන සුළඟ නිසා, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගත මුහුදු ජලය,  ජල බිඳිති ලෙස  වාතයට මුසුවේ.මෙම බිදිති වල ඇති ජලය වාෂ්ප වී ගිය පසු, ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වාතයේ ඉතිරි වේ. සුළඟත්   වාතයේ සංවහන ධාරාත්  ඔස්සේ විසිරි යන මෙම ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්  අංශු, ගොඩබිම සහ සාගර සිමා මායිම් ඉක්මවා ගොස් වායු ගෝලය පුරා පැතිරී යයි. දින කිහිපයක් වාතයේ රැඳී පවතින මෙම අංශු ‘ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් වර්ෂා’ ලෙස නිරතුරුවම පෘථිවි තලය මත පතිත වෙමින් තිබේ. වරක් ගොඩබිම සිට මුහුදට සංක්‍රමණය වූ ප්ලාස්ටික්, එහිදී ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් බවට පරිවර්තනය වී, වාතයට මුසුවී නැවතත් පොළොවටම පතිත වීම අනාගත මහා ව්‍යසනයක පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. මෙම නිරීක්ෂණ වලට අනුව, පෘථිවි භුමිය, සාගරයෙන් ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් අපනයනය කිරීමේ නියෝජිතායතනයක් ලෙස නම් කිරීමද නිවැරදිය.”                                                                                                                                                    වාතයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් සම්බන්ධයෙන් කරන ලද ඉහත සඳහන් කළ පර්යේෂණ වලින් අනාවරණය කර ඇති ආකාරයට සාගරයෙන් වායු ගෝලයට එකතු වනුයේ, සමස්ත ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 11-16% පමණක් බව නිගමනය කර තිබේ. එසේ නම් ඉතිරි ප්‍රමාණය වාතයට මුසු වන්නේ කෙසේද?  මෙයින් වැඩි කොටසක් හටගන්නේ නාගරීකරණය, ප්‍රවාහන කටයුතු වැනි වත්මන් සංවර්ධන ක්‍රියාකාරකම් නිසා බව පැහැදිලිවේ. මෙම සංවර්ධන කටයුතු බොහොමයක් තිරසාර නොවන්නේද යන සැකයක්ද දැනට මතුවෙමින් පවතී.

 

ප්‍රවාහණ කටයුතු ආශ්‍රිතව හටගන්නා ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් 

 

අද ලොව සෑම රටකම පාහේ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විවිධ ආකාරයේ රථවාහන භාවිත වේ. දුම්රිය, මුහුදු යාත්‍රා සහ අහස්  යානා හැර අනිකුත් සියලුම රථවාහන ධාවනය කරනුයේ රබර් ටයර් රෝද මත වේ. ස්වාභාවික ද්‍රව්‍යයක්  වන රබර් වල ඇති රසායනික සංයෝගයද කලින් සඳහන් කර ඇති ආකාරයට දිගු කාබන් දාමයක් සහිත ‘අයිසොප්‍රින්’ (isoprene) පොලිමරයකි. රථවාහන භාවිතයේදී ඒවායේ රබර් ටයර් කලකදී ගෙවී යන බව ප්‍රකට කරුණකි. මෙසේ ගෙවී යාමේදී රබර් අංශුද වායු ගෝලයට එකතුවේ. ස්වභාවික රබර් සංයෝගය ටයර් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේදී එහි දැඩි බව පවත්වාගැනීම පිණිස තවත් නොයෙකුත් සංයෝගද ආදේශ කරගනු ලැබේ. මේ නිසා අවසානයේදී රබර් ටයර් වලින් ගෙවී යන කොටස්ද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස ගිණිය  හැකිය.  මේ ආකාරයට ඕස්ට්‍රේලියානු පරිසර අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සකස් කරන ලද වාර්තාවක මෙසේ දක්වා තිබේ.

මහා මාර්ග වල ධාවනයේ යෙදෙන වාහනවල,  රබර් ටයරයක භාවිත කාලය අවසන් වන විට ටයරයේ  බරින් 15% ක් පමණ ගෙවී යයි. 

මේ අනුව 2019 වර්ෂයේදී පමණක් ඕස්ට්‍රේලියාවේ රබර් ටයර් ටොන් 533,000 ක් පමණ භාවිත කර ඇති අතර, මෙයින් ගෙවී ගොස් ඇති රබර් අංශු ටොන් 80,000 පමණ පරිසරයට මුක්තවී තිබේ.

මේ ආකාරයට විමසා බලන විට, ඕස්ට්‍රේලියාවේ මෙන් දස ගුණයක් හෝ ඊටත් තරමක් වැඩි රබර් අංශු ප්‍රමාණයක්  ගෝලීයව පරිසරයට එකතු වන බව අනුමාණ කළ හැකිය. මෙය වසරකට ටොන් 800,000 කට වැඩිවිය හැකිය. මෙයද ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් පරිසර දූෂණයේ තවත් පැති කඩක් නොවන්නේද? (කෙසේ වෙතත් මෑතදී කර ඇති පර්යේෂණයකට අනුව රබර් පොලිමර වියෝජනය කළහැකි ක්ෂුද්‍රජීවීන් සිටින බව සොයාගෙන තිබේ)

 

වාහන ගමනාගමනය සඳහා මහාමාර්ග භාවිතයේදී, මහාමාර්ග මතුපිට අතුරා ඇති කොටස්ද ක්‍රමක්‍රමයෙන් ගෙවී යයි. මෙහිදී සිදු වනුයේ, මහා මාර්ගයේ අතුරා ඇති  තාර හෝ ‘ටාර් මැට්’ (tar-mat)  ලෙස හඳුන්වන මිශ්‍රණයේද  අඩංගු නොයෙකුත් කෘතීම ද්‍රව්‍ය ක්‍ෂුද්‍ර අංශු වශයෙන් මුදා හැරීමයි.  මේවාද බොහෝ දුරට ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ගණයේ ලා සැලකිය හැකිය. මෙයින්ද සෑහෙන ප්‍රතිශතයක් අවසානයේදී එකතු වන්නේ පරිසරයටය.

 

 ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් මගහැරිය යුත්තේ ඇයි ?

 

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් නිසා මිනිසාට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව මෙතෙක් පුළුල් අධ්‍යයනයක් කර නොමැත්තේය. ජගත් වනජීවී අරමුදල (World Wildlife Fund -WWF) අනුග්‍රහයෙන් ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් විශ්ව විද්යාලයයේ මෑතදී කරන ලද අධ්‍යයනයකට අනුව සෑම කෙනෙකුටම, සතියකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් පහක් පමණ ආහාර මගින් ශරීර ගතවන බව සොයා ගෙන තිබේ. එසේම  2020 ජුනි මාසයේ කරනලද අධ්‍යයනයක් අනුව ඇමෙරිකානු වැසියෙකු වසරකදී  සිය ආහාර, බීමවර්ග  සහ ශ්වසනය මගින් වසරකදී ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු 74,000 ක් පමණ නොදැනුවත්වම තම ශරීරයට ඇතුළු  කර ගන්නා බවද හෙළිවී තිබේ.

 

ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර ගත වීම කිසිසේත් සෞඛ්‍යයට හිතකර විය නොහැකිය. එසේ වුවද මෙම අහිතකර ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මගහැර මෙලොව ජීවත්වීමද අසීරු විය හැකිය. මේවා  නිසා සිදුවිය හැකි උවදුරු වලින් තරමක් දුරට හෝ  වැළකීම සඳහා අප විසින් අනුගමනය කළයුතු  පහසු පිළිවෙත් කිහිපයක් මෙසේය.

  1. හැකි තරම් දුරට වෙළඳපලේ ඇති බෝතල් කළ ජලය පානය කිරීමෙන් වැළකීම. සාමාන්‍යයෙන් නළ ජලයේ තිබෙන ප්ලාස්ටික් අංශු මෙන් දෙගුණයක්  බෝතල් කළ ජලයේ ඇති බව පරීක්ෂණ මගින් සනාථ වී තිබේ. 

  2. කිසිවිටක ආහාර ප්ලාස්ටික් බඳුන්වල දමා රත් නොකරන්න. ප්ලාස්ටික් භාජන පිඟන් සේදීමේ යන්ත්‍රයක දමා සේදීමෙන්   වලකින්න. ප්ලාස්ටික් රත්කිරීමේදී සියුම් අංශු ආහාර වලට මිශ්‍ර වේ

  3. ප්‍රතිචක්‍රීකරණ සංකේත ‘3’ , ‘6’ සහ ‘7’ දරණ ප්ලාස්ටික් ඇසුරුම් භාජනවල කිසිවිටෙකත් ආහාර වර්ග අසුරා නොතබන්න. මේවායේ  වෙන වෙනම phthalates, styrene සහ  bisphenols යන රසායන  ද්‍රව්‍ය  අඩංගු වේ.

  4. හැකිතරම් දුරට නැවුම් ආහාර ගන්න. ප්ලාස්ටික් ඇසුරුම් වල බහා ඇති ආහාර වලට වඩා  මේවා ප්‍රවේශම් සහිතය.

  5. නිවසෙහි දූවිලි පතිත වීම හැකිතරම්  දුරට අඩුකර ගන්න. ක්‍ෂුද්‍ර ප්ලාස්ටික්  අංශු දූවිලි  සමග පහසුවෙන් බැඳී පවතී.  රික්ත ශෝධක යන්ත්‍රයක් (vacuum cleaner) භාවිතයෙන් දූවිලි ඉවත් කිරීම ඵලදායී වේ.

  6. එක් වරක් පමණක් භාවිත කෙරෙන පොලිතීන් බෑග්, බීම බට, ජල බෝතල්, හැඳි ගෑරුප්පු වැනි දේ සම්පුර්ණයෙන්ම අත්හැර දැමීම.

  7.  අත්‍යාවශ්‍ය විට පමණක් සරල භාණ්ඩ දැමීම සඳහා ගැලපෙන පරිදි, කපු රෙදි බෑගයක් පාවිච්චි කිරීම.    

                                                                                                                                                       දයාරත්න වීරසේකර                                                                                                         dayawee2@yahoo.com

 

May 2021


Wednesday, 21 April 2021

කොරෝනා වසංගතය සහ ‘හේතු ඵල ධර්ම’ සංකල්පය

“ඔබ, සොබාදහමට යම්කිසි ගැටළුවක් ඇතිකළ හොත්,  එය ඔබට නිසි පිළිතුරක්  සපයනු ඇත.” - Jacob Henle (1809-1885)


  1. උසස් මනසක් ඇත්තේ මිනිසාටය

මිනිසා යනු, උසස් මනසක් සහිතව ජන්ම ලාභය ලැබූ ජීවියෙකි. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම සහ එහි උතුම් බව  තේරුම් ගත හැක්කේ ද මිනිසාට පමණකි. අනිකුත් සියලු සතුන්ට මෙන් නොව  යමක් මනසින් මෙනෙහි කර, මැන බලා සසඳා දැනගත හැක්කේද මිනිසෙකුට ම පමණකි. ලෝකයේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව මෙන් කෝටි ප‍්‍රකෝටි ගුණයකින් වැඩි ප්‍රමාණයක් අනෙකුත් සත්ත්වයෝ සිටිති. ඒ කිසිම සත්ත්වයෙකුට  කිසිසේත් දියුණු කර ගත හැකි මනසක් නොමැත. අප විසින් සතුන් ලෙස හඳුන්වනු ලබන ඒක සෛලීය ජීවීන්ගේ සිට බහු සෛලීය අලි ඇතුන් වැනි ජීවීන් දක්වා අනෙකුත් සියලුම සතුන්ට, පරිසරයේ සිදුවන  බොහෝ සංසිද්ධි සඳහා ඇතිවන සංවේදී බව ‘ඉවක්’ ලෙස සැලකිය හැකිය. භෞතික ලෝකයේ අපට අදෘශ්‍යමාන, මිනිසුන් නොවන වෙනත් අමනුෂ්‍ය   කොට්ඨාශ ඇතොත්, ඔවුනටද ඉවක් වැනි සංවේදී ස්වභාවයක් තිබිය හැකි නමුත්, ඔවුනට මිනිසාට මෙන් මනසක් ලැබී නැත. මනස යනු සකස් කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි ඉන්ද්‍රියයකි. (මෙය භෞතිකව නොපෙනෙන  මනේන්ද්‍රියයි). මනුස්ස යනු ‘මන උස්සා ගත හැකි’, නැතහොත් මනස උසස් බවට පත්කරගත හැකි ශක්තිය ඇති බවයි. මනස යනු සිතයි. මනස උසස්  කර ගත හැක්කේ යහපත් සිතිවිලි මගින්ය. 

 

බුදුරජාණන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ, මහමත් තුමා වැනි සියලුම ආගමික ශාස්තෘන් වහන්සේලා මනුෂ්‍යයින්  වශයෙන් උපත  ලබා, මනසෙහි ශක්තිය උසස් බවට පත්කරගත් නිසා, තමතමන් වටහාගත් ධර්මය අනිකුත් මනුෂ්‍ය වර්ගයා සඳහා අවබෝධ කර දීමට සමත් කමක් දක්වා තිබේ. බෞද්ධයින්  වශයෙන් අපට හුරුපුරුදු, බුද්ධ ධර්මයේ ඉගැන්වෙන,  

මනෝ පුබ්බංග මා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා  

මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා 

තතෝ නං සුඛ මන්වේති - ඡායා’ව අනපායිනී   


මනෝ පුබ්බංග මා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා 

මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා

තතෝ නං දුක්ඛ මන්වේති – චක්ඛං’ව  වහතො පදං


යන ගාථා වලින්  හැඳින්වෙන පරිදි , මනසට අදාළ වන  දහම් කරුණු  මෙසේ විග්‍රහ කළ හැකිය. 

 

“ජීවිතයේ සෑම දෙයකටම මුල් වන්නේ සිතයි. ශ්‍රේෂ්ඨ  වන්නේ සිතයි. සියල්ලක්ම හටගන්නේ සිතීම නිසයි. යම් හෙයකින් යහපත් සිතකින් යුක්තව යමක් කීමෙන්  හෝ යමක් කිරීමෙන් ලැබෙන යහපත් සැප  විපාක, එම තැනැත්තාගේ පිටු පසින් ලුහුබැඳ ඒම ස්වාභාවිකයි. එය, තමා අත නොහැර පිටුපසින් පැමිණෙන සෙවනැල්ල මෙනි. එසේම අයහපත් සිතකින් යුක්තව කරනු ලබන යමක් නිසා ලබන අයහපත් දුක්  විපාක, රථයක  බර අදින විට ගවයා පසුපසින් කැරකී එන රථ රෝදයට  සම කළ  හැකිය.” 


මේ ගාථා ධර්මයෙන් පෙන්වා දෙන පරිදි ඕනෑම ඵලයකට හෝ විපාකයකට මුල්වූ යම්කිසි හේතුවක් තිබිය යුතුය. මෙය ලෝක ස්වභාවයයි. හේතු ඵල ධර්මය වශයෙන් බුදු සමයේ  ඉතාමත් ගැඹුරින් විස්තර කරනුයේ එදිනෙදා ජීවිතයට අදාළ මෙම සංකල්පයයි. මෙලොව කිසිම කෙනෙකුට මෙම සංසිද්ධිය ඉක්මවා ගිය නොහැක. “කළ දේ පලදේ” යනුවෙන් අපගේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනුයේද මෙම ධර්මතාවයයි. ඔබ රබර් පටියක් එක අතක ඇඟිලි තුඩු වලින්  හොඳින් අල්ලා ගෙන එහි අනික් කෙලවරින් ඇද, අතහැරියහොත්, එය වේගයෙන් ආපසු පැමිණ ඇඟිලිවල වැදී වේදනාවක් ගෙන දෙයි. මෙම සරල උදාහරණයේ හේතුව වශයෙන් දැක්විය හැක්කේ,  රබර් පටිය තදින් ඇදීම වන අතර, එය ආපසු පැමිණ ඇඟිලි වලට වේදනාවක් ගෙන දීම ඵලයයි. මෙම ඵලය නැතහොත් ඇඟිලිවල වේදනාව ඇතිවීමට හේතුවූයේ රබර් පටිය ඇදීමේ ක්‍රියාව බව සාධාරණීකරණය කළ හැකිය. මේ ආකාරයටම, කෙනෙකු වර්තමානයේ අත් විඳින හා අතීතයේ අත්විඳි සියලු ඵල විපාක ඇතුලත් ලාභ, අලාභ, අවමාන, කීර්ති,  නින්දා, ප‍්‍රශංසා, සැප, දුක  යන  අටලෝ දහමට අයත් හැම අංගයක්ම තමන්ට අත් විඳින්නට සිදුවනුයේ  තමන් විසින්ම  එකතු කර ගන්නා ලද හෝ අල්ලා ගන්නා ලද චිත්ත ශක්ති  හේතු කොට ගෙනමය. ඒ සියල්ල තමන්ගේම අතීත උරුම ලෙස සැලකිය හැකිය. 

  

නවීන විද්‍යාව ආරම්භ වූ කාලයේ (17 වන ශත වර්ෂයේ) ජීවත්වූ අයිසෙක් නිව්ටන් නම් විද්‍යාඥයා විසින්, භෞතිකව සිදුවන, ඕනෑම උත්තේජනයකට නැතහොත් ඵලයකට අනුරූපී හේතුවක් තිබෙන බව පෙන්වා දී, එය භෞතික විද්‍යාවේ නියමයක් ලෙස දක්වා ඇත. මෙය චලිතය පිළිබඳ නිව්ටන්ගේ තුන්වැනි නියමයයි. එය මෙසේය: 


Every action has an equal and opposite reaction - සෑම ක්‍රියාවක් සදහාම,  විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ, ප්‍රතික්‍රියාවක් පවතී  


මෙම භෞතික සංසිද්ධියේ සත්‍යතාව සරල පරීක්ෂණ මගින් වුවද පෙන්විය හැකිය. පසු කාලයේදී,  මෙම සංකල්ප ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කර, සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහ වස්තු වල චලණ පිලිබඳ හැදෑරීම සඳහාත්, දැනට  අජටාකාශ ගමන් බිමන් වලදීත් භාවිත කරනු ලැබේ. සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහ ලෝක සහ අනිකුත් සියලුම ආකාශ වස්තු වල භ්‍රමණය සහ පරිභ්‍රමණය සිදුවීම සඳහා ගුරුත්වාකර්ෂණය නමැති බලසම්පන්න භෞතික හේතුවද ක්‍රියාත්මක වන බව සොයා ගෙන තිබේ. භෞතික ලෝකයේ දකින්නට ලැබෙන මෙවැනි  ස්වභාවික සංසිද්ධි  හේතු කොට ගෙන ඇතිවන ඵල පිළිබඳව විද්‍යාවේ නොයෙකුත් උදාහරණ දකින්නට ලැබේ. එහෙත් මෙම සංකල්ප ඉතා ගැඹුරින් විග්‍රහ කර  මිනිසාගේ අධ්‍යාත්මය සහ සිතුම් පැතුම් සහ කියුම් කෙරුම් කෙරෙහිද එය එකසේ බලපාන ආකාරය සවිස්තරාත්මකව විග්‍රහ කරනුයේ බෞද්ධ දර්ශනයේ පමණකි. මෙය හේතු ඵල ධර්මයයි.


  1. හේතුඵල ධර්මතාවය යනු කුමක්ද?


භෞතික ලෝකයේ දකින්නට ලැබෙන මෙම සර්ව සාධාරණ සංකල්පය, මනුෂ්‍යයාගේ අධ්‍යාත්මය සඳහා බලපැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්, විවිධාකාර විග්‍රහ කිරීම් මගින් බෞද්ධ දර්ශනයේ  පෙන්වා දී තිබේ. මෙය හැඳින්වෙනුයේ හේතු ඵල ධර්මය - (Cause and Effect) යන නමින්ය. (සදහම් අටුවාව)


ඕනෑම සත්ත්වයෙකු හෝ පුද්ගලයකු අත්විඳින සෑම ඵල විපාකයකටම මුල්වූ හේතුවක්ද අනිවාර්යයෙන්ම තිබේ. මේ සියල්ලටම මුල් වනුයේ සිත, කය සහ වචනය වේ. සංඛාර වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙසේ හටගන්නා චිත්ත ශක්ති ප්‍රභේද වේ. යම් කිසිවෙක් මෙම හේතු ශක්ති  තමන් වෙත ළඟාකර ගනීද, එම හේතු, එසේ ඒවා එකතු කර ගත් අය වෙතම, ඵල විපාක දීමටද  සමත් වේ. මේ ආකාරයට භෞතික ලෝකයේ සිදුවන ඕනෑම සරල ඵලයකට යම්කිසි හේතුවක් මූලික වන බවෙහි සත්‍යතාව වීද්‍යාත්මකවද සරල පරීක්ෂණ මගින් පෙන්වා දිය හැකිය. 


ලෝකයේ සියලුම දේ ඇතිවනුයේ, පවතිනුයේ සහ අවසන් වනුයේ ප්‍රධාන සාධක පහක බලපෑම නිසාය. මේවා බීජ නියාම, උතු (ඍතු) නියාම, කම්ම නියාම, ධම්ම නියාම  සහ චිත්ත නියාම යනුවෙන් බුදු දහමෙහි හැඳින්වේ. මෙම සංසිද්ධි පහත දැක්වෙන ආකාරයට සරලව  විස්තර කළ හැකිය. 


පළමුව, යම්කිසි ශාකයක පුෂ්ප පරාගණය මගින් අලුත් ශාක හටගැනීම සඳහා අවශ්‍ය වන බිජ, සකස් වේ. එමෙන්ම මිනිසා ඇතුළු සියලු සතුන්ගේ හටගැනීමට මුලික වනුයේ මව් සත්වයෙකු විසින් නිපදවනු ලබන බීජ සංසේචනය වීමයි. ජීවීන්ගේ උපතට ඉවහල් වන මෙම සාධකය මගින් සැපයෙන ජීව ශක්තිය නිසා ශරීර හැඩය, රූප කලාප, හුරු පුරුදු ගති, මානසික ලක්‍ෂණ ඇතිවීම වැනි සියල්ල පාලනය වේ. නූතන ජනක විද්‍යාවේ විස්තර කරනු ලබන ජානවල හැසිරීම්  රටාවලට මූලික වන,  DNA සහ RNA වැනි ජීවයේ මුලාකෘති වල විභවය සහ ඒවායේ ක්‍රියාකාරීත්වයද  බීජ  නියාමය අනුව සිදු වේ.


දෙවනුව, යම්කිසි ස්ථානයක කාලගුණය සහ  රටක  හෝ සමස්ත ලෝකයේම දේශගුණය පාලනය වනුයේ ඍතු විපර්යාස වල බලපෑම නිසා වේ. මෙය උතු නියාමය යි. මූලික වශයෙන් ඍතු විපර්යාස හටගන්නේ පෘථිවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය හේතුවෙනි. මුහුදේ වඩදිය බාදිය වැනි සංසිද්ධි සඳහා චන්ද්‍රයාගේද බලපෑමක් තිබේ. ගස් වැල්වල මල්පල හට ගැනීම, වර්ෂාව, සුළඟ, අකුණු ගැසීම් ආදී ස්වභාවික සංසිද්ධි සඳහාද උතු නියාම විසින් බලපෑමක් සිදුකරනු ලබයි. 

 

තුන්වෙනුව, කලින්  සඳහන් කළ  පරිදි, සිතුවිලි වලට අනුරූපව සිත, කය, වචනය යන තිදොර ආශ්‍රීතව හටගන්නා සිද්ධි මගින්ද  ජීව අජීව  වස්තු කෙරෙහි බලපෑමක් සිදු විය හැකිය. මෙය කම්ම නියාමය යි. බෞද්ධ ඉගැන්වීම් වල දැක්වෙන කම්ම නියාමය  මනෝවිද්‍යාත්මක සංකල්පයකි. ජීවීන්ගේ උපත සඳහාද කර්ම  බලපෑමක් තිබේ. සත්ත්වයන් අතර විවිධත්වයක් හටගන්නේද කර්මය නිසාය. 


සිව්වනුව,  සොබා දහමේ සිද්ධි හා නිපැයුම් අහම්බෙන් සිදු නොවේ. මේවා ධම්ම යනුවෙන් හැඳින්වේ.  ඒවාට  මුල්වන කරුණු  සමූහයකි. මේ සියල්ල  ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. මේ සියල්ල යම් යම් හේතු නිසා සිදුවන ඵල ලෙස සැලකිය හැකිය.  මේ නිසා ‘යමක් මත රඳා පැවතීම’  යන අර්ථයෙන් එය ‘පටිච්ච සමුප්පාද’  යයි නම් කෙරේ.  හේතු නිසා සියල්ල හටගනී. එම හේතූ  නැතිව යාමෙන් සියල්ල නැති වෙයි. භුමිකම්පා වැනි ස්වාභාවික සංසිද්ධි හෝ  සමාජ අර්බුද, පරිසර දූෂණ, වසංගත,  දරිද්‍රතාව වැනි දේවල්ද   හේතු ඵල දහමේ බලපෑම අනුව සිදුවන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ  විස්තර කෙරේ. 


පස්වනුව, මිනිසා තුළ බල පවත්වන අධ්‍යාත්මික ස්වභාවයක්  ලෙස චිත්ත නියාමය දැක්විය හැකිය. අරමුණු සිතන්නේ සිත බව අභිධර්ම විග්‍රහයේ කියැවේ. වහ වහා සැලෙන, වේගයෙන් වෙනස්වන සිත පිළිබඳ විස්තර බුද්ධ දේශනාවේ පෙන්වා දී තිබේ. මොහොතකින් ඉතා දුර ගමන් කිරීමේ හැකියාව ඇති සිත පිළිබඳ බොහෝ කරුණු, ධම්ම පදයේ චිත්ත වග්ගයේ දැක්වේ. සිත අනුව සත්ත්වයන්ගේ ජීවිත පරිවර්තනය වේ. යහපත් සිත සැප ගෙන දේ. අයහපත් සිත මගින් විපත් ගෙනදෙයි. සමාජ, පුද්ගල පරිහානිය මෙන්ම දියුණුව ද චිත්ත නියාමය අනුව සිදුවන්නකි. 


මේ අනුව සියල්ල කර්මයෙන් සිදුවේය යන මතය දුර්වල වේ. එය පංච නියාම ධර්ම වලට අයත් එක් නියාම ධර්මයක් පමණකි. මෙම නියාම ධර්ම පහ මැනවින් තේරුම් ගැනීම, ලෝකය පිළිබඳ යථාර්ථය දැකීමයි. නියාම ධර්ම අවබෝධය තුළින්  ලෝක ස්වභාවය  හඳුනා ගත්විට, මමත්වය  දුරුකොට සියලු බැඳීම් හා දෘෂ්ටි වලින් මිදුණු මනසක් අපට ඇති කර ගත හැකි ය. මෙසේ වූ විට මිනිසාට තෘෂ්ණාව පිටුදැක ‘අත්හැර දැමීම’ වැඩි දියුණු කරගත හැකිවේ.   


  1. හේතු ඵල ධර්මය මිනිසා කෙරෙහි බලපෑම  


ඕනෑම මිනිසෙකුගේ සිත, කය සහ වචනය යන තුන් ආකාරයෙන් එකකින් හෝ සියල්ලෙන්ම  වෙනත් සත්වයෙකුට හෝ පොදුවේ ගත්කළ, ගහකොලද ඇතුළු වෙනත් ජීවීන්ට අයහපතක්, අවැඩක්, අසාධාරණයක්, සිදුවන්නේ නම්, එම  හේතුවෙන් තමාටද  ඵල විපාක උරුම වන බව තේරුම් ගත යුතුය. කවදා හෝ මෙවැනි අයුතු අසාධාරණකම් වලට තමන්ටත් වන්දි හෝ ණය ගෙවන්නට සිදුවේ. එසේම යම්කිසි පුද්ගලයෙකු විසින්, මේ මොහොතේ අත් විඳිනු ලබන හෝ  අතීතයේ අත් විඳි සියලු අහිතකර ඵල විපාක මෙන්ම හිතකර යහපත් ඵල විපාක ද තමා විසින්ම  පෙර දිනක කරන ලද යම්කිසි  හේතු නිසා ලැබූ  ඵල විපාක බවද මෙනෙහි කළ හැකිය.


මෙහිදී බුදු දහමෙහි විස්තර කෙරෙන පින් සහ පව් පිළිබඳවද සලකා බැලීමද  උචිතය. වෙනත් ආගම් වලද පින් සහ පව් ගැන විවිධ ආකාරයට සඳහන් කර තිබේ. මේ පිලිබඳ බෞද්ධ විග්‍රහය දාර්ශනික පසුබිමක් මත ගොඩ නැගී  ඇත. පින යනු සත්ත්වයාට මෙලොව මෙන්ම පරලොවද ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැනි යහපත් ඵල ලබාගැනීමට ඉවහල් වන හේතු ලෙස දැක්විය හැකිය. එසේම පව  වශයෙන් දැක්වෙන්නේ සංසාරික සත්ත්වයාට සැප විපාක අහිමි කරවනු ලබන හේතු වශයෙනි. බෞද්ධ විග්‍රහය අනුව අචේතනිකව සිදුවන ක්‍රියාවන්ගෙන් පවක් හෝ පිනක් සිදු නොවේ.  තමන්ගේ දැනුවත් කම ඇතිව කුමන ආකාරයකින් හෝ සිදුකරනු ලබන ක්‍රියාවකින් කිසිවෙකුට කවරදාක හෝ දුකක් ඇතිවේනම් එය පාපයකි. එසේම යම් ක්‍රියාවකින් තමන්ට හෝ අනුනට යහපතක්ම වේනම් එය පිනකි. මෙසේ තමන්  විසින් ලඟාකර ගන්නා පවෙහි අනිටු විපාක හෝ  පිනෙහි යහපත් විපාක තමන්ම අත්  විඳිනු විනා අන් කිසි කෙනෙකුට පැවරිය නොහැකිය. 



  1. අප අද මුහුණ පාමින් සිටින  අර්බුද  විග්‍රහ කළ හැක්කේ කෙසේද ?  


අප ජීවත්වන පෘථිවි ග්‍රහ ලෝකය සෞර  ග්‍රහ මණ්ඩලයේ එක්  ග්‍රහ වස්තුවක්  පමණකි.  මෙවැනි සෞර  ග්‍රහ මණ්ඩල රාශියක් අභ්‍යවකාශයේ තිබෙන බව පිළිගත් සත්‍යයකි. මෙතෙක් මිනිසා ලබා ඇති විද්‍යා හා තාක්ෂණික ඥානය අනුව ජීවය ඇති එකම ග්‍රහ ලෝකය බවට  විශ්වාස කරනුයේ පෘථිවියයි. පෘථිවි ගෝලයේ බාහිර ආවරණය වන “ජෛව ගෝලය” (Biosphere)  යන නමින් හඳුන්වන, තුනී මතුපිට තීරුව මිනිසා ඇතුළු කෝටි  සංඛ්‍යාත ජීවීන්ගේ වාස භුමිය වේ. වසර මිලියන ගණනාවකට ඉහතදී ජෛව ගෝලයේ හටගත් ඒක සෛලීය ජීවීන්ගේ සිට ඉතාමත් දිගු කාලයක් තිස්සේ සිදුවූ පරිණාමය මගින් මිනිසා නිර්මාණය වී තිබේ. මෙම නූතන මිනිසා Homo sapiens යන විද්‍යාත්මක  නමින් හැඳින්වේ. පෘථිවිය වටා ඇති වායු ගෝලයේ තිබෙන ඔක්සිජන් වායුව ජීවීන්ගේ ස්වසනය සඳහා භාවිත වේ. ඔවුන්ගේ සියලුම ජිවන ක්‍රියාවලි සඳහා ස්වසනය අත්‍යාවශ්‍ය සාධකයකි. එසේම වාතයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ශාක වල වර්ධන ක්‍රියාවලි සඳහා අවශ්‍යය. සියලුම ජීවීන්ට අවශ්‍ය ජලයද ජෛව ගෝලයේ සුලභව තිබේ. ශාකවල කොළ පැහැය හටගන්නේ, පත්‍ර වල ඇති  ‘හරිතප්‍රද’ නමැති ව්‍යුහ නිසාය. මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට අවශ්‍ය ආහාර කෙලින්ම හෝ වක්‍රාකාරයකින් සපයනුයේ ශාක මගින්ය. මෙහිදී, ශාක,  ඒවායේ  මුල්වලින් උරා ගනු ලබන ජලය සහ පත්‍ර වලින් ලබාගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව, රසායන ප්‍රතික්‍රියාවකට භාජන කර,  කාබෝහයිඩ්රේට නමැති ආහාර නිපදවති. මෙම  ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය වන ශක්තිය සුර්යාලෝකයෙන් ලබාගැනීම පිණිස  හරිතප්‍රද වල සුවිශේෂී යාන්ත්‍රණයක් තිබේ.

 

මෙම ස්වාභාවික ක්‍රියාවලි සිදුවීම නිසා, පෘථිවියේ ඇති සියලුම ජීවී සහ අජීවී සංඝටක අතර මනා සමතුලිතතාවයක් ගොඩ නැගී ඇත. වායුගෝලයේ ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් වායුව, පොළොවේ ජලය, වායු ගෝලයට ලැබෙන හිරු එලිය ආදිය ඉතාමත් ප්‍රශස්ත මට්ටමින් පැවතීම නිසා, මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට ජීවත්වීම සඳහා පෘථිවිය මත සකස්වූ පරිසරය ඉතාමත් හිතකරව පවතී. වායු   ගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ස්තරය, පෘථිවිය වසා සිටින ‘පොරවනයක’ ආකාරයට ක්‍රියාකරමින් අභ්‍යවකාශයේ සිට පෘථිවිය කරා පැමිණෙන  අහිතකර අන්තරීක්ෂ කිරණ (cosmic rays) කපා හරියි.  

 

ආදි කාලීන මිනිසා,  තමන්ගේ  වටපිටාවේ නැතහොත් අවට පරිසරයේ,  ජීවී අජීවී සියලු වස්තු  සමග මනා සබැඳියාවකින් යුක්තව කටයුතු කළේය. පරිසරයේ ගහකොළ සතා සීපාවා ඔහුගේ ආහාර සපයමින් වෙනත්  අග හිඟ කම් වලටද  පිහිට විය. ඒ නිසා ඔහු තම පරිසරයට ආදරය කළේය. ඔහුගේ දැනුම්  සම්භාරයට ගම්‍ය නොවන  පරිසරයේ බොහෝ දේ ඔහු දේවත්වයේ ලා සැලකීය. බොහෝ විට ග්‍රහ වස්තුවල හැසිරීම් රටා, දේශගුණ විපර්යාස වැනි සංසිද්ධි පිලිබඳ ගැඹුරු දැනුමක් ඔහුට නොතිබිණි. වනාන්තර ගතව සතුන් දඩයම් කිරීමෙන් ජීවත්වූ මිනිසා පසු කලකදී ක්‍රමක්‍රමයෙන් සතුන් ඇති කිරීම, කෘෂිකාර්මික කටයුතු වැනි වෙනත්  ජීවනෝපා  මං වලටද  යොමු වන්නට විය. මෙසේ සිදුවූ විපර්යාසයන් සමගම මිනිස් සමාජයේ ආරම්භවූ හැරවුම් ලක්ෂ්‍යය,  ශිෂ්ඨාචාරය ලෙස දැක්විය හැකිය. මිනිසුන්  ශිෂ්ඨාචාර වෙත්ම ඔවුන්ගේ  බුද්ධි මට්ටමද  වැඩි දියුණු වන්නට විය. මෙසේ  බුද්ධිය මෙහෙයවා කටයුතු කළ අය අතුරෙන්, මහා දාර්ශනිකයින් සහ ආගම් කතෘ වරු වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ද  පහල වන්නට විය.

 

එම ආගම් කතෘවරුන්ගේ ඉගැන්වීම්  අනුව මිනිසාට ‘හොඳ නරක’ පිලිබඳ අවබෝධයක් ඇතිවිය. මිනිසා තුළ සදාචාර සම්පන්න භාවය ප්‍රගුණ වත්ම, ඔහු පාපකාරී අදහස්  උදහස් වලින් ඈත්වී, ජිවිතයට වැඩදායී,  අධ්‍යාත්මය ඔප්  නැංවිය හැකි මාර්ග  සෙවීමට උත්සාහ කළේය. විශේෂයෙන්ම ආසියානු රටවල ප්‍රචලිත වූ බෞද්ධ දර්ශනය සහ හින්දු  ආගමික වත් පිළිවෙත් නිසා, සැහැල්ලු දිවි පෙවෙතකට හුරු පුරුදු වූ  මිනිසා, තම සිතැඟි පාලනය කර ගනිමින් එදිනෙදා ජීවිතය සකස් කර ගැනීමට පුරුදු විය.  එසේම  යුරෝපාකරයේ  ක්‍රිස්‌තු ධර්මය ප්‍රචලිත වීමත්, මැද පෙරදිග රටවල  ඉස්ලාම් ධර්මය මුල් බැස ගැනීමත් නිසා එම රටවල ජනතාවද  ආගමානුකූල ජීවිත ගතකිරීමට හුරු පුරුදු වූහ.


මෙසේ ආගමික පසුබිමක් සහිත ජීවිතයකට හුරු පුරුදු වූ මිනිසා පරිසරයේ සතා සීපාවා, ගහ කොළ, ගංගා ඇල දොළ, වායු ගෝලය, පෘථිවි තලය ආදී සෑම දෙයකටම ආදරය දැක්වූ අතර ඒවා පරිහරණය කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළේය. ඔව්හු තම තමන්ගේ ජිවිත, පරිසරය හා තදින් බැඳී තිබෙන බව තරයේ විශ්වාස කළහ. මේ සියල්ල ඔවුනට ඉතා අගනා සම්පත් විය. එම සම්පත් සමග තදින් බැඳී  මනා කළමනාකරණයකින් යුක්තව කටයුතු කිරීමට ඔව්හු පෙළඹුනහ. සොබා දහමේ සියලුම නිර්ණායක වල වැදගත්කම  හිස් මුදුනෙන්ම පිළිගත් ඔව්හු කිසිවිටෙක ඒවායේ සීමා මායිම් පරයා කටයුතු කිරීමට පියවර නොගත්හ.  කල් යාමේදී ආගම් වල ඉගැන්වීම්  ලොව සෑම රටකටම පාහේ ප්‍රචලිත වන්නට විය. ආගම්  ආශ්‍රිතව ධාර්මික බවට පත්වූ ජනතාව ස්වාභාවික සහ භෞතික සැප සම්පත් කාලානුරුපව භුක්ති විඳිමින් යහපත් ජිවිත ගත කළහ.  මේ අතර බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට පෙළඹුණු මිනිසාට තම ක්‍රියාවලි සංවිධානාත්මකව මෙහෙයවීම සඳහා නායකයින් අවශ්‍ය විය. මෙසේ පහලවූ නායකයෝ පාලකයින් වූ අතර බොහෝ අවස්ථාවලදී ඔව්හු රජවරු යන නමින් හැඳින්වූ අති ප්‍රබල නායකයෝ වූහ. මුල් කාල වලදී රජවරු හෝ පාලකයෝ: 

  

“දේවෝ වස්සතු කාලේන - සස්ස සම්පත්ති හෝතුච  පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ”

                                                         

නම්  ගාථාවෙහි  දැක්වෙන ආකාරයට දැහැමින් රාජ්‍ය පාලනය  කළ  නිසා, කලට වැසි වැස, කෙත් වතු සාර වී, ජනතාව සතුටෙන් කල් යවා සමෘධිමත් දේශයන් ගොඩ නගා ඇත. මේ තත්ත්වය බුදු සමය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති ශ්‍රී ලංකාව කෙරෙහි  විශේෂයෙන් බලපා  තිබේ. බුදු සමයෙහි දක්වා ඇති  සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කිරීම අදටත්, හෙටටත් එකසේ  ප්‍රයෝජනවත් වන ධර්මානුකූල පිළිවෙතකි.  එය සියලු සත්වයන්ට මහත් ආශිර්වාදයක් ගෙනදීමට සමත් බෞද්ධ ඉගැන්වීමකි. මෙම වැදගත් ගුණ  සමුදාය ගැබ්වී ඇත්තේ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන මිනිස් සිතට ආරෝපණය කරගත හැකි සිතිවිලි මගිනි. බුදු දහමේ සමස්ත ඉගැන්වීම පදනම් වන්නේ මෛත්‍රිය මතය. ලොව අවිහිංසාව පදනම් කරගත් ආගම් අතර බුදුදහමට හිමිවනුයේ ප්‍රමුඛතම ස්ථානයකි. සියලු සත්වයෝ සුවපත්වීම මෙන්ම සැප කැමැත්තෝ වීම බුදුදහමේ අරමුණයි. 


මේ ආකාරයට ආගමික පසුබිමකින් යුක්තව සිදුවූ, ලොව රාජ්‍ය පාලන තන්ත්‍රය කල්යාමේදී විවිධ හේතු නිසා ක්‍රමක්‍රමයෙන් බෙලහීන වන්නට පටන්  ගත්තේය. තණ්හාව, ඊර්ෂියාව, ක්‍රෝධය වැනි මිනිසා තුළ සැඟවී තිබෙන දුර්ගුණ, ආගම ධර්මය පරයා ඉස්මතු වීම නිසා, සමාජයේ අඬ දබර, කළ කෝලාහල ආදිය ආරම්භ විය. කල්යාමේදී මේවා මහා ලේ වැගිරීම් සහ මිනිස් ඝාතන සහිත ජාත්‍යන්තර යුද්ධ බවටද පත්විය. මෙසේ මිනිසාගේ යහ ගුණ යටපත් වෙමින් දුර්ගුණ ඉස්මතු වීම, මිනිස් සංහතියේම අභාග්‍යයේ මුලාරම්භය  ලෙස සැලකිය හැකිය.

 

නුතන යුගයේ බලාපොරොත්තුවූ භෞතික ‘දියුණුව’  කරා ක්‍රමක්‍රමයෙන් පිය නගමින් තිබුණු  මිනිස් සමාජය මෙවැනි පසුබිමක් යටතේ, අවිනිශ්චිත තත්ත්වයක පවතින අතරතුරදී, කාර්මික විප්ලවය ආරම්භ විය. 


මෙහිදී සනිටුහන් වන ඉතාමත් වැදගත් සිද්ධිය වනුයේ යන්ත්‍ර සුත්‍ර නිර්මාණය වීමයි. මේ නිසා මිනිසාගේ සිතුම් පැතුම් පවා වෙනස් වන්නට විය. ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු පහසු වන්නට විය. ආහාර නිෂ්පාදනය, ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, සන්නිවේදනය, මුදල් ගනුදෙනු, ආරක්ෂක කටයුතු වැනි බොහෝ දේ කාර්මික කරණය විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සියලු දෙය වාණිජමය ස්වරූපයකට පත්වූ අතර, මිනිසාගේ බොහෝ කටයුතු සඳහා මූල්‍යමය වටිනාකම් ඈඳා ගැනීමට පටන් ගන්නා ලදී. මෙසේ ආරම්භවූ නව අදහස් උදහස් මූලික කරගනිමින්  නව ‘සංකල්ප’ ගොඩ නැගෙන්නට විය. උදාහරණයක් වශයෙන්, පැරණි මිනිස් සමාජය විසින්  පූජනීය වස්තු ලෙස සලකන ලද වනාන්තර වල ගැබ්වී ඇති, ගිණිය නොහැකි සම්පත් සඳහාද මිල නියම විය. එසේම, යුග ගණනක අතීතයේ සිට  භූ ගර්භයේ තැන්පත්වී ඇති ඛනිජ සහ ‘පෙට්‍රෝලියම්’ වැනි ෆොසිල ඉන්ධන ලබාගත හැකි නිධි වලටද මිල නියම වන්නට පටන් ගත්තේය. මේ සමගම එම සම්පත් ලබාගෙන අලෙවි කළ හැකි ක්‍රමවේද ගැනද  මිනිසාගේ සිත් යොමු  විය. ඔහු මේ සඳහා ගැලපෙන යන්ත්‍ර සුත්‍ර නිර්මාණය කර ගන්නා ලදී. ආරම්භයේදී වාෂ්ප බලයෙන් ක්‍රියාකළ යන්ත්‍ර සුත්‍ර සඳහා ගල් අඟුරු හෝ පෙට්‍රෝලියම් ඉන්ධන භාවිතය ලාභ දායක  බව ඔප්පු වූ පසු, ගල් අඟුරු කර්මාන්තය ආරම්භ කරන ලදී.


කාර්මික විප්ලවයෙන්  පසු ලොව පුරා ශීඝ්‍ර භෞතික දියුණුවක් දකින්නට ලැබිණ. ඒ සමගම මිනිසාගේ අධ්‍යාත්මික දියුණුවේ ගරාවැටීමක්ද සිදුවන බව පැහැදිලි විය. එහෙත් මුදල් පසු පසම හඹා ගිය මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය පසෙක තබා,  වැඩි වැඩියෙන් භෞතික දේ රැස්කර ගැනීම සඳහා සිත් යොමු කළේය. ඔහු වනාන්තර සම්පත් සුරාකෑම ආරම්භ කළේය. ගල්  අඟුරු සහ ෆොසිල ඉන්ධන නිධි අධික වශයෙන් භාවිතය පටන් ගත්තේය. පෘථිවියට අයත් එම මහඟු සම්පත්, මේ වන විට අවසන් වෙමින් පවතී. වසර මිලියන තුන්හාර සියයක් තිස්සේ භූ ගර්භයේ තැන්පත් වී ඇති මෙම ප්‍රතිජනණීය නොවන (non-renewable)  ෆොසිල ඉන්ධන ශත වර්ෂ දෙකක්  පමණ සුළු කාලයක් තුළදී අවසන් කර දැමීමට මිනිසා සමත්වී තිබේ. වනාන්තර, ප්‍රතිජනණීය (renewable) සම්පතක් ලෙස සැලකුවද, රූස්ස ශාක සහිත, අපගේ ‘සිංහරාජය’ වැනි   වැසි වනාන්තරයක් සකස් වීම සඳහා, වසර හාර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ.  ලෝක බැංකුවේ ගණනය කිරීමකට අනුව ගතවූ ශත වර්ෂය තුළදී පමණක්, ලොව පුරා  වර්ග සැතපුම් මිලියන දහයකට (වර්ග කි.මී මිලියන 3.9 ට) වඩා වන විනාශයක් සිදුවී තිබේ. පසුගිය විසිපස් වසර තුලදී පමණක් වන විනාශය වර්ග සැතපුම් පන් ලක්ෂයකි.


  1. හේතුව සහ ඵලය 


මෑත යුගයේ ලොව පුරා පවතින විවිධ ආපදා රාශියකට ප්‍රධානතම හේතු වී තිබෙන්නේ මිනිසාගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා සිදුකරනු ලබන අසීමිත  ෆොසිල ඉන්ධන භාවිතය සහ දැවැන්ත වන විනාශය බව විවිධ සමීක්ෂණ වලින් හෙළිවී තිබේ. මේ හේතු නිසා ඇතිවී තිබෙන ඵල මොනවාද? 

  • ෆොසිල ඉන්ධන දැවීමේදී හටගන්නා ප්‍රධාන අපද්‍රව්‍යය  වන කාබන්ඩයොක්සයිඩ් වායුව මුක්ත වනුයේ වායු ගෝලයටය.  මේ හේතුවෙන්,  හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වායු ගෝලයේ වැඩිවීම නිසා පරිසරයේ  උණුසුම වැඩිවේ. 

  • පරිසරයේ උණුසුම වැඩිවන විට පෘථිවියේ ධ්‍රැව  ආසන්නයේ ඇති අයිස් දිය වීමට පටන් ගෙන, මුහුදු ජල මට්ටම  ඉහල යාමේ ප්‍රවණතාවක් තිබේ.

  • මුහුදු ජල මට්ටම ඉහල යනවිට දූපත් රටවල් (මාල දිවයින් වැනි)  ජලයෙන් යටවීමේ තර්ජනයක් පවතී. ඒ සමගම, වෙරළාසන්නයේ පිහිටි  ලෝකයේ ඉතාමත් ජනාකීර්ණ ප්‍රධාන නගර රාශියකටද මෙම තර්ජනය එකසේ බලපායි.

  • සාගර ජලයේ උෂ්ණත්වය වැඩි වනවිට, ඉතාමත් ඉහල ජෛව විවිධත්වයකින් යුත්  කොරල් පර සහ ඒවා ආශ්‍රීත සාගර ජීවීන්ගේ ජීව ක්‍රියාවලි අඩපණවී ඒවා විනාශයට පත්වේ. ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය දැනටමත් මේ උවදුරට පත්වෙමින් තිබේ.

  • වායු ගෝලයට මුක්ත වන අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සැලකියයුතු ප්‍රතිශතයක් සාගර ජලයේ දියවී පවතී. සාගර ජලයේ උෂ්ණත්වය ඉහලයන විට ද්‍රාව්‍ය වී ඇති කාබන්ඩයොක්සයිඩ් වායුවේ විශාල කොටසක් වායු ගෝලයට මුදා හැරේ. මේ නිසා පරිසර උණුසුම තවත් ඉහල යයි.

  • පරිසරය උණුසුම් වනවිට ස්වාභාවික දේශගුණ රටා විපරීත වීම නිසා අනපේක්ෂිත නියඟ,වර්ෂාපතනය ජලගැලීම්, චණ්ඩ මාරුත වැනි සංසිද්ධි ලොව පුරා වැඩිවෙමින් පවතී.

  • මෑතදී ඕස්ට්‍රේලියාවේ සහ අමෙරිකාවේ  හටගත් මහා ලැව් ගිනි මෙතෙක් ලොව හටගත් විශාලතම ලැව්ගිනි බව වාර්තාවේ. අධික පරිසර උෂ්ණත්වය නිසා වියලී යන කොළ රොඩු පහසුවෙන් ගිනි ගැනීම  මෙම ලැව් ගිනි පාලනය කිරීමට බාධාවක් වූ බවට සැක කෙරේ.

  • වනාන්තර විනාශ වන විට සිදුවන සෝදාපාළුව නිසා පසෙහි ,  සරු බව අඩුවන අතර, පසෙහි  අංශු අතර ඇති හිඩැස් නිරාවරණය වී, එම ස්ථානවල රැඳී තිබෙන  කාබන්ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට මුක්ත වී පරිසරය උණුසුම් වීමට දායක වේ.

  • පරිසර උෂ්ණත්ව වෙනස් වීම් වලදී එයට  ඉතා සංවේදී, භෞමික, ජලජ සහ  වෙනත් පරිසර වල ජීවත්වන සත්ත්ව සහ ශාක විශේෂ රාශියකගේ ජීවන ක්‍රියාවලි අඩපන වේ. මේ නිසා  සමහර ජීවීන් සදහටම තුරන් වී ගොස් ජෛව විවිධත්වයට තදබල හානි පැමිණේ. 

  • කාබන්ඩයොක්සයිඩ්  වායුවට අමතරව, වායු ගෝලයට මුක්ත වන මීතේන් වායුව  නිසා, වායුගෝලයේ ඉහල ස්තරවල තිබෙන ඕසෝන් වායුව වියෝජනය වීමෙන් ඇතිවන හිඩැස්  හරහා සෞඛ්‍යයට අහිතකර අන්තරීක්ෂ කිරණ (cosmic rays) පෘථිවි තලය මත පතිත වේ.



ඉහත දක්වන ලද විපාක නැතහොත් ඵල සියල්ලම සඳහා හේතු වශයෙන් දැක්විය හැක්කේ මිනිසා විසින් අත්තනෝමතික ලෙස කරන ලද, පරිසර විනාශය බව නොරහසකි. ලොව පුරා සිදුවෙමින් පවතින මෙවැනි මහා ව්‍යසන පිලිබඳ තොරතුරු ගැන අධ්‍යයනය කළ පරිසර විද්‍යාඥයින් ආර්ථික විශේෂඥයින්, කාලගුණ විද්‍යාඥයින්  වැනි වියතුන් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, “මිහිකත බේරාගැනීමේ ප්‍රඥප්තිය” නමින් ඓතිහාසික සම්මුතියක් සකස් කරන ලදී.  2015 වර්ෂයේදී පවත්වනලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සමුළුවකදී ලෝකයේ රටවල් 192 ක රාජ්‍ය නායකයින් විසින්  එම සම්මුතියට එකඟතාව පළකර අත්සන් තබා ඇත. එම ප්‍රඥප්තියේ  වැදගත්ම වගන්තිය වූයේ, සෑම රාජ්‍යයක් විසින්ම පරිසර උෂ්ණත්වය වැඩිවීමට තුඩු දෙන, ගල් අඟුරු සහ වෙනත් ෆොසිල  ඉන්ධන දහනය සීමා  කිරීමයි. ඒ මගින් පරිසර උෂ්ණත්වය වැඩිවීමේ යෝජිත උපරීම සීමාවේ (2030 වසර වනවිට 1.5 °C) තබාගැනීමට සියලුම රටවල් කැමැත්ත පළ කළහ. එමෙන්ම බල ශක්තිය නිෂ්පාදනය සඳහා  සූර්ය බලය සහ සුළං බලය වැනි වෙනත් පුනර්ජනනීය  ශක්ති ප්‍රභව වලට කඩිනමින් මාරු වීමටත් සියලුම රටවල් විසින් ප්‍රතිඥා දෙන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම යෝජනාව කරන ලද්දේ පරිසරය සුරැකීමේ පරම චේතනාව ඇතිවය. අවාසනාවකට මෙන්, මෙම සම්මුතියට එකඟත්වය පළකර තිබුණු ඇමෙරිකා එක්සත් ජනපදය, වසරක් ඇතුලතදී සම්මුතියෙන්  ඉවත්වීමට තීරණය කළේය. 


මෙම ඓතිහාසික ප්‍රඥප්තිය සඳහා, ලෝක රාජ්‍ය නායකයින් විසින්  එකඟතාව පළකර වසර හතරකට පසුවදීත් (2020 වසර වනවිට) යෝජිත ඉලක්කයෙන්  සියයට දහයක්වත් ක්‍රියාත්මක නොවීම සමස්ත ලෝක වාසීන්ගේම අභාග්‍යයකි. මෙය ඉතා බලවත් නොසලකා හැරීමක් ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා සංගමයේ මහලේකම් තුමා, කිහිප වරක්ම තම කනස්සල්ලද ප්‍රකාශ කරන ලදී. 

 

මිනිසාගේ තණ්හාධික කම නිසාම,  ඉතාමත් ශීඝ්‍රයෙන් විනාශ මුඛයට පත්වෙමින් තිබෙන, පෘථිවි ග්‍රහ ලෝකය, එම මහා ව්‍යසනයෙන් බේරා ගැනීම පිණිස කිසි පිහිටක් නොමැති බව මෙයින් සක්සුදක්සේ පැහැදිලි විය. ශතවර්ෂ දෙකක පමණ කෙටි කාලයක් තුලදී මිහිකත මේ දුර්දාන්තයට හෙලන ලද මිනිසා විසින්ම එම යෝජිත “මිහිකත බේරාගැනීමේ ප්‍රඥප්තිය” නොසලකා හැර ඇති බව දෛවයේ සරදමකි.


අතීතයේදීද මිනිසාගේ අකටයුතුකම් සඳහා නිරතුරුවම  ස්වභාව ධර්මයෙන්  නිසි පිළිතුරු ලැබී  තිබෙන බවට බොහෝ සාක්ෂි තිබේ. සමහර අවස්ථා වලදී පස්කඳු කඩාවැටීම්, නායයාම්, ජල ගැලීම්, ලෙඩ රෝග පැතිරීම් වැනි සුළු පරිමාණයේ සිදුවීම් මේ ගණයේ ලා සැලකිය හැකිය. බොහෝ විට මෙම ඵල විපාක වලට මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආසන්න හේතු තිබෙන බව අනාවරණය කර ගත හැකිය. මේ නිසා එම සිදුවීම් හේතු ඵල ධර්මය අනුව සිදුවූ ඒවා බව තර්ක කළ හැකිය.

 

2019 වර්ෂය අවසානයේදී සිට මුළු ලොවම සසල කරමින් මේ වනවිටත් ( 2020 අගෝස්තු ) මාස නවයකට වැඩි  කාලයක් තිස්සේ ලොව පුරා පැතිරෙමින්  පවතින මාරාන්තික “කොරෝනා” (COVID-19) නම්  නවතම උණ රෝගය මෙතරම් ප්‍රබල මිනිස් ඝාතකයෙක් වී ඇත්තේ මක්නිසාද? පසුගිය දශක කිහිපය තුලදී මැලේරියාව, මී උණ, මොළයේ ප්‍රදාහය වැනි උණ රෝග පාලනය කර ගැනීමට හැකිවූ, වෛද්‍ය විද්‍යා, විද්‍යා සහ තාකෂණික ක්‍රමවේද වලට මෙතෙක් මේ මහා වසංගතය සඳහා ප්‍රතිකර්මයක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ යම්කිසි ප්‍රබල අදිසි  බල පෑමක් නිසා විය නොහැකිද? 


එසේ  විය හැකිය. මේ අදිසි බලපෑම කරනුයේ අන් කිසිවක් නොව ස්වභාව ධර්මයයි.


ස්වභාව ධර්මය වනාහී, හිත්  පිත් ඇති වස්තුවක් නොව, නාම මාත්‍රයක් පමණකි. එහෙත් එය භෞතික ලෝකයේ මිනිසා ඇතුළු සියලුම සතුන් සහ ශාකද, භූ දර්ශන පථය, පෘථිවියේ වෙනත් ගති ලක්ෂණ, මිනිසාගේ සහභාගිත්වයක් නොමැතිව ඉබේ හටගෙන ඇති සෞන්දර්යාත්මක නිමැයුම් සහ සංසිද්ධි,  රාශියක  සාමුහික පැවැත්ම  ලෙස අර්ථ දැක්විය හැකිය. 


සොබා දහම පිලිබඳ ගැඹුරට තම චින්තනය මෙහෙය වූ අතීතයේ විසූ දාර්ශනිකයින් දෙදෙනෙකු එය  හඳුනාගෙන තිබෙන ආකාරය මෙසේ දැක්විය හැකිය. 

                                                                                                                                               “සොබාදහමට අනුකුලව ජීවත් වීම විනා, අපට කිසිදිනක  එයට නියෝග නිකුත්  කළ නොහැකිය.”   - Francis Bacon (1561-1626)

                                                                                                                                                    “ඔබ, සොබාදහමට යම්කිසි ගැටළුවක් ඇතිකළ හොත්,  එය ඔබට නිසි පිළිතුරක්  සපයනු ඇත.” - Jacob Henle (1809-1885)


මෙම දාර්ශනික අදහස් ඔස්සේ සලකා බලන විට,  ඉහත  සඳහන් කරන ලද සියලුම සිද්ධි  මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසර ආපදා  වන අතර, ඒ සියල්ලම පරිසරයේ සමතුලිත භාවයට  අහිතකර,  සොබා දහමේ ක්‍රියාවලියට පටහැනි,  ගැටළු ලෙස සැලකිය හැකිය. මෙයින් සමහර ගැටළු කෙතරම් දුරට පරිසරයට බලපා ඇත්දැයි සොයා බලන විට, දැනටමත්  ඒවා ආපසු හැරවිය හැකි තත්ත්වය ඉක්මවා ගොස් තිබෙන බව විද්‍යාඥයින්ගේ මතයයි. පසුගියදා මහා බ්‍රිතාන්‍යයේ ‘ගාඩියන්’  (Guardian)   පුවත් පතේ පළවූ, අනාගතය පෙරැයීම් කළහැකි ආකෘති මගින් කරන ලද ගණනය කිරීමකට අනුව, නුදුරු අනාගතයේදී,  ගතවූ වසර හය දහසක්  තුළදී සිදුවී නොමැති ආකාරයකට පරිසර උණුසුම වැඩිවන බව  සොයාගෙන තිබේ. මේ යොමුවීම  දැන් සිටම මැඩ පැවැත්වීමට නිසි පියවර නොගතහොත් ඉදිරි පනස් වසර ඇතුලතදී ජගත් ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට   (මිනිසුන් බිලියන 2.5 ට පමණ) සහරා කාන්තාරයේ වැනි පරිසර උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත. 2070 වසර වන විට දරාගත නොහැකි උෂ්ණත්වය නිසා,  මෙයින් මිලියනයක පමණ ජනතාවක්  මෙලොවින් තුරන් වීමට ඉඩකඩ ඇති බව හෙළිදරව් වී  තිබේ. 

  

මෙවන් පසුබිමක්  යටතේ, මිනිසාගේ සියලු අවශ්‍යතා සපයා දෙනු ලබන පරිසරය මිනිසා විසින්ම කරනු ලබන අන වින නිසා, විනාශ මුඛයට පා තබමින් සිටින විට, එයට කාගේ පිලිසරණක්ද?  ලෝකයේ රටවල් සියල්ලම පාහේ නියෝජනය වෙමින්, එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට ඓතිහාසික ප්‍රතිඥාවක්  දී,  මනා  එකමුතුවකින් යුක්තව  අත්සන් කරනලද  “මිහිකත බේරාගැනීමේ ප්‍රඥප්තිය” පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව, එය නොසලකා හැර උල්ලංඝනය කරන  ලද්දේද  ලෝක ජන නායකයින් විසින්මය.  සිත් පිත් නැති පරිසරයට සිදුවන  මෙම අවනඩුව විමසා තීරණයක් දීම, සිත් පිත් නැති ස්වභාව ධර්මය විසින්ම භාරගෙන තිබේ.


වරදක්   කළ අයට ඒ සඳහා සුළුවෙන් හෝ දඬුවමක් ලැබීම ස්වාභාවික බව හේතු ඵල ධර්ම සංකල්පය මගින් බුදු දහමෙහි ඉතාමත් ගැඹුරින් විග්‍රහ කර තිබේ. දැනට ශත  වර්ෂ කිහිපයකට ඉහතදී නිව්ටන් විසින් “සෑම ක්‍රියාවකටම  විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී” යනුවෙන් භෞතික නියමයක් ලෙස දක්වා ඇත්තේද  මෙම සංකලපයටම අදාළ කරගතහැකි සංසිද්ධි වේ. 


සිත් පිත් ඇති මිනිසා, අවබෝධයෙන් සහ තම බුද්ධිය මෙහෙයවා කටයුතු නොකර, නිරතුරුවම පරිසරයට තර්ජන එල්ල කළහොත්,  සිත් පිත් නොමැති පරිසරයට, පරාජය භාරගැනීමට සිදුවනු ඇත. එසේ වුවහොත් මිනිසාගේ සහ අනිකුත් සියලුම ජීවීන්ගේත් එකම නිවහන වන පෘථිවියට අත්වන ඉරණම කුමක්ද? හදිසියේම පැන නැගුණු  COVID-19 වයිරස් උණ වසංගතය, මිනිස් සංහතියෙන් ඉතා සුළු ප්‍රතිශතයක් විසින් කරගෙන යනු ලබන පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යවශ්‍ය බව පෙන්වීමට, සිත්පිත් නැති ස්වාභාවධර්මය විසින් කරනලද මවා පෑමක්ද?


COVID-19 වයිරසය ජීවියෙකු නොවේ. එය යම්කිසි විධිමත් ආකාරයකට සකස්වූ, ඇසට නොපෙනෙන (අන්වීක්ෂීය), පරමාණු සහ අණු ‘ගොණුවක්’ පමණකි. මෙම ගොණුවේ  බාහිර ආවරණය ඉතා සියුම් ලිපිඩ (මේද)  පටලයකි. එහි ඇති පිටතට නෙරා සිටින තුඩු වැනි ප්‍රෝටීනයක් මගින්, මිනිසාගේ උගුර, පෙනහැලි වැනි අවයව වල ඇති අභ්‍යන්තර ස්තරය සමග බද්ධ වී, සෛල තුලට කා වැදීමේ හැකියාවක් ඇත. සෛලයක් තුළට ඇතුල්වන වයිරසයට, එහි ඇති  සියලුම ජීව ක්‍රියාවලි තම පාලනයට ගෙන, වයිරසය ශීඝ්‍රයෙන් ගුණනය කළ හැකි වේ. මේ මගින් අවයවයේ සෛල ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක සාමාන්‍ය ක්‍රියාවලි  අක්‍රිය කළ  හැකිය. මේ නිසා වයිරසය ඉතා සුළු කාලයකදී, අසාදනය වූ  සම්පුර්ණ අවයවයේම පාලනය තම ග්‍රහණයට නතු කර ගනී. අසාදනය වූ කෙනෙකු කතාකරන විට හෝ කිවිසුම් හරින විට මුඛයෙන් විසිරි යන අංශු මගින් වයිරසය වෙනත් අයටද  අසාදනය විය හැකිය. මුඛ ආවරණ භාවිතය සහ මීටරයක පමණ  සමාජ දුරස්ථ භාවය ක්‍රියාත්මක කළ  යුත්තේ මේ නිසාය.


වයිරසය අත්වල ස්පර්ශ වී තිබුණහොත්,  සබන් හෝ එවැනි  දියරයකින් අත් සේදූ  විට, සබන්වල ඇති රසායනික ද්‍රව්‍ය මගින් මේද පටලය දියවීම නිසා වයිරසය විනාශ වේ. මද්‍යසාර වලින් හෝ  උණුසුම් ජලයෙන් සේදූ  විටද  මෙවැන්නක් සිදුවේ. වයිරසය ජීවියෙකු නොවන නිසා බැක්ටීරියා හෝ දිලීර මෙන්  ප්‍රතිජීවක (antibiotics) මගින්  විනාශ  නොවේ. එය මිනිස් ජීවි සෛල හැර වෙනත් මතුපිටක යම්කිසි කාල සීමාවක් රැඳී තිබිමේදී ඉබේම අක්‍රිය වේ.  මේ නිසා අවබෝධයකින් යුක්තව, සෞඛ්‍යාරක්ෂක උපදෙස් අනුව  කටයුතු කිරීමෙන් අසාදනය වලක්වා ගත හැකිය.


මෙම වයිරසය උත්පාදනය වූයේ කෙසේද යන්න මේ වනතුරු නිශ්චිත  වශයෙන් හෙළි වී නොමැත. වවුලන්, කබල්ලෑවන් වැනි සතුන්ගේ මස් අනුභවය නිසා  එම සතුන් හරහා  වයිරසය මිනිසාට අසාදනය වී ඇති බව එක් මතයකි. මේ වනවිට (2020 සැප්තැම්බර්) වයිරසය නිසා ලොව පුරා මිනිසුන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ. මෙසේ අහඹු ලෙස දිවි තොරවූ අයට එම ඉරණම අත්වූයේ ඇයි?    විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය  අතින් මිනිසා කෙතරම් උසස් මට්ටමකට ගොස් ඇතත් තවමත් වයිරසය මුලිනුපුටා දැමීමට නොහැකි වී තිබේ. අද ලොව පුරා  කොරෝනා වයිරසය නිසා ලක්ෂයකට දහතුන් දෙනෙකු  පමණ මරණයට පත් වෙති. මෙසේ ස්වාභාවික ව්‍යසන නිසා මිනිසා මරුමුවට පත්වීම හේතු ඵල ධර්මය අනුව සාධාරණීකරණය කළ  හැකි නොවේ ද?    


මෙම ආපදාව ගැන පසු විපරම් කිරීමේදී,  ස්වභාව ධර්මයේ උත්තරීතර නිර්මාණය වන පරිසරය, ක්‍රමානුකූලව කළමනාකරණය කර ගනිමින් තිරසාර හෝ ධරණීය  සංවර්ධනය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම සඳහා ජගත් සංවාදයක් පැවැත්විය යුතුයයි මතයක් ඉස්මතු වෙමින් පවතී.  දැනට මේ සඳහා මුළු ලොවෙහිම  අවධානය ලැබෙමින් පවතී.


වයිරස වසංගතය නිසා, කඩා වැටී  ඇති තම ආර්ථිකය, යලි ගොඩ නැගීම සඳහා ගතයුතු නව ප්‍රවේශ ගැන  දැනටමත් ලොව සෑම රටක්ම ක්‍රමවේද සහ සැලසුම් සකස් කරමින් සිටිති. ෆොසිල ඉන්ධන භාවිතය සීමිත වී තිබුණු පසුගිය මාස කිහිපය තුළදී  පරිසරයේ වායු දූෂණය අඩුවී ඇති බව රටවල් කිහිපයකින්ම වාර්තා විය. රසායන පොහොර භාවිතය නිසා, පස සරු කරන පාංශු  ජීවීන් අහෝසි වී තිබුණු  භුමිය, යළි  ස්ථාපනය කිරීම සඳහා කොම්පෝස්ට් පොහොර භාවිතය පිලිබඳවත්, රසායන පොහොර භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම  සඳහාත්,  ගොවියා හුරු වෙමින් සිටී.  භුමියේ ඉඩකඩ තිබෙන සෑම ස්ථානයකම හෝ අඩුම වශයෙන් සෑම ගෙවත්තකම, ආහාරයට ගත හැකි ශාකයක්වත් වවා ගැනීමට උනන්දුවක් ඇතිවී තිබේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැනට වඩා යහපත් ක්‍රියාමාර්ග ගැනීමට මෙම ව්‍යසනය නිසා මඟ පෑදී ඇත. මස් මාංශ නිෂ්පාදනයේදී සිදුවන පරිසර හානි අවම කිරීමට ඉවහල් වන ක්‍රමෝපායයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙමින් තිබේ. විශේෂයෙන්ම සර්ප, උරග වැනි සම්ප්‍රදායික නොවන සත්ත්ව මස් අනුභවය පිළිබඳව දෙවරක් සිතීමටද, මිනිසා නැඹුරු වෙමින්  සිටී.   


කොරෝනා වයිරස් වසංගතය මිනිසාගේ තරාතිරම නොසලකා රාජකීයයන්, රාජ්‍ය  නායකයින්, වෙනත් ප්‍රභූවරු, තරුණ, වැඩිමහලු, ස්ත්‍රී, පුරුෂ කොයි කාටත් වැළඳුනු නිසා සමාජයේ සමානාත්මතාව පිලිබඳ මහඟු ආදර්ශයක්ද ලැබී තිබේ.  එසේම සමස්ත මිනිස්  සමාජයේ සෑම මට්ටමකම සිටින අයට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයේ අගය මෙනෙහි කිරීමට පසුබිමක් සෑදී තිබේ. කෙනෙකුගේ හද පත්ලෙන්ම ප්‍රගුණ  කර අවබෝධ කරගතයුතු,  එම  උතුම් ගුණ ධර්ම මගින් විපතට පත් අය සුවපත් කළ හැකි බවද හෙළි වී ඇත. විශේෂයෙන්ම මිනිසාගේ තාඩන  පීඩන වලට ගොදුරු වෙමින් සිටි වනවාසී සතාසීපාවාද  තාවකාලිකව ‘වසා දමා’ (Locked down)  ඇති පරිසරයේ නිදහසේ සැරිසරන ආකාරයද මාධ්‍ය වල ප්‍රචාරය විය. මිනිසාට තම පරිභෝජන රටාව ගැන නැවත සිතා බැලීම, බෙදා හදා ගැනීම, අත් හැරීමට පුරුදුවිම, එකෙකු පරයා යාමට ඇති ආශාව තුරන් කිරීම වැනි යහගුණ රාශියක් ප්‍රගුණ කර ගැනීමටද මෙම ව්‍යසනය මග විවර කර තිබේ. 


කලින් සඳහන් කරනලද පීඩාකාරී හේතු නිසා ‘අවසන් ගමන’ යාමේ සීමාවට මෙන් පැමිණ සිටින  මිහිකත,  යළිත් සුවපත් කරගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දීම සඳහා, සිත් පිත් නැති කොරෝනා වයිරස වසංගතය  අනතුරු හැඟවීමක් කර ඇතැයි උපකල්පනය කිරීමද නිවැරදිය. 


මේ ආකාරයට ධර්මානුකුලව සලකා බලන විට, මිනිසා විසින්ම කර ගන්නා ලද  (anthropogenic) මුළු ලොවටම බලපා ඇති, මෙම ආපදාව පිළිබඳව, ඔහුගේ චිත්ත සන්තානය තුළ සදා නොමියෙන මතකයන් ගැබ් කර දීමට කොරෝනා වයිරස වසංගතය පොහොසත් වී තිබේ. ඔහු විසින් කර ඇති පරිසර විනාශයට තුඩු දෙමින් පවතින හේතු වලට ලැබිය හැකි ඵල විපාක ගෙවී ගිය මාස කිහිපය තිස්සේ කොයි කාටත් අත්  විඳින්නට සිදුවිය. මේ සියල්ලම හේතු ඵල ධර්මයේ හැසිරීම් රටාව මිස, අන් කිසිවක් නොවන බව තර්ක කළ හැකිය. සමහරවිට ස්වභාව ධර්මය විසින් ලබාදෙන  අවසාන අනතුරු හැඟවීම මෙය විය හැකිය. මිනිසා විසින් පසුගිය ශත වර්ෂ කිහිපය තුලදී කර ඇති,  මුළු පෘථිවි ග්‍රහයටම බලපාන අදූරදර්ශී ක්‍රියා  තව දුරටත් කරගෙන ගියහොත්, මිට වඩා දරුණු, සමහරවිට දෙතුන් ගුණයකින් බලවත් ආපදා වලට වුවද, මුහුණ දීමට සිදුවිය හැකි බව තරයේ සිතට ගත යුතුය. අඳුරු පටලයකින් වැසී යමින් පවතින සමස්ත ලෝක වාසී  ජනතාවගේ අනාගතය, යළි  සකස් කර ගැනීම සඳහා බුද්ධිමත්ව කටයුතු කිරීමට, අදිටන් කර ගනිමු.


සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !  


(පොත පත සහ අන්තර්ජාලය ඇසුරෙනි)