Sunday, 17 March 2019

විදේශ වෙළඳපල ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)

විදේශ වෙළඳපල  ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)
    
හොඳම තේ නිෂ්පාදනය කරනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව කීර්ති නාමයක්ද සහිතව ලෝකයේ ප්‍රසිද්ධියට පත්වී තිබේ. නිෂ්පාදනය සඳහා  ශ්‍රී ලංකාවේ තේ වගාකිරීම ආරම්භකර තිබෙන්නේ දැනට වසර 150 කට පමණ පෙර, ජේම්ස් ටේලර් නමැති බ්‍රිතාන්‍ය ජාතික වැවිලිකරුවෙකු විසිනි. රටෙහි  කඳුකරයේ, මහනුවර සහ නුවරඑළිය  අවට ප්‍රදේශයේ ආරම්භ කරන ලද තේ වගාවන්, මධ්‍යම කඳු කරයේ වෙනත් ප්‍රදේශවලට සහ සබරගමුව පලාතටත් ඉක්මණින්ම ප්‍රචලිත විය. 

අද ලෝකයේ තේ නිෂ්පාදනයේ හතරවන ස්ථානය ලබාගැනීමට  ශ්‍රී ලංකාව සමත්වී තිබේ. අපට ඉදිරියෙන් සිටිනුයේ ඉන්දියාව, චීනය සහ කෙන්යාවයි. ඒ අතරම 2013 වසරේදී ලෝකයේ වැඩියෙන්ම තේ අපනයනය කළ රට ලෙසද ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර විය. එම වර්ෂයේදී, විවිධ රසයෙන් යුක්ත තේ කිලෝග්‍රෑම් මිලියන 340 ක් අපනයනය කිරීමෙන්, ශ්‍රී ලංකාවට වාර්තාගත ආදායමක් ලැබී ඇති බවද  දැක්විය හැකිය. 

මෙම රුප සටහනේ  දැක්වෙන, ‘ගුණාත්මක භාවයේ සංකේතය’ (Symbol of Quality) වන, සිංහ ලාංචනය සහිත CEYLON TEA, (‘ලංකා තේ’) අපනයනය කරනුයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින්ය. ලෝකයේ විවිධ රටවල සිටින තේ පානය කරන්නෝ, හොඳම තේ තෝරා ගැනීම පිණිස මෙම ලාංචනය හඳුනාගෙන තිබෙන බව පෙනේ. දැනට මෙම ලාංචනය, ලෝකයේ රටවල් සියයක පමණ, ලියාපදිංචි කර ඇති  බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ ප්‍රචාරක පොත් පිංචක සඳහන්ය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන තේ, ලොව පුරා ජනප්‍රිය වීමට හේතුවූ සාධක රාශියක් තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය තම අධ්‍යයන මගින් හෙළිකරගෙන තිබේ. මෙම අධ්‍යයන වලට අනුව, ලෝකයේ විවිධ ජනකොට්ඨාශ විසින් ප්‍රිය කරනු ලබන ‘විවිධ රස, පැහැය  සහ සගන්ධ ප්‍රභේද’ (a variety of taste, colour  and aroma) හඳුනාගෙන ඇත. මිනිසා ප්‍රියකරන එම තෘප්තිය ලබාදිය හැකි විවිධ මාදිලිවල තේ නිෂ්පාදනය කළ හැකි වීම, CEYLON TEA ජනප්‍රිය වීමේ රහසයි.

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ, සබරගමු ප්‍රදේශයේ සහ රුහුණේ  භු විෂමතා, වර්ෂාපතන රටා, උෂ්ණත්වය සහ වායුගෝලයේ ආර්ද්‍රතාව වැනි භෞතික සාධක රාශියක බලපෑම් නිසා ඇතිවන, දේශගුණික ලක්ෂණ වලට අනුකූලව, කෘෂි-දේශගුණික කලාප (Agro-climatic zones) හතක් හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගෙන ඇති  කලාප නුවරඑළිය, උඩපුස්සැල්ලාව, දිඹුල, කැන්ඩි (මහනුවර), ඌව, සබරගමුව සහ රුහුණ යනුවෙන් නම්කර තිබේ. 

මේ අනුව රසයෙන් ගුණයෙන් හෙබි සුවිශේෂී, කෘෂි-දේශගුණික කලාපීය තේ (Agro-climatic tea) ප්‍රභේද හතක් නිෂ්පදනය කර ගත හැකි විය. මෙම තේ ප්‍රභේද සියල්ල අදාල ප්‍රදේශ වලට සම්බන්ධ  සමාජයී ය, සංස්කෘතික හෝ වෙනත්   විශේෂිත ලක්ෂණයක් විදහා දක්වන සංකේත සහිත ලේබලයකින් හඳුන්වා දීමද වැදගත් කමක් ගනී. 

මේ අනුව, නුවර එළිය සංකේතයේ, කඳු සහ දියඇලි, මහනුවර සංකේතයේ, දළදා මාලිගාව සහ රත්නපුර සංකේතයේ, මැණික් ආදී වශයෙන් සංකේත අර්ථ ගැන්වී ඇත. මෙසේ හැඳින්වෙන කුමන තේ ප්‍රභේදයකින් වුවද,  ක්‍රමානුකූලව සකස් කර ගනු ලබන තේ කෝප්පයක, තේ වල පැහැය, සුවඳ සහ රස එකිනෙකට බෙහෙවින් වෙනස් වේ.  ලෝකයේ වෙනත් කිසිම රටකට,  මෙවැනි විවිධ කෘෂි-දේශගුණික කලාප සියල්ලක්ම නොමැති බැවින් අපට මෙන් විවිධ ගුණාත්මක භාවයන්ගෙන් යුක්ත තේ ප්‍රභේද  නිෂ්පාදනය කළ හැකි නොවේ.

මෙම සුවිශේෂී තේ ප්‍රභේද  ගැන මඳක් විමසා බළමු.


NUWARA-ELIYA   (නුවර එළිය)

නුවරඑළිය දිස්ත්‍රික්කය, දිවයිනේ වැඩිපුරම කඳු සහිත ප්‍රදේශයයි. ඉස්තරම්ම තේ වගාව සඳහා හොඳම දේශගුණික තත්ත්ව ඇත්තේ මෙහි බව මුල් වගාකරුවෝ තේරුම් ගත්හ. මුහුදු මට්ටමේ සිට අඩි 6,200 කට වඩා  වැඩි මෙම කඳුකරයේ, ශීතල දේශ ගුණික තත්ත්ව යටතේ වැඩෙන තේ දල්ලෙන්  ලැබෙන, තේ වල ඉමිහිරි සුවඳක් තිබෙන අතර තේ වල පැහැයද රන්වන්ය. කහට රසයද මඳ තරමින්ය. ඉතා ඉහල ඉල්ලුමක් ඇති, තරමක් විශාල කැබලි සහිත ඔරේන්ජ් පැකෝ  (Orange Pekoe - OP) සහ කුඩා කැබලි සහිත (Broken Orange Pakoe - BOP) යන තේ වර්ග සඳහා නුවරඑළිය ප්‍රසිද්ධියක් උසුලයි.

UDA-PUSSALLAWA  (උඩපුස්සැල්ලාව)  

නුවරඑළිය ප්‍රදේශයට ආසන්නයේ පිහිටි උඩ පුස්සැල්ලාවේ තේ, නුවරඑළියේ තේ වලට සමකල හැකි වුවත්, විශාල කඳුවැටියක් සහිත එම ප්‍රදේශයේ  පවතින එකිනෙකට වෙනස්, වාර්ෂික  දේශගුණික කාල සීමා දෙකක් නිසා නිෂ්පාදිත තේ වල වෙනස් කම් පවතී. වර්ෂයේ මුල් මාස කිහිපය තුලදී ප්‍රදේශයේ පවතින වියලි බවෙන් යුත් ශීතල දේශගුණය නිසා, නිපදවනු ලබන තේ වලින් ලැබෙනුයේ රෝස පැහැයට හුරු අග්‍රගණයේ තේ පානයකි. ඉතිරි කාලයේදී ලැබෙනුයේ උස් කඳුකරයට පොදු නිෂ්පාදන වේ.

DIMBULA (දිඹුල)

උස් කඳු සහිත නුවරඑළිය ප්‍රදේශයට සහ තැනිතලා හෝර්ටන් තැන්න පිහිටි භූමියට මැද පිහිටි, මුහුදු මට්ටමෙන් අඩි 3500 සිට 5500 පමණ වන   දිඹුල ප්‍රදේශයේ තේ, ‘උස් බිම් තේ’ (High-grown Tea)  ලෙස හැඳින්වේ. මෙහි භුමි පිහිටීම් සහ පවතින මෝසම් සුළං අනුව, සංකීර්ණ ක්ෂුද්‍ර  දේශගුණික කලාප කිහිපයක්ම ඇත. මේ නිසා, ප්‍රදේශයේ නිෂ්පාදිත තේ විවිධ ගුණාංග වලින් පරිපූර්ණවේ. මෙහි නිෂ්පාදනය කරනු ලබන තේ වලින් සාකස් කරගන්නා පානය සිත්ගන්නා සුළු රන්වන් මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.

UVA (ඌව)
මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුමේ  පිහිටි ඌව පළාතට,  නිරිතදිග සහ ඊසාන දිග මෝසම් දෙකේදීම මඳ වශයෙන් වැසි ලැබේ. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමෙන් උස අඩි 3000 සිට 4500 දක්වා යුක්ත නිසා, ඌව තේ වල, විවිධ රස පද්ධතියක්ම තිබේ.  මේ නිසා එම  තේ, විවිධ මිශ්‍රීත තේ සකස් කිරීමේ පාදකය ලෙසද  භාවිත වේ. කෙසේ වෙතත්, එයටම ආවේණික රසවලට ප්‍රිය කරන්නවුන් සඳහා ඌව තේ හොඳම නිෂ්පාදනයකි. ඇමෙරිකාවට මුලින්ම හඳුන්වා දී ඇත්තේ, ඌව තේ බවද කියැවේ.

KANDY (කැන්ඩි)

1867 වර්ෂයේදී,  ශ්‍රී ලංකාවේ පළමු තේ වගාව ආරම්භකර තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේය. මුහුදු මට්ටමේ සිට අඩි 2000 සිට 4000 දක්වා උසකින් යුක්ත මෙම ප්‍රදේශයෙන් ලැබෙන තේ ‘මධ්‍ය කඳුකර තේ’ (Mid-grown tea) ලෙස හැඳින්වේ. සාමාන්‍ය වර්ෂා පතනයක් සහ සෞම්‍ය දේශගුණයක් පැවතීම නිසා ‘කැන්ඩි තේ’ ඉතාමත් ආකර්ශනීය සහ දිව පිනවන කහට රසයන්ගෙන් යුක්ත බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙයින් සකස් කෙරෙන තේ තද දුඹුරු වර්ණයකින් යුක්තය.
                          
SABARAGAMUWA (සබරගමුව)

සබරගමුව ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කයයි. සබරගමු තේ වවනු ලබන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 600 සිට  2500 දක්වා උස්වූ ප්‍රදේශවලය. උතුරෙන් ශ්‍රීපාද අඩවියටත් දකුණෙන් සිංහරාජ වනාන්තරයටත් මැදින් පිහිටි තේ වගා ප්‍රදේශයේ ප්‍රශස්ත දේශගුණික තත්ත්ව නිසා කඩිනමින් වැඩෙන තේ පඳුරුවල සිහින් දිගටි දල්ලක් හට ගනී. මෙයින් සකස් කර ගනු ලබන තේ, තද දුඹුරු පැහැයෙන් යුක්තය.  මෙම තේ ප්‍රභේදයට විශේෂිතවූ සුවඳ සහ රස ඉතාමත් ප්‍රියජනකය.


 RUHUNA (රුහුණ)

දකුණු පළාතේ තේ වගා ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට අඩි 600 ට වඩා උසින් පිහිටා තිබේ. ‘අඩු උස් බිම් තේ’ (Low-grown tea) යන නමින් හඳුන්වන මෙම තේ ආවේණික  තද දුඹුරු හෝ කළු පැහැයක් ගනී. මෙම ප්‍රදේශයේ පාංශු ලක්ෂණ, දේශගුණික සහ ඉහල ආර්ද්‍රතාවය නිසා, දළු ඉක්මණින් වර්ධනය වේ. මේ නිසා තේ දල්ලේ අග්‍රස්ත හැකුළුණු කොටස වෙන්කර, ඒවායින්   විවිධ රස සහිත ප්‍රභේද සකස් කිරීම විශේෂත්වයකි. බොහෝ වටිනා ‘tips’ නම් විරල තේ ප්‍රභේද නිපදවීම සඳහා තේ දල්ලේ මෙම අග්‍රස්ථ භාවිත කෙරේ. රුහුණු තේ මැදපෙරදිග රටවල ඉතාමත් ජනප්‍රිය වී ඇති බැවින් හොඳ ඉල්ලුමක් තිබේ.

මේ අතින් බලන කළ, අපගේ දේශයේ භු විෂමතා සහ ඒ සමග ඇති සුවිශේෂී දේශගුණික රටා නිසා ලොව වෙනත් කිසිම රටකට නොමැති පරිසර විවිධත්වයක් අපට උරුමවී තිබේ. මෙය හේතු කොට ගෙන, රටෙහි සීමිත බිම් ප්‍රදේශයක තේ වගාකරන ශ්‍රී ලංකාවට ලෝකයේ හොඳම තේ ප්‍රභේද රාශියක් නිපදවීමට හැකිවී ඇත.

එකිනෙකට හාත්පසින්ම වෙනස් ‘නුවරඑළිය තේ’ සහ ‘රුහුණු  තේ’ වලින් සකස්වූ තේ කෝප්ප දෙකක භෞතික වෙනස් කම් මෙසේ දැක්විය හැකිය.
                                      

                             
නුවරඑළිය  තේ රන්වන් පැහැයක් ගන්නා අතර රුහුණු තේ තද දුඹුරු පැහැයට හුරු කලු පැහැයක් ගනී. රස, ගුණ, සුවඳ සහ කහට ගතිය අතින්ද එකක් අනිකට වඩා හාත්පසින්ම වෙනස් වේ. මේ සියල්ල මෙසේ සිදුවනුයේ තේ වවනු ලබන ප්‍රදේශවල භු විශමතා සහ දේශගුණික විවිධත්වය වැනි භෞතික සංසිද්ධි නිසාමය.

අනභිභවනීය වෙළඳ නාමයක් මෙන්ම  ‘ගුණාත්මක භාවයේ සංකේතය’ (Symbol of Quality) වන,  සිංහ ලාංචනය සහිත ‘CEYLON TEA’, එදත්, අදත් මෙන්ම අනාගතයේදීත් ලොව හොඳම තේ ලෙස කිරුළු පළඳිනු ඇත. 

(තොරතුරු ස්තුති පූර්වකව  'CEYLON TEA' ශ්‍රී ලංකා තේ ප්‍රචාරක පොත් පිංචකිනි)

Sunday, 10 March 2019

ගිනිකඳු සක්‍රීය වීම නිසා හටගත් මනස්කාන්ත නගරයේ චාරිකාවක් ... (අංක 2)


 (අංක 2)

ගැම්බියර් කඳුකරයේ භූගත හිරිගල් ලෙන් පද්ධති

ඕස්ට්‍රේලියාවේ දකුණු මුහුදු වෙරළට ආසන්න ගොඩබිම් තීරුව, භූගත හිරිගල් ලෙන් පද්ධති සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මෙයින් ගැම්බියර් කඳුකරයේ ඇති  වංකගිරියක් බඳු භූගත හිරිගල් ලෙන් පද්ධතියේ, හිරිගල් ලෙන් 800 ක් පමණ තිබෙන බව පරීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ. මෙයින් ආරක්ෂාව සහිත ලෙන් කිහිපයක් පමණක්, මහජනතාවට නැරඹීම සඳහා ක්‍රමාණුකූලව සකස් කර විවෘතව තිබේ. ඒ සඳහා මාර්ගොපදෙශකයෙකුගේ සහාය ලැබේ.

අපගේ චාරිකාවේදී,  මෙයින් ප්‍රධානතම  හිරිගල් ලෙන් දෙකක් නැරඹීමට අවස්ථාව  උදාවිය. මේවා නම් මාග්‍රට් රෝස් කුමරි හිරිගල් ලෙන (Prince Margret Rose cave) සහ එංගල්බ්‍රෙච්ට් (Engalbrecht cave) හිරිගල් ලෙනයි.


මාග්‍රට් රෝස් කුමරි ලෙන පිහිටා ඇත්තේ, වික්ටෝරියා ප්‍රාන්තය සහ  දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය වෙන්වන මායිමෙන්, කිලෝමීටර් දෙකක් ඇතුළත වන අතර, එය වික්ටෝරියා  ප්‍රාන්තයට අයත් වේ. මෙය ඉතාමත් දැකුම්කලු ස්වාභාවික හිරිගල් නිමැවුම් සහිත, භූගත පිහිටීමකි.  මෙම ලෙන  තුළට ඇතුල් වීම සඳහා සකස් කර අති ප්‍රධාන දොරටුවට තරමක් දුරින්  සෑදී ඇති, අගාධයක් වැනි මීටර 20 ක් පමණ ගැඹුරු, ඉපැරණි විශාල විවරයක් තිබේ. ආරක්ෂා සහිතව  රක්ෂණය කර තිබෙන මෙම විවරය වසර දහස් ගණනකට පෙර සිට තිබෙන්නට ඇති එකකැයි විශ්වාසයක් පවතී. 

කාලාන්තරයක් තිස්සේ පැවති, උගුලක් වැනි මෙම අගාධය තුළට වැටී, ගොඩ ඒමට නොහැකි වී, ඒ තුළම මියගිය සතුන්ගේ පාෂානිභුතවූ ඇටසැකිලි මගින් අතීත සත්ත්ව විශේෂ  පිලිබඳ පුරාවෘත රාශියක් සඳහා තොරතුරු මෙතැනින් හමුවී තිබේ. එසේ හමුවූ  යෝධ කැන්ගරු, උදර පැස (pouch) සහිත සිංහයින්, යෝධ එකිඩ්නා සහ තස්මේනියානු කොටි වැනි ක්ෂීරපායි සතුන්ගේ පාෂානිභුතවූ ඇටසැකිලි නිසා අතීතයේ මෙම ප්‍රදේශයේ ජීවත්වූ සතුන් පිලිබඳ සැඟවුණු රහස් රාශියක් හෙළිදරව් කර ගැනීමට හැකිවී තිබේ.

වසර දස දහස් ගණනකට පෙර මෙම භුමියේ ජීවත්ව සිටි මෙම සතුන් දැන් සදහටම ලොවින් තුරන් වී ගොස් ඇත.

මාග්‍රට් රෝස් කුමරි හිරිගල් ලෙන

හිරිගල් ලෙන නැරඹීම සඳහා අපට උපදේශිකාවකගේ සහාය ලැබිණ. මෙහි අභ්‍යන්තර දෝනා වල සමහර ස්ථාන වලට, පොලොව මතුපිට සිට ඇති දුර ප්‍රමාණය මීටර් හත අටකට වඩා නොවැඩි නිසා, මතුපිට ඇති විශාල Red gum  ගස්වල මුල් ලෙන තුළට වැඩී

තිබෙනු දකින්නට ලැබුණි. මේ මුල් ඔස්සේ නිරතුරුවම ජල බින්දු වැගිරෙන බවද පෙනෙන්නට තිබුණි.

මෙම ලෙනට  ‘මාග්‍රට් රෝස් කුමරි’ නම යෙදීමද  ඉතිහාස ගතවී ඇත. 1936 වසරේදී මෙම හිරිගල් ලෙන සොයා ගත් ගවේෂකයාගේ  නව හැවිරිදි දියණිය, එය නම් කිරීම සඳහා, දෙවන එලිසබෙත් මහ රැජිනගේ නැගණිය වන, එවකට නව වන වියේ පසුවූ,  මාග්‍රට් රෝස් කුමරියගේ නම සුදුසු බව යෝජනා කර තිබේ.  මේ පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ රජවාසලෙන් විමසූ විට ඒ සඳහා රාජ්‍ය අනුමැතිය ලැබී තිබෙන බව දැක්වෙන ලිය කියවිලි කිහිපයක් එහි කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබේ.
                         


මෙම හිරිගල් ලෙනෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ, ස්වභාවිකව නිර්මාණය වී තිබෙන හිරිගල් ‘ටැම්’, එම ලෙනෙහි පියස්ස දරා සිටින කණු වැනි ස්වරූපයක් මෙන් දකින්නට ලැබීමයි. ලෝකයේ බොහෝ රටවල දකින්නට ලැබෙන භූගත හිරිගල් ලෙන් හටගැනීම, ස්වාභාවධර්මයේ සිදුවන අන්තර්ක්‍රියා රාශියක සංකලනයන්ගේ අවසාන ප්‍රතිඵලය ලෙස දැක්විය හැකිය.   හිරිගල් ලෙන්වල පිහිටීම්, වසර මිලියන 300 සිට 400 දක්වා ඈත අතීතයකට නෑකම් කියන බව විකිරණ දත්ත අනුව නිර්ණය කර තිබේ.

 ඩිවෝනියන් යුගය(Devonian period) වශයෙන් හැඳින්වෙන එම කාලයේදී, මෙම ප්‍රදේශය මුහුදෙන්  යටවී තිබුණු බව සහ මුහුදේ කොරල් පර තිබුණු අතර, ඒවායේ  කවච සහිත සමුද්‍ර ජීවීන් සිටි බව පෙන්වන පාෂාණිභුතවූ සාක්ෂි, එමට තිබේ. කාලයත් සමග, මළ කොරල් පර සහ සමුද්‍ර ජීවී කොටස් සම්පීඩනයට භාජන වී, භූගත හුණුගල් නිධි සෑදී තිබේ. හුණුගල් යනු කැල්සියම් කාබනේට්ය. පසු කාලයේදී මෙම ප්‍රදේශය ගොඩබිමක් වූ විට,  හුණුගල් නිධි භූගත වී ඇත.  කල්යාමේදී විවිධ දේශගුණික විපර්යාස නිසා  හුණුගල් නිධි දියවීමට පටන්ගෙන තිබේ.

එසේ සිදුවන්නට ඇතැයි උපකල්පනය කරනු ලබන එක් ක්‍රියාවලියක් මෙසේය.

වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ඉතා ස්වල්ප වශයෙන්  වර්ෂා ජලයේ දියවී දුබල කාබොනික්    අම්ලය සෑදෙයි. දිය සීරාවත් සමග පස හරහා කාන්දුවන මෙම අම්ලය හුණුගල් නිධි සමග ප්‍රතික්‍රියා කර, ද්‍රාව්‍ය කැල්සියම් බයිකාබනේට සාදයි. වසර මිලියන ගණනක් තිස්සේ හුණුගල් නිධි, මේ අයුරෙන් දියවී යාම නිසා, භු ගර්භය තුළ ගුහා වැනි හිස් අවකාශ හටගෙන ඇත.
    
මෙසේ සෑදී ඇති හිස් අවකාශ ස්වාභාවිකව එකතුවීමෙන් හෝ මෑත කාලයේදී මිනිසා විසින් විවිධ ක්‍රමෝපායයන් භාවිත කර එම ගුහා වැනි අවකාශ එකට යා කිරීමෙන් භූගත ලෙන් නිර්මාණය වී  තිබේ.

භූගත ලෙන් හටගැනීමෙන් පසුව, ඒවා අභ්‍යන්තරයේ හිරි ටැඹ’  සහ හිරි ලඹනිර්මාණය වීමද සරල රසායනික ප්‍රතික්‍රියා කිහිපයක ප්‍රතිඵලය වේ. රූප සටහනේ දැක්වෙන පරිදි හිරි ටැඹ සහ හිරි ලඹ හට ගැනීමද ස්වභාව ධර්මයේ අපූරුතම නිර්මාණ වේ. හිරිගල්  ලෙනක පියස්සේ ඉහල සිට පහලට වැඩෙන, සිහින් කූරු වැනි ව්‍යුහයන් හිරිලඹ’ (stalactite) ලෙස හැඳින්වෙන අතර, බිම් මට්ටමේ සිට ඉහලට වැඩෙන එවැනි ව්‍යුහයන් හිරිටැඹ’ (stalagmite) ලෙසද හැඳින්වේ.

ආදී යුග වලදී, භූගත හුණුගල් නිධි දියවී ගොස් ලෙන් සෑදුණු ක්‍රමවේදයේ, ආපසු හැරීමකට අනුරූප, රසායන විපර්යාස මාලාවක් මගින් හිරිලඹසහ හිරිටැඹනිර්මාණය වීම සිදුවේ. නිරතුරුවම සිදුවන මෙම ක්‍රියාදාමය මෙසේ දැක්විය හැකිය. වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව, ස්වල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍ය වේ. වර්ෂාව, පිනි බෑම, හිමපතනය වැනි අවස්ථා වලදී, පතිත වන ජලයේ ස්වල්ප වශයෙන් දිය වන කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා, දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය හටගනී. ජලයත් සමග පොළොවේ පස්  අතරින් කාන්දුවී යන කාබොනික් අම්ලය, පසෙහි ඇති කැල්සියම් සමග ප්‍රතික්‍රියා කර, කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණය සෑදෙයි. ජලයත් සමග පසෙහි පහලට කාන්දුවන කැල්සියම් බයිකාබනේට්, ලෙන් පියස්සේ සියුම් ඡීද්‍ර තුලින් වෑස්සී, ජල බිංදුවක් ලෙස ටික වේලාවක් පියස්සේ යටි පැත්තේ රැඳී  සිටී. 

මෙම සුළු කාලය තුලදී ජලය වාෂ්ප වීම නිසා, ජල බිංදුවේ ඇති  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයක් එහි ඉතිරිවී, ජලබින්දුව පහලට වැටේ. පියස්සේ ඉතිරි වන කැල්සියම් බයිකාබනේට් ස්වල්පය, ලෙනෙහි වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් බවට පත්වී එතැන තැන්පත්  වේ. එසේම පියස්සේ සිට පහලට වැටෙන ජල බින්දුවේ ඉතිරි කොටසේ තිබිය හැකි  කැල්සියම් බයිකාබනේට් ස්වල්පයද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර එසේ පතිත වන  ස්ථානයේද කැල්සියම් කාබනේට් ස්වල්පයක් තැන්පත්වේ.

මෙය ඉතාමත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් වුවද, වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා සිදුවීම නිසා, අද අපට දකින්නට ලැබෙන විවිධ හැඩතල සහ  රූ රටා නිර්මාණය කර තැබීමට ස්වභාව ධර්මය සමත් වී තිබේ. 
     
එංගල්බ්‍රෙච්ට් (Engalbrecht cave) හිරිගල් ලෙන

ගැම්බියර් නගර මධ්‍යයේම පිහිටා ඇති  ‘එංගල්බ්‍රෙච්ට් හිරිගල් ලෙන’ ඉතාමත් සුවිශේෂී, බෙහෙවින් සංචාරක ආකර්ෂණයට පත්වී ඇති ස්ථානයකි. වසර දහස් ගණනකට ඉහතදී පොලොව කිඳා බැසීම නිසා හටගෙන ඇතැයි විශ්වාස කරනු ලබන මෙහි ඇති, අති විශාල  අගාධය, නගරය ආරම්භ කළ කාලයේ සිට, කසල සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර  කිරීමේ ‘කුණු වළක්’ ලෙස භාවිත කර තිබේ.  1885  වසරේදී මෙම කඳුකරයේ පදිංචිය සඳහා පැමිණි ජර්මන් ජාතික එංගල්බ්‍රෙච්ට් නම් ව්‍යාපාරිකයෙක් විසින් ආරම්භ කරන ලද මත්පැන් නිෂ්පාදනාගාරයක අපද්‍රව්‍ය   සහ බෝතල් කටු වැනි දේ මෙම ‘කුණු වළට’ දමා ඇති බව පෙනේ. 

පසුව 1940 දී පමණ ගැම්බියර් නගර සභාව මගින් ‘කුණු වළ’ පවරාගෙන කොම්පෝස්ට් පොහොර බවට පත්වී තිබුණු කසල කොටස් සහ බෝතල් කටු ආදිය ටොන් ගණනක් ඉවත්කර එම ස්ථානය  මැනවින් සංවර්ධනය කර තිබේ.

කිඳා බැස ඇති අගාධයේ වියලි පතුළ අද මනරම් උයනකි. පතුලෙහි වවා අති විසිතුරු මල් වර්ග සහ අගාධ බිත්තිය ඔස්සේ පහලට එල්ලා වැටෙන, සපුෂ්ක වැල් වර්ග නිසා, එය සිත් ඇද ගන්නා සුලුය. මීටර් 50ක් පමණ පහලින් ඇති මල් උයනට බැසීම සඳහා සර්පිලාකාර පඩි පෙළක්ද  සකස්කර තිබේ.

මල් උයන පතුළ මට්ටමේ  සිට පහලට එක් පසකින්  විහිදී යන හිරිගල් ලෙනක් සහ වෙනත් දිශාවකට විහිදෙන ගලායන මිරිදිය දොළ පහරක් වැනි ජලප්‍රවාහයක්  තිබීම මෙම ලෙන් පද්ධතියේ විශේෂත්වයකි. හිරිගල් ලෙනෙහි අභ්‍යන්තරයේ  ඇති හිරි ටැඹ’  සහ හිරි ලඹවෙනත් ලෙන් වල එවැනි නිර්මාණ මෙන්ය. හිරිගල් ලෙනක් තුළ හිරිළඹනිර්මාණය වීමේ ක්‍රියාවලිය ඉතාමත් සෙමින් සිදුවන්නකි. හිරි ළඹයක්, දිගින් සෙන්ටිමීටර් දහයක් වර්ධනය වීම සඳහා, වසර දහසක් පමණ ගතවන බව ගණනය කර තිබේ. මෙම ලෙනෙහි තිබෙන සමහර
ස්වාභාවික නිමැයුම්, වසර 190,000  පමණ පැරණි   බව, විකිරණශීලී මිනුම් මගින් අනාවරණය කරගෙන ඇත. 
ලෙන අසල, අනික් පසින් ඇති ගලායන ජලප්‍රවාහය ඉතා විරල භුගත නිර්මාණයකි.
මීටර් තුන හතරක් ගැඹුරට ජලය පිරී ඇති මෙම ස්වාභාවික නිර්මාණය  ‘ලෙන් ජලයේ කිමිදීම’ ( cave diving) නම් ජල ක්‍රීඩාව සඳහා ලොව ප්‍රසිද්ධියක්    ලබා තිබේ. 

ගැම්බියර්  නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්වයේ පවතින අතරතුර, එහි රථවාහන ගමන් කරන මහාමාර්ග සහ මහජනතාව හැසිරෙන ගොඩනැගිලි වලට  පහලින් භු ගර්භය තුළ  සංචාරකයෝ  ‘ලෙන් ජලයේ කිමිදීම’  සහ  හිරිගල් උයන්වල සිරි නැරඹීම මහත් ආශ් චර්යයක් ලෙස සැලකිය හැකිය.

ජලය පිරී ඇති  භූගත කිඳා බැසීම් (sink holes)  





ජලය පිරුණු ආගාධ ලෙස දකින්නට ලැබෙන භූගත කිඳා බැසීම් (sink holes), ගැම්බියර් හිරිගල් භුමි භාගයේ  දකින්නට ලැබෙන සුලභ දර්ශනයකි. කලින් විස්තර කළ  එංගල්බ්‍රෙච්ට් කිඳා බැසීම වියලි පතුළක් සහිත එකක් වුවද, යම්කිසි  භුමි කිඳා බැසීමක පතුළ භූගත ජල මට්ටමට වඩා පහතට ගියහොත් එහි පතුළ ජලයෙන් පිරී යයි. 

මෙවැනි   ජලය පිරි කිඳා බැසීම් 50 ක් පමණ, ගැම්බියර් හිරිගල් නිධි සහිත භුමිය තුළ තිබෙන බව ගණනය කර තිබේ. මෙම ස්වාභාවික නිර්මාණයන් හටගන්නේද හිරිගල් නිධි තුළ සිදුවන භෞතික සහ  රසායනික විපර්යාසයන් කිහිපයක  සංකලනයක් නිසාය. භු ගර්භය තුළ තිබෙන හිරිගල් නිධියක යම් කිසි ස්ථානයක, පොලොව මතුපිටට වර්ෂාවෙන් ලැබෙන ජලය කාන්දු වීම, දිගු කාලයක් තිස්සේ පවතින විට, ජලයේ අල්ප වශයෙන් ද්‍රාවණය වී ඇති කාබොනික් අම්ලය නිසා හිරිගල් දියවීමට පටන් ගනී. වසර දහස් ගණනක් තිස්සේ මෙසේ දුර්වල වන හිරිගල් නිධිය කඩා වැටීම, නිසා භූගත කිඳා බැසීම් (sink holes), හටගන්නා බව භු විද්‍යාඥයින්ගේ මතයයි. 

මෙසේ බලන කළ ස්වභාව ධර්මය, ඉතාමත් නිහඬව චමත්කාර ජනක දේ කෙතරම් නිර්මාණය කරන්නේද යන්න අපට සිතා ගත හැකිය. මෙතෙක් මිනිසාට ඇස නොගැසුණු මෙවැනි තවත් බොහෝ අසහාය ස්වභාවික නිර්මාණ, පෘථිවිය මතුපිට, පෘථිවි ගර්භය තුළ සහ මහා සාගරයේ කෙතරම් තිබිය හැකිද?  මෙසේ තිබිය හැකි බොහෝ දේ සදාකාලිකවම මිනිස් ඇසට වසන් වී යන්නටද ඉඩ තිබේ .

දෙවන දිනයේ,   සවස්  වන විට  අපට හිරිගල් නිධි සහිත ගැම්බියර් ප්‍රදේශයේ, ඓතිහාසික, පාරිසරික, අධ්‍යාපනික  සහ විද්‍යාත්මක තොරතුරු වලින් සැලකියයුතු ප්‍රමාණයක් අධ්‍යයනය කර, සැබවින්ම දැකගත හැකිවිය. ගිනිකඳු සක්‍රීය වීම නිසා භු ගර්භය තුළ සිදුවී ඇති, වියහැකි ක්‍ෂණික කැළඹීම් නිසා ඉමහත් විපර්යාසයයන් සිදුවන බව, මෙම චාරිකාවේදී අපට ඇස්පනාපිටම දැකගත හැකිවීම භාග්‍යයකි.

එදින තරමක් වේලාසනින් නවාතැන වෙත පැමිණි අපි, රාත්‍රී ආහාර නවාතැනෙහිදීම  සකස් කර ගතිමු. දෙදිනක වෙහෙසකර චාරිකාවෙන් පසු විඩාවට පත්ව සිටි අපට නවාතැනෙහි මනා සුව පහසුකම් තිබුණු නිසා සුවසේ නිදා ගැනීමට හැකි විය.

පසුවදා උදේ දහයට පමණ ආපසු ඒමට පිටත්වූ අපි, සවස හය පමණ වනවිට නැවත නිවසට පැමිණියෙමු.
   
 බොහෝ විට කෙනෙකුට ඇසින් දකින්නට නොලැබෙන සමහර දේ ත්‍රාසජනක වික්‍රම ලෙස සැලකේ. වසර පන්දහසකට පමණ ඉහතදී ගිනිකඳු මගින් මිහිතලය දෙදරුම් දී, කැළඹීමකට පත්කළ අවස්ථාවේදී  පිටවූ ලෝදිය වැනි ‘ලාවා’ සහ හුණුගල් මිශ්‍රණය සිසිල් වීමෙන්  භූගත ලෙන් සෑදී තිබේ. මේ සමගම ඇතිවූ කිඳා බැසීම් මගින් ජලය පිරි කුඩා අගාධ සහ ගිනිකඳුවල  විශාල අගාධ මගින් මිරිදිය ජලාශද  හටගෙන තිබේ. මේ ආකාරයට සකස් වී ඇති, “ගැම්බියර් කඳුකරය” ආසන්න හිරිගල් වෙරළ තීරය, ලොව පිළිගත් අද්විතීය ස්වාභාවික නිර්මාණයකි.

භු විද්‍යාත්මක තොරතුරු, ස්තුති පූර්වකව. අන්තර් ජාලයෙනි   


Saturday, 2 March 2019

ගිනිකඳු සක්‍රීය වීම නිසා හටගත් මනස්කාන්ත නගරයේ චාරිකාවක් ....(අංක 1)


   ගිනිකඳු පිපිරී යාම නිසා ලෝකයේ විවිධ රටවල මහත් ව්‍යසන සිදුවී ඇති  බව ඉතිහාසයේ සඳහන්ය. මෙයින් ඉතාලියේ විසුවියස් ගිනිකන්ද, සිසිලි දුපතේ එට්නා ගිනිකන්ද සහ ජපානයේ පුජියාමා වැනි ගිනිකඳු  සක්‍රීය වූ අවස්ථා වලදී ජීවිත හානි රාශියක් සහ දේපළ හානි සිදුවී ඇති බවට වාර්තා පළවී වී තිබේ.

දැනට වසර පන්දහසකට පමණ ඉහතදී, දකුණු දිග ඕස්ට්‍රේලියාවේ පිහිටි ගිනිකඳු සමුහයක් සක්‍රීය වීම නිසා,  මහත් භු ගර්භ කැළඹීම් රාශියක් සිදුවූ බවට සාක්ෂි තිබේ. මේ සිදුවීම නිසා හටගන්නා ලද භූගර්භ  විපර්යාසයයන් නිසා, එම ප්‍රදේශයේ හටගෙන තිබෙන, ස්වාභාවික නිර්මාණ රාශියක්, ඉතාමත් සිත් ඇදගන්නා සුළු ලක්ෂණ සහිතය. දැනට ශතවර්ෂ දෙකකට පමණ ඉහතදී, මෙම ප්‍රදේශය ‘ගැම්බියර් කඳුකරය’ ලෙස, නම්කර තිබේ.

ගිනිකඳු පිපිරීම් නිසාම හටගත්, අපූර්ව ව්‍යූහයන් නිසා ගැම්බියර් කඳුකරය,  අද ලොව ප්‍රසිද්ධ සංචාරක  පුරවරයක් බවට පත්වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයෙන් කුඩාම ප්‍රාන්තය වනුයේ, වික්ටෝරියා ප්‍රාන්තයයි. මෙල්බර්න් එහි අග නුවරයි. වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර මායිමෙන් එහා ඇත්තේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයයි. කඳුකර ගැම්බියර් කුඩා නගරය පිහිටි මෙම ප්‍රදේශයේ  දකුණු වෙරළ සුවිශේෂී භු විෂමතා සහ සොබා දහමේ ආකර්ශනීය නිමැවුම් සහිත බිම් කඩකි.  දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ  අග නුවර ඇඩිලේඩ් වේ. මෙල්බර්න් සිට ඇඩිලේඩ් නගරයට දුර කිලෝමීටර් 727 කී. මෙල්බර්න් සිට කඳුකර ගැම්බියර් කුඩා නගරයට දුර කිලෝමීටර්  427 කි. ප්‍රාන්ත දෙක වෙන්වන මායිමේ සිට කිලෝමීටර 10ක් පමණ බටහිරින්  පිහිටි, ගැම්බියර් කඳුකරය අයිති දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයටය.

2018 දෙසැම්බර් මස 30දා මෙල්බර්න්හි පිහිටි නිවසින් පිටත් වූ අපි, පැය පහකදී පමණ ගැම්බියර් කඳුකරයට ළඟාවීමු. ප්‍රාන්ත දෙක වෙන්වන මායිමේ, මහා මාර්ගය දෙපැත්තේ  අටවා ඇති, ප්‍රාන්ත සීමා දැක්වෙන දැන්වීම් පුවරු අසල මඳක් නතරවූ අපට, භූගෝලීය සහ පරිපාලනයමය සීමා, දැන්වීම් පුවරු මගින් සලකුණු කර ඇති ආකාරය මෙසේ දැක ගත හැකි විය. 

ප්‍රාන්ත මායිමට නුදුරින් පිහිටි ගිමන් හලක, ටික වේලාවක් නතරවූ අපි, එහිදී දිවා ආහාරය ගෙන, කඳු, පල්ලම් සහ වංගු සහිත, දුර්ඝ  මහා මාර්ගය ඔස්සේ,  පැයක පමණ ධාවනයකින්, පසු  ගැම්බියර් කඳුකර ප්‍රදේශයට පැමිණියෙමු.

ගැම්බියර් කඳුකරය සුවිශේෂී භු විෂමතා ලක්ෂණ වලින් හෙබි, ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම් සහිත, මිනිසාගේ බලපෑම් නිසා අගතියට පත්නොවූ, සෞන්දර්යාත්මක අගයකින් යුක්ත මනරම් ප්‍රදේශයකි. මෙහි මුලින්ම අපගේ කැමරා කාචයට හසු වූයේ, ගැම්බියර් සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, දකුණුතම තුඩුව ලෙස හැඳින්වෙන, Port MacDonnell නම්  ස්ථානයයි. 

(මෙහි සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අග නුවර වන සිඩ්නි නගරයට කිලෝමීටර් 1200 බවත්,  බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග නුවර වන පර්ත් නගරයට කිලෝමීටර් 3200 බවත් එහි ඇති පුවරුවෙහි සඳහන් කර තිබේ.)

ඕස්ට්‍රේලියා මහාද්වීපයේ, කිලෝමීටර් සිය ගණනක් ඈතට දිවෙන, දකුණු මුහුදු වෙරළ හිරිගල් වෙරළ තීරය  (limestone coast)  යන නමින් හැඳින්වේ. වසර මිලියන ගණනකට පෙර යුග වලදී, මෙම ප්‍රදේශය මුහුදු ජලයෙන් යටවී තිබුණු බවට, මෙහි ඇති  භූගත හිරිගල් නිධි වල තිබි, පාශානිභුත සාක්ෂි ලැබී ඇත. එවකට මුහුදේ ජීවත්ව සිටි කවච සහිත  විවිධ මුහුදු ජීවීන්ගේ නෂ්ටාවශේෂ තැන්පත්වීම නිසා, මෙම හිරිගල් නිධි හටගත් බව විශ්වාස කෙරේ. ආදී යුග වලදී, වරින් වර භු ගර්භයේ සිදුවී ඇති  කැළඹිලි නිසා, මෙම නිධි විවිධ ස්තර වල විසිරී පවතී.

මෙම හිරිගල් වෙරළ තීරය  නිර්මාණය වීම සඳහා, වසර මිලියන 26 ක් පමණ ගතවී ඇති බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සහ පාශාණිභුත වී ඇති නෂ්ටාවශේෂ අධ්‍යයන මගින් හෙළිවී තිබේ. මෙම අධ්‍යයන වලට  අනුව,  දැනට,
·        වසර මිලියන 40 කට පමණ ඉහතදී  ඕස්ට්‍රේලියා මහාද්වීපය ඇතුළු සමස්ත භුමිප්‍රදේශය ඇන්ටාර්ක්ටික් මහාද්වීපයෙන් වෙන්වී ගොස් ඇත.

·        වසර මිලියන 15 සහ 38 අතර කාලයකට පෙර, මුහුදු ජලයෙන් යටවී තිබුණු  ගැම්බියර් ආශ්‍රීත ප්‍රදේශයේ හිරිගල් නිධි තැන්පත්වී තිබේ.
·        වසර මිලියන 2 සිට 5 අතර කාලයකට පෙර, සිදුවී ඇති භු ගර්භ කැළඹීමක් නිසා මෙම වෙරළ තීරයේ, ගැම්බියර්  සිට කිලෝමීටර් 100ක් පමණ උතුරු දෙසට පිහිටා ඇති නරාකූට්’( Narracoorte), කඳු වැටිය නිර්මාණය වී ඇතැයි සැලකේ. (Narracoorte යනු ආදි වාසිකයින් භාවිත කළ වචනයක් බවත්, එයින් හැඳින්වෙනුයේ ගලායන ජලය සහිත හෝ ජල පොකුණු සහිත යන බවද සඳහන්ය.)
·        වසර මිලියන 1.5 පෙර සිට ගැම්බියර් ප්‍රදේශයේ අධි භු චලණ සහ  ගිනිකඳු පිපිරීම් බහුලව සිදු වී තිබේ.
·        වසර 4,600 ට පමණ පෙර  ගැම්බියර් ප්‍රදේශයේ අවසාන ගිනිකඳු පිපිරීම සිදුවී ඇති අතර, මෙය හේතු කොට ගෙන, භුමිය මුහුදු මට්ටමේ සිට මීටර් සියයක් පමණ උසට ඉලිප්පී භුගත හිරිගල් ලෙන් සහ ආවාට හටගෙන ඇති බවත් විශ්වාස කෙරේ

කාබන්-14 කාල නිර්ණය සහ පාශානීයධාතු චුම්බකත්ව පරීක්ෂණ  (Carbon-14 dating and palaeomagnetic tests) මගින් කාල වකවාණු සනාථ කර තිබේ. මෙයට සමගාමීව මෙම ප්‍රදේශයේ නිර්මාණය වී තිබෙන කලපු, වගුරු බිම් සහ වෙනත් ජලජ පරිසර වල  ඒවාට ආවේණික  ජෛව විවිධත්වද   දකින්නට ලැබේ.

ගිනිකඳු නිසා හටගත් මිරිදිය ජලාශ

ගැම්බියර් කඳුකරයේ, සක්‍රීය වූ ගිනිකඳු සහ භු චලණ වැනි ස්වාභාවික සංසිද්ධි මගින්  පෘථිවි අභ්‍යන්තරය තුළ සිදුවී ඇති විපර්යාස නිසා නිර්මාණයවී තිබෙන ආවාට, භුමි කිඳා බැසීම් (sink holes), හිරිගල් ලෙන් පද්ධති, භූගත මිරිදිය පොකුණු  ආදිය නිසා මෙම ප්‍රදේශය ලොව විරල, අද්විතීය පරිසර කලාපයක් ලෙස නම්කර තිබේ.  

(ගිනිකඳු සක්‍රිය වූ කාලයේ මේ ප්‍රදේශයේ ‘බොඅන්ඩික්’ (Boandik) ආදී වාසීන් පදිංචිවී සිටින්නට ඇතැයි විශ්වාස කළහැකිය. ඔවුන්ගේ ‘සිහින ලොවේ කටකතා’ වලට අනුව, එකළ තමන් විසින් දේවත්වයේ  ලා සැලකූ, යෝධයෙකු විසින් අවුළුවන ලද මහා ගිනිජාලාවන් නිවාදැමීම සඳහා මේ ජල ප්‍රභව ඉබේ පහලවී තිබේ යයි ආදිවාසීන්  විශ්වාස කර තිබේ )

හිරි ගල් වෙරළේ එකට  බැඳි ඇති, හිරිගල් කුට්ටි නිසා පය තබා ඇවිදීම පවා අවදානම් සහිතය. තද බෑවුම් සහිත ප්‍රපාතාකාර හිරිගල් නෙරීම් බහුල නිසා, වෙරළ අද්දරට යාම පවා ඉතාමත් අසීරු කාර්යයකි.

දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ඕස්ට්‍රේලියාවේ ගිම්හාන ඍතුව නිසා, පස්වරු අට පමණ වනතුරු හොඳින් සුර්යාලෝකය පවතින බැවින්, අපට මුල් දිනයේම ගැම්බියර් කඳුකරයේ තවත් දසුන් කිහිපයක්ම දැක බලා ගත හැකි විය. මෙයින් වඩාත්ම සිත් ගන්නාසුළු දර්ශන වුයේ ගිනිකඳු සක්‍රීය වීම නිසාම, නිර්මාණය වී තිබෙන, ස්වභාවික විල් හෝ ජලාශ  සමූහයයි.

ස්වභාවික විල් හෝ ජලාශ 
ගැම්බියර් නගරය ආසන්නයේම, ගිනිකඳු නිසා හටගත්  මනස්කාන්ත ජලාශ කිහිපයක් තිබේ. මේ අතුරෙන් නීල ජලාශය (Blue lake) සහ හරිත ජලාශය (Green lake) සුවිශේෂීය.

මේවායේ භු විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කර ඇති බව, එම ස්ථාන වල සටහන් කර තිබෙන තොරතුරු වලින් හෙළිදරව් වේ. මේ කාලයේම හටගන්නට ඇතැයි විශ්වාස කරනු ලබන තවත් ජලාශ දෙකක් භූගත ජල මට්ටම පහත වැටීම නිසා දැනට බොහෝ දුරට වියලි ගොස් තිබේ.

    නීල ජලාශය හටගන්නට ඇත්තේ කෙසේද?

නීල ජලාශයේ දළ හරස් කඩ
සක්‍රීය වූ ගිනිකන්ද පුපුරා යාමේදී  පිටවූ හිරිගල් මිශ්‍රිත ලාවා සහ ලෝදිය වැනි අග්නේය පාෂණ (basalt) සිසිල් වීම  මගින්  ජලාශයේ ඉවුර සෑදී ඇති අතර, භු ගර්භය තුලට කිඳා බැස ඇති ආවාටය  නිසා  හටගත් විශාල හිඩැසෙහි පතුළ, භූගත ජල මට්ටමෙන් පහලට යෑම නිසා, ජලාශය හටගෙන තිබේ. මෙය වටා ඇති ජලධර (aquefer) මගින් ජලාශයට නිරතුරුවම වට පිටාවේ භූගත ජලය ලැබේ. ජලාශයේ මතුපිට ක්‍ෂේත්‍ර ඵලය හෙක්ටෙයාර් 70 පමණ වන අතර එහි වටප්‍රමාණය කිලෝමීටර් පහකි. ගැඹුර මීටර 70 ක් පමණ වන ජලාශයේ ජලය ලීටර් මිලියන 36,000  ක පමණ ධාරිතාවක් ඇත. නගරයේ අවශ්‍යතා සඳහා වසරකට ජලාශයේ ජලය ලීටර් මිලියන 3600 ක් පමණ භාවිත වේ.  මෙහි ජලය පානය කිරීම සඳහා ඉතාමත් යෝග්‍ය ගුණාත්මක තත්වයකින් පැවතීම වැදගත් ලක්ෂණයකි.

         මෙහි ජලය නිල් පැහැ ගන්නේ මක්නිසාද?
 නීල ජලාශය නම් අන්වර්ථ නාමයක් ලැබී ඇති,  මෙම පානීය ජල ප්‍රභවය,  ගිම්හානයේදී තද නිල් පැහැයක් ගන්නේත්  සිසිර සමය වන විට ක්‍රමක්‍රමයෙන් අළු පැහැයක් ගන්නේත් මන්ද යන්න සඳහා, මෙතෙක් නිශ්චිත විසඳුමක් නොලැබුණු ආශ්චර්යයකි. මේ සඳහා වරින් වර විවිධ මත පළවී ඇතත්, විද්‍යාත්මක සංසිද්ධියක් ආසන්නම හේතුව වශයෙන් වැඩි පිළිගැනීමක් ඇත.
මෙම මතයට අනුව, ජල ප්‍රභවයේ අන්තර්ගත, කැල්සියම් කාබනේට් සහිත අන්වීක්ෂීය ‘කැල්සයිට්’ අංශු මත, ගිම්හානයේදී  පතිතවන,  සුර්යාලෝක කිරණ පරාවර්තනය වීමේදී,  වර්ණාවලියේ  නීල පථ තරංග ආයාමයට (the wave length of blue strip of spectrum) සමපාතව විසිරීම නිසා ජලය නිල් පැහැයට පෙනෙන  බව ඔප්පු කර තිබේ.

මේ අතර හරිත ජලාශයේ කොළ පැහැයට හේතුව, හරිත ඇල්ගී බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. කෙසේ වෙතත් සමහර කාලවලදී, අහිතකර නීල හරිත (blue-green) ඇල්ගී සහ එන්ට්‍රොකොකස්  (entrococcus) බැක්ටිරියාද වර්ධනය වීමට ඉඩකඩ ඇති  බැවින් හරිත ජලාශයෙන් පානීය ජලය ලබාගැනීම අත්හිටුවා තිබේ. එහෙත් මෙහි වෙනත් ජල විනෝදාංශ සඳහා අවහිරයක් නොමැත.

(තව විස්තර දෙවන කොටසින්)   

භු විද්‍යාත්මක තොරතුරු, ස්තුති පූර්වකව. අන්තර් ජාලයෙනි