Saturday 2 March 2019

ගිනිකඳු සක්‍රීය වීම නිසා හටගත් මනස්කාන්ත නගරයේ චාරිකාවක් ....(අංක 1)


   ගිනිකඳු පිපිරී යාම නිසා ලෝකයේ විවිධ රටවල මහත් ව්‍යසන සිදුවී ඇති  බව ඉතිහාසයේ සඳහන්ය. මෙයින් ඉතාලියේ විසුවියස් ගිනිකන්ද, සිසිලි දුපතේ එට්නා ගිනිකන්ද සහ ජපානයේ පුජියාමා වැනි ගිනිකඳු  සක්‍රීය වූ අවස්ථා වලදී ජීවිත හානි රාශියක් සහ දේපළ හානි සිදුවී ඇති බවට වාර්තා පළවී වී තිබේ.

දැනට වසර පන්දහසකට පමණ ඉහතදී, දකුණු දිග ඕස්ට්‍රේලියාවේ පිහිටි ගිනිකඳු සමුහයක් සක්‍රීය වීම නිසා,  මහත් භු ගර්භ කැළඹීම් රාශියක් සිදුවූ බවට සාක්ෂි තිබේ. මේ සිදුවීම නිසා හටගන්නා ලද භූගර්භ  විපර්යාසයයන් නිසා, එම ප්‍රදේශයේ හටගෙන තිබෙන, ස්වාභාවික නිර්මාණ රාශියක්, ඉතාමත් සිත් ඇදගන්නා සුළු ලක්ෂණ සහිතය. දැනට ශතවර්ෂ දෙකකට පමණ ඉහතදී, මෙම ප්‍රදේශය ‘ගැම්බියර් කඳුකරය’ ලෙස, නම්කර තිබේ.

ගිනිකඳු පිපිරීම් නිසාම හටගත්, අපූර්ව ව්‍යූහයන් නිසා ගැම්බියර් කඳුකරය,  අද ලොව ප්‍රසිද්ධ සංචාරක  පුරවරයක් බවට පත්වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයෙන් කුඩාම ප්‍රාන්තය වනුයේ, වික්ටෝරියා ප්‍රාන්තයයි. මෙල්බර්න් එහි අග නුවරයි. වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර මායිමෙන් එහා ඇත්තේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයයි. කඳුකර ගැම්බියර් කුඩා නගරය පිහිටි මෙම ප්‍රදේශයේ  දකුණු වෙරළ සුවිශේෂී භු විෂමතා සහ සොබා දහමේ ආකර්ශනීය නිමැවුම් සහිත බිම් කඩකි.  දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ  අග නුවර ඇඩිලේඩ් වේ. මෙල්බර්න් සිට ඇඩිලේඩ් නගරයට දුර කිලෝමීටර් 727 කී. මෙල්බර්න් සිට කඳුකර ගැම්බියර් කුඩා නගරයට දුර කිලෝමීටර්  427 කි. ප්‍රාන්ත දෙක වෙන්වන මායිමේ සිට කිලෝමීටර 10ක් පමණ බටහිරින්  පිහිටි, ගැම්බියර් කඳුකරය අයිති දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයටය.

2018 දෙසැම්බර් මස 30දා මෙල්බර්න්හි පිහිටි නිවසින් පිටත් වූ අපි, පැය පහකදී පමණ ගැම්බියර් කඳුකරයට ළඟාවීමු. ප්‍රාන්ත දෙක වෙන්වන මායිමේ, මහා මාර්ගය දෙපැත්තේ  අටවා ඇති, ප්‍රාන්ත සීමා දැක්වෙන දැන්වීම් පුවරු අසල මඳක් නතරවූ අපට, භූගෝලීය සහ පරිපාලනයමය සීමා, දැන්වීම් පුවරු මගින් සලකුණු කර ඇති ආකාරය මෙසේ දැක ගත හැකි විය. 

ප්‍රාන්ත මායිමට නුදුරින් පිහිටි ගිමන් හලක, ටික වේලාවක් නතරවූ අපි, එහිදී දිවා ආහාරය ගෙන, කඳු, පල්ලම් සහ වංගු සහිත, දුර්ඝ  මහා මාර්ගය ඔස්සේ,  පැයක පමණ ධාවනයකින්, පසු  ගැම්බියර් කඳුකර ප්‍රදේශයට පැමිණියෙමු.

ගැම්බියර් කඳුකරය සුවිශේෂී භු විෂමතා ලක්ෂණ වලින් හෙබි, ස්වභාව ධර්මයේ අපූරු නිමැවුම් සහිත, මිනිසාගේ බලපෑම් නිසා අගතියට පත්නොවූ, සෞන්දර්යාත්මක අගයකින් යුක්ත මනරම් ප්‍රදේශයකි. මෙහි මුලින්ම අපගේ කැමරා කාචයට හසු වූයේ, ගැම්බියර් සිට කිලෝමීටර් 30 ක් පමණ දුරින් පිහිටි, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, දකුණුතම තුඩුව ලෙස හැඳින්වෙන, Port MacDonnell නම්  ස්ථානයයි. 

(මෙහි සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අග නුවර වන සිඩ්නි නගරයට කිලෝමීටර් 1200 බවත්,  බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග නුවර වන පර්ත් නගරයට කිලෝමීටර් 3200 බවත් එහි ඇති පුවරුවෙහි සඳහන් කර තිබේ.)

ඕස්ට්‍රේලියා මහාද්වීපයේ, කිලෝමීටර් සිය ගණනක් ඈතට දිවෙන, දකුණු මුහුදු වෙරළ හිරිගල් වෙරළ තීරය  (limestone coast)  යන නමින් හැඳින්වේ. වසර මිලියන ගණනකට පෙර යුග වලදී, මෙම ප්‍රදේශය මුහුදු ජලයෙන් යටවී තිබුණු බවට, මෙහි ඇති  භූගත හිරිගල් නිධි වල තිබි, පාශානිභුත සාක්ෂි ලැබී ඇත. එවකට මුහුදේ ජීවත්ව සිටි කවච සහිත  විවිධ මුහුදු ජීවීන්ගේ නෂ්ටාවශේෂ තැන්පත්වීම නිසා, මෙම හිරිගල් නිධි හටගත් බව විශ්වාස කෙරේ. ආදී යුග වලදී, වරින් වර භු ගර්භයේ සිදුවී ඇති  කැළඹිලි නිසා, මෙම නිධි විවිධ ස්තර වල විසිරී පවතී.

මෙම හිරිගල් වෙරළ තීරය  නිර්මාණය වීම සඳහා, වසර මිලියන 26 ක් පමණ ගතවී ඇති බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සහ පාශාණිභුත වී ඇති නෂ්ටාවශේෂ අධ්‍යයන මගින් හෙළිවී තිබේ. මෙම අධ්‍යයන වලට  අනුව,  දැනට,
·        වසර මිලියන 40 කට පමණ ඉහතදී  ඕස්ට්‍රේලියා මහාද්වීපය ඇතුළු සමස්ත භුමිප්‍රදේශය ඇන්ටාර්ක්ටික් මහාද්වීපයෙන් වෙන්වී ගොස් ඇත.

·        වසර මිලියන 15 සහ 38 අතර කාලයකට පෙර, මුහුදු ජලයෙන් යටවී තිබුණු  ගැම්බියර් ආශ්‍රීත ප්‍රදේශයේ හිරිගල් නිධි තැන්පත්වී තිබේ.
·        වසර මිලියන 2 සිට 5 අතර කාලයකට පෙර, සිදුවී ඇති භු ගර්භ කැළඹීමක් නිසා මෙම වෙරළ තීරයේ, ගැම්බියර්  සිට කිලෝමීටර් 100ක් පමණ උතුරු දෙසට පිහිටා ඇති නරාකූට්’( Narracoorte), කඳු වැටිය නිර්මාණය වී ඇතැයි සැලකේ. (Narracoorte යනු ආදි වාසිකයින් භාවිත කළ වචනයක් බවත්, එයින් හැඳින්වෙනුයේ ගලායන ජලය සහිත හෝ ජල පොකුණු සහිත යන බවද සඳහන්ය.)
·        වසර මිලියන 1.5 පෙර සිට ගැම්බියර් ප්‍රදේශයේ අධි භු චලණ සහ  ගිනිකඳු පිපිරීම් බහුලව සිදු වී තිබේ.
·        වසර 4,600 ට පමණ පෙර  ගැම්බියර් ප්‍රදේශයේ අවසාන ගිනිකඳු පිපිරීම සිදුවී ඇති අතර, මෙය හේතු කොට ගෙන, භුමිය මුහුදු මට්ටමේ සිට මීටර් සියයක් පමණ උසට ඉලිප්පී භුගත හිරිගල් ලෙන් සහ ආවාට හටගෙන ඇති බවත් විශ්වාස කෙරේ

කාබන්-14 කාල නිර්ණය සහ පාශානීයධාතු චුම්බකත්ව පරීක්ෂණ  (Carbon-14 dating and palaeomagnetic tests) මගින් කාල වකවාණු සනාථ කර තිබේ. මෙයට සමගාමීව මෙම ප්‍රදේශයේ නිර්මාණය වී තිබෙන කලපු, වගුරු බිම් සහ වෙනත් ජලජ පරිසර වල  ඒවාට ආවේණික  ජෛව විවිධත්වද   දකින්නට ලැබේ.

ගිනිකඳු නිසා හටගත් මිරිදිය ජලාශ

ගැම්බියර් කඳුකරයේ, සක්‍රීය වූ ගිනිකඳු සහ භු චලණ වැනි ස්වාභාවික සංසිද්ධි මගින්  පෘථිවි අභ්‍යන්තරය තුළ සිදුවී ඇති විපර්යාස නිසා නිර්මාණයවී තිබෙන ආවාට, භුමි කිඳා බැසීම් (sink holes), හිරිගල් ලෙන් පද්ධති, භූගත මිරිදිය පොකුණු  ආදිය නිසා මෙම ප්‍රදේශය ලොව විරල, අද්විතීය පරිසර කලාපයක් ලෙස නම්කර තිබේ.  

(ගිනිකඳු සක්‍රිය වූ කාලයේ මේ ප්‍රදේශයේ ‘බොඅන්ඩික්’ (Boandik) ආදී වාසීන් පදිංචිවී සිටින්නට ඇතැයි විශ්වාස කළහැකිය. ඔවුන්ගේ ‘සිහින ලොවේ කටකතා’ වලට අනුව, එකළ තමන් විසින් දේවත්වයේ  ලා සැලකූ, යෝධයෙකු විසින් අවුළුවන ලද මහා ගිනිජාලාවන් නිවාදැමීම සඳහා මේ ජල ප්‍රභව ඉබේ පහලවී තිබේ යයි ආදිවාසීන්  විශ්වාස කර තිබේ )

හිරි ගල් වෙරළේ එකට  බැඳි ඇති, හිරිගල් කුට්ටි නිසා පය තබා ඇවිදීම පවා අවදානම් සහිතය. තද බෑවුම් සහිත ප්‍රපාතාකාර හිරිගල් නෙරීම් බහුල නිසා, වෙරළ අද්දරට යාම පවා ඉතාමත් අසීරු කාර්යයකි.

දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ඕස්ට්‍රේලියාවේ ගිම්හාන ඍතුව නිසා, පස්වරු අට පමණ වනතුරු හොඳින් සුර්යාලෝකය පවතින බැවින්, අපට මුල් දිනයේම ගැම්බියර් කඳුකරයේ තවත් දසුන් කිහිපයක්ම දැක බලා ගත හැකි විය. මෙයින් වඩාත්ම සිත් ගන්නාසුළු දර්ශන වුයේ ගිනිකඳු සක්‍රීය වීම නිසාම, නිර්මාණය වී තිබෙන, ස්වභාවික විල් හෝ ජලාශ  සමූහයයි.

ස්වභාවික විල් හෝ ජලාශ 
ගැම්බියර් නගරය ආසන්නයේම, ගිනිකඳු නිසා හටගත්  මනස්කාන්ත ජලාශ කිහිපයක් තිබේ. මේ අතුරෙන් නීල ජලාශය (Blue lake) සහ හරිත ජලාශය (Green lake) සුවිශේෂීය.

මේවායේ භු විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කර ඇති බව, එම ස්ථාන වල සටහන් කර තිබෙන තොරතුරු වලින් හෙළිදරව් වේ. මේ කාලයේම හටගන්නට ඇතැයි විශ්වාස කරනු ලබන තවත් ජලාශ දෙකක් භූගත ජල මට්ටම පහත වැටීම නිසා දැනට බොහෝ දුරට වියලි ගොස් තිබේ.

    නීල ජලාශය හටගන්නට ඇත්තේ කෙසේද?

නීල ජලාශයේ දළ හරස් කඩ
සක්‍රීය වූ ගිනිකන්ද පුපුරා යාමේදී  පිටවූ හිරිගල් මිශ්‍රිත ලාවා සහ ලෝදිය වැනි අග්නේය පාෂණ (basalt) සිසිල් වීම  මගින්  ජලාශයේ ඉවුර සෑදී ඇති අතර, භු ගර්භය තුලට කිඳා බැස ඇති ආවාටය  නිසා  හටගත් විශාල හිඩැසෙහි පතුළ, භූගත ජල මට්ටමෙන් පහලට යෑම නිසා, ජලාශය හටගෙන තිබේ. මෙය වටා ඇති ජලධර (aquefer) මගින් ජලාශයට නිරතුරුවම වට පිටාවේ භූගත ජලය ලැබේ. ජලාශයේ මතුපිට ක්‍ෂේත්‍ර ඵලය හෙක්ටෙයාර් 70 පමණ වන අතර එහි වටප්‍රමාණය කිලෝමීටර් පහකි. ගැඹුර මීටර 70 ක් පමණ වන ජලාශයේ ජලය ලීටර් මිලියන 36,000  ක පමණ ධාරිතාවක් ඇත. නගරයේ අවශ්‍යතා සඳහා වසරකට ජලාශයේ ජලය ලීටර් මිලියන 3600 ක් පමණ භාවිත වේ.  මෙහි ජලය පානය කිරීම සඳහා ඉතාමත් යෝග්‍ය ගුණාත්මක තත්වයකින් පැවතීම වැදගත් ලක්ෂණයකි.

         මෙහි ජලය නිල් පැහැ ගන්නේ මක්නිසාද?
 නීල ජලාශය නම් අන්වර්ථ නාමයක් ලැබී ඇති,  මෙම පානීය ජල ප්‍රභවය,  ගිම්හානයේදී තද නිල් පැහැයක් ගන්නේත්  සිසිර සමය වන විට ක්‍රමක්‍රමයෙන් අළු පැහැයක් ගන්නේත් මන්ද යන්න සඳහා, මෙතෙක් නිශ්චිත විසඳුමක් නොලැබුණු ආශ්චර්යයකි. මේ සඳහා වරින් වර විවිධ මත පළවී ඇතත්, විද්‍යාත්මක සංසිද්ධියක් ආසන්නම හේතුව වශයෙන් වැඩි පිළිගැනීමක් ඇත.
මෙම මතයට අනුව, ජල ප්‍රභවයේ අන්තර්ගත, කැල්සියම් කාබනේට් සහිත අන්වීක්ෂීය ‘කැල්සයිට්’ අංශු මත, ගිම්හානයේදී  පතිතවන,  සුර්යාලෝක කිරණ පරාවර්තනය වීමේදී,  වර්ණාවලියේ  නීල පථ තරංග ආයාමයට (the wave length of blue strip of spectrum) සමපාතව විසිරීම නිසා ජලය නිල් පැහැයට පෙනෙන  බව ඔප්පු කර තිබේ.

මේ අතර හරිත ජලාශයේ කොළ පැහැයට හේතුව, හරිත ඇල්ගී බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. කෙසේ වෙතත් සමහර කාලවලදී, අහිතකර නීල හරිත (blue-green) ඇල්ගී සහ එන්ට්‍රොකොකස්  (entrococcus) බැක්ටිරියාද වර්ධනය වීමට ඉඩකඩ ඇති  බැවින් හරිත ජලාශයෙන් පානීය ජලය ලබාගැනීම අත්හිටුවා තිබේ. එහෙත් මෙහි වෙනත් ජල විනෝදාංශ සඳහා අවහිරයක් නොමැත.

(තව විස්තර දෙවන කොටසින්)   

භු විද්‍යාත්මක තොරතුරු, ස්තුති පූර්වකව. අන්තර් ජාලයෙනි   







           

7 comments:

  1. අගෙයි. දෙවෙනි කොටහත් බලමු.

    //මේවායේ භු විද්‍යාත්මක ඉතිහාසය පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කර ඇති බව, එම ස්ථාන වල සටහන් කර තිබෙන තොරතුරු වලින් හෙළිදරව් වේ//
    ලංකාවෙනං ඒ වගේ අධ්‍යයනයන් කෙරෙනවද මන්ද.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රසන්න,
    මේවායේ තොරතුරු සැලකියයුතු ප්‍රමාණයක් ලබා ගත්තේ එම ස්ථානවල ප්‍රදර්ශනය කරතිබෙන පුවරු, ලිපි ලේඛන සහ ආකෘති ආදිය නිරීක්ෂණය කිරීමෙනුයි. ඒ සියල්ල අව්,වැසි, සුළං ආදියෙන් විනාශ නොවීම සඳහාත් විශේෂ උපක්‍රම යොදා තිබෙනවා.
    අපටත් ආරම්භයේදී තරමක වියදමක් දැරීමට සිදුවූවත්, මේ ආකාරයට කළ හැකිනම්, දහස් ගණනින් තිබෙන පාරිසරික, සෞන්දර්යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව දේශීය සහ විදේශීය සංචාරකයින්ට වැදගත් තොරතුරු රාශියක් සැපයිය හැකි වේවි.

    ReplyDelete
  3. http://theconversation.com/when-the-bullin-shrieked-aboriginal-memories-of-volcanic-eruptions-thousands-of-years-ago-81986

    ReplyDelete
  4. Thank you Pra Jay,
    I went through the link. There is lot of information in that article.

    //Such examples provide a novel way of helping to date natural events in the past and should encourage scientists to treat oral histories and traditions as legitimate sources of scientific information.//

    There had been a 'tradition like trend' of hiding the Aboriginal folk-lore and the past. Nowadays of course, many researchers try to compile historical events by reference to so called 'dream time stories'
    //Such examples provide a novel way of helping to date natural events in the past and should encourage scientists to treat oral histories and traditions as legitimate sources of scientific information.//

    ReplyDelete
  5. ලස්සන විස්තරයක්.... Blue lake,Green lake ගැන හුගක් ආස හිතුණා. ඕස්ට්‍රේලියා සංචාරයක් කරන්නත් ආසයි. සර් ඕස්ට්‍රේලියා aborigines ගැන සොයා බලා ලියන්න. ඒ ගැන දැන ගන්න කැමතියි.

    ReplyDelete
  6. ස්තුතියි මාලිනී,
    ඕස්ට්‍රේලියාවේ සිටින aborigine ආදිවාසිකයින් වසර 65,000 කට පමණ පෙර සිට ජීවත්වූ බවට සාක්ෂි ලැබී තිබෙනවා. ඉතා කුඩා කණ්ඩායම්, මහාද්වීපයේ විවිධ ප්‍රදේශ වල ජීවත්වී තිබෙනවා. දැනටත් ඉතා සුළු කණ්ඩායම් කිහිපයක් මධ්‍යම ඕස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ සිටිනවා. අප ගිය වසරේ මධ්‍යම ඕස්ට්‍රේලියාවේ Uluru කාන්තාර ප්‍රදේශයේ කල සංචාරයෙන් පසු ලියන ලද Blog සටහන් දෙකක මේ ගැන ලියා ඇති. මෙහි පත්රයකත් ලිපි දෙකක් පළකලා.
    මෙහි සිටින අපගේ හිතවත් කෙනෙක් ආදී වාසීන්ගේ 'සිහිනලොවේ කතන්දර' Dream stories ගැන ලිපි පෙළක් පත්‍රයකට ලියනවා. ඒවායේ Links එවන්නම්.
    මේ ලිපියේ දෙවන කොටසත් පලකරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැහැදිලි කිරීමට.

      Delete