Sunday, 8 October 2017

මැංගුස් ගසට ‘උප්පැන්න සහතිකයක්’ ......

   මැංගුස් ගසට ‘උප්පැන්න සහතිකයක්’ ......

මා SSC (අපොස සාපෙළ) විභාගය සමත් වූයේ 1956 වසරේදීය. විශිෂ්ට සම්මාන සහිතව සමත්වූ මට පියාගේ හිතවතෙකුගෙන් ලැබුණු තෑගි පාර්සලයක මැංගුස් ගෙඩි සතරක්ද විය. ප්‍රදේශයේ ආදර්ශ ගොවිපලේ කළමනාකරු වු ඔහු මැංගුස් ගෙඩි පිළිබඳව වැදගත් විස්තරයක් කළේය.

‘1950 වර්ෂයේ අපගේ ආදර්ශ ගොවිපල ආරම්භ කළ දිනයේ, මැලේසියානු තානාපතිවරයාගෙන් තෑගී ලැබුණු මැංගුස් පැලයක්, එදින, අගමැතිතුමා විසින් රෝපණය කරනු ලැබුවා. අවුරුදු පහකට පස්සේ, ඒකේ මේ අවුරුද්දේ ගෙඩි හයක් හැදුනා. මේ එයින් නෑඹුල් ගෙඩි හතරක්’

මට එය ඉතාමත් වටිනා තෑග්ගක් බව හැඟී ගියේය.



තෑගී ලැබුණු නෑඹුල් මැංගුස් ගෙඩි

‘ඔය ගෙඩි වල ඇට කිහිපය බැගින් ඇති. ඒවා පැල කරන්න.’කි ඔහු

මැංගුස් ඇට හොඳින් සෝදා පිරිසිදු කර දින කිහිපයක්  අව්වේ වෙලා, දිරා යන තෙතමනය ඇති පොල් ලෙල්ලක රෝපණය කළ විට මාස දෙකකදී පමණ බිජ පැල හටගන්නා බව තවදුරටත් විස්තර කළේය.

අපට ලැබුණු මැංගුස් ගෙඩි සතරෙන් තුනක හොඳින් වැඩුණු බිජ පහක් තිබුණු අතර අනික් ගෙඩියේ බිජ නොතිබුණි.

ගොවිපල කළමණාකාර මාමාගෙන් ලැබුණු  උපදෙස් පරිදි මැංගුස් බිජ රෝපණය කලෙමි. මාස කිහිපයකදී ඒවා පැල විය.
මේ අතර, ශිෂ්‍යත්ව ධාරියෙකු වු, මා උගත් විදුහලේ  උසස් පෙළ විද්‍යා පන්තිය සඳහා අවශ්‍ය ගුරුවරු හිඟ වීම නිසා මට වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලයට යාමට සිදුවිය.

නව විදුහලේ නේවාසිකව සිටි මට, රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින මිතුරන් රාශියක්ම හඳුනා ගැනීමට හැකි විය. අපට උසස් පෙළට ඉගැන්වීමට  ද්‍රවිඩ ගුරුවරුද කිහිප දෙනෙක් සිටියහ. ශිෂ්‍ය නිවාසයේම නතර වී සිටි කුගදාසන් සර් අපට  උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාව  උගන්වන ගුරුවරයා විය. ඔහු බොහෝ ප්‍රායෝගික අත්දැකීම් සහිත දක්ෂ ගුරුවරයෙක් විය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී දස වසරක් සම්පුර්ණ වන 1958 වසරේදී රටතුළ, නිදහස සැමරීමේ විවිධ උත්සව රාශියක් සංවිධානය කර තිබිණ. අධ්‍යාපන අමාත්‍යාංශයද පාසල්වතු අලංකරණය භෝග නිෂ්පාදනය වැනි කටයුතු කරන ලෙස විදුහල්වලට දන්වා තිබිණ. වර්ෂය මුලදීම විද්‍යා සිසුන් ඇමතු කුගදාසන් සර්, ‘පාසල්වතු අලංකරණය’ තේමාව යටතේ ‘උද්භිද උයනක්’ සකස් කිරිමට යෝජනා කරණ ලදී.
මේ සඳහා ශිෂ්‍ය නිවාසයටත් විද්‍යාගාරයටත් අතර බිම් කොටස සුදුසු බව තීරණය විය. එම බිම් කොටස හෙළි පෙහෙළි කරන විට, එහි පැමිණි විදුහල්පතිතුමාද එය ඉතා අගනා අදහසක් බව අනුමත කර යෝජිත බිම් කොටස වෙන් කිරීම සඳහා කම්බි වැටක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ ගේට්ටුවක්ද සැපයිය හැකි බව කියා අප සැම තවත් දිරිමත් කළේය.

මුලික වැඩ අවසන් කළ පසු කුගදාසන් සර්ගේ උපදෙස් අනුව උද්භිද උයන තුළ, ජලජ පරිසරයක්, ශුෂ්ක පරිසරයක්, අපිශාක, පරපෝෂිත ශාක, භුගත කඳන් සහිත ශාක, විවිධ ආරෝහණ ශාක, මීමන, ඕකිඩ්, බාඳුරා වැනි සුවිශේෂ ශාක වැවිය හැකි ස්ථාන, ඒ ඒ ශාක වලට ගැලපෙන පරිදි සකස් කරණ ලදී. විදුහල් භූමියට ආසන්නයෙන්ම දිවෙන උඩරට දුම්රිය මාර්ගය පැත්තේ හොඳින් ආලෝකය වැටෙන කොටසේ  විශාලව වැඩෙන ප්‍රදේශයේ බහුලව නොමැති පලතුරු ශාක හෝ මල් දරණ ශාක කිහිපයක්ද රෝපණය කිරිමට තීරණය විය.

සිසු සිසුවියන් සියලු දෙනාම රෝපණය කිරිමට තම තමන්ට ගෙන ආහැකි ශාක වර්ග එදිනම තෝරා ගත්හ. විවේක ලැබුණු සෑමවිටම කව්රුත් බීම හෝ පාත්ති  සකස් කිරීම, වලවල් කැපීම, පොහොර දැමීම, පැල ඉනි සිටුවීම, ශාක ආධාරක සකස් කිරීම, පොකුණ සකස් කිරීම වැනි කටයුතු වල නිරත වුහ.

ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම  උද්භිද උයනෙහි සියළුම මුලික කටයුතු අවසන් කිරිමට හැකි විය.



රෝපණය කළ කුඩා පැලය

මෙහි රෝපණය කිරිමට මා  විසින් සකස් කර ඇති මැංගුස් පැලයක් ගෙන ඒමට මම තීරණය කර ගතිමි. එය සිටුවීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනිමටද මට හැකිවිය. මේ වන විට තාවකාලික භාජන වල වවන ලද නොයෙකුත් උද්භිද වැදගත්කම් වලින් යුක්ත  විවිධ ශාක වර්ග සියගණනක් විද්‍යාගාරය අසලට ගෙනැවිත් තිබුණි.

පෙබරවාරි හතර වන දින කෙටි උදය රැස්වීමකින් පසු විදුහල්පතිතුමා විසින් මුලින්ම, උද්භිද උයනෙහි ඇහැල පැලයක් සිටුවන ලදී. මේ වන විට සෙන්ටිමීටර් දහයක් පමණ උසට වැඩි තිබුණු මගේ මැංගුස් පැලයද එයට දකුණු පසින් සිටුවීමට හැකිවිය.

නිදහස් සමරු දින සකස් කරනලද උද්භිද උයන, පොහොර සහ වතුර දැමීම වැනි සැලකිල්ල නිසා ඉක්මණටම ඉතාමත් අලංකාර උද්භිද විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අධ්‍යයන ස්ථානයක් විය.

ඊළඟ වසර අවසානයේදී උසස්පෙළ ව්භාගයට පෙනී සිටීමෙන් පසුව මට විදුහලින් ඉවත් වීමට සිදුවිය. විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට පෙර මගේ මැංගුස් පැලය අසලට ගොස් එය හොඳින් දැක බලා ගතිමි.

ඉතා හොඳ සැලකිල්ල නිසා එය මීටර් භාගයක් පමණ උසට, සරුවට වැඩි තිබිණ.

ඊළඟ දශක කිහිපය තුළදී රැකියා කටයුතු, විදේශ ගතවීම් ආදිය නිසා විදුහලට යාමට අවස්ථාවක් නොලැබිණ.

1987 වසරේදී විභාග රාජකාරි කටයුත්තක් සඳහා, මට විදුහලට යාමට සිදුවිය. විදුහලේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. 

විදුහල්පතිද නවකයෙකි. රාජකාරී  කටයුතු අවසන් කිරීමෙන් පසු මම මැංගුස් ගස ගැන ඇසීමි.

‘මොකද මේ හදිසියේම මැංගුස් ගහක් ගැන අහන්නේ.’ ඔහු ඇසිය

‘ඒක දිග කතාවක්. ලැබ් එකට එහා පැත්තේ මැංගුස් ගහ තවම තිබෙනවාද?’ මම ඇසීමි.

‘තියෙනවා. මේ දිනවල ගෙඩි පිරිලා. ඉතින් මොකක්ද ඒක ගැන දිග කතාව?’ නැවතත් මගෙන් ඇසිය.
 මම දිග කතාව කෙටියෙන් ඔහුට කීවෙමි.

ඔහු පුදුමයට පත්විය. මා  විදුහලේ ආදී ශිෂ්‍යයෙකු බව දැනගත් විට ඔහු මහත් ප්‍රීතියට පත්විය. ටික වෙලාවක් කල්පනාකළ ඔහු
‘හා එහෙනෙම් ගිහින් තමන් විසින්ම  සිටවන ලද ඓතිහාසික ගහ දැක බලාගෙන එන්න’ කියා විද්‍යාගාර සහායක සමග මා එතැනට යැවිය. 


එය රූස්ස ගසක් වී තිබේ.

විදුහල්පති කාර්යාලයේ සිට විද්‍යාගාරය දක්වා කොරිඩෝරය දිගේ යද්දී මා දශක කිහිපයකට ඉහතදී රැඳී සිටි පන්ති කාමර දැකීම ආශ්වාද ජනක විය. ඒවායේ අද වෙන අය ඇත. ඔව්හු වෙනත් ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබති. ගොඩනැගිලි සහ පන්ති කාමරද වියපත් වී ඇති බවක්  පෙනේ.\

මා විදුහලේ සිටියදි වැඩි  කාලයක් ගතකල විද්‍යාගාර නව මුහුණුවරක් ගෙන ඇත. ඒවා බොහෝදුරට නවීකරණය කර තිබේ.

මා අතීතය ආවර්ජනා කරමින් සිතුවිලි ජාලයක පැටලී සිටිනවිට විද්‍යාගාර සහායක මට කථාකර

‘සර්, මැංගුස් හහ බලන්නට ඕනෑ මොකද? ඒකේ විශේෂ සම්බන්ධයක් තිබෙනවද? ‘ කියා ඇසිය. 
 
මගේ කතාව සැකෙවින් අසා ගත් ඔහු,\

‘අනේ! කොච්ච්ච්ර දෙයක්ද මම උපදින්නටත් ඉස්සරනේ මේ ගහ සිටවලා තියෙන්නේ. ඒක හිටවපු අය දැක ගන්නට ලැබීමත් හරීම වාසනාවක්.’ කිවේය.

මැංගුස්  ගස අසලට ගිය මට ගසෙහි වර්ධනය අදහා ගැනීමට බැරි විය. එය දැන් රූස්ස ගසකි. ගෙඩි වලින් බරවී තිබේ. තව සති කිහිපයකින් ඉදුණු මැංගුස් දස දහස් ගණනක පලදාවක් ලැබෙනු ඇත.

මට හරිම සතුටක් දැනුණේය. මම ගස බදාගෙන ටික වෙලාවක් සිටියෙමි. දෑසට කඳුළු උනණු දැනී ඉක්මණටම ඉවත බලා පිසදා ගතිමි.
එදා අප සකස් කළ උද්භිද උයන අද එහි නැත. එය තණකොළ වැවී ඇති මුඩු බිමකි. එහි එක් කොනක ඝනට වැඩි තිබුණු වැල් ගාලක් වෙත මගේ නෙත් යොමුවුණි. එතනට ගිය මා වැල් ගොන්න හොඳින් පරික්ෂා කලෙමි. එහි සස්සඳ වැලක් සහ ඔලිඳ වැලක් එකට පැටලී තිබුණු අතර ඒ මත සීරැස්ස ශාකයක්ද හිස ඔසවමින් තිබෙණු දැක්කෙමි. මිරිදිය පොකුණ දැන් කුණු වළකි.

අප මෙහි උද්භිද උයනක් සකස් කළ ආකාරය විද්‍යාගාර සහායකට  විස්තර කරමින් සිටින විට ජීව විද්‍යාගාරයේ පන්තියක උගන්වමින් සිටි ගුරු මහත්මියක්ද එතැනට පැමිණියාය.

‘මේ සර් මෙහේ ආදී ශිෂ්‍යයෙක්, අර මැංගුස්  ගහ හිටෙව්වෙත් මේ සර්මලු. ඉස්සර මෙතන Biology Garden එකකුත් තිබුනලු.’
ඔහු මගේ දිග කතාව ඇයට සැකෙවින් කිවේය.

පැරණි උද්භිද උයන වල්බිහිවී ඇති ආකාරයත් ඉගැන්වීම සඳහා අත්‍යාවශ්‍ය එවැනි උයනක් නොමැති වීම ගැනත් ඇයට තරමක් මදි කමක් දැනෙන්නට ඇත.

‘අපී මෙතන Bio-Garden එකක් හදන්නට සිතාගෙන ඉන්නවා.’ ඇය කිවේ එපමණකි.

මම ආපසු විදුහල්පති කාර්යාලයට ගියෙමි. විදුහල්පති තුමාගෙන් ලැබුණු තේ කෝප්පයකින් සප්පායම් වු මට, ඔහුගෙන් මා නොසිතු විරු කතාවක් අසන්නට ලැබිණ.

‘ඔය මැංගුස් ගහ ගැන complains හරියට තිබෙනවා. ගහෙන් වැටි ළමයි කිහිප දෙනෙක්ම අතපය  කඩාගෙන තිබෙනවා. ළමයි ගෙඩි කඩාගැනිමට පොලු ගසා කිහිප වරක්ම විද්‍යාගාරයේ ජනෙල් විදුරු බිඳි තිබෙනවා. ඒ සියල්ලටම වඩා මේ පැත්තේ සිටි දාමරික සොරෙකු පොලිසියෙන් සොයද්දී ඔය ගස මුදුනේ සැඟවී සිට හසුවී, අපටත් වරක් පොලිසි යන්නට සිදු උනා.’

මම සාවධානව අසා සිටියෙමි. ඔහු තවත් විස්තර කිවේය.

‘පසුගිය අවුරුදු කිහිපයක් ගහේ ගෙඩි හැදුනේ නැහැ. ගිය අවුරුද්ද මුලදී පැවති  තද ඉඩෝර කාලයේදි  ගස මැරී යන්නට වගේ ආවා. අපි ගස කපා දැමීමට තීරණය කළා. ඒ උනත් දැනට මාස කිහිපයකට ඉහතදී විශ්‍රාම ගත්, විදුහලේ සිටි ගුරු මහත්මියක් එයට තරයේ විරුද්ධ වූවා. අද මට අසන්නට ලැබුණු ඔබගේ කතාවට බොහෝ දුරට ආසන්න කතාවක් ඇය අපට කිවා. ඇයද විදුහලේ ආදී ශිෂ්‍යාවක්.’

‘ඒ නිසාම ගස කපා දම්මේ නැහැ. කොහොම වෙතත් මේ ලඟදි සිට ගහ නැවත දළු ලා හොඳින් වැඩි, දැන් ගෙඩි වලින් බරවෙලා. දැන් ඉතින් තොරතුරු හොඳින් දැනගත් නිසා මොන බාධක තිබුනත් ගස කපා දමන්නේ නැහැ.’

මම ඔහුට ස්තුති කලෙමි.

‘මම මේ සිද්ධිය සෑමදෙනාටම දැනගැනීම පිණිස  ලබන සඳුදා උදේ රැස්විමේදී ප්‍රකාශයක් කරනවා.’ යයි විදුහල්පතිතුමා මහත් ආඩම්බරයකින් කිවේය.

‘මහත්මයාගෙන් ලැබුණේ අපේ මැංගුස්  ගසට ඉතා හොඳ ‘උප්පැන්න සහතිකයක්’ යයි ඔහු සිනාසෙමින් කිවේය. 

වසර හැටකට පමණ ඉහතදී මැංගුස් ගෙඩි තෑගී ලැබුණු අවස්ථාවේ සිට  බිජ රෝපණය, උද්භිද උයන සකස් කිරීම ආදී  මේ දක්වා සියල්ල මොහොතකින් ආවර්ජනය කිරිමට මට හැකිවිය.


Thursday, 5 October 2017

මිතුරෙකුගේ මංගල යෝජනාවකට ගොස් අමාරුවේ වැටුන හැටි....

   විද්‍යා පුහුණු ගුරුවරියක වූ නන්දනී, පුහුණුවෙන් පසු ගුරු පත්වීම ලැබුවේ තම ගම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය විද්‍යාලයටය. ඇය ඉතාමත් ප්‍රිය මනාප, කා සමගත් කුළුපග, හැඩකාර  තරුණියක් වුවාය. ඇය පවුලේ එකම දියණියයි. පියා ලියනආරච්චි රාලහාමි ගම්පති වරයාය. (දැනට සිටින ග්‍රාම නිලධාරි තනතුර ඒ කාලයේ ගම්පති ලෙස හැඳින්විය). තරමක් දඟකාර සැහැල්ලු දිවියක් ගතකල නන්දනී ලියනආරච්චි තම නම අත්සන් කළේ ‘න.ලියන’ කියාය. ඇයගේ සිංහල අත්සන දරණ ගසාගෙන සිටින නාගයෙකුගේ ස්වරුපය ගත්තේය. මෙ නිසාම ඇයට ‘නලියන මිස්’ යන අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබුණි. ‘නලියන’ අන්වර්ථ නාමයටත් අමුතුම හැඩයේ තම අත්සනටත් ඇය මහත් කැමැත්තක් දැක් වුවාය.
   
ඒ කාලයේ විශ්ව විද්‍යාලයේ අවසාන විභාගයෙන් පසුව ගුරු පත්වීම් ලබාගැනීම ඉතා පහසුය. වෝල්ටර්, සඳසිරි සහ මම විශ්ව විද්‍යාලයට ඇතුලත්වී දින කිහිපයකින්ම සුහද මිතුරන් වූයෙමු. වෝල්ටර් කොළඹ පෞද්ගලික පාසලකින් පැමිණි අයෙකු වූ අතර සඳසිරි සහ මා උසස් පෙළ ඉගෙනුම ලැබුයේ නගරයෙන් තරමක් ඈත  විදුහල්වලය. මටත් සඳසිරිටත් දුර බැහැර විදුහල් දෙකකට ගුරු පත්වීම් ලැබුණු අතර වොල්ටර්ට කලින් සඳහන් කළ මධ්‍ය විද්‍යාලයට පත්වීමක් ලැබිණ. ඔහුට විදුහලේ ශිෂ්‍ය නිවාසයේ නවාතැන්ද ලැබිණ.

සති අන්ත වල ගෙදර පැමිණිවිට, හමුවිම අපි පුරුද්දක් කර ගතිමු. අප හමුවූ විටක, වෝල්ටර් අපට අලුත් ආරංචියක් කිවේය. ඒ නලියන මිස් පිළිබඳවය. පිරිමි විදුහලක නේවාසිකව අධ්‍යාපනය ලැබූ, පවුලේ එකම දරුවා වූ,  තරමක් කුලෑටි වෝල්ටර් මෙතරම් ඉක්මනට නන්දනී සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීම අපට අදහා ගත නොහැකි විය.

අපි ඔහුට සුබ පැතුවෙමු.

ඔවුන් අතර තිබෙනුයේ ප්‍රේම සම්බන්ධයක්ද නැතහොත් සාමාන්‍ය සුහදතාවක්ද යන්න වෝල්ටර් හරිහැටි තේරුම් ගෙන නොතිබුණි. නන්දනී ඔහු කෙරෙහි ලෙන්ගතු කමක් පෙන්වුයේ අනුකම්පාව නිසාද විය හැකිය. එසේ වුවත් ඒ කිසිවක් කෙලින්ම ප්‍රකාශ කිරීමට දෙදෙනාම අසමත්වී ඇත. බොහෝ දුරට නෝංජල් ගති පැවතුම් ඇති වොල්ටර්ට ‘නලියන’ නොගැලපෙන බව අපට සිතුනත්, අපද  මේ බව ඔහුට එක්වරම කීමට අපොහොසත් වූයෙමු.

මේ අතර උපාධි විභාග ප්‍රතිඵල පිටවිය.

සඳසිරිද මාද සමත් වී සිටියෙමු. වෝල්ටර් අසමත්ය. අසමත් වීම ඔහුට මහත් සිත් තැවුලක් විය. මේ ගැන නන්දනිද මහත් කම්පාවට පත්වී ඇත.

මේ අතර දිනක කතා කරමින් සිටින විට තමාට විවාහ යෝජනා ලැබෙන බවත් තම පියා විවාහය ගැන මහත් උනන්දුවක් දක්වන බවත් නන්දනි වොල්ටර්ට කීවාය.

මෙම ආරංචිය අසා මහත් කම්පාවට පත්වූ වෝල්ටර්

‘ඇයි ඔයා මාගැන තාත්තට කියලා නැද්ද?’
කියා එක්වරටම ඇසිය.

‘ඉතින් දැන් මෙච්ච්ච්ර කල් වෙනවා ඔයා නිකමටවත් මට මේ ගැන කිව්වේ නැත්තේ මොකද?’
නන්දනී දුක්මුසු ස්වරයකින් ඇසිය.

‘මම හිතාගෙන සිටියේ ඔයා මාව තේරුම් අරන් කියලයි’ වොල්ටර්ගේ පිළිතුර විය.

‘කොහොම වෙතත් අප දෙදෙනා අතර සම්බන්ධයක් තිබෙන බව තාත්තට ආරංචි වෙලා මටත් නොකියාම වෙන ඒවා සොයා බලා තිබෙනවා.’

‘ඒක නොවෙන්නම් ඔයාට නොතේරුනාට ගුරු මණ්ඩලයේ අනිත් අයට තේරිලා ඇති. ආරංචිය යන්න ඇත්තේ ඒ අයගෙන් ’

‘එහෙම අදහසක් හිතේ තිබෙනවානම් වහා හිතෙන් අස්කරගෙන තාත්තලා කියන කෙනෙකුට කැමති වන ලෙසට මට තරවටුවකුත් කළා.’ 

ඒ සති අන්තයේ සෙනසුරාදා උදේම වෝල්ටර් අපේ ගෙදර පැමිණියේය. සිද්ධිය විස්තර සහිතව මට කියා මේ ගැන කුමක් හෝ කරන ලෙස මගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය.

දස අතේ කල්පනා කළ මට කළහැකි කිසිම දෙයක් ගැන සිතා ගන්නට නොහැකි විය.

එදිනම සවස සඳසිරි හමුවීමි.  පසුදින අපි දෙදෙනාම වෝල්ටර්ගේ ගෙදරට ගියෙමු.
සියල්ල සාකච්ඡා කිරීමෙන් පසුව, නන්දනී සහ  වෝල්ටර් සම්බන්ධය පිලිබඳ මෙම සිද්ධිය ලියනආරච්චි ගම්පති  වරයාට පවසා, එය  නිරාකරණය කරගැනීමේ භාරදුර කාර්යය අප දෙදෙනාට භාර ගැනීමට සිදුවිය.

වෝල්ටර්ගේ බලවත් පෙරැත්තය නිසා ඊළඟ සෙනසුරාද සඳසිරි සහ මම මෙම නුහුරු ගමන යාමට තීරණය කර ගතිමු. එදින උදේම වෝල්ටර් හමුවී මේ ගැන තවදුරටත් සාකච්ඡා කර, සඳසිරිගේ පැරණි මොරිස් මයිනර් ‘ටුවරර්’ මෝටර් රථයෙන් ගමනට පිටත්වීමු.
අප පිටත්වන විට වෝල්ටර්ගෙන් දිග සුසුමක් පිටවනු ඇසිණ.

අප පෙරවරු නවයට පමණ ලියනආරච්චි ගම්පති වරයාගේ නිවසට පැමිණියෙමු.

ගම්පති වරයා ආලින්දයේ පුටුවක වාඩිවී, යම්කිසි වැඩක නිරත වි සිටින බව අපි  ඈතට දුටුවෙමු. නිවස වෙත  එන අප දෙස ඔහු විමසිල්ලෙන් බලා සිටියේය.

අත් දිග මේස් බැනියමක් සහ මඩකලපු සරමක් හැඳ සිටි ඔහු, ඇඟිලි තුඩු දෙකක් කට දෙපැත්තට  තබා ඝනට වැඩුණු උඩු රැවුල මෑත් කර, පඩික්කමට බුලත් කෙළ පහරක් ගසා අප ඉදිරියට ආවේය.

ලියනආරච්චි ගම්පති වරයාගේ ප්‍රතාපවත් භාවය දැක මට තරමක බියක්ද ඇතිවිය.

අප ආලින්දය අසලට පැමිණෙන විටම ඔහු අප අසලටම පැමිණියේය.

ඔහුගේ අතෙහි තිබුණේ තුවක්කුවකි. අප තැති ගත් බව දුටු ඔහු,

‘එන්න, එන්න, මේ ඉලන්දාරි දෙන්නෙක් උදේ පාන්දරම?  බය වෙන්න එපා මම මේ අද නිවාඩු දවසේ උදෙන්ම  තුවක්කුව සුද්ධ කළා.’ කියමින් තුවක්කුව බිත්තියට හේත්තු කළේය.

අපට වාඩිවීමට පුටු දෙකක් පෙන්වූ ඔහු තම සුපුරුදු පුටුවෙහි හිඳ ගත්තේය.
ඔහු කතාවට මුල පිරුවේය.

‘ඉතින් මේ ඉලන්දාරි කවුද?  මාව හමු වෙන්න ආවෙ රාජකාරි වැඩකටද? කියමුකො විස්තර.’

ටික වෙලාවක නිශ්ශබ්දතායකින් පසුව සඳසිරි හඬ අවදි කළේය.
‘රාලහාමි මේ ආවෙ අපේ යාලුවෙක්ගෙ වැඩකට’

‘එහෙනම් මේක තුන්වෙනි පාර්ශවයක වැඩක්. කව්ද ඔය යාලුවා මෙහෙට එන්න බැරි කෙනෙක්ද?’

ඔහුගේ ප්‍රශ්නයේ ස්වරුපයෙන් එහි යම්කිසි ව්‍යංගයක් තිබේදෝ  යන සැකය නිසා අපේ ගැටලුව ඉදිරිපත් කළ විට,  කුමකින් කුමක් වේදෝයි අපට මහත් බියක් සහ සැකයක් ඇතිවිය. අප කරන්නේ මහත් අණුවන වැඩක් නොවේදෝ යන්නත් මට සිතින.

‘මහත්තයාලා කොහේද? රස්සාවල් කරනවද ?

මම පිළිතුරු දුනිමි. ‘අපි දෙන්නම අලුත් ගුරුවරු. උගන්වන්නේ පිට පලාත්වල. අපි දෙන්නම හොරණ.’

‘ඉතින් ඔය යාලුවා කව්ද? මොකක්ද ප්‍රශ්නය?’ ගම්පතිවරයා තරමක් උස් හඬින් ඇසිය.

‘එයාත් ගුරුවරයෙක් උගන්වන්නේ මෙහේ සෙන්ට්‍රල් එකේ. නම වෝල්ටර් ’ මම කීවෙමි.

‘අපේ දුව උගන්වන්නෙත් සෙන්ට්‍රල් එකේ. එයා උදෙන්ම අම්මත් එක්ක ගමනක් ගියා’ ගම්පති තරමක නොසන්සුන් භාවයක්‌ පෙන්වා,

‘ඔය හාදයා ගැන මම අහලා තියෙනවා. එයා උපාධි විභාගයත් ෆේල් වෙලා නේද?’ ඔහු  අපගෙන් ඇසිය.

‘ඔව්, එයා නන්දනී මිස් ගැන කැමැත්තක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් රාලහාමි දැනුවත් කරන ලෙස අපට පෙරැත්ත කරනවා. ඒකයි අපි මේ හදිසියේම ආවෙ.’ මම අප ආ කාරණය ඉක්මණට කීවෙමි

‘මොන.......වා ........ ?’  මේ නෝන්ජලයාගෙන් අපේ දුවට මගුල් යෝජනාවක්. ඔය මිනිහට පිස්සුද?’ කියමින් ඔහු නැගිට ගොස් තුවක්කුව අතට ගත්තේය.

අප  දෙදෙනාම මහත් බියට සහ සන්ත්‍රාසයට පත්වීමු.

තද කෝපයෙන් රැවුල පුප්පා ඇඟ සලිත කරමින් කතාකළ ඔහු
‘මොකද මේ මිනිහට දෙමව්පියෝ නැද්ද? ගුරුවරයෙකුත් වෙලා සිරිත් විරිත් දන්නේ නැද්ද? මෙහෙම ආවට ගියාට මගුල් යෝජනා ගේනවද? තමුන් දෙන්නටවත් මේ වැඩේ බැරෑරුම් කම තේරුණේ නැද්ද?  කියමින්  අඩි හප්පන්නට විය.’

‘සමාවෙන්න රාලහාමි. අපි නොදැනුවත් කම නිසයි මේ පියවර ගත්තේ.කරදර කිරීම ගැන කනගාටුයි.’ සඳසිරි යටහත් පහත්ව කිවේය.

එසේ කීවිට කෝපය තරමක් අඩුකරගත් ඔහු, අප වැටි සිටින අසීරු තත්වය තේරුම ගත් බව අඟවා,
‘කමක් නැහැ. මහත්තයලාට  ඔය නිවට යාලුවා වෙනුවෙන් මගෙන් දොස් අහන්නට වීම හොඳ පාඩමක්. මිට පස්සේ වැඩිහිටියෝ කළයුතු වැඩ වලට අත දාන්නට යන්නට එපා’ කියා අවවාදයකුත් දුන්නේය.

අප කොයි  මොහොතේ  මේ උගුලෙන් බේරීමට හැකිවේදෝයි සිතමින් සිටින විට රාලහාමි ගොරහැඩි බව මඳක් අඩුකර සන්සුන්ව කතා කළේය. මෙය අපට තරමක අස්වැසිල්ලක් විය.

‘ඔය මහත්තයාගේ වයස කීයද?’ ඔහු මගෙන් විමසිය. කුමක් කිව යුතුදැයි මට සිතාගත නොහැකි විය. මම ඇත්තම කීවෙමි.

‘අවුරුදු විසි හතරයි.’

ඔහු ඊළඟට සඳසිරිගෙන්ද  එම ප්‍රශ්නයම ඇසිය.

‘විසිපහයි’ ඔහුගේ පිළිතුර විය.

ඔහු ඊට පසු මොනවා අසන්නේද කියා අපට මහත් සැකයකි.

මහු උගුර පාදා රැල් බුරුල් හැර,

‘මට වයස අවුරුදු පනස් අටක්. බලන්න ඔය දෙන්නාගේම වයස් දෙකම  එකතු කලත් අවුරුදූ  පනහක්වත් නැහැනේ. ඒත් මගේ වයසට අවුරුදු දහයක් විතර  අඩුයි. එහෙම ලාබාලයෝ දෙන්නෙක්,  මගේ එකම දුවට මගුල් ජෝඩුවකට ආ එක හරිම විහිළුවක්නේ. මිට පස්සෙනම් මෙහෙම මෝඩ වැඩ කරන්නට එපා.’ කියමින් තුවක්කුව ආපසු බිත්තියට හේත්තු කළේය.

‘තුවක්කුව මගේ අතේ තිබුන නිසා  බය වෙන්නත් ඇති. මම මේක සත්තු මරන්නනම් ගස්සලා නැහැ. ඒ උනත් ඔය වගේ නොගැලපෙන යෝජනා ගේන කෙනෙකුට නම් නොගැස්සුවත් එල්ල කරන්නනන් පුලුවන්’ කියමින් වියරු සිනහවක් පෑවේය.

‘එහෙනම් රාලහාමි අපට දුන් උපදෙස් හොඳට පිළිපදිනවා. අපි ගිහින් එන්නම්’ කී සඳසිරි පුටුවෙන් නැගිටින විට මමද නැගිට්ටෙමි.

‘බොහොම හොඳයි මතක තියා ගන්න. නැවත ආවට කමක් නැහැ. ඔය වැඩේට නම් ආයිත් මෙහෙ එන්න එපා’ කියමින් ඔහු දත් විලිස්සා සිනාසුනේය.

ප්‍රතිඵලය ඇසු වෝල්ටර් ‘නලියන’ පිලිබඳ අදහස අත් හැර ඇති බව පසුව දැනගතිමි.

   

   

  

         

Sunday, 1 October 2017

අටලෝ දහම සෑම මිනිසෙකුටම බලපාන්නාවූ පොදු ධර්මතාවයක්‌ වේ..

   ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංසා, සැප සහ දුක යන අටලෝ දහම සෑම මිනිසෙකුටම බලපාන්නාවූ පොදු ධර්මතාවන් වේ. බොහෝ අය මෙයින් ලාභ, යසස ප්‍රසංසාව සහ සැප යන ධර්මතා භුක්ති විදීමේදී ඉමහත් සතුටක් විඳ උද්දාමයට පත්වන  අතර අලාභ, අයස, නින්දා සහ දුක ලබන අවස්ථාවලදී මහත් කම්පාවට පත්වෙති.



අටලෝ දහම

මහා මංගල සුත්‍රයෙහි

‘ඵුට්ඨස්ස ලෝක ධම්මේහි  -  චිත්තං යස්ස න කම්පති                                                                       අසෝකං විරජං ඛේමං   -   ඒතං මංගල මුත්තමං’
යන ගාථාවෙහි දැක්වෙන පරිදි 
  
‘අටලෝ දහමෙන් නොසැලෙන ශෝකයෙන් සහ කිලිටෙන් තොර, නිර්භය මනසක් තිබීම උතුම්වූ මංගල කරුණකි.’

ලාභ, යස, ප්‍රශංසා, සැප යන සුඛාස්වාද ජනක අනුභූතීන්ට පමණක් සීමා වීමට කිසිදු සත්වයෙකුට ඉඩ නොලැබේ. අලාභ, අයස, නින්දා හා දුක් යන දුක්ඛානුභූතීන්ටද, ඒකාන්තවම මුහුණ දීමට සිදුවේ
යම් කිසිවකුට යමක් ලැබීමට පූර්වකෘත කුසල විපාකයක් තිබිය යුතුවා සේම නොලැබීයාමට මෙන්ම හිමිව තිබූ සම්පතක් අහිමිවීමට ද කර්ම විපාකය හේතුවිය හැකිය. කර්මානුරූපව ලැබුණු විපාකය උද්දාමයට පත්වීමට හෝ කනස්සල්ලක් ඇති කරගැනීමට කරුණක් නොවේ. විශේෂයෙන්ම යම් අලාභ, අයස නින්දා හෝ දුක් යන ප්‍රතිවිපාක ලැබුණු අවස්ථාවල එම ආදීනවයට හේතු කාරක වූ අරමුණ සමඟ ගැටීම් ඇතිකර නොගත යුතුය. එහිදී තමන් වෙත මේ ඛේදජනක දුර්විපාකය පැමිණියේ තමන්ගේම අකුසල කර්මයක විපාක හේතුවෙන් යයි කියා ඉවසීම හා උපේක්‍ෂාව පුහුණු කළ යුතුය.

බෞද්ධ සමාජය තුළ නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙන ධර්ම දේශනා වලදී බොහෝ විට මෙම ධර්මතා පිලිබඳ සාකච්ඡා වේ.
මා මෙහිදී විස්තර කිරීමට අදහස් කරනුයේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු, අප කල්පනාකරන ආකාරයට කර්මානුරූපව සිදුවූ සිද්ධියක් ඔහුගේ මරණය අබියස සිටියදීත් බොහෝ සැහැල්ලුවෙන් ගෙන ඇති ආකාරයයි.
1975 වසරේදී විම්බ්ලෙඩන් ටෙනිස් ශුරතාවය දිනාගත් ඇමෙරිකාවේ ආතර් ඈශ් (Arther Ashe) එම ශුරතාවය දිනු ප්‍රථම කළු සම ඇති ඇමෙරිකානුවා ලෙස ඉතිහාසගත වේ.


ආතර් ඈශ් එම ටෙනිස් ශුරතාවය දිනු අවස්ථාව
1983  දී භෘද සැත්කමකට භාජන වූ ඔහුට රුධිර පාර විලයනය කිරීමේදී ඒඩ්ස් වයිරසය ශරීර ගතවී තිබේ. ඊට ටික කලකට පසු ඔහු මෙම රෝගය  නිසා මරණාසන්නව සිටියදී, ඇමෙරිකාවේ ඔහුගේ ආදරණිය ටෙනිස් ලෝලයින්, දහස් සංඛ්‍යාත ගණනින් දුක්මුසු පණිවුඩ එවන්නට විය.
මෙසේ ලැබුණු විශේෂ පණිවුඩයකට  ඔහු ලියා යවා තිබෙන පිළිතුර ඉතාමත් ධෛර්යය සම්පන්න එසේම මහඟු ආදර්ශයක් ලබාදෙන්නකි.
ඔහුට ලැබුණු එම  කෙටි පණිවුඩය මෙසේය.
‘මා අතිශය හිතාදරය දිනු ඈශ්,
‘දෙවියන් වහන්සේ මෙතරම් කෘරතර රෝගයක් සඳහා ඔබවම තෝරා ගත්තේ මන්ද?’
මෙම ලිපියට ආතර්  ඈශ් විසින් යවන ලද දීර්ඝ පිළිතුර ඔහුගේ සුවිශේෂී ගුණාංගයක් පිළිබිඹු කරන්නකි.
එම පිළිතුර සැකෙවින් මෙසේය
මගේ ගරු කටයුතු මිතුර,
‘මේ වකවානුවේදී
මිලියන පනහක් පමණ ශිෂ්‍යයෝ ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කළහ.                                                             එයින්  මිලියන පහක් පමණ ක්‍රීඩාව ඉගෙන ගත්හ.                                                                                       ලක්ෂ පහක් පමණ වෘත්තීයම ටෙනිස් ක්‍රීඩකයෝ වුහ.                                                                           පනස්  දහසක් පමණ උසස් මට්ටමේ තරඟ වලට සහභාගී වුහ.                                                                පනස්  දෙනෙකු පමණ ‘විම්බ්ලෙන්ඩන්’ තරඟ මට්ටමට අවතීර්ණ වුහ.                                                      පන්  දහසක් පමණ ඉහලම තරඟ වල ක්‍රීඩා කළහ.                                                                                          සිව් දෙනෙකු අවසාන පූර්ව තරඟ වලට සුදුසුකම් ලැබුහ.                                                                දෙදෙනෙකු අවසාන තරඟයට මුහුණ පෑහ.                                                                                              එසේ පැමිණි කෙනෙකු  වන මම ජයග්‍රහණය කළෙමි.’                                                                                                                                                                    මම ජයග්‍රාහි කුසලානට  හිමිකම ලබා මහත් සතුටට පත්ව සිටිද්දී,
‘දෙවියනි, ඇයිද මා පමණක්’ කියා නොඇසුවෙමි.
‘දැන් මා වේදනාවෙන් භරිත වි සිටියදී පමණක් එසේ දෙවියන්ගෙන් කෙසේ අසන්නද?’
ඔහු තම අදහස් තව දුරටත් මෙසේ ප්‍රකාශ කර තිබේ.
‘සතුට නිසා ඔබ යහපත්වේ. අභියෝග ඔබ ශක්තිමත් කරයි. ශෝකය ඔබ මානුෂික කරයි.පරාජයන් ඔබ නිහතමානි කරයි. ජය ඔබ දීප්තිමත් කරයි.’‘විශ්වාසය පමණක් ඔබ ඉදිරියට මෙහෙයවයි.’
‘සමහරවිට ඔබ දැනට ගෙවන දිවිය ගැන සතුටක් නොමැතිව සිටිය හැකිය. එහෙත් ඔබ දැනට ගෙවන දිවියටවත් ලඟාවීමට සිහින දකින්නෝ බොහෝ ඇත.’
‘ගම්බද ගොවිපලක සිටින කුඩා දරුවෙකු, අහසේ ගමන් කරන අහස් යානයක් දැක අහස් ගමනක සිහින දකී. එසේම අහස් යානයේ නියමුවා පහළ හරිත වර්ණ ගොවිපළ දැක කොයි මොහොතේ තම නිවසට ලඟාවිමට හැකිවේදෝයි සිහින දකී.’
ජීවිතය මෙයයි.
‘ඔබ ලද දෙයින් සතුටු වන්න.’
‘ධන සම්පත් තිබීම සතුටේ රහස නම්, ගී කියමින් නටන ධනවතුන්ගෙන් මං මාවත් පිරියනු ඇත. එහෙත් ඔබ නිතර දකිනුයේ  මං මාවත්වල ගී කියමින් නටන දුප්පත් දරුවන්ය.’
‘බලය ඇත්තාට එයින්ම ආරක්ෂාවද තහවුරු වේනම්, ප්‍රභූහු ආරක්ෂකයින් නොමැතිව සිටිනු ඇත. එසේ සිදු නොවේ. එහෙත් සරල ජිවිත ගත කරන්නෝ සැප නින්දක් ලබති.’
‘මනා හැඩරුව සහ ජනප්‍රිය බව මිනිස් සබඳතා වලට ප්‍රධානතම නිර්ණායක වේනම් රුප රාජිනියෝ  සාර්ථකම පවුල් ජීවිත ගත කරන්නන් විය යුතුය. එහෙත් එසේ  නැත.’
‘සරල දිවි පෙවෙතක් ගත කරන්න. නිහතමානි වන්න. උඩඟු නොවන්න. සැමට ප්‍රේම කරන්න. ලබන, නොලැබෙන දේ ගැන ප්‍රශ්න නොකරන්න.’
‘ලැබීමට සහ නොලැබීමට හේතු ගැන දෙවියන්ගෙන්  නොඅසන්න.’
මෙයට,  ඔබට අමතක නොවන   -    ආතර් ඈශ්
ආතර් ඈශ් ජීවිතය ගැන ඉතාමත් ගැඹුරින් සිතා ඇති බව මෙයින් පෙනේ. ඔහු බුදු දහම ගැන නොදන්නවා විය හැකිය. එසේ වුවත් ඔහුගේ දැක්ම ඉහත මහා මංගල සුත්‍රයේ ගාථාවෙන් පෙන්වා දෙන කරුණුම බව පැහැදිලිය.
මිනිසා විසින් කළයුත්තේ සමාජයෙන් හෝ පුද්ගලයන්ගෙන් හෝ භෞතික පරිසරයෙන් පැමිණෙන කරදර හිරිහැර හා ගැටීම නොවේ. මේ හැම දෙයක්ම පෙර කළ කර්ම වල විපාක යැයි උදාසීන සිතුවිල්ලක් ඇතිකරගෙන සිටීමද නොවේ. ආස්වාදනීය ලෝක ධර්මතාවයන්හිදී උද්දාමයට පත් නොවීම හා ඛෙදනීය ලෝක ධර්මතාවයන්ගෙන් වැළකී සිටීමට රැකවරණ සලසා ගැනීමය. එසේ රැකවරණය සලසා ගැනීමෙන් කර්ම විපාකය හෝ හේතු ඵල ධර්මය පාලනය කරගැනීමය.
එබැවින් අෂ්ට ලෝක ධර්ම හා කර්ම විපාක අතර ඇති සබඳතාවය වටහාගෙන තමන්ගේ ජීවිතය පවට විවෘත වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම සැබෑ මිනිසෙකුගේ ස්වරූපය විය යුතු බව සිතට ගත හැකිය..




Wednesday, 20 September 2017

අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්...........

  මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ  අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.

ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.

එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක් සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු  විය. අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.

මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට, ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි  නින්දට සුදානම් වීමු.

මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි, කලබලයෙන් මගේ කාමරයට පැමිණ

‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත් ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින්  මට කිවේය.

ඔහු විහිලුවක්‌ කරන්නේදැයි සිතු මා

‘එහෙනම් වෙන එකක් ගන්න එකහෙ තියෙන්නේ ‘ මමද විහිළුවක් කලෙමි.

‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ. එළියට යමු ටිකක් බලන්න’

මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර විදුලි පන්දමත් රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද කලබල විය. කෝකියෝ දෙදෙනාද සිද්ධිය සැලවී දුවගෙන ආහ.

ඇත්තටම මෝටර් සයිකලය නැත. ටික වෙලාවක් වටපිට සොයා බැලු අපි සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.

වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත් පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස් ටිකට් පතකි. එය අහුලාගත් මම  ගුලිකර විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන

‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස් එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’

කි විට මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.

සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා

‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි තරමක් උස් හඬින් කිවේය.

මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්

‘.....රාලහාමි.  ම් ...ම් ...ම්   පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.

‘මොනවා ...... දැන් බයික්  එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු පැමිණිල්ලක්ද ?’

 ‘නැහැ රාලහාමි අමතක වීමක්’

‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව. පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’

ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි.  උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා, විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා .........

‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියා

පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.

මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට ස්තුති කර එන්නට සැරසෙන විට ඔහු

‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු කාමරයට’

යයි කියා අප සමග ඇතුලට ගියේය.

ඕ අයි සි විස්තරය අසා සාවඥ  සිනාවක් පා,

‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන් යන එක හොඳයි.’

කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු අත්සනක් තැබිය.

කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු

‘දැන් ඉතින් මොකද කරන්නේ.’  කියා මම ඇසීමි.

‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.

කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ යෝජනාවට කැමති වීමි.
කුලී රථයකින් නැවත ගාල්ලට යන විට  රාත්‍රිය දොළහ ට ආසන්නය.

එදින උදේ  ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින් ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා

‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.

‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’

කුලී රථයකින් බැංකුව අසලට යනවිට මෝටර් සයිකලය වටා පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ ආරක්ෂක නිලධාරින්  කිහිප දෙනෙකි.

පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි ‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය. 

‘හා ..... හා.... ඔයාද අයිතිකාරයා. මෙච්චර වෙලා මොන .......... ගියාද ? අපට පණිවුඩයක්‌ ලැබුනා මේ  මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.

‘රාලහාමි මේ පොඩි අමතකවීමක්   උනේ. මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්. පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.

නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු  වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන  මෝටර් සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.

මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි. Absent-mindedness යනුවෙන් හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.

මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක වීම  නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම රාත්‍රියේ කුලී වාහනයකින් යාම සඳහාත් ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.


බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ යන මමද මිත්‍රයා වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු  පිඩාවක් වින්දෙමි.