පරිසර හිතකාමී සෑම කෙනෙක්ම නිර්මාංශ අහාර ගන්නා
අය විය යුතු ද? නොඑසේනම් නිර්මාංශ අහාර ගන්නෝ
සියලු දෙනාම පරිසර හිතකාමීන්ද?
මෙය පරිසර අධ්යාපනය සහ පරිසර සංරක්ෂණය ගැන
උනන්දුවක් දක්වන සෑම කෙනෙකු විසින්ම විසඳා ගතයුතු, එසේම එහි සීමා ගැන තීරණය කරගත
යුතු ගැටළුවක් ලෙස දැක්විය හැකිය.
පරිසර අධ්යාපන වැඩ සටහනකදී අප කණ්ඩායමකට මුහුණ
පෑමට සිදුවූ එබඳු ගැටළුවක් පිලිබඳ සටහනකි මෙය.
අධ්යාපන අමාත්යාංශය මගින් දියත් කරනු ලැබූ
ද්විතීය අධ්යාපන නවීකරණ ව්යාපෘතියේ පරිසර අධ්යාපන උපදේශක ලෙස සේවය කරද්දී,
පරිසර අමාත්යාංශයේ පවත්වනලද වැඩ මුළුවකට සහභාගිවීමට මා නම් කරන ලදී. එම වැඩ
මුළුවේදී දින දෙකක විවිධ පරිසර පද්ධති නිර්ක්ෂණ චාරිකවකටද සහභාගී වීමට සිදුවිය.
අට දෙනෙකුගෙන් යුක්ත අප කණ්ඩායම භාරව ගියේ විශ්ව විද්යාලයක පරිසර විද්යාව පිළිබඳ
ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකි. මෙම සංචාරයේදී,
දිවයිනේ ප්රදේශ කිහිපයක ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ බොහෝ කරුණු අධ්යයනය කිරීමට
හැකිවිය. දෙවන දිනයේ දිවා භෝජනය සඳහා අපට
කථිකාචාර්යවරයාගේ ඥාතියෙකු විසින් ආරාධනා කර තිබිණ. ඔහු බලංගොඩ ප්රදේශයේ වතු අධිකාරිවරයෙකු වන අතර
දිවා ආහාරය සකස් කර තිබුණේ ඔහුගේ නිල නිවාසයේය.
කථිකාචාර්යවරයා විසින් අප හඳුන්වා දුන් පසු, ටික
වෙලාවක් පිළිසඳරේ යෙදී සිටි අපි, දිවා ආහාරය සඳහා හිඳ ගතිමු.
‘අද
අලුත් මාළු සොයා ගන්නට බැරි උනා. ඒ නිසා ටින් මාළු තෙම්පරාදු කරලා සකස්
කළා.’ කි ගෙහිමියාද අප සමග අහාර ගැනීම
පිණිස හිඳ ගත්තේය.
විවිධ ආකාරයට සකස් කළ එළවලු ව්යංජන රාශියක්, එළවලු සලාදයක්, සුප් භාජනයක්ද සමග තම්බන ලද එළවලු ද වෙනම භාජනයක අසුරා හිබිණ. නිවසේ කෝකියා විශාල
බඳුනක දමන ලද තවත් දුම් දමන කුකුල් මස් කරියක් ගෙනවිත් මේසයේ පසෙකින් තැබිය.
‘මස් නොකන අයත් ඉන්නවද?’ කියා ඔහු ප්රශ්න කළ විට
අප අතර සිටි නිර්මාංශික දෙදෙනා තමන් මස්
නොකන බව කිහ.
‘ඒක හොඳයි. මමත් මස් කන්නේ නැහැ.’ කි ඔහු
‘එළවලු ඕනතරම් කන්න.’ කියා එළවලු බඳුන ඔවුන් වෙත ට
කිට්ටු කළේය.
ගෙහිමියා
නිර්මාංශ කෙනෙක් බව දැන ගැනීමෙන් පසුවත්,
ආගන්තුක අප මස් ආහාරයට ගැනීම සුදුසුද යන්න මට මහත් ප්රහේලිකාවක් විය. අන්
අයටද එසේම සිතෙන්නට ඇත.
තව ස්වල්ප වෙලාවකින් කෝකියා දුම් දමමින් තිබෙන
ඉමිහිරි සුවඳක්ද සහිත තවත් බඳුනක් පසෙක
තිබුණු කුඩා මේසය මත තැබිය.
එය ගෙනා පසු ගෙහිමියා තම ඥාතියා වන
කථිකාචාර්යවරයාට කනට කිට්ටු කර රහසින් යමක් කිවේය.
මඳ සිනහවක් පෑ ඔහු,
‘බෑ.. බෑ... බෑ...., මම නම් ප්රතිපත්තියක්
වශයෙන් දඩ මස් කන්නේ නැහැ. මේ මහත්වරුන්ගෙනුත් අහලා බලමු.’ යයි කියා
අප දෙස බලා. ඉතාමත් සිහින් හඬකින්, නොකැමැත්තෙන් මෙන්,
‘මුව මස් උයලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම්
කන්න.’ කීවිට
අප එකිනෙකාගේ මුහුණු දෙස බැලුවෙමු.
කිසිවෙකු කිසිවක් කතා නොකළහ.
දින දෙකක් තිස්සේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිලිබඳ
නොයෙකුත් පැතිකඩ ගැන විවිධ ප්රායෝගික අත්දැකීම් ලැබූ අපි, වඳවී යන තර්ජනයට මුහුණ
පා සිටින සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කළෙමු. ශ්රී ලංකාවට ආවේනික තිත්මුවා
දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම නිසා වඳවීමේ තර්ජනයට තදින්ම මුහුණ පා සිටින බව
පසුගිය දින දෙකෙහිදී කිහිප වරක්ම සකච්ජා කළෙමු.
අද, කවුරුන්හෝ, එම අහිංසක තිත් මුවෙකුගේ දිවි
හානිකර ලබාගන්නා ලද මස් වලින්, මෙම නිවසේ සකස් කළ ව්යංජන බඳුනක් ආහාරය සඳහා අප ඉදිරියේ තබා ඇත.
අප කණ්ඩායමේ නායකයා ප්රතිපත්තියක් වශයෙන් එය
මුලින්ම ප්රතික්ෂේප කළේය. කණ්ඩායමේ දෙදෙනෙක් නිර්මාංශ ආහාර ගන්නා අය වුහ. ඉතිරි අප සය දෙනාද, ප්රතිපත්ති
ගරුකව එම මස් ආහාරයට ගැනීම ප්රතික්ෂේප
කළෙමු. ගෙහිමියාත් නිර්මාංශී අයෙකි. එසේනම් නීති විරෝධිව දඩයම් කරන ලද අහිංසක
මුවෙකුගේ මස් බව ඔහු දැනුවත්ව සිටියදීත්
ආගන්තුකයින්ට සංග්රහ කිරීම සඳහා සකස් කළේ කුමන හේතුවක් නිසාද? අප කෑදර කමින් එම මස්, රස කර කර භුක්ති විඳියයි
ඔහු සිතන්නට ඇද්ද?. මේ සියල්ල අපට මහත් ප්රහේලිකාවක් විය.
සොබා දහම සුරැකීමේ ජාත්යන්තර සංවිධානය (International Union for Conservation of Nature – IUCN) විසින් සකස් කරනු ලබන රතු දත්ත පොතෙහිද සටහන්වී
ඇති, වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති, ශ්රී ලංකාවේ තිත් මුවා, දඩයම් කිරීම නීතියෙන්
දඬුවම් විඳිය හැකි වරදකි. මුව මස් විකිණීම, ළඟ තබාගැනීම, ආහාරය සඳහා සකස් කිරීම
ආදී සියල්ලම නීති විරෝධිය. නීතියෙන් තහනම් කර නැතත්, එම මස් බුදින අයද වරදෙහි
කොටස් කරුවන් වනු ඇත.
කෙසේ වුවත් වතු පාලක ඥාතියා එතරම් දුරට සිතන්නට
නැත. පැමිණෙන අමුත්තන්ට ඉහලින්ම සංග්රහ කිරීමට අවශ්ය බව ඔහු සිතුවා විය හැකිය.
අප සියලු දෙනාම මහත් අසීරු තත්ත්වයකට පත්වූ බව දුටු ඔහු, ඒ පිලිබඳව අප සැමගෙන්
සමාව අයැද සිටියේය.
අප නායක කථිකාචාර්යවරයා ඔහුට සියල්ල විස්තර කරදී අප නිරත වී සිටි කාර්යය
මනාව පැහැදිලි කර දුන්නේය.
නිර්මාංශ ආහාර රටාව ගැනද ඔහු කාලින තොරතුරුද සහිත
පැහැදිලි කිරීමක් කරන ලදී. ඔහු පළ කළ අදහස් මෙසේ දැක්විය හැකිය.
“මිනිස් ශිෂ්ඨාචාරයේ මුල් අවදිවල සිටම මිනිසා අහාරය සඳහා වන සතුන්
දඩයම් කිරීමට සහ මත්ස්යයින් ඇතුළු වෙනත් ජලජ ජීවීන් අල්ලා ගැනීමටත් පටන් ගෙන ඇත.
පසුව, භෝග වර්ග වගා කිරීමට පුරුදු වූ ඔහු, ප්රධාන වශයෙන් කිරි, ලෝම සහ සම්
ලබාගැනීම සඳහා සතුන් ඇතිකිරීමටද යුහුසුළු විය. ඒ සමගම වන සතුන් දඩයම් කිරීමද කරගෙන
යන ලදී.
තාක්ෂණ දියුණුවත් සමගම සතුන් ඇති කිරීමද විශාල
වශයෙන් දියුණුවී ගව, බැටළු සහ එළු පට්ටි
ආරම්භ විය. මේවා මගින් කිරි සහ කිරි ආහාර
නිෂ්පාදන, විවිධ ආකාරයට සකස් කල මාංශමය ආහාර, බැටළු ලොම් වලින් සකස් කල ඇඳුම ආදිය
ලොව ප්රචලිත වන්නට විය. ඇතිකරන සතුන් සඳහා සුදුසු ආහාර සැපයීමට විශාල තණබිම් අවශ්ය විය. තණබිම්
සකස් කිරීමට වනාන්තර හෙළි පෙහෙළි කිරීමට සිදුවිය. මෙසේ වනාන්තර සිමා වන විට වන
සතුන්ද වඳ වීමේ තර්ජනයට මුහුණ පෑහ.
මේ වන විට, රටෙහි මිනිස් ගහණයට වඩා කිහිප ගුණයක්ම
ගවයින් සිටින රටවල් කිහිපයක්ද ලෝකයේ ඇත, දකුණු ඇමෙරිකාවේ උරුගුවේ රාජ්යයේ මිනිස්
ජන ගහනය මිලියන තුනක් පමණ වන අතර රටෙහි ගව ගහනය මිලියන දොළහක් පමණ වේ.
මිනිසා විසින් පරිසර සමතුලිතතාවය සහ ජෛව
විවිධත්වය පිළිබඳ හොඳින් අවබෝධ කර ගැනීමෙන් පසුව වනජීවී සංරක්ෂණය පිළිබඳව සිත්
යොමු කරන ලදී. අප්රිකානු මහාද්වීපයේ සමහර රටවල ආහාරය සඳහා දඩමස් මත යැපෙන ජන කොටස් තවමත් සිටිති. ඔව්හු
දඩ මස් හඳුන්වනුයේ ‘කැලෑ මස්’ (bush meat)
ලෙසටය. ලෝකයේ සෑම රටකම පාහේ දැනට වනජීවී සංරක්ෂණය සඳහා රක්ෂිත වනාන්තර සහ අධි
රක්ෂිත වනාන්තර කලාප වෙන්කර තිබේ.
ශ්රී ලංකාවේද දැනට සම්පුර්ණ භුමි ප්රමාණයෙන් 29
% පමණ වනාන්තර තිබේ. මෙයින් සෑහෙන ප්රතිශතයක් රක්ෂිත වනාන්තර ලෙස නම්කර ඇත. ඒ
සමගම වන සතුන් දඩයම් කිරීම පිළිබඳවද දැඩි
නීති රීති පනවා තිබේ.
රංචු වශයෙන් ජීවත්වන, ශ්රී ලංකා තිත්මුවා රක්ෂිත
වනාන්තරවලට පමණක් සිමා නොවී, මිනිසා ජීවත්වන ගම් බිම් අසලටද පැමිණේ. සමහර
අවස්ථාවලදී එසේ පැමිණෙන සතුන් කුරිරු මිනිසාගේ උගුල් වලට හෝ තුවක්කු උණ්ඩයට ලක්වේ.
මෙම අවාසනාවන්ත තත්ත්වය හොඳින් තේරුම් ගතහොත්
දඩමස්, විශේෂයෙන්ම මුව මස්, ආහාරයට
ගැනීම ප්රතික්ෂේප කළ හැකිය.
ආගමික පසුබිම හෝ අහිංසාවාදී බව නිසා, නිර්මාංශ
ආහාරයට පුරුදුවූ ලක්ෂ සංඛ්යාත ජනතාවක් ලෝකයේ විවිධ රටවල ජීවත්වෙති. එසේම, පරිසර
සංරක්ෂණය ගැන දැඩි උනන්දුවකින් සිත් යොමු
කරන අතරම, නීති විරෝධී නොවන මස් මාංශ
අනුභව කරන අයද සිටිති.
තමන්ගේ සිතුම් පැතුම් මත, මස් මාශ ආහාරයට ගැනීම
හෝ නිර්මාංශ වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීම සඳහා කාටත් නිදහස තිබේ.”
කථිකාචාර්ය තුමාගේ කෙටි දේශනය ඉතාමත් කාලින අදහස්
ප්රකාශ කිරීමක් විය.
පරිසර සංරක්ෂණය සඳහා මස් මාංශ අනුභවයෙන් තොරවීම එක් අංශයකි.
අවිහිංසාවාදීව මස් මාංශ අනුභවයෙන් වැලකීම තවත්
පැත්තකි.
ප්රතිපත්ති ගරුකව දඩමස් අනුභව නොකිරීම වනසතුන්
කෙරෙහි අනුකම්පාව දැක්වීමකි.





