Friday 9 February 2024

ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය.....

   ජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මට  රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක්‌ වන, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින්, යෝජිත නව පුස්තකාලය සංවර්ධනය කිරීමේ  ව්‍යාපෘතියක නියැලීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන්ම පුස්තකාලය සම්බන්ධ අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම මට අයත්වූ  ප්‍රධාන වැඩ කොටසක් විය. ප්‍රදේශයේ දානපති පවුලක් විසින් බෝධි භාරකාර මණ්ඩලයට තිළිණයක් වශයෙන් පවරා දෙන ලද ‘තිලිණ’ නම් ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කරන ලද පුස්තකාලය ‘බෝධිඥාන පුස්තකාලය’ යනුවෙන් නම් කරන ලදී.

කළුතර බෝධිඥාන පුස්තකාලය 

පුස්තකාලයේ සියලු සංවිධාන කටයුතු අවසන්කර, එය විවෘත කිරීම සඳහා, එවකට සිටි රාජ්‍ය පරිපාලන ඇමතිතුමාට ආරාධනා කර තිබිණ. ආයතනයේ සභාපති තුමාගේ නිර් දේශය අනුව, එදින රැස්වීමේ විශේෂ දේශනය පැවැත්වීම සඳහා රාජ්‍ය සේවයේ ඉතාම උසස්, අග්‍රාමාත්‍ය ලේකම් සහ ජනාධිපති ලේකම් තනතුර කිහිප වරක්ම දරා, ඒ වන විට විශ්‍රාම සුවයෙන් සිටින ප්‍රභුවරයෙකුට ආරාධනා කරණ ලදී. ඔහු ආරාධනය සතුටින් පිළිගත් බව හැරෙන තැපෑලෙන් දන්වා එවා ඇත. 

ඔහු සභාවට හඳුන්වා දීමේ කාර් යය මා වෙත පැවරිණ. 

මෙම භාරදුර කාර් යය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම පිණිස මට ඔහු හමුවීමට යනලෙස ආයතනයේ සභාපති තුමා මගෙන් ඉල්ලීමක් කළේය. 

සභාපති තුමාගෙන් ලබාගත්, ඇමති තුමාගේ දුරකථන අංකයට කථාකර, ඔහුගේ ලිපිනය ලබාගෙන, හමුවීමට දිනයක් සහ වේලාවක් නියම කර ගතිමි.

නියමිත දින,  කතිකා කරගත් වේලාවට  මා එහි යන විට, ඔහු මා බලාපොරොත්තුවෙන්  නිවසේ ආලින්දයේ සිටියේය

මා සාදරයෙන් පිළිගත් ඔහු ආගිය තොරතුරු කථාකර, තමන් විසින් මෑතදී ලියා පළකරන ලද පොත් දෙකක් මට පෙන්වා 

‘මම මේ පොත් දෙක පුස්තකාලයට තෑගි කරනවා.’ 

කියා පොත් මා අතට දුන්නේය. ඉංග්‍රීසියෙන් ලියා පළකර තිබුණු පොත් දෙක මෙසේය.  

   



  1. Rendering Unto Caesar:     Fascinating Story of One Man's Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka

  2. 'Kalutara – An Odyssey',  ඒ පොත් දෙකෙහිද මුල් පිටුවේම "කතුවරයාගෙන් තිළිණයකි" පමණක් යන්න ඉතා නිහතමානිව ලියා තම අත්සන යොදා තිබුණේය.

මට තේ කෝප්පයකින් සංග්‍රහ කළ එතුමා, ඉතාමත් සුහදශීලීව 

‘ඔය පුස්තකාලයේ කටයුත්ත සඳහා මගෙන් දැනගන්නට ඕනෑ මොනවද?’ කියා ඇසී ය.

එතුමා ඇසු ප්‍රශ්නයට ‘රාජ්‍ය සේවයේ ඉහලම තනතුරේ දිගු කාලයක් සිටි ඔබ තුමාගේ අත්දැකීම් තරුණ පරම්පරාවට හරි වටිනවනේ’  

කියා මම ක්ෂණික පිළිතුරක් දුන්නෙමි. 

‘මා ගැන ඒ තරම් කියන්නට දෙයක් නැහැ. මමත් ඔය කළුතර පැත්තේම කෙනෙක්. මගේ උපන් ගම කළුතර, පයාගල. මම මුලින්ම ඉගෙන ගත්තේ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයේ’

එම තොරතුරු මම කලින් දැන නොසිටියෙමි.

මට අවශ්‍යතාවය තිබෙනුයේ පුස්තකාලය විවෘත කිරීමේ මහා සභාවේ ආරාධිත දේශකයා වන ඔහු හඳුන්වාදීම බව මම ඊ ළඟට කීවෙමි.

‘එහෙනම් මගේ ගම් ප්‍රදේශයේ ජනතාවත්  ඔය රැස්වීමට එනවා ඇතිනේ. ඒක නිසා මා ගැන  බොහෝ  දෙනෙක් නොදන්නා අලුත් යමක් කියමු.’ 

කියමින් ඔහු මා  අසලම පුටුවක හිඳ ගත්තේය.

එතුමාගේ රසවත් විස්තරය ඔහුගේ වචන වලින්ම මෙසේය. 

‘මම මගේ මවගෙන් සහ වෙනත් වැඩිහිටියන් ගෙන් අහලා තියෙන තොරතුරුත් එක්ක උපන් දවසේ සිටම, මගේ කතාව ටිකක් කියන්නම්. මගේ තොරතුරු ඔයාගේ වැඩේට ගැලපෙන විදිහකට තෝරා බේරා ගන්න. 

මම උපන්නේ 1930 අවුරුද්දේ ඔක්තෝබර් 20 වෙනිදා, කොළඹ පෞද්ගලික රෝහලක. ඒ කාලේ මගේ පියාගේ රැකියාව නිසා දෙමාපියන් පදිංචිවෙලා සිටියේ කොළඹ.   මා උපන් රෝහලට එදා උදෙන්ම පැමිණි  මගේ පියා, මා දැක බලාගත් ගමන්, හදිසි කටයුත්තක් තිබෙන බව කියා ඉක්මණට පිටවී ගියාලු.’ 

‘ඒ වේලාවේ අම්මාගේ ඇඳ අසල සිටි අපගේ ආච්චි ඇතුළු අනිකුත් නෑදෑයින් ද තාත්තා හදිසියේම පිටවී යාම ගැන මහත් පුදුමයට පත් වෙලා. ඒ උනත් ඒ කවුරුවත් හදිසි කටයුත්ත ගැන ප්‍රශ්න කර නැහැ.’                                                                               

එතුමා කියන්නට සුදානම් වන කතන්දරය  පාසල් දරුවන්ද රාශියක් සහභාගී වීමට නියමිත, පුස්තකාලය  විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා හඳුන්වා දීමේ හේතු පාඨය සඳහා, මෙම විස්තරය  කොයි තරම් දුරට ගැලපේ දැයි මට සැකයක්ද ඇතිවිය. 

‘සර් මේ පොත් දෙක ගැනත් යමක් දැනගන්නට ලැබුණොත් ඒවාත්  පුස්තකාලය භාවිත කරන අයට  හුඟක් ප්‍රයෝජනවත් වේවි.’ 

කියා,  විස්තරය වෙනත් පැත්තකට යොමු කරවීම සඳහා ප්‍රයත්නයක් දැරීමට මම උත්සාහ කළෙමි. 

‘ඒ ගැන පස්සේ කතා කරමු. මම කියන්නට යන මේ විස්තරය නැතිව මා ගැන හැඳින්වීම  සම්පුර්ණ වෙන එකක් නැහැ.’ 

කියමින් එතුමා නැවතත් මෙසේ විස්තර කරන්නට පටන් ගත්තේය. 

‘මගේ පියා ඒ කාලෙත් ක්‍රිකට් පිස්සෙක්ලු. ඒ කාලයේ දැන් වගේ රුපවාහිනි රූප පෙට්ටි තිබුනේ නැහැනේ. මේ නිසා රාජකාරියෙන් නිවාඩු ලබාගෙන හෝ, කොළඹ පැවැත්වෙන ප්‍රධාන පෙළේ  සෑම ක්‍රිකට් තරඟයක්ම  පාහේ බැලීමට යාම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වෙලා තිබුණාලු.’ 

‘ඔහු ඉතාමත් ප්‍රිය කරන, ලෝකයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එදා ලංකාවට ඇවිත්. තාත්තා කලබලෙන්ම ගොස් තිබෙන්නේ එදා සවසට, තාත්තාද සාමාජිකයෙක්ව සිටි  ක්‍රිකට් සංගමය මගින්, හදිසියේම ඒ ක්‍රීඩකයා වෙනුවෙන් සංවිධානය කර තිබුණු  සාදයකට සහභාගි වී ඔහු දැක බලා ගැනීමටයි.’ 

මම සාවධානව අසාගෙන සිටියෙමි. මේ කතාව මගේ අවශ්‍යතාවට කෙතරම් දුරට ගැලපේද යන්න මට තවමත් ප්‍රහේලිකාවකි.

‘එදා උපන් මා යන්තමට දුටු තාත්තා,  ඒ විගසම,  හදිසි කටයුත්තක් සඳහායයි ඉක්මණින්ම පිටවී ගොස් තිබෙන්නේ, එදින ලංකාවට පැමිණ සිටි ලෝකප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩොන් බ්‍රැඩ්මන්ව දැක බලා ගැනීම  සඳහා යි.’ කී ඔහු, සිනහ සෙමින්, මඳක් කල්පනා කරන්නට විය.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පවත්වන ‘අළු බඳුන’ (Ashes) මහා ක්‍රිකට් තරඟාවලිය, 1930 වසරේදී පවත්වා ඇත්තේ එංගලන්තයේය. එහිදී පවත්වන ලද ටෙස්ට් තරඟ පහෙන්, දෙකක් ඔස්ට්‍රේලියාව දිනාගත් අතර එකකින් පරාජයට පත්වී ඇත.  ඉතිරි තරඟ දෙක ජය පරාජයකින් තොර වී තිබේ. මේ නිසා තරඟ වාරයේ ජය ඔස්ට්‍රේලියාව විසින් අත්පත් කරගෙන තිබුණි. මෙම තරඟාවලිය ජයග්‍රහණයේ වීරයා වී තිබුණේ, ඕස්ට්‍රේලියාවට  ජයග්‍රහණය ලබා ගැනීම සඳහා, අගනා පිති හරඹයක  යෙදෙමින්  ලකුණු විශාල සංඛ්‍යාවක් ලබාගත්  ඩොන් බ්‍රැඩ්මන්ය. මෙය එකළ ශ්‍රී ලංකාවේ පත්‍ර වාර් තාවක සඳහන් කර තිබී ඇත්තේ මෙසේය. 

Australia won the 1930 Ashes series against England, winning two of the matches and losing one, with the other two tests drawn. Don Bradman had been the highest scorer. This particular tour will always be remembered for the amazing batting successes which attended the efforts of Bradman.

ඔහු තම කථාව තවදුරටත් කරගෙන ගියේය.

‘එදින සවස ආපසු පැමිණි පියා (තවමත් පහවී නොගිය ක්‍රිකට් උද්දාමයෙන් යුතුව) ඒ දිනවල ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා වී සිටි, ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ නම පුංචි පුතා වන මටද දැමීමට තීරණය කරලා. මේ   තීරණයට කිසි කෙනෙක් විරුද්ධ වෙලා නැහැ’

‘ඔන්න ඔහොමයි සිංහල මට, අපේ පවුලේ වාසගමත් එක්ක  බ්‍රැඩ්මන් වීරකෝන් කියන  නම ලැබුණේ.’

මෙසේ කියමින් ඔහු මඳ සිනහවක් පා මාදෙස බලා සිටියේය.

සියල්ල කෙටියෙන් සටහන් කර ගත් මම 

‘හරි අපූරු කතාවක්නේ. මම උත්සවය දාට මේ විස්තරය කිසි අඩුවක් නැතිව කියවන්නම්’ කීවෙමි.

ඔහු හිස සලා එය අනුමත කළේය.

‘ඔය වගේම ලස්සන වැඩක් මගේ නම නිසා මෑත කාලයේදීත් සිදු උනා.  මට මතක හැටියට  ඒ  1980 ගණන් වලදී. යම්කිසි කාර් යයක් සඳහා ප්‍රවෘත්ති පත්‍රයක සංස්කාරක වරයෙක්    මා සමග මේ වගේම සාකච්ඡාවක් කළා. ඒ කාලයේ රටේ යම්කිසි ව්‍යාකුල තත්ත්වයක්  තිබුණ  නිසා,  මගේ සාමාන්‍ය රාජකාරි වලට අමතරව,  ආහාර බෙදාහැරීම පිලිබඳ වගකීමකුත් මට පැවරිලා තිබුණා.’  

පසුවදා ඒ  සාකච්ඡාව පිලිබඳ පත්‍රයේ සඳහන් කර තිබුණා.  ඒකේ මගේ නම දාලා තිබුණේ ‘බ්‍රැඩ්මන් වීරකෝන්’  වෙනුවට   ‘බ්‍රෙඩ්මන්  වීරකෝන්’ (Breadman)  කියලා.’

‘ඉතින් නමේ වෙනස  ගැන, පත්තර කාරයින්ට පොඩි විහිළුවක් කරන්නට මට සිතුනා.’

පුවත්පත් කලාවේදියා විසින් ප්‍රමාද දෝෂයකින් කර ඇති වැරැද්දට මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා කුමණ  පියවරක් ගෙන  ඇති  දැයි දැන ගැනීමට මම විමසිලිමත් වීමි. 

‘මම ඒ තැනැත්තාට මා හමුවන ලෙස දුර කථන පණිවුඩයක් දුන්නා. ඔහු පැයකින් පමණ මා හමුවීමට පැමිණියා.’

ඔහුට කථා කල  මම  ‘මේ දවස්වල ආහාර පාලනයත් එක්ක පාන්  බෙදා දීමත් මටම පැවරිලා තිබෙන නිසා, මගේ නම එයටම ගැලපෙන ලෙසටම විකෘති කර පත්‍රයේ දමා තිබීමට ස්තුති කරන්නයි මම ඔයාට කතා කළේ ‘ යයි කී විට,  ඔහු මහත් පුදුමයට පත් උනා. 

මගේ නම ‘බ්‍රැඩ්මන්’ මිස ‘බ්‍රෙඩ්මන්’ නොවන බව කී විට ඔහු සියල්ල තේරුම් ගෙන, ප්‍රමාද දෝෂයකින්,  මා ‘පාන් කාරයා’ (Breadman) ලෙස හැඳින්වීම ගැන  මහත් අසීරුවකට පත් උනා.  

‘මෙම වැරද්දට සමා වන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියත්, එය අනවශ්‍ය බව තරයේම කියා සිටි මා, මෙය ගනන් නොගන්නා ලෙස ඔහු අස්වසා සිටියා. කොහොම වෙතත් ඒ දිනවල මට අමුතුවෙන් පැවරී තිබුණු ආහාර පාලන රාජකාරියේ කොටසක් වන “පාන් බෙදීම” සඳහා, එය හොඳින් ගැලපෙන අන්වර්ථ නාමයක් බව මම ඔහුට පැහැදිලිකර දුන්නා.   ‘Breadman’ සහ ‘Bradman’ යන නාමපද  දෙකෙහි  එක්  අක්‍ෂරයක වෙනස නිසා සිදුවී ඇති පටලැවිල්ල මම ඔහුට පැහැදිලි කර දුන් පසු ඔහු තරමක ලජ්ජාවකටද පත් උනා.’   

  

බ්‍රැඩ්මන් වීරකෝන් මැතිතුමා        


  

පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන්, හේවිසි හොරණෑ සහිත පෙරහැරකින් ප්‍රධාන ශාලාව වෙත කැඳවාගෙන එන ලදී. චාම් ඇඳුමකින් සැරසි බස්තමක්ද රැගෙන පැමිණි ඔහු, පඩි  කිහිපයක් නැග, වේදිකාවට ගොඩ වෙද්දී, අසල සිටි අයෙකු උදව් කිරීමට සැරසෙන විට විහිළුවක් කළ ඔහු,

‘මට තවමත් තනියම පඩි නගින්නට පුළුවන්. මේ බස්තම තියෙන්නේ මම වයසක කෙනෙක් කියලා පෙන්නන්නට විතරයි. මම මීට වඩා අමාරු ‘පඩි’ හත අටක්ම නැගලා තිබෙනවා. ඒ නිසා  මම තවම සිතින් තරුණයි.’ කියමින් සිනහ විය. 

මෙයද එතුමාගේ ඉතාමත් කාලෝචිත විහිලුවක් බව කවුරුත් තේරුම් ගත්හ. 

ආරාධිත දේශක තුමාගෙන් ලබාගත් සියලු තොරතුරු සම්පිණ්ඩනය කර, හඳුන්වා දීමේ හේතු පාඨය / උපුටනය (citation) උත්සව සභාවේ කියවූ විට, බොහෝ දෙනෙකුට මහත් කුතුහලයක් ඇතිවිය. උත්සව සභාවේ රැස්ව සිටි බොහෝ අය, ඔහු කළුතර පයාගල ප්‍රදේශයට සම්බන්ධ කෙනෙකු බව නොදත්හ. ශාලාව ගිගුරුම් දුන් අත් පොළසන් නාදයකින් රැස්ව සිටි සියල්ලෝම එතුමා   පිළිගත්හ.

http://kalutarabodhiya.com/images/library1.jpg

හඳුන්වාදීමේ උපුටනය මා කියවන විට දේශක තුමා සවන් දෙයි.

බ්‍රැඩ්මන් වීරකෝන් නමැති මේ යුග පුද්ගලයා, කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මූලික අධ්‍යාපනය ලබා, ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ දිවිතීය අධ්‍යාපනයෙන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ. විශ්ව විද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව විෂයයන්ගෙන් ගෞරව උපාධියක් ලබා ඇති ඔහු ‘ෆුල්බ්‍රයිට්’ (Fulbright) ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිචිගන් විශ්ව විද්‍යාලයයෙන් සමාජ විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති (MA) උපාධියක්‌ ලබා තිබේ.  

1952 වසරේදී, ශ්‍රී ලංකා සිවිල් සේවයට බැඳුනු ඔහු, දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේවය කර 1954 දී,  සර් ජෝන් කොතලාවල අගමැති තුමාගේ ලේකම් වශයෙන් පත්වී, 2002  වසර දක්වාම, තේරී පත්වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන්ගේ ලේකම් වරයා වශයෙන් අද්විතීය සේවයක් කර තිබේ.

ඔහුගේ ‘Rendering Unto Caesar:  Fascinating Story of One Man's Tenure under Nine Prime Ministers and Presidents of Sri Lanka  නම් පොතෙහි රාජ්‍ය නායකයින් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ කාලයේ සත්‍ය තොරතරු, ඉතා රසවත් ලෙස පාඨකයා හමුවේ තබා ඇත. ඉහලම මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විසින් තම අත්දැකීම් ඉතාමත් අව්‍යාජ ලෙස විවරණය කර ඇති මෙම පොතට ජාත්‍යන්තර පිළිගැනීමක්ද ලැබී ඇත. මෙම පොත ‘අරලියගහ මැදුරේ ස්ඵන්දනය ‘ යන නමින් සීංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. 

එසේම 'Kalutara – An Odyssey' නම් පොතෙහි  කළුතර ප්‍රදේශයේ යටගියාවත් විශේෂයෙන්ම ගම්බද ජනතාවගේ සමාජ, අධ්‍යාපන, ආර් ථික වැනි විවිධ අංශ වල සහභාගිත්වය සහ ප්‍රදේශයේ නවීන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳවද  අගනා විස්තරයක් කියවිය හැකිය. 

බ්‍රැඩ්මන් වීරකෝන් නමැති ඒ නමගිය රාජ්‍ය තාන්ත්‍රිකයා විසින් ලියන ලද එම පොත් පුතකාලයේ පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා තෑගී කරන ලදී. 

රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් සැලකූ මෙම අග්‍රගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයා,  රාජ්‍ය කටයුතු වලදීත් සමාජ ආශ්‍රයේදීත්  සමානාත්මතාව  ඉහලින්ම අනුගමනය කළ පොළොවේ පය ගසා සිටි, අද්විතීය පුද්ගලයෙකු බවට ප්‍රසිද්ධියක් ලබා තිබේ.

dayawee2@yahoo.com

(මෙම ලිපිය ඕස්ට්‍රේලියාවේ “සන්නස” මාසිකයේ, 2020 පෙබරවාරි කලාපයේ පළ විය.)


10 comments:

  1. ඔව් අහලා තියෙන විදිහට බ්‍රැඩ්මන් මහත්තයා හොද රාජ්‍ය සේවකයෙක්..ජේආර්, ප්‍රේමදාස , රනිල් වැනි රාජ්‍ය නායකයන්ගේ ඔලුව සමහර වෙලාවට වෙනස් කරපු.

    එතුමාගේ නමේ රොබින් කියලා කෑල්ලකුත් තියෙනවා. එතුමගේ පියා ඇන්ග්ලෛකන් ක්‍රිස්ත්රියානි නිසා මේ වගේ බටහිර උරුවේ නමක් දැමීම එතරම් වෙනසක් වගේ නැතිව ඇති. හැබැයි බ්‍රැඩ්මන් මහත්මයා අවුරුදු 18 දී බුද්ධාගම වැලඳ ගෙන තියෙනවා. කෙසේ නමුත් ඔහු ලියපු පොතේ නම Rendering Unto Ceasar කියන්නේ බයිබලයේ එන කොටසක්

    ඔහු රාජ්‍ය නායකයන් හත් දෙනෙකුට සේවය කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Mayya
      ඔහු ඇත්තවශයෙන්ම ප්‍රිය මනාප නිහතමානි කෙනෙක්. ඉහල තනතුරක් දරුවත් කා සමගත් ඉතා සුහදව කතාබස් කළා. "Rendering Unto Caesar කියන්නේ බයිබලයේ එන කොටසක්" බව දැන ගත්තේ ඔබගේ ප්‍රතිචාරයෙන්. දැනුවත් කිරීම ගැන ස්තුතියි. 'Kalutara – An Odyssey' පොතෙහි කළුතර දිස්ත්‍රික්කයේ ආර් ථික, සමාජයීය, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රාශියක සංවර් ධනය මෙන්ම සමහර අවස්වථාලදී සිදුවී ඇති පසුබෑම් ගැනද පුළුල් විස්තරයක් කර තිබෙනවා. මේ පොත් දෙකම කළුතර බෝධිඥාන පුස්තකාලයේ තිබෙනවා.

      Delete
  2. මොන තනතුරු දැරුවත් ඔහු ඉතාම නිහතමානී කෙනෙක් බව මම අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      ඔබ අසා ඇති ඒ නිහතමානි කම මා ඇස්පනාපිටම දැක්කා.

      Delete
  3. එතුමා ගැන කිසිම කෙනෙක් දොස් කියනු නුගුන කියනු මමත් කිසිම දවසක අසා නැහැ.එවැනි දක්ශ හා අවන්ක රාජ්‍ය නිලධාර්‍රින් තමයි අද අපේ පිරිහී ගිය රටට අත්‍යාව්ශ්‍ය වන්නේ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය නායකයින්ගේ පවා සමහර දේශයට සහ ප්‍රජාවට අහිතකර විය හැකි දේශපාලන අදහස් වෙනස් කිරීමට පවා ඔහුට හැකිවී තිබෙන බව පසුව දැනගත්තා. අද රාජ්‍ය සේවයේ මෙවැනි අග්‍ර ගණයේ පරිණත නිලධාරීන් නොමැතිවීම රටටම පාඩුවක්. මෙයටත් වැඩියෙන්ම වගකිව යුත්තේ අදූරදර් ශී දේශපාලකයින්.

      Delete
  4. KALUTARA - AN ODYSSEY කියවන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      පොත් දෙකම ඉතාමත් සරල භාෂාවෙන් ලියා තිබෙන්නේ. පාසල් දරුවන්ට වුවත් කියවා තේරුම් ගත හැකියි. මෑතදී පොත් සිංහලට පරිවර් තනය කර තිබෙනවා. KALUTARA - AN ODYSSEY පොතෙහි කළුතර දිස්ත්‍රික්කයේ ආර් ථික, සමාජයීය, අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර රාශියක සංවර් ධනය මෙන්ම සමහර අවස්වථාලදී සිදුවී ඇති පසුබෑම් ගැනද පුළුල් විස්තරයක් කර තිබෙනවා. කියවීම සඳහා පොත කළුතර කළුතර බෝධිඥාන පුස්තකාලයෙන් ලබාගතහැකි වේවි. එහි පුස්තකාලයාධිපතිනියගෙන් විමසන්න.

      Delete