Monday 22 February 2021

දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! Scientists from Earth meet in Heaven !

       සුගිය ශතවර්ෂ කිහිපය තුළ මෙලොව ජීවත්වූ විද්‍යාඥයින් සියලු දෙනාම වාගේ මරණින් පසු චුතවී, දිව්‍ය ලෝකයේ ඉපදීමට වාසනාව ලබා තිබේ. ඔව්හු දිව්‍ය ලෝකයේ විවිධ ස්ථානවල ජීවත් වූවත් එකිනෙකා නමින් හඳුනනවා මිස ඔවුන් අතර වෙනත් කිසිම සම්බන්ධයක් නොවීය. 

නිකරුනේ කාලය ගත කරමින් සිටින විද්‍යාඥයින්ගේ එකමුතුවක් සංවිධානය කිරීමට කල්පනා කළ පයිතගරස්,  තමන් හොඳින් දන්නා ඇරිස්ටෝටල්ට  මේ සම්බන්ධව දුර කථන පණිවුඩයක් දුන්නේය. 

“ඇරිස්, මම පයිතගරස්. මට පොඩි අයිඩියා එකක් ආවා, ඒකයි මේ තකහනියක්ම කතා කළේ. අපි මනු ලෝකයේ කොයි තරම් වැඩ කරපු අයද?   මෙහෙට වෙලා නිකම්ම සිටින එකේ, අපගේ එකමුතුවක් හදලා මාසයකට වරක් වත් හමුවෙලා නැවතත් මොනවා හරි වැඩක්  පලක් කරන්නට පටන් ගනිමුද?”

පයිතගරස්ට  ඇරිස්ටෝටල්ගෙන් ක්ෂණික පිළිතුරක් ලැබිණ.

“හොඳ  අදහසක් බොස්, මටත් ඔය ගැන හිතිලා තිබුණේ.”  

“ඇරිස්,  මගේ ‘පයිතගරස් තියරම්’ එකේ ඍජු කෝණීය ත්‍රිකෝණය කුමන ආකාරයකට ඇන්දත්,  ඍජු කෝණය සෑදෙන පැති දෙකේ  දිගෙහි වර්ග ඵල දෙකේ ඓක්‍යය, ඉතිරි පැත්තේ දිගෙහි වර්ග ඵලයට   සමාන වෙන්නේ මොකද කියා මටම මහත් ගැටළුවක්. දැන්  සති කිහිපයක සිට මම මේ ගැනම කල්පනා කරමින් ඉන්නේ. නිකම්ම  a2 + b2 = c2    කියන එකේ  දැන් කාලෙට ගැලපෙන ලොකු ගැම්මක් නැහැ.  මට තවම ඒකට මීට වඩා ගැඹුරු තේරුම්  ගැනීමට අමාරු  ප්‍රකාශනයක්  හොයා ගන්නට බැරි උනානේ. මට මේකත් ඔයා එක්ක ටිකක් සාකච්ඡා කරන්න ඕනෑ. ඉක්මණට මුණ ගැසෙමු.” 

පයිතගරස් ඊළඟට කතාකලේ නිව්ටන්ටය. කම්මැලිකම නිසාම උයනක විශාල පරසතු ගසක් යට සෙවනේ, අඩ  නින්දේ  සිටි නිව්ටන් ඈනුමක් හරිමින්, නාද වූ  තම මොබයිල් දුරකථනය ක්‍රියාත්මක කර එහි ඩයලය දෙස ටික වෙලාවක් බලා සිටියේය. මොබයිල් දුරකථනයේ පයිතගරස්ගේ  නම සහ ඔහුගේ මුඩුම මුහුණ දුටු විගසම එය ක්‍රියා විරහිත කිරීමට මොහොතක් කල්පනා කළ නිව්ටන් 

“ඕනෑ එකක්, ලොක්කාගෙ අලුත් අදහසක්ද දන්නේ නැහැනේ” යි සිතමින් පණිවුඩයට සවන් දුන්නේය.

පයිතගරස් ඔහුගේ ‘දෙව්ලොව විද්‍යාඥ එකමුතුව’ පිලිබඳ අදහස ගැන නිව්ටන්ටත් කීවේය. 

“අදහස නම්  හොඳයි. ඒ උනත් ඔය කියන ‘එකමුතුව’ හදලා වැඩක් වෙයිද?  අපේ පෘථිවියේ සිටින අලුත් පරම්පරාවට එහේ  සිටීමත් එපා වෙලා, දැන් අඟහරු ලෝකෙටත් යන්න හදනවා කියන්නේ. ඇමෙරිකාවයි, චීනෙයි, අරාබියයි තරඟෙට ඒ ගැන වලිකනවාලු . අපිත් ටිකක් ඒ වගේ එකක් ගැනත්  හිතලා බැලුවොත් නරකද ?” 

කියා තරමක සාවඥ සිනාවක් පෑ  නිව්ටන්, 

“ඔයාගේ තියරම් එකෙත්  අවුලක් තියෙනවා කියලා නිවේදනයක් නිකුත් කරලා කියලා මට ආරංචියක් ආවා. ඒක ඇත්තද? ඔය මොනවා කළත් කිසි වැඩක් නැති පාටයි. මට නම් ඔය කොයිවත් එපා වෙලා සිටින්නේ, ඒ උනත් කනබොන, ජොලි කරන වැඩසටහනක් තිබෙතොත් මම එතනට එක පයින් ‘ඇපල්  ගෙඩියක් ගහෙන් බිමට එනවා  වගේ’ මොහොතකින් ආකර්ෂණය වෙනවා.” කියමින් මහා හඬින්  සිනාසුනේය.

නැවත කථාකළ නිවුටන් 

“මම  මේ  කල්පනා කරමින් සිටින්නේ, මෙහේ ජාතික වෘක්ෂය වන  මේ පරසතු ගස් වලින් කිසි වැඩක් නැහැනේ. පරසතු ගෙඩිත් දැන් ඇඹුල් රසයි. ඒ නිසා ‘රස ගුණ පිරි’ පරසතු ගෙඩි සහිත, කුරු මිටි ගස් විවිධ  ප්‍රභේද රාශියක්, හරිතාගාර වල වැවීමට යෝජනාවක් දිව්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත වෙලාලු.” 

ටික වෙලාවක් කල්පනා කළ ඇරිස්ටෝටල්, 

“ඉතින් ඔය රූස්ස ගස් තිබෙන පරසතු වනාන්තරවලට මොකද කරන්නේ” යයි ප්‍රශ්න කළේය.

“පරසතු අංක එකේ දැව වර්ගයක්ලු. පරසතු දැව සකස් කිරීම සඳහා, දේවේන්ද්‍ර  රජයේ අනුග්‍රහයෙන් අන්තර් ග්‍රහලෝක මට්ටමේ විශාල දැව කර්මාන්ත ශාලාවක් පටන් ගන්නට යනවලු. තව අවුරුදු කිහිපයකින් ‘පරසතු දැව’ අඟහරු ලෝකෙටත් අපනයනය කළ  හැකි  වේවි.”     

“පරසතු වනාන්තරයටත් අඟහරු කොහොම වෙතත්, සෙනසුරු ලබන්නට වගෙයි”  සිතූ පයිතගරස් තම ඇමතුම විසන්ධි කළේය.

ඔහු ඊළඟට ඇමතුමක් ගත්තේ චාල්ස් ඩාවින්ටය. 

“චාලි කොහොමද වාසෙ ...දේසේ……?  අපි  කාලෙකින් හමු උනෙත්  නැහැනේ. මොනවද අලුත් අදහස් එහෙම?” 

දුර කථන පණිවුඩයට වහාම පිළිතුරු දුන් ඩාවින්  

“හා ….මේ ලොකු අයියා  නේ …… අපිවත් මතක් වෙලා වගෙයි. මොකද අර ‘තියරම්’ එකේ අවුල විසඳා  ගත්තද?” කියා පයිතගරස් බලාපොරොත්තු නොවූ දෙයක් එක්  වරටම ඇසීය. 

මෙයින් තරමක් පසුබෑ පයිතගරස්, තමාගේ තියරම් එකේ අඩුපාඩුව මේ තරමේ කටකතාවක් වී තිබීම ගැන පුදුමයට පත්විය.  දැන් එහි කිසිම ව්‍යාකූල භාවයක් නොමැති බව පෙන්වීමට අවශ්‍ය බැවින්, අලුත්ම තත්ත්වය ගැන මෙසේ  අදහස්  දැක්වීය. “මගේ  තියරම් එකේ අවුල දැන් බොහෝ දුරට විසඳිලා, ඇරිස්ටෝටල් උන්නැහෙත් අලුත් උපදෙස්  කිහිපයක්ම දුන්නා. හෙට අනිද්දට ඒකට ඇමුණුමක් දාලා තව ටිකක් සංකීර්ණ කරල ශේප් කර දාන්නයි  හදන්නේ.”

අන් කෙනෙකුගේ සුළු අඩුපාඩුවක් වුවත් හාර අවුස්සන අය  දිව්‍ය  ලෝකයට ආ පැරණි මනුෂ්‍ය විද්‍යාඥයින් අතරත් සිටීම ගැන පයිතගරස්ට තරමක දුකක්ද ඇතිවිය. කොහොම වෙතත් මේ සමගම ඩාවින්ටත්  තරමක ඇනුම් පදයක් කීම සඳහාම ඔහු නැවත  මෙසේ ඇසීය.

“මිනිස් ලෝකයේ අලුතින්  පටන් අරන් තිබෙන  ජාන තාක්ෂණය කියන අපබ්‍රංශය නිසා ඔයාගේ පරිණාම වාදයටත්  අලුත් අර්ථයක් එකතු කිරීමට පිරිසක් ලොකු සටනක් ගෙන යනවා  කියන්නේ ඇත්තද?”

“ඔය කියන්නේ DNA ගැනනේ. ඔය කාරණය  මාත් දැනගෙන හිටියා. ඒ උනාට ඒ කාළේ බොහෝ අයට නොතේරුන නිසා මම ඕකට නමක් දැම්මේ නැහැ. මම දැන ගත්තා කවද හරි ඔය ටික තේරුම් ගනියි කියල. මේ ලඟදි මනු ලෝකෙට කඩා පාත්වූ  ‘පිට සක්වලින්’ පැමිණියා  යයි තවමත් සිතා සිටින,   කොරෝනා වසංගතය නිසා තමයි ඔය තර්කය ජනගත උනේ. වයිරසයේ අලුත් ප්‍රභේද හිටි හැටියේ හටගැනිම පරිණාමයේම  සංසිද්ධියක් හැටියටයි  මා දකින්නේ. ඒ කියන්නේ පරිණාමයත් පරිණාමය වෙලා. වෙනසකට තියෙන්නේ මේ වයිරස් පරිණාමය හරිම වේගවත්. මේ නිසා මෙයින් මගේ පරිණාම වාදයට වඩාත් ගැඹුරු නව අර්ථ කථනයක් ලැබෙනවා.” යනුවෙන් දීර්ඝ විස්තරයක් කළේය.

මම මේ වැඩිපුරම කතාකලේ අපේ විද්‍යාඥ කාණ්ඩයේ අයගේ ‘වියත් සුහද එකමුතුවක්’ හදා ගැනීම සඳහා ඔබගේත් අදහස් ගන්න. පයිතගරස් අවශ්‍යතාවය පැහැදිලි කළේය.

තරමක් අදි  මදි කරමින්   පිළිතුරු දුන් ඩාවින්,  “වැඩේනම් හොඳයි. ඒ උනත් කව්ද ඕවා සංවිධානය කරන්නේ. මෑතකදී මිනිස් ලෝකයේදී නොබේල් තෑග්ග ලැබිලා මේ ලඟදි මෙහේට ආ අර ‘සාපේක්ෂතාව’ කියලා අලුත් තියරියක් ඉදිරිපත් කරපු හාදයා ඔය  වැඩේට හොඳ ඇති. මට නමත් හරියට මතක නැහැ. ‘යංග් බ්ලඩ්’ නේ. කියපු ගමන්ම වැඩේ බාර ගනියි.” 

“ආ ….. ඔය කියන්නේ ඇල්බට් ගොයියා නේද?  හරි…. හරි….. අයින්ස්ටයින් ද කොහෙද වාසගම.  මම නම් මිනිහව ඒ තරම් දන්නේ නැහැ. චාල්ස් ළඟ නැද්ද මිනිහගේ ඊ මේල් ලිපිනය එහෙම”. පයිතගරස් ඇසුවේය. 

ටික වෙලාවක් කල්පනා කළ ඩාවින්ට   යමක් මතක් වී

 “හරි….. හරි….  මට දුරින්   නෑ කමකුත් තිබෙන, මෙන්ඩලීෆ්  එයාගේ පරණ ආවර්තිතා වගුවේ ආකෘතිය අනුව, විද්‍යාඥයින්ගේ වගුවක් හදන්නට හදනවා. ඒකෙත් සිරස් කාණ්ඩ සහ තිරස් ආවර්ත තියෙනවලු. අපි කාගේත් සංකේත ඒකට දාලා. මගේ සංකේතය  CD.  මෙන්ඩලීෆ්ගේ සංකේතය DM ලු. ඔයාගේ සංකේතය සමහරවිට PG වෙයි. මේ නම් කිරීමට ගන්නේ අපේ නම්වල මුල අකුරුලු. ආවර්තිතා වගුවේ තිබෙන තවම සොයා නොගත් මූල ද්‍රව්‍ය වලට තිබෙන හිස් තැන්  වගේ මේකෙත් හිස් තැන් තිබෙනවාලු. ඒ කියන්නේ තමන්  විද්‍යාඥයින් යයි සිතාගෙන  ගල් පැලෙන තර්ක ඉදිරිපත් කර, මහා ලෝක අර්බුද ඇති කරන  දේශපාලන තක්කඩි ‘විද්‍යාඥයින්ගේ’  නම් වලින් හිස් තැන් ළඟදීම  පුරවනවාලු. එයා ළඟ කාගේත් විස්තර ඇති. මම ඒ තොරතුරු සොයා දෙන්නම්.” කියමින් ඩාවින් පයිතගරස්ගේ ඉල්ලීමට කැමැත්ත පළ  කළේය.

පයිතගරස් මීට පසු  කථා කළේ  ආකිමිඩීස් ටය. මොබයිලය හත් අට වරක් නාද  වීමෙන් පසු  ආකිමිඩීස්ගේ “හෙලෝ ...ඕ ...ඕ ….” පිළිතුර සහිත ගැඹුරු කටහඬ ඇසිණි 

“හා … කොහොමද සහෝදරයා, මම පයිතගරස්. අවුරුදු කිහිපයකින්නේ මේ කතාකරන්නේ. දැන් කොහොමද ඔය පැත්තේ අලුත් ආරංචි එහෙම?”

ටික වෙලාවක නිස්ශබ්දතාවයකින්    පසු  ආකිමිඩීස්ගේ ගැඹුරු කටහඬ නැවත ඇසිණි. 

“වරදක් නැහැ පයිතගරස්. මම මේ කල්පනා කරමින් සිටියේ, මිනිස් ලෝකයේ NASA කට්ටිය එකතු වෙලා අඟහරු ලෝකෙට යවපු  Perseverance Rover යානාව ගැන. ඒ අය  අඟහරු පස් එකතුකර එකවරටම පෘථිවියට ගෙනෙන්නේ නැතිව, පසුව යන ගමනකදී ගෙන ඒමට තැන්පත් කර තැබීමට තීරණය කිරීම මට හරිම රහසක්. මේකේ මොකක් හරි යටි අදහසක් තිබෙන්නට පුළුවනි. හේතුව කියන්නේ නැහැ. කාගෙන් අහන්නද?  මොකද මේ ගැන  ඔයාගේ අදහස.?” 

“ඇරත්, මට හදිසියේම කථා  කළේ අලුත් Project එකක් ගැනවත් හිතුවද?”

“අඟහරු ලෝකයට ගොඩ බස්සවන Rover යානය ගැන නම් මම  කිසිම හාන්කවිසියක් දන්නේ නැහැ. මම නම් ඕව ගැන වැඩි උනන්දුවක් නැහැ.  මට හිතුනා අපි මෙහේ සිටින වයස්ගත විද්‍යාඥයින්ගේ ‘සුහද හමුවක්’ සංවිධානය කිරීමට. මම තවත් කිහිප දෙනෙකුටම කතා කළා. කවුරුත් කැමතියි.” පයිතගරස් පැවසීය.

“වැඩේ සංවිධානය කරන්නට  භාරදෙන්නේ මේ මෑතදී මෙහෙට  ආ සාපේක්ෂතා වාදියා, අයින්ස්ටයින්ට”. පයිතගරස් අලුත්ම තත්ත්වය පැහැදිලි කළේය.

“හොඳ අදහසක්. දැන් අලුත් අයත් රාශියක්  සිටිනවානේ. මමත් ඉහලින්ම කැමතියි.” ආකිමිඩීස් කීවේය.

“සාපේක්ෂතා වාදියා මේ වැඩේට බොහොම හොඳයි. එහෙනම් ඉක්මණටම හමුවෙමු. ඔබට ස්තුතියි. ගුඩ් නයිට්”  කියා ඔහු මොබයිලය විසන්ධි කළේය. 

ඒ අනුව පයිතගරස් අයින්ස්ටයින් ට   ඇමතුමක් ගත්තේය. “ හෙල් ….ලෝ ...ඕ.   ඇල්බර්ට්, මම පයිතගරස්. කාලෙකින් කතාකලේ. කොහොමද තොරතුරු.”

“දීර්ඝායු වේවා අන්කල්, කට හඬ අහන්නත් ආසයි. අපි හොඳින් ඉන්නවා. කොහොමද ඔය පැත්තේ තොරතුරු?” ඔහුගේ ක්ෂණික පිළිතුරයි.

“මම ඇල්බර්ට් ට කථාකලේ අලුත් වැඩක් ගැන යෝජනාවක් කරන්නයි.  අපි මෙහෙ ජීවත්වෙන මනුලොවින් ආ විද්‍යාඥයින්ගේ සුහද හමුවක් පැවැත්වීමට අදහසක් පහල උනා. මම ඇරිස්ටෝටල්, නිව්ටන්, ආකිමිඩීස්, මෙන්ඩලීෆ්, ඩාවින්   වගේ වැඩිහිටියන් කිහිප දෙනෙක් එක්කත් කතා කළා. මේ වැඩේට හැමදෙනාම කැමතියි.  අපි ඒකමතිකව තීරණය කළා මේ සුහද හමුව සංවිධානය කිරීමේ කටයුතු අල්බර්ට්ට භාර දෙන්න.” පයිතගරස් තම අදහස දැන්විය. 

ටික කලකට පෙර පයිතගරස් සහ අයින්ස්ටයින් අතර
a2 + b2 = c2 සහ E = m c2 යෙදුම පිලිබඳ මතභේදයක්ද ඇතිවිය

කලකට පෙර පයිතගරස් සහ අයින්ස්ටයින් අතර a2 + b2 = c2 සහ E = m c2 යෙදුම පිලිබඳ මතභේදයක් හටගෙන තුබුණත් එය දෙදෙනාටම අමතකවී ගොස් තිබුණු නිසාදෝ, ඉතාමත් කුළුපග ආකාරයකට කතාබස් කළහ.

“මම නම් ඔය හැමදෙනාම හඳුනන්නේත් නැහැ. ඒ උනත් හොඳ වැඩක් නිසා මග හරින්නත් බැහැ. අන්කල්ගේ උදව්වත් ලැබෙනවානම් මම වැඩේ භාර ගන්නම්. මේ හැමෝගෙම ලිපිනයන් හොයා ගන්නේ කොහොමද?  අයින්ස්ටයින් ඇසීය.

“වැඩේ බොහොම ලේසියි. මෙන්ඩලීෆ්  එයාගේ පැරණි ආවර්තිතා වගුව වගේ අලුතෙන් ‘විද්‍යාඥ වගුවක්’ කියා අටමගලක් හදන්නට යනවාලු. මේකට එයා එකතු කරගත් තොරතුරු සහ කාගේත් ඊ මේල් ලිපිනයන් තිබේලු. මේ සියල්ල ලබාගෙන දවස් කිහිපයකින් මම ඔයාට ඊ- මේල් කරන්නම්.. “

දින කිහිපයකින්ම මනුලොව සිටි පැමිණි, එහිදී  විවිධ ක්ෂේත්‍රවල නොයෙකුත් දක්ෂ කම් පෑ විද්‍යාඥයින් සිය දෙනෙකුගේ පමණ  ඊ මේල් ලිපිනයන් සහ වෙනත් තොරතුරැ අයින්ස්ටයින් ට, පයිතගරස්ගෙන් ලැබිණ.  

සති කිහිපයක්  ගතවිය. සියලු කටයුතු මනාව සංවිධානය කරනලද අයින්ස්ටයින් විසින් යවන ලද, ආරාධනා පත්‍රය සහ ඊ- මේල් පණිවුඩයට සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබිණ.  තවත් සති කිහිපයකින්, දෙව්ලොව  රාජකීය විද්‍යා මන්දිරයේදී මනුලොවින් ආ විද්‍යාඥයින්ගේ ‘මහා සුහද හමුව’ ඉතාමත් උතකර්ෂවත්    අන්දමින් පවත්වන ලදී. පැරණි විද්‍යාඥයින් සියයකට අධික පිරිසක්  සහභාගිවූ එම ඓතිහාසික විද්‍යාඥ සුහද හමුවේ ආරාධිත අමුත්තා වූයේ, සියලු තේජෝ බල පරාක්‍රමයන්ගෙන් අගතැන් පත් මහා ශක්‍ර දේවේන්ද්‍ර උතුමාණන්  වහන්සේය.

දිව්‍ය භෝජන සහ දිව්‍ය  මධු විතෙන් පිරුණු,  ආලකමන්දාවේ අංක එක ශාලාවේ, සුහද හමුව පැවැත්විණි. කුසපත් ඇදීමෙන් තෝරාගත් ඉහලම පැලැන්තියේ දිව්‍යාංගනාවන්ගේ නැටුම් ගැයුම් වලින් අලංකෘත වූ, මනුලොවින් පැමිණි විද්‍යාඥයින්ගේ  එම ‘සුහද එකමුතුව’ එතෙක් දෙව්ලොව  පැවතී  ඉහලම ගණයේ ප්‍රිය සම්භාෂණයක්ම විය.     

 


8 comments:

  1. Creative idea. I love another episode that shows Tesla meets Newton and Rosalind Franklin meets Watson & Crick. May be Newton and Watson/Crick never made it to heaven, particularly Newton who killed innocent elephant by electrocuting for no good reason. Anyways, thanks for the post.

    ReplyDelete
    Replies
    1. Thank you Angel,
      I thought of insinuating that certain traits present in 'man' and certain actions done by man have a tendency to be carried to the next birth place also, even if it happens to be "Heaven"

      Delete
  2. එතකොට එහෙ තියෙන්නෙත් ඊමේල් සහ මොබයිල් ෆෝන්ස් ද? මේක අපේ වියත්මගට තර්ජනයක් වෙයිද? මරු කථාව දයාවී මහත්මයා.

    මම හිතුවේ මමත් මෙහෙම එකක් පටන්ගන්නවා අපායට ගියාම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්,
      එහෙත් ඊමේල් සහ මොබයිල් ෆෝන් වගේ නව තාක්ෂණික මෙවලම් කලක සිට තිබෙනවා. ඒවා ස්වයංක්‍රීයයි. ඩයල් කිරීම අවශ්‍ය නැහැ. හිතපු ගමන් අවශ්‍ය අංකය ඩයල් වෙනවා. ඊ මේල් එකත් එහෙමයි. හිතන්න විතරයි තිබෙන්නේ. මේවාට කිසිම අය කිරීමක් නැහැ. චාජ් වීමත් ඉබේටම.
      අපායේදී නම් ඔය සුකුරුතම් වැඩ කරන්නට ලැබෙයිද මන්දා. මෙහෙන් ගිය තක්කඩි ඔක්කොම එහෙත් නොයෙක් ආකාරයේ බිස්නස් පටන් අරගෙන.ලෝදිය හැලියේ තිබුණු ටයිටේනියම් ලෝහයෙන් සෑදු හැඳි දෙකකුත් ආගිය අතක් නැතිලු.

      Delete
  3. මම හිතුවේ අන්තිම මොහොතේ අයින්ස්ටයින් සාපේක්ෂතාවාදයට අනුව මොකක් හරි පිස්සුවක් නටයි කියල... හෙහ් හෙහ් ... ලස්සන අදහසක් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්,
      අයින්ස්ටයින් හාදයා තවම එහෙට අලුත් නිසා වැඩිය පිස්සූ වැඩ තවම පටන් අරන් නැහැ. එයාත් ටිකක් සැකෙන් සිටින්නේ Black holes වල බලපෑම නිසා එයාගේ සාපේක්ෂතා වාදයටත් තර්ජනයක් එල්ල වේවිද කියල.

      Delete
  4. There was once this Apache Indian who had 3 squaws - but none of them were able to bear him a child. A medicine man advised him that animal skins were potent - following his advise, the Apache slept with his 3 squaws on different animal skins - a hippo skin, a jaguar skin & a leopard skin.
    r>True to prediction, in due course he had children. The squaw with whom he slept on the jaguar & leopard skins presented him with a fine boy each. The squaw who slept on the hippo skin however had twins!

    All this goes on to prove what an old Greek philosopher called Pythagoras had been saying all along: the squaw of the hippopotamus is equal to the sum of the squaws of the other 2 hides.

    ReplyDelete
  5. Very good one Pra Jay,
    2 hides - 2 sides squaw - square hippopotamus - hypotenuse
    The squaw on hide 1 + the squaw on hide 2 = the squaw on hippopotamus. Hide 1 is a, hide 2 is b and hide 3 (hippo) is c Finally 'a'squaw + 'b' squaw = 'c' or hippo squaw

    ReplyDelete