Tuesday 26 January 2021

Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි ….

Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි …. 
 ගතවූ වසර පනහකට අධික කාලයක් තිස්සේ නොකඩවාම Reader’s Digest සඟරාව කියවා, එහි මාසික පිටපත් එකතු කිරීම මාගේ විනෝදාංශයක් විය. විවිධ විෂයයන්ට අදාළ මාතෘකා ඔස්සේ සරල භාෂාවෙන් ලියැවෙන ලිපි ඇතුලත් Reader’s Digest සඟරා එකතුව මාහට විශ්ව කෝෂයක් බඳු විය. අපගේ දියණියන්ටද, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට Reader’s Digest මහෝපකාරී වී තිබෙන බව නොරහසකි. 

මාගේ 80 වන ජන්ම දිනය වෙනුවෙන්, Reader’s Digest මාසිකය තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීම සඳහා හෙල්මලී දියණිය විසින් දිගු කාලීන දායකත්වයක් ලබාදී තිබීමද මෙහිලා විශේෂයෙන් සඳහන් කරමි. 

Reader’s Digest 2020 නොවැම්බර් කලාපයේ සිත් ඇදගන්නාසුලු ලිපියක් පළවිය. ‘Loneliness; 2020’S OTHER HEALTH CRISIS’ නම් වූ එම ලිපියෙන් හෙළි කරන ලද කරුණු ගැන මාගේ විශේෂ අවධානය යොමු විය. COVID 19 වසංගත තත්වය නිසා නිවසටම කොටුවී සිටින කාටත් සාධාරණ, හුදකලාවීම, තනිකම සහ පාළුව ගැන එම ලිපියෙහි විචිත්‍ර විග්‍රහයක් කර තිබුණි. එහි එක්‍ පිටුවක, විස්තර කර තිබුණේ, වසංගත හුදකලා වීම මධ්‍යයේ තම බිරින්දෑගේ වියෝව නිසා ඇතිවූ පාළුව, කාන්සිය සහ තනිකම පිළිබඳව, අසූ නව වැනි වියෙහි පසුවූ වයෝවෘද්ධයෙකු විසින් තම හැඟීම් ප්‍රකාශ කර තිබුණු ආකාරයයි. 

ටික කලක් අසනීපවී සිටි මාගේ දයාබර බිරිඳ අභාවප්‍රාප්ත වූයේද COVID 19 වසංගත තහංචි දමා තිබියදීමය. මෙම වියෝව නිසා මට ඇතිවූ හැඟීම්ද, ඉහත ලිපියේ සඳහන් කර තිබුණු හැඟීම් දනවන අදහස් වලට හාත්පසින්ම සමාන විය. 

මෙම ලිපියේ අන්තර්ගතය ගැන ගැඹුරින් කල්පනාකළ මා, එම පොදු සාධාරණ හැඟීම් පිළිබඳව අපගේ ධර්මානුකූල හැදියාවට අනුකූල, අනිත්‍යය පිළිබඳ හැඳින්වීමක් සහිත කෙටි සටහනක් Reader’s Digest හි සංස්කාරකවරයා වෙත යැව්වෙමි. උපතේදී කිසිවක් නො ගෙනෙන, එසේම මරණින් පසු කිසිවක් රැගෙන නොයන අප, ජීවිත අරගලයක නිරතවී ලාභ, යස ඉසුරු බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් බව මම මගේ සටහනෙහි සඳහන් කළෙමි. 


මාගේ සටහන, නොවැම්බර් මාසය සඳහා ලැබුණු හොඳම ප්‍රතිචාරය ලෙස තෝරා ගෙන, මෙහි දක්වා ඇති ආකාරයට බොහෝදුරට සම්පිණ්ඩනය කර, 2021 ජනවාරි Reader’s Digest කලාපයේ පළකර තිබුණි.
 
එපමණක් නොව, සඟරාව මගින් මාස්පතා පිරිනමණු ලබන අගනා ත්‍යාගයේ ජනවාරි මාසයේ හිමිකරුද මා බව දන්වා එවීය.


 දින කිහිපයකින් එම අගනා ත්‍යාගය තැපෑලෙන් ලැබිණ. 

මට ලැබුණු ත්‍යාගය නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කරනලද ෆවුන්ටන් පෑනකි. (ඡායාරූපය බලන්න). 

PILOT මාදිලියේ පෑනක් වන මෙහි විශේෂත්වය වනුයේ, එය තීන්ත පෑනක් වීම සහ බෝල් පොයින්ට් පෑනක මෙන්, ඉහලට නෙරා ඇති කොටස ඔබා පෑන් තලය ඇතුලට දැමීම සහ පිටතට ගැනීම සඳහා සකස් කර තිබීමයි. ඒ සමගම ඇතුළත පිහිටි කුඩා ආවරණයක් ස්ථානගත වී තලය වැසී එයට ආරක්ෂාව සැලසේ. පෑනෙහි කඳ ඇතුළෙහි තිබෙන තලයට සම්බන්ධ බටය අග්‍රයේ, එය තුළට, තීන්ත කුප්පියකින් තීන්ත පුරවා ගැනීම සඳහාද කුඩා පොම්පයක් වැනි නවතම යාන්ත්‍රණයකි. 


මෙහි තලය කැරට් 14 රත්‍රනින් නිමවී ඇත. වෙනත් තීන්ත පෑන් වල මෙන් තලය ආවරණය කෙරෙන බාහිර කොපුවක් මෙහි නොමැත. ඒ නිසා මෙය ‘cap-less fountain pen’ ලෙස හැඳින්වේ. පෑන් තලයෙහි වටිනාකම නිසාත් එය ගෙවී යාම අල්ප නිසාත් දිගු කාලයක් පාවිච්චි කළ හැකිවනු ඇත. 

මෙම නුතන නිෂ්පාදනය නිසා නිරතුරුවම පරිසරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය මඳක් හෝ අඩු කර ගත හැකිවීම මගින් පරිසර සංරක්ෂණය සඳහා සිදුවන මෙහෙය අපමණය. 

තීන්ත පෑන් අභාවයට ගොස් “බෝල් පොයින්ට්” පෑන් ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින මෙම අවදියේ ජපාන තාක්ෂණයෙන් නව තීන්ත පෑනක් නිපද වීමේ හේතුව මඳක් විමසා බැලුවෙමි. මෙය අතිශයින් පරිසර හිතකාමී අදහසකි. 


මෑතදී කරනලද අධ්‍යයනයකට අනුව, දැනට ලොව පුරා, වසරකට, භාවිත කර ඉවත දමන හිස් 'බෝල් පෙන්' ප්ලාස්ටික් බට සංඛ්‍යාව බිලියන තුනකට අධිකය. එක පෑන් කොපුවක් අවම වශයෙන් ග්‍රෑම් දහයක් බරින් යුක්තයයි සැලකුවහොත්, වසරකට පෑන් බට නිසා පමණක් පරිසරයට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් තිස් දහසකි.
 ඔබ සමීක්ෂණයක් කළහොත්, ඔබ නිවසේ හෝ කාර්යාලයේ භාවිතයට නොගෙන පසකට දමා ඇති බෝල් පොයින්ට් පෑන් පනහක් හැටක් සොයා ගත හැකි වනු ඇත. මේවාද නුදුරු අනාගතයේදී පරිසරයටම එකතු වීම නොවැලක්විය හැකිය. දැනට දශක හතරක් පමණ ඉහතදී සිට මෙසේ හිස් පෑන් බට නිසා පමණක් පරිසරයට දමා ඇති ප්ලාස්ටික් ප්‍රමාණය කොපමණ විය හැකිද? 

කළකට පෙර මා සහභාගී වූ පරිසර සම්මන්ත්‍රණයකදී එක්තරා විද්වතෙකු විසින් “There is no place called away” (‘ඉවත’ යනුවෙන් ස්ථානයක් නොමැත) යන්න අවධාරණය කළ ආකාරය මෙහිදී සිහියට නැගේ. මෙම කියමනට අනුකූලතාව දක්වමින්, යළිත් පැරණි ආකාරයේ තීන්ත පෑන් නූතන තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින් නව මාදිලියකින් එළි දැක්වීම සඳහා මෙවැනි පියවරක් ගැනීම, ඇත්ත වශයෙන්ම පරිසර හිතකාමී වෑයමක් ලෙස සැලකිය හැකිය.

16 comments:

  1. අනුවේදනීය, නමුත් ඉතාම inspirational කතාවක්. 'We fight for what we did not bring and what we will not take': අපේ මුහුනට දමා ගැසු යතාර්ථය.

    ඔබට තවත් ශක්තිය ප්‍රාර්ථනා කරන අතරේ, මම කියවපු news එකක් මීට සම්පූර්න ප්‍රතිවිරුද්ධ, ලොක්ඩවුන් කාලෙ දික්කසාද ඉල්ලුම්පත්වල වැඩිවීමක් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවෙ. ඒකට (එක) හේතුවක් මුලු දවසම එකට ඉඳීම නිසා ඇතිවෙන නොරිස්සුම් ගතිය, ඒකෙ කියලා තිබුනා අපි holiday එකකට ගිහිල්ලා පවුලේ අය එක්ක කාලෙ ගත කරන්න කැමති වීමට සම්පුර්‍රනයෙන් වෙනස් කියලා පැය විසි හතරම තමන්ගෙ සහකරු හෝ සහකාරිය සමඟ කාලය ගතකරන්න වීම. හැම දේකම වගේ 'වෙන්වීම' තුලත් තියෙන ද්විත්ව ස්වභාවය (duality) කොයි තරම් ප්‍රභලද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus,
      "අපේ මුහුනට දමා ගැසු යතාර්ථය" ලෙස සඳහන් කර ඔබ යතාර්ථය තේරුම් ගැනීම පිලිබඳ මගේ ප්‍රණාමය.අද බොහෝවිට දකින්නට ලැබෙන්නේ මිනිසුන් මුහුකුරා ගියත් සත්‍යය එලෙස පිලි නොගැනීමයි. සත්‍යය මිත්‍යාවෙන් වැසි ගොස් විද්‍යාව අවිද්‍යාවට පරාජය වෙමින් තිබෙන මේ කාලයේ අධ්‍යාපනයද වල් වැදෙමින් පවතින බව පෙනේ.
      ඔබ සඳහන් කර තිබෙන සිද්ධිය මෙහි (ඕස්ට්‍රේලියාවේ) ස්ථිර පදිංචි කරුවෙකු ලෙස මා අත්දුටු දෙයක්. මා මෙය දකින්නේ සංස්කෘතික හෝදාපාළුවක් ලෙස. ආසියාතික අපගේ සස්කෘතික ගුණාංගයක් වනුයේ න්‍යෂ්ඨික පවුල් සංස්ථාවක්. දිගු අතීතයක් නොමැති කුරුවල් වූ විවිධ හැලහැප්පීම් සහ තාඩන පීඩන වලට ගොදුරුවූ අනන්‍යතාවක් නොමැති සංස්කෘතියක් මෙහි බොහෝ විට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා ඔබ කියන ආකාරයට 'පැය විසි හතරම තමන්ගෙ සහකරු හෝ සහකාරිය සමඟ කාලය ගතකරන්න වීම'මොවුනට අමුත්තක්. මා හිතන්නේ අපගේ වටිනා පිරුළක් වන "කුකුළාගේ කරමලය නිතර දකින විට සුදු පැහැයට පෙනෙනවා" යන්න මේ සමාජයට ගැලපෙනවා වගෙයි.
      මගේ ලිපියෙන් මා හුවා දැක්වීමට උත්සාහ කළේ ලොව ප්‍රධාන පෙළේ මාසිකයක් වන
      Reader's Digest සඟරාව අව්‍යාජව ඇගයීමක් කරන බවයි. ඒ සමගම ball point පෑන් වලින් ලිවිම තරමක් දුරට හෝ අඩුකර යළිත් තීන්ත පෑන් හඳුන්වා දීම පිණිස ඔවුන් නව තාක්ෂණය සහ සරල ක්‍රම වේද ද භාවිත කරන බව. දැනට ball point පෑන් පාවිච්චි කර අපතේ යන පෑන් බට 30,000 kg ක් පමණ වසරකට පරිසරයට එකතු වෙනවා. මෙය මඳක් හෝ අඩු කිරීමට තීන්ත පෑන් යළි හඳුන්වාදීම යහපත් දෙයක් බවයි පරිසර හිතකාමියෙකු ලෙස මා අගය කරන්නේ.

      Delete
    2. 'ඇත්ත තිත්තයි' කියනවනෙ. හොඳින් ජීවත් වෙන පවුල් මේ රටවලත් ඇති, නමුත් හැම වෙලේම පුවත් මවන්නෙ නරක දේ තමයි, ආදරයෙන් ජීවත් වෙන අයට වඩා.

      ඔබ කියන පරිසරය සුරැකීම, විශේශයෙන් මේ වගේ initiatives ප්‍රමුඛ පෙලේ තැන් වලින් ගැනීම අගය කරන්න ඕනෙ. පෑන් වලින් මෙච්චර හානියක් වෙනවා කියලා දැන ගත්තෙ මේ පෝස්ට් එකෙන්. හැබැයි දැන් නම් අපේ electronic devices, stylus එහෙම භාවිතා වෙන නිසා, පෑන් භාවිතය අඩු වෙලා ඇති නේද. ඒකත් research එකක් කරන්න හොඳ ඒරියා එකක්.

      Delete
    3. මගේ ඉහල කොමෙන්ටුවේ පොඩි වැරදීමක් තිබෙනවා. 'අපතේ යන පෑන් බට 30,000 kg ක් පමණ' යන්න 'අපතේ යන පෑන් බට මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ' යනුවෙන් සංශෝධනය විය යුතුයි. වරදට කණගාටුයි.

      Delete
  2. මුලින්ම දයාවී මහතාට සුභ පතනවා ලැබුනු ත්‍යාගය සහ එයින් ඊටත් වඩා වටින කාරනයක් ඉස්මතු කිරීම සම්බන්දව. ඒ වගේම සංතෝස වෙනවා Readers Digest මෙවැනි වචනාර්තයෙන්ම නියම තෑග්ගක් තෝරා ගැනීම ගැනත්.
    මමත් මගේ කාර්‍යාල වැඩ වලදී කුරුටු ගැසීමට වඩාත් ප්‍රිය පෑන සහ කඩදාසි නෝට් පොතට තමයි. පෑන වෙනුවට clutch type පැන්සලකට මාරු වීමට මම තීරනය කලා.
    ඒ වගේම දයාවි මහතා මතු කරල තිබුන 'සංස්කෘතික සෝදාපාලුව' කියන අදහස ගැන මමත් බොහෝවිට අහල තියෙනවා. නමුත් මම හිතන්නේ එක සංස්කෘතියක මිනුම් ඳඩු යොදාගෙන තව සංස්කෘතියක් මැනීම එතරම් හොඳ ක්‍රමයක් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෞශල්‍ය ,
      නව තාක්ෂණයේ හාස්කම නිසා අපගේ පැරණි බොහෝ දේ අභාවයට යමින් පවතිනවා. කෙතරම් පරිසර හිතකර වුවත් සමහර පැරණි දේ අත්හැර දමන්නට සිදු වෙනවා. ඒ උනත් ඒ පැරණි දේවල් ප්‍රයෝජනයට ගත් ආකාරය නුතන සංරක්ෂණ ක්‍රමවේද මගින් අනාගතයට හඳුන්වා දීමත් අපගේ යුතු කමක්. විශේෂයෙන්ම පෑන් පිලිබඳ විමසුමේදී කටුපෑනෙන් (තලය සහ මිටක් සහිත) ෆවුන්ටන් පෑනට ගොස් පසුව 'බෝල් පොයින්ට්' පෑනට මාරු වූයේ වසර 60ක් වැනි කාල සීමාවකදී. මා මේ තුන් වර්ගයෙන්ම ලියා තිබෙනවා. මෙහිදී වැදගත් වනුයේ යළි තීන්ත දමන පෑනට මාරු වීමට උත්සාහයක් දරණුයේ ඒ මගින් පරිසරයට එකතුවන අති විශාල ප්ලාස්ටික් ප්‍රමාණය (වසරකට මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ) මඳක් වත් අඩුකර ගැනීම සඳහා වීම ශුභදායක පිවිසුමක්. ඊළඟට 'සංස්කෘතික සෝදාපාලුව' ලෙස මා අදහස් කළේ මෙවැන්නක්. විශේෂයෙන්ම දැනට ශතවර්ෂ තුන හතරකට ඉහතදී යුරෝපීයයන් ඔස්ට්‍රේලියාවට පැමිණෙද්දී ආදී වාසිකයින්ට ඔවුන්ට ආවේණික සස්කෘතියක් තිබුණු බවට සාක්ෂි තිබෙනවා. එම පැරණි ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ආක්‍රමණිකයින් පියවර ගෙන තිබෙනවා. මා අදහස් කළේ මෙයයි.

      Delete
  3. අපේ තාත්තගෙන් උරුම වුණු පයිලට් වර්ගයේ තීන්ත පෑන් කිහිපයක් මා ළඟත් තියෙනවා. නැවත භාවිතයට ගන්න අදහස් කළා... පොඩ්ඩක් හොයල බලන්න ඕනෙ ඒවයෙ ඉතිහාසය ගැන.

    ReplyDelete
  4. ඔබ ලබා ඇති ත්‍යාගය සහ අගය කිරීමට ලක්වීම ගැන ගොඩක් සතුටුයි. සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ‍ුැකී‍,
      මා ලඟත් පැරණි පෑන් එකතුවක් තිබෙනවා.මේ ත්‍යාගය ලැබුනාට පස්සේ ඒවා ගැන නැවතත් සොයා බැලුවා. දශක ගණනාවක් පැරණි Blue bird පෑනෙන් තවමත් හොඳින් ලියවෙනවා. මේවායේ ඉතිහාසය බෙහෙවින් වැදගත් වේවි. ඉත්තෑ කූරේ සිට පිහාටු පෑන දක්වා ඉතිහාසයත් සොයා Blog post එකක් ලියන්න.

      Delete
  5. මම කාලයක් යාළුවන් අතර ප්‍රසිද්ධ වී සිටියා, රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබුණු විහිළු කතා කියවා, ඊට පසු ඩික්ෂනරිය බලා සිනා සෙන බව.

    ReplyDelete
    Replies
    1. දැනට උනත් Reader's Digest හි සමහර විහිලු තේරෙන්නේ නැහැ. ඒ මා හිතන්නේ සමහර රටවලට ආවේණික පැරණි තොරතුරු වල සිනහ උපදවන පසුබිම අප නොදන්නා නිසා විය හැකි නේද?

      Delete
  6. මෙය කියවූ විට රීඩර්ස් ඩයිජස්ට් කියවන්න හිතුනා. මම ගොඩක් ඉස්සර කිහිපයක් කියවා තිබෙනවා. තවමත් ඔවුන් උසස් තත්වයෙන් එය පවත්වා ගෙන යනවා ඇති කියල හිතුනා.

    හදිසියකට ලියුමක් අත්සන් කරන්න හැර දැන්නම් පෑන් පාවිච්චියක් නැති තරම්... නමුත් තීන්ත පෑනකින් ආයේ ලියන්න ආසාවක් ආවා ...

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය පලවීම ගැනත්, ලැබුණු තෑග්ග ගැනත් සුබ පැතුම් .. !!

      Delete
    2. ස්තුතියි පැතුම්,
      නැවතත් Reader's Digest කියවීම ආරම්භ කරන්න. ගෙවන මුදලට සරිලන කියවීමට යමක් සරල භාෂාවෙන් එහි තිබෙනවා. මා 1960 ගණන් වලදී Reader's Digest කියවීම පටන් ගනිද්දී මිල රු. 1.25යි. දැන් රුපියල් 600 ක් පමණ වෙනවා. තීන්ත පෑන් වලින් ලිවිම ආරම්භ කිරීම ඉතාමත් සුළුවෙන් හෝ 'මිහිකත සුරැකීමේ' මහා පර්ශ්‍රමයට දායක වීමක් ලෙසයි මට හැඟෙන්නේ.

      Delete
  7. හරිම අගේ ඇති තෑග්ගක්නේ. සුබ පැතුම්. මම අන්තිමට භාවිතා කළ තීන්ත පෑන පයිලට්. ඇත්තටම නැවත නැවත භාවිතා කරන පෑන් ගැන නැවත අවධානය දෙන එක නම් හොඳයි.
    Reader's Digest කොතනදී ලැබුණත් කියවන සඟරාවක්.

    ReplyDelete
  8. ස්තුතියි බුද්ධිනි, (නම මතක තිබෙන හැටියට ?)
    මා නොකඩවා දශක 5 ක් පමණ RD කියවනවා. මා ලියු දෙයක් ගැන ඇගයීමක් කර තිබෙන දෙවන අවස්තාව මේ. දැනට වසර 20 කට පමණ ඉහතදී RD Vol 3 ක Encyclopedia එකක් ලැබිලා තිබෙනවා. මෙහි තෑග්ගකට එහා යන පණිවුඩයක් ගැබ්වී තිබෙනවා. තීන්ත පෑන් භාවිතය තරමක් කරදරකාරී වුවත් නැවත ඒ ගැන සිත් යොමු කිරීම මගින් පරිසර හානිය මඳක් හෝ අඩුකර ගැනීම වැදගත්. ග්රෑම් 12ක් පමණ බර ඇති බෝල් පොයින්ට් පෑනක් ලියා අවසන් වූ පසු 'ඉවත' දමන ප්ලාස්ටික් ප්‍රමාණය ග්රෑම් 10 ක් පමණ. මේ මගින් වසරකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් තිස් දහසක් ඉවතට. 'ඉවත' යනුවෙන් තැනක් නැත. ඒ පරිසරයයි. මේ පෑන නව තාක්ෂණයේ අගනා නිපැයුමක්. බෝල් පොයින්ට් පෑනක මෙන් ඔබා තලය පිටතට ගත හැකියි.ඒ ආකාරයටම තලය ඇතුලටත් යනවා. ඉතාමත් පහසුවෙන් ලියවෙන නිසා ඇඟිලි පේශි වලට කිසිම අමතර ආයාශයක්ද නොමැතියි.

    ReplyDelete