Thursday 26 September 2019

ශ්‍රී ලංකාවෙන් නව ඕකිඩ් විශේෂයක් .......



එහි උද්භිද විද්‍යාත්මක නාමය - ටෙරෝසෙරස් දලපූට්ටුවා (Pterocerus dalaputtuwa)


ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂයක්  සොයාගැනිමට දේශීය  විද්‍යාඥයින්   කණ්ඩායමක් සමත්  වී සිටිති. තාරක ප්‍රියදර්ශන, අනූෂ අත්තනගොඩ, ඉෂාර විජේවර්ධන, කෞශල්‍ය සිරිවීර, නිමන්ත අබේරත්න සහ පංකජ් කුමාර් යන අයගෙන් සැදුම් ලත් පර්යේෂණ කණ්ඩායමක් විසින්  මෙම ශාකය  සොයාගෙන තිබෙන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ  රත්ගඟ ගමෙහි කුඩව වනාන්තරයෙනි. මෙම පර්යේෂකයින් විසින් ශ්‍රී ලංකාවට ආවේණික නව ඕකිඩ් විශේෂය ලොවට හඳුන්වා දීම පසුගියදා සිදුවිය.

සපුෂ්ප ශාක ලෝකය තුල ඕකිඩ් අඩංගු ඕකිඩේසියේ කුලයට (Family Orchidaceae) හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඉතාමත් වර්ණවත් අලංකාර මල් දැරීම මීට හේතුවයි. මෙම කුලයට අයත් ටෙරෝසෙරස් ගණයේ (Genus Pterocerus) ඕකිඩ් ශාක විශේෂ 21 ක් ශ්‍රී ලංකාවෙන්, ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් වාර්තා වේ. මෙම ශාකවල වාසස්ථානය වන්නේ කඳුකර ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති තෙත් සදාහරිත වනාන්තර වේ.

මේ ආකාරයට නව ශාක  හෝ සත්ත්ව  විශේෂයක් සොයාගත් පසු,  එය  ලොවට හඳුන්වා දීම සඳහා  විශේෂ ක්‍රම වේදයක් අනුගමනය කළ යුතුය. මුලින්ම එය ඕකිඩ් විශේෂයක් බව හඳුනාගත් පසු, එය Orchidaceae කුලයට  අයිති බව තහවුරු කළ යුතුය. මේ සඳහා එම ශාක කුළයට ආවේණික ලක්‍ෂණ සියල්ලම තිබිය යුතුය. ඊටපසු තවත් සුවිශේෂී ලක්ෂණ නිරීක්ෂණය කර ශාක ගණය (Genus)  තීරණය කළ  යුතුවේ. මෙය    ටෙරෝසෙරස් (Pterocerus) ගණයට වැටෙන බව පූර්ව ආදර්ශද විමර්ශණයට  භාජන  කිරීමෙන් පසු නිගමනය කර තිබේ. ඔවුනට මේ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යාණයේ ඇති සංරක්ෂිත ශාක ආදර්ශ එකතුව සහ වර්ගගීකරණය  සඳහා මග පෙන්වන පොතපතද ප්‍රයෝජනවත් වී තිබේ.

මෙසේ හඳුනාගැනීමෙන් පසුව එම ඕකිඩ් විශේෂයට ගැලපෙන විශේෂ නාමයක් (species name) ලබාදීම බොහෝ විට දේශීය ඌරුවකට අනුව සිදුකිරීම  ලොව පිළිගත් සම්ප්‍රදායයි. පර්යේෂකයින් විසින් මෙම ඕකිඩ් ශාකය නම්කර ඇත්තේ  ටෙරෝසෙරස් දලපූට්ටුවා (Pterocerus dalaputtuwa) යන සුවිශේෂී නමින්ය. 



දලපූට්ටුවායනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ ගල්ගමුව වනාන්තරවල වාසය කල වන ඇතෙකි. අනුකම්පා විරහිත මිනිසුන් කිහිප දෙනෙකු විසින්, දළ  ලබා ගැනීමේ චේතනාවෙන්ම මෙම හස්තියා ඝාතනය කෙරුණු බව ප්‍රකටය. එම සත්වයාට ගෞරවයක් පිණිස මෙන්ම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය කෙරෙහි රජයේ මෙන්ම සමස්ත ලෝකයේ ද අවධානය යොමු කිරීම පිණිස මෙම නාමය ඕකිඩ් විශේෂය සඳහා භාවිත කරන ලද  බව පර්යේෂකයෝ ප්‍රකාශ කර තිබේ.

ශාක වර්ගීකරණයේ දී භාවිත කරනු ලබන ක්‍රමවේදය ද්විපද නාමකරණය ලෙස හඳුන්වනු ලැබේ. මේ අනුව සෑම ශාකයකම  ජීව විද්‍යාත්මක නාමය කොටස් දෙකකින් යුක්තය. මෙහි පළමු කොටස  ශාකය හඳුන්වන ගණය (Genus) දක්වන අතරදෙවන නමින් විශේෂය (Species) දැක්වේ. සෑම විටම මෙම නම් ලිවීමේදී සම්මතයක් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කරන අතර ගණ නාමයේ මුලකුර කැපිටල් අකුරක් විය යුතු අතර අනිකුත් අකුරු සිම්පල්ය. එසේම විශේෂ නාමයේ  මුල අකුර සහිත වචනයම සිම්පල් වියයුතු බවටත් තීරණයවී  තිබේ. මුද්‍රණය කිරීමේදී සම්පුර්ණ ද්විපද නාමයම ඇල අකුරෙන් (Italics) දැක්වීමද, අතින් ලිවීමේදී සම්පුර්ණ ද්විපද නාමයට  යටින් ඉරක් ඇඳීමද ප්‍රායෝගිකව භාවිත වේ. 


මේ අනුව මෙම අලුත් ඕකිඩ් විශේෂයේ උද්භිද විද්‍යාත්මක නාමය Pterocerus dalaputtuwa  යන ආකාරයට ව්‍යවහාරයට  ගනු ඇත. මෙම ශාකය IUCN රතු දත්ත පොතෙහි ‘අතිශයින් තර්ජිත’ [Critically Endangered]  [CR] ගණයට වැටෙනු ඇතැයි සිතිය හැකිය.  




වාර්තාගත තොරතුරු වලට අනුව, මිට පෙර, ශ්‍රී ලංකාවෙන් Pterocerus  ගණයේ ඕකිඩ් විශේෂයක් ගැන හඳුන්වා දීමක් කර  ඇත්තේ, දැනට වසර 150 කට පමණ පෙර බව සඳහන්ය.  එය Pterocerus viridiflorum ලෙස නම් කර ඇත. මෙම ඕකිඩ් විශේෂය පසුගිය දශක හත අටක් තිස්සේ  දකින්නට ලැබී නැති නිසා  එය වඳවී ගොස් ඇතැයි අනුමාන කර තිබුණි.  මෙම පර්යේෂණ කණ්ඩායමට, තම නිරීක්ෂණ ඔස්සේ  එම ඕකිඩ් ශාක විශේෂයද  නැවත වාර්තා කිරීමට හැකි වීමද, සුවිශේෂී සිදුවිමක්  ලෙස සැලකිය හැකිය,  IUCN (International Union of  Conservation of  Nature) රතු දත්ත පොතෙහි 2010 වර්ෂයේදී, මෙම ඕකිඩ් ශාකයවඳවී ගොස් හෝ අතිශයින් තර්ජිත [Critically Endangered or Possibly Extinct [CR(PE)] යනුවෙන්  සඳහන් කර තිබුණි. මෙම නව නිරීක්ෂණය නිසා, රතු  දත්ත පොතෙහි එම විස්තරයේවඳවී ගොස්(Possibly Extinct PE) යන කොටස ඉවත් කරඅතිශයින් තර්ජිත [Critically Endangered or [CR] ලෙස පමණක් හැඳින්වීමට සහ එය  ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් විශේෂයක් වශයෙන් නම් කිරීමට අවශ්‍ය  පියවර ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.  

ජාතික සම්පත් ගැන කිසිම තැකීමක් නොමැති මිනිසුන් සිටින රටක, රටෙහි කීර්ති නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට හැකි සුළු පිරිසක් හෝ සිටීම භාග්‍යයකි ! ඔවුන්ට අපගේ ප්‍රණාමය !
පර්යේෂකයින් විසින් අන්තර්ජාතික දත්ත යොමුවට ඉදිරිපත් කර තිබෙන, පර්යේෂණ පත්‍රිකාවේ සාරාංශය මෙසේය: 
Abstract                                                                                                                                 Pteroceras dalaputtuwa, a new species, is described from the lowland-wet zone of Sri Lanka. For the first time in the history of plant nomenclature, a new species is named after an elephant, 'Galgamuwa Dala Puttuwa', which was killed for its majestic ivory. The new species shows a close morphological affinity with P. philippinense from the Philippines. However, P. dalaputtuwa sp. nov. can be readily distinguished by having small and partially opened flowers (10 mm long × 5 mm wide), short petals (4 mm long × 1 mm wide), short sepals (4.9 mm long × 3.0 mm wide), and elongated rectangular-oval spur (7 mm long × 3 mm wide). Pteroceras viridiflorum, which was considered a "Critically Endangered Possibly Extinct" [CR(PE)] orchid, was also re-collected.

6 comments:

  1. ගරු මහත්මයා, රතු දත්ත පොත 2010 ට පසුව නිල වශයෙන් යාවත්කාලීන වෙලා නැති නිසා- මෑතකාලීනව ඒ සඳහා ඒ සඳහා උත්සාහයක් දරුනත් එය සාර්ථකව අවසාන වී නැහැ - ඔබතුමාගේ ලිපියේ "මෙම නව නිරීක්ෂණය නිසා, රතු දත්ත පොතෙහි එම විස්තරයේ ‘වඳවී ගොස්’ (Possibly Extinct PE) යන කොටස ඉවත් කර ‘අතිශයින් තර්ජිත’ [Critically Endangered or [CR] ලෙස පමණක් හැඳින්වීමට සහ එය ශ්‍රී ලංකාවට ආවේණික ඕකිඩ් විශේෂයක් වශයෙන් නම් කිරීමට එම ජාත්‍යන්තර ආයතනය පියවර ගෙන තිබේ" යන කොටස සාවද්‍ය බව මගේ හැගීමයි. තවද වර්තමානයේ ලංකාවේ රතු දත්ත පොතට අදාළ ශාක පිලිබඳ දත්ත ලබා දෙනුයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව බවත් මගේ හැගීමයි. ඔබතුමාගේ ලිපියට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු මල්ලි,
      ඔබ සඳහන් කර තිබෙන තොරතුර පිලිබඳ වැඩි විස්තර ලබාගැනීමට නොලැබුණි. මට අවශ්‍යවූයේ දළපුට්ටුවා හස්තියා ගැන ලොවට හඳුන්වා දීම සඳහා දේශීය විද්‍යාඥයින් විසින් ගෙන ඇති පියවර අගය කිරීමයි. කෙසේ වෙතත් ඔබ දැක්වූ සැක සහිත කරුණ ගැලපෙන පරිදි සංශෝධනය කර ඇත.

      Delete
    2. ස්තූතියි...දේශීය නිධාන අගය කිරීමට ඔවුන් ගත් තීරණය අගය කිරීම පිලිබදව බෙහෙවින්ම ස්තූතියි...මෑතකදී හූනන් නම් කිරීම ගැන මෙරට වූ විවාදය ඔබ දක්නට ඇතැයි සිතමි.

      Delete
    3. හූනන් නම් කිරීම ගැන විවාදයක් ගැන දුටුවා. එහෙත් වැඩි විස්තරයක් දැන ගන්නට ලැබුනේ නැහැ.

      Delete
  2. තමංගෙ කැපවීමෙන් මේ වගේ දේවල් සොයල ලෝකයට ඉදිරිපත් කරන අයට ස්තුති වෙන්න ඕන.ඒ වගේම ජාතික වීරයන්ට වැඩිය මේ වගේ සතෙක්ගෙ නමින් මේක නම් කිරීම අගයකරනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න
      අනාගතයේදී වුවත් මේ සම්බන්ධව අධ්‍යයන කරන අයට ‘දළ පුට්ටුවා’ වැනි ඇතෙක් සිටි බව දැනගැනීමට මෙය හොඳම යොමුවක් වේවි. ඊටත් වඩා රටක සම්පත් ගැන කිසිම සැලකිල්ලක් නොමැති පුද්ගලයින් මෙවැනි දේ කරන බවට ජනතාව දැනුවත් කිරීම සඳහාත් මෙසේ නම්කිරීම අගය කළ හැකියි.

      Delete