Friday 10 May 2019

එදා ... මෙදා... වෙසක් කූඩු සෑදීම ..........


    සුගිය දිනවල රටෙහි සිදුවූ අභාග්‍ය සම්පන්න සිද්ධි නිසා, මෙවර වෙසක් සැමරීම  අඩුවේයැයි බොහෝ අය සිතති. ආමිෂ පූජා වල මෙන්ම ප්‍රතිපත්ති පූජා වලත් නියැලීම අවශ්‍ය බව, බුදු දහමේ ඉගැන්වීමයි. වෙසක් දිනවල සැරසිලි කිරීම,  පහන් කූඩු දැල්වීම, වෙසක් තොරන් ඉදිකිරිම වැනි දෑ ආමිෂ පූජා ලෙස සැලකෙන අතර ශීල, භාවනා, දාන මානාදී සත්ක්‍රියා, ප්‍රතිපත්ති පූජාවන් වේ.

සමාජයේ බොහෝ දේවල් වානිජකරණය වෙමින් පවතින මේ කාලයේ, වෙසක් සැමරීමට අදාළ සමහර භාණ්ඩ සහ සේවාද, ඉල්ලුම සහ සැපයුම නමින් හැඳින්වෙන  විෂම ජාලයට අවතීර්ණ වෙමින් පවතී.

වානිජකරණයේ උදාහරණයක් වශයෙන් වෙසක් පහන් කූඩු ගෙන බලමු. අද විවිධ ආකාරයේ වෙසක් කූඩු, වෙළඳ පළේ මිලදී ගැනීම සඳහා තබා තිබේ. නිෂ්පාදකයෝ මේවා මහා පරිමාණයෙන් නිපදවන අතර, වෙළෙන්දෝ කල්තියාම තොග ලබා ගනිති. බට ගස් සොයා ගොස්, බට දඬු කපා,  බට පතුරු සකස්කර, වෙසක් කූඩුවක් තනා,  සව් කඩදාසි අලවා මහන්සි වනවාට වඩා, සියල්ල නිමකළ වෙසක් කූඩුවක් වෙළඳ පළෙන් මිලයට ගැනීම පහසු බව අද පාරිභෝගිකයාද තීරණය කර තිබේ. 
      
පසුගිය වසරේ වෙසක් සමයේ, කෘතීම වෙසක් කූඩුවක් ගැන පාඨකයෙකු මාධ්‍යයක පළකර තිබූ පුවතක් මෙසේය.

‘නගරයේ කඩයකට ගොස් වෙසක් කූඩු ‘පැකට්’ හතරක්  මිලයට ගත්තෙමි.’ ‘එකම වෙනස වූයේ මේවා ෆ්ලැට් පැක් හෙවත් පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවක බහා තිබීමයි. ඒවා සාදා තිබුණේ බ්‍රිස්ටල් බෝඩ් වැනි තරමක් ඝන කඩදාසි වලිනි.’
‘අද මම ඒ අටපට්ටම් වෙසක් කූඩු හතරෙන් එකක් එකලස් කළෙමි.
පැතළියට අසුරා තිබුණු කුඩා පැකට්ටුවේ, හතරැස් කැබලි හයක් සහ තුන් හුලස් කැබලි අටක් විය. රැළි සඳහා සව් කඩදාසි හතරක් ද තිබුණි. කූඩුව එකලස් කිරීම සඳහා පැය භාගයක්වත් ගත නොවීය.’
‘විචිත්‍ර ආකාරයට කැටයම් කපා තිබුණු කූඩුවේ, කොටස්වල නැමිය යුතු තැන්ද සලකුණු කර තිබිණ. ගැලපෙන පරිදි නැමුම් එකට තබා ස්ටේපල් කටු ගැසූ විට රුපයේ දක්වා ඇති ආකාරයේ අටපට්ටම් කූඩුවක් ලැබුණි.’

වානිජකරණයට භාජන වී ඇති මෙම වෙසක් කූඩුව දෙස බලන විට, දශක හයක් හතක් තිස්සේ, සෑම වසරකම  නොකඩවා වෙසක් කූඩු සකස් කළ මම තරමක් පුදුමයට පත්වීමි.  එම පාඨකයා අවසාන වරට වෙසක් කුඩුවක් සකස් කළේ, ඔහු  නවවෙනි ශ්‍රේණියේ ඉගෙනීම ලබද්දී  බවත් පවසා තිබුණි. ඒ දැනට වසර තිහ හතළිහකට පෙරාතුව වන්නට ඇත. ඒ කාලයේ මෙම නවීන වෙසක් කූඩු නොතිබෙන්නට ඇත.

දින කිහිපයකට පෙර Face book සටහනක තිබුණු කාලෝචිත කෙටි ඉල්ලීම් දෙකක්ද මෙම කරුණට අදාළ කර ගත හැකි බවද  පෙනේ. ඒවා මෙසේය:

දශක කිහිපයක අතීතය මෙනෙහි කළ  මට, ඒ කාලයේ වෙසක් කූඩු සකස් කළ අකාරය පිළිබඳ පහත දැක්වෙන පරිදි සටහනක් තැබීම උචිතයයි හැඟීමක් ඇතිවිය. 

මගේ සටහන මෙතැන් සිට .....

පස්වන හයවන ශ්‍රේණිවල ඉගෙන ගන්නා කුඩා කාලයේ සිට, සෑම වසරකම,  නොකඩවා වෙසක් කුඩු සකස් කර එයින් ආස්වාදයක් ලැබීමට මම පුරුදුව සිටියෙමි. දැනට දශක හයකට වැඩි කාලයක්, අවුරුදු පතා නොකඩවාම, ඉතාමත් කැමැත්තෙන් කළ එම කාර්යය අදටද කරමි. එකළ සිටම මා ඉතාමත්  ප්‍රිය කළේ, අටපට්ටම් කුඩු සකස් කිරීමටය. කුඩා කාලයේ අපගේ ගම්බද ‘මහගෙදර’ ජීවත්වූ අපට, අවුරුදු නිවාඩුවේ අවසාන දින කිහිපයේදී  තිබුණු වැදගත්ම ක්‍රියාකාරකම වූයේ, වෙසක් කුඩු තැනීමයි. අක්කරයක් පමණ වූ ගෙවත්තේ  එක් කොනක, බට පඳුරක් විය. මේ පඳුරෙන් මේරූ බට දඬු කිහිපයක් කපා ගැනීම එහි පළමුවෙනි කාර්යය විය.  මේවා අඟල්  අටක පමණ ප්‍රමාණයේ කැබලි වලට කපා ගැනීම ඊළඟ පියවරයි. ඊට පසු,  ඒ දඬු කැබලි හතරට පලා ගත යුතුය. එක් එක් බට පතුරේ  ඇතුලත තියුණු දාර, පිහියෙන් සැස, සුමට කර ගැනීමද වැදගත්ය. මෙහිදී බට පතුරුවල තියුණු දාර හා සම්බන්ධ,  ඒ කාලයේම කියවූ කෙටි කතාවක්ද සිහියට නැගේ. 

එය, මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ ‘මගේ කථාව’ කෙටි කතා සංග්‍රහයේ එන ‘බබාගේ වෙසක් පහණ’ කෙටි කථාවයි. එහි කුඩා දරුවන්ගේ ලෝකයේ සිද්ධියක් විස්තර කර තිබේ.

“ගෙදර දරුවෝ කිහිපදෙනා වෙසක් කුඩු තැනීමට බටපතුරු සකස් කරති. තුන් හැවිරිදි  පවුලේ බාලම දියණිය, අයියලා විසින්  පලා, පැත්තකින් තැබු සුමට නොකළ බට පතුරක් අතේ මිටට ගනී. අයියා නැගණිය අත තිබුණු බට පතුර උදුරා ගනියි, බට පතුරේ තියුණු දාරය නිසා නැගණියගේ අල්ල කැපී තුවාල වී ළේ ගලයි.  ඇය හඬමින් පියා වෙත දුව යයි. එයින්  බියපත්වූ අයියා, වෙසක් කූඩු තැනීම පසෙක තබා,  ගෙයි මුල්ලක සැඟවෙයි. පසුව පියාගේ අස්වැසීම සහ තුවාලයට පැලැස්තරයක් ඇලවිමෙන් පසුව, සියලු දෙනාම එකතුවී, නැවත  වෙසක් කූඩු සකස් කරති’.
 
මෙය වෙසක් කුඩු තැනීම පිලිබඳ සුන්දර සිද්ධියකි.   

දැන් පැරණි ක්‍රමයට අටපට්ටම් කූඩුවක් තැනීම ගැන සිත් යොමු කරමු. එක් අටපට්ටම් කුඩුවක් සඳහා බට පතුරු කැබලි 24ක් අවශ්‍ය ය. මුලින්ම, දාර සුමට කරගත් බට පතුරු හතරක් බැගින් එකට බැඳ, හරි හතරැස් කොටු හයක් සකස් කර ගත යුතුය. මෙම කොටු හය සියලුම මුලු යාකර වටේට බැන්ඳ විට අට පට්ටම් කූඩුවක් ලැබේ.

හරි  හතරැස් කොටු හයකින් සකස් කළ කුඩුවේ, අවසානයේදී,  හතරැස් කොටු හයක් සහ තුන් හුලස් කොටු අටක්ද තිබීම, අපට කුඩා  කාලයේ පුදුම උපදවන දෙයක් විය.

බට පතුරු එකට තබා බැඳීම සඳහා අප එකළ භාවිත කලේ, ‘ඔට්ටපාළු’ යන නමින් හැඳින්වෙන ස්වාභාවික රබර් පටි වේ. රබර් කිරි එකතු කර ගැනීමෙන් පසු ගසෙහි කැපුමේ ඉතිරිවන කිරි, මිදීම නිසා සෑදෙන ඇදෙනසුලු පටි වැනි ව්‍යුහ දෙමළෙන්  ‘ඔට්ට පාල්’ ලෙස හැඳින්වේ. සිංහලෙන් එම නාමය ‘ඔට්ටපාළු’ වී තිබේ බට පතුරු අග්‍ර  එකට තබා නොගැලවෙන සේ එකට බැඳීම සඳහා ‘ඔට්ට පාළු’ ඉතාමත් යෝග්‍යය.

මුල් අවදියේදී, අපගේ මහ ගෙදර  විදුලි බලය නොතිබුණි. මේ නිසා වෙසක් කුඩු ආලෝකමත් කිරීම සඳහා ඉටිපන්දම් භාවිත කිරීමට සිදුවිය. අටපට්ටම් වෙසක් කූඩුවක් තැනීමට වඩා, එහි ඉටිපන්දමක් ඇමිණීම සඳහා යෝග්‍ය පොල් පිත්තකින් කපා ගන්නා පැතලි පතුරක් බැඳගැනීම බෙහෙවින් අමාරු වැඩකි. ඉටිපන්දම් අමුණන පතුර ඇති පැත්තට විරුද්ධ පැත්තේ හතරැස් කොටුවේ, පැති දෙකක,  කූඩුව එල්ලීම සඳහා ශක්තිමත් හණ නූලක් ගැට ගැසිය යුතුය. මේ සියල්ල අවසන් වූ පසු වෙසක් කුඩුව සව් කොළ  ඇලවීම සඳහා සූදානම්ය.  එක කූඩුවක් සඳහා  හතරැස් කොටුවේ ප්‍රමාණයට වඩා මඳක් විශාල හතරැස් කොල හතරක් සහ තුන්හුලස් කොල අටක් අවශ්‍යය.

කඩෙන් මිලදී ගන්නා සව් කොළ අපතේ නොයන පරිදි කපා ගැනීමද ප්‍රවේශමෙන් කළ යුතුය. සකස් කරන සියලුම කූඩු එකම ප්‍රමාණයකටම  තිබෙන විට මෙය පහසු වේ.

(දැනටද අපේ පාසැල්වල පස්වන ශ්‍රේණියේ, පරිසරයට අදාළ පාඩමක, ‘වෙසක්’ තේමාව යටතේ, සෙන්ටිමීටර් 75 දිග සහ සෙන්ටිමීටර් 50 පළල සව් කඩදාසිය අපතේ නොයන ආකාරයට, කපා ගතහැකි වීම සඳහා, අටපට්ටම් වෙසක් කූඩුවක  බට පතුරු සකස්කර ගැනීමේ නිවැරදි   මිමි  පිලිබඳව, සිසුන්  සඳහා  සටහනක්ද තිබේ.)

පාසල් යන කාලයේ නම් අප යහළුවන් සමග තරඟයට මෙන් කූඩු තැනීමට උනන්දු වූවෙමු. ගෙදර සහෝදර සහෝදරියන් සමග එකතුවී  කූඩු දොළහක් පමණ සකස් කළ එක් වතාවක්ද මතකයට නැගේ. 
තව වරක්, මිදුලේ එල්ලා තිබුණු වෙසක් කූඩු වැල සුළඟට සෙලවීම නිසා, එක් කූඩුවක ඉටිපන්දමක් පෙරළී ගිනිගත් නිසා, වැලේ එල්ලා තිබුණු කූඩු දහයක් පමණ, එකවිට ගිනිබත් වූ අවස්ථාවක්ද සිහිවේ. ඒ සිද්ධිය නිසා, අප  මහත් දුකට පත්වී සිටියදී  ‘ප්‍රීතී වෙසක්’ යනුවෙන් මුද්‍රිත නවීන පන්නයේ කුඩු හයක් සහ ‘බකට්’ කූඩු දහයක් නගරයේ සාප්පුවකින් ගෙනවිත් දී, තාත්තා අප සැනසූ ආකාරයද අද වගේ මතකය.

අඟල් අටේ බට පතුරු වලින් සෑදු කුඩුවක, හතරැස් කොටු සහ තුන් හුලස් කොටු සියල්ලම, සාමාන්‍ය ප්‍රමාණයේ (75cm x 50cm) සව් කොළ දෙකකින් පමණ අලවා අවසන් කළ හැකිය. පතුලේ රැලි සහ පැති මුළු වලට එල්ලන රැලි සඳහා තවත් සව් කොළ  දෙකක්වත් අවශ්‍යය. රැලි කැපීමද ඉතා සීරුමාරුවකින් කළ යුතු කාර්යයකි.  සව් කොලය අග සිට කුඩා වනතුරු සිරස්ව නමා, නැමු කොටසට ඉහලින් ඇති නොනැමූ තීරුව දක්වා, කතුරකින් කැපීමද එතරම් පහසු කාර්යයක් නොවේ. ඉන්පසු එකට බැඳි ඇති රැලි පොටවල් වෙන්කළ යුතුය. සව් කඩදාසි දෙකක් හෝ කිහිපයක් එකට තබා රැලි කැපුවහොත්,  රැළිපොටවල් වෙන් කිරීම තවත් අපහසුය. මේ සියල්ල අවසන් කළ පසු, එළඹෙනුයේ කූඩු ඇලවීමයි.

කූඩු ඇළවීම සඳහා ඒ කාලයේ යොදා ගත් ‘පාප්ප’ සකස් කර ගන්නේ  පාන් පිටි වලින්ය. පාන් පිටි උණු වතුරේ දියකර, එම මිශ්‍රණය භාජනයක දමා කකාරා ගත් විට, සව් කඩදාසි ඇලවීමට යෝග්‍ය ලාටු වැනි තලපයක් ලැබේ. කූඩුවේ බටපතුරු දිගේ පාප්ප තවරා, කපාගත් සව් කඩදාසි, ඒ මත පහසුවෙන් ඇලවිය හැකිය. ඊටපසු රැලිද අලවා ගත් විට අලංකාර වෙසක් කූඩුවක් නිර්මාණය වේ. බට කැපීමේ සිට, නිමි කූඩුව එල්ලීම දක්වා, සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා එක වෙසක් කූඩුවක් වෙනුවෙන් පැය තුන හතරක් ගත කිරීමට සිදුවේ. එසේ වුවත් අද කඩයෙන් මිලදී ගන්නා කෘතීම වෙසක් කූඩුව එකලස් කිරීමට පැය භාගයකට වඩා ගත නොවේ. බට පතුරක දිග අඟල් අටක් වන අටපට්ටම් කූඩුවක් තනා නිම කිරීම සඳහා සාමාන්‍ය ප්‍රමාණයේ (75cm x 50cm) සව් කඩදාසි හතරක් ප්‍රමාණවත් වේ. යම්කිසි රටාවක ආකාරයට හතරැස් කොටුවල සහ තුන් හුලස් මූනත්වල, විවිධ වර්ණ ගැලපීම් කර වර්ණවත් කඩදාසි ඇලවීමෙන් කූඩුවේ අලංකාරය වැඩිකර ගත හැකිය. පහලට එල්ලෙන රැලි එකම වර්ණයකින් යෙදීමද හොඳ ගැලපීමක් වන බව පෙනේ.  මෙසේ කල්පනා කර බලන විට, කුඩා දරුවන් තුළ වෙසක් සැමරීම පිලිබඳ යහපත් ආකල්ප වර්ධනය වන්නේත්, ඔවුන්ගේ හසුරු කුසලතා ඔප් නැංවෙන්නේත්, තමන්ගේම නිර්මාණයක් සඳහා අභිමානයක් ඇතිවන්නේත්, පැරණි ආකාරයට, බට පතුරේ සිට සියලු පියවර අනුගමනය කර වෙසක්  කූඩුවක් සකස් කළහොත් පමණකි. 

දැන් අපේ මහගෙදරටද විදුලි බලය තිබේ. මේ නිසා කූඩු ආලෝකමත් කිරීම පහසුය. මහගෙදර වෙසක් ගැන ගන්නා ලද  ඡායාරූපයක්නම් සොයා ගැනීමට  නොමැත.

මහගෙදරින් පිටවී, දරු මල්ලන් සමග වෙනම නිවසක පදිංචියට ගිය පසුවත්, වාර්ෂිකව වෙසක් කූඩු තැනීම නොකඩවා කළෙමි. වසර ගණනාවක් තිස්සේ අපේ ගෙදර ආලින්දයට ගැලපෙන පරිදි අටපට්ටම් කූඩු හයක් සෑදීම මාගේ සිරිත විය.

පසු කලකදී විදේශ ගතවී, දැන් මුනුපුරු මිනිපිරියන් සමගද වෙසක් කුඩු සෑදීම අමතක කළ නොහැකිය.

එදා, වත්තේ කොනක වැවුණු, බට පඳුරෙන් කපාගත් බට දඬු වෙනුවට, අද පිටරටින් ගෙනෙන බට හෝ උණ දඬු මිලයට ගත යුතුය. ‘ඔට්ට පාල්’ පටි වෙනුවට රබර් වලින්ම නිෂ්පාදනය කර ඇති rubber bands භාවිත කළ යුතුය. වෙසක් කූඩු ආලෝකමත් කිරීම සඳහා ප්‍රධාන විදුලිය වෙනුවට සූර්ය කෝෂ සහ LED බල්බ යොදාගත හැකිය.  අද මේ සියල්ලම සහිතව සාදා නිමකළ, විවිධ ආකාරයේ වෙසක් කූඩු පහසුවෙන්ම මිලදී ගත හැකිය.  

මේ සියල්ල තාක්ෂණ දියුණුවත් සමග පැමිණි පහසුකම් ලෙස සැලකීම නිවැරදිය. එසේ වුවත් අප කුඩා කළ, වෙසක් සමයේදී, බට කැපීමේ සිට, වෙසක් කුඩු තනා  ඒවා ආලෝකමත් කිරීම දක්වා, සියලුම පියවර වලදී  ලැබූ අහිංසක වින්දනය සහ හසුරු කුසලතාව අද දරුවන්ට නොලැබී යාම නම්  සන්තාපයට හේතුවකි. නැවත එවැනි කාලයක් උදා නොවනු ඇත. පාසල් යන දරුවෙකුට වෙසක් කූඩුවක්, සරුංගලයක් වැනි සරල දෙයක් සාදාගෙන, එයින් වින්දනයක් ලබාගැනීමට නොහැකි නම් එය මහත් අඩුවක් ලෙස දැනේ.   තාක්ෂණ දියුණුව කොයි තරම් වේගයෙන් ඉදිරියට ගියත්, අපගේ සංස්කෘතිය හා සම්බන්ධ පැරණි දේ දරුවන්ට ප්‍රගුණ කිරීමේ වගකීම දෙමාපියන් සහ අනිකුත් වැඩිහිටියන්ගේ යුතුකමක් බව මගේ හැඟීමයි.
                    
                 

23 comments:

  1. දයා,සව් කඩදාසි පැමිණීමට පෙර ගොක් කොළ වලින් වෙසක් කූඩු හැදුව කියල අහ තියේද

    ReplyDelete
  2. ස්තුතියි සිරි,
    ගොක් කොළ වෙසක් කුඩු ගැන අසා තිබෙනවා. ඒ උනත් දැකලා නැහැ. ඒ අපේ කුඩා කාලයටත් ඉහතදී විය හැකියි. අප කුඩා කාලයේ ලී පටි රාමුවකින් සකස් කළ 'එලිය පෙට්ටි' නම් වෙසක් කූඩු වර්ගයකුත් තිබුණා. ඒකේ ඉදිරිපස තුනී කඩදාසියේ මුද්‍රිත බුද්ධ චරිතයට අදාළ පින්තුරයක් අලවනවා. දෙපැත්තට අලවන්නේ සව් කඩදාසි. ඇතුලේ මැටි පහනක් දැල්විය හැකියි. පසුවෙන්ම බිත්තියේ ඇණයක එල්ලීමට පුළුවන්.

    ReplyDelete
  3. පොඩි කාලේ එක පාරක් සිලින්ඩරාකාර තරමක ලොකු කූඩුවක් හදලා ඒකේ උඩ වෘත්තයට තහඩුවකින් කැපූ රූං පෙත්තක් සවි කර ඇතුලේ දැල්වෙන පහනේ උණුසුම් වායුව ඒ හරහා පිටවෙන විට කරකැවෙන කූඩුවක්ද හැදුවා මතකයි

    ReplyDelete
  4. ස්තුතියි දිනුක,
    අතීතයේ රසවත් සිද්ධි මතක් වෙනවනේ. ඒ කාලේ Volt 1.5 විදුලි මෝටර් එහෙම තිබුණේ නැහැනේ. ඔය ක්‍රියාකාරකමේ මූලධර්මය වන 'සංවාහක ධාරා' (convection currents) ගැන දැනට අටවන ශ්‍රේණියේ විද්‍යාව පාඩමකත් තිබෙනවා. ඒ උනත් ඒ සරල මූලධර්ම භාවිත කර යමක් අත්හදා බැලීමට අද දරුවන් ක්‍රියාත්මක නොවන එකනේ අඩුපාඩුව.

    ReplyDelete
    Replies
    1. අපි කළේ හතරැස් කූඩුවක් ඇතුලෙ ඔය වගේ තහඩු රවුමක පෙරහැරක රූප කාඩ්බෝඩ් වලින් කපල එල්ලල කරකවපු එක. පහනෙ එලියෙන් කූඩුවෙ තියෙන සවු කඩදාසියෙ අර රූප වල ඡායාවන් වැටෙනව.

      දැන් මෝටර් තිබුණත් බුදුරැස් මාලාවක් කරකවන ළමයෙක් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.

      Delete
    2. අප නවය වසරේ ඉගෙන ගනිද්දී අපගේ ශිෂ්‍ය නිවාසය තිබුණේ කඳු බෑවුමක. වැහි කාලවලදී කඳු බෑවුම දිගේ කුඩා දිය පාරවල් හටගන්නවා. එක වරක් අපි කිහිපදෙනෙක් එකතුවී, කෙසෙල් කඳක පතුරු පීලි වාගේ සකස් කර දිය පාරෙන් කොටසක් ශිෂ්‍ය නිවාසය අසලට හරවා ගත්තා. ඒ ආකාරයට කන්දෙන් පහලට ඇද වැටෙන දිය පාරට නුල්රෝදයක තහඩු කෑලි අමුණා සකස් කළ ජල රෝදයක් සවි කළා. පසුව අපගේ සගයෙක් විසින්ම අඳින ලද, බුදු රැස්මාලාවක් තවත් නුල් රෝදයක සවිකර, එය කැරකෙන ජල රෝදය සමග මහත නුලකින් සම්බන්ධ කළා. බුදුරැස් මාලාව ඉතා හොඳින් කැරකුනා. විදුහල්පති තුමාත් අපගේ වෙසක් සැරසිල්ල බලන්නට ඇවිත් ප්‍රශංසාවකුත් කළා. විදුහල්පතිතුමා පසු කාලයකදී රාජ්‍ය භාෂා කොමසාරිස්ව සිටි ඩී.ඒ. වෙදගේ මැතිතුමා. (මෙය විභව ශක්තිය චල ශක්තිය බවට හැරවීමක් බව දැනගත්තේ පසුව)

      Delete
  5. ඔය මොන ප්ලාස්ටික් අටමගල් තිබ්බත් බට ගහක් කපල සුද්ද කරන කූඩුවක් හදල පත්තුකරනව තරං සතුටක් අර කූඩුවක් එල්ලල ලබන්න බෑ. නමුත් කරුමෙට නගරබද ගොඩක් ළමයින්ට දැන් ඒ අත්දැකීම ලබන්න අමාරුයි වගේම ඕන කමකුත් නෑ.

    අමාරුවෙන් හදපු කූඩුවක් ඉටිපන්දමක් පෙරලිලා තප්පර දහයකින් විතර අලු වෙලා යනව කියන එක බුදු දහමේ අනිත්‍යය ගැන අත්දැකීමක් ලබාගන්න හොඳ අවස්ථාවක්.

    ReplyDelete
  6. ස්තුතියි ප්‍රසන්න,
    මාද ඔබ දරන මතයේම සිටිනවා. ඒ නිසාමයි මේ blog සටහන ලිවීමට සිතුවේ. බට ගසක් කපාගැනීමේ සිට වෙසක් කුඩුවක් දැල්වීම දක්වා සියලු පියවර අවසන් කල විට දැනෙන වින්දනය සහ ආස්වාදය දන්නේ එය කළ කෙනෙකු පමණයි. මා සිතන්නේ දැන් ළමයින්ට ඕන කමක් නැති බවම පමණක් නොවෙයි. ඒ ගැන උපදෙස් දීමට දෙමාපියන් සහ ගුරුවරු උනත් වැඩි උනන්දුවක් නොගන්නා බවයි පෙනෙන්නේ.

    වෙසක් කූඩු වැලම ගිනි ගත් එකත් කිසි දිනක අමතක නොවන සිද්ධියක්. මේ සියල්ලම සුන්දර මතකයන් ලෙස යළි යළිත් මෙනෙහි කළ හැකියි.

    ReplyDelete
  7. ගගක් අයිනෙ දාඩිය බිඳු පෙරාගෙන
    ගහක් කපා උණ පතුරුත් හදාගෙන
    ඇහැක් වගේ ආරක්ෂා කරා ගෙන
    වෙසක් කූඩු අපි හැදුවා එදා දින...

    ජයවේවා!!!

    ReplyDelete
  8. ස්තුතියි දුමී,
    සුන්දර අතීතය ටික ටික වියැකෙනවා
    වෙසක් කූඩුවත් මුදලට යට වෙනවා
    තාක්ෂණය සැමදේ පරදා යනවා
    කාටත් පැරණි හොඳ දේ අමතක වෙනවා !

    ඔබට ජයම !

    ReplyDelete
  9. වෙසක් පහනක් හදන්නට මුල ඉඳන් අමු බට ලීයෙන
    මහත් වෙහෙසක් මමත් ගත්තා සමග මගෙ පොඩි දියණිය
    එහෙත් පැය දෙක තුනක් ඉවසුම ඇයට බොහො අපහසුවිය
    කඩෙන් අරගෙන එමු එකක් ඇය බැරිම තැන මට පැවසිය

    අහන දකිනා සියල්ලම වගෙ ක්ෂණික වූ අද ලෝකයේ
    විටෙක සිතෙනව කිසි අමුත්තක් නැතැයි ඇගෙ මෙම රෝගයේ
    අපේ රස, අප එදා විඳි, පොඩිහිටියො හිත්වල කෝ කොහේ
    වරද කොතනද කියා සිතමින් ගිලී යයි සිත සෝකයේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විනීත,
      ගෙදර දොර වැඩ අතින් කළ හැටි රැඳී පවතී මතකයේ
      සියල්ලම දැන් වෙනස් වීමෙන් 'මැෂින්'හැම එකටම තියේ
      කුඩා දරුවන් ලෙසට ගතකළ අපේ සුන්දර ලෝකයේ
      මිහිරි දේවල් යලිත් ඒවිද? මෙවන් 'කලියුග' කාලයේ !

      Delete
  10. අපුරුම සටහනක් කුඩාකල ගත කරපු සොඳුරු අතීතය සිහිපත් කරපු සර්.අත් හුරගෙන කපාගෙන බට අතු කපාලා හදන වෙසක් කුඩුවේ තරම් සුන්දරත්වයක් ප්ලාස්ටික් වෙසක් කුඩුවේ කොළ අලෝලා ලැබෙන්නේ නැහැ. අපේ සුන්දර ඇතිතේ දැන් කාලේ දරුවන්ට අත්විඳින්න නොලැබෙන එක ගැන නම් ඇත්තටම දැනෙන්නේ ලොකු දුකක්.

    ReplyDelete
  11. ස්තුතියි ක්ෂේම භුමි,
    ඔබත් අධ්‍යාපනයේ නිරත කෙනෙක් බව දැන ගත්තා. අපගේ දරුවන්ගෙන් ගිලිහී යන ඉතාමත් සරල වුවද හොඳ සංයමයක් ඇතිවන වෙසක් කූඩුවක් තැනීම වගේ දේවල් වල වැදගත් කම ගැන අපගේ දෙමාපිය වැඩිහිටියන් දැනුවත් කිරීමයි මගේ සටහනේ අභිප්‍රාය. එය යන්තමින් වත් ඉටුවේ නම් සැනසීමක් ලැබිය හැකියි.

    ReplyDelete
  12. ඔබේ නිර්මාණ ශීලිත්වය අගෙයි. මේ හැකියාවන් ම නේ අපි SLASME එකේ දියුණු කරන්න උත්සාහ කළේ නේද ? මාත් දැන් කරන්නේ පරණ ප්ලාස්ටික් අටපට්ටම් රාමුවම අලුත් කොළ වලින් සැරසීම. මෙවර රැල් දැම්මේ ක්‍රේප් වලින්. තව පරණ ඇලුමිනියම් බීම බඳුන් කපා ඒවා තුළ මැටි පහන් තබා අලුත් සැරසිල්ලක් කළා.

    ReplyDelete
  13. ස්තුතියි මාලිනි,
    දැනට දශක පහකට හයකට ඉහතදී, විද්‍යා උපකරණ හිඟ කාලයේදී 'විද්‍යා උපකරණ අනුයෝගිකරණය' නම් ඉතා හොඳ සරල උපකරණ නිර්මාණය කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වූවා.අප අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වූ මුල් කාලයේ රටේ සෑම ප්‍රදේශයකම වාගේ විද්‍යා ගුරුවරුන් සඳහා කාර්ය සැසි පැවැත්වුවා. ඒ කාලයේ ලැබූ හසුරු කුසලතා කවදාවත් අමතක වන්නේ නැහැ.දැනටත් අපතේ යන බොහෝ දේ වලින් යමක් නිර්මාණය කිරීමට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ link එකේ දැක්වෙන අපතේ යන card board පෙට්ටි වලින් කළහැකි සරල නිර්මාණ කිහිපයක් අත්හදා බලන්න
      https://www.youtube.com/watch?v=irMJ_h8kf94&feature=youtu.be

      Delete
  14. /* පසුගිය වසරේ වෙසක් සමයේ, කෘතීම වෙසක් කූඩුවක් ගැන පාඨකයෙකු මාධ්‍යයක පළකර තිබූ පුවතක් මෙසේය. */

    මේ කියන්නේ කවුද කොහේද?
    මගේ බ්ලොගයේ මේ හා අති සමාන ලිපියක් පළ කළා 2017 දී!
    https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html

    ?

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. 2020 වෙසක් උත්සවය මා සැමරූ අයුරු..
    https://www.youtube.com/watch?v=Z6y8VTXiMeo

    ReplyDelete