Friday 27 July 2018

ස්වභාව ධර්මයේ ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක්.


  ස්වභාව ධර්මයේ නිරන්තරයෙන් දකින සියලුම දේවල් හොඳින් නිරීක්ෂණය කළහොත් ඒවායේ යම්කිසි රටාවක් තිබෙන බව අපට  හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් අප දකින දේදුන්නෙහි නිශ්චිත වර්ණාවලියක් තිබේ. VIBGYOR  යන ඉංග්‍රීසි අකුරුවලින් කියැවෙන වර්ණ හතක් (දම්,  ලා දම්, නිල්,කොළ, කහ, තැඹිලි, රතු)   එහි ඇති බව අපි දනිමු. දේදුන්නට වර්ණ හතක් ලැබෙනුයේ, පැහැයක් නොමැති හෝ සුදු පැහැයෙන් යුක්ත හිරු රැස්  අහසේ වලාකුළු වල ඇති සියුම් ජල  බින්දු මත වැටි පරාවර්තනය වීමෙන් සෑදෙන වර්ණාවලිය නිසා බව අපි විද්‍යා පාඩම් වලදී ඉගෙන ගෙන ඇත. 

අපගේ ගෘහාශ්‍රිතව ජීවත්වන කපුටා තද කළු වර්ණයෙන් යුක්ත පක්ෂියෙකු බව නොදන්නා කෙනෙකු නැත. කපුටාට කළු පැහැ පියාපත් ලැබෙනුයේ  වර්ණදේහ වල සුවිශේෂී ජාන එකක් හෝ කිහිපයක් තිබෙන නිසා බවද සත්‍යයකි. 

මෙම සත්‍ය සංසිද්ධි වල පවා කලාතුරකින් සිදුවන විකෘති නිසා අසාමාන්‍ය දේවල් සිදුවන බව නොයෙක් විට නිරික්ෂණය කර තිබේ. මිනිස් වර්ගයා ඇතුළු සියලුම ජීවීන්ගේ පුං භාවය (පිරිමි) හෝ ජායා භාවය (ස්ත්‍රී) තීරණය වනුයේ ඩිම්බ සංසේචන අවස්ථාවේදී එකට සම්බන්ධවන වර්ණදේහ වල සුවිශේෂී ලක්ෂණ සහිත ජාන (genes) නිසාය. මෙහිදී නියමිත රටාවට පරස්පර ජාන සම්බන්ධයක් සිදුවුවහොත් විකෘති සහිත  මනුෂ්‍යයින් පවා හටගනී. මෙසේ සිදුවන බොහෝ විකෘති වීම් විද්‍යාත්මකව අවබෝධ කර ගත හැකිවේ.

විකෘති ස්වභාවයක් පෙන්වන සමහර සංසිද්ධි වලට ජානමය හේතු වලට අමතරව පරිසර හේතුද බලපාන බව පෙනේ. මේ කිසිම හේතුවක් නොමැතිව සිදුවන ස්වාභාවික සංසිද්ධි වශයෙන් පමණක් සැලකිය හැකි දේද වරින් වර දකින්නට ලැබේ. මෙම සටහන එවැනි සුවිශේෂී අවස්ථා කිහිපයක්‌ හඳුන්වා දීමටය.

1.     ෆ්ලැමින්ගෝ පක්ෂියා සහ ෆ්ලැමින්ගෝ පැටවා

අත්ලාන්තික් සාගරයේ බහමාස් දුපත් සමුහයේ ජාතික පක්ෂියා වන ෆ්ලැමින්ගෝ එරට රාජ්‍ය ලාංඡනයේද දකින්නට ලැබේ. ලාරතු පැහැයට හෝ රෝස පැහැයට හුරු පියාපත් සහිත විශාල පක්ෂියෙකු වන ෆ්ලැමින්ගෝ  මීටර් එකක් පමණ උසින් යුක්තය. මුහුදු වෙරළ සහ කලපු ආශ්‍රිතව ජිවත්වන මොවුන්ගේ දීප්තිමත් පිහාටු පැහැය ලැබෙනුයේ ආහාරය සඳහා  ගන්නා සමුද්‍ර ජීවින් සහ ඇල්ගී වර්ග නිසා බව සොයාගෙන තිබේ.

Flamingo යන නම යොදාගෙන ඇත්තේ ඔවුන්ගේ ශරීරය ගිනිදැල්ලක පැහැය ගන්නා නිසාය. මෙම අලංකාර පක්ෂියාගේ පැටවා මවගේ පැහැයට හාත්පසින්ම වෙනස්, සුදු හෝ ළා කහ පැහැයකින් යුක්තය. මොවුන් වසර දෙකක් පමණ ඔවුනට ආවේනික ආහාර ගන්නා  විට මවගේ පැහැය ගනිති. මව අසලක නොසිටියහොත් මෙම කුරුළු පැටවා ෆ්ලැමින්ගෝ පැටවෙකු බව කිසිසේත් කිව නොහැකිය.

2.    තක්කාලි ගෙඩියක් තුළ කුඩා ගෙඩි කිහිපයක්
ඉදුණු තක්කාලි ගෙඩියක් දෙකට කැපු විට පෙනෙනුයේ එය තුළ යම්කිසි රටාවකට බීජ පිහිටිමය. එසේ තිබීම ස්වාභාවිකය. එහෙත් ඉහත රුපයේ දැක්වෙන කැපූ තක්කාලි ගෙඩිය තුළ තවත් කුඩා තක්කාලි ගෙඩි කිහිපයක් දකින්නට ලැබේ. ඒ සියල්ලේමත් බීජද දැකිය හැකිය. මෙය සිදුවිය හැකි ආකාරය සරල ක්‍රියාවලියක් විය නොහැකිය. එය තක්කාලි ඵලය හටගත් පුෂ්පයේ ඩිම්බ කෝෂය තුළ සිදුවූ විකෘතියක් විය හැකිය. නැතහොත්, පුෂ්පය පරාගණයේදී හෝ ඩිම්බ සංසේජනයේදී සිදුවූ විපර්යාසයක් විය හැකිය. 

3.     වර්ණ දෙකක  මිරිස් කරලක්
මෙහි රූපයේ ඇති මිරිස් කරල දෙස බලන්න. එය සත්‍ය ඡායාරූපයකී. මේ මිරිස් කරලේ සහ එහි නටුවේ හරි අඩක් සුදු පැහැ වන අතර අනික් කොටස කොළ පැහැයෙන් යුක්තය. මෙය ජාන විපර්යාසයක් නිසා සිදුවී ඇති දෙයක් බව විශ්වාස කළ හැකිය. එහෙත් ඒ ගැන ස්ථිර නිගමනයක් ලැබී නොමැත.

4.    දම් පැහැති අර්තාපල්
දකුණු ඇමෙරිකාවේ පීරු සහ බොලිවියාව වැනි රටවල වවනු ලබන විවිධ අර්තාපල් අතර, දම් පැහැති අර්තාපල්, සුවිශේෂී එකකි . මෙම අර්තාපල් අලයේ පොත්ත සහ ඇතුළත තද දම් පැහැයකින් යුක්තය. දම් පැහැය හට ගනු ලබන්නේ ඇන්තොසයනින් (anthocyanin) නමැති වර්ණකයක් නිසාය. මීට අමතරව දම් පැහැති අර්තාපල් වල ඇති

තවත් ඖෂධීය ගුණ සහිත රසායන ද්‍රව්‍ය කිහිපයක්, පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යෝග්‍ය බව සොයාගෙන තිබේ. විශේෂයෙන්ම ගුද මාර්ගයේ පිළිකා සඳහා එය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව හෙළිවී ඇත.

5.    සුදු කපුටා

අප නිරතුරුවම  දකින කපුටා තද කළු පැහැයෙන් යුක්තය. ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන සුදු කපුටෙකු පිලිබඳ විස්තරයකි මෙය. කපුටන්ගේ පිහාටුවල කළු පැහැය ඇතිවීමට මෙලනින් (melanin) නම් වර්ණකය අවශ්‍යය. කලින් සඳහන් කළ 
ෆ්ලැමින්ගෝ පක්ෂියාගේ මෙන් නොව කපුටාගේ වර්ණය සහ ඌ ගන්නා ආහාර අතර සම්බන්ධයක් නොමැත. සුදු වර්ණය උගේ ජාන වල සිදුවී අති විකෘතියක් නිසා සිදුවූ දෙයකි. Albinism යනුවෙන් හඳුන්වනු ලබන මෙම ස්වභාවය ‘ඇළිබව’ ලෙස හැඳින්වේ. කපුටාගේ ඇළි බව හටගන්නේ ජානවල විකෘති වීමක් මගින් මෙලනින් නිෂ්පාදනය අඩාළ වීම නිසා බව පක්ෂි විද්‍යාඥන්ගේ මතයයි. ඇළි කපුටාගේ ඇස් ද රෝස පැහැය ගනී. මිනිසුන් අතරද ලක්ෂයකට පස් දෙනෙකු පමණ ‘ඇළියෝ’ සිටින බව හෙළිවී තිබේ.

6.    කාම්බෝජයේ ‘අන්ග්කෝර් වැට්’ ආශ්‍රමයේ ආක්‍රමණික නුග ගසක්


            
කාම්බෝජයේ අන්ග්කෝර් වැට් (Angkor Wat) නමැති ආශ්‍රමය  වසර නවසියයක් පමණ පැරණි බෞද්ධ සහ හින්දු සිද්ධස්ථානයකි. හෙක්ටයාර් දෙසියයක් පමණ පැතිරී ඇති මෙම පුජා භුමිය ලෝකයේ ඇති විශාලතම ආගමික සිහිවටනය වේ. අන්ග්කෝර් වැට් යන නමෙහි අර්ථය ‘සිද්ධස්ථාන නගරය’ ලෙස දැක්විය හැකිය. 1992 වර්ෂයේදී මෙය යුනෙස්කෝව මගින් ජගත් උරුමයක් ලෙස නම්කර, සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ. මෙහි සමහර ගොඩනැගිලි ජරාවාස වී දිරා පත් වෙමින් පවතී. දැනට යුනෙස්කෝව මගින් මෙම ගොඩනැගිලි යථා තත්ත්වයට ගෙන එම සඳහා මහත් පරිශ්‍රමයක් ගනු ලැබේ.  ඡායාරුපයෙන් දැක්වෙන්නේ එවැනි ගොඩනැගිල්ලක් විශාල නුග ගසක මුල්වලින් වෙලාගෙන ඇති ආකාරයයි. නොසලකා හරින ලද ඉදිකිරීමකට මෙවන් ස්වාභාවික ආපදා වලට භාජන වීමට බොහෝ ඉඩකඩ තිබේ. මෙය  Ficus strangulosa  නම් විශේෂයේ නුග ගසකි. strangulosa  යන වචනයෙන් හැඳින්වෙන්නේද තදින් වෙලා ගැනීම වැනි අර්ථයකි.









16 comments:

  1. මෙම ලිපියට ලැබී ඇති අඩු අවධානය හරි අපරාධයක්...
    ඇල්බිනෝ සතුන් ගැන අපිට වතාවක් ලොකු වැරදීමක් උනා...
    ඒ යාලදි දැකපු සුදු පැහැති (ඇල්බිනෝ) දුම් බොන්නෙක් යැයි අප විසින් වැරදියට සිතූ කුරුල්ලෙක් ගැන...
    නමුත් කලකට පසුව ෆොටෝ බැලීමේදී එම පක්ශියා ඊට පෙර ලංකාවේදී වාර්තා නොවූ යුරේසියන් රෝලර් නම් පක්ශියා බව හදුනාගත් මාගේ මිතුරන් විසින් මම ගත් ෆොටෝ කීපයක්ද සමගම අපගේද නම් ඇතුළු වාර්තාවක් නිකුත් කලා...
    එය මා ජීවිතයේ ලැබූ සුවිශේෂී අවස්ථාවක් ලෙස මම හිතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා,
      /විදුලි එළියෙන් රෑ අහස බොඳ නොවිච්ච, වාහන දුමෙන් වාතලය දුෂණය නොවිච්ච රෑ අහසක තරු දිහා බලන්න, ටෙලිවිසන් වල ගොර ගොර සද්දේ නැති නිස්කලංක පරිසරයක මං පුංචි කාලේ හිටපු විදිහටම ආපහු ඉන්න පෙරුම් පුරන්නෙක්මි./
      ඔබගේ නිරික්ෂණය දුටු විගසම මට කලින් හමු නොවූ (Blogs වලින්) කෙනෙකු නිසා තරමක් ඉදිරියට ගියා. මා ද බොහෝ දුරට ඒ ලෙසටම සිතනවා.
      අවධානය අඩුවීම ගැන පසුතැවීමක් නැහැ. ඇසු දුටු දේ, ජීවිතයේ අත්දැකීම්, චාරිකා තොරතුරු ආදිය විවේක ලැබුණු විටක ලියනවා.
      ඉහත සුළු විස්තරයෙන් ඔබ පක්ෂී නිරීක්ෂණය ගැන පළපුරුදු අයෙකු බව පෙනෙනවා. මගේ Blog Post එකකත් සීෂෙල්ස් දුපත්වල කුරුළු දිවයිනේ (Bird Island) විස්තරයක් ලියා ඇති.
      යුරේසියන් රෝලර් හදිසියේම ශ්‍රී ලංකාවේ දැක්කේ කොහොමද? ඌ පර්යටනය වනවාද? නැත්නම් අහඹු සිදුවීමක්ද?
      ඔබගේ නමත් මාගේ ගොනුවට දාගත්තා. නැවත හමුවෙමු.

      Delete
  2. අපට හිතාගන්න බැරි දේවල් ස්වභාව ධර්මයා විසින් කරනවයි කියන්න සාක්ෂි කීපයක්.

    යුද්ධකාලෙ අතෑරල දාල තිබ්බ කෝච්චි පෙට්ටි ටිකක් වහගෙන අරවගේ ගස් වැඩිල තියෙන ඡායාරූප ටිකක් දැනට කාලෙකට කලින් මම දැකල තිබ්බ.

    ReplyDelete
    Replies
    1. ස්තිතුයි ප්‍රසන්න,
      වසර කිහිපයක් තුළදී ශීඝ්‍රයෙන් වැඩි යම්කිසි වස්තුවක් වෙලාගෙන එය විනාශ මුඛයට පත්කරන නිසාම මෙම නුග විශේෂය හඳුන්වන්නේ Ficus strangulosa කියා. ගාලු පාරේ රත්මලාන මොරටුව හරියේ මැද බිම් තීරුවේ සිටුවා තිබෙන 'රෝබෝරෝසියා'(Tabebuia rosea) ගස් වලින් අඩකට වඩා දැන් මේ තර්ජනයට ගොදුරුවෙලා. (කලකට පෙර මේ ගැන බලධාරීන් දැනුවත් කළා. එහෙත් මේ වන තුරු එයට පිළියමක් කර නැහැ) කොළඹ බස් නැවතුම් පළේ (ඕල්කොට් මාවතේ) පිළියන්දල / හොරණ බස් නතර කරන ස්ථානයේ තාප්පයේත් මෙවන් දැවැන්ත ගසක් වැඩෙමින් තිබෙනවා. කලකදී මෙයත් මහා කරදරයක් විය හැකියි.
      සමහර ස්ථාන වල මේ කරදරකාරී ආක්‍රමණික රූස්ස ශාක ඉවත් නොකරනුයේ, මිත්‍යා අදහස් නිසා, ඒවා අදෘශ්‍යමාන 'දෙවියන්' හෝ 'භූතයන්ගේ' වාස භුමි සිතා විය යුතුයි.

      Delete
  3. ඇලි කපුටො ඇලි මොනරු ඇලි අලිද ලෝකේ වෙතී
    වලි නැතුව උන් කැලේ සැරිසරා ජීවත් වෙතී
    පිළි ගනිමු විවිධත්වෙ නිසා ලස්සන ඇතී
    යළි යළිත් මෙවැනි ලිපි බැලීමට ඉවසුම් නැතී....

    ( උසස්පෙළ ජීව විද්‍යා පාඩම යළිත් සිහිවෙනවා ඔබ තුමාගෙ ලිපි කියවද්දි )

    ජයවේවා!!!

    ReplyDelete
  4. ස්තුතියි දුමී,

    ක ලි යුගේ හැටි මෙයයි කියමින් බොහෝ විට මගහැරී ගොස් ඇති
    හෙළි නොවූ රසවත් නොයෙක් දේ පරිසරය තුල සැඟවිලා වෙති.
    පි ළි වෙලට මේවා දකින්නට විදු දැනුම ඔස්සේම යමු නීති
    ය ළි යලිත් මෙම කරුණු සෙවුමට රුකුලක්ය. ඔබ සැමගෙ තුති.

    ඔබට ජයම !

    ReplyDelete
  5. මේ වගේ විකෘති ගැන කියත්දි පහුගිය කාලෙ අපේ කාර්යාලෙ කාකාස විදිහට හිටි නානා කියපු කතාවක් මතක් වුනා. අරාබි රටක පිපිඤ්ඤා කුලයේ වැලක හැදිච්ච ගෙඩ්ඩක අරාබි ශුද්ධ වචනයක හැඩයක් මතුවෙලා. ඒ ගෙඩ්ඩ ඉස්ලාම් ආගමික නිකායක් විසින් අහස පොලව නුහුලන ගානකට අරං ඒක පෙන්නලා අල්ලාහ් දෙයියන්ගෙ මැවුමක් කියල සෑහෙන ප්‍රදර්ශනයක් තියල තිබුණා. නානා කියපු හැටියට ඒ වගේ එකක් හම්බවුනොත් ඒක විකුණල කෝටි ගානක් ගතහැකි. මොකක් නමුත් ගස් ගෙඩ්ඩක් ළපටි කාලෙ පොත්ත තැලෙන ආකාරයට මොට තුඩකින් හැඩයක් ඇන්දම ගෙඩ්ඩ ලොකු වෙද්දි අර හැඩෙත් මතුවෙන බව මං නානට කියාදුන්නා. අනේ ඒකගෙ මොලේ ඉඳියාප්පෙට වැහිලා ඌ ඒක පිළිගන්නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග,
      ඔබේ අත්දැකීමකුත් එකතු කළ එක හරි අගෙයි.
      මම දැකලා තිබෙනවා කොමඩු ගෙඩිය හොඳටම ලපටි අවස්ථාවේදී වැලේ තිබියදීම හතරැස් ලී පෙට්ටියකට දමා වැඩෙන්නට හැර හරි හතරැස් කොමඩු ගෙඩියක් ලබාගත් අවස්ථාවක්.
      පසුගිය කාලයේ නිකවැරටිය පැත්තේ බෝගසක පිටපොත්ත වර්ධනයේදී ස්වාභාවිකව සෑදී තිබුණු එක්තරා හැඩතලයක් කලින් කිව්වා වාගේ වෙනත් ආගමික නායකයෙකුගේ හැඩරුවට සමන බව කියමින් වන්දනාමාන පවා කළා. බොහෝ මිනිසුන්ට අන්ධානුකරණය සහ යතාර්ථය තේරුම් ගැනීමට ඇති නොහැකියාව නිසා ස්වභාව ධර්මයේ මෙවැනි අසිරිමත් දේවල්වලටත් විවිධ අර්ථ කථන ඉදිරිපත් කරනවා.

      Delete
  6. ඉස්තූතියි වටින තොරතුරු ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනුක,
      ඉඩ ලැබෙන ආකාරයට තවත් තොරතුරු ලියන්නම්. නැවත හමුවෙමු.

      Delete
  7. I'm sorry I can't comment on your blog using laptop. I'm using the phone which has no Sinhala font.
    You might be interested in this :-
    www.quora.com/if flamingos turn pink because they eat shrimp, can we change their color by changing their diet?

    ReplyDelete
  8. Thank you Pra Jay,
    Went through the Quora forum.
    Yes there are instances where the feather colour of Flamingos has changed due to diet (NZ). (It has happened in Homo sapiens also due to eating too much carrot. This has not been confirmed.... Is it gossip?)

    ReplyDelete
  9. බෝම වටින ලිපියක්...

    මං ඉන්න රටේ මම දැකල තියනව පාට දෙකේ හරක් පට්ටි... පට්ටියෙ ඉන්න ඔක්කොම හරක් කලු පාටයි, ඇඟ මැදින් සුදු පාට ඉරක් ගිහින්... වෙන් කරල අදුන ගන්න බැරි තරම් එක වගේ... හොයල බලනකොට මේක ඕනෙකමින්ම කරපු ජාන විකෘතියක්, තමන්ගෙ පට්ටියෙ සත්තුන්ව අඳුන ගන්න ලේසි වෙන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි 'යහපත් දකින්නා' (සක්ඛාය දිට්ඨි)
      ජාන විකෘති කිරීම ප්‍රයෝජනවත් කරුණක් සඳහා යොදා ගන්නා එක උදාහරණයක් තමයි ඔබ දක්වා තිබෙන්නේ. මෙසේ සකස් කර ගන්නා ශාක සහ සතුන් pure lines (නුමුහුන් උප විශේෂ) ලෙස හඳුන්වනවා. රබර්, වී වැනි වගා වලත් මෙවැනි උප විශේෂ නිපදවා තිබෙනවා. මේවා මිනිසා විසින් තාක්ෂණය උපයෝගී කර සකස් කළ ඒවා. එහෙත් ස්වාභාවිකව සිදුවන සමහර විකෘති විද්‍යාත්මකව වුවත් විස්තර කිරීම අපහසුයි.

      Delete