Friday 1 June 2018

සමානාර්ථ පද (Synonyms) පිලිබඳ ගැටළුවක්.....


   ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයෙක් වූ, මගේ මිත්‍රයෙකු, තම සිසුන් විසින් නිතරම වැරදී සහගතව භාවිතා කරන, ඉංග්‍රීසි සමානාර්ථ පද යෙදුම් පිලිබඳ විස්තරයක්‌ මෑතදී මා සමග සාකච්ඡා  කළේය. එම යෙදුම්, භාෂා ව්‍යවහාරයේදීත් ලිවිමේදීත් දකින්නට ලැබෙන නිසා එයින් කිහිපයක් නිවැරදි කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි, විස්තර සහිත සටහනකි මේ.

1.     Great Britain and United Kingdom  (මහා බ්‍රිතාන්‍යය  සහ එක්සත් රාජධානිය)        

              
බ්‍රිතාන්‍ය දූපත් ආශ්‍රිත මෙම ගැටලුව විසඳා ගැනීම පිණිස   Anna Debenham විසින් සකස් කර තිබෙන ‘වෙන්’(Venn) සටහනක් යොදා ගත හැකිය.
(කහ-  මහා බ්‍රිතාන්‍යය, රතු -එක්සත් රාජධානිය, නිල්-බ්‍රිතාන්‍ය දුපත්, කොළ-අයර්ලන්තය)

බ්‍රිතාන්‍ය දුපත් - මෙහි තිබෙන රටවල් වන  එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය, අයර්ලන්ත සමුහාණ්ඩුව සහ කුඩා දුපත් දහස් ගණනක්‌ බ්‍රිතාන්‍ය දූපත් ලෙස නම් කෙරේ.  
මහා බ්‍රිතාන්‍යය - එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, සහ කුඩා දුපත් සහිත ප්‍රදේශය මහා බ්‍රිතාන්‍යය වේ.
එක්සත් රාජධානිය - එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය සහ කුඩා දුපත් සහිත ප්‍රදේශය එක්සත් රාජධානිය නමින් හැඳින්වේ.
අයර්ලන්තය සහ  අයර්ලන්ත සමුහාණ්ඩුව - දකුණු අයර්ලන්තය පමණක්  යර්ලන්ත සමුහාණ්ඩුව ලෙස පෙනී සිටී.
එංගලන්ත, ස්කොට්ලන්ත, වේල්ස සහ උතුරු අයර්ලන්ත ජාතිකයෝ  මහා බ්‍රිතාන්‍ය පුරවැසියෝ වෙති. එහෙත් වෙනම රටවල් දෙකක් ලෙස සැලකෙන උතුරු අයර්ලන්තයේ සහ දකුණු  අයර්ලන්තයේ  පුරවැසියෝ අයිරිෂ් ජාතිකයෝ වෙති. ඉංග්‍රීසි ජාතිකයින් වනුයේ එංගලන්තයේ පුරවැසියන් පමණකි.

2.     Poisonous and Venomous  ( විෂ සහිත සහ විෂ ඝෝර)  
                 



දිලිරයක බිජාධරය ලෙස පැන නගින හතු වර්ග, පෝෂ්‍යදායි ආහාරයකි. එහෙත් අතරින් පතර දකින්නට ලැබෙන ‘නයි හතු’ වැනි හතු විශේෂ  විෂ සහිතය. විෂ හතු වල තිබෙන  α-amanitin නමැති විෂ රසායන සංයෝගය වකුගඩු සහ අක්මා ක්‍රියාකාරිත්වය අඩපන කරනු ලබයි. එසේම නියඟලා ශාකයේ අලයේ  යුෂය ශරීර ගත වුවහොත් මාරන්තික වේ. මෙම ශාක  පොදුවේ poisonous  (විෂ සහිත) ලෙස හැඳින්වේ.

නාගයින් පොළඟුන් වැනි විෂ ඝෝර සර්පයින් දෂ්ට කිරීමේදී, ඔවුන්ගේ   ඛේඨ  ග්‍රන්ථි වල සිට විෂ දළ ඔස්සේ  ගලායන  උග්‍ර විෂ නිසා එම සතුන්  (venomous) ලෙස හැඳින්වේ. නාග විෂ රුධිර පද්ධතිය හරහා ශරීර ගත වන අතර පොළොං විෂ ස්නායු පද්ධතියට හානි පමුණුවයි.

3.     Turtle and Tortoise  (කැස්බෑවා සහ ඉදිබුවා)
                    


කැස්බෑවා සහ ඉදිබුවා බාහිර ස්වරුපයෙන්ම පහසුවෙන් වෙන්කර හඳුනා ගත හැකිය. මොවුහු පෙනහැලි මගින් ස්වසනය කරන උරගයෝ වෙති. මුහුදු කැස්බෑවා මුහුදේ ජිවත් වන අතර බිත්තර දැමීම සඳහා පමණක් ගොඩ බිමට පැමිණේ. මිරිදිය විල් ආශ්‍රිතව ජිවත්වන කැස්බෑවන් දිය ගොඩ දෙකෙහිම වාසය සඳහා හැඩගැසී ඇත. පිහිනීම සඳහා අනුවර්තනය වි ඇති කැස්බෑවන්ට, ශරීරය සුමට හැඩයකින් යුක්ත වන අතර පිහිනීම  සඳහා සකස් වූ, පටලයකින් බැඳුනු ඇඟිලි සහිත පාද තිබේ. මුහුදේ වෙසෙන මත්ස්‍යයින්, ඉස්සන් ස්පන්ජි වැනි දේ ආහාරයට ගනිති.

ඉදිබුවෝ ගොඩබිම පමණක් වාසය කරන අතර ඔව්හු පිහිනීමට දක්ෂයෝ නොවෙති. ස්ථුල ශරීරයක්‌ ඇති ඉදිබුවන්ගේ පාද ස්ථම්භ ආකාරයට ගොඩබිම ජීවත්වීම සඳහා අනුවර්තනය වි තිබේ. බොහෝදුරට ශාක භක්ෂකයින් වන ඉදිබුවෝ බිම් මට්ටමේ වැඩෙන ශාක ආහාරයට ගනිති.  

4.     Weather and Climate  (කාලගුණය සහ දේශගුණය)

          
අපගේ වටපිටාවේ, එදිනෙදා, විටින් විට පවතින ස්වභාවය කාලගුණයයි. මෙය තීරණය වනුයේ යම්කිසි අවස්ථාවක පවතින වායු ගෝලීය උෂ්ණත්වය සහ පීඩනය, වර්ෂාපතනය, ආර්ද්‍රතාව, සුළඟ,  වළාකුළුවල විසිරීම වැනි කරුණු රාශියක බලපෑම නිසා ඇතිවන ස්වභාවික තත්ත්ව නිසාය.

දේශගුණය, කලගුණයට වඩා ඉඳුරාම වෙනස් ස්වභාවික සංසිද්ධියකි. එය දිගු කාලයක් තිස්සේ බලපැවැත්වෙන කාලගුණය සඳහා අවශ්‍ය සාධක සියල්ලේම, දිගු කාලීනව සිදුකරන බලපෑමයි. උෂ්ණත්වය, වර්ෂාපතනය වැනි සංසිද්ධි වල මිනුම් දිගු කාලයක් ඔස්සේ ලබාගෙන ඒ ආශ්‍රිතව හඳුනාගන්නා රටා අධ්‍යයනය කිරීමෙන් කාලගුණය පිලිබඳ පූර්ව නිගමන වලට එළඹිය හැකිය. 

5.     Prawn and Shrimp   (ඉස්සා සහ කුනිස්සා)

ඉස්සා සහ   කුනිස්සා බොහෝ දුරට එකාකාර වුවත් ඔවුන් අයත් වනුයේ විශේෂ දෙකකටය. ඉස්සාගේ පාද යුගල තුනක ඩැහි අඬු (forceps) වැනි නිය තිබීමත් කූනිස්සාගේ පාද යුගල දෙකක පමණක් එම නිය තිබීමත් පහසුම  හඳුනා ගැනීමේ ලක්‍ෂණය වේ. සමහර අවස්ථාවලදී ශරීර ප්‍රමාණය කුඩාවුන් කූනිස්සන් ලෙසද ශරීරය තරමක් විශාලවුන් ඉස්සන් ලෙසද නම්කරනු දකින්නට ලැබේ. එහෙත් කූනිස්සනට වඩා කුඩා ඉස්සන්ද, ඉස්සන්ට වඩා විශාල කූනිස්සන්ද සිටින බව වාර්තා වී ඇත. මිට අමතරව ඉස්සා තම බිත්තර ජලයට මුදා හරින අතර කූනිස්සා උගේ බිත්තර පරිණත වන තුරු උදරීය පැත්තේ කැදැල්ලක් මෙන් තබා ගනියි.

මෙම විශේෂ දෙකම අමෙරිකානුන් හඳුන්වනුයේ shrimps ලෙස වුවද ඔස්ට්‍රේලියාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ විශේෂ දෙකම prawans  යනුවෙන් හැඳින්වේ. කෙසේ වෙතත්, ජීව විද්‍යාත්මක කරුණු සඳහා  මොවුන් විශේෂ දෙකක් ලෙස සැලකේ.

6.     Capsules and Tablets  (බෙහෙත් කරල් සහ බෙහෙත් පෙති)



රෝගීන්ගේ අසනීප සුව කිරීම සඳහා, බටහිර වෛද්‍ය ක්‍රමයේ බෙහෙත් කරල් සහ බෙහෙත් පෙති බහුලව භාවිත වේ. අපගේ දේශීය වෛද්‍ය ක්‍රමයේද, අනාදිමත් කාලයක සිටම බෙහෙත් ගුලි සහ බෙහෙත් කුඩු භාවිත කර තිබේ. බෙහෙත් කරල සහ බෙහෙත් පෙති හැඩයෙන් පමණක් නොව තවත් ලක්‍ෂණ වලින් එකිනෙකට වෙනස් වේ. අදාල බෙහෙත් වර්ගයේ නියමිත මාත්‍රයක්‌ කුඩු වශයෙන් බෙහෙත් කරලක් තුළ තිබෙන අතර, බෙහෙත් පෙත්තක, කුඩු වශයෙන් සකස් කර නියමිත මාත්‍රය අධි පීඩනය යටතේ එකට තදින් බැඳී තිබෙන ලෙස යන්ත්‍රානුසාරයෙන් සකස් කර තිබේ.

බෙහෙත් කරලක ඇති ආවරණය, ජෙලටින් වැනි පහසුවෙන් දිය වන ද්‍රව්‍යයකින් සකස් කර ඇත. මෙම දෙවර්ගයේම ඇති ඖෂධ ගිලීමෙන් පසු ආහාර මාර්ගයේදී අවශෝෂණය වේ. බේත් කරල්වල ඇති ඖෂධ බෙහෙත් පෙති වල ඇති ඖෂධ වලට වඩා පහසුවෙන් අවශෝෂණය විය හැකිය.    

7.     Jam and Jelly  (ජෑම් සහ ජෙලි)


ජෑම් සහ ජෙලි යන ප්‍රණිත ආහාර දෙකම සකස් කිරීම සඳහා පාදක කර ගනු ලබන්නේ ඉදුණු පලතුරු වේ. මෙම දෙවර්ගයේ ප්‍රධානතම වෙනස වනුයේ ජෑම් සෑදීම සඳහා සිහිනියට අඹරා ගන්නා ලද පලතුරු භාවිත කරන අතර ජෙලි සඳහා පලතුරු යුෂ භාවිත කිරීමයි.

ජෑම් වල ඇත්තේ අඹරා ගත් පලතුරු සහ එම පලතුරෙහිම යුෂයත්  බැවින් උකු ස්වහාවයක පවතී. මේ  නිසා පාන් පෙත්තක් වැනි ආහාරයක ජෑම් පහසුවෙන් තවරා ගත හැකිය. ජෙලි වල ඇත්තේ පලතුරු යුෂ පමණක් නිසා එය උකු කර ගැනීම පිණිස සීනි සහ පෙක්ටින් මිශ්‍රකර උණු කර ගනු ලැබේ. මෙහිදී සිනි වලින් රස වැඩි කර ගැනීම සහ පෙක්ටින් වලින් උකු භාවය ඇතිකර ගැනීම සිදුවේ. මෙසේ සකස් කරනු ලබන ජෙලි  පාන් පෙත්තක් වැනි ආහාරයක පහසුවෙන් තවරා ගත හැකිය.  
----------------------------
මෙහි දැක්වුයේ උදාහරණ කිහිපයක් පමණකි. මෙවැනි, වැරදි ලෙස භාවිත කරන සරල යෙදුම් තව බොහෝ ඇත.

භාෂාව ව්‍යවහාරයේදී සහ ලිවිමේදී පැහැදිලි අවබෝධයකින් තොරව  කරනු ලබන මෙවැනි වැරදි, බොහෝ විට අසන්නට දකින්නට ලැබේ. විශේෂයෙන්ම,  පාසැල් සිසුන් මෙවැනි අව්‍යක්ත යෙදුම් හැකි තරම් දුරට මග හරවා ගැනීමට උනන්දු වන්නේ නම්, එය භාෂාව හරිහැටි අවබෝධ කර ගැනීම සඳහා මහත් රුකුලක් වනු ඇත. ඉංග්‍රීසි පමණක් නොව, මවු බස වන සිංහල යෙදුම් වලදීත් හමුවන මෙවැනි වචන පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරන මෙන් කාරුණික ඉල්ලීමක් කරමි.               




8 comments:

  1. සම නල සලබ දෙදෙනා එක වගෙ නේද
    එම දෙපදයත් වරදන අය ඇති නේද
    සම වන එවැනි තව බොහො දේ ඇති නේද
    නිම නොකරවා මේ ගැන තව ලියනවද....

    ස්තූතියි.
    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තුතියි දුමී,
    සම න ල සලබ හැඩරුව එක වගේ තිබේ
    ගහකොළ වලත් මේ අසිරිය දකිනු ලැබේ.
    බස හෙළ හොඳින් විමසූවිට වියත් සබේ
    වැකි වල අරුත හොඳහැටි මතුවේය ඉබේ
    ඔබට ජයම !

    ReplyDelete
  3. බැච් - බැජ්
    බැච් - කණ්ඩායම
    බැජ් - ලාංඡනය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      බෝහෝ දැන උගත් කම් සහිත යයි සිතෙන අය පවා මේ වැරැද්ද කරනවා අසා තිබෙනවා. ඉංග්‍රීසිය 'කඩුව' යන නමින් හඳුන්වා පැත්තකට විසි කර දැමීමට උත්සාහ කළ කාලයකුත් තිබුණානේ. ඔය වගේ නොගැලපෙන යෙදුම් බිහි උනේ ඒ කාලයේ යයි සිතන්නට පුළුවනි.

      Delete
  4. දයාරත්න වීරසේකර මහතා ඇමතීම සඳහා
    මිස්ටර් දයාරත්න (වැරදි යෙදුමකි)
    මිස්ටර් වීරසේකර (නිවැරදි)

    ReplyDelete
    Replies
    1. මේ වැරැද්ද පාසල්වල අදත් කරනවා. වසන්ති මිස්, ආනන්ද සර් ආදී වශයෙන් තම ගුරු මහත්මා මහත්මීන් හැඳින්වීම දැන් 'fashion' එකක් වෙලා වගෙයි. දැනට වයස්ගත අය ගුරුවරු ලෙස සේවය කරන කාලයේ මේ වැරදී යෙදුම ගැන දරුවන් දැනුවත් කළා. අද ඒ ගැන උනන්දුවක් නැති පාටයි.

      Delete
  5. A very good post. Once I had to explain the difference between poisonous and venomous to a snake expert !
    I told him that a snake can't poison you unless you eat it.
    Btw, I use the following for the noun :-
    Poison - වස
    Venom - විස

    ReplyDelete
  6. Thank you Pra Jay,
    සිංහලයේ 'වස විස' නම් යුගල පදය යෙදෙන්නේ මෙම ගැඹුරු අර්ථය නිසා විය හැකියි.
    As I can see, even the 'snake expert' has not understood the correct meanings of the two words!

    ReplyDelete