Monday 25 June 2018

මී මැස්සන්ට ‘අපලයක්’. අපට ආහාර අර්බුදයක් .......!


·       සපුෂ්ප ශාකවල පලදාව අඩුවී යාම .......
·       මල් පරාගණය කරන කෘමින්ට තර්ජනයක් !

දැනට දශක පහකට පමණ ඉහතදී ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනයෙහි මහත් පෙරළියක් ඇතිකළ, එසේම පාසැල් සිසුන් අතර ඉතාමත් ජනප්‍රිය වු  “ව්‍යාපෘති” (Projects) වැඩසටහන වසර කිහිපයකදී හේතු රහිතව මෙන්, අත්හැර දමන ලදී. එම වැඩසටහනේ සම්පත් දායකයෙකු ලෙස නිරත වු මා හට දකින්නට ලැබුණු සිද්ධියක් අද ජගත් ගැටළුවක් බවට පත්වී ඇති බව පෙන්වීම පිණිස මෙම සටහන තබමි.

කුරුණෑගල  දිස්ත්‍රික්කයේ විදුහලක උසස් පෙළ සිසුන්ගේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබුණේ රසායනික පොහොර නොයොදා ගෙරිකටු, ගොම පොහොර, කොළ පොහොර වැනි දේ පමණක් භාවිත කරමින් වගා කළ කුඹුරකි. ඔවුන්ගේ නිරික්ෂණ වලට අනුව, පිට පිට කන්න කිහිපයකදීම එම කුඹුරෙන් සාර්ථක අස්වැන්නක් ලබා ඇත. ඒ සමගම එම කුඹුර මායිමේ තිබුණු පොල් ගස් කිහිපයකද සරුසාර පලදාවක් ලැබෙන බවද ඔවුන් ව්‍යාපෘතියේ අතුරු ඵලයක් ලෙස සටහන් කර තිබුණි. 

ඊළඟ වසරේ යම්කිසි කෙනෙකුගේ නිර්දේශයක් මත (අස්වැන්න වැඩිකර ගැනීම සඳහා) කුඹුරට රසායනික පොහොර යෙදීමටත්, ගොයම පීදි ගෙන එන අවස්ථාවේදී කෘමි නාශක ඉසීමටත් තීරණය කර ඇත. 

එම වසරේ මුල් කන්නයේදී ගොයමේ අස්වැන්න තරමක් වැඩිවූ බව වාර්තා විය. 

ඒ සමගම ඒ වසරේ පොල් ගස් කිහිපයේ පලදාව බෙහෙවින් අඩුවී ඇති බවද ඔවුන්ගේ දත්ත වල සටහන් කර තිබිණ.

පොල් පලදාව අඩුවීමට ප්‍රධාන හේතුව වශයෙන් එම සිසුන් අවධාරණය කර තිබුණේ, කුඹුරට යොදන ලද කෘමි නාශක නිසා, පොල්ගස් වල මල් පරාගණය කරනු ලබන මිමැස්සන් සහ අනිකුත් කෘමින් විනාශ වු නිසා වියහැකි බවය.

එම ව්‍යාපෘතියේ ප්‍රධාන සම්පත් දායකයා වු මම, එම ව්‍යාපෘතියෙන් ලබාගෙන ඇති නිරීක්ෂණ ඉතා වැදගත් බවත්, අනාගතයේදී තවදුරටත් පර්යේෂණ කිරිමට සුදුසු පිවිසුමක් බවත්  නිර්දේශ කර අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කළෙමි. එම ව්‍යාපෘතිය දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යාපෘතිය ලෙස තේරී තිබිණ.

මෙම  සරල සිද්ධිය අද ලෝක අවධානයට ලක්වී තිබේ. කෘමි නාශක නිසා මීමැසි ගහනය ආපදාවට පත්වීම අනාගත ආහාර හිඟයකට මුලික විය හැකි බව අද තේරුම් ගෙන තිබේ.  එදා, වසර පණහකට පමණ ඉහතදී, අපගේ සිසුන් විසින් කරන ලද ඒ පර්යේෂණයට අත හිත දී කටයුතු කරන්නට ලැබුණා නම්, මේ වැදගත්  සංසිද්ධිය සොයා ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වන්නට ඉඩකඩ තිබුණි.
  
එහෙත් අපගේ තරුණ පරම්පරාව එවැනි  මං ඔස්සේ යොමු කිරිමට තිබෙන ඉඩකඩ තවමත් බොහෝ සෙයින් ඇහිරී ඇති බව මගේ විශ්වාසයයි.

(https://default.salsalabs.org/Tcb4cdb21-caef-4007-b91c-96f1e6f0f3e6/e12a69c0-63cb-4920-a0b0-56d202e5a856)

මල් පරාගණය සඳහා සත්තු විශාල මෙහෙවරක් කරති.

අද තත්ත්වය මෙසේය.

‘මිහිකත දින ජාලය’ (Earth Day Network) නමැති ලෝක ව්‍යාප්ත පරිසර සංරක්ෂණ සංවිධානය මගින් 2018, වසරේ ජුනි මස අවසාන සතිය ‘ජගත් මීමැසි සංරක්ෂණ සතිය’ (world bee conservation week) ලෙස නම්කර තිබේ. මුළු ලොවටම බලපාන මෙවැනි වැඩ සටහනකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න වටහා ගැනීම වැදගත් වේ. මෙයට පිවිසුමක් වශයෙන් අපගේ ආහාර ගැන මඳක් විමසිලිමත් වෙමු.

මිනිසාගේ ආහාරය වශයෙන් ගනු ලබන ගෙඩි වර්ග, කරල් වර්ග, ඇටවර්ග, පලතුරු වර්ග ආදිය හටගන්නේ එම ශාකවල පිපෙන මල් වලිනි. මලකින් ඵලයක් හටගැනීම සඳහා එයට අදාළ පුං ජන්මාණු සහ ජායා ජන්මාණු, එකතුවීම  සාර්ථක පරාගණයක් මගින් සිදුවිය යුතුය. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වනුයේ මීමැස්සන්, සමනලයින් වැනි කෘමින්ය. 

මල් පරාගණය කිරිමට ආධාර වන මිමැස්සන් ඇතුළු අනිකුත් කෘමින් මිනිසාට හිතකර, ලොව සිටින ප්‍රධාන ගණයේ සත්ත්ව විශේෂ ලෙස පිළිගැනේ. අපගේ ආහාරය සඳහා ගනු ලබන පලවැල හටගන්නා ශාකවල මල් පරාගණය සිදු නොවුවහොත් ටික කලකදීම අහාර හිඟයක් සිදුවිය හැකි බව අනුමාණ කර තිබේ. මෑතදී කරනලද ගණනය කිරීම් වලට අනුව පරාගණය ඇනහිටියහොත් ජගත් ශාක ආහාර නිෂ්පාදනයෙන් සියයට තිස්පහක් පමණ අඩුවන බව සොයාගෙන ඇත. 

එමෙන්ම පරාගණය සිදු නොවුවහොත් ඊළඟ කන්න සඳහා වගා කිරිමට බිජද නොලැබී යනු ඇත.

මෙම විද්‍යාත්මක නිරීක්ෂණයට අදාළ, මීමැසි ගනාවාස වල අර්බුදය ‘ගනාවාස  පිරිහීමේ අවුල’ (colony collapse disorder) ලෙස නම්කර තිබේ.මේ අවුලට ප්‍රධානම හේතුව වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ, මිනිසාගේ අපරීක්ෂාකාරී, පලිබෝධ නාශක භාවිතයයි. 

දැනට දශක කිහිපයක සිට ඕනෑම භෝග වගාවකට පලිබෝධ  නාශක යෙදීම සිරිතක් වශයෙන් කරගෙන යනු ලැබේ. ඒ සමගම සමහර පලිබෝධ ඉක්මණින්ම, නාශක ද්‍රව්‍ය වලට එරෙහිව අනුවර්තනය වෙමින් සිටින බවක්ද පෙනේ. දැන් මෙය විෂම චක්‍රයක් වී අවසානය. වගාවන්ට අහිතකර පලිබෝධයන් විනාශ කිරීම සඳහා යොදනු ලබන රසායනික නාශක නිසා මිමැස්සන්, සමනලයින් වැනි පරාගණය සඳහා විශාල මෙහෙයක් කරන කෘමින්ද විනාශ වේ.

විශේෂයෙන්ම ගනාවාසි මීමැස්සන්ට පලිබෝධ නාශක නිසා මෙතෙක් සිතූ නොවිරූ උපද්‍රවයකට මුහුණ පෑමට සිදුවන බව මෑතදී නිරීක්‍ෂණය කර තිබේ. අප විසින් නිරතුරුවම භාවිත කරන පලිබෝධ නාශක සහ කෘමි නාශක වල (බොහෝවිට ‘ජෛව වියෝජනය වන’ හෝ ‘විෂ රහිත’ ආදී වශයෙන් නම් කර පවා ඇති) අඩංගු රසායන ද්‍රව්‍යයන්හි  අංශු මාත්‍රයකින් පවා මී මැස්සන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකිය. 

මල්පැණි සොයා යන මී මැස්සෙකු වාතයේ හෝ ශාකයක පතිත වී තිබෙන මෙවැනි රසායන ද්‍රව්‍යයක  ගැටුණු විට එම මී මැස්සාගේ ස්නායු පද්ධතියේ ව්‍යාකුල බවක් හටගෙන  සාමාන්‍ය චර්යා රටාව අවුල් සහගත වෙයි. බොහෝවිට මෙම තත්ත්වයට පත්වූ මී මැස්සෝ තම ගහණය සොයා ගැනීමට නොහැකිව මංමුලාවී විනාශයට පත්වෙති.
මේ සම්බන්ධයෙන් උතුරු ඇමෙරිකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව එහි සිටින මීමැසි විශේෂ හත්සියයක් පමණ මෙම අර්බුදයට මුහුණ පා සිටින බව සොයාගෙන තිබේ. එහි ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ (centre for Bio-diversity) වාර්තාවකට අනුව මෙම මීමැසි විශේෂ වලින් අඩකගේ පමණ ගනාවාස පරිහානියට ලක්ව ඇති බවත්, එයින් විශේෂ සියයට විසිපහක් පමණ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බවත් හෙළිවී ඇත.  (http://time.com/4688417/north-american-bee-population-extinction/)
අදටත්, හෙටටත්, අනාගතයටත් අපගේ ආහාර වගා රාශියක, පරාගණ කාර්යය සඳහා මිමැස්සන් අවශ්‍ය වේ. මේ නිසා මීමැස්සන් වැනි අපට හිතකර කෘමින් විනාශ මුඛයට පත්වීමට හෝ ඔවුන් වඳවී යාමට කිසිසේත් ඉඩදිය නොහැකිය. මෙයට හොඳම පිළියම වශයෙන් කෘමි නාශක හෝ පලිබෝධ නාශක භාවිතය අවම කර, පරිසරය සුරැකීමේ මහඟු සේවයට අතහිත දීමට  අදිටන් කර ගනිමු.
බොහෝ අවස්ථාවලදී අනිසි විපාක පිලිබඳ නොදැනුවත්කම නිසාම අනවශ්‍ය දේ සඳහාද කෘමිනාශක භාවිත කරන බව දකින්නට ලැබේ. එක් මැස්සෙකු, කැරපොත්තෙකු ඉවත් කිරීම සඳහා කිහිපවරක් කෘමි නාශක ඉසිනු සමහර අවස්ථාවලදී අපට දකින්නට ලැබේ. මේවා පිලිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අපගේ සිවිල් සංවිධානද පියවර ගන්නේ නම් ඒ මගින් ලෝකයේ යහ පැවැත්ම සඳහා මහඟු සේවයක් කළ හැකි වනු ඇත.
“මිනිස් සංහතියට සහ අනිකුත් සත්ත්ව සමූහයාටම ජීවත්වීම සඳහා ඇත්තේ එකම පෘථිවියක් පමණකි. අපි එය රැක ගනිමු.” 





8 comments:

  1. දකින දකින හැම වගා බිමකම විශැති නාශක දම දමා
    කරන හානිය නොදන්නෙද අපි කරමු පරිසරයට පෙමා
    කෙරෙන සේවය දැණන් මීමැසි රකිමු සැනෙකින් අප සැමා
    වටින පරිසර ලිපි ලියූවට ස්තූති දෙන්නෙමි හිස නමා.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,

      දැනුම් සම්බාරයත් වැඩිවෙයි පරතෙරක් නැති බව පෙනෙන්නේ
      නොදන්නා කම නිසාමයි අද බොභෝ කරදර ළඟා වන්නේ
      පැරණි හණමිටි කර තබාගෙන නොවෙද සමහරු මග දකින්නේ
      ඉතින් කෙලෙසද අපට අද හෙට යලිත් හොඳ කල උදා වන්නේ ?

      ඔබට ජයම !


      Delete
  2. https://www.newscientist.com/article/dn25615-dancing-honeybees-assess-the-health-of-the-environment/

    ReplyDelete
    Replies
    1. Thank you Pra Jay,
      Went through the note given by your link.I think the idea of considering bees as monitoring agents of quality environment is controversial. I have noted honey bees being attracted even towards rubber plantations when the trees are blooming with flowers during the months of March and April, even after the plants are treated with sulphur dust for leaf rot fungus.

      Delete
  3. මී මැස්සො සමනළයො වගේම ඉස්සර මේ පැත්තෙ බහුලව හිටිය ගේකුරුල්ලොත් දැන් දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.

    වගාකරන මිනිස්සු දැනුවත් කරන්න තියෙන ආයතනයත් ඒ මිනිස්සුන්ට මේ ගැන තේරුම් කරල දෙනවනං වටිනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      සමනල්ලු දහස් ගණන් රෑන් පිටින් "ශ්‍රිපාදේ යනවා" ලෙස හැඳින්වූ (පර්යටනය වීම) අපී කුඩා කාලයේ දුටු මහත් ආශ්චර්යමත් දර්ශනයක්!
      ඔබ නිරීක්ෂණය කර තිබෙන ආකාරයට සමහර සත්ත්ව විශේෂ අඩු වන්නේ පරිසර විනාශය නිසාමයි. ගේ කුරුල්ලන් කපුටන් වැනි ගෘහාශ්‍රිත සතුන්ට මිනිසා විසින් භාවිත කරන කෘමිනාශක සහ පලිබෝධ නාශක වලින් හානි පැමිණෙනවා. මේ පක්ෂීන්ගේ ශරීරගත වන විෂ සහිත රසායන ද්‍රව්‍ය නිසා කැල්සියම් ඌනතා ඇතිවෙනවා. මේ නිසා බිත්තර කටුව බොහෝ තුනි වනවා. සමහර විට බිත්තර රකින විටම පොඩිවී විනාශ වී යනවා. මේ නිසයි ගහනය ක්‍රමක්‍රමයෙන් අඩු වන්නේ.
      මේ ආකාරයටම අප කුඩා කාලයේ නිතර දකින්නට ලැබුණු කලාමැදිරියන් සහ කූඩැල්ලන්ද දැන් එතරම් බහුල නැහැ.

      Delete
  4. දැං මයින්නුත් අඩුයි ගිරව් නං ඉන්නවා

    ReplyDelete
  5. ස්තුතියි ලක්මාල්,
    මේ ආකාරයේ සත්ත්ව ගහණ අඩුවියාම දකින්නට ලැබෙන්නේ පරිසර විනාශවී යාම නිසයි. බොහෝවිට එම සතුන්ගේ ස්වාභාවික පරිසර මිනිසා විසින් අත්පත් කර ගැනීම හෝ එම පරිසරවල තිබුණු එම සතුන්ට හිතකර ආහාර, නිවාස, ආරක්ෂාව ආදිය සපයන ගස් වැල් මිනිසා විසින් ඉවත් කිරීම ආදිය ප්‍රධානයි. ඒ සමගම පරිසරයට එකතුවන දුෂක නිසා ඔවුන්ගේ ප්‍රජනක ක්‍රියාවලියන්ද අඩාල විය හැකියි.

    ReplyDelete