Thursday 6 July 2017

සප්ත කන්‍යා කඳුවැටියේ ගුවන් යානා අනතුර සියැසින් දුටුවෙමි. ........

වක විද්‍යා අධ්‍යාපන නිලධාරින් වූ අපට  සෑම පාසැල් නිවාඩු කාලයකදීම සතියක පමණ නේවාසික පුහුණු පාඨමාලා පවත්වන ලදී. දිවයිනේ විවිධ පලාත්වල පවත්වනු ලැබූ මෙම පාඨමාලා සඳහා අලුතින් පත්වීම් ලැබූ අප 15 දෙනෙක් සහභාගී වූයෙමු. මෙම සැසි වලදී විද්‍යා විෂයයන් ඉගැන්වීම, පන්ති අධීක්ෂණය, විද්‍යා උපකරණ අනුයෝගිකරණය වැනි විවිධ තේමා හඳුන්වාදීමත්, කෙටි අධ්‍යයන චාරිකා නිසාත්  ඉතාමත් ප්‍රියජනක අත්දැකීම් විය.

1974 වර්ෂයේ අවසාන පුහුණු වැඩ මුළුව පැවැත්වූයේ මධ්‍යම පළාතේ ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයේය. ඉතාම රමණිය පරිසරයක පිහිටි එම විදුහලේ නේවාසික පහසුකම් සහ  විද්‍යාගාර පහසුකම් නොඅඩුව තිබිණ. වැඩමුළුව පැවැත්වීම සඳහා සුදානම් කර තිබුනේ දෙසැම්බර් 2 දා සිට 7 දින දක්වාය. දෙසැම්බර් 2, 3,  දිනවල කාර්ය සැසි රාශියක් කර පැවරුම් ද කිහිපයක් අවසන් කිරීමට තිබුණු බැවින් 4 වන දා  දිවා ආහාරයෙන් පසු තරමක විවේකයක් ලැබිණ. සියලුම පැවරුම් එදින රාත්‍රි ආහාරයට පෙර අවසන් කළහොත් රාත්‍රියේ අහසේ තරු රටා නිරික්ෂණයටත්, පසුදින ලක්ෂපාණ විදුලි බලාගාරයේ අධ්‍යයන චාරිකාවක් සඳහා යා හැකි බවත් අපට දැනුම් දෙන ලදී.

සියලු දෙනාම ලහි ලහියේ පැවරුම් අවසන් කර, රාත්‍රී අහසේ තරු රටා නිරීක්ෂණය කිරීමට සුදානම් වුහ. මෙය සංවිධානය කර තිබුණේ ප්‍රධාන විද්‍යා අධ්‍යක්ෂක මහින්ද රණවීර මහතා විසිනි. වැඩමුළුවේ ප්‍රධාන උපදේශකවරයා වූ ස්ටර්ලින් පෙරේරා මහතා ඔහුට සහාය වුයේය. එදින අහස ඉතාමත් පැහැදිලි දිනයක් වියපසළොස්වක පොහොය තව දින දෙකකිනි. උතුරු දෙසින් සප්ත කන්‍යා කඳු වැටිය, දුර අහසේ අඳින ලද සිතුවමක්  මෙන්  සඳ එළියේ දිස් වෙමින් තිබිණ.
මධ්‍යම කඳුකරයේ සප්ත කන්‍යා කඳු වැටිය

රාත්‍රී නවය වනවිට, ඉඩකඩ තිබුණු මිදුලේ දුරේක්ෂයක් (Telescope)  සවි කෙරින. අසල මේසයක් මත දෙනෙති (Binoculars) කිහිපයක් සහ තරු රටා මුද්‍රිත සිතියම් පොත් කිහිපයක්ද විය. මහින්ද රණවීර මහතා තරු රටා කිහිපයක් පිහිටන ආකාරය විස්තර කර දී  දුරේක්ෂයෙන් ඒවා නිරීක්ෂණය කරන  ආකාරයද පෙන්වා දුන්නේය. මේ සියල්ල අපට නවතම අත්දැකීම් විය. සියලු දෙනාම තරු බැබලෙන අහසේ චමත්කාරය රිසිසේ භුක්ති විඳින්නට විය.

වෙලාව රාත්‍රී දහය පසුවී විනාඩි කිහිපයක් ගතවුවා පමණකි. කන් බිහිරි කරවන තරම් මහ හඬ නංවමින් ජෙට් ගුවන් යානයක් විදුහල් භුමිය උඩින් ගස් මුදුන් වල ගෑවෙමින් මෙන් ගියේය. එහි බාහිර විදුලි බල්බ වල ආලෝකය අප සිටි තැනද මොහොතක් ආලෝකමත් කළේය.

සියලු දෙනාම තරු බැලීම නවතා ඉතාමත් පහලින් යන අහස් යානය දෙස පුදුමයෙන් බලා  සිටියෙමු. තව විනාඩි දෙකකදී පමණ මහා පිපිරුම් හඬක්ද සහිතව ගුවන් යානය සප්ත කන්‍යා කඳු අසල ගිනිගෙන, මල් වෙඩි වරුසාවක් මෙන් එහි දැවෙන කොටස් බිම පතිත වන්නට විය. තරු බැලීම නතර කළ අපට මහත් බියක් සහ චකිතයක් ඇතිවිය.
Martinair Douglas DC-8-32 Volpati-1.jpg
අනතුරට ලක්වූ ගුවන් යානය  

අප සියලු දෙනාම එම ස්ථානයට අමුත්තන් වූ අතර විද්‍යාලයේ එක් ගුරු මහත්මයෙක් සහ විද්‍යාගාර සහායක මහතා පමණක් ප්‍රදේශය ගැන දන්නා අය වුහ.

‘සර්, ප්ලේන් එක කඩා වැටුනා. අපට බලන්නට යන්නට හිතයි.’

කියමින් විද්‍යාගාර සහායක සිරිසේන,  මහත් කලබලයකින් අප සිටි තැනට ආවේය.

අපිත් මේ පුදුම වෙලයි ඉන්නේ, ඒ උනත් මේ මහ රෑ යන්න පුලුවන්ද? එතෙන්ට කොච්ච්ච්ර දුරද? හෙට උදේටම බලමුද? හෙට ගමනට අවශ්‍ය දේවල් ලැහැස්ති කරන්නත් තිබෙනවා නේද ?’

වැඩමුළු ප්‍රධානියා ඔහුට ප්‍රශ්න පත්‍රයක්ම ඉදිරිපත් කළේය. මඳක් පසුබට වූ ඔහු

‘සර්, මේ  ළඟමයි පොලිසිය තිබෙන්නේ. අපි දන්න මහත්වරු ඉන්නවා. මම තොරතුරු හොයා ගෙන එන්නම්’ කියා ඔහු එවලේම පිටත් විය.

අපට තරු ගැන තිබුණු උනන්දුව නැතිවී ගියේය. සිදුවුයේ කුමක්ද යන්න ගැන කිසිම හෝඩුවාවක්වත් නැත. එය බෝම්බ පිපිරීමක්ද, යානයේ යාන්ත්‍රික දෝෂයක්ද, වෙනත් යම් අද්භූත සිද්ධියක්ද යන්න අපට මහත් ගැටලුවකි. තරු රටා බැලීම පසෙකට දැමු අපි සිද්ධියට අදාළ විය හැකියයි හැඟෙන නොයෙක් දේ ගැන  කතා කළෙමු. (ඒ කාලයේ ජංගම දුරකථන නොතිබුණි. විදුහලේ සාමාන්‍ය දුර කථනයක්වත් නොවිය.)

ශ්‍රී ලංකා අහසට ඇතුල්වී යානය ගමන් කළ ආකාරය

සිරිසේන කඩිනමින්ම ආපසු ආවේය. ඔහු හති ලමින් තොරතුරු රාශියක් හෙළි කළේය.

‘සර්, කඩාවැටුන ප්ලේන් එක මක්කම යන එකක්ලු. දෙසියයක් විතර එතනම ගිනිබත් වෙලාලු. මිනිස්සු වැල නොකැඩී යනවා. පොලිසියටත් ‘ඉමර්ජන්සි කෝල්’ කරලලු. අපිත් හෙට ගමන නොගොහින් මේක බලන්නට යමු.  තේ වත්ත මැද්දෙන් කන්දට හැතැක්ම දෙකක්‌ විතර තියෙනවා.’

ඔහු දිගටම කියාගෙන ගියේය.
.
අපි මැදියම් රැය පමණ වනතුරු කතාකරමින් සිට නින්දට ගියෙමු. එවෙලේ සිටම ගිලන් රථ, හෝ හමුදා වාහන වල සයිරන් නලා හඬ, හෙලිකොප්ටර් වල ශබ්ද නිරතුරුවම ඇසෙන්නට විය.

අප කවුරුත් අඩ නින්දේ සිට වෙනදාටත් වඩා කලින් අවදි වූවෙමු. මිදුලට බසිනා විටම සප්ත කන්‍යා කඳු වැටියේ මනරම් දර්ශනය නෙත් ගැටුණි. ඒ සමගම කඳුවැටියේ මැද කන්දකින් විශාල දුමක් නගිනුද දුටිමු. ඒ දැවී අළුවී ගිය සුන්බුන් වලින් නැගෙමින් තිබුණු  අවසන් දුම් වළලු බව තේරුම ගතිමු.

ඒ වන විටත් දහස් ගණනක් සෙනග තේ වත්ත මැදින් කන්ද නගින බව අපි දුටුවෙමු. උදය තේ පානයෙන් පසු කැමති අයට සිරිසේන සහ විදුහලේ ගුරු මහතාද සමග කන්ද පාමුලට යාමට අවසර ලැබෙන බවත් ලක්ෂපාන චාරිකාව අවලංගු කළ බවත්, දහවල් දහයට වෙනත් සැසියක්‌ සඳහා අනිවාර්යයෙන්ම පැමිණිය යුතු බවත් නිවේදනය විය.

සිරිසේන පෙරටු කරගත් අපි තේ වත්ත මැදින් යන ජන ගංගාවට එකතු වීමු. අප අඩි  දෙතුන් සියයක් නගින විට පොලිසිය ශබ්ද විකාශන ක්‍රම මගින් ජනතාව අමතා අනතුර සිදුවී ඇති  ස්ථානය අසලට නොයන ලෙස තදින් අවවාද කරන්නට විය. අපි එතනින් ඔබ්බට නොගියෙමු. කඳු මුදුනේ සිට තරමක් පහලින් විශාල ප්‍රදේශයක් ගිනිබත්වී තිබිණ. අමු අමුවෙන් මිනිස් සිරුරු දැවෙන විට හමා එන පුළුටු ගඳ ඉවසන්නට බැරි තරම් විය. ගස් වල එල්ලෙමින් තිබුනු පිළිස්සුනු ඇඳුම්, සීසීකඩ විසිරි ගොස් තිබුණු යානයේ සුන්බුන්, අගුරු වී තිබුණු මගී ගමන්  මලු, සෑම තැනම විසිරි  තිබුණු කොටස්  පිලිස්සී ගිය මුදල් නෝට්ටු ආදිය මේ මහා ඛේදවාචකයේ ඉතිරිව තිබුණු සාක්ෂි විය.

ආපසු පැමිණි අපි අධ්‍යයන කටයුතු ආරම්භ කළෙමු. පෙර දින දෙකෙහි කා තුළත් තිබුණු උද්‍යෝගය අද නැත. උදාසීන ගතියක් තිබේ. සමහරු අනිත්‍යය මෙනෙහි කළහ. සමහරු තමන්ගේ  ගේ දොර, අඹු දරුවන් ගැන සිතන්නට ඇත. එදින සවස් වනවිට අවට ප්‍රදේශයම තහනම් කලාපයක් බවට පත්කරන ලද බව ආරංචි විය.. පොලිසිය, යුද හමුදාව, ස්වේච්ඡා සේවක කණ්ඩායම්. ගිලන් රථ සේවා, අවමංගල රථ සේවා ආදිය නිසා මහා මාර්ගයද අවහිර වී ඇති බව දන ගතිමු. සවස් වන විට මළවුන්ගේ සිරුරුහෝ සිරුරු වලින් ඉතිරිවී තිබුණු කොටස්  මිනි පෙට්ටි වල බහා ගෙනයන දර්ශනය නිසා කාගේත් ඇසට කඳුලක් උනන්නට ඇත.  

1974 දෙසැම්බර් මස 4 වන දින මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුයේ   Martinair MP-138  නම්  ඉන්දුනීසියාවේ සිට කටුනායක හරහා සවුදි අරාබියාවේ ජෙඩා ගුවන් තොටුපලට යන මක්කම හජ්ජි වන්දනාවේ යෙදුනු බැතිමතුන් පිරිසකි. එම යානයේ මගීන් 182  දෙනෙකු සහ කාර්ය මණ්ඩලය නව දෙනෙකු ගමන්කර තිබේ. එහි සිටි 191 දෙනාම අනතුරින් මරණයට පත්වී ඇත.



Martinair MP-138  අහස යානය,   ශ්‍රී ලංකාවේ දකුණු දිග යාල ප්‍රදේශයෙන් දිවයිනේ අහසට ඇතුල්වී තෙලුල්ල, හල්පේ, හල්දුම්මුල්ල, බගවන්තලාව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ උඩින් යාත්‍රා කර ගිනිගත්හේන පෙනෙන තෙක් මානයේදී  සප්ත කන්‍යා කඳු වැටියේ හැපී ගිනිගෙන දැවී කඳු පාමුලට වැටි ඇත.

සිද්ධිය සම්බන්ධවපරීක්ෂණ පැවැත්වූ දේශීය සහ විදේශීය විශේෂඥ කණ්ඩායම් සිද්ධියට හේතු වශයෙන් විවෘත තීන්දුවක් දී තිබේ. ගුවන් යානයේ නියමුවන්ට ගුවන් මග නුහුරු බව, ගමන්මග හසුරුවන උපකරණවල දෝෂ සහිත බව, යානය බිමට බැස්සවීම සඳහා නියමිත පථය හඳුනා නොගැනීම වැනි හේතු රාශියක් තිබිය හැකි බව ඔවුන්ගේ නිගමනවල සඳහන් කර තිබෙන බව පෙනේ. 

මෙම අවාසනාවන්ත සිද්ධධිය ඇසින් දුටු අපට කලක් ගතවන තුරුම එයින් ඇතිවූ කම්පණයෙන් අත් මිදීමට නොහැකිවිය.

(ඡායාරූප සහ තොරතුරු 2014 නොවැම්බර් 13 දින සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි පළවූ The Doomed Flight  නම් ලිපිය ඇසුරෙනි.)
                     


11 comments:

  1. ශෝකජනක සිදුවීමක් උනත් ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච එකම සිදුවීම නිසා ඒක දැකගන්න ලැබුණ එක වාසනාවක්.

    දැන් තියෙන අති නවීන පද්දති සහිත ප්ලෙන් උනත් පයිලට්ලගෙ අත්වැරදි හින්ද කඳු වල හැපෙන එකේ ඒ කාලෙ හැටියට මේක ඒ හැටි දෙයක් නෙමෙයි.

    ReplyDelete
  2. ස්තුතියි ප්‍රසන්න,
    ඒ කාලයේ කතාවක් තිබුනා අපේ කටුනායක පාලක මැදිරියෙන් දුන් දුර ප්‍රමාණය පිලිබඳ පණිවුඩය වැරදියට තේරුම් ගෙන ලක්ෂපාන බලාගාරය අසල බිම් විදුලි ආලෝකය ගුවන් පථය යයි සිතා විනාඩි කිහිපයකට කලින් යානය පහත් මට්ටමකට ගෙන ආවා කියා. ඒ උනත් ව්ශේෂඥ වාර්තාවේ එසේ නැහැ.

    ReplyDelete
  3. එක නම් අමතක නොවෙන අත්දැකීමක් වෙන්න ඇති. ඇන්ටන් ජෝන්ස් ඕක ගැන සිංදුවකුත් කිව්ව නේද?

    ReplyDelete
    Replies
    1. කන්දේ හැපුණා මහා වනන්තරේ

      Delete
    2. ගීතය ගැන දැනුවත් කළාට ස්තුතියි

      Delete
  4. ස්තුතියි තිසර,
    ඔව්. ජීවිතයේ හොඳම අත්දැකීමක්.
    ඒ කාලයේ ඔය සිද්ධිය ගැන ශෝකාලාප සහිත කවි කොළ හැමතැනම තිබුණා. ඒ සාහිත්‍ය අංගය දැන්නම් නැත්තටම නැතිවෙලා. පසු කාලයකදී බයිලා වගයක්නම් ප්‍රචාරය කිරීමත් තහනම් කළා මට මතකයි.

    ReplyDelete
  5. පිරු ණු හඳ නැති රෑක අහසක පිරික්සන්නට වැඩ කළත්
    තරු රටා බැලුමට හිතක් නෑ පිරී ගියෙ හදවත දුකත්
    මරු සමග ගිය අහස්යානය බදා ගත්තලු ගිරි හිසත්
    දුරු කරන්නට අසීරුද තව එදා දුටු ඒ මතකයත්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි

      හිරු එළිය නැති අහස් කුසයේ චමත්කාරය දැක සොබා
      තරු රටානම හොඳට දුටුවෙමු අලුත් අත්දැකීමන් ලබා
      තුරු මුදුන් වල ගෑ වෙමින් ගිය යානයකි මහ හඬ තබා
      මරු විකල් වී කන්දෙ හැපුනා සියලු ජීවිත ගිනි තබා

      ඔබට ජය !

      Delete
  6. මෙම අනතුර වෙද්දී මම ඉපදිලාවත් නෑ. නමුත් සප්ත කන්‍යා කඳුවැටියේ ගුවන් යානය හැපුණු සිද්දීය මතක් කරදෙන්න සැමවිටම මාධ්‍ය උතසාහ කරනවා ඒ පිලිබඳ විවිධ නිර්මාණ ද බිහිවුනා. සැබෑ සිද්ධිය පියවි ඇහෙන් දැකපු කෙනෙක් විදියට ඔබේ අත්දැකීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක,
      ඒ කාලයේ මෙම සිද්ධිය ගැන ප්‍රචාරය වූ බයිලා පන්තියක් නම් යම්කිසි හේතුවක් නිසා ප්‍රචාරය තහනම් කළා මට මතකයි.

      Delete
  7. මගේ පුංචි මාමා යුද හමුදාවේ ස්වේච්ඡා නිලධාරියෙක් විදිහට ඔය කාලෙ සේවය කලා නුවර එළිය හමුදා කඳවුරේ. ඔය අනතුර සිදුවූ ස්ථානයට මුලින්ම ගිය කණ්ඩායමේ ඔහුත් හිටියා.

    අනතුරට පත්වූ ගුවන් යානයේ අඟල් හතරක් පමණ වූ ඇලුමිනියම් කැබැල්ලක් ඔහු මට ගෙනවිත් දුන්නා. මම බොහොම ආසාවෙන් එය අවුරුදු ගාණක් රැකබලා ගත්තා..ඒ ඇලුමිනියම් කැබැල්ල නිසා පංතියේ යාලුවො අතරෙ මම වීරයෙක් වෙලා හිටියෙ ඒ දවස්වල ..හෙහ්..හෙහ්...තවමත් මම හිතන්නෙ අපෙ මහගෙදර කොහෙ හරි කබඩ් එකක මුල්ලක ඇති.

    ReplyDelete