Friday 14 July 2017

ඔහු අති දක්ෂ කළා කරුවෙක්ම විය .......

   ට ඔහු මුලින්ම මුණ ගැසුනේ දකුණේ මධ්‍ය විද්‍යාලයකදීය. විශ්ව විද්‍යාලයයෙන් පිටවූ විගසම ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලැබූ  මම වෘත්තියට නවකයෙක් විමි. මේ කාලයේ අධ්‍යාපන ඇමති වුයේ ආචාර්ය විජයානන්ද දහනායක  මැති  තුමාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාශියක් කරනු ලැබූ මේ අවදියේදී ගුරු හිඟය තදින්ම බල පෑවේය. විවිධ විෂයයන් සඳහා වූ ගුරු හිඟය මගහැරවීම පිණිස ගුරුවරු අ.පො.ස සාමාන්‍ය සහ උසස් පෙළ සමත් හත් අට දහසක් එකවර බඳවා ගන්නා  ලදී. මසකට රුපියල් සියයක දීමනාවක් සහිතව බඳවා ගත් එම ගුරුවරු ශිෂ්‍ය ගුරුවරු ලෙස නම් කරන ලදී. ඔවුන් එසේ නම් කරන ලද්දේ, ගුරු පත්වීම් ලැබි සුළු කලකදී නියමිත වැටුප සහිතව ගුරු විද්‍යාලයකට ඇතුලත්වී ගුරු පුහුණුව ලබාගැනීමටද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වූ නිසාය.

මා ගුරු පත්වීම ලබා සති කිහිපයකට පසු චිත්‍ර කලා පත්වීමක් ලැබූ ඔහු, මා සිටි මධ්‍ය විද්‍යාලයටම  පැමිණියේය. ඔහු සරත්ය, එකම වයසේ සහ වෘත්තියට නවකයින් වූ නිසා අපි දෙදෙනා ඉක්මණටම බොහෝ කුළුපග වූවෙමු.

අපගේ විදුහල්පති තුමා ගුරුවරුන්ගෙන් උපරිම සේවය ලබාගැනීමට අති දක්ෂයෙක් විය. ඔහු, නිතරම ගුරුවරුන් විෂයය බාහිර ක්‍රියාකාරකම්, සමිති සමාගම්, සමාජ සේවා වැඩ කටයුතු, ගුරු සුභ සාධන කටයුතු  ආදිය සඳහා යොමු කරවන ලදී.

අප සහභාගිවූ පළමු ගුරු රැස්විමේදීම,  ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකුටම විවිධ වැඩ පැවරිය. විද්‍යාලයට අලුතින් පැමිණ සිටින අප දෙදෙනාත් තවත් ගුරු මෙනෙවියන් දෙදෙනෙකුත් ගුරු මණ්ඩලයට හඳුන්වාදුන් ඔහු අලුතින් පැමිණි අප දෙස බලා

‘සරත් කලා කාරයනෙ. අපි මෑතදී  සකස් කිරීමට පටන් ගත්ත  එළිමහන් රඟමඬලේ ඉතුරු වැඩ ටික අවසන් කිරීම සරත්ට භාර දෙනවා.’ කියා

මා දෙස බලා 
‘මේ අවුරුද්දේ අපේ එක් දින චාරිකාව සංවිධානය කිරීම අලුත් විද්‍යා සර් ට පවරනවා.’  
කියමින් ඇස් ඉඟි කළේය මෙසේ කී විට පිටුපස වාඩිවී සිටි පැරණියන් කිහිප දෙනෙකුගේ 
’ෂූ......’ ශබ්දයක්ද ඇසිණ.

එහි බැරෑරුම් බවක් මට නොතේරුණි. එහෙත් පසුගිය වසරේ චාරිකාවේදී සංවිධාන කටයුතුවල දුර්වල කම් තිබුණු නිසා  කරදර කිහිපයකට මුහුණ පා ඇති බව පසුව අසන්නට ලැබිණ.

සරත්ට සහාය වීම පිණිස සංගීත ගුරු මහත්මිය සහ අලුතීන් ඉංග්‍රීසි පත්වීමක් ලැබූ ගුරු මෙනෙවියක්ද ඉදිරිපත් වුහ. චාරිකාවේ සංවිධාන කටයුතු  සඳහා සම්බන්ධ වීමට පැරැණ්නෝ කිසිවෙකු නොමැත. සරත් පමණක් මට සහායට ඉදිරිපත් විය.

සරත් දින දෙක තුනකින්ම චිත්‍රකලා සිසුන්ද සම්බන්ධ කරගෙන එළිමහන් රඟහලේ වැඩ කටයුතු පටන් ගත්තේය. එහි එදිනෙදා කරන වැඩ සහ අවශ්‍ය විවිධාංග වල ප්‍රගතිය පෙන්වන සටහන්ද චිත්‍ර කාමරයේ ප්‍රදර්ශනය කළේය. මා ගුරු මණ්ඩලයට කළ දනුම් දීමට අනු‍ව චාරිකාව සඳහා පවුල් වල අය කිහිප දෙනෙක්ද සහිතව පනස් දෙනෙකු පමණ කැමැත්ත පළකර සිටියහ, චාරිකාව විදුහලේ සිට කොළඹ හරහා මහනුවරට ගොස් එදිනම ආපසු එන ලෙසට තීරණය විය. චාරිකාවේ කාල සටහන සකස් කර වියහියදම් ආහාර පාන ආදියද කාටත් දැනුම් දුන් පසු කිහිප දෙනෙකුගෙන් සංශෝධනද ඉදිරිපත් විය. චාරිකාවේ ප්‍රචාරණ පෝස්ටරයක් දෙකක්  තිබිය යුතු බව කිහිප දෙනෙකුගේ අදහස විය. විදුහල්පති තුමාද මෙය අනුමත කළේය. නවකයින් වන අප කරන දේ බොහෝ අය නිරීක්ෂණය කරන බව තේරුම ගතිමි.

පන්ති වල චිත්‍ර කලා විෂයය උගන්වමින්, රඟහලේද කටයුතුද  කරමින්, චාරිකාව සඳහා මුදල් එකතු කිරීමද සරත් විසින් කරන ලදී. පෝස්ටරයක් හෝ දෙකක් ඇඳ දෙන ලෙස මම සරත්ගෙන් ඉල්ලීමක් කලෙමි. එය දිනෙන් දිනම කල් යන බව පෙනුණි.

චාරිකාවට සති දෙකකට පමණ කලින් උදේ මට කතාකළ විදුහල්පතිතුමා

‘කෝ ..... චාරිකාව ගැන කිසිම ප්‍රචාරයක් තවම නැහැනේ. පෝස්ටර් එකක්වත් නෝටිස්‌ බෝඩ් එකේ දාන්න එපායැ’ කිවේය

අපට පැවරු වැඩ ගැන ඔහු සෙවිල්ලේ සිටින බව මම දැනගතිමි. වහා සරත් හමුවූ මම  ඔහුට මේ බව කීවෙමි. මා සරත් සමග චිත්‍ර කාමරයේ කතා කරමින් සිටින විට එහි පැමිණි විදුහල්පතිතුමා

‘ලබන සතියේ බ්‍රහස්පතින්දා උදේ  හොඳ නැකතක් තිබෙනවා   එළිමහන් රඟ මඬල එදාට විවෘත කරන්නට සුදානම් කර ගනිමු. ළමයින්ගේ අයිටම්ස් තුන හතරක්  තිබුනහම ඇති. සංගීත මිස්ටත් කියන්න’ යයි කිවේය.

මගේ  පෝස්ටර් ඇඳීම කර ගැනීමට නොහැකි වේයයි මට සිතිණ. ටික වෙලාවක් කල්පනා කරමින් සිටි සරත්,

‘අද සවසට පෝස්ටර් දෙකක් අඳිමු.’ යයි කී විට මට සතුටක් ඇතිවිය


ආරුක්කුවක් මෙන් ඇති කළුතර ඓතිහාසික නුග රුක
එදින සවස ඔහු විශාල චිත්‍ර කඩදාසි, පින්සල්, සායම් ආදිය රැගෙන විද්‍යාගාරයට පැමිණියේය. අවසාන සීනුව නාද කිරීමට තව පැය භාගයකට වඩා නැත ‘දැන් පෝස්ටරය ඉවර කිරීමට වෙලාව මදිවෙයි නේද?’ මම ඇසීමි.  ‘විනාඩි දහයයි යන්නේ’ කි ඔහු, චිත්‍ර කඩදාසිය  බිත්තියට හේත්තු කර තිබුණු කළු ලෑල්ලක  ඇමුණුවේය.

මම දැන් මැජික් එකක කරනවා කි සරත්. ඔහු ගෙන ආ බෑගයේ තිබුණු පෝස්ටර් කලර් ටියුබ වලින් වර්ණ කිහිපයක් කුඩා හැඳි වැනි භාජන කිහිපයකට මිරිකා ජලය ස්වල්පය බැගින් ගෙන දිය කළේය, දියකළ වර්ණ සහිත හැඳි, තම අත් දෙකේ ඇඟිළි කරු අතර හිරකරගෙන ‘දැන් මැජික් එක බලාගන්න’ කියා දෑතම එකවරට වක්‍රාකාරව චලනය කර දිය කරන ලද සායම් චිත්‍ර කඩදාසිය මත විසිරී යන්නට සැලැස්විය.

චිත්‍ර කඩදාසිය පුරාම සායම් කලවමට විසිරි ගියේය.

මෙයින් පුදුමයට පත්වූ මම

‘මේ මොකද කළේ. මේක බලියක් වගේනෙ. මට ඕනෑ ට්‍රිප් එකට ගැලපෙන පෝස්ටරයක්. මෙහෙම තේරුම් ගන්නට බැරි එකක් නොවෙයි.’  කීවෙමි.

‘ටිකක් ඉන්නකෝ.......’ 

කියමින් තම කමිස සාක්කුවෙන් යමක්‌ ලියා තිබුණු බස් ටිකට් එකක් තරම් කඩදාසි කැබැල්ලක් එළියට ගෙන එය බලා, පින්සලයකින් විසිරි තිබුණු සායම් තරමක් එහෙ මෙහෙ කර තවත් වර්ණ කිහිපයක්ද තවරා යම්කිසි හැඩයක් නිර්මාණය කළේය. එය පාරක් සහ පාර අයිනේ ඇති විශාල ගසක් ලෙස පෙනුණි. 

‘ඒක මොකක්ද කියා හඳුනාගන්නට පුලුවන්ද?’ කියා මගෙන් ඇසීය. 

එවැනි දෙයක් දැක පුරුදු බව සිතට නැගුනත් කුමක්ද කියා එක්‌වරට සිතාගැනීමට නොහැකිවිය. තවත් පින්සල් පහරවල් කිහිපයකින්  එම විශාල ගස ආරුක්කුවක් මෙන් පාරට උඩින් තිබෙන බව දැන් පැහැදිලිය 

‘මම මේ අඳින්නේ අපි යන පාරේ බලන්නට වැදගත් තැන්. ඕක තමයි කළුතර හඳුනාගැනීමේ සංකේතය කළුතර පාර හරහා ඇති පැරණි නුග ගහ’ 

මට අදහා ගන්නටවටත් නොහැකි විය. එය ඇත්තටම කළුතර නගරයට පිවිසීමට ලින් කටුකුරුන්ද පසුවූ විගසම තිබුණු පැරණි නුග ගස වේ. සරත් කරන්නට යනදේ මම  වටහා ගතිමි. ඔහු සටහන් කරගෙන තිබුණේ අප යන ගමන් මගෙහි සිත්ගන්නා සුළු වැදගත් ස්ථාන කිහිපයකි.
කඩුගන්නාවේ මහා මාර්ගය සඳහා උමගක් ලෙස විදින ලද ගල් පර්වතය

ඔහු ඊළඟට පින්සල් පහර කිහිපයකින් කොළඹ වරායේ සම්බුද්ධ  චෛත්‍යය ඇන්දේය. බිම සිට අහසට එසවුණු එකිනෙකට හරහා  ඇති කවාකාර ආරුක්කු දෙකක් උඩ නිර්මාණය කර ඇති මෙම  චෛත්‍යය කොළඹ නගරයේ ඉතාම දකුම්කළු  ස්ථානයකි.

මිටපසු, හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය, කඩුගන්නාවේ මහා මාර්ගය සඳහා බිම ගෙයක් ලෙස විදින ලද ගල, පේරාදෙණිය උද්භිද උයණේ  තල ගස් මාවත සහ  මහනුවර දළදා මාලිගය ගමන් මාර්ගයේ සුවීශේෂී වැදගත් ස්ථාන ලෙස ඇඳීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවිය.

තවත් පින්සල් පහර කිහිපයකින් ඔහු පෝස්ටරය නිම කළේය.  ඔහු, අමුතුම ආරයක චිත්‍ර කලා ප්‍රවේශයකින් ඔහුගේ නිර්මාණය අවසන් කිරීම මගින් තම සහජ දක්ෂතාව මැනවින් පෙන්නුම් කළේය. මේ සියල්ලට පැය භාගයකට වඩා ගත නොවිය.

කොළඹ වරායේ සම්බුද්ධ  චෛත්‍යය

පසුදින උදයෙන්ම පැමිණි ඔහු තවත් විනාඩි කිහිපයක් ගතකර පෝස්ටරයේ සියලු වැඩ අවසන් කර, ගමනේ විස්තර සියල්ල සඳහන් කර අතින් ලියා නිම කරන ලද තවත් පොස්ටරයක්ද මට දුන්නේය.

හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය

එදිනම පෝස්ටර් දෙකම දැන්වීම් පුවරුව අසල ප්‍රදර්ශනය සඳහා තබන ලදී. මේ දැකුම්කලු පෝස්ටර කාගේත් පැසසුමට ලක්විය. සරත් ඔහුගේ නමවත් පෝස්ටරයේ සඳහන් කිරීමට අකමැති වූ නිසා  එය අඳින ලද්දේ කවුරු විසින්ද යන්න මට කියා දීමට සිදුවිය. ඔහු ඉතා දක්ෂයෙකු වූ අතරම ඉතාමත්  නිහතමානි කෙනෙකුද විය.

සරත් විසින් අඳින ලද පෝස්ටරයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයකි. දකුණේ සිට මහනුවර චාරිකාවකදී බොහෝ අය සැලකිල්ලක් නොදක්වන කළුතර නුග රුක, කොළඹ වරායේ සම්බුද්ධ චෛත්‍යය, බන්ඩාරණායක සමාධිය, පේරාදෙණිය උද්භිද උයනේ තල ගස් පේළිය වැනි දේ  ඔහුගේ මතකයට ඒමත් කුතුහලය දනවන්නකි.
               
පේරාදෙණිය උද්භිද උයණේ  තල ගස් මාවත

පසුව හේවුඩ් කලායතනයේ ඉගෙනුම ලබා විදේශ රටවල් කිහිපයකදී  පශ්චාත් උපාධි අධ්‍යාපනයද  ලබා ඉහලම ගණයේ කලාකරුවෙකු වුයේය.

ඊට වසර විස්සකට පමණ පසුව විදේශ රටක බහු තාක්ෂණ ආයතනයක සේවය කරද්දී, මට නැවත වරක් සරත් සමග එකට වැඩ කිරීමට හැකි විය. ඔහු එහිදීද චිත්‍ර, මූර්ති, සහ රෙදි පින්තාරු කිරීම යන කලා ශිල්ප වල අති දක්ෂයෙකු වූ අතර උද්‍යාන සකස් කිරිමේ නිපුණතාවයේ  දක්ෂතාද මැනවින්  පෙන්නුම් කළේය.

ඔහු මිය යන තුරුම ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාවේ සභාපති ධුරය ඉසිලිය,  

   


17 comments:

  1. මේ එස්.එච්. සරත්ද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      ඔහු එස්.එච්. සරත් නොවේ. අරුණ හරි. ඔහු සරත් සුරසේනය.

      Delete
    2. අරුණ,
      ඔබටත් ස්තුතියි,
      ඔහු මා මිත්‍ර සරත් සුරසේනයන් ය.

      Delete
    3. හැලප මල්ලිටත් ස්තුතියි
      ඔහු එස්.එච්.සරත් චිත්‍ර ශිල්පියා නොවේ.

      Delete
    4. මට මතක් වුනේ බලංගොඩ "සරත් මධු"ව

      Delete
    5. ස්තුතියි මනෝජ්,
      මම නම් ඔහු ගැන දන්නේ නැහැ. නව පරපුරේ කෙනෙක් වෙන්නට ඇති

      Delete
  2. තමංගෙ නමවත් චිත්‍රෙ ගැහුවෙ නෑ කියන්නෙ ඔහු ඉතාම නිහතමානී අයෙක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      ඔහු ඉතාමත් නිහතමානි කෙනෙක්. ඔහු නිසා තනතුරු බැබළුණා මිස තනතුරු නි‍සා ඔහු බැබලීමට උත්සාහ කලේ නැහැ.

      Delete
  3. දක්ෂකම සහ නිහතමානී බව එකට. නමත් කියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉඅන්,
      පහු කළා ශිල්පී සරත් සුරසේනයන් ය.

      Delete
  4. පින්සලක් ගෙන නිමේෂයකින් ඇඟිළි හසුරුවාගෙන සමත්
    වර්ණයක් පිට වර්ණ තවරා හපන් පෙන්වයි ඔහු උගත්
    මතකයක් වූ ස්ථාන කොළයක මැව්ව සුපිරිය ඒ දෙ අත්
    සිතුවමක් ඇඳ සහය ලැබදුන් මහා සමතෙකි ඒ සරත්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමි,
      මෙරට සහ තව විදෙස් රටවල පෙන්වමින් දස්කම් මහත්
      කර ට කර හරි යන්න කිසිවෙක් කොහේවත් දක්නට නැතත්
      පෙරට ගිය නීති නිහතමානිය සරල බව හදවත රෑගත්
      රට ට සිටි මහ කලාකරුවෙකි, මගේ මිතු සුරසෙන් සරත්

      ඔබට ජයම!

      Delete
  5. සරත් සූරසේන මහතා මියගිහින් දැන් අවුරුදු 10ක් විතර වෙනවා ...
    එතුමාගේ පුතෙක් මගේ මිතුරෙක් ...
    ඔහුත් අති දක්ශ ඡායාරූප ශිල්පියෙක් ...

    ReplyDelete
  6. හිතවත් ඇනෝ...,
    ආරංචිය ගැන සතුටුයි. ඔය පුතා මා හොඳින් දන්නවා. අපි විදේශයක සිටියදී සුරසේන පවුලේ අය නිතර හමුවෙනවා. ඔහු කැමතිනම් මා අමතන්න කියන්න.

    ReplyDelete
  7. මට මතක කාලෙ වෙනකොට ඔය කලුතර නුගරුක කපල දාල...:(

    ReplyDelete