Wednesday 5 April 2017

ශිෂ්‍යයෙකුගේ කුතුහලය නිසා කරන ලද විමසුමක් ඔස්සේ අලුතින් බොහෝ දේ ඉගෙන ගතිමි.

මා විද්‍යා අධ්‍යාපන නිලධාරියෙකුව සිටියදී නගරයෙන් ඈත පාසල්වලට ගොස් ඉගැන්වීමේ කටයුතු වලට අවශ්‍ය උපදෙස් ලබාදීමටත් විද්‍යා උපකරණ සපයා දීමටත් කැමැත්තක් දැක්වීමි. මෙසේ ගිය එක් අවස්තාවකදී 10 වන ශ්‍රේණියේ සිසුවෙකු විසින් ඉදිරිපත් කළ ගැටලුවකට තොරතුරු සෙවීමේදී මටද අලුතින් බොහෝ දේ ඉගෙන ගත හැකිවිය.
නගරයෙන් තරමක් ඈතින් පිහිටි එම විදුහල සම්පත් අතින් තරමක් අඩු තත්වයකින් පැවතින. එදින මා විදුහලට යන විට එහි සිටි එකම විද්‍යා ගුරුවරයා 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම උගන්වමින් සිටියේය. එදින ඔහු උගන්වමින් සිටියේ කලින් ආරම්භ කරන ලද ආහාර සහ පෝෂණය පාඩමේ අවසාන කොටසයි. ඔහු සමග මොහොතක් කතා කළ මා පන්තිය පිටුපස ආසනයක හිඳගෙන ඉගැන්වීම නිරීක්ෂණය කලෙමි. ඔහු ආහාර වර්ග කිහිපයක්ද පන්තියට පෙන්වා ආහාර සඳහා සරල පරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කර සාර්ථක පාඩමක් අවසන් කළේය. කිරිපිටි වැනි  සැකසූ ආහාර දවටන (පැකට්ටු)  කිහිපයක්ද ගුරු මේසය මත තිබිණ.
පන්තියේ සිසුවෙකුද සමග මා වෙත පැමිණි  ගුරු මහතා
සර්, පසුගිය විද්‍යා පාඩමේදී මේ ළමයා ඉදිරිපත් කළ අපේ ආහාර වලට අදාල ප්‍රශ්නයකට මට පිලිතුරක් දෙන්නට බැරි උනා. ඒ ගැන දන්නවාද කියා බලන්නකියා ප්‍රශ්නය කියන ලෙස සිසුවාට කිව්වා.

එවිට ඔහු අතේ තිබුණු ‘Nestle' සමාගමේ  කිරිපිටි හිස් පැකට්ටුවක් මා වෙත දිගු කර
මේ පැකට්ටුවේ තිබෙන  Nestle  කියන වචනයත් කුරුළු කුඩුවත් එකට  සම්බන්ධ කර තිබීමේ තේරුමක් තිබෙනවා ද?'

කියා මගෙන් ඇසුවා. එය අතට ගෙන බැලු මට වැඩි අමුත්තක් තේරුනේ නැහැ.

Image result for nestle company logo history
එම කිරි පැකට්ටුවේ තිබුනේ කිරිල්ලිය, කුරුළු  පැටව්, කුරුළු කැදැල්ල සහ Nestle වෙළඳ නාමය සහිත මෙම ලාංචනයයි.

     
'මේක ප්‍රචාරක වෙළඳ ලකුණක්. මව් කිරිල්ලිය පැටවුන්ට කවන eකෙන් පෙනෙන්නේ  ආහාරයක් සඳහා හොඳ එකක් බව නේද?'
කියා මා ඔහුට කීවා.මගේ පිළිතුරෙන් ඔහු සෑහීමකට පත් නොවූ බව මට තේරුනා. මේ අවස්ථාවේදී ගුරුවරයාද
'ඔය Nestle කියන වචනය සම්බන්ධ කර ගැනීමයි සර් ගැටලුව' කියා කීවා.

'Nestlings කියා කුරුළු පැටවුන්ට කියනවා. ඒ උනත් ඔය තැනට ගැලපීම ගැන නම් මටත් එතරම් තේරුමක් නැහැ'
කියා මා අවංකවම කීවා.
'කොහොම වෙතත් මේ ගැන තව තොරතුරු ටිකක් සොයා දන්වන්නම්'
කියා පොරොන්දු වුවා.
ඒ කාලයේ මෙවැනි කරුණු ගැන තොරතුරු සොයා ගැනීමට අන්තර්ජාලය වැනි පහසු මාධ්‍යයන් තිබුනේ නැහැ. පුස්තකාලයක වුවත් විමර්ශනය කිරීමේ පහසුකම් ප්‍රධාන නගරවලට පමණක් සීමාවී තිබුනා. ටෙලිෆෝන් පහසුකම් හරිම අඩුයි. ටෙලිෆෝන් පණිවුඩයක් ගැනීම සඳහා ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්‌ථානයට කතා කර සම්බන්ධ කරන තුරු පැය ගණනක්‌ සිටීමට සිදු වෙනවා, ඒ කාළේ මොබයිල් ෆෝන් ගැන හිතලාවත් නැහැ.
මා කාර්යාලයට පැමිණ, තව කිහිප දෙනෙකුද සමග කථාකර කිරිපිටි වැනි ළදරු ආහාර බෙදා හරින  කොළඹ පිහිටි ආයතනයක ලිපිනය ඩිරෙක්ටරියකින් සොයා ගත්තා. මගේ ගැටලුව පිළිබඳව ලිපියක් සකස් කර ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගේද නිර්දේශයක් සහිතව එම ආයතන ප්‍රධානියාට තැපෑල් කළා. සියලුම රාජකාරි ලියුම් යැවිය යුතුව තිබුනේ ඉංග්‍රීසියෙන්.
සති දෙකකට පමණ පසු ඔවුන්ගෙන්  ලැබුණු ලිපියේ, එම ආයතනය Nestle  නිෂ්පාදන බෙදාහරින ඒජන්සියක් බවත් අප අසා තිබුණු තොරතුරු කිසිවක් නොදන්නා බවත් දන්වා තිබුණා. ඒ සමගම ස්විස්ටර්ලන්තයේ Nestle ප්‍රධාන කාර්යාලයේ ලිපිනයද එවා තිබුණා.
මෙයින් පසුබට නොවූ මා, නැවත ලිපියක් සකස් කර ස්විස්ටර්ලන්තයේ Nestle ප්‍රධාන කාර්යාලයට 'sea mail' මගින් විස්තරාත්මක ලිපියක් යැව්වා. රුපියල් හතක්‌ අටක්‌ පමණ වූ තැපෑල් ගාස්තුව අධ්‍යාපන කාර්යාලයෙන් ගෙවිය නොහැකි බව පරිපාලන නිලධාරි වරයා මට පැවසු නිසා, එය මට දැරීමට සිදු විය. ඒ කාලයේ රුපියල් අට දැන් රුපියල් අට සියයක් විතර ඇති. මා පිට රටකට යවන ලද පළමු ලිපියත් මෙය වීම විශේෂත්වයක්.

මාස කිහිපයක් යනතුරු ලිපියට කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ. විද්‍යා ගුරු මහතා මට හමුවූ කිහිප වතාවක්ම මගෙන් ඒ ගැන විමසුවා. ඒ වන තුරු කිසිම තොරතුරක් නොලැබුණු බව කියන්නට සිදු විය.


තවත් සති කිහිපයකට පසු බදාදා දිනයක මා කාර්යාලයේ  සිටියදී අධ්‍යක්ෂක තුමා මට කතා කර
'මෙන්න ස්විස්ටර්ලන්තයෙන් ලියුමක්'
කියා ලිපි ගොනුවක්  මගේ අතට දුන්නා.
Nestle  ආයතනයේ ලියුමත් සමග තවත් තොරතරු රාශියක් ගොනුවේ තිබුනා.
අපගේ විමසුම ගැන ස්තුති කර, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව අදාළ සිසුවා සිටින විදුහලට ගොස් එම සිසුනට සියලු තොරතරු සපයන ලෙස, මෙරට සිටින ඔවුන්ගේ නියෝජිත ආයතනයට උපදෙස් දුන් බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුනා.
අධ්‍යක්ෂක තුමාගේ උපදෙස් පරිදි, විද්‍යාලයේ විදුහල්පතිද සමග සාකච්ඡා කර ඒ සඳහා දිනයක් නියම කරගෙන නියෝජිත  ආයතනයට ලිපියක් යැව්වෙමු.
නියමිත දිනයේදී නියෝජිත ආයතනයේ පිරිසක් අධ්‍යාපන කාර්යාලයට පැමිණියහ. ඒ පිරිසේ ස්විස් ජාතික කළමනාකරුවෙක්, භාෂා පරිවර්තකයෙකු සහ තවත් කිහිප දෙනෙක් සිටියහ, පිරිස සමග මමද විදුහලට ගියෙමි.
විදුහල්පතිගේ  පිළිගැනීමකින් පසුව, පිරිස ටික වෙලාවක්  ඔහු සමග සාකච්ඡා  කර විදුහලේ සියලුම දෙනාට කිරිපිටි පැකට්ටුව බැගින් බෙදා දෙන බවත්, ඉහල පන්තිවල සිසුන් හමුවී කෙටි සාකච්ඡාවක් කළ හැකි බවත් කීහ.

පන්ති භාර ගුරුවරු මගින් කිරිපිටි පැකට්ටු බෙදා දීම  සාර්ථකව සිදු කෙරිණ.

අටවන ශ්‍රේණිය සිට ඉහලට පන්තිවල සිසුන් සඳහා රැස්වීමක් පන්ති කාමරයක සුදානම් කෙරුණි. ප්‍රධාන අමුත්තා ඉංග්‍රීසියෙන් කරන ලද කථාව භාෂා පරිවර්තකයා විසින් සිංහලට නගන  ලදී. රැස්වීම අතරතුරේදී එහි සිටි පිරිසට එම වර්ගයේ කිරි වීදුරුවකින් සංග්‍රහයක්ද පවත්වන ලදී.  

Related image
මුල්ම ආකෘතියේ තිබුණු කුරුළු කැදැල්ල, කුරුළු පැටව් තුන්දෙනා සහ හොටයේ පණුවෙක් දරා සිටින  මව් කිරිල්ලිය. මෙහි 'Nestle'  වෙළඳ නාමය නැත.

දේශනයෙන් අනාවරණය වූ  කරුණු කිහිපයක් මෙසේය.
1. මෙම ආයතනය 1886 වර්ෂයේදී ආරම්භ කර ඇත්තේ හෙන්රි       නෙස්ලේ (Henri Nestle) නම් ව්‍යාපාරිකයෙකු විසිනි. 'Nestle'  ඔහුගේ නමයි. එය ජර්මන් භාෂාවෙන් 'කුඩා කුරුළු කැදැල්ල ' යන අරුත ගෙන දේ.
2. ඔව්හු ඉහත දැක්වෙන එම 'කුඩා කුරුළු කැදැල්ල' සිය පවුලේ ලාංචනය ලෙස තෝරා ගෙන තිබේ. එමගින් පවුලේ එකමුතුබව, ලෙන්ගතුකම සහ සුහදතාව පිළිබිඹු කරයි.
3. කුරුළු කැදැල්ල සංකේතයට  Nestle නම් ඔහුගේ නමද එකතුකර තම ව්‍යාපාරයේ වෙළඳ නාමය ලෙස යොදාගෙන ඇත්තේ කලකට   පසුවය.
කෙසේ වෙතත්, 'කුඩා කුරුළු කැදැල්ල' මුල් සංකේතය වරින් වර සංශෝධනය කර දැනට භාවිත කරන වෙළඳ ලකුණ නිර්මාණය කර තිබේ. නව වෙළඳ ලකුණෙහි සුවිශේෂී වෙනස් කම් දෙකක් ඇත. මුල් ලාංචනයේ කුරුළු පැටවුන් තිදෙනෙක්  සිටින අතර නව ලාංචනයේ සිටිනුයේ දෙදෙනෙකි. මව් කිරිල්ලියගේ හොටෙහි රඳවා ගෙන සිටින පණුවාද දෙවැන්නේ  නැත.

මෙම වෙනස් කම් කිරීමට සුවිශේෂී හේතු තිබෙන බවද එදින සාකච්ඡාවේදී හෙළි කරන ලදී. එකල ස්විට්සර්ලන්තයේ පවුලක දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකු වීම ප්‍රශස්ත සංඛ්‍යාව  බවත් ළදරු ආහාරයක ලාංචනයේ පණුවෙකු පෙන්නුම් කිරීම අයෝග්‍යයයි සැලකු නිසාත් වෙනස් කම් සිදුකර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
  
එම වෙළඳ ලකුණෙහි දැක්වෙන්නේ ශීත රටවල බහුල 'thrush' නම් කුරුල්ලායි. ශ්‍රී ලංකාවේත් මධ්‍ය කඳුකරයේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ දකින්නට ලැබෙන සිංහලෙන් 'අරන්ගයා' නමින් හැඳින්වෙන්නේ  මෙම ගණයේ කුරුල්ලෙකි. මිහිරි හඬින් ගී ගයන අරන්ගයාගේ විද්‍යාත්මක නාමය  Myophonus blighi වන අතර රතු දත්ත පොතට අනුව අරන්ගයා වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි. 

වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති අරන්ගයා


සිසුන්තුළ සහජයෙන්ම පවතින කුතුහලය හොඳින් අවබෝධ කර ගෙන ඒ ඔස්සේ ඔවුනට දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට සැලැස්වීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්වීමට මෙම ක්‍රියාකාරකම හොඳ නිදසුනක් බව මගේ හැඟීමයි.  

21 comments:

  1. +++++++

    ඔබනම් දිසාපාමොක් කෙනෙක්

    ReplyDelete
  2. Thank you Ian. Comments are real encouragements !

    ReplyDelete
  3. ආරම්භය කෙසේ වෙතත්, නෙස්ලේකාරයින් බහු ජාතික සමාගමක් ලෙස ලොව පුරා මහා අපරාධ රාශියක් කර තියෙනවා!

    http://www.zmescience.com/science/nestle-company-pollution-children/

    !!!

    ReplyDelete
    Replies
    1. හිතවත් රසික.
      Nestle බහු ජාතික සමාගම පිළිබඳව ඔබ ඒවා තිබුණු link ඒකෙන් ගොස් සම්පුර්ණ විස්තරයම කියෙව්වා.ගොඩාක් තොරතුරු දැන ගත්තා. එයට ස්තිතූයි. කලකට පෙර ලංකාවේත් කිරිපිටි වල Melamine තිබෙන බවට‍ ලොකු ආන්දෝලනයක් තිබී ටික කලකින්ම එය නැතිවී ගියා මතකයි.
      මම කියන සිද්ධිය කාළයේ (අවුරුදු පනහකට පමණ පෙර) දැනට තරම් මහා අපරාධ කරන්නට නැතුව ඇති. ඒ උනත් අද තත්ත්වය ගැන ජනතාව දැනුවත් වීම හරිම වැදගත්.ඔනෑම කෙනෙකුට ඔබගේ Link එකින් ගොස් ඒවා බලා ගත හැකියි.ඒ ගැන නැවත වරක් ස්තුතියි. මගේ වෑයම වුයේ සිසු කුතුහලය ඔස්සේ ඉගෙනුම් මගකට සිසුන් යොමු කිරීම පමණයි.

      Delete
  4. මෙවැනි සුළු ප්‍රශ්න දිගේ ගොස් බොහෝ කරුණු සොයා ගත හැකියි. මේ ගැන වැඩිපුර නොසිතුවත් නෙස්ලේ කියන වචනය යොදාගෙන සකස්කල වෙළඳනාමයක් කියා තමයි මා සිතා සිටියේ. නෙස්ලේ කියන්නේ පුද්ගලනාමයක් ආශ්‍රියෙන් යෙදූවක් කියලා අද තමයි දැනගත්තේ. අන්තර්ජාල පහසුකම් නොමැති අවධියක, අතින් මුදල්ගෙවා, බරපතල ලෙස විෂයානුබද්ධ සේ නොපෙනෙන එම සරල ප්‍රශ්නය පිළිබඳ ඔබ දැක්වූ උනන්දුව ඉතා ප්‍රශංසා සහගතයි.

    ReplyDelete
  5. මේක නම් වටිනා කතාවක්. මමත් කවදාවත් නොසිතලවත් තිබ්බ දෙයක් ගැන දැන ගත්තා. එවැනි කාලයක මෙච්චර උනන්දුවකින් සිසුවෙකුගේ පැනයක් විසදීම ගැන කියන්න වචන නෑ.. ඒ තරම් වටිනා වැඩක්..

    ඔබ ලිපි ලියන විදිය නිසා කියවන්න ආස හිතෙනවා. අද ඉයන් ගෙන් පාර අහගෙන ආවේ..

    ReplyDelete
    Replies
    1. Ian ටත් ස්තුතියි.
      ඇත්ත කතන්දර නිසා ලියන විට අදහස් මාලාවක් පෙළ ගැසී එනවා.

      Delete
  6. සැබෑ දිසාපාමොක් කෙනෙකුට එල් බෝඩ් දිසාපාමෙක් වරයෙකුගේ ආචාරය

    ReplyDelete
    Replies
    1. ඩබ්ලිව්.කේ,
      කව්රුත් පටන් ගන්නේ L-Board වලින් තමයි.ඉක්මනටම Learner-Instructor කෙනෙක් වෙන්නට ලැබේවායි පතනවා.

      Delete
  7. ඉයන්ගේ හෝඩුවාවකින් තමයි මේ පැත්තේ ආවේ. ප්‍රසිද්ධ වෙළඳ නමක නොදන්න දෙයක් මෙයින් දැනගත්තා. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තිතූයි දුමින්ද, නිතර හමුවෙමු.

      Delete
  8. මගේ පෞද්ගලික ඉතිහාසය නිසා මං කොහොමත් අධ්‍යාපන ( පරිපාලන ) ක්ෂේත්‍රය ගැන කියවන්න කැමතියි.
    එහෙම නැතුව වුනත් ඔබගේ ලිවීම අනර්ඝයි.

    https://en.wikipedia.org/wiki/Spot-winged_thrush
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_whistling_thrush
    අරෙන්ගයා ව සිංගිමලේ රක්ෂිතයෙදි දැක්කා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍ර.ජය.
      අධ්‍යාපන පරිපාලනයේ සිටි ඔබ මෙසේ හමුවීම ගැන සතුටුයි. අරංගයා ගැන තව දැන ගැනීමට කැමති අයට ඔබ එවා ඇති Links ප්‍රයෝජනවත් වේවි. වරක් අපි හෝර්ටන් ප්ලේන්ස්හි සංචාරක නිකේතනයෙහි නතරවී සිටියදී හිමිදිරි පාන්දරම අරන්ගයින් යුවලක් දැක්කා.

      Delete
    2. මගේ පියා තමයි සිටියේ. ඔබගේ කාලයට වඩා ඉහතදී වෙන්න ඕනෑ. කොලඹ දිස්ත්‍රික්කයේ එයට අදාල සමහර ගමන් ඔහු සමග මා ගොස් තිබෙනවා කුඩා කාලයේ

      Delete
  9. හොඳ විස්තරයක්!

    ReplyDelete
  10. ඔන්න ඉතිං දයා මහත්තයාටත් පිස්සුනේ...ළමයෙක් ඔහොම එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රශ්ණයක් ඇහුවම අතින් කයිට් කරගෙන (තමන්ගෙ වියදමෙන් යමක් කරනකොට එහෙමයි කියන්නෙ) සුවිට්සර්ලන්තෙට ලියුම් යවන්නෙ මොකටෙයි? හොඳ මහත වේවැලක් අරගෙන " කෝ, මෙහාට එනව..හුහ්..නෙස්ලේ නේද? නෙස්ලේ..නෙස්ලේ....නෙස්ලේ" ඔන්න ඔහොම අර ළමයට ලඟට කතාකරල යටි ගිරියෙං කෑගහන ගමං නෙස්ලේ නෙස්ලේ කියල කියවෙන වාරයක් පාසා ළමයගෙ පස්සට වේවැල් කසාය දෙන්නනෙ ඔබ තුමාට තිබ්බෙ.

    ආය ජීවිතේට අර කොලුව මැරූ කොට ප්‍රශ්ණයක් අහන්නෙ නම් නෑ..නෑම තමයි. අන්න එහෙමයි ළමයින්ට නිසි පරිදි උගන්වනව , ළමයි නිසි මාර්ගයෙ යවනව කියන්නෙ. ඔබතුමා මේ මොකක්ද කරල තියෙන්නෙ? බොහොම නරකයි සික්..බොහොම නරකයි..

    තමන්ගෙ කාලය අපතේ යවනව මදිවට අර අච්චර වැඩ රාජකාරි තියන නෙස්ලේ කොම්පැණියෙ ලොක්කන්ගෙ කාලයත් අපතේ ඇරල... මම එහෙම ඔහෙගෙ බොස් වෙලා හිටියනම් ව.ක්‍රී. ප. ඔහෙට දෙයියම්ප ගහනව මෙහෙම ලියුමක්...

    දයා වීරසේකර මහතා,
    විද්‍යා අධ්‍යාපන නිලධාරී,

    නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා සිටීමයි.

    මහතාණනි,

    පසුගිය දිනක සිසුවකු විසින් විමසූ පැණයක් පිළිබඳව ඔබ විසින් ස්විට්සර්ලන්තයේ නෙස්ලේ සමාගමේ ප්‍රධාන කාර්යාලයට ලිපියක් යවා නෙස්ලේ ලාංඡනය පිළිබඳව කරුණු විමසූ බවත් ඒ ලිපියට ප්‍රතිචාර ලෙස එම සමාගමේ ස්විස් ජාතික නිලධාරියකු පැමිණ අදාල සිසුවා ඉගෙනුම ලබන විදුහලේ කරුණු පැහැදිලි කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වූ බවත් මවෙත වර්තා වී ඇත.

    2.මේ සම්මන්ත්‍රණය සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරය ලබාදුන් බව සත්‍යයකි. එහෙත් එසේ අවසර ලබා දෙන ලද්දේ එම අවසරය ප්‍රතික්ෂේප කිරීම විදේශයක් හා පවතින යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට බාධාවක් විය හැකිය යන සැකය මත පදනම්වය.එසේ නොමැතිව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති අනුමත විෂය නිර්දේශයට අදාල නොවන කරුණු (එනම් බහුජාතික සමාගම්හි ලාංඡන වල දැක්වෙන කුරුල්ලන් හෝ කුරුළු පැටවුන් පිළිබඳ කරුණු වැනි) පිළිබඳව සිසුනට සම්මන්ත්‍රණ පැවැත්වීමට අවසර ලබාදීම කිසිසේත්ම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය නොවේ.

    3.එබැවින් සිසුනට අනුමත විෂය නිර්දේශයෙන් බාහිර අනවශ්‍ය කරුණු ඉගැන්වීම යන විෂමාචාර චෝදනාව විභාග කිරීම සඳහා විනය පරීක්ෂණයක් එළඹෙන සඳු දින මෙම කාර්යාලයෙහි පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට සහභාගිව ඔබට විරුද්ධව නිසි පියවර නොගැනීමට යම් හේතු ඇතහොත් ඉදිරිපත් කරන ලෙස ලෙස ඔබට මෙයින් දන්වා සිටිමි.

    4.ස්ව්ට්සර්ලන්තයේ නෙස්ලේ සමාගමට ලිපියක් යැවීමට වැයවූ රුපියල් අටක්වූ තැපැල් ගාස්තු බරපැනද ඔබ විසින්ම දැරූ බවද මවෙත වැඩිදුරටත් වාර්තා වී ඇත. ඔබට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගෙවනුයේ ඔබ සහ ඔබගේ දරු පවුල රක්ෂා කිරීම වෙනුවෙනි. ඒ මුදලින් රුපියල් අටක මුදලක් මෙවන් ඊට අදාල නොවන කාර්යයකට යෙදවීම යනු ඒ මුදල ඔබට අනවශ්‍ය බවට නිසැක සාධකයකි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබගේ වැටුපින් රුපියල අටක මුදලක් අවකරණය කිරිමටද උපදෙස් දෙමි.

    අධ්‍යාපන අධ්‍යක්ෂ,
    .............කලාපය,

    ReplyDelete
  11. හිතවත් රවිට,
    ඒ කාලයේ මටත් ඔයාට වගේම ටිකක් පිස්සු තිබිලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් රටේ වැඩ පිළිවෙලවල් 'නවීකරණය' වන විට (භීෂණය,දුෂණය,ආත්මාර්ථය,ගැතිකම,වන්දි භට්ට කම,නිවට කම වැනි ලක්ෂණ වලින් නවීකරණය වීමයි) අපගේ පිස්සුවද ටිකින් ටික අඩුවී ගොස් විශ්‍රාම ගත්තාට පසුව හොඳටම හොඳවෙලා. පිස්සුව තිබුණු කාලේ කරපු 'පිස්සු වැඩ' මතක් වෙලා ලියන්නේ ඒ නිසයි.
    කොහොම වෙතත් අධ්‍යක්ෂක තුමාගේ අගනා ලිපියටත් පිළිතුරක් මේ සමගම ලියනවා.

    ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා
    ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුව
    ...........

    මැති තුමනි.

    පාසැලක පන්ති ඉගැන්වීම් අධීක්ෂණයකදී සිදුවූ විනය විරෝධී ක්‍රියාව පිළිබඳවයි

    ඔබ තුමාගේ දින රහිත ලිපිය මට ලැබුනා.මට වගේම ඔබ තුමාටත් තරමක් පිස්සු තිබෙන නිසා මෙරට නෙස්ලේ සමාගමට යවනලද ලිපිය ඔබ තුමාගේ නිර්දේශයද සහිතව යැව් බව අමතක වීම පුදුමයක් නොවේ. මට දුන් ලිපිගොනුවේ ස්විට්සර්ලන්තයට යවන ලද ලිපියේ පිටපතක්ද තිබෙනවා.පරිපාලන නිලධාරිවරයා ගෙවීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ අංක 48/12/වී/තැගා/ස්විස්/sea mail/001 දරණ ඡේදය යටතේ තබා ඇත සටහනට යටින් ඔබ තුමා Yes කියා ලියා අත්සනද තබා තිබේ. මෙයද ඔබට‍ අමතක වී තිබෙන බව පෙනේ.

    2.ලෝකයේ එහා කොනේ තිබෙන විදේශයක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගැනීම කඩ වේයයි බියෙන් මට අවසරයක් ලබාදී පසුව එය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය නොවන බව කියන විට ඔ‍බගේ පිස්සුව ටිකක් වැඩිවී තිබෙන බව පැහැදිලිය
    3.කාර්යාලයේදී පැවැත්වීමට නියමිත විනය පරීක්ෂණයට සතියකටවත් කලින් අප දෙදෙනාගේම මානසික තත්වයන් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයන් කර මානසික වෛද්‍ය විශේසඥයෙකු හමුවීමට දිනයක් නියම කර ගතිමි. එයට සහභාගී වීම සමස්ත ශිෂ්‍ය සංහතියටම ඵලදායි වනු ඇතැයි සිතමි.
    4. ඔබගේ නිර්දේශයක් අනුව කටයුතු කිරීමෙන් පසුව මවිසින් දරන ලද රුපියල් අටේ තැපෑල් ගාස්තුව පිළිබඳව ආයතන සංග්‍රහය අකුරටම පිලිපද තිබෙන ගිණුම චක්‍රවර්තී පරිපාලන නිලධාරි තුමාගෙන් උපදෙස් ලබාගෙන එක සමාන පිස්සු තබෙන අප දෙදෙනාගෙන් සම සමව කපා ගැනීමට කටයතු කළහොත් මැනවයි සිතේ.
    මෙයට,
    සේවා ලැදි

    විද්‍යා අධ්‍යාපන නිලධාරී


    ReplyDelete
  12. එක බ්ලොග් ලිපියකින් මේ තරම් දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියල හිතුවේ නෑ .ඔක්කොටම වැඩිය වටින්නේ රාජකාරි ලිපි දෙක
    ස්තුතුයි සර්

    ReplyDelete
  13. මම හිතාගෙන හිටියෙත් කුඩා කැදැල්ල කියන තේරුමයි,රූපයත් සමග .ඉතාමත් වටිනවා දැනුවත් කිරීම . නමුත් බහුජාතික සමාගමක් ,කළු ලකුණු සහිත......

    ReplyDelete