Thursday 20 April 2017

විභාග වල අනුවේදනීය කතා කිහිපයක්.....

විභාග වල අනුවේදනීය කතා කිහිපයක්.....
පේ විභාග වලදී වංචා සහගත කටයුතු කිරීමට නොහැකි වන ලෙස සෑම හිඩැසක්ම වැසීමට පියවර ගෙන තිබේ. එහෙත් සමහර අවස්ථාවලදී, විභාග කාර්ය මණ්ඩලයේ අපරීක්ෂාකාරී කම් නිසා වැරදි සිදුවවිය හැකිය. ක්‍රමවත් ලෙස නිරීක්ෂණ කටයුතු කරන නිලධාරීන් විසින් එවැනි වැරදි කළ අය හඳුනාගත් අවස්ථාද එමටය. මෙයින් කිහිපයක් පහත දැක්වේ.

                        1.  විභාග ශාලාවේදී උත්තර පත්‍ර වංචනික  ලෙස මාරු කර ගැනීම

මෙය නිතර අසන්නට ලැබෙන විභාග වංචාවකි. මා ශාලාධිපති ලෙස අධීක්ෂණ කටයුතු වල යෙදුන මධ්‍යස්ථානයක මෙවැන්නක් සිදුවිය. එය ඉංග්‍රීසි විෂයය විය. විභාගය ආරම්භ වී පැය භාගයකට පමණ පසු මා සිටි ස්ථානයට ආසන 10 ක්‌ පමණ ඉදිරි ආසනයේ සිටි සිසුවා, කඩදාසියක් ඔහුට පිටුපස ආසනයේ සිටි සිසුවාට දුන් අතර එම සිසුවා එම කඩදාසිය තම කඩදාසි ගොනුව යටින් තබා ගත්තේය. මෙය දුටු මම කඩදාසිය ලබාගත් සිසුවා වෙත ගොස් ඩෙස්කුවේ ලියා ඇති විභාග අංකය පරීක්ෂා කරන නියාවෙන් ඔහුගේ පිළිතුරු පත්‍ර වල අංක පෙරලා බැලුවෙමි. යටම තිබුණු කඩදාසියේ දමා තිබුණු විභාග අංකය වෙනස්ය. එය  ඔහුගේ අංකය නොවුනි. එම කඩදාසිය මා භාරයට ගෙන පැමිණීමේ ලේඛනය සහ ලකුණු ලේඛනය සමග සසඳා බැලීමි. එය ඉදිරියෙන් සිටින සිසුවාගේ අංකයයි. එම කඩදාසියේ පිටු භාගයක පමණ වාක්‍ය රචනාවක් ලියා තිබිණ. විභාග ශාලාවෙන් පිටවී යාමට පෙර ඔවුන් දෙදෙනාටම මා හමුවන ලෙස ඉතාමත් මිත්‍රශීලීව දැන්වීමි.
තමන් විසින් ලියන ලද වාක්‍ය රචනාව තමාට පිටුපස ආසනයේ සිටි  අයදුම් කරුට දුන් බව අදාළ ශිෂ්‍යයා පිළිගත් නමුත්, තමා එය නොඉල්ලූ බව දෙවැන්නා ප්‍රකාශ කළේය. දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගතිමි. තම වාක්‍ය රචනාව අනිකාට දුන් සිසුවාගේ උත්තර පත්‍රයේ රචනාවක් නොවීය. මේ සම්බන්ධයෙන් ආවරණ ලිපියක්‌ සකස්කර සිසුන්  විසින් අවසන් කරන ලද පිළිතුරු පත්‍ර දෙක, ලබාගත් ප්‍රකාශන, සිද්ධිය සත්‍ය බවට  නිරීක්ෂක වරුන් දෙදෙනෙකුගේ අත්සනද සහිතව වෙනම කවරයක බහා විමර්ශන ශාඛාවට යැවීම සඳහා පියවර ගන්නා ලදී. මෙම විස්තර සියල්ල සඳහන් කර ජර්නල් සටහනක්ද තැබීමි.
විමර්ශනයකින් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ඔප්පු වුවහොත් අදාළ අයදුම් කරුවන්ට වසර කිහිපයක විභාග තහනමකට යටත් වීමට සිදුවේ.

            2.   අයදුම් කරු වෙනුවට වෙනත් අයෙකු පිළිතුරු ලිවීම (Impersonation) 
                                                                                    
   විභාගයකදී, නියමිත අයදුම්කරු වෙනුවට වෙනත් අයෙකු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීම බරපතල වංචාවක් ලෙස  දැක්විය හැකියි. මෙවැනි සිද්ධි කලාතුරකින් වාර්තාවේ. මා සමග සේවය කළ සහෝදර නිලධාරියෙකු අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී එවැනි  සිද්ධියකදී කටයුතු කර ඇති   ආකාරය මෙහි දක්වමි. එදින තිබී ඇත්තේ ගණිත ප්‍රශ්න පත්‍රයයි. එක්තරා විභාග ශාලාවක (කොළඹට ආසන්න) මෙසේ සිදුවන බව විභාග දෙපාර්තමේන්තුවට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබී ඇත. එය පෞද්ගලික අයදුම් කරුවන් විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයකි. 
    විභාග පැවැත්වෙන සෑම විටකම, විභාග ශාලාවල ඇතිවිය හැකි ඕනෑම ගැටලුවකට පිළියම් සෙවීම සඳහා පළපුරුදු නිලධාරීන් කිහිප දෙනෙකු සූදානමින් සිටීම සිරිතකි.
නිලධාරීන් දෙදෙනෙකු වහාම එම මධ්‍යස්ථානයට ගොස් තිබේ. විභාගය මැනවින් පැවැත්වෙන අතර සිද්ධිය පිළිබඳව ශාලාධිපති වරයා කිසිවක් දැන නොසිටියේය. ඒ කාලයේ වැඩිපුරම තිබුනේ තැපෑල් කාර්යාල හරහා ලබාගත් හැඳුනුම් පත්ය. මෙවැනි අවස්ථාවකදී කළ හැකි එකම දෙය ඉදිරිපත් කර ඇති හැඳුනුම් පතෙහි ඇති ඡායාරුපය, එය දරණ  පුද්ගලයාගේමද යන්න තහවුරු කිරීම පමණකි. කෙසේ වෙතත් විභාග අපේක්ෂකයින්ට කරදරයක් නොවන ලෙසට මෙය කළයුතු වේ.
නිලධාරින් විසින් සියලුම නිරීක්ෂක වරුන්ට අවශ්‍ය උපදෙස් දී, තමතමන්ට නියමිත අයදුම්කරුවන්ගේ හැඳුනුම්පත් හොඳින් පරීක්ෂා කර, සියල්ල අනු පිළිවෙළට එකතු කරගෙන එන ලෙස දන්වා තිබේ. පැය භාගයකදී පමණ  සියලුම හැඳුනුම්පත් නිලධාරින් දෙදෙනා අතට ලැබුණි. මේවා නැවත පරීක්ෂා කිරීමේදී තැපෑල් කාර්යාල හැඳුනුම් පත් අතර ‘ලැමිනේට්’ කරන ලද හැඳුනුම්  පතක් දක්නට ලැබී ඇත. විශේෂ එකක් වූ එය හොඳින් පරික්ෂා කිරීමේදී හැඳුනුම් පත් දෙකක් හරි මැදින් සිරස්ව කපා එකක මුල් කොටස (සාමාන්‍ය තොරතුරු) සහ අනිකේ දෙවෙනි කොටස (ඡායාරූපය සහ අත්සන)  එකට තබා, ඉතාමත් සියුම් ලෙස ‘ලැමිනේට්’ කර ඇති  බව පෙනී ගොස් තිබේ. 
වංචාව එය බව පැහැදිලි වී ඇත . 
ඉදිරි පියවර ගෙන ඇත්තේ මෙසේය. අදාළ සිසුවාගේ හැර අන් අයගේ හැඳුනුම් පත් ආපසු නිවැරදිව බෙදා දුනි. සැකකාර සිසුවාට කථා කර ඔහු කර ඇති බරපතල  වරද තේරුම් කර දී,  ඔහුගේ  තොරතුරු සහ ව්‍යාජ අයදුම්පත පොලීසිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
ගණිත විෂයය තිබුණේ තුන්වෙනි විභාග දිනයේය. ඔහු පෙනී සිට ඇත්තේ ගණිතය සඳහා පමණකි.
මෙවැනි බරපතල වරදක් කරන අයෙකුට, උසාවිය මගින්  නඩු පවරන අතර වසර හත අටක විභාග තහනමක්ද ක්‍රියාත්මක වේ. නියම අයදුම් කරුටද ව්භාග තහනමකට මුහුණ පෑමට සිදුවේ. 

           3 .   කලින් නිකුත් කල විභාග කඩදාසියක  ලියන ලද  පිළිතුරු ඇමිණීම

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග වල පිළිතුරු සැපයීම සඳහා විශේෂ කඩදාසියක් සපයනු ලැබේ. මේවා බෙදා දීමට පෙර නිරීක්ෂක වරයෙකු විසින් කෙටි අත්සන තබා, දිනය දැමිය යුතුය.
අපොස උසස් පෙළ විභාගයක අයදුම් කාරියක්, තමන්  විසින් කලින් ලියාගෙන එන ලද කඩදාසියක් උත්තර පත්‍රයට අමුණා තිබීම විභාග ශාලාධිපතිවරයෙකුට හසුවී තිබේ. එය ආර්ථික විද්‍යාව විෂයයයේ උත්තර පත්‍රයකි. විභාග මධ්‍යස්ථානයේ පෞද්ගලික අයදුම්කරුවන් පමණකි. 
සාමාන්‍යයෙන් විභාගයක් පැවැත්වෙද්දී වරින් වර කාලය පිළිබඳව දැනුම දීම සිරිතකි. එදින ප්‍රශ්න පත්‍රයේ කාලය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී ඒ බව දැනුම් දී, ලියන ලද කඩදාසි සියල්ලම අනු පිළිවෙලට ගොනු කර අමුණා ගැට ගසන ලෙස කිහිප වරක්ම උපදෙස් දෙන ලදී.
එක් පන්ති කාමරයක සිටි ශිෂ්‍යාවක් ඕනෑ කමින්ම වාගේ අවසාන විනාඩි කිහිපය මිඩංගු කර කුඩාවට නමා තිබුණු කඩදාසියක් දිග හැර උත්තර පත්‍ර ගොනුවේ යටින්ම තබා ගැට ගසා උත්තර පත්‍රය නිරීක්ෂක වරිය අතට දී ඉක්මනින්ම ශාලාවෙන් පිටවී ගොස් ඇත.  නිරීක්ෂක වරිය මෙය ශාලාධිපතිට දැන්වූවාය. උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී එහි අවසාන පිටුව කලින් දිනයක බෙදාදුන් කඩදාසියක් බවත්, එය  නමා තිබුණු බවද   පැහැදිලිව දකින්නට ලැබුණි. නිරීක්ෂක වරිය ශාලාවෙන් පිටතට පැමිණ ශිෂ්‍යාව ගැන සොයා බැලුවත් ඒ වන විටත් ඇය පිටවී ගොස් තිබිණ. උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී, එය සම්පුර්ණ ප්‍රශ්නයකටම ගැලපෙන කලින් දිනයක නිකුත් කළ, අනවසරයෙන් පිටතට ගෙනයන ලද,  විභාග කඩදාසියක ලියන ලද එකක් බව හෙළිවිය. එහි අයදුම්කාරියගේ අංකයද ලියා තිබුණි.
මෙය වාර්තා කළයුතු වරදකි. ශාලාධිපති විසින් එම උත්තර පත්‍රය ආවරණ ලිපියක්ද සහිතව විභාග දෙපාර්ත මෙන්තුවේ විමර්ශන ශාඛාවට යොමුකර ජර්නල සටහනක්ද  තබා තිබේ. මෙයද වසර කිහිපයක් විභාග  තහනමකට ලක් විය හැකි බරපතල වරදකි.  


14 comments:

  1. //උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී, එය සම්පුර්ණ ප්‍රශ්නයකටම ගැලපෙන කලින් දිනයක නිකුත් කළ, අනවසරයෙන් පිටතට ගෙනයන ලද, විභාග කඩදාසියක ලියන ලද එකක් බව හෙළිවිය. එහි අයදුම්කාරියගේ අංකයද ලියා තිබුණි.// ඒ කියන්නෙ ප්‍රශ්න පත්‍රයත් කලින් පිටවෙලා.

    ReplyDelete
    Replies
    1. අනුමානෙට ලියාගෙන එන්නත් පුලුවන්. තව එහෙම ලියාගෙන ආවට ප්‍රශ්න ආපු නැති ඒවාත් තියෙන්න පුලුවනි

      Delete
    2. ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා නොවෙයි අනුමාන කළ ප්‍රශ්නයක් තිබිලා.

      Delete
  2. කළින් නිවසෙදි ලියා පිළිතුරු අරන් ඒවි සිසු සිසුවියන්
    නමින් මිතුරගෙ පෙනී හිඳිමින් ලියයි තව දරු දැරිවියන්
    තමන් දත්දේ ලියනු දිරිගෙන ඇයිද බිය පුත දියණියන්
    ඉතින් ඔබගේ වැරදි හමුවේ දුක් විඳියි ඔබෙ මව්පියන්......

    ජයවේවා!!!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හොඳින් සිප්සත හැදෑරීමෙන් 'හැකිය සැම කඩඉම් පනින්න ට'
    සිති න් සිතමින් අනාගතයේ මිහිරි වූ දසුනක් දකින්න ට
    තම න් දත් දේ ලියා අදිටන් කලොත් යහමින් සිනා සෙන්න ට
    එයි න් ලබනා සුවය ඇතිවෙයි අනාගතයම බබලවන්න ට

    ඔබට තුති.

    ReplyDelete
  5. ෂෙහ්, දයා මහත්තය අවුරුදු තිස්පහකට හතළිහකට වගෙ කලින් මේ ලිපි මාලාව ලිව්වනම් මොනව හරි ප්‍රයෝජනයක් ගන්ට තිබ්බ..

    ඔබ ප්‍රමාද වැඩියි! ඔබ ප්‍රමාද වැඩියි!!

    ReplyDelete
  6. Never too late Ravi !. Thank you very much.

    ReplyDelete
  7. උසස් පෙළ විභාගයකදී ජාතික හැඳුනුම්පතේ පින්තූරය වෙනස් කර වෙනත් කෙනෙකු විභාගය ලියා සමත් වූ කතාවක් මමත් අසා තියනවා..
    විමර්ශන අංශයේ නිලධාරීනගේ රාජකාරිය කොහොම වෙන්න ඇත්දැයි සිතෙනවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ...,
      ඔබගේ කතාවත් ලියන්න. සමහරවිට අපි තොරතුරු දන්නවාත් ඇති.
      විමර්ශන අංශයට මුළු අවුරුද්ද පුරාම අධික වැඩ තිබෙනවා. බොහෝ විට උසාවි යන්නත් සිදු වෙනවා.

      Delete
  8. මේ ලිපිය කියවූ පසු මා අසා ඇති කතාවක් සිහිවුණා. එය මෙහි ලියන්නට දිග වැඩි නිසා, වෙනම ලිපියක් ලෙස රසිකොලොජි බ්ලොගයේ පළ කරනවා!

    ReplyDelete
    Replies
    1. අදාල ලිපිය කියෙව්වා. ඒ ආකාරයේ දේවල් කිහිපයකුත් අසුවෙලා තද දඬුවම් ලබා තිබෙනවා. කොහොම වෙතත් විභාග නිරීක්ෂක වරු ඒවාට අනුබල දෙනවානම් කළ හැකි දෙයක් නැහැ. හැබැයි අවස්ථා කිහිපයකදීම එවැනි දේ, උත්තර පත්‍ර බලන විට හසුවී තිබෙනවා. එක් අවස්ථාවක නිරීක්ෂක වරයෙකු උදව කරන බව දුටු වෙනත් අයදුම්කරුවෙකු උත්තර පත්‍රයේ ඒ බව ලියා තිබුනා. එය විමර්ශනය කර අදාළ අයට තද දඬුවම් ලබාදී තිබෙනවා. Impersonation කර අසු වුවහොත් එය උසාවියට යොමු කරනවා. නව තාක්ෂණය අනුව වංචා කාරයින් අල්ලා ගතහැකි බව තව පාඨකයෙක් කියා තිබුනා. ඒ ගැන නම් මට දැනුමක් නැහැ. අපේ විභාග වලත් දැන් ඒ නවීන තාක්ෂණ උපයෝගී කර ගන්නවා ඇති.

      Delete
  9. විභාග අංකය සෑම කොළයක ම ලිවිය යුතු ද? එසේ අවසන් පිටු ටිකේ නොලිවුවාම වෙන්නෙ මොකක්ද

    ReplyDelete
  10. ස්තුතියි ගවී,
    මා මේ තොරතුරු Blog සටහනේ පළකර වසර පහකට පසුව ඔබගේ පැණයට පිළිතුරක් සැපයීම ඉතා වැදගත් ලෙස සලකනවා.
    /විභාග අංකය සෑම කොළයක ම ලිවිය යුතු ද? එසේ අවසන් පිටු ටිකේ නොලිවුවාම වෙන්නෙ මොකක්ද ?/
    ඔබට විභාග ශාලාවේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබෙන සෑම පිළිතුරු ලිවීමේ කඩදාසියකම විභාග අංකය ලිවීම සඳහා ස්ථානයක් තිබෙනවා. මෙය විභාග අයදුම්කරුගේ පහසුව සඳහාමයි. සමහර අවස්ථාවලදී, අයදුම්කරුවෝ අවසාන මොහොතේ කඩදාසි ගොනු කර ඇමිණීමේ දී කඩදාසි සියල්ලම එකට ඇමිණී නොමැතිව තිබෙන අවස්ථා හමුවී තිබෙනවා. සමහරවිට ඒවා අස්ථාන ගත වෙනවා.එවැනි අවස්වථාවකදී එවැනි උත්තර පත්‍රයක් ලකුණු කර නියමිත අයදුම් කරුට ලකුණු ලබාදීම විභාග දෙපාර්තමේන්තුව් විසින් කරනවා. මේ නිසා සෑම පිටුවකම විභාග අංකය ලිවීමේ වාසිය ලැබෙන්නේ අයදුම් කරුටමයි.

    ReplyDelete