Monday, 6 January 2025

 

පැරණි ගැමියා, ගෘහාශ්‍රීත කර්මාන්තයක් ලෙස, අපනයනික මට්ටමේ ‘රබර් රොටි’ නිෂ්පාදනය කළ හැටි .....


    බර් නිෂ්පාදනය සහ රබර් ආශ්‍රිත භාණ්ඩ මගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ සැලකියයුතු ප්‍රතිශතයක් ආවරණය වේ. 2016  වසර වනවිට දිවයිනේ බිමෙහි හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ රබර් වගාකර ඇති අතර, එම වර්ෂයේදී රබර් මෙට්‍රික් ටොන් අනූ දහසක් පමණ නිපදවා, මෙයින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක් පමණ අපනයන කර ඇත. 2016 වර්ෂයේදී ස්වාභාවික රබර් සහ රබර් නිෂ්පාදන අපනයනය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන අටසියයක පමණ ආදායමක් ලබා තිබේ. 2020 වන විට නව ක්‍රමෝපායයන් යෙදවීම් මගින්, මෙම ආදායම ඩොලර්   බිලියන විස්සක් පමණ ලබාගත හැකි වේයයි අනුමාන කර තිබේ. (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්තාවකිනි.)

1876 වසරේදී ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යාණයේ, රබර් බීජ 1919 ක් රෝපණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ රබර් වැවීම ආරම්භ කර තිබේ. මෑතක්‌ වනතුරුම ශ්‍රී ලංකාවේ රබර් වගා කරන ලද්දේ රටෙහි තෙත් කලාපයට අයත් වන බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත් වළය.



දැනට රටෙහි රබර් නිෂ්පාදන ක්‍රියාවලිය උසස් මට්ටමක පවතින අතර, අදත් මෙයට දායක වන කුඩා රබර් ඉඩම් හිමියන්, දශක කිහිපයකට උඩදී මෙම ක්‍රියාවලියට උර දුන් ආකාරය මඳක් විමසා බැලීම මෙම සටහනෙන් බලාපොරොත්තු වේ.

විද්‍යාත්මකව රබර් ශාකය  Hevea brasiliensis යන නමින් හැඳින්වේ. මෙහි brasiliensis යන්නෙන් එයට  දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය  නිජ භුමිය වී ඇති බව දැක්‌වේ. රබර් ගසෙන් වැගිරෙන කිරි, මිදුණු විට ප්‍රත්‍යස්ථ භාවයකින් (elastic) යුක්තය. වේලාගත් මිදුණු රබර් කෑල්ලකින්  පැන්සල් ඉරි හෝ පැන්සලකින් ලියන ලද දේ මැකිය හැකි නිසා එම ද්‍රව්‍යයයට - ‘rub’ - ‘මැකීම’ යන අර්ථය ඇතිව ‘rubber’ ලෙස නම්කර ඇතිබව විශ්වාස කළ හැකිය.

දැනට දශක හයකට හතකට ඉහතදී අපගේ ගම් පලාත්වල ගෘහාශ්‍රීත රබර් නිෂ්පාදනය ගැමියාටම ආවේණික ක්‍රමවේදයන්ට අනුකුලව කරන ලදී. මේ නිසාම රබර් කර්මාන්තය ආශ්‍රිත වාග් මාලාවක්ද කට වහරට පැමිණ ඒවා බොහෝ දුරට ඒ ලෙසටම භාෂාවටද එකතුවී තිබේ.

කිරි කැපීම, කිරි පිහිය, කිරි කට්ටිය, කිරි ඇකිලිම,  කිරි පෙරීම, ‘ඩයමන්’ රෝල, දිය රෝල, රොටි තැලීම, රොටි වේලීම, දුම් ගෙය, ඔට්ට පාල්, පොල්කටු පාල්, බ්ම් පාල්, රබර් කොළ නිවාඩුව ආදිය මෙම වාග් මාලාවේ පොදු වචන කිහිපයකි. රබර් කර්මාන්තය ආරම්භ කළ මුල් කාලයේදී විදෙශිකයින් විසින් රබර් වතුවල යොදවන ලද ඉන්දීය ද්‍රවිඩ කම්කරුවන් භාවිත කළ  සමහර වචන නිසා ඒවාට ද්‍රවිඩ ඌරුවක්ද තිබේ.

රබර් වැවීම ආරම්භ කළ කාලයේ සිටම බොහෝ ගැමියන් තම ඉඩම් වලද කුඩා රබර් වගාවන් ආරම්භ කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන් වූ අපටද පාරම්පරිකව ගෘහාශ්‍රීත රබර් කර්මාන්තය ගැන හුරුවක් තිබුණි. පෙබරවාරි මාසය වන විට රබර් ගස්වල කොළ ඉදී වැටේ. මෙසේ සති තුනක් පමණ තිබී අලුතින් දළු ලා මල් හටගනී. ගස් වළ කොළ නොමැතිව ලා දළු පමණක් තිබෙන ඒ කාලයේ ‘කිරි කැපීම’ සිදු නොවේ. මේ නිසාම  පෙබරවාරි මාසය ‘රබර් කොළ නිවාඩුව’ වශයෙන් නම් කිරීමට  ගැමියා පුරුදු  විය. බොහෝ විට ඉඩමේ වල් පැල නෙලීම, සහ රබර් ගස් වලට පොහොර යෙදීම මේ කාලයේ දී කළ යුතු වැදගත් කාර්යයකි. ඒ සමගම කිරි කැපීමේදී ගස්වල  පොත්ත  පලුදු වී ඇති ස්ථානවල, අලුතින් පටක වර්ධනය සඳහාත් බැක්ටීරියා මර්දනය සඳහාත් ගොම මැටි සහ රසායනික ද්‍රවයක් ආලේප කිරීමද අවශ්‍යම දෙයකි.

ඊළඟ මාසයේදී  ‘කිරි කැපීම’ ආරම්භ කරනවිට ගසෙහි අනික්‌ පැත්තේ අලුතින් කැපුමක් ආරම්භ කිරීම සිරිතකි. කිරි පොල් කටුව සවි කිරීම සඳහාත්, කිරි ධාරාව ගලායාම සඳහාත්  ලෝහ පීල්ලද ගලවා නව කැපුමට සවි කිරීම ද අත්‍යවශ්‍ය දෙයකි. 
  
මෑත කාලයේදී වවනු ලබන PB  (Pure bred) 86 වැනි, ප්‍රමාණයෙන් කුඩා, කිරි වැඩියෙන් ලැබෙන, රබර් ගස් එකළ නොවිය. සමහර ගෙවතු වල රූස්ස රබර් ගස්ද සුලභ විය. සිටුවා වසර පහකින් පමණ, රබර් ගසකින් කිරි ලබාගත හැකිය. මේ සඳහා ගසේ මුල සිට අඩි හතරක් පමණ උසින්, ගසේ වටප්‍රමාණයෙන් අඩක පමණ පළමු ‘කැපුම’ දමනු ලැබේ.


මේ සඳහා විශේෂයෙන් සකස් කර තිබෙන ‘කිරි පිහිය’ භාවිත කෙරේ. වෑස්සෙන කිරි පහසුවෙන් ගලායාම සඳහා මෙම කැපුම අංශක 15 ක පමණ ආනතියකින් යුක්තය. මෙම කැපුමේ අවසානයේ සිට  අඩියක් පමණ පහලට නොගැඹුරු ඇලියක් කපා, එයට පහලින් කුඩා ලෝහ ‘පීල්ලක්’ සවිකෙරේ. කැපුමෙන් වැගිරෙන කිරි, පහලට ගලාගොස්, ඇලිය ඔස්සේ පීල්ලට වැටී, පීල්ලෙහි මැද කුඩා කොටසක් පහලට නමා  සකස් කළ ආධාරක නෙරීමටත්, ගසේ කඳටත් අතරින් සවි කෙරෙන, පොල් කටුවකට එකතු වේ.

ඝර්ම කලාපිය රටවල වැඩෙන බොහෝ ගස්වල තිබෙන, ක්ෂිරධර පටක (Laticiferous tissues) විශේෂයක් මගින් විවිධ ආකාරයේ යුෂ නිපදවනු ලැබේ. අමිහිරි රසයකින් යුක්ත විෂ සහිත යුෂ නිසා මෙම ශාක, ශාක භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වේ. එසේම පරිවෘත්තිය අපද්‍රව්‍ය වන රෙසින, ඇල්කලොයිඩ සහ වෙනත් හයිඩ්රෝකාබන  ද යුෂ වල අන්තර්ගත වේ.  රබර් වල ප්‍රත්‍යස්ථ භාවයට හේතු වනුයේ එහි ඇති දික් හයිඩ්රෝකාබන් අණු ජාල නිසාය. 



කිරි ලබාගැනීම සඳහා ගසෙහි පොත්ත කැපිමද ප්‍රවේශමෙන් කළ යුත්තකි. කිරි වෑස්සෙන ක්‍ෂීරධර පටක පිහිටනුයේ, ගසෙහි දුඹුරු පැහැති වල්කමය පිටපොත්තට යටින් ඇති ද්විතිය ප්ලෝයම පටක ආශ්‍රිතවය. මීට යටින්  ඇති ගසෙහි වර්ධක පටක වන ප්‍රාථමික ප්ලෝයමට හානි නොවන ලෙස රබර් කැපුම සකස් කර ගැනීමට ගැමියා දක්ෂයෙකි.

රබර් කිරි කැපීම, හැකි තරම් උදෙන්ම ආරම්භ කිරීම සිරිතය. සාමාන්‍යයෙන් එක ‘රබර් කට්ටියක’ රබර් ගස් සියයක් පමණ තිබේ. උදෙන්ම කිරි කැපීම පටන් ගත් විට පෙරවරු දහය පමණ වන විට ‘කිරි ඇකිලිම’, නැතහොත් ගසින් ගසට ගොස් පොල්කටු වලට වෑස්සී තිබෙන කිරි, බාල්දියකට එකතු කර ගැනීම කරනු ලැබේ. පැයකදී පමණ ගස් සියල්ලේම කිරි එකතු කර ගත හැකි වේ. ගසේ කැපුමේ ඉතිරි වන කිරි, කිරි එකතුකරන වේලාව වන විට කැපුම මත ඝනවී පට්ටයක් මෙන් සෑදේ. මෙම පට්ටය පසුදින කපන විට ගලවා වෙනම එකතු කර ගනී. ‘ඔට්ට පාල්’ලෙස හඳුන්වනුයේ මෙම පට්ටා විශේෂයයි. (හොඳින් ඇදෙනසුලු ‘ඔට්ට පාල්’ වෙසක් කුඩු බැඳීම සඳහා ඉස්තරම් පට්ටා වර්ගයකි.)

ඊළඟ පියවර වනුයේ එකතු කරගත් කිරි වලින් රබර් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමයි. ගෙදරට හෝ සැකසුම් මධ්‍යස්ථානයට ගෙනෙන කිරිපෙරණයකින් පෙරා, ඒ සඳහා විශේෂයෙන් සකසා ඇති ‘තැටි’ වලට වත්කර එයට තනුක ඇසිටික් අම්ලය හැඳි කිහිපයක් සහ ජලය නියමිත ප්‍රමාණයක් එකතු කරනු ලැබේ. (සාන්ද්‍ර අම්ලය නියම ප්‍රමාණයට තනුක කර ගැනීම ගැමියා දනී). ඊට පසු කිරි ද්‍රාවණය හැන්දෙන් හොඳින් කූරු ගා, පෙණ ඉවත් කර නිශ්චලව තැබිය යුතුය. නවීන ‘බඩ්’(budded) රබර් ගස් විස්සකින් පමණ ලැබෙන කිරි වලින්  එක කිරි තැටියක්‌ සකස් කළ හැකි වේ.

අම්ලය මිශ්‍ර කළ කිරි, පැය හතරකදී පමණ මිදී, මෘදු කැටියක් බවට පත්වේ. රබර් ෂීට් නිෂ්පාදනය සඳහා මෙම කිරි කැටිය හොඳින් තලා, තුනී කර ගත යුතුය. බොහෝවිට කුඩා ඉඩම් හිමියා, එය  ලෑල්ලක් මත තබා  අතින් තලා. බොරළු පුරවා බර වැඩිකරගත් බෝතලයකින් එය තවත් තුනීකර, අමු ‘රොටියක්’ සකස් කර ගනී. රොටිය තලා ගැනීම සඳහා අතින් කරකවනු ලබන ‘දිය රෝල්’ සමහර තැන්වල තිබේ. මිටපසු, තුනී කළ අමු ‘රොටිය’, ‘ඩයමන්ඩ් රෝල’ නමැති අතින් කරකවන තදීන් බර දැමිය හැකි විශේෂ උපකරණය තුලින් යවා තවදුරටත් තුනී කරගනු ලැබේ. මෙම ක්‍රියාව ‘රොටි ඇල්ලීම’යි මෙසේ කළ විට එහි ජලය බොහෝදුරට ඉවත් වී දාර සහිත තුනී අමු ‘රොටියක්’ ලැබේ. (diamond යන වචනය යොදා ඇත්තේ රොටිය මත ඇතිවන දෙපැත්තට සකස් වන දාර වලින් සෑදෙන හැඩතල නිසාය) බොහෝ විට කිරි කැපීමේ සිට මේ දක්වා ඇති කාර්යයන් සියල්ලම කරනුයේ රබර් කිරි කපන තැනැත්තා විසින්මය.

මේ ආකාරයට සාදාගන්නා ‘අමු රොටි’ වේලීම මීළඟ කාර්යයයි. කුඩා රබර් ඉඩම් හිමියා මේ සඳහා තමන්ගේම දුම් ගෙයක් ප්‍රයෝජනයට ගනී. බොහෝ විට, කටු මැටි ගසා ආවරණය කළ ගැල්වනයිස් තහඩු සෙවිලි කළ කුඩා කාමරය ‘දුම් ගෙය’ යි.

රබර් ‘දුම්ගෙය’ තුළ ඉහලින් සෑදු මැස්සක, හරස් අතට දැමු පොලුවල එල්ලා වැටෙන සේ රඳවනු ලබන ‘අමු රොටි’දුම් ගසා වේලීම පිණිස, පහලින්  ලී කොට දමා ගිනි අවුලවනු ලැබේ. දින දෙක තුනක් තිස්සේ දුම් ගැසීමෙන් පසු ජලය සම්පූර්ණයෙන් ඉවත්වූ ‘රොටි’, ලා දුඹුරු පැහැයක් ගනී. මේවා ‘ශීට් රබර්’ ලෙස හැඳින්වේ. ආනයනය කරනු ලබන මෙම ‘ශීට් රබර්’ විදේශ වෙළඳ පලේ හඳුන්වනු ලබන්නේ ‘දුම් ගැසූ දාර රොටි’ (RSS - Ribbed smoked rubber) යන නමින්ය.

එකළ රටෙහි රබර් වගා කළ සෑම ප්‍රදේශයකම, ගම් වල  ගැමියා විසින් නිෂ්පාදීත  ‘දුම් ගැසූ දාර රොටි’ මිලදී ගෙන ආනයන කරුවන් වෙත යවන වෙළෙන්දෝ සිටියහ. මෙම වෙළඳ සැල්වල ‘අවසර ලත් රබර් වෙළඳ තැන’ (Licenced dealer in rubber) යන දැන්වීම දකින්නට ලැබිණ. රබර් නිෂ්පාදකයාට තම භාණ්ඩ  මෙම වෙළඳ සැල් වලට අළෙවි කර, එවලේම මුදල් ලබාගත හැකි විය. නිෂ්පාදනයේ අතුරු ඵලයක් ලෙස සැලකිය හැකි ‘ඔට්ටපාල්’ ද  අළෙවි කර මුදලක් ලබා ගත හැකි අපද්‍රව්‍යයක් විය.

‘දුම් ගැසූ දාර රොටි’ වලට, විදේශ වෙළඳ පලේ ඉතා හොඳ ඉල්ලුමක් තිබේ. විශේෂයෙන්ම වාහන වල ටයර් සහ වෙනත් ගෙවී යාම් වලට තුඩු දෙන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙම රබර් ප්‍රභේදය ඉතාමත් සුදුසු බව නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනයේ පුරෝගාමිකයන්වු, පැරණි ගැමියන් විසින් කරගෙන ආ ‘දුම් ගැසූ දාර රොටි’ නිපදවීම, අද බොහෝ දුරට අක්‍රිය වෙමින් පවතී. මහා පරිමාණයේ රබර්  කර්මාන්ත ශාලා මගින් ‘අමු කිරි’ එකතු කර යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් ‘ක්‍රේප් රබර්’ නිෂ්පාදනය කෙරෙහි යොමුවීම මෙයට ප්‍රධාන හේතුවයි. කෙසේ වෙතත් මේ මගින් රබර් නිෂ්පාදනයේදී ගැමියා මත තිබුණු බර බොහෝ දුරට අඩුවී ඇත. රබර් මුදවා ගැනීම, රොටි සකස් කිරිම, දුම් ගසා වේලීම වැනි භාරදුර ක්‍රියාවලියන් අද ඔහුට නැත. තම රබර් ඉඩමෙන් ලැබෙන අමු කිරි කෙලින්ම එකතු කිරීමේ මධ්‍යස්ථානයකට සැලකියයුතු මිලකට ලබාදී, අද ඔහුට සවස් වරුවේ විවේකයක් ගත හැකිය.

ස්වාභාවික රබර් කර්මාන්තය, ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථක, එමෙන්ම තිරසාර සහ සමාජ-ආර්ථික වශයෙන්  වැඩදායි, අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණු අගනා සම්පතක් ලෙස සැලකිය හැකිය. රබර් කර්මාන්තයේ නියැලි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක මෙහෙය වීමෙන් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නොඅඩුව ලැබේ. අගලවත්තේ, ‘ඩාර්ටන් ෆීල්ඩ්’ වතු යායේ පිහිටුවා තිබෙන රබර් පර්යේෂණායතනය, ලොව ඇති පැරණිම රබර් පර්යේෂණායතන වලින් එකකි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදන අංශය, රටෙහි විදේශ විනිමය උපයන තුන්වන කර්මාන්තය වී තිබේ. මෙය මගින් රටෙහි විවිධ මට්ටම්  වල වෘත්තිකයින් තුන් ලක්ෂයකට පමණ රැකියා පහසුකම් සලස්වා දී ඇත. 

(මෙය පැරණි මතකයක් නැවත සිහිපත් කිරීමකි) 

Saturday, 30 November 2024

 

‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්‍රවේණි විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­


   අපගේ පැරණි ප්‍රස්තා පිරුළක කොටසක්  වන  ‘ආරේ ගුණ නෑරේ’  යන්නෙහි අදහස වනුයේ, සම්ප්‍රදායටම ගැතිවී අන්ධානුකරණයෙන් යම් යම් දේ සිදු කිරිමට පෙළඹීම බව,  මෑතකදී පුවත් පතක පළවූ ලිපියක කියවන්නට ලැබුණි. මෙහි ‘ආරේ ගුණ නෑරේ’ යන කොටසෙහි නම් ‘සම්ප්‍රදායට’ වඩා ගැඹුරු අර් ථයක්   ප්‍රවේණි  විද්‍යාව  ආශ්‍රීතව දැක්විය හැකිය.


‘ආරය’ සහ ප්‍රවේණිය   

‘ආරය’ යන වචනයට ඉතාමත් සමීප කළ හැකි ජීව විද්‍යාත්මක යෙදුම ‘ප්‍රවේණිය’ (Heredity) වේ. පවුලක මව හෝ පියා තුළ දකින්නට ලැබෙන යම්කිසි හැඩහුරුකමක් හෝ වෙනත් ගති ලක්ෂණ, ඊළඟ පරම්පරාවේ දරුවන්ටත් ඒ ආකාරයෙන්ම පිහිටීමේ ස්වාභාවික සංසිද්ධිය ප්‍රවේණිය බව, සරලව දැක්විය හැකිය.  සමහර අවස්ථා වලදී මවක් සහ ඇයගේ දියණියක් එකවර දකින කෙනෙකු “ආරෙට ගිහිල්ලා, දුව හරියට අම්ම වගේමයි” යනුවෙන් ප්‍රකාශ කරනු  ඔබටද ඇසී ඇතැයි සිතිය හැකිය. මවක්  සහ ඇයගේ සෑම දියණියක්ම  එම කියමනට ගෝචර නොවන අවස්ථාද එමටය. එවැනි අවස්ථා වලදී  මවකගේ  සහ දියණියකගේ හැඩරුව මෙසේ දෙආකාරයකට පැවතිය හැක්කේ කෙසේද යන්නට ප්‍රවේණි විද්‍යාවේ සංකල්ප මගින්  විසඳුම්  ලබාගත හැකිය.


ප්‍රවේණිය යන යෙදුමෙන් මෙන්ම ‘ආරය’ යන වචනයෙන්ද, බොහෝ දුරට ජීවියෙකුගේ ජෛව විද්‍යාත්මක උරුමය හැඳින්විය හැකිය. මෙයින් පැහැදිලි  වනුයේ ජීවීන්ගේ විවිධ හැඩරුව සහ ගති ලක්ෂණ පාරම්පරිකව දකින්නට ලැබෙන්නේ කෙසේද යන්නයි. ජීවියෙකු තුළ දකින්නට ලැබෙන මෙම ගති ලක්ෂණ වලට පාදක වන මූලික ඒකක,  ජාන (genes) ලෙස නම්කර තිබේ.  (ග්‍රීක් භාෂාවේ genos’ යන වචනයෙන් දැක්වෙන "birth" නැතහොත් ‘උපත’ යන අදහස අනුව මෙම වචනය සෑදී ඇත) ඕනෑම ජීවියෙකුගේ, සෑම සෛලයකම, න්‍යෂ්ටියේ ඇති වර්ණදේහ (chromosomes) තුළ, ජාන ගැබ්වී තිබෙන අතර ජීවියෙකුගේ ගති ලක්ෂණ පාරම්පරිකව  සම්ප්‍රේෂණය වන ක්‍රියාවලිය හසුරවනු ලබන්නේ ජාන මගින්ය. මෙම ලක්ෂණ පැහැදිලි කෙරෙන මිනිසාගේ සෛලයක ව්‍යුහය සහ එහි න්‍යෂ්ටියේ අන්තර්ගත  වර් ණදේහ යුගලයක ස්වරූපය වෙන වෙනම මේ සමග ඇති සටහනෙහි දැක්වේ. ඒ සමගම එහි දකුණුපස, ජීවීන්ගේ දේහ ලක්ෂණ පාරම්පරික වීමේදී ක්‍රියාත්මක වන වර්ණදේහාංශවල හටගන්නා ‘ඇලීල’ (alleles) යුගල ප්‍රභේද තුනක්ද පෙන්වා ඇත.


                

                                                                               

ප්‍රවේණිය පිලිබඳ ගවේෂණ ආරම්භ කිරීම                

ජීවීන්ගේ ගති ලක්ෂණ පාරම්පරිකව උරුම වීම පිලිබඳ කරන ලද පර් යේෂණ ආශ්‍රීතව ලබාගත් තොරතුරු අනුව, උපකල්පන කිහිපයක් ගොඩ නැගු පළමු විද්‍යාඥයා වූයේ, ඔස්ට්‍රියානු ජාතික පුජකවරයෙකු වූ  ග්රෙගර් මෙන්ඩල් ය. කුඩා කාලයේ සිටම තම පියාගේ ගොවි පලෙහි හැදුනු වැඩුණු ඔහු, ගව පට්ටියේ  දෙනුන් අභිජනනය කිරීමෙන්, වඩාත් හොඳ ගව පැටවුන් ලබා ගතහැකි බව දැන සිටියේය.  එම නිරීක්ෂණය නිසා ඔහුට අභිජනනය  පිලිබඳ කරුණු සෙවීම පිණිස  උනන්දුවක් ඇතිවිය. පසුව ඔහු පූජක වරයෙකු වී, පූජකාරාමයක  ජීවත්වෙමින්, මීයන්, මීමැස්සන් වැනි සතුන් අභිජනනය සඳහා යෙදවීම ගැන අධ්‍යයන කිරීමට පටන් ගත්තේය එහෙත් එහි සිටි වැඩිහිටි පූජකවරු අභිජනන කටයුතු සඳහා සතුන් යොදාගැනීම,  ආගමට නොගැලපෙන කාර්  යයක් ලෙස සලකා එයට විරුද්ධ විය. මේ නිසා ඔහු තම පර් යේෂණ සඳහා  සතුන් යෙදවීම  අතහැර, ඒ වෙනුවට ශාක අභිජනනය කිරීම ආරම්භ කළේය. මෙයට විරෝධතා ඇති නොවීය.


මෙන්ඩල්ගේ ශාක අභිජනන පර් යේෂණ වල ප්‍රතිඵල දහනව වන සියවසේ අග දශක වලදී ප්‍රසිද්ධියට පත්විය. ඔහු තම පර් යේෂණ සඳහා යොදාගත්තේ පහසුවෙන් වගා කළ  හැකි, ඉක්මණින් මල් හටගන්නා, මෑ කුලයට අයිති Pisum sativum (‘ස්වීට් පී’ හෝ ගෙවතු මෑ),  නම් බෝංචි වැනි ශාක විශේෂයකි. වසර දහයක් තිස්සේ, ඔහුගේ පර් යේෂණ සඳහා බීජ ලබාගැනීම පිණිස වවන ලද ‘ස්වීට් පී’ ශාක වලින් අක්කර දහයක් පමණ වූ පූජකාරාම ඉඩම වැසී ගියේය. ඔහුගේ පර් යේෂණ සාර් ථක වීමට එක් හේතුවක් වූයේ, ඔහු උපකල්පනය කළ සංසිද්ධි පරීක්ෂණ මගින් සනාථ කර ගත හැකි වීමයි. එසේම ඔහු තබාගත් නිරීක්ෂණ සටහන් ඉතාමත් ක්‍රමානුකුල වීමද වැදගත් විය. (එකල අද මෙන් දත්ත සැකසීම සඳහා යොදා ගත හැකි පරිගණක නොවීය.මෙන්ඩල් විසින් Pisum sativum ශාක වල ප්‍රවෙණිගත වන බවට  නිරීක්ෂණය කරන ලද ගති ලක්ෂණ හතක්  හඳුනාගන්නා ලදී. ඒවා මෙසේය:

  

මේ ආකාරයට තෝරාගත් ශාක යුගල වල, පුෂ්ප පරාගණය කර, ලබාගත් බීජ වලින් ලැබෙන ශාක නැවත නැවතත්  වාර කිහිපයක් අභිජනනය කරන විට, මෙන්ඩල්ට  සුවිශේෂී ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබිණ. උදාහරණයක් වශයෙන්, තෝරාගත්  උස සහ මිටි  ලක්ෂණ සහිත ශාක අතර අභිජනනය කර, පරම්පරා කිහිපයක් යනවිට ලැබුණු   එම ශාක සමූහයේ  උස ලක්ෂණය සහිත ශාක බෙහෙවින් වැඩි ප්‍රතිශතයක් තිබෙන බව නිරීක්ෂණය විය. මෙම ගති ලක්ෂණ අතරින් ශාකයේ උස් බවේ ලක්ෂණය බොහෝවිට මිටි බවේ ලක්ෂණයට වඩා ඉස්මතු වන බව, ඔහු දුටුවේය. එසේම කරලේ සිනිඳු බව රළු බවට වඩාත්, පුෂ්ප වල නිල්පැහැය සුදු පැහැයට වඩාත් ආදී වශයෙන් සමහර ලක්ෂණ වැඩිපුර ඉස්මතු වන බවද ඔහුට දකින්නට ලැබිණ.සටහන් තබා ගැනීමේ පහසුව සඳහා, මේ ආකාරයට ඉස්මතු වන ලක්ෂණ ‘ප්‍රමුඛ’ (dominant) ලක්ෂණ ලෙසත් වැඩිපුර ඉස්මතු නොවන ලක්ෂණ ‘නිලීන’  (recessive) ලක්ෂණ ලෙසත් නම් කරන ලදී.

   

මෙම සිදුවීමට මූලික වනුයේ හඳුනා නොගත් යම්කිසි ‘අදෘශ්‍යමාන සංසිද්ධියක්’ වියහැකි බවද ඔහුගේ උපකල්පනය විය. 

මෙන්ඩල් විසින් ‘ස්වීට් පී’ ශාකවල උපකල්පනය කරන ලද මෙම ලක්ෂණ සටහන් කර තැබීමේ පහසුව සඳහා ඔහු විසින් සංකේත ක්‍රමයක් භාවිත කිරීමට උත්සාහ කළේය. මෙහිදී, ගති ලක්ෂණය හඳුන්වන නාමයේ මුල් අකුර ගැන ඔහුගේ සිත් යොමුවිය. දැනට ලොව ප්‍රචලිත වී ඇත්තේ, ගති ලක්ෂණ සඳහා යෙදෙන ඉංග්‍රීසි නාමයේ මුල් අකුර මේ සඳහා භාවිත කිරීමයි. උදාහරණයක් වශයෙන් ශාක වල උස ලක්ෂණය ගතහොත් ඒ සඳහා ඉංග්‍රීසි වචනය Tall වේ. මේ අනුව නිරීක්ෂණය කරන ලද ප්‍රමුඛ ලක්ෂණය සහිත  ‘උස’ ශාකය  ‘T’ සංකේතයෙන් සහ ‘මිටි’ හෝ ‘උස නොවන’ ශාකය ‘t’ සංකේතයෙන් දැක්වීමට ඔහු උත්සාහ කරන ලදී. එසේම එක් අභිජනනයකින් හටගන්නා ඊළඟ පරම්පරාව ‘ප්‍රථම දාරක පරම්පරාව’ (First Filial  generation) ලෙස හඳුන්වා, එය සඳහා  ‘F1සංකේතයද  භාවිත විය.


ශාකයේ සාමාන්‍ය සෛල වල න්‍යෂ්ටියේ ඇති වර් ණදේහ, යුගල වශයෙන්  පවතින  නිසාත්, එම ශාකවලම පුෂ්ප වල ජන්මාණු නිපදවීමේදී වර් ණදේහ යුගලයේ, වර් ණදේහාංශ   එකිනෙකෙන් වෙන්වී ජන්මාණු සකස්වන බවත් ඔහු උපකල්පනය කළේය. මේ  නිසා, සටහන් තබාගැනීමේ පහසුව සඳහා මෙන්ඩල්ගේ  ‘සංකේත’ තවදුරටත් සංශෝධනය කිරීමට සිදුවිය. මෙහිදී යොදා ගන්නා ලද පහසුම උපක්‍රමය වූයේ ඒ බව පෙන්වීම සඳහා සංකේතයේ අක්ෂරය දෙවරක් භාවිත කිරීමයි.

මේ අනුව ප්‍රමුඛ ‘උස ලක්ෂණය’  - ‘TT’ ලෙසටත්, නිළීන ‘මිටි ලක්ෂණය’ - ‘tt’ ලෙසටත් දැක්වීමට තීරණය විය.  මෙන්ඩල්ගේ පරීක්ෂණ වාර් තාව 1865 වර් ෂයේදී ප්‍රකාශයට පත්කරනූ ලැබූවත් එම ප්‍රතිපල ජනප්‍රිය වූයේ වර් ෂ  1900 ට පසුවය.  (මේ වන විට ශාක අභිජනන පරීක්ෂණ වල නියැලුණු වෙනත් විද්‍යාඥයින් විසින්ද නව තොරතුරු සොයාගෙන තිබුණි.)   

තම මුල්  පරීක්ෂණ වලදී, උස ශාකයක් මිටි ශාකයක් සමග කළ අභිජනන  වලදී උස ශාක, මිටි ශාක වලට වඩා වැඩි ප්‍රතිශතයක් තිබීමට හේතුවක් තිබිය යුතු බවට අනුමාන කළ මෙන්ඩල්, එම පරීක්ෂණයේ  F1  පරම්පරාවෙන් ලැබුණු උස ශාක දෙකක් ‘ස්ව පරාගණය මගින්’ නැවත අභිජනනය කර, එමගින් ලැබුණු F2 පරම්පරාවේ ශාක වලට උස සහ මිටි ලක්ෂණ සම්ප්‍රේෂණය වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළේය. මෙහිදී  F1 පරම්පරාවේදී අහෝසි වීයයි සිතු මිටි ලක්ෂණය සහිත ශාක යම්කිසි සංඛ්‍යාවක් මෙහිදී යළිත් ලැබුණි. ඔහු පුදුමයට පත්කළ, එම අභිජනනයේ ප්‍රතිඵල මේ ආකාරයට සටහන් විය.

                                                             

මෙසේ  ලැබුණු ප්‍රතිඵල මෙම පරීක්ෂණයේ  F1  පරම්පරාව වූවත්, මෙය ඇත්ත වශයෙන්ම  මෙන්ඩල්ගේ පරීක්ෂණ මාලාවේ දෙවැනි අදියර නැතහොත්  F2 පරම්පරාව ලෙස සැලකිය හැකිය. මෙහිදී උස ශාක සහ මිටි ශාක අනුපාතය 3 : 1 විය. මෙම ප්‍රතිඵලය තවදුරටත් විශ්ලේෂණය කිරීමේදී එය TT :  Tt  : tt අනුපාතය 1 : 2  : 1  විය යුතු බව හෙළිදරව් විය. මෙහිදී TT සහ  Tt  ශාක, බාහිර පෙනුම අනුව, උස ශාක වූ අතර,  tt ශාක මිටි ශාක විය. මේ නිසා මේ ශාක පොදු බාහිර පෙනුම අනුව, උස : මිටි :: 3 : 1 අනුපාතය නැතහොත් උස 75% සහ මිටි 25% ලැබී ඇත. ලබාගත් තොරතුරු මෙසේ අධ්‍යයනය කර, ශාකවල එම ස්වාභාවික හැසිරීම් රටාව පිළිබඳව මේ ආකාරයට ගණිතමය සංකල්ප ගොඩනැගීමට හැකිවීම මෙන්ඩල් ලබාගත් ජයග්‍රහණයකි. 

පසුකාලයේදී ‘බාහිර පෙනුම’ යන  තේරුම පදනම කර ගනිමින්  මේවා  රූපාණුදර්ශ - (Phenotypes)  ලෙස නම්කරන ලදී. උස ශාක අතරද 25% ක් ‘ප්‍රමුඛ’ TT උස ලක්ෂණය සහිතව  වූ අතර, ඉතිරි 50%  උස ලක්ෂණය සහ  ‘නිලීන’ මිටි ලක්ෂණයද සහිතව Tt උස ශාක වූ බව පෙනේ. මේ ආකාරයට බාහිරව නොපෙනෙන ජනක ලක්ෂණ අනුව TT, Tt සහ tt  ශාක වෙන වෙනම  ජන්මාණුදර්ශ - (genotypes) ලෙසද  නම් කරන ලදී.  මේ නිසා මෙම අභිජනන ප්‍රතිඵල අනුව, උස සහ මිටි රූපාණුදර්ශ දෙකක් සහ  TT, Tt සහ tt ලෙස ජන්මාණුදර්ශ තුනක් ඇති බව පැහැදිලි විය. 


මෙන්ඩල්ගේ ශාක අභිජනන වල ප්‍රතිඵල 

ජීවීන්ගේ ජනක සංසිද්ධියට අදාළ ජාන පිහිටනුයේ සෛල න්‍යෂ්ටියේ ඇති වර් ණදේහවල බව ග්‍රෙගර්  මෙන්ඩල්  මෙන්ම, ජීවී පරිණාමය පිළිබඳ අධ්‍යයන කළ, චාල්ස් ඩාවින්ද විශ්වාස කළේය. යුගල වශයෙන් පවතින වර් ණදේහ වල එක් එක් වර් ණදේහාංශයේ ජාන පිහිටන බවත් එම ජාන මගින් ජීවියාගේ ගතිලක්ෂණ නිර් ණය වන බවත් ඔව්හු උපකල්පනය කළහ. ජීවීන්ගේ ජන්මාණු  සකස්වීමෙදී එකිනෙකින් වෙන්වන වර් ණදේහාංශ වලට ජානවල අන්තර්ගත ‘ඇලීල’ (alleles) ලෙස හඳුන්වන කොටස් සමග  සමහර ලක්ෂණ වෙන්වන බවද අනුමාන කරන ලදී. 


මේ ආකාරයට ලබාගන්නා ලද තොරතුරු සම්පිණ්ඩනය කිරීමෙන් මෙන්ඩල් විසින් ජීවී ලක්ෂණ ආවේණිය පිලිබඳ නියම තුනක් ප්‍රකාශයට පත්කළේය. එම නියම මෙසේය:

  1. ගති ලක්ෂණවල  ප්‍රමුඛතාව පිලිබඳ නියමය (The law of dominance) 

  2. ගති ලක්ෂණ වෙන්වීමේ නියමය (The law of segregation)

  3. ගති ලක්ෂණ ස්වාධීනව  එකතු වීමේ නියමය (The law of independent assortment)  


     යම්කිසි ගති ලක්ෂණයක් ආවේණික වන සෑම විටම, එයට අනුරූප තවත් ලක්ෂණයකට වඩා ඉස්මතු වී, දෙවැන්න යටපත් කර ගනියි. ඉහත  විස්තරයේ ‘ස්වීට් පී’ ශාකයේ උස භාවය මිටි භාවයට වඩා ඉස්මතු වන ලක්ෂණයයි.    

     ගති ලක්ෂණ වෙන්වීමේ දෙවන නියමය මගින්, ජීවීන්ගේ ජන්මාණු නිපදවීමේදී, ජායා ජන්මාණු නිපදවන, ඩිම්බ කෝෂවල අඩංගු දේහ සෛල වල ඇති මාතෘ සෛල විභාජනය වීමේ දී, ඒවායේ වර් ණදේහාංශ  එකිනෙකින් වෙන්වී,  එමගින් ජායා ජන්මාණු දෙකක් නිපදවයි. එමෙන්ම වෘෂණ කෝෂ  හෝ පරාගධානි සෛල වල අඩංගු වර් ණදේහාංශ එකිනෙකින්  වෙන් වී එමගින්  පුං ජන්මාණු  හට ගනී. මේ ආකාරයට දේහ සෛලවල වර් ණදේහාංශ යුගල බැගින් පැවතීම ‘ද්විගුණී’   (diploid) ලෙසටත්,  ජන්මාණු නිපදවීමේදී වර් ණදේහාංශ එකිනෙකින් වෙන්වී, එක්    වර්ණදේහයක් සහිත නිපදවනු ලබන  ජන්මාණු  ‘ඒකගුණී’ (haploid)  ලෙසටත් හඳුන්වනු .ලැබේ.  

      ගති ලක්ෂණ ස්වාධීනව එකතු වීමේ තුන්වන  නියමය  මගින්,  සංසේචනයේදී  ඒකගුණී වර්ණදේහ සහිත පුං ජන්මාණුවක් සහ  ජායා ජන්මාණුවක්  එකතුවී ද්විගුණී යුක්තාණුවක් නිර් මාණය වීමේදී වෙනත් කිසිම සාධකයක බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියාකරන බව  පැහැදිලි කෙරේ. මෙහිදී, ශාකවල උස මිටි බව, පුෂ්ප පැහැය, බිජ වල සිනිඳු හෝ  රළු භාවය වැනි ගති ලක්ෂණ, එකිනෙකට ස්වාධීනව ඉස්මතු වන බවද නිගමනය කරන ලදී.  මේ ක්‍රියාදාමයට  මූලික වන වර්ණදේහ වල ඇති සුවිශේෂී ඒකක ‘ජාන’ (genes) බව වෙනත් පර් යේෂකයින් විසින් පසුව තහවුරු කර තිබේ.


මෙන්ඩල් විසින් ඉදිරිපත් කරන ලද නියමයන්ට අනුව විවිධ ශාක සහ සතුන් ආශ්‍රීතව පසුව කරන ලද අභිජනන මගින් ප්‍රවේණිය පිළිබඳ  තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ.


‘ආරේ ගුණ නෑරේ’ යන පැරණි වාක්‍ය ඛණ්ඩය  වර් තමාන ආවේණිය හෝ ප්‍රවේණිය යන නම් වලින් හැඳින්වෙන ‘ආරයට යාම’ යන මතය හෝ ‘උරුමය’ සමග බොහෝ දුරට ගැලපෙන බව මෙම කරුණුවලින් සනාථවේ.


මෙන්ඩල් විසින් ශතවර් ෂ දෙකකට ආසන්න කාලයකට ඉහතදී, ලොවට හෙළි කරන ලද ‘ආරය’ පිලිබඳ ජීව විද්‍යාත්මක කරුණු, නවීන විද්‍යාවේ මහත් පෙරළියක් සිදු කර තිබේ. ඔහු විසින් Pisum sativum ශාක භාවිත කර ලබාගත් මූලික තොරතුරු, මිනිසා ඇතුළු ඕනෑම ජීවියෙකුගේ ප්‍රවේණිය සඳහා අදාළ වීම ඉතාමත් සුවිශේෂී සංසිද්ධියක් බවට පත්වී තිබේ.   විශේෂයෙන්ම, මිනිසාගේ වර් ණදේහ, සිතියම් ගත කිරීම මගින් පරම්පරාගත රෝග නිවාරණය සඳහා පිළියම් සෙවීම, ජාන හඳුනා ගැනීම මගින් අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී දරුවෙකුගේ පිතෘ භාවය තහවුරු කිරීම වැනි අවස්ථා, මෙන්ඩල්ගේ  මෙම සරල නිරීක්ෂණ ආශ්‍රීතව ගොඩනැගුණු  ඉතා වැදගත් සංකල්ප වේ.