Sunday 2 July 2017

මගේ ‘බ්ලොග්’සහෘදයින්ට උපහාරයක්‌ .......

 බ්ලොග් පෝස්ට්’ වල පනස් වැන්න 2017 ජුලි මස අවසානයේදී පළ කිරීමට මට හැකිවිය. මාස හයක් වැනි කාලයක් තුලදී  පෝස්ට් පනහක් ලිවීමට හැකි වුයේ බොහෝ දෙනෙකුගේ යහපත් දිරි ගැන්වීම් නිසා බව සතුටින් සඳහන් කරමි. ‘බ්ලොග්’ ගැන අල්ප දැනුමක් තිබුණු මට මෙය හඳුන්වා දී ගුරු හරුකම් දුන්, අපගේ දියණිය හෙල්මලී මුලින්ම සඳහන් කරමි. ඇය වසර කිහිපයක සිට ‘මලී’ යන කෙටි නමින් අමුතුම ආරයක කවි සහ කතා බ්ලොග් පොස්ට් එකක සහ පුවත් පත් වලටද ලියන්නියක්ය. 2016 නොවැම්බර් මාසයේ ආරම්භ කළ මගේ පලමු බ්ලොග් සටහනට මුල්ම ප්‍රතිචාරය දැක්වුයේ ‘රවී’ විසිනි. ඔහු දුන් වැදගත් උපදෙසක් වුයේ ඡේද  වෙන් කිරීම පිළිබඳවයි. ඔහු දී තිබුණු තොරතුරු අනුව අප එකම කාළයේ  කළුතර දිස්ත්‍රික්කයේ රජයේ ආයතන දෙකක වැඩ කර තිබේ. රසිකගෙන් සහ තිසරගෙන්ද බ්ලොග් සටහනට  සුබ පැතුම් ලැබිණ.
පසුව ‘ඉයන්’ විසින් අහම්බයෙන් මගේ බ්ලොගය ඔහුගේ සටහනක් මගින් අනිකුත් අයටද හඳුන්වා දීමෙන්  පසු ලැබෙන ප්‍රතිචාර බෙහෙවින් වැඩිවන්නට විය. මෙයින්ද ‘දූමි’ විශේෂයෙන් සඳහන් කළ හැකිය. ‘දූමි’ගේ කාව්‍යමය ප්‍රතිචාර නිසා, මට වසර හැටකටත් වඩා වැඩි අතීතයට නැවත එබී බැලීමට හැකිවිය.
ඒ අප පාසල් යන කාලයේය. එවකට කොළඹ යුගයේ කවියන් රැසක්‌ කාව්‍ය නිර්මාණ කිරීමෙහි නියැලී සිටියහ. අ.ත.ක‌.ස (අගනුවර තරුණ කවි සමාජය) බිහි වුයේ මේ කාලයේදීය. ‘මීවදය’, ‘අඹ වනය’, කවි ඇස’  වැනි කාව්‍ය මාසික මේ  කාලයේ ඉතාමත් ජනප්‍රිය විය. අපගේ දහම් පාසල පැවැත්වූ නායක ස්වාමින් වහන්සේද එකල ප්‍රසිද්ධ කවියෙක් විය. දහම් පාසලේම ‘සිරි විජිත කාව්‍ය විද්‍යාලයය’ යන නමින් කාව්‍ය කරණය සම්බන්ධ පාසලක්‌ ආරම්භ කර දහම් පාසලේ සිසුන්ට නොමිලයේ ‘රසකවි’ ප්‍රබන්ධ කිරීම උගන්වන ලදී. උන්වහන්සේගේ  ‘සිරි විජිත කාව්‍ය විද්‍යාලයය’ මගින් සුළු මුදලකට, තැපෑලෙන් කාව්‍යකරණය  ඉගෙන ගත් අය රට පුරාම සිටියහ. ජෝන් රාජදාස, මිණිපුර ජයසේන, බ්‍රිටෝ අදිකාරම් වැනි කවියන් එකතුවී කළ කවි මඩු ද අප මතකයේ ඇත. කාව්‍යකරණයේදී, ය ව හ න් දෝෂ, පුනරුත් දෝෂ, එළිසම ආදියත්  සමුද්‍ර ගෝෂ, ගෝ මුත්‍ර ආදී තාල පිළිබඳවත් උගත් දේ යළි සිහිපත් වෙමින් පවතී.
‘දුමී’ ගේ කවි ප්‍රතිචාර නිසා මටද කවි ලිවීම ගැන උනන්දුවක් ඇතිවිය විය. මම ද  ඔහුගේ කවි ප්‍රතිචාර වලට කව් පිළිතුරු සැපයිමි.  මට නැවත කාව්‍ය කරණය සඳහා මග පෑදු ‘දුමී’ට විශේෂ ස්තුතියක් පුදකරමි. ‘දුමී’ට උපහාරයක්‌ වශයෙන් ඔහුගේ ප්‍රතිචාර වලින් කිහිපයක් පමණක්, පොස්ට් මාතෘකාවද,  මගේ පිළිතුරුද සමග  නැවත මෙසේ සටහන් කර තබමි.
     ‘නෙස්ලේ’ වෙළඳ  නාමය  ගැන සිසු කුතුහලය....
     ‘දුමී’
ඉයන්ගේ හෝඩුවාවකින් තමයි මේ පැත්තේ ආවේ. ප්‍රසිද්ධ වෙළඳ නමක නොදන්න දෙයක් මෙයින් දැනගත්තා. අපූරුයි.

      මම
ස්තිතූයි දුමින්ද, නිතර හමුවෙමු.

    ‘දුමී’ ගේ පළමු කාව්‍ය ප්‍රතිචාරය
    
     බාඳුරා මල නොව සාහසික වනුයේ බාඳුරා කෙන්ඩියයි.....

හොඳා කාරව කෙණ්ඩියක් ලෙස පත්‍ර වී අනුවර්ත    නේ
හදාගත් උගුලක් නිසා අද බාඳුරා ලැබු පෝෂ          ණේ
බදාගෙන පොඩි කෘමියො ටික කරයි හොඳහැටි ජීරණේ
එදා පාසල් චාරිකාවෙදි සිංහරාජෙදි හමුවු               ණේ.......
    මම                                                                                                                                             ඔබට පිළිතුරක් කවියෙන්ම.
රටේ කෙතරම් බහුල වුවත් බොහෝ අය මේ ගැන නොදන් නේ
ළඳු කැලෑවල නිසරු බිම්වල මනා ලෙස සරුවට වැඩෙන්    නේ
'
කෙන්ඩියේ' ඇති උගුල පිළිබඳ මඳක් වත් නොසිතා තිබෙන්නේ
'
බාඳුරා මලටත්' නිගාදී නොදත් අය කව් ගී ගයන්                නේ     

       කුඹුර රක්ෂිත වන අරණක් වෙයි
      ‘දුමී’
වල් බිහිවෙලා ඇති කුඹුරෙන් වැඩක්        ඇතී
කල් යල් බලා කැළෑවකට පත්ව              ඇතී
මල් ගස් සත්ව හැම කොටසින් සැදුම්        ගතී
කල් ගිය පසුව මොන මොන දේ වෙන්න ඇතී....

    මම
වල් බිහි උනත් එතනින් වැඩ ගන්න        හැටී
කල් යල් බලා කළ දේවල් බලනු             වටී
මල් ගස් සමග තව පරිසර එකට              ගැටී
දැල් විය සිසුන්ගේ දැනුමෙහි පහන්          වැටී 

        විභාග අනුවේදනිය කතා
    ‘දුමී’
කළින් නිවසෙදි ලියා පිළිතුරු අරන් ඒවි සිසු සිසුවියන්
නමින් මිතුරගෙ පෙනී හිඳිමින් ලියයි තව දරු දැරිවියන්
තමන් දත්දේ ලියනු දිරිගෙන ඇයිද බිය පුත දියණියන්
ඉතින් ඔබගේ වැරදි හමුවේ දුක් විඳියි ඔබෙ    මව්පියන්......

    මම
හොඳින් සිප්සත හැදෑරීමෙන් 'හැකිය සැම කඩඉම් පනින්න ට'
සිති න් සිතමින් අනාගතයේ මිහිරි වූ දසුනක්           දකින්න ට
තම න් දත් දේ ලියා අදිටන් කලොත් යහමින් සිනා සෙන්න ට
එයි න් ලබනා සුවය ඇතිවෙයි අනාගතයම බබල       වන්න ට 

       විභාග රසකතා..........
   ‘දුමී’
ඇතැමෙක් විභාගෙදි හරි නැති වැඩ   කරතී
වරදක් හසුවුණෝතින් නිති දුක්          විඳිතී
දරුවෙක් කිරීමට ළෝකෙට සෙතක්    ඇතී
වෙහෙසක් ගත යුතුය ඒ මව්පියන්       නිතී.......


    මම
හොඳ පාසැලක සිටියත් යහ ගුණය ඇතී
වංචා කරති සමහරු ඇති අමන        ගතී
හසු වූ දාට ඒ අවගුණ පුරුදු             නිතී
දඬුවම් විඳිති බලවතුනට වෙමින්     ගැතී

ඔබ නිසා දැන් මටත් කවි ලියවෙනවා. 

      අධ්‍යාපනයට බින්න බැසීම
    ‘දුමී’
ඉන්න මොහොතක දරු පිරිස හා පාඩමක වැඩ    කරමිනී
ඔන්න ඔහොමලු වාසනාවත් ආවෙ ළඟටම      වැනි වැනී
බින්න බහිනට හොඳ තැනක් තව තිබෙයිදෝ පාසල වැනී
යන්න යන්නේ අලුත් අවුරුදු සුභම වෙන්නට      පතමිනී.....

    මම
'බින්න බැස්සට' පාඩුවක් නම් කිසිම දවසක     නොමවුනී
යන්න නිසි මග ඉදිරි ගමනට මනා අයුරින්            හමුවුනී
ගන්න ඕනෑ සියලු තනතරු නියම ලෙසටම          හිමිවුනී
මෙන්න මගෙනුත් අලුත් අවුරුදු තිලිණ සමගින් ‘කිරීපැනී’ 

       පොල් ගැන ගැටළුවක්
    ‘දුමී’
තිස්සෙම දකින හැම ගෙදරක ඇති   සොඳින
ඇස් තුන පිළිබඳව ලියවී ඇත            මෙදින
හිස් නැති මෙවන් ලිපි සැමදාමත්         වටින
වස් නැත ඉදිරි ලිපියට මම සුභ            පතන....

   මම
දැක්කම ආස හිතෙනවා ඔබෙ කවි      තිලින
නවතම කරුණු ලියවෙයි තව තව       නිතින
ගෙනසැම අදහසක් ගලපා රස             බසින
තව මම ලියමි තුති ඔබහට සුබ            පතන
    පොල් වලින් දෙබිඩි පොල් වලට ‘එලොව් පොල්ද?’
   ‘දුමී’
ගැහැණු ශාඛයක හැදෙන ඵලයද ලියකගේ උකුලක්    වගේ
පිරුණු ලස්සන මංජරිය නිති පුරුෂ ලිඟුවක හැඩ          වගේ
කෙරුණු විස්තර අනුව දැන් මෙය වඳවෙලා යන්නට    වගේ
කරුණු ලියනට නුඹද බොහොමත් වෙහෙස වීලා ඇති  වගේ......

    මම
ඉන් දිය සාගරේ විස්මිත 'දෙබිඩි         පොලේ'
දැන් ලොව පුරා වීමසිල්ලකි ඉහල      පෙළේ
මන් මත් කරන හැඩරුව එහි නිමා        කළේ
අන් කිසිවෙක්ද? නැත සොබදම් මහඟු   බලේ

       ස්ථාන මාරු ලිපිය විකෘති ......
      ‘දුමී’
යමෙක් හිතකින් තවත් කෙනෙකුට කරයි නම් උපකාරයක්
ඉඩක් ලදවිට දැනෙන සතුටද පුබුදුවයි               සංසාරයක්
ගුරෙක් එපරිදි බොරුව අතැතිව කරත් මහ        ජංජාලයක්
හිතක් කොහොමද දැහැමි වෙන්නේ ඒක නම්  මහ පාපයක්....

     මම
කෙනෙක් කරනා විටදී හොඳ හිත ඇතිව පිහිටක් වන         දෙයක්
අනෙ ක් මිනිසා එය ලබනු ඇත සිතේ නොමැතිව කිසිම   කුකුසක්
හිත ක් පපුවක් නොමැති දුදනන් එවැනි දේටත් කරති        අවැඩක්
කොතෙක් ඉගෙනුම ලබාගත්තත් ඔවුන් පෙළඹෙති වෙතම නපුරක් 

      රංජනීගේ ආප්ප සාදය
     ‘දුමී’
එදා අවසන් දිනේ වෙනුවෙන් සැවොම එක්වූ එක   යසයි
බෙදා මිතුදම සොඳුරු සාදෙට එන්න කී කරුණත් හොඳයි
එදා ඔවුනට වුණු අසීරුව කළින් කිව්වානම්          හොඳයි
හදා නිහඬව ආප්පේ දුන් කරුණ ගැනනම් මට         දුකයි........

     මම
විදෙස් රටකදී අපේ එකමුතු කමක් ඇත එය හරි    අගෙයි
මිනිස් කම ඉහලින්ම අගයන සාදයන් රුකුලක්     වගෙයි
මෙහිදී සිදුවූ අකරතැබ්බෙට මහා බොරු කිව්වා නොවෙයි
ආරි - රන්ජනී දෙපල කවදත් අප සැමට හිතවත්      අය යි 

      උදේ සවස මාරුවීම
      ‘දුමී’
උදේ දුන්නේ සවස දීමට තිබුණු විෂයක                 පත්‍රයයි
වදේ දුන් සිසුවන්ද එයටම කැමති වුණු එකනම්      හොඳයි
වැදේ නම් ඇණ තැනේ හැටියට ගැටළු හැම දුරදිග නොයයි
හොඳේ ඇදුරට ලැබුණු දඳුවම ඔයින් බේරුණු එක      මදැයි.....

      මම
විභාගයකදී වැරදි වන බව අවම කරගත යුතු                  තමයි
ඒ උනත් අත් වැරදී සිදුවන අවස්තා තවමත්                  තිබෙයි.
මහා වියවුල් සිදු නොවන ලෙස වැඩ සියල්ලම කළ        යුතුයි
තැනට ගැලපෙන නුවන යොදවා වැඩ කලොත් එය හරි අගෙයි

       තබ්ලාව හැදුන හැටි ......
      ‘දුමී’
හිතෙත් සිනහ පුරවන්නට මෙහි      ආමී
අදත් රස කතා බැලුමට       පැමිණියෙමී
එහෙත් රසම කවියක් දැක    සතුටු වෙමී
එහිත් රසය විඳගෙන මම      යන්න යමී...

      මම
ගීතය නැටුම හැමදෙයකම         බබලවන
හෙළ බස මගකි රස ගඟුලක්     වගුරුවන
මේ ගැන සිතන විට යොදවා     සිහි නුවන
වෙන බස් කුමට? අප අදහස්  හෙළි කරන

       මාගම් පුර  පළමු වේදිකා නාට්‍යය .....
      ‘දුමී’
ඉඩක් ලැබුණු මොහොතේ වැඩි දුර නොබලා
වැඩක් කෙරුව වේදිකාව මත           නැගලා
ඉඩක් දුන්නු ගෝලයාට සුභ                පතලා
මතක් වෙන්න ෆොටෝ එකක් නෑ       රැඳිලා....

මම
ඇදුරු මඩුල්ලක සිටි අය එකතු           වෙලා
සිරිතකි යාම එන්නට රට තොටද          බලා
කලකින් නොදුටුමූත්, යහගුණ පෙරටු වෙලා
ගෝලයො නොමැත කිසිවිටකත් අහක බලා

       අලුත් මිස් ගෙ ආඩම්බරය ......
     ‘දුමී’
පොතක දැණුමෙන් පිරී ගියමුත් රැඳෙනවිට මේ ලෝකයේ
හිතක සතුටින් අන් අයත් හා සිටියවිට දුකනම්      නොයේ
නවක ගුරු හිත කඩුව අතැතිව හිටියමුත් පුහු         මානයේ
දිනක ඈ යහ මගට ආවිට හැමෝගෙම තුතියක්         තියේ....

     මම
උපාදියෙන් පමණක් දැනුම                ලැබගෙන
'
කඩුවත්' කොහොම හරි කට තොලෙහි ගාගෙන
මානය නමැති රෝගෙන් සමහරු         පෙලෙන
බෙහෙතත් මෙයයී ටික කලකින් සුව         කරන

       ළමා මිතුරු පාසල්
      ‘දුමී’
තමා ගේ සේවාව අකුරට කරන ජනතාවත්   උතුම්
නිමා කරමින් පාසලේ ඒ ගැටළු විසඳූ එක     උතුම්
පෙමා වඩනා ළමා පරපුර රටට ජනතාවට     උතුම්
ළමා පරපුර දියුණු කරවූ මිතුරු පාසල් හැම   උතුම්....

      මම
කළහොත් සේවයක් නිතරම් හරි ලෙසට
කාටත් ලැබිය හැකිවේ නොමඳව   සතුට
ඉන් පිළිසරණ ලැබ ගන්නා හැම    අයට
සෙතක් වේය නිසි කළ ලබනා       පිහිට 
       සාම දුතයා සහ මුරුංගා සුප්.......
      ‘දුමී’
ඔපේ ඇති සුද්දගේ කෑමට අපිත් ආසා           කරයිලූ
අපේ කෑමක් කන්න සුද්දත් නිතර හැම තැන බලයිලූ
ලිපේ තියලා ගත් මුරුංගා හොද්ද සුප් රහ    වගෙයිලූ
කැපේ දොස් හැම මුරුංගා ගුණ දන්න පිරිසත් අඩුයිලූ.....

      මම
අනිත් සුද්දන් වගේ නැත මොහු චාම් මිනිසෙකි අප    වගේ
අපේ බස දෙස ඇඳුම පැළඳුම් ගැනත් නිතරම කළ      අගේ
කලක් ගත කළ නිසාමත් ඔහු කලණ මිතුරෙක් ලෙස මගේ
'
මුරුංගා' ගැන වීහිලු සටහන තබමි සැම වෙත මේ      යුගේ

       ගල්ලෑල්ල සහ ගල්කුර.........
     ‘දුමී’
හිටු කියාලා කූරකින් ගල් ලෑල්ලක් මත                      ලිව්වලූ
කටු පෑන ඉන්පසුව ඇවිදින් නිතර ඳඟකම්                  දැම්මලූ
දුටු වෙ නෑ මා එහැම දේවල් ඉතින් මට දැන්               දුකයිලූ
තටු නොමැති තැන එහැම අද දින පෙනෙන්නටවත් නැහැයිලූ........

ගල්ලෑල්ල, ගල්කූර, කටුපෑන මේවා මම අහලා විතරයි තියෙන්නේ. 

    මම
බා ල කාලෙදි උගත් සැමදේ නැවුම් මිහිරක් දෙනු   ලබයි
තා ලයට ගී ගැයූ හැටි දැන් මතක් වන විට හරි       අගෙයි
ගෝල බාලයො තැනූ ගුරුවරු නොමැත අද එය හරි දුකයි
කා ලයාගේ ඉක්ම යාමෙන් සියලු දේ අමතක         කරයි
මගේ බ්ලොගයට ආ ගිය සැමටම බැති සිතින් තුති.





28 comments:

  1. පළමුවන පෝස්ට් එකට වගේම පණස්වෙනි පෝස්ට් එකටත් පළමු ප්‍රතිචාරය ඔන්න මගෙන්....

    ඔබටත් බොහොම ස්තූතියි දයා මහත්මයා මගේ කාලයටත් ප්‍රථම බොහොම රසබර අතීතයක මතක අප සමඟ බෙදා ගැනීම වෙනුවෙන්.

    සාර්ථක මතක සටහන් රචකයෙකුට අත්‍යාවශ්‍ය ලක්ෂණ කිහිපයක් තියනව මම හිතන හැටියට.

    1.පුළුල් පරාසයක ජීවිත අත්දැකීම් ලැබීම

    2. හොඳ ස්මරණ ශක්තියක් තිබීම

    3. රසවත් සහ සිතැදගන්නාලෙස ලිවීමේ හැකියාව.

    මගේ අවංක හැඟීම නම් ඔබට මේ සාධක ට්තුනම අඩු නැතුව පිහිටල තියනව.

    ඉතිං තවත් සටහන් සිය දහසක් ලිවීමට මගේ සුබ පැතුම්!

    පලි - මේ දුමිය තියන්ට වටින්නෙ නැහැනෙ...හෙහ්,හෙහ්..මෙහෙම එක දිගට පෙලගස්සපුවම තමයි මේ වලවෙට්ටුවගෙ සැබෑ හැකියාව මතුවෙලා පෙනෙන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. හිතවත් රවී,
      ඔබගේ සියලුම අදහස් ඉහලින්ම පිළිගන්නවා. මම විවේකීව සිටින නිසා ලියන්නටත් පුළුවන්. සිංහලෙන් පරිගණක ලිවීමට ඉගෙන ගෙන තවම වසර දෙකයි. ඒ නිසා තරමක් හෙමින් වැඩ.
      ඇත්තටම දුමී නිසා මට තවත් ඉදිරියට යාමට මගක් පෑදුනා. ඔහු වෙනුවෙන් දමා තිබුණු /වලවෙට්ටුවගෙ/ යන වචනය කලින් අසා නැහැ. ඒක අලුතින් හදපු එකක්ද? නැත්නම් ප්‍රාදේශීයව භාවිත වන වචනයක්ද?
      මට මතකයි ඉයන්ගේ පෝස්ට් එකකත් ලියා තිබුනා දුමිට ලී කොටයක් ගැන උනත් කවි පෙළක් ලියන්නට පුළුවන්ය කියලා.

      Delete
    2. /ඔහු වෙනුවෙන් දමා තිබුණු /වලවෙට්ටුවගෙ/ යන වචනය කලින් අසා නැහැ/

      අපෙ අත්තම්මගෙ වචනයක්...හෙහ්...මම හිතන්නෙ අපහාසාත්මක අරුතක් තිබුන වුනත් වැඩිපුරම පාවිච්චි වෙන්නෙ සෙනෙහස ප්‍රකාශ කරන්ට...අපි ඔය That little rascal කියල කියනව වගෙ මම හිතන්නෙ...:)

      Delete
    3. දැනුවත් කළාට ස්තුතියි රවී.

      Delete
  2. සුභ පැතුම්. පෝස්ට් 50 මෙතරම් කෙටි කාලයක් තුල ලිවීමෙන් ඔබට ලියන්නට බොහෝ දෑ ඇති බව හැඟෙනවා. අපේ පරපුරට වඩා පැරණි එම අත්දැකීම් කියවන විට රසයක් මෙන්ම දැනුමක්ද එකතු වෙනවා. තව බොහෝ කල් ලිවීමට හැකිවේවා කියා පතනවා.

    වෙලාවක කවි මඩුවක් දාන්නත් පුලුවන්.. ඔය ඉහල ඉන්න හාදයත් (Ravi) හොඳ තරුණ කවියෙක් තමයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,
      පැරණි අත්දැකීම් මතකයට එනවිට අපි ඒ කාලයේ ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ කොයි තරම් වැඩ කළාද කියා සිතෙනවා.(රාජකාරි ලිපියක් සකස් කරන්නෙත් යටට කාබන් කොලයක් තියලා). ඒකනේ තවමත් පිටපතට 'කාබන් කොපි' කියන්නේ.

      කවි මඩුවක් සංවිධානය කරන්න දුමී ටම යෝජනා කරමු.

      Delete
  3. ජීවිත කාලයක්ම තාත්තාගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා මිස තාත්තාටත් යමක් කියාදෙන්න අවස්ථාවක් ඒවි කියා මම නම් හිතුවේම නැහැ.:) බොහොම උනන්දු, ධාරණ ශක්තියෙන් ඉහළ 'ශිෂ්‍යයෙක්' වුණු නිසායි ඉතා කෙටි කලකදී මේතරම් දුරක් එන්නට ලැබුණේ. මමත් මේ සමහර කතා පළවෙනි වතාවට දැනගත්තේ මේ බ්ලොග් එකෙන්. තව බොහෝ දේ රසවත්ව ලියන්නට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. Thank you,

      Life long learning !

      තව ලියන්නට දේවල් තිබෙනවා

      Delete
  4. ඉතා හරවත් තොරතුරු ටිකක් ඔබේ බ්ලොග් ලිපි හරහා දැනගන්න පුලුවන් උනා.
    ඉදිරියටත් මේ අයුරින්ම ලියාගෙන යන්න හැකියාව ‍ලැබෙන්න පතනව. අර්ධ ශතකයට සුබ පැතුම් !!

    දුමියගෙ කවි ගැනනං ඉතිං කියල වැඩක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න,
      සුබ පැතුම් ඉහලින්ම අගය කරනවා. ඉඩකඩ ලැබෙන පරිදි තව ලියනවා.

      Delete
  5. මගේත් සුබ පැතුම්!

    දිගටම ඉන්නේ මෙල්බර්න් ද?

    පුද්ගලිකව මං කියවන්න ඉතාමත් කැමති කතා ප්‍රවර්ගයක් තමයි මේ අතීත ආ ගිය කතා, එහෙම නැත්තං විත්ති කතා. එවැනි කතා විශාල ප්‍රමාණයක් ලියූ ශූරයෙකු හිටියා මෙල්බර්න්වල. ඒ ඩී බී කුරුප්පු. ඔහුටත් ඉතාමත් තීව්‍ර ස්මරණ ශක්තියක් තිබුණා. තව් එවැන්නෙකු තමයි සේනාධීර පියසේන සිඩ්නිවල ජීවත් වූ.

    පනහට පන්සීයක් ආවඩා ආයුබෝවේවා කියා ප්‍රාර්ථනා කරන්න කැමතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික,
      කුරුප්පු මැති තුමාත් අපේ ගම් පලාත්වලම කෙනෙක්. වියෝව විශාල පාඩුවක්.
      ඔබේ ප්‍රශ්නයට පිළිතුර 'ඔව'
      ඉඩ ලැබෙන හැටියට තව ලියනව‍ා.

      Delete
    2. ජුලි පළමුවෙනි සෙනසුරාදා අවසන් ගමන ගිය දොන් බෝල්ඩ්වින් කුරුප්පු සාහිත්‍යධරයා පිළිබඳව මා ලියූ සටහනක් මේ මාසයේ සන්නස සඟරාවේ පළ වීමට නියමිතයි. ඔහු ලංකාවේම පළමුවෙනි ලෙසින් සාමාන්‍ය පෙළ සමත් වී ඇත්තේ ඔබ ද පසුව ඉගැන්වූ හොරණ තක්‍ෂිලාවේ සිසුවෙකු ලෙසයි.

      මා "විද්‍යා දදාති විනයං" පාඨය ගැන ලියූ ඔබේ පිළිතුර දැක මට වෙනත් කරුණක් සිහිවුණා. කැමති නම් ඔබට කතා කිරීමට හැකි අංකයක් මට ඊමේලයකින් [rasikologist@gmail.com] දන්වන්නට හැකි ද?

      Delete
  6. දුමී ගේ කවිවලට පිළිතුරු දෙන්න මං නං ලේසි ක්‍රමයක් හොයා ගත්තා. ඒ ඔහු ගේ කවියේ එළිසම වචන පිළිතුරු කවියේ එළිවැටට යොදා ඒ අදහසම කරකවලා අතහැරීමයි. මං හිතන්නේ දයාවී ගේ මේ බ්ලොගයේත් මං එහෙම කළා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්. කරකවා ආපසු ගැසීම මාත් උත්සාහ කර බලන්නම්

      Delete
  7. කමෙන්ට් නොදැම්මට අපිත් කියවනව. පහුගිය කාලෙ දැක්ක බ්ලොග් අතරින් “කතන්දර කැටගිරියේ“ හොඳම බ්ලොග් එක මේක!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්,
      මේ සියල්ලම අත්දැකීම් ආශ්‍රීත සත්‍ය කතන්දර.ජීවන ගමනේදී හමුවන කඳු,පල්ලම්
      සහ සමතලා තැන්.

      Delete
    2. @රාජ්-

      ජීවීතයම කතන්දර ගොඩක්!

      මෙන්න එයින් කතන්දර දාහක්.
      http://kathandara.blogspot.com/

      ඒ බොහෝ කතන්දර ඔබ කියවා ඇති!

      Delete
  8. පත්තර වල ඉස්සර ගියා හිටිවන කවි මඩුවල කවි.දැනුත් ඉඳහිට යනවා. ඒ කවිත් නියමයි.

    ඔබේ බ්ලොග් එක බොහොම රස විඳින අපුරු බ්ලොග් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්,
      අප කුඩා කාලයේ (කොළඹ යුගයේ කවියෝ} නිතරම කවි මඩු දැමමා. ඒ සියල්ල හිටුවන කවි. අපි හරිම ආසාවෙන් ඒ කවි මඩු බැලුවා.
      තව රසවත් දේ ලියන්නම්.

      Delete
  9. I know very little about poetry.
    But, I know just about enough to realize that Dumee is an exceptionally versatile poet.

    ReplyDelete
    Replies
    1. Dear Pra Jay,
      No doubt, Dumie writes very good poems. Anybody who can read Sinhala can understand the poetry written in simple language.Good luck to you.

      Delete
  10. දයාවී මහතාණෙනි. ඔබගේ බ්ලොග් එකට පොඩි ප්‍රසිද්ධියක් දීමෙන් කියවන අයටයි යහපතක් වුණේ. ඔබ වැනි රජයේ සේවය දේව කාරියක් ලෙස කරන අය අද අඩු නිසා ඔබ ලියන දේවලින් ලොකු ආදර්ශයක් අන් අයට ලැබෙනවා. ඔබට 500 කරා යාමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. හිතවත් ඉයන්,
      නැවත වරක් ඔබට ස්තුතියි.
      මා ලියන සත්‍ය සිද්ධි වලින් කෙනෙකුට ජීවිතයේ යතාර්ථය තේරුම ගැනීමට හැකි වෙතොත් එය මා ලබන ජයග්‍රහණයක්‌. හැල හැප්පීම්, කඩාකප්පල් වීම්, අසහනයන් ආදිය සමග සතුට, සැනසීම, ජයග්‍රහණය යන සියල්ලටම මුහුණ දීම තමයි ජීවිතයේ වින්දනය. රාජකාරිය දේව කාරියක් ලෙස ඉටු කළ නිසයි අදටත් නොබියව මෙසේ ලිවීමට සිත් පහල වන්නේ.

      Delete
  11. ඉයන් ගේ ලිපි කියවලා මම එදා ආවා සතුටු වී
    බලන් නට අධ්‍යාපනේ රස කතාවල රස මැවි මැවී
    ඉතින් හරබර එවන් ලියමන් දකිනවිට මා නොසෙල්වී
    ලියන් නට මයි හිතුනෙ කවිපද රහයි ඔබෙ ලිපි දයාවී

    දිගින් දිගටම ඔබේ ලියමන් කියෙව්වෙමි මා සතුටකින්
    එවන් සතුටක් හින්දමයි පද ලියවුනේ නිති කවියකින්
    තුටින් පවසමි ඔබේ පැසසුම නිසා මාගේ නෙත් දෙකින්
    ගලන් යන්නට උණනවා දැන් සතුට හැරවී කඳුලකින්

    හෙටත් මේ ලෙස රසය පිරිපුන් ලිපි ලියන්නට කියනෙමී
    අදත් වාගේ එය බලන්නට නොවැරදී මම පැමිණෙමී
    මමත් නුඹගේ පනස්වැන්නට හදවතින් සුභ පතනෙමී
    තවත් කවියක් හෙට ලියන්නට හිතාගෙන යන මම දුමී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී,
      රටට දැයටත් සේවයක් කර නිතර දිරි ගෙන වෙහෙස වි
      සිතට දැනෙනා සුවය යලි යලි පෙනෙන විට නිති රස මැවී
      රසට රසකවි ලියන්නට මා නිතර පෙළඹවූ සතුටු වි
      ඔබට බැති පුද කරන මා නම් නොදුටු මිතුරා දයා වී

      ද හ ස් ගණනක් මතකයන් ඇත ටිකින් ටික ඒවා ලියන්නට
      දු ර ස් වුවත් අතීතයෙ දුටු බොහෝ දේ නැවතත් මවන්නට
      අ හ ස් කුස මෙන් පුළුල් දිවි මග සොඳුරු තැන් යලි සිහි කරන්නට
      ප න ස් වැන්නෙන් මෙසේ එන්නෙමි සියල්ලන්ටම තුති පුදන්නට

      කි යන් නට මට තිබෙන දේවල් තෝරබේරා ගැනීමත්
      ලි යන් නට නිසි බසට ගැලපෙන සරල වැකි සහ විලාසයකුත්
      සොයන් නට වෙහෙසුනෙමි බලමින් ලියු සටහන් කාගෙකාගෙත්
      ඉ යන් දුන් තල්ලුවෙන් ලැබුවෙමි හොඳම දිරියක් අති මහත්

      ඔබට ජයම !

      Delete
  12. සුභ පැතුම්!!! දිගටම ලියන්න

    ReplyDelete
  13. ස්තුතියි කල්‍යාණ මිත්‍ර,

    තව ලියන්නට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete