Wednesday, 31 May 2017

ගල්ලෑල්ල සහ ගල්කුරේ සිට, ‘අයි-පෑඩය’(i-pad) දක්වා ලිවීමේ මෙවලම් විකාශණය වීම ......

මෙය තරමක් අතීතයට යාමකි. ආරම්භය 40 දශකයේ මැද කාලයේය. කාල පරාසය දශක හතක් පමණ වේ.

අපි කුඩා කාලයේ වයස අවුරුදු තුන හතර වන විට පාසල් යාමට අවස්ථාව සැලසිණ. දරුවෙකු මුලින්ම යනුයේ හෝඩිය පන්තියටය. ඊට පසු පහළ බාලාංශය සහ ඉහල බාලාංශය පන්ති තිබේ. හෝඩි පන්තියේදීත්. බාලාංශ පන්ති වලදීත් ලිවීම සඳහා භාවිත කළේ ගල්ලෑල්ල සහ ගල්කුරය. දැන් මේ පාසල් උපකරණ ඇතොත් ඒවා කෞතුක භාණ්ඩ ලෙස සැලකිය හැකිය. ගල්ලෑල්ල කළු සිමෙන්තියෙන් හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදන ලද ඔප දැමූ තුනී තහඩුවකි. මෙය මත හීන් දිගටි ගල් කුරෙන් පැහැදිලිව ලිවිය හැකිය. පළමුවෙන්ම හෝඩි පන්තියට ගියදා, විදුහල්පතිනිය (ඒ කාළේ ලොකු ඉස්කෝලේ හාමිනේ) මා උකුලට ගෙන ගල් කුර දකුණු අතට දී ඇයගේ අතින් මගේ අත අල්ලා ගෙන ගල්ලෑල්ල පුරාම ‘අ’යන්න ලියවූ හැටි මට තවමත් මතකය.

අවුරුද්ද මුලදී පන්ති භාර ගුරුතුමිය අලුතින් පන්තියට එන  දරුවන්ගේ ගල්ලෑලි වල, රූල් ගසා දීමද කරදෙනු ලැබේ. මේ සඳහා මිට ගැසූ ඇණයක් වැනි දිග කටුවක් ඇයගේ බෑගයේ තිබේ. ගල්ලැල්ලේ එක පැත්තක දික් රූල් ගසන අතර අනික්‌ පැත්තේ කොටු රූල් ගැසීම සිරිතය. ගල්ලෑල්ලට ලීයෙන් කළ කුඩා රාමුවක්ද තිබේ. ඒ කාලයේ සතියකට දෙකකට වරක් ගල්ලෑල්ල හොඳින් අඟුරු වලින් මැද සෝදා ගත යුතුය. එසේ කළ විට ඔතුපිට ඇති තෙල් ගතිය පහව යයි. එහි රාමුව පිරිසිදු කිරීම සඳහා ‘කොරස’ කොළ භාවිත කළෙමු. බොහෝ දිනවල පන්තියේ ගණන් සෑදීම, කියවන විට ලිවීම වැනි අවස්ථා වලදී  පන්තිය වටේ රවුමක දෙදෙනා බැගින් මුහුණට මුහුණ ලා සිටගෙන වැඩ කිරීම අපි අතිශයින් ප්‍රිය කළෙමු. අපගේ හෝඩි පොත වුයේ ශික්ෂා මාර්ගය හෝ ශික්ෂාවතාරයයි. කුමාරොදය එළිදක්වන ලද්දේ මෑත කාලයේදීය. අප ළඟ තිබුණු ගල්ලැල්ලේ විශාල ආකෘතිය පන්තිය ඉදිරිපිට තිබෙන කළු ලෑල්ලයි. ඒ මත ලියන්නේ රටහුණු වලිනි. (ඒ කාලයේ ගම් වල සිටි වින්නඹු මාතාවන් තමන් ආ ගිය තැන් ලකුණු කළේද කාමරයෙන් පිටත එල්ලා තිබුණු ගල්ලැල්ලකය.)

ඉහල බාලාංශයට පසු එන දෙවෙනි පන්තියේදීත් ලියන්නේ  ගල්ලැල්ලේ මය. තුන්වන පන්තියේදී අභ්‍යාස පොත්වල තීන්තෙන් ලිවීම හුරු කෙරේ. මෙය ගූරු මහත්මියට පැවරෙන බැරෑරුම් කාර්යයකි. ලිවීම සඳහා ගන්නේ ‘කටු පෑන’කි. දිග මිටක් සහිත පෑනෙහි ලියන අග්‍රයේ පෑන් තලයකි. පෑන් තළය තීන්ත කුප්පියේ ඔබා අභ්‍යාස පොතේ අකුරු ලිවිම ඉතා අමාරු වැඩකි. අතෙහි සහ පොතෙහි තීන්ත වැගිරෙන අවස්ථා එමටය. ලිවීම සඳහා පෑන් තල දෙවර්ගයක් විය. ඒවා ‘ජී’(G) පෑන් තල සහ ‘කටු’ පෑන් තල විය. ‘ජී’ පෑන් තල තුඩ තරමක් කෙටි වූ අතර  ‘කටු’ පෑන් තලයේ තුඩ දිග ටිය. සතියක් දෙකක් පමණ පුරුදුවූ පසු ලිවීම කළහැකි වේ.  ඒ කාලයේ දරුවන්ගේ අත් අකුරු ලස්සන වීම සඳහා කටු පෑනෙන් ලිවිය යුතුය, යන මතයක්ද විය. අපට තුන්වන පන්තියේ සිට ඉංග්‍රීසිද ඉගෙනීමට අවස්ථාව ලැබිණ  ‘රෝයල් ක්‍රවුන් කොපි බුක්’* වල කටු පෑනෙන් ලිවිම පටන් ගන්නා ලදී. පසුව ඩබල් රූල් අභ්‍යාස පොත්ද සකස් විය.

කටු පෑනෙන් ලිවීම සඳහා ‘තීන්ත කුඩුව’ක් අවශ්‍ය විය. තීන්ත දමන කුඩා බෝතලය ‘තීන්ත කුඩුව’ ලෙස නම් කළේ මන්දැයි මම තවමත් නොදනිමි. අප අසනීප වූ විට බෙහෙත් ගැනීමට යන ගමේ ඩිස්පෙන්සරියේ සිටි දොස්තර මහතාගේ මේසය මත නිල් සහ රතු තීන්ත සහිත එකට ඈඳූ කුඩා බෝතල දෙකක් විය. සමහර විට   තීන්ත කුඩුව මෙය විය හැකිය. ඔහු බෙහෙත් තුන්ඩු ලිව්වේද කටු පෑනෙණි. අප පාසලට ගෙනයන තීන්ත කුඩුව හරිම අවහිරයකි. අතේම ගෙනයන තීන්ත කුඩුව සෙලවී තීන්ත අතපුරා සහ ඇඳුම් වලත් තැවරේ. මෙයට පිළියමක් ලෙස, ඉහල පන්ති වල සිටි ලොකු අක්කලා අපට උපදෙස් දී තිබුණේ තීන්ත කුඩුවට තුත්තිරි ගසක් දමන ලෙසටය.

තීන්ත කුප්පි කඩවල විකිණීමට තිබුණි. ‘ස්වෝන්’ (Swan) සහ ‘කුවීඉන්ක්’   (Qu ink) මිලදී ගතහැකි තීන්ත වර්ග විය. මෙයින් ‘කුවීඉන්ක්’ නිල්. කලු, කලුනිල් සහ රතු පාට වලින් ලබා ගත හැකි විය. කලාතුරකින් කොළ පැහැයද තිබුණි. පාසල්වල තිබුණු ඩෙස්කු වලද තීන්ත කුප්පිය නොසෙල්වී තැබීම සඳහා සකස් කරන ලද රඳවණයක්ද තිබුණි. 
    
ඒ කාලයේ  පොත්වල ලියන ලද අභ්‍යාස ලකුණු කරණුයේ රතු පැන්සල කිනි. ගුරුතුමිය රතු පැන්සලයෙන් ‘හොඳයි’ කියා ලියා ඇති වාර ගණන ගණන් කිරීමට අපි පුරුදුව් සිටියෙමු. මේ අතරතුර සමහර  ලිවීම් සඳහා පැන්සලද පාවිච්චි කිරීමට සිදුවිය.

තීන්ත පුරවා ලිවීමට ගන්නා ‘ෆවුන්ටන්’(Fountain) පෑන් මේ කාලයේ ඉතා දුර්ලභය. මම හතර පන්තියේ පළමුවෙනියා වීම නිසා අපේ බාප්පා කෙනෙකු වන පියරතන හාමුදුරුවෝ මට ‘ෆවුන්ටන්’ පෑනක් තෑගී කළහ. එය ‘බ්ලැක් බර්ඩ්’ (Black bird) පෑනකි. එය මුලින්ම පන්තියට ගෙනගිය දවසේ මට ලොකු ආඩම්බරයක් ඇතිවිය. පන්තියේ ‘ෆවුන්ටන්’ පෑනක් තිබුණේ මට පමණකි. ගූරුතුමියද  එය අතට ගෙන බලා

‘මේක වටිනා පෑනක් නැති කර ගන්නට එපා’ යයි අවවාදයක්ද දුන්නාය.

මේ පෑන් උල්පත් පෑන් කියාද නම්කර තිබුණි. පෑන් කඳේ බටය තුළ තිබෙන තීන්ත උල්පතකින් මෙන් ගලාඑන නිසා මෙම නම තබන්නට ඇත. කලාතුරකින් කඳ තුළ රබර් බොක්කක් තිබෙන උල්පත් පෑන්ද විය. මෙයට තීන්ත පිරවීමට කඳ ගලවා වෙන් කළ යුතු නැත. පෑනේ තලය සහිත අග්‍රය තීන්ත කුප්පිය තුළට දමා කඳෙහි තිබෙන කුඩා ලිවරය දෙතුන් වරක් ඉහලට පහලට ඉස්සු විට බොක්ක තුළට තීන්ත පිරේ. මෙම පෑන් වල ක්‍රියාකාරිත්වය කුඩා අපට මහත් අරුමයක් විය. ඒවායේ ක්‍රියාකාරිත්වය වායු ගෝලීය පීඩනයේ බලපෑම නිසා සිදුවන බව අප ඉගෙන ගත්තේ අටවන පන්තියට ගිය පසුවය.

පහේ පන්තියේදී ශිෂ්‍යත්ව විභාගයට පැන්සලෙන් ලිවීම වඩාත් හොඳ නිසා පෑනෙන් ලිවීම තරමක් අඩු කිරීමට සිදුවිය. අනික් අග්‍රයේ මකණයක් සවිකර තිබුණු පැන්සලයක මිල තරමක් වැඩිය. මේ කාලය වන විට ‘පයිලට්’(Pilot) සහ ‘යූත්’ (Youth) නම් තරමක් මිල අඩු  ‘ෆවුන්ටන්’ පෑන්ද වෙළඳ පළට ලැබී තිබුණි.

අපි උසස් පෙළ පන්ති වලදීත් සියලුම ලිවීම්  කළේ ‘ෆවුන්ටන්’ පෑනෙනි. රුප සටහන් ඇඳීමට සහ ජ්‍යාමිතිය වැඩ වලදී පැන්සල අවශ්‍ය විය.

මිල අඩු ‘බෝල් පොයින්ට්’ (Ball point) පෑන් සුලභ වුයේ කලකට පසුවය. මිට පෙරද ‘පාකර් බයිරෝ’ (Parker Biro) වැනි බෝල් පොයින්ට් පෑන් ඇති බව අප අසා තිබුණි. බෝල් පොයින්ට් පෑන්, ලිවීමේ මහත් විපර්යාසයක් ඇති කළේය. මුලින්ම ආ බෝල් පොයින්ට් පෑන් වල වේනම් ‘ක්ලිප්’ (Clip) එකක් තිබිණ. ක්‍රමක්‍රමයෙන් ක්ලිප් එක නැතිවී ගොස් අද තිබෙන නානා ප්‍රකාර හැඩරුව සහ විවිධ ක්‍රමවලට ලියන, තුඩ පිටතට දමන නොයෙකුත් මෝස්‌තර වල පෑන් සුලභ විය.

මේ වන විට ගල්ලෑල්ල සහ ගල්කුර සම්පුර්ණයෙන්ම වාගේ භාවිතයෙන් ඉවත්ව ගොසින්ය. කටු පෑන් සහ තීන්ත කුප්පිද අභාවයට ගොස්ය. ‘ෆවුන්ටන්’ පෑනක් තවම කලාතුරකින් දකින්නට ලැබේ. මේ සියල්ලද  ළඟදීම කෞතුක වස්තු ගණයට වැටෙනු ඇත. අද සෑම අස්සක් මුල්ලක් නෑරම, සෑම කෙනෙක් ළඟම ‘බෝල් පොයින්ට්’ පෑනක් තිබේ. ඒවායේ මිල පහසුය. පාවිච්චිය සරලය. පරිස්සම් කිරීමට ද වෙහෙස වීමට අවශ්‍ය නැත.

‘බෝල් පොයින්ට්’ පෑනද අභාවයට යන තත්ත්වයක් දැන් දැන් උද්ගත වෙමින් පවතී. මේ අලුත්ම තාක්ෂණික මෙවලම් නිසාය. පොත් පත් අන්තර්ජාලය ඔස්සේ හෝ ඊ-බුක්ස් (e-books)  මගින් ලබාගත හැකිය. ලිවිම වෙනුවට පරිගණක පුවරුවක අකුරු කළ හැකිය.  පුස්තකාලයකට නොගොස් අන්තර්ජාලය හෝ ඊ-බුක්ස් වලින් දැනුම පහසුවෙන්ම ලැබේ. එසේම හෝඩි පොත් සහ පාඩම් පොත්ද අතිශයින් නවීකරණය වෙමින් පවතී.

නවීනතම ලිවීමේ සහ කියවීමේ මෙවලම ‘අයි-පෑඩය’යි (i-pad). පෑන සහ පැන්සල වෙනුවට එහිදී භාවිත වන්නේ ඇඟිල්ලයි. ඇත්ත වශයෙන්ම මෙම ක්‍රියාදාමයන් නවීකරණය නොවී අපට ඉදිරියට යා නොහැකිය. එසේ වුවත් අනාගතයේදී ලිවීමට නොහැකි, දැනුම ලබාගැනීම සඳහා පොත් පත්  වලට යොමු නොවී, අන්තර්ජාලයේ පිහිටම පතන ජනතාවක් බිහිවේද යන්නත් සැක සහිතය. තව කලක්‌ යනවිට දැනුම කෙලින්ම මොළයට සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේද ඇතිවන ලකුණු දැනටම පහළ වී තිබේ.

 


Tuesday, 30 May 2017

ඇමෙරිකන් ‘සාම දුතයාගේ’ මුරුංගා ‘සුප්’ එක ......

මෙය තරමක්  පැරණි සිද්ධියකි. වර්ෂය 1963 ය. 
මේ යුගයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ‘සාම හමුදාව’ නම් විශේෂයෙන් පුහුණු කළ කණ්ඩායමක්, දෙරට අතර, අන්‍යොන්‍ය සබඳතා තර කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවට එවන්නට යෙදුනි. මෙම කණ්ඩායමෙන් කිහිප දෙනෙකු කොළඹ නගරයෙන් ඈත විදුහල්වලටද යොමු කරන ලදී. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු, මටද  දකුණේ විදුහලකට, පත්වීමක් ලබා ගත හැකි විය.  ඉන් එක් සාම දුතයෙකු මා සිටි විදුහලටද අනුයුක්ත කර තිබිණ. ඔහුද මමද විදුහලේ ශිෂ්‍ය නිවාසයේ කාමර දෙකක නතර වී සිටියෙමු. ‘සාම දුතයාගේ’ නම ඩෙනිස් ෂෙනහන් ය. මම ඔහු ‘ඩෙනිස්’යන නමින් ඇමතීමි.

ඔහු බොහෝ ප්‍රිය මනාප පුද්ගලයෙකු විය. ශ්‍රී ලංකාවට පැමිණ මාසයක් පමණ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් ඔවුනට සිංහල භාෂාව භාවිතය පුහුණු කර තිබිණ. ශිෂ්‍ය නිවාසයේ සිසුන් සමගත්, මා සමගත්, බොහෝවිට සිංහලෙන් කතා කළ ඔහුට, ටික කලකින්ම සාමාන්‍ය ප්‍රමාණයකට සිංහල කථා කිරීමට, කියවීමට  සහ ලිවීමට හැකිවිය.

ටික කලකින්ම දේශීය ඌරුවට හැඩ ගැසුණු ඔහු මඤ්ඤොක්කා, කොස්, දෙල් වැනි අපේ ආහාර වලට ප්‍රිය කරන්නට විය. එසේම ශිෂ්‍ය නිවාසයේ සීමිත පහසුකම් වලටද හුරු පුරුදු විය. බොහෝ දිනවල මා සමග රාත්‍රී ආහාරය ගන්නා විට අපගේ ආහාර වර්ග පිළිබඳව සකච්ඡා කළේය. එසේම ඇමෙරිකාවේ විවිධ දේශගුණ, විවිධ මිනිස් වර්ග, ආහාර, ගමනාගමනය, අධ්‍යාපනය ආදී කරුණු  පිළිබඳව විස්තරද කථා කළේය. ඔහු  සමහර අවස්ථා වලදී ශිෂ්‍ය නිවාසයේ කුස්සියට ගොස් කෝකියා වන මාටින් අයියාට ආහාර පිසීමටද උදව් කළේය. ඔහුගේ සරල සහ චාම් ගතිගුණ කවුරුත් අගය කළහ. ඔහුගේ එක් විශේෂත්වයක් වුයේ කෑම කන විටම, කහට තේ, තරමක පෝච්චියකින් එකක්,‌ ටික ටික බීමය. අපගේ කෝකියාද කිසි දිනක ඔහුගේ තේ පෝච්චිය, කෑම මේසයට තැබීමට අමතක කළේ නැත.

ක්‍රීඩාවෙහි දක්ෂයෙකු වූ ඩෙනිස්, විදුහලේ සිසුන්ට රිටි පැනීම, හෙල්ල වීසි කිරීම, කුන්දු පැනීම ආදී ඉසව් සහ බේස්බෝල් ක්‍රීඩාව පුහුණු කරණ අතරම  පන්ති කිහිපයක ඉංග්‍රීසි ඉගැන්වීමද කළේය.

එක්‌ දිනක දහවල් කාලයේ  මා පන්තියක උගන්වමින් සිටින විට, මාවෙත පැමිණි ඔහු

‘මට, හදිසි අවශ්‍යතාවක් සඳහා තානාපති කාර්යාලයට එන්නට කියා  තිබෙනවා, පාසල අවසන් වීමට කලින් මම යනවා’ යයි කීවේය.

එදින මාටින් අයියාට ද, ගමනක් යාමට ඇති නිසා. දහවල් ආහාර සකස් කර තබා, යන  බව මට කියා තිබිණ.

‘ඩෙනිස්, ....අද මාටින් අයියාත් නැහැ. දවල් කෑම, මේසයට ඇරලා ඇති. කෑම කාලා යන්න.’ මම කීවෙමි.

කෑම කා, ගමන යාමට පිටත්වූ ඔහු, නැවත මා වෙත පැමිණ කණට කොඳුරා

‘අද දවාලට හරිම රස ‘සුප්’ එකකුත් තිබුණා. මම ඒකෙන් බාගයක්ම බිව්වා’ යයි මට කියා පිටවී ගියේය.

ශිෂ්‍ය නිවාසයේ සුප් එකක් හදන්නේ කලාතුරකින් නිසා මට මෙය තරමක ගැටලුවක්ද විය.

එදින  වැඩ අවසානවී මා ශිෂ්‍ය නිවාසයට යනවිටම, ආපසු පැමිණ සිටි මාටින් අයියා මුණගැසුනි.

‘මොකද අද හදිසියේම සුප් හැදුවේ ?’ මම ඔහුගෙන් විමසීමි.

‘සර්, අද හරිම වැඩක් උනානේ, අද උදේ අපට ලපටි මුරුංගා කරල් මිටියක් ලැබුණා, මම ඒක හොඳට තුනපහ, පොල්කිරි එහෙම දාලා රසට හොද්දක් හැදුවා.’

කලකින් මුරුංගා හොදි සමග බත්  කෑමට නොලැබුණු නිසා මමද සතුටට පත්වීමි.

‘ඒක නෙවෙයි සර්, ලස්සන වැඩේ. මම එන කොටත් අපේ ඩෙනිස් සර් මුරුංගා හොදි, සුප් එකක්‌ යයි හිතලා, ඒකෙන් බාගයක්ම බීලා.’ අද වෙනදා වගේ එයාගේ තේ පෝච්චිය  තියන්න මම හිටියේ නැහැනෙ. එයා හිතලා සුප් එක නිසා තේ තියා නැතැයි කියලා.’

‘මම ඒ ගැන කිසි දෙයක් කිව්වේ නැහැ සුදු මහත්තයට ලැජ්ජා හිතෙයි කියලා.’

‘එයා යන ගමන් මටත් කියා ගෙනයි ගියේ අද හරිම රස සුප් එකක් තියෙනවා කියා.’ මම මාටින් අයියාට කීවෙමි.

‘එයාට මොකුත් කියන්න එපා. මම එයාට ලැජ්ජා නොහිතෙන විධියට කියා දෙන්නම්කො’

කී මම කෑම කන ගමන්ම මුරුංගා හොද්දෙන් ටිකක් හැන්දකට ගෙන  බී බැලුවෙමි. එය ඇත්තටම සුප් එකක් මෙන් රසයෙන් යුක්තය. වෙනසකට තිබුණේ කෑමට නොහැකි මුරුංගා කෑලි තිබීම පමණකි. මුරුංගා මද සූරා දැම්මා නම් එය තවත් අනර්ඝ සුප් එකක්‌ වන්නට තිබුණි.

පසුදින ඩෙනිස් හමුවූ විට ‘සුප්’ කතාව කියා අපි අහිංසක විනෝදයක් ලැබුවෙමු.

ශ්‍රී ලංකාවේ වසර දෙකක් සිටි ඩෙනිස්  ආපසු ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් ‘චැම්පියන් ස්පාක් ප්ලග්ස්’ ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස දිගු කලක් සේවය කළේය.

අසු තුන් වන වියෙහි පසුවූ ඔහු, පසුගිය දිනක මියගිය බව කියා ඔහුගේ දියණිය මට ඊ-මේල්  පණිවුඩයක් එවා තිබිණ.  
            

Saturday, 27 May 2017

‘ළමා මිතුරු පාසැල්’ සංකල්පය යථාර්ථයක් කර ගත හැකි විය.......

 80 දශකයේ මැද හරියේදී මට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ‘ළමා මිතුරු පාසැල්’ (Child Friendly Schools) සංවර්ධන  ව්‍යාපෘතියක සේවය කිරීමට අවස්ථාව ලැබුණි. මෙය ක්‍රියාත්මක වුයේ වයඹ පළාතේය. ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය දරන ලද්දේ ආසියානු සංවර්ධන බැංකුව මගිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද මුලික ශක්‍යතා අධ්‍යයනයකින් පසු  ඔවුන්ගේ නිර්ණායක වලට අනුකුලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබිණ. මෙහි පළමු පියවර වූයේ ඒ සඳහා පාසල් නියැදියක් තෝරා ගැනීමයි. නියැදියට 1 සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු, පාසැල් 40 ක්‌ තෝරා ගත යුතු විය. යෝජිත නිර්ණායක වලින් ප්‍රධාන වශයෙන්  අවධානය යොමු කර තිබුණේ පන්ති කාමර නවීකරණය කිරීම, ශිෂ්‍ය කේන්ද්‍රික අධ්‍යාපනය සඳහා අවශ්‍ය සරල උපකරණ හඳුන්වාදීම, සිසුන් සාමුහික ක්‍රියාකාරකම් වලට යොමු කිරීම, පන්ති කාමරය අවට අලංකරණය කිරීම වැනි අවශ්‍යතා සඳහාය.

අප කණ්ඩායමට පවරණ ලද්දේ තෝරා ගත් විදුහල්වල විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කර, මාස හයක් ඇතුළතදී ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා සැලසුමක් සකස් කිරීමයි.

සිරිත් පරිදි, අප විසින් තව දුරටත් තොරතුරු ලබාගැනීම පිණිස පාසල් නියැදියේ විදුහල්පතිවරුන් වෙත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළෙමු. විදුහල්පතිවරු හමුවීමට පෙර එසේ ලබා ගත් තොරතුරු විශ්ලේෂණය කර ගතිමු. එම විශ්ලේෂණය අනුව එම පාසැල් වැඩි සංඛ්‍යාවකට අවශ්‍ය වනුයේ වැසිකිලි පහසුකම් සහ ජල පහසුකම් බව පෙනී ගියේය. මෙසේ ලබාගත් දත්ත පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ද සමග සාකච්ඡා කර ව්‍යාපෘතියට සංශෝධන ඉදිරිපත් කළෙමු.

විදුහල්පතිවරු සමග කළ සාකච්ඡාවේදීද හෙළිවුයේ පන්ති කාමර අලංකරණයට වඩා වැසිකිළි, කැසිකිළි පහසුකම් සහ  ජල සැපයුම සඳහා ප්‍රමුඛතාව දිය යුතු බවයි. මෙහිදී එක්‌ විදුහල්පතිණියකගෙන් ලැබුණු ඛේදනීය තොරතුරු අනුව, ඇයගේ විදුහලේ ශිෂ්‍යාවන් රාශියක්ම මුත්‍ර අසාදන වලින් පෙලෙන බවත්, පාසලේ වැසිකිළි වල අයහපත් තත්ත්වය නිසා බොහෝ දැරියන් දවස පුරාම මුත්‍රා නොකර සිටින බවද පැවසුවාය. එසේම පිරිමි දරුවන් එම කාර්යය කර ගන්නේ කෙසේද කියාවත් විමසා බැලීමක්වත් නොකෙරෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. අප විසින් මෙම ගැටලුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා වෙත යොමු කළ විට,  ඔහු ඒ පිලිබඳ සංවේගය පළකර, දරුවන් පරීක්ෂා කර බලා හැකි ඉක්මණින්  වාර්තාවක්‌ සැපයීමට ස්වේච්ඡාවෙන්ම  ඉදිරිපත්වි ය.

ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතිව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පාසල් නියැදියේ දරු දැරියන් සමුහයක් වෛද්‍ය පරීක්ෂණ වලට භාජන කරන ලදී. එම දරු දැරියන්ගෙන් 75% පමණ මුත්‍ර අසාදන වලින් පෙළෙන බව හෙළිවිය. දරුවන්ගේ දෙමාපියන්වත් මේ බව දැන සිටියේ නැත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා විසින් මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් අප වෙත සපයන ලදී.

ව්‍යාපෘතියේ නිර්ණායක සංශෝධනය කර, වැසිකිළි, කැසිකිළි පහසුකම් සහ  ජල සැපයුම සඳහා ප්‍රමුඛතාව දියයුතු බව අපට නිර්දේශ කිරීමට සිදුවිය. මේ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාගේ වාර්තාවද ඉදිරිපත් කරන ලදී. මුල්‍ය ආධාර සපයන විදේශ ආයතනයද ශිෂ්‍ය කේන්ද්‍රික අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බැවින්, වෛද්‍ය නිලධාරි වාර්තාවක්ද සහිත අපගේ නිර්දේශ නොසලකා හැරිය නොහැකි තත්ත්වයකට පත්විය. සාකච්ඡා වට කිහිපයකින් පසු සංශෝධිත නිර්දේශ පිළිගත් ඔව්හු,  යෝජිත පාසල් වලින් හරි අඩක් පමණක් පළමු අදියරේදී සංවර්ධනය කිරීමට තීරණය කළ අතර, ඉතිරි පාසල් සඳහා දෙවන අදියරේදී ප්‍රතිපාදන ලබා දීමටත් එකඟතාව පළ කරන ලදී. එසේ කරන ලද්දේ වෙන් කරන ලද ප්‍රතිපාදන සීමා ඇතුළත, ව්‍යාපෘතිය කළයුතු නිසාය. අධ්‍යාපන බලධාරීන් එම සංශෝධනයට කැමැත්ත ලිඛිතව දන්වන ලදී.

පාසල් විස්සක් සඳහා අවශ්‍ය වැසිකිළි කැසිකිළි ඉදිකර ඒවාට නල ජල පහසුකම්ද සකස් කර ගැනීමට ප්‍රමුඛතාව දීම සඳහා මුල්‍ය ආධාර සපයන විදේශ ආයතනය එකඟ කරවා ගැනීමට අපට හැකිවිය. කෙසේ වෙතත් මේ සඳහා විදුලි බලය ලබාගත හැකි පාසල් පමණක් තෝරා ගැනීමට සිදුවිය.

එම පාසල් විස්සේ  තිබුණු ලිං අලුත්වැඩියා කිරීම, විදුලි බලය නොතිබුණු පාසල්වලට විදුලිය ලබාගැනීම, ලිංවලින් ජලය ලබාගැනීමට ජල පොම්ප සවිකිරීම, ජලය රැස්කිරීම සඳහා ජල ටැංකි සවිකිරීම, ජල නල එලීම වැනි කටයුතු රාශියක් ව්‍යාපෘතිය මගින් කරගත හැකි විය. ඒ අතරම පන්ති කාමර අලංකරණය සහ  නව  ඉගෙනුම් ආධාරක  සැපයීමද සැලකියයුතු මට්ටමකින් සිදුවිය. අවසානයේදී  යෝජිත පාසල් සංඛ්‍යාවෙන් අඩකට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘ළමා මිතුරු පාසල්’ ලෙස ආඩම්බර වීමට අවස්ථාවක් ලැබුණි.

අවස්ථාවෝචිත ලෙස ව්‍යාපෘති නිර්ණායක සංශෝධනය කිරීමට හැකිවීමත්, අදාළ නිලධාරීන්ගේ ඇප කැප වීමත්, විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා විසින් තම රාජකාරි සීමාවෙන් ඔබ්බට පවා ගොස් සකස් කරන ලද වෛද්‍ය වාර්තාවත් නිසා ‘ළමා මිතුරු පාසල්’ සංකල්පය අපටද යථාර්ථයක් කර පෙන්වීමට හැකිවිය.       


Friday, 26 May 2017

ජනවාර්ගික අනන්‍යතාව තහවුරු කිරීම පිලිබඳව අධ්‍යාපනයේ ප්‍රයෝගික අත්දැකීමක් ඕස්ට්‍රේලියාවෙන් ......



  අධ්‍යාපනයේ රසකතා වලට මෙතෙක් පසුබිම් වුයේ පසුගිය දශක කිහිපය තුලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශ වල හමුවූ රසවත් සිද්ධීන්ය. මෙම සිද්ධිය මට දකින්නට ලැබුණේ ඉතා මෑතදි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ හැම්ප්ටන් පාක්හි දීය.  දිනය 2017 අප්‍රියෙල් මස 29 වනදා ය..

එය වික්ටෝරියානු භාෂා පාසල් පද්ධතියේ, හැම්ප්ටන් භාෂා පාසලේ සිංහල භාෂා අංශය මගින් පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු උත්සවයයි.

මෙම වැදගත් සිද්ධියට පාදක වන ක්‍රියාදාමය මඳක් විමසා බලමු.


Image result for Australia maps
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත
ඔස්ට්‍රේලියා මහාද්වීපය ප්‍රාන්ත හතකින් යුක්ත තනි රාජ්‍යයකි. ජනගහනය වැඩිම, නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය සිඩ්නි නුවරයී.  දෙවැන්න වන වික්ටෝර්යා ප්‍රාන්තයේ අග නගරය මෙල්බර්න් නුවරයී.  දුපතක් වන තස්මේනියාවද  ඕස්ට්‍රේලියානු රාජ්‍යයේ එක් ප්‍රාන්තයකි. රාජ්‍යයේ පරිපාලන අග නගරය වනුයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි කැන්බරා නගරයයි.


ලෝකයේ විවිධ රටවලින් නිත්‍යානුකුලව සංක්‍රමණය වූ විවිධ ජාතීන් පනහකට අධික සංඛ්‍යාවක්  ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙති.  මේ අතර   ශ්‍රී ලාංකිකයෝද  ප්‍රධාන තැනක් ගනිති.  මෙයින් වැඩිම සිංහල ජනගහනයක් සිටිනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේය. මෙම සිංහල ජනයාගේ සුභසිද්ධිය සඳහා විවිධ සමිති සමාගම් සහ ආගමික වැඩ සටහන් සංවිධානය කරගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු රජය මගින් ලොව අන් කිසිම රටක දකින්නට නොලැබෙන ආකාරයේ ප්‍රජා සත්කාරයන් මගින් විවිධ ජනවාර්ගික කොටස් වලට ඕස්ට්‍රේලියානු සමාජයට අනුගත වෙමින් තම අනන්‍යතාවද පවත්වාගෙන යාම සඳහා   අනුපමේය සේවයක් කරනු ලබයි. මෙයින් ප්‍රධානතම එකක් වනුයේ රජයේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලබන වික්ටෝරියානු භාෂා පාසැල් පද්ධතියයි. සෙනසුරාදා දිනවල උදේ වරුවේ පවත්වනු ලබන මෙම භාෂා පාසැල් වල විදේශ භාෂා ඉගැන්වීමට පහසුකම් සලස්වා තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ භාෂා පාසැල් 40 ක් තිබෙන අතර එයින් හතක සිංහල උගන්වනු ලබයි.

හැම්ප්ටන් පාක් භාෂා පාසැල මෙයින් එකකි. මෙහි පළමුවෙනි ශ්‍රේණියේ සිට නවවන ශ්‍රේණිය දක්වා පන්ති හතක්‌ පැවැත්වේ. ඕස්ට්‍රේලියාවේ හැදී වැඩි, ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිංහල දරු දැරියන්ට සිංහල භාෂාව හසුරුවීම සඳහාත් සිංහල අනන්‍යතාව උරුම කර දීම සඳහාත් භාෂා පාසැල් මහත් මෙහෙවරක් කරනු ලබයි.

හැම්ප්ටන් පාක් භාෂා පාසලේ සිංහල අංශය මගින් පවත්වනු ලැබූ සිංහල අලුත් අවුරුදු උත්සවයට සහභාගී වීමට මට ලැබුණේ මහඟු  අවස්ථාවකි.

මෙම උත්සවය සංවිධානය කිරීමට භාෂා පාසලේ ගුරු මණ්ඩලය, දරුවන්ගේ දෙමාපියන් සහ දරු දැරියන් මහත් වෙහෙසක් ගෙන තිබේ. අධ්‍යාපනයේ අභිමතාර්ථය දැනුම පමණක් ලබාදීම නොව ඒ මගින් කුසලතා ඔප් නංවා, ආකල්පද වැඩිදියුණු කළ  යුතු බව මෙම පරිශ්‍රමයේදී  මැනවින් ඔප්පු කර තිබේ.

මෙම භාරදුර කාර්යය සඳහා මුලිකත්වය ලබා දුන්නේ හැම්ප්ටන් පාක්  භාෂා පාසලේ සිංහල අංශය සම්බන්ධීකරණය කරණ, එමෙන්ම එම පාසලේ ගුරු මහත්මියක් ලෙස සේවය කරන තුෂාරි පෙරේරා මහත්මියයි. මට ඇය සමග මේ සම්බන්ධයෙන් කෙටි පිළිසඳරක යෙදීමට අවස්ථාවක් ලැබිණ.

‘තුෂාරි පෙරේරා මහත්මිය, මේ අවුරදු උත්සවය ගැන යමක් කියන්නට පුලුවන්ද?  මම ඇසීමි.

‘ඔව්, මම මේ භාෂා පාසලේ සම්බන්ධීකාරක තනතුර භාරගත්තේ අවුරුදු හතරකට පෙර. මේ අපි පවත්වන සතරවන අවුරුදු උත්සවය.’

‘ඔබ මෙහේ වෙනත් රැකියාවක්  කරනවා ද?’

‘ඔව, මම පුර්ණකාලීන ව පාසැල් පුස්තකාලාධිපතිනියක් ලෙස වැඩ කරනවා. සෙනසුරාදාට උදය වරුවේ මෙම භාෂා පාසලේ වැඩ කරනවා.’

‘අචාර්ය මණ්ඩලයේ තව ගුරු මහත්මියන්ද සිටිනවා නේද?

‘ඔව, තව හතර දෙනෙක්  සිටිනවා. ඒ සියලු දෙනාම ලංකාවේ පාසල්වල සේවය කළ පළපුරුදු අය. අපි සියලු දෙනාගේම සාමුහික උත්සාහයෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ.’

අචාර්ය මණ්ඩලයේ අනිකුත් ගුරු මහත්මියන් ඉතා කැපවීමකින් වැඩ කිරිම නිසාත් දෙමාපියන්ගේ නොමඳ සහයෝගය ලැබෙන නිසාත්, දරුවන්ගේ දැඩි උනන්දුව් නිසාත් උත්සවය සාර්ථක කර ගැනීමට හැකි වූ බව  ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
අවධානය වෙනත් දිශාවකට යොමු කළ මම, තුෂාරි පෙරේරා මහත්මියගේ අධ්‍යාපන ක්‍රියාවලියේ පසුබිම ගැන ප්‍රශ්නයක් යොමු කළෙමි.

‘තුෂාරි පෙරේරා මහත්මිය ඔස්ට්‍රේලියාවට පැමිණ කොපමණ කල්ද?’  ‘දැනට අවුරුදු පහළොවක්  වෙනවා.’

‘ලංකාවෙදී හිටියෙත් ගුරු වෘත්තියෙමද ?’

‘ඔව්..... මම විද්‍යා උපාධිධාරි ගුරුවරියක් ලෙස උසස් පෙළ පන්තිවල ඉගැන්නුවා.’

‘කැමතිනම්, ඉගැන්වීම, ගම් ප්‍රදේශය ආදිය ගැන කියන්න.’

‘මගේ ගම් ප්‍රදේශය හොරණ. ඉගැන්වූයේ පානදුර බාලිකා විද්‍යාලයේ.’

‘මම අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයේ’.

‘ඔබ ඉගෙන ගත් විද්‍යාලය සමග තවමත් සම්බන්ධකම් තිබෙනවාද?’

‘ඇත්තෙන්ම, අපි ඕස්ට්‍රේලියාවෙත් තක්ෂිලා ආදී ශිෂ්‍ය සංගමයක් ආරම්භ කරළා විදුහලට උදව කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා, අවශ්‍යතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා’.

මෙවැනි ක්‍රියාකාරකම් නිසා එම ගුරු මහත්මියන් ලබන තෘප්තිය පිළිබඳවත් ප්‍රශ්න කිරීමට මා නිතැතින්ම පෙළඹුනා.

‘ඔබගේ ගුරු මණ්ඩලයත් ඔබත් මේ අවුරුදු උත්සවය ගැන මහත් කැපවීමකින් සහ දැඩි අධිෂ්ඨානයකින් යුක්තව  කටයුතු කරන බව කීවා. කාලය සීමිතව තිබියදීත් මේ  පුහුණුවීම් කළේ කොහොමද?’

‘අපේ ගෙදර ත්, අපේ ගුරු මණ්ඩලයේ අයගේ ගෙවල් වලත්, සමහර දිනවල දරුවන්ගේ  ගෙවල් වලත් පුහුණුවීම් කළා. දරුවන්ට සාමාන්‍ය පාසැල් කටයුතු තිබෙන නිසා හුඟාක්‌ පුහුණුවීම් කළේ සවස් කාළයේ හෝ රාත්‍රියේ.’

‘ඔබගේ උත්සවයේ සාර්ථකත්වය පිළිබඳව ප්‍රාදේශීය කලමණාකාර තුමාත් හොඳ ඇගයීමක් කළා. පිට රටකට පැමිණ සිංහල දරුවන්ගේ අනන්‍යතාව රැකදීමට සහ සිංහල භාෂාව හැසිරවීම පුරුදු කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව අපගේ ස්තුතියද ඔබ සැමට පුදකරනවා.’

එම උත්සවයේ විස්තරයක්, වික්ටෝරියා ප්‍රාන්තයේ තිබෙන සිංහල රුපවාහිනී නාලිකාව වන  විශ්වවාහිනි මගින් ප්‍රචාරය කරන ලදී. මෙහි පහත දැක්වෙන ‘ලින්ක්’  එකෙන් එය බලන්න.


භාෂා පාසැල් පිලිබඳ මෙම ප්‍රසංශනීය සංකල්පය හඳුන්වාදීම ගැන ඕස්ට්‍රේලියානු රජයටත්, එය මැනවින් අධීක්ෂණය කරනු ලබන ප්‍රාදේශීය කලමණාකාර තුමාටත්, පාසලේ සම්බන්ධීකරණ නිලධාරිනීයටත්, ආචාර්ය මණ්ඩලයටත්, දෙමාපියන්ට සහ දරු දැරියන්ටත් අපගේ ප්‍රණාමය පුද කරමු.

විවිධ රටවල්වලින් පැමිණ තිබෙන විවිධ ජන වාර්ගික පිරිස් වල ස්වදේශීය අනන්‍යතාව රැක ගැනීම සඳහා කිසිදු කුහක කමකින් හෝ ජාතිවාදයකින් තොරව, අධ්‍යාපනය මෙවලමක් කරගනිමින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන  මෙම වැඩ පිළිවෙල ලොවටම ආදර්ශයකි.


Tuesday, 23 May 2017

‘අලුත් මිස්ගේ’ පුහු ආඩම්බරය තුනී විය ........


   ව වර්ෂයට විදුහල පටන් ගත් මුල්ම දිනය එය විය. විදුහල් කාර්යාලයට වැඩ අධික දිනයකි. අලුතින් මාරුවීම් ලැබ පැමිණි ගුරුවරු ගුරුවරියන් කිහිපදෙනෙකි. ඒ සමගම නව පත්වීම් ලබා පැමිණි කිහිප දෙනෙක්ද වුහ. නව පත්වීම් ලබා පැමිණි ගුරු මහත්මියන් තිදෙනාම කළා උපාධිධාරිණියන් වීය. ඒ කාලයේ විදුහලේ කාල සටහන සකස් කළේ මා ය. මට  නිළ නොලත් නීයෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කිරීමට සිදුවී තිබිණ. එදින උදයේම මට කතාකළ විදුහල්පතිතුමා, අලුතින් පැමිණෙන අයට වැඩ භාරගැනීමේ කටයුතු සදහා අවශ්‍ය උදව් කරණ ලෙසටත්, කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ඔවුන්ගෙන් ලබාගන්නා ලෙසටත් මට පවරා සහාය පිණිස රෝහණ හවුල් කරගන්නා ලෙසද කීවේය.

වැඩිපුර ඉඩකඩ නොතිබුණු විදුහල් කාර්යාලයේ පැත්තක තිබුණු කුඩා මේසය මත අත්සන් පොත, පන්ති නාමලේඛන. පාසැල් සීනුව වශයෙන් භාවිත කළ, එල්ලා තිබෙන පැරණි ලොරි ‘රිම්’ එකට ගසා නාද කිරීමට යොදා ගන්නා  ‘බෙල් පොල්ල’, ගම් බෝතලය, කර්යාල සහායක තිසේරා අයියාගේ බුලත් මඩිස්සලය වැනි කී නොකී ලට්ට ලොට්ට සියල්ලම තිබෙන්නේ ඒ මේසය උඩය. නාමලේඛන සහ අත්සන් පොත හොරෙන්ම ලිපිකරු මහතාගේ මේසය උඩ පැත්තකින් තබා, අපගේ රාජකාරිය සඳහා ඒ කුඩා මේසය මත  ඉඩකඩ සලසා ගතිමි. විදුහල්පති තුමා, අලුත් ගුරුවරුන් එක් එක්කෙනා සමග කථා කර, මාරු හෝ පත්වීම් ලිපි බලා ඔවුන් අප වෙත යොමු කළහ.

අපවෙත එන අයගේ ලිපිලේඛන ගොනුවකට දැමීම, වෙනත් අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීම, පන්ති භාරව සිටින අයට පැවරෙන වැඩ කටයුතු ආදිය පැහැදිලි කරදීම රෝහණ විසින් කරනලදී. කාල සටහන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු වන උපාධි විෂයයන් හෝ ගුරුපුහුණු ක්‍ෂේත්‍රය, ඉගැන්වීමට ප්‍රිය කරන විෂයය අනුපිළිවෙල ආදී තොරතුරු මම ලබාගතිමි. එදින අලුතින් පැමිණ සිටි අයගේ මුලික තොරතුරු ලබාගැනීමට පැය එකහමාරක් පමණ ගතවිය. ස්ථාන මාරු  ලබා පැමිණි අය, රාජකාරි කටයුතු ගැන දන්නා නිසා ඔවුන්ගේ තොරතුරු සපයා ගැනීම පහසු විය.

නවක උපාධිධාරිණියන් තිදෙනාගෙන් තොරතුරු සඳහා ධනාත්මක ප්‍රතිචාර නොලැබිණ. ඒ තිදෙනාගෙන් පළමු ගුරු මෙනෙවිය උසස් පෙළ ආර්ථික විද්‍යාව පමණක් ඉගැන්විය හැකි බව තරයේම කියා සිටියාය. සිංහල සහ ඉතිහාසයද ඇයගේ  උපාධි විෂයය විය. කෙසේ වෙතත් ඇයට සාමාන්‍ය පෙළ බුද්ධාගම, සිංහල, සාහිත්‍යය වැනි විෂයයක්ද ඉගැන්වීමට සිදුවන බව දැන්වූ විට එය ප්‍රතික්ෂේප කළාය. මේ නිසා ප්‍රශ්නය විසඳීම විදුහල්පතිට භාරකළ අපි අනිත් දෙදෙනාගේ තොරතුරු ලබාගෙන කාල සටහන සැලසුම් කළෙමු.

විදුහල්පතිතුමා ඇය සමග අප සිටි තැනට පැමිණ ‘මේ අලුත් මිස් වෙනුවෙන් වෙනසක් කරන්න බැරිද?’ කියා මගෙන් ඇසීය.

 කළහැකි වෙනත් දෙයක් නොමැති නිසා 

‘උසස් පෙළ ආර්ථික විද්‍යාව සියලුම පන්තිවල තිබෙන්නේ කාල ඡේද දහසයක් විතරයි’  මම කීමි.

‘මට ඉන්ග්ලිෂ් විතරක් දෙන්න’ ඇයගේ ඊ ළඟ ඉල්ලීම විය.

‘එහෙම කරන්න බැහැ. ඔය මිස්ගේ උපාධි සහතික අනුව උගන්නන්නට වෙනවා.’ විදුහල්පති කීය.

‘ඒ උනාට මට ඉන්ග්ලිෂ් හොඳට පුළුවන්’ ඇය නැවතත් කීවාය.

‘ලබන මාසේ විශ්‍රාම යන පොන්සේකා ගේ ඉන්ග්ලිෂ් කාල සටහන මේ මිස්ට දෙන්න පුලුවන්ද?’ විදුහල්පති මගෙන් ඇසීය.

කාල සටහන් සාරාංශය (synopsis) පෙරලා බැලු මට පොන්සේකා මහතාගේ සාමාන්‍ය පෙළ පන්ති පහක කාල ඡේද විස්සක් ඇති බව දැකගන්නට ලැබිණ.

‘එහෙනම් කාල  ඡේද විස්සම දෙන්න වෙනවා’. එතකොට උසස් පෙළ ආර්ථික විද්‍යාව දහසයයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විස්සයි. සියල්ලම තිස් හයයි’    මම කීමි.

‘හා, එහෙම හොඳයි’ විදුහල්පති එකඟ විය.

එහෙත් නවක ගුරු මහත්මියගේ මුහුණ ඇඹුල් විය. එම වෙනසටද ඇය එකඟ නොවන හැටියක් පෙනේ. විදුහල්පති තුමා පණිවුඩයක් යවා පොන්සේකා මහතා කැඳවීය.

‘පොන්සේකා,  මේ අලුත් මිස්ට ඉංග්‍රීසි පන්ති කිහිපයක්‌ ඉල්ලනවා. ඔයාගෙන් කාල  ඡේද විස්සක් ගන්නවා . කැමතිද?’ කියා ඇසීය.

ඔහු ඩබ්ලිව්. ඩබ්ලිව්. පොන්සේකාය. කවුරුත් ඔහු හැඳින්වුයේ වැඩි වැඩ (W.W) පොන්සේකා කියාය. ඔහු ඉගැන්වීම සැලකුවේ තමන්ට අයිති වැඩවලින් පස්වෙනි හෝ හයවන අංකය ලෙසටය. පළමුවෙනි දෙවැනි සියල්ල වැඩක් නැති වැඩි වැඩය.

‘කමක් නැහැ සර්, ඔක්කොම ගත්තත් කමක් නැහැ. මම අලුත් මිස්ට උදව් කරන්නම්’ කීවේය.

කෙසේ වෙතත් කාලඡේද තිස් හයක්‌ ලැබුණු අලුත් මිස් අප දෙස රවා බලා, ගස්සමින්, යමක්‌ මුමුණමින් පිටව ගියාය.

ඇය සමගම විදුහලට පැමිණි අනිකුත් ගුරු මෙනෙවියන් දෙදෙනාට උසස් පෙළ පමණක් විෂයය තිස් දෙක බැගින් ලබාදීමට හැකිවිය.

තමන්ට පමණක් කාල ඡේද තිස් හයක්‌ දීම ගැන කිහිප වරක්ම විදුහල්පතිට විරෝධය පා ඇති ඇය අප දෙදෙනා සමගත් තරහකින් සිටියාය. ඈතින් ඇයගේ ඥාති වරියක් වන ගුරු මණ්ඩලයේ වෙනත් මහත්මියක් සමග අපට තදින්ම දොස් කියා ඇති බවද දැනගන්නට ලැබිණ. දැන් ඇය අපගේ මුහුණ බලන්නේවත් නැත.

විශ්ව විද්‍යාලයේදීද කිසි කෙනෙකු සමග වැඩි ආශ්‍රයක් නොමැතිව සිට ඇති ඇය, වැඩිපුර සිංහල නොදන්නා, හොඳින් ඉංග්‍රීසි කතා කරන කෙනෙකු බවට පෙන්වන පුහු උඩඟු කමකින් යුක්ත තැනැත්තියක බව දැනගන්නට ලැබිණ. ඒ ඉංග්‍රීසියට ‘කඩුව’ යන අන්වර්ථ නාමය පටබැඳුන අලුතමය. ඇය එතරම් ප්‍රසන්න පෙනුමක් නොමැති අතර තරමක් කාල වර්ණ ශරීර පැහයකින්ද යුක්තය. ඇයගේ ඉංග්‍රීසියට ආවැඩිම නිසා පළමුව ‘කඩුව’ වූ අතර පසුව, සරීර පැහැයත්  එයට එකතු වී, විශ්ව විද්‍යාලයේදී ඇය ‘බලු කඩුව’ වී ඇත. මේ විහිලුවට ඇය තදින්ම කේන්ති ගන්නා බවද ආරංචි විය.

සති කිහිපයක් ගතවිය. ඇය කිසිම කෙනෙකු සමග ආශ්‍රයක් නොමැති බව කාගේත් නිරීක්ෂණය විය. කෙසේ හෝ ඇයගේ මේ මුරණ්ඩු කම මෙල්ල කළ යුතු බව කාටත් වැටහිණ.

එක්‌ දිනක උදය කාලයේ ගුරු විවේක කාමරයේ ඇය සහ තව දෙතුන් දෙනෙක් පමණක් සිටින විට කාමරයට පැමිණි රෝහණ ප්‍රවෘත්ති පත්‍රයක්ද රැගෙන අයට ඉදිරිපසින් වූ සැප පුටුවෙහි වාඩිවී කකුල් හොඳින් උස්සා දිගහැරගෙන සිටියේය. ‘වනචර මිනිස්සු’ කියමින් කේන්තියෙන් නැගිට ගත් ‘අලුත් මිස්’ කෙලින්ම විදුහල්පති කාර්යාලයට ගොස් හඬමින් යමක් විදුහල්පතිට පවසා, ඇයට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ගුරු කාමරයේ සිටි තවත් කෙනෙකුට කකුල උස්සා තම සෙරෙප්පු අඩිය පෙන්වූ රෝහණ
‘බලා ගනිමු. දැන් ලොකු ජංජාලයක් වෙයි’ කීවේය.

සෙරෙප්පු දෙකේ අඩි වල ලියා තිබුණු වචන කියවූ කාටත් සිනා නවත්වා ගත නොහැකිවිය. මොහොතකින් තිසේරා අයියා ගුරු කාමරයට පැමිණ රෝහණට කතා කර,

‘සර්ට ප්‍රින්සිපල් සර් එන්න කියනවා’ යයි

පණිවුඩයක් කීවේය. විදුහල්පති කාර්යාලයට ගිය ඔහුට වියරු  මුහුණක් ඇතිව සිටින ‘අලුත් මිස්’ දකින්නට ලැබිණ.

‘ආ.... රෝහණ මොකක්ද ඔයාගේ සෙරෙප්පු කුට්ටම ගැන මේ මිස් මොනවද කියනවා?

‘මගේ සෙරෙප්පු කුට්ටම අලුත් එකක්. ඒක ‘බාටා’. තව මොනවද දැනගන්නට ඕනෑ?

‘නැහැ ඕයි, ඕකේ අඩිය’

‘හා... අඩියද? අඩිය රබර්, මම හිතන්නේ ‘ආර්පිකෝ’, මිස්ට ගැලපෙන ඒවත් සාප්පුවේ තිබුණා.’ ඔහු එක දිගටම කියාගෙන ගියේය.

විදුහල්පතිතුමා අමාරුවෙන් සිනහව මැඩ ගනිමින්, තරමක් සැරෙන් මෙන්

‘ඔය සෙරෙප්පුවක් මට මෙහාට දෙනවා’ යයි කීය

‘ඇයි සර් මගේ සෙරෙප්පුව අතට ගන්නවද? 
කියමින් සෙරෙප්පුවක් ගලවා ඔහු තම අතට ගත්තේය.

‘මට ඕකේ අඩිය පෙන්වන්න.’ කී විදුහල්පති

අහක බලා ගනිමින් සිනහව මැඩ ගත්තේය. රෝහණ උපහාසාත්මක  හිනාවක්‌ දමා, සෙරෙප්පු අඩිය විදුහල්පති තුමා පැත්තට හැරවීය.

‘ඔය මොකක්ද අඩියේ ලියලා තියෙන්නේ?’

විදුහල්පති, (මවාගත්) කේන්තියකින් ඇසීය.

සෙරෙප්පුව තමන් වෙතට හරවා බැලු රෝහණ මහත් පුදුමයකින් මෙන් 

‘මෙහා.... මමත් දැනුයි දැක්කේ. “බලු කඩුව”........ අලුත් කඩු ජාතියක් වගෙයි. කවුද මේක විහිලුවකටද කොහෙද මගේ සෙරෙප්පු අඩියේ ලියලා’ 

කියන විටම අලුත් මිස් විදුහල්පති කාර්යාලයෙන්  පිටතට ගියාය. 

‘මෙන්න සර්, අනිත් සෙරෙප්පු අඩියේත් ඒකම ලියලා. මේක ගැන වහාම පරික්ෂණයක් පවත්වන්නට ඕනෑ’ යයි  මහා හඬින් සිනාසෙන්නට විය.

‘මේ......රෝහණ, ඔය විකාර නවත්තලා දානවා. මම ඒ මිස්ට ගුරු මණ්ඩලයත් එක්ක සිටින හැටි කියා දෙන්නම්’

විදුහල්පති අවධාරණයෙන් කීවේය.

රෝහණ ගුරු කාමරයට නොගොස් කෙලින්ම සංගීත කාමරය පැත්තට ගියේය.

තවත් සති කිහිපයක් ගතවිය. අලුත් මිස් ටිකින් ටික කා සමගත් කුළුපග වෙන්නට විය. ඇය ජීවත්වීමේ  අලුත්  පිටුවක් පෙරලුවාය. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන්වත් නොලත් පන්නරයක් සමාජ ආශ්‍රයෙන් සති කිහිපයකදී ලබාගත්තාය.

පසු කලකදී ඇය ඉතාමත් මිත්‍රශීලී විෂයය බාහිර ක්‍රියාකාරකම් වලද නියැලුණු ගුරු මහත්මියක් වුවාය. සියල්ලන්ටම  ‘කඩුව’ අමතක විය.               

  

          

Saturday, 20 May 2017

මාගම්පුර නව අන්තර්ජාතික රඟහලේ මුල්ම වේදිකා නාට්‍යය ....(නිළ නොවන) ??..


මෙය මෑතදී සිදුවූ කතා පුවතකි.

   මා අවසාන වරට විදුහලක ගුරුවරයෙකු ලෙස සේවය කළේ 1982 වර්ෂයේය. එම විදුහලේ ඉතා සාර්ථක ඇදුරු මිතුරු හවුලක් තිබේ. මෙම හවුලට වර්තමාන ආචාර්ය මණ්ඩලය සහ කලින් ගුරු මණ්ඩලයේ සිටි කවුරුත් අයිතිය. සාමාජික සංඛ්‍යාව 350 ක් පමණ වේ. වසර කිහිපයකට ඉහතදී ගත් සංඛ්‍යා ලේඛන වලට අනුව ඒ අය අතර වයස 80 ඛණ්ඩයේ අයද තුන් දෙනෙක් සහ වයස 70 ඛණ්ඩයේ  අය 12 දෙනෙක්ද සිටයහ. ලාබාලම අය සිටියේ වයස 30 ඛණ්ඩයේ ය.

ඇදුරු මිතුරු හවුල මගින් වාර්ෂිකව, සුහද හමුවක්, දානමය පින්කමක්, ධර්මදේශනාවක් ආදියද සංවිධානය කෙරේ. වසර දෙකකට වරක් එක් දින චාරිකාවක නිරත වීමට අවස්ථාව සැලසේ.

එම වසරට නියමිත චාරිකාව වුයේ හම්බන්තොට මාගම්පුර නව සංවර්ධන කටයුතු නැරඹිමයි.බොහෝවිට චාරිකාව සංවිධානය කරනුයේ විදුහලේ දැනට සේවයකරන අය සහ මෑතදී විශ්‍රාම ගත් අයගෙන් සමන්විත කමිටුවක් මගිනි. අලුතින් මාරුවීම් ලබා විදුහලට පැමිණ ඇති අය හඳුනා ගැනීමටද චාරිකාවෙදී හැකිවේ. එම චාරිකාව සඳහා 50 දෙනෙක් පමණ සහභාගී වුහ.

ගමන සඳහා සුඛෝපභෝගී බස් රථයක් සුදානම් කර තිබිණ. තංගල්ලේ හෝටලයක් අයිති ආදී ශිෂ්‍යයෙකු විසින් දිවා ආහාරය සපයා දීමටද සුදානම් කර තිබිණ. පෙරවරු අටට පමණ විදුහලින් පිටත් වූ අපට අධිවේගී මාර්ගයෙන් ගොස් දහවල් දහයට පමණ තංගල්ලට යා හැකිවිය. තංගල්ලේ ටික වේලාවක් නතර වී සිට, ආදී ශිෂ්‍යයාගෙන් දහවල් ආහාර පාර්සල්ද ලබාගෙන හම්බහ්තොටට පැමිණියෙමු.

හමබන්තොට නගරයෙන් එහා මහා සංවර්ධන සැලස්මක් ක්‍රියාත්මක වෙමින් තිබුණු බැවින් බර වාහන ගමනාගමනය නිසා  අවට සෑම තැනම දුවිල්ලෙන් පිරී ගොස්ය.

සංවර්ධන කලාපයට යාමට අවසර ලබාගැනීම අති දුෂ්කර විය. කලින්   ප්‍රවේශ පත්‍ර ලබාගෙන තිබුනත් නැවත නොයෙකුත් කොන්දේසි වලට ද අත්සන් කිරීමෙන් පසුව කලාපයට ඇතුල් වීමු.

වරායේ ඉදිකිරීම් බලාගැනීමට හැකිවුයේ තරමක් ඈතින් සිටය. ගුවන් තොටුපල අසලටම ගිය අපට එහි පර්යන්තය වටා ඇවිදීමට හැකිවිය. ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකු ගොඩනැගිල්ල තුල සිටිනු දකින්නට ලැබිණ.  සම්මන්ත්‍රණ ශාලාවට යාමට අපට අවස්ථාව ලැබි තිබුණේ පස්වරු දෙකටය.

තවත් වේලාව තිබුණු බැවින්  තරු තුනේ හෝටලයකින් ලැබුණු ප්‍රණීත දහවල් ආහාරය පර්ශ්‍රයේ ඉතිරිවී තිබුණු ගස් කිහිපය යට වාඩිවී භුක්ති වින්දෙමු. වාඩිවීමට තැනක්‌ නොලැබුණු සමහර අය හිටගෙනම දිවා ආහාරය ගත්හ.

පස්වරු දෙකට ආසන්න වෙත්ම අපට කලින් සම්මන්ත්‍රණ ශාලාව අසලට  ගොස් සිටි පාසල් සිසු කණ්ඩායමක් පිටවී යනු දැක්කෙමු.

අපට ලැබී තිබුණේ අංක පහයි. එදිනට එහි යන පස්වන කණ්ඩායම අප විය යුතයි. ආරක්ෂක නිල ඇඳුමෙන් සැරසුණු නිලධාරියෙක් අප වෙත පැමිණ අපගේ අංකය ප්‍රවේශ ලිපිය  සහ අප සියලු දෙනාගේ හැඳුනුම් පත් පරීකෂා කර, ඡායාරුප ගැනීමේ තහනම් නියෝගයක්ද අපට දමා,   අප සමග සම්මන්ත්‍රණ ශාලාව අසලට ගියේය.

සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රවේශ දොරටුව අසලම සිටි නිලධාරියෙක්‌ අපගේ ප්‍රවේශ පත්‍රය දුටු විගසම පිරිස දෙස විමතියෙන් මෙන්  බලා, 'මේ අපේ සර්ලා මිස්ලානේ' කියා සිනහ මුසු මුහුණක් ඇතිව කියා සිටියේය. ඔහු තමන්ගේ ගෝලයෙකු බව පිරිසේ සිටි කිහිප දෙනෙක්ම එකවර හඳුනා ගත්හ.

'මේ සංජීවව  හඳුනා ගන්නත් බැහැනේ දැන් හුඟක්ම වෙනස් වෙලානේ' කියමින්  විශ්‍රාම ගෙන තිබෙන  කලින් සිටි විදුහල්පති වරයෙක් ඉදිරියට ආවේය.

'සර් මම අවුරුදු 20 ක් විතර එංගලන්තයේ සම්මන්ත්‍රණ ශාලාවක් භාරව කටයුතු කළා. මේ සම්මන්ත්‍රණ ශාලාවේ වැඩ කටයුතු බලා කියා ගැනීමට ඇමතිතුමාම ඉල්ලීමක් කළා. මම ඇවිත් සති තුනයි.'
'අලුත් සර්ල මිස්ලාත් ගොඩක් ඉන්නවා' යි

කී ඔහු වෙන කිසිම සෝදිසියක්‌ නොකර  අප ශාලාව තුලට කැඳවාගෙන විත් ඡායාරුප කිසිවක්‌ නොගන්නා ලෙස කාරුණික ඉල්ලීමක්ද කළේය.

'සර්ලගේ කණ්ඩායම තමයි ශාලාව ඇතුලට මුලින්ම ගත්තේ. අදම උදේම සවි කරපු අලුත්ම පුටුවල වාඩි වෙන්න'

කී සංජීව වේදිකාව  අසලට ගොස්  වායු  සමනය ක්‍රියාත්මක කළේය.

සම්මන්ත්‍රණ ශාලාවේ  අභ්‍යන්තර වැඩ මේ වනවිට සම්පුර්ණයෙන් අවසන් කර තිබුනේ නැත. සමහර උපකරණ ලී බඩු  ආදිය තැන් තැන් වල ගොඩ ගසා තිබුණි. ආසන සියයක් පමණ සවි කර තිබිණ.

දහවල් සිටම තද අව්වේ වේලෙමින් ඩහදිය දමා දුවිල්ලෙන් හෙම්බත්වී සිටි අපට වායු සමානය කළ ශාලාව තුල සුව පහසුවට වාඩිවී සිටීම කිය නෙහැකි තරම් ආස්වාදයක් විය.

'තවම ස්ටේජ් එකේ කර්ටන්ස් එහෙම දාලා හැහැ  චීනෙන් ගෙන්වපු  කර්ටන්ස් දැමීමට ටෙක්නීෂියන් කෙනෙක් ලබන සතියේ එනවාලු' කි

සංජීව පැත්තක තිබුණ අඩි හත අටක් උස පාර්සල් ගොඩක් පෙන්වීය.

මේ අතර සුව පහසුවට වාඩිවී සිටි අපගේ පිරිසට අලුත් අදහසක් පහළ වුවා සේ තරමක කසු කුසුවක් ඇසුනි.
සංගීත ගුරු මහත්මියත් නැටුම් ගුරු මහත්මියත් විදුහල්පති ලඟට ගොස් යමක් පැවසීය.
මෙය දුටු සංජය

'ඇයි මිස් මොනවක්වත් දැනගන්නට ඕනෑද? මට පුළුවන් ඕන දෙයක් මිස්ලා වෙනුවෙන් කරන්නම්' කීය

මෙයින් සතුටට පත් ඇය
'තවම ස්ටේජ් එක විවෘත කරලා නැද්ද?
කියා ඇසීය.

'තවම කර්ටන්ස් දාලත් නැහැ. ලයිටින් කරලත් නැහැ. තව මාසයක් විතර යයි' කීවේය.

'අපට ස්ටේජ් එක බලන්න ආසයි ' යනුවෙන් කියන විටම

'ඕනනම් මිස්ලා රංගනයක් කරන්න' කියා සංජය කීවේය

ඔවුන්ගේ අවශ්‍යතාවද එයම  විය. සන්ජයටද එය ඉවෙන් මෙන් දැනෙන්නට ඇත.

ගුරුවර ගුරුවරියන් කිහිප දෙනකු ටික වෙලාවක් කතා කරමින් සිට ' එහෙනම් අපි පොඩි නාට්‍ය කෑල්ලක් කරලා බලන්නම්. අපට අවසරද? '
කියා  ඇසීය.
ටිකක් වට පිට බලු සංජය ප්‍රධාන දොරටුව වසා යතුරු දැමීය.

'නාට්‍යය කරන්න මිස් විනාඩි දහයක් විතර' කී
ඔහු එයට කැමතිවිය.

එක ගුරු මහත්මයෙක් වේදිකාවට නැගී අසල තිබුණ ලී කැබෙල්ලක් මයික්‍රෝෆෝනය ලෙස කට ලඟට කර

'දැන් වේදිකාවට පැමිණෙනුයේ "කාලගෝල නාඩගම" . අත්පොලසන් නාදයකින් පිළිගන්න ' කියා හඬ නැගුවේය.

ඒ සමගම හැඳ  ගෙන සිටි සාරි  එහෙ මෙහෙ කර සකස් කරගත්  දෙදෙනෙක් අත්පොලසන් නාදය මධ්‍යයේ වේදිකාවට ගොඩවී 'කාලගෝල සහ දික්තල' මෙන් නියම රංගනයක් ඉදිරිපත් කළහ.

ඡායා රුප ගැනීමේ තහංචිය නිසා කිසිවෙකු ළඟ මෙහි සිහිවටනයක් නැත.

මෙයද 'කාලගෝල' වේදිකා නාට්‍යයකිනි.

සිහිවීම සඳහා මෙසේ සටහනක් පමණක් තබමි.
නියම "කාලගෝල නාඩගම" නැවත මතක් කර ගැනීමට මේ ලින්ක් එකෙන් බලන්න
https://youtu.be/iwyg71HF8M8

කෙසේ වෙතත් අපගේ ඇදුරු මිතුරු හවුලට ඉතිහාස ගතවන රංගනයක් කිරීමට අවස්ථාව ලැබිණ. මේ 'නිළ නොවන' පළමු රංගනය ගැන තවමත් දන්නේ සුළු පිරිසක් පමණකි.