Wednesday, 5 October 2022

'රාජකීය අත්වැරැද්ද' නිසා මුළු රටම පාරිසරික අර්බුදයක....!

 ‘රාජකීය අත් වැරැද්ද’ නිසා මුළු රටම පාරිසරික අර්බුදයක…!

ජපානයේ හිරෝහිතෝ අධිරාජයා,1926 වසරේ සිට 1989 දක්වා . රාජ්‍ය පාලනයේ යෙදෙමින් සාගර ජෛව  විද්‍යාඥයෙකු ලෙසද මහත් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ එකම පුත්‍රයා වූ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයාද, තම පියාගේ අඩිපාරේ යමින් ජීව විද්‍යාව සම්බන්ධව මහත් උනන්දුවක් දැක්වීය. පාසල් කාලයේ සිටම ඔහු මත්ස්‍ය ජීව විද්‍යාව පිලිබඳ   සිත් යොමු කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුවද, විද්‍යාත්මක මත්ස්‍ය අධ්‍යයනය ඔහුගේ විනෝදාංශය බවටද පත්විය.

ජපානයේ අනාගත ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයා 1960 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා පිටත් විය. එවකට ඔහුගේ වයස අවුරුදු 26 කි. මෙම සංචාරයේදී ඔහු චිකාගෝ නගරයට පැමිණි අවස්ථාවේදී  එම නගරයේ නගරාධිපති  වූ  රිචර්ඩ් ඩේලී විසින් ඔහු රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පිළිගන්නා ලදී. ඩේලීද මත්ස්‍ය අධ්‍යයනයේ යෙදෙමින් මත්ස්‍ය අභිජනනය පිලිබඳ පර්යේෂණ කරන්නෙකු වීම නිසා, ඔවුන් දෙදෙනාට අහම්බෙන් මෙන් මත්ස්‍ය චර්යා පිලිබඳ බොහෝ අධ්‍යයන කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය. ලෝක ප්‍රසිද්ධ ‘Shedd මින්මැදුර’ පිහිටුවා ඇත්තේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ  නගරයේය. ඩේලි නගරාධිපති වරයාගේ ආරාධනය පරිදි නගරයේ වැදගත්ම ස්ථානයක් වන මින්මැදුර නැරඹීමට ගිය  අකිහිතෝ කුමරු, එහි සිටි විවිධ මත්ස්‍ය විශේෂ දහස් ගණනක් දැක බලා ගැනීමෙන්  මහත් අමන්දානන්දයට පත්විය. 

තම රාජකීය මිතුරාගේ සහ තමන්ගේත්  අධ්‍යයන විෂයය පථයට බොහෝ සේ සමීප, මිරිදිය මත්ස්‍ය තොගයක් තෑග්ගක් වශයෙන් කුමාරයාට පිරිනැමීමට නගරාධිපතිවරයා එවලේම තීරණය කළේය. අකිහිතෝ කුමරුද  මෙම අදහසට මහත් ප්‍රසාදය පළකළේය. මේ අවස්ථාවේදී, නගරාධිපති වරයා විසින් කුඩා අතංගුවක්  භාවිත කර එක් මත්ස්‍ය තටාකයකින් අල්ලා ගත් සිත් ඇදගන්නාසුළු මත්ස්‍යයින් 18 දෙනෙකු කුමාරයාට තෑගී කළේය. 

Bluegill "නිල් කරමලයා" Ruby Barb "බුලත් හපයා"

මෙසේ තෑගි ලැබුණේ,  උතුරු ඇමරිකාවට ආවේණික, විශේෂයෙන්ම පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බහුල, එමෙන්ම ඉතාමත් ජනප්‍රිය Bluegill “නිල් කරමලයා” (Lepomis macrochirus)  ලෙස හැඳින්වෙන ගංගා, විල් සහ පොකුණු වල ජීවත් වන අලංකාර මිරිදිය මත්ස්‍ය විශේෂයෙකි. මෙම මත්ස්‍යයා පෙන්සිල්වේනියා ප්‍රාන්ත රජයේ නිල මත්ස්‍යයා වීමද විශේෂත්වයකි. මෙම මත්ස්‍ය විශේෂය ආසියානු රටවලට ආවේණික මත්ස්‍ය විශේෂයක් නොවේ. එහෙත් ආසියානු කලාපයේ බහුල  Ruby Barb, “බුලත්හපයා ” (Pethia nigrofasciata), හැඩරුවෙන් නිල්  කරමලයාට තරමක් සමීප වුවත් ශරීර ප්‍රමාණයෙන් කුඩා  මත්ස්‍යයෙකි. 

“මාහට ඇමෙරිකා සංචාරයේදී ත්‍යාගයක් වශයෙන් ලැබුණු Bluegill  මත්ස්‍ය තොගය නිසා මත්ස්‍ය අභිජනනය පිලිබඳ මාගේ උද්‍යෝගය දෙගුණ තෙගුණ වුවා.  මා ජපානයට සේන්දු වූ විගසම, රජ මාලිගය වටා ඇති පෞරාණික මිරිදිය අගල පිළිසකර කරවා, එය මත්ස්‍යාගාරයක් ලෙස සකස් කර, මේ මත්ස්‍ය තොගය දිය අගලේ සුරතල් මසුන් ලෙස ඇතිකිරීමට පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා” 

යයි, උද්‍යෝගිමත් තරුණ මත්ස්‍ය විද්‍යාඥයෙකු වූ, අකිහිතෝ කුමාරයා, අමෙරිකාවෙන් පිටත් වීමට පෙර   චිකාගෝහි ‘Tribune’  පුවත් පතට ප්‍රකාශයක් කර තිබේ.


පැසිෆික් සාගරයට ඉහලින්  චිකාගෝ සිට ටෝකියෝ දක්වා දිගු ගුවන්   ගමනට නිරුපද්‍රිතව ඔරොත්තු දුන්නේ තෑගී ලැබුණු මත්ස්‍යයින් 15 දෙනෙකු පමණකි. වහාම මෙම මත්ස්‍යයින් රැක බලා ගැනීම  සහ අභිජනනය සඳහා සූදානම් කිරීම පිණිස, ජපානයේ ජාතික ධීවර ආයතනයට කුමාරයා විසින් භාරදෙන ලදී. ඔවුන් විසින් අභිජනන කාර්යාවලිය ඉතාමත් සාර්ථකව සිදු කරන ලදුව, මාස කිහිපයකදීම bluegills මාලුපැටවුන් සිය  ගණනක් ලබාගත හැකිවිය. 1961 වර්ෂය මුලදී පළමු මත්ස්‍ය පැටව් තොගය, නවීකරණය කරනලද ආරක්ෂක දිය අගලට මුදාහරින ලදී. විලෝපීයයන් කිසිවෙක් නොමැති කම නිසාත්, හොඳින්ම පෝෂණය ලැබීම  නිසාත්, විශේෂයෙන්ම රාජකීය ‘හස්තයක’ බලපෑම නිසාත්   මෙම විදේශීය මත්ස්‍යයින් ඉක්මණින්ම වර්ධනය වන්නට විය. එහෙත් දිය අගලේ කෘතීම පරිසරයේ මත්ස්‍ය අභිජනන වේගය අඩු බව පසුව පෙනී ගියේය. මේ නිසා මත්ස්‍ය පැටවුන් ස්වාභාවික පරිසර පද්ධති වලටද මුදා හැරීම ගැනද සිත් යොමු  කරන්නට සිදුවිය. මෙතෙක් කල් ජපානයේ දකින්නට නොලැබුණු, රටට ආවේණික  එම හැඩහුරුකම ඇති වෙනත්  මත්ස්‍යයින්ට  වඩා ප්‍රමාණයෙන් විශාල, සිත් ඇදගන්නාසුළු  වර්ණයෙන් යුත් මෙම bluegills ඉක්මණින්ම කාගේත් ආකර්ෂණයටද ලක්විය. 

ඔටුන්න හිමි අකිහිතෝ කුමරුන් විසින් රටට හඳුන්වා දුන් මත්ස්‍යයෙකු නිසා මොවුනට ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන අන්වර්ථ නාමයක්ද පටබැඳිණි. ‘කුමාර මත්ස්‍යයා’ ජපානයට හඳුන්වා දීම වෙනුවෙන්  ගෞරව කිරීමේ සංකේතයක් වශයෙන් වසර කිහිපයකට පසු,  අකිහිතෝ කුමාරයාගේ තොරතුරු සහ එම මත්ස්‍යයාට  ‘කුමාර මත්ස්‍යයා’ (prince fish) යන නම පට බැඳීමට හේතුවද සටහන් කර විශාල ශෛලමය ඵලකයක්ද, ස්මාරකයක් වශයෙන්  මුහුදු වෙරළ  ආසන්නයේ  ස්ථාපනය කරන ලදී. 1966 වසර වන විට bluegills පැටවුන් ජපානයේ විශාල ජලාශ කිහිපයකට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලටද   මුදා හරින ලදී. ස්වාභාවික ජලාශවල ඇති ප්‍රශස්ත පාරිසරික සාධක නිසා මත්ස්‍ය අභිජනනයද  වේගයෙන් සිදුවිය.                                                                                   

මේ කාලයේ ජපානයේ සිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය පර්යේෂණ විද්‍යාඥයෙකු වූ  නකායි කට්සුකි (Nakai Katsuki) විසින් ජපානයට අලුතින් හඳුන්වාදුන් Bluegills මත්ස්‍යයින් පිළිබඳව තම නිරීක්ෂණ ප්‍රකාශයට පත්කර තිබුණේ මෙසේය.                                                                                      “මේ දක්වා ජපානයේ ආක්‍රමණශීලී මත්ස්‍යයින් පිලිබඳ කිසිම හෝඩුවාවක්වත් නොමැත. අලුතින් බෝ කරන ලද අලංකාර මත්ස්‍ය විශේෂය වන Bluegills  ඔවුන්ගේ භෝජන විලාසය අනුව අනිකුත් දේශීය මත්ස්‍ය විශේෂ වලට කිසිම ආකාරයකින් හානිදායක නොවෙති. එමෙන්ම ඔව්හු මත්ස්‍ය භක්‍ෂකයෝද නොවෙති.” 

මේ ආකාරයට තවත් වසර කිහිපයක් ගතවිය. Bluegills  මත්ස්‍යයින් පිළිබඳව උනන්දුවද ක්‍රමයෙන් තුනීවී ගියේය.  

රජ මාලිගය වටා පිහිටි කෘතීම දිය අගල් පරිසරයේ  Bluegills   ගහණ ඝනත්වය  ක්‍රමක්‍රමයෙන් අඩුවී ගියේය. එහෙත් ස්වාභාවික ජලාශවලට සහ වෙනත් මිරිදිය ප්‍රභව වලට මුදා හරින ලද  මත්ස්‍යයින්ගේ ගහණ ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහල යන බව නිරීක්ෂණය කරන ලදී. එපමණක් නොව, එම මත්ස්‍යයින්ගේ කලින්  දකින්නට ලැබුණු සරල භෝජන රටාවද වෙනස් වී ඔවුන් ආහාර වශයෙන් ගත් ජලජ කෘමීන්, ප්ලැන්ක්ටන් සහ ජලජ ශාක වලට අමතරව කූනිස්සන් සහ දේශීය මත්ස්‍යයින්ගේ බිත්තරද බහුල වශයෙන් ආහාරයට ගන්නා බවද හෙළි විය. මේ ආකාරයට මොවුන්ගේ භෝජන විලාසය වෙනස් කිරීම සහ ඔවුන් විලෝපියයන්ගේ, ස්වරූපයක් ආරෝපණය කර ගැනීමත්,  දේශීය මත්ස්‍ය ගහණවල  පැවැත්ම සඳහා, බරපතල තර්ජනයක් වියහැකි බව විද්‍යාඥයින් විසින් බලධාරීන්ට ඒත්තු ගන්වන ලදී.  

මෙම නිරීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් කරනලද පරීක්ෂණ අනුව Bluegills ජපානයට ආක්‍රමණික මත්ස්‍ය විශේෂයක් බවට පරිවර්තනය  වී ඇති නිසාත්  ඔවුන්ගේ ව්‍යාප්තිය පාලනය කළ යුතු බව තීරණය කර, ඒ සඳහා අවශ්‍ය විධි විධානද  රජය විසින් පනවන ලදී. මේ අනුව 1999 වර්ෂයේදී රටපුරා ඇති මිරිදිය ජලාශ සහ වෙනත් ජලජ ප්‍රභව වල එම මත්ස්‍ය ව්‍යාප්තිය පිළිබඳව පුළුල් සමික්ෂණයක්ද  කරන ලදී. එහෙත් මේ වන විට, පාලනය කළ නොහැකි ආකාරයකට Bluegills මත්ස්‍ය ගහණය රටපුරා ව්‍යාප්ත වී ඇති බව හඳුනා ගන්නා ලදී. 

මේ වනවිට අකිහිතෝ කුමරු ජපානයේ අධිරාජයා බවට පත්වී සිටියේය. තමන් විසින් වසර 40 කට පමණ ඉහතදී, අමෙරිකාවෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස ජපානයට ගෙන එන ලද Bluegills විසිතුරු මත්ස්‍යයින් විසින් මේ වනවිට රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට කර ඇති බලගතු  විනාශය ගැන ඔහු මහත් කම්පාවට පත්විය. මෙම ව්‍යසනයෙන් රට බේරාගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම සඳහා අවශ්‍ය වන සියලු ප්‍රතිපාදන වහාම සකස් කර දෙන ලෙස ඔහු අදාල සියලුම නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.  මේ අනුව රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වය සුරැකීම සඳහාත් Bluegills මත්ස්‍ය ආක්‍රමණය මගහරවා ගැනීම සඳහාත් විවිධ විද්‍යාත්මක මෙන්ම වෙනත් පියවර ගැනද රටෙහිම අවධානය යොමුවිය. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමවේද වලින් ඔබ්බට ගොස් ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් අභිජනනය පාලනය කිරීමේ ක්‍රමවේදයකින් මිස  මෙම ව්‍යසනය පාලනය කරගත නොහැකි  බව අවසාන තීරණය විය. රටෙහි මහජනතාව අතර, Bluegill මත්ස්‍යයින් වැඩිපුර ප්‍රමාණයක් ආහාරයට ගැනීම ජනප්‍රිය කරවීම සඳහාද විවිධ  ක්‍රමවේදද  ඉදිරිපත් විය. මේ අනුව ජපානයේ සමහර ප්‍රාන්ත වල, මිරිදිය ධීවරයින්ට   Bluegill මසුන් වැඩිපුර ඇල්ලීම දිරිමත් කිරීම සඳහා


මත්ස්‍ය කිලෝග්රෑම් එකකට ඩොලර් තුනක දිරි දීමනාවක් දීමටද පියවර ගන්නා ලදී.


එමෙන්ම විවිධ පර්යේෂණ ආයතන මගින් එම මසුන් ඇල්ලීම සඳහාත්, මත්ස්‍ය බිත්තර එකතු කිරීම සඳහාත් නව පන්නයේ උගුල්ද නිෂ්පාදනය කරන ලදී.

තවද ජලාශවල ධීවර කටයුතු සඳහා අලුතින් Bluegill මත්ස්‍ය ගහණ  ස්ථාපනය කිරීමද නීතියෙන් තහනම් කර, අනවසරයෙන් එසේ කිරීම ඩොලර් 1000 ක දඩයකටද යටත් කරන ලදී.


මේ කිසිම ක්‍රමවේදයක් සාර්ථක නොවූ බැවින් 2002 වර්ෂයේදී ජපානයේ පරිසර අමාත්‍යාංශය මගින් Bluegill ආක්‍රමණශීලී  මත්ස්‍ය විශේෂයක් බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. 

මේ අවාසනාවන්ත සිද්ධිය නිසා මහත් පසුතැවිල්ලට පත්වූ අකිහිතෝ අධිරාජයා 2004 වර්ෂයේදී, තමාගේ නොසැලකිලිමත් භාවය නිසා තම රටෙහි මත්ස්‍ය ජෛව විවිධත්වයට සිදුවූ බරපතල හානිය පිළිබඳව ජාතියෙන් සමාව අයදින බව ප්‍රකාශයට පත් කළේය. 


මෙම ප්‍රකාශය හුවා දක්වමින් Japan Times පුවත්පත “අකිහිතෝ අධිරාජයා විසින් දශක හතරකට ඉහතදී තමා අතින් සිදුවූයේයැයි කියැවෙන, Bluegill මත්ස්‍යයින් රටට ගෙන ඒමේ සුළු වරද නිසා වූ මහා ව්‍යසනය පිළිබඳව අදද තම හදවත සලිත වන බව සඳහන් කර, ඒ වෙනුවෙන්   මේ ආකාරයට කණගාටු වෙමින් පසුතැවීම, ඉතාමත් නිරහංකාර රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ උතුම් ප්‍රතිචාරයක් බව සනිටුහන් කර තබමු.” යයි ප්‍රධාන ප්‍රවෘත්තියක්  පළකිරීමද සුවිශේෂී සිද්ධියකි. 


ජාන තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම උවදුර මැඩපැවැත්වීම සඳහා පිළිවෙත් සෙවීමෙහි නිරතවූ විද්‍යාඥයෝ පිරිසක් මේ ගැන වැඩි දුරටත් අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය දත්ත සොයාගැනීම පිණිස ඇමෙරිකාවට ගියහ. මොව්හු එහිදී ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ වල සිටින Bluegill ගහණ රාශියක මත්ස්‍යයින්ගේ DNA සමග, ජපානයේ එම මත්ස්‍ය ගහණ 56 කගේ DNA සංසන්දනයක් කරන ලදී. මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වූ ඉතා වැදගත් විද්‍යාත්මක සාධකයක් වූයේ, ජපානයේ ව්‍යාප්ත වී ඇති සියලුම Bluegill නැතහොත්  ‘කුමාර මත්ස්‍ය’ (prince fish) ගහණ සියල්ලම 1960 වර්ෂයේදී අකිහිතෝ කුමාරයාට ඇමෙරිකාවේදී තෑගී ලැබුණු   Bluegill මසුන්  15 දෙනාගෙන්ම බෝවූ අය බව තහවුරු වීමයි. මෙයින් සෑහීමට පත්වූ ජපන් විද්‍යාඥයෝ ජාන තාක්ෂණයේ නවතම ක්‍රමවේදයක් භාවිත  කර මෙම ගැටලුව විසඳීමට තීරණය කළහ.


2012 වසරේදී පමණ ලොවට හඳුන්වා දී තිබෙන, ‘ජිනෝම සංස්කරණය’  (genome editing) නමැති ජාන තාක්ෂණයේ නව පිවිසුම   Bluegill මත්ස්‍ය පාලනය සඳහා යොදාගත හැකි බව ජපන් විද්‍යාඥයින්ගේ  අදහස විය.  ‘CRISPR-Cas9’ යන කෙටි යෙදුමෙන්  දැක්වෙන මෙම තාක්ෂණය, “Clustered Regularly Interspaced Short Palindromic Repeats and CRISPR-associated protein 9” යන සංකීර්ණ විද්‍යාත්මක නාමයකින් විස්තර කර තිබේ. ඉතාමත් සංකීර්ණ මෙම තාක්ෂණයේ මුලධර්මය වනුයේ, යම්කිසි කාර්යයක් සඳහා තෝරාගන්නාලද ජීවියෙකුගේ DNA දාමයක,  එක්තරා ස්ථානයක ඇති යම්කිසි සුවිශේෂී ජානයක් ඉවත් කර,  ඒ වෙනුවට අවශ්‍ය කරන වෙනත් ජානයක් එම ස්ථානයට බද්ධ කිරීමයි. ජපානයේ Bluegill ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද්දේ, ස්ත්‍රී ලිංගික  Bluegill මත්ස්‍යයින්ගේ DNA දාමයේ ‘බිත්තර දැමීමේ හැකියාව’ සඳහා ඇති ජාන ඉවත්කර ‘බිත්තර දැමීමට නොහැකි ලක්ෂණ සහිත’ ජානයක් බද්ධ කිරීමයි. මේ ආකාරයට ‘ජිනෝම සංස්කරණය’ කරනලද  ස්ත්‍රී ලිංගික මත්ස්‍යයින් පරිසරයට මුදාහළ විට, ඔවුන් අභිජනනයට භාජන වූවත් බිත්තර නොදමති. මේ ආකාරයට යෝජනා කරන ලද ජෛව පාලන ආකෘතිය පිළිගන්නා ලදුව, එය ක්‍රියාත්මක කිරීම සඳහා  රජයේ අනුමැතියද ලැබිණ. මේ සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ කරනලද  විද්‍යාගාර පර්යේෂණ වලින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන බවද හෙළිවේ. මෙම තාක්ෂණය මගින්ද සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා අඩුම වශයෙන්, මුළු රටෙහි සියලුම මිරිදිය ජලාශ, විල්, ගංගා ආදියෙහි සිටින ස්ත්‍රී ලිංගික Bluegill මත්ස්‍යයින්ගෙන් 7% කට වත් ‘ජිනෝම සංස්කරණ’ ප්‍රතිකර්මය යෙදිය යුතු බව සංකීර්ණ ගණනය කිරීම් මගින් අනාවරණය කර ගෙන තිබේ. දැනටමත් මේ ක්‍රමවේදය මගින් සැලකියයුතු මට්ටමක සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව හෙළිදරව් වී ඇත.   නුදුරු අනාගතයේදීම මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ජපානයේ වසංගතයක් මෙන් ව්‍යාප්තවූ  Bluegill මත්ස්‍ය උවදුර පාලනය කරගත හැකි වේයයි  විශ්වාසයක් තිබේ. 


අකිහිතෝ කුමාරයා විසින් 1960 වර්ෂයේදී Bluegill මත්ස්‍යයින් ජපානයට ගෙන ආ  කාලයේදී ගුවන් තොටෙහි දැඩි මත්ස්‍ය නිරෝධායන නීති රීති නොතිබෙන්නට ඇත. එසේ වුවත් මත්ස්‍ය ජෛව විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා තිබුණු ඔහු එසේ කිරිමේ තිබිය හැකි  ආදීනව පිලිබඳ හොඳින් දැනුවත් වී සිටින්නට ඇත. එසේ දැනුවත්ව සිටියදීත් ඔහු හුදෙක් විනෝදය සඳහාම සුරතල්  මත්ස්‍යයින් ආනයනය කිරීම මගින් රටට විශාල අලාභ හානියක් කර තිබේ. දශක හතරක් පහක් තිස්සේ විශාල ධනස්කන්ධයක් වැය කිරීමෙන් පසුව වුවද මෙතෙක් එම උවදුර සඳහා  තිරසාර පිළියමක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මෙම ව්‍යසනය මැඩ පැවැත්වීම සඳහා ජපානයේ එක් ප්‍රාන්තයක කොටසක  පමණක් වැය කර ඇති අති විශාල මුදල් ප්‍රමාණය ගැන සිතා බැලීමෙන් පමණක් මෙම “රාජකීය අත්වැරැද්ද” නිසා රටට සිදුවී ඇති අලාභය සිතා ගත හැකිය. 2007 වර්ෂය වනවිට, ‘කුමාර මත්ස්‍ය’ ගහණය  මිලියන 25 පමණ වන්නට ඇතැයි ගණනය කර තිබේ. මේ වනවිට ජපානයේ විශාලතම මිරිදිය ජලාශය වන ‘බීවා විලෙහි’ (Biwa lake) සම්පූර්ණ මත්ස්‍ය ගහණයෙන් 90% පමණ Bluegill  ‘කුමාර මත්ස්‍යයින්’ වීමම  මහත් ඛේදවාචකයක් ලෙස සැලකේ. එම ප්‍රාන්තයේ මෙම ආක්‍රමණික මත්ස්‍යයින් ටොන් 420 පමණ  ඉවත් කිරීම සඳහා 2005 වර්ෂයේදී ඩොලර් මිලියන 1.2 ක් පමණ වැය කර තිබේ. දැනටද මෙම කාර්යය සඳහා වාර්ෂිකව ඩොලර් 270,000 ක් පමණ වියදම් වන බව වාර්තාවේ.


මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෙන තිබෙන මෙවැනි අනර්ථකාරී තීරණ නිසා ලෝකයේ තවත් රටවලද ජෛව විවිධත්ව ව්‍යසන සිදුවී තිබේ. තවත් හොඳම උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව ගත හැකිය. ඕස්ට්‍රේලියා මහාද්වීපයට පැමිණි මුල් යුරෝපීය සංක්‍රමණිකයින් විසින් වරින් වර ගෙන එන ලද ඔටුවන්, හාවුන් වැනි ශාක භක්ෂක ක්ෂීරපායී සතුන් මෙන්ම, වල්වැදී ඇති බළලුන්ද, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා ගෙනැවිත් වනාන්තර වලට මුදා  හරින ලද නරින්ද  මේ වන විට උග්‍ර ආක්‍රමණික සතුන් වී තිබේ. විශේෂයෙන්ම වල් වැදුණු  බළලුන් විසින් වර්ෂයකට ඔස්ට්‍ර්ලියාවේ පක්ෂීන් ඇතුළු කුඩා දේශීය සතුන් බිලියන දෙකක් පමණ දඩයම් කරන බව මෑතදී පුවත් පතක වාර්තා විය. 

මේ තොරතුරු ගැන සලකා  බලන විට ආක්‍රමණශීලී ශාක සහ සතුන් යන ජීවීන් දෙවර්ගයම නිසා ස්වභාවික ජෛව සමතුලිතතාව අවුල්වී යාමෙන් බොහෝ විට පරිහානියට මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පාන්නේ, අනුවර්තනය වීමේ හැකියාව අඩු දේශීය ජීවීන්ම වීම, මහත් කණගාටුදායක තත්ත්වයකි. මේ නිසා,  දැනට ලෝකයේ බොහෝ රටවල තදබල නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වෙමින් පාලනයක් සිදු කරනුයේ ඒ ඒ රටවල දේශීය වශයෙන් වැදගත් ජීවීන්ගේ සුභසිද්ධිය සඳහාම බව කාගේත් සැලකිල්ලට භාජන විය යුතුය. 

රාජකුමාරයෙකු විසින් අනිටු ප්‍රතිඵල  ගැන දැනුවත්ව සිට, අත්තනෝමතික ලෙස මත්ස්‍ය  විශේෂයක් එක්  රටක සිට තවත් රටකට ගෙන ගියත්, වැඩි උගත් කමක් නොමැති ගොවියෙකු විසින් නොදැනුවත්කම නිසා යම්කිසි කෘෂි භෝගයක් එක්  රටක සිට තවත් රටකට ගෙන ගියත්, අවසානයේදී වන්නේ එම ජීවීන් එසේ ගෙනයන ලද සත්ත්ව හෝ ශාක විශේෂ, රටට විපත්තිදායක ආක්‍රමණශීලීන් බවට පරිවර්තනය වීමයි.  

දයාරත්න වීරසේකර

Monday, 22 August 2022

ඇසට කඳුලක් අවශ්‍ය වන්නේම ද?

 ඇසට කඳුලක්  අවශ්‍ය වන්නේම ද?   

මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් සමීප සහ කාටත් හුරුපුරුදු ‘කඳුළු’ පිළිබඳව විවිධ අදහස් උදහස් සහ මතවාද බහුලය. බොහෝ විට කඳුළු සහ හැඬීම අතර සම්බන්ධයක් තිබෙන බවද දකින්නට ලැබේ. එහෙත් කුඩා දරුවෙකු හඬමින් කඳුළු වැගිරීම සහ වැඩිහිටියෙකුගේ  හැඬීම සහ ඇස්වල කඳුළු දකින්නට ලැබීම එකිනෙකට බොහෝ වෙනස් හේතු නිසා සිදුවිය හැකිය.

 

නවීන විද්‍යාවෙන් ලබාගෙන තිබෙන දත්ත අනුව, මත්ස්‍යයින් හැර අනිකුත් සියලුම ප්රුෂ්ඨවංශි  සතුන්ගේ දෘෂ්ඨි අවයවය වන ඇස් වල, බාහිර ලෝකයට නිරාවරණය වන ඉතාමත් සියුම් කනීණිකාවේ (cornea) ආරක්ෂාව සඳහාත්, ඇස්  වල තෙතමනය පවත්වා ගැනීම සඳහාත් කඳුළු ප්‍රයෝජනවත් වන බව සනාථ වී  තිබේ. ඇස්  වල ස්වාභාවික ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යාවශ්‍ය කඳුළු නිපදවනුයේ  ඒ සඳහාම සකස් වී ඇති ග්‍රන්ථි පද්ධතියක් මගින්ය. (මේ සමග ඇති රූප සටහන බලන්න).  

https://lh4.googleusercontent.com/0445TftKzGzfJQy_BxabjPsU3vDHKVs0evO50q_j3ybHwFRORb-TrnckNg7S0K0QGlW_xuNGGZYC2n9ZV2xDvSCL4SPlBxuhIS5eddTnAeUONA-YrfuLyf1w0EtkuMMBDlbyR0kUjHbscrcBOrN0pcM


මෙහි දක්වා ඇති පරිදි, ඇසෙහි කඳුළු පටලය ස්තර  තුනකින් සමන්විතය. කඳුළු නිපදවන ප්‍රධානතම ව්‍යුහය වනුයේ, උඩ ඇසිපිය සහ ඇහිබැම අතර අක්ෂි ගෝලයට ඉහලින් පිහිටි  අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථිය වේ. කඳුළු ද්‍රවමය  ස්වභාවයකින්  පවතිනුයේ එහි 98%  පමණ ජලය තිබෙන නිසාය. ඇස මතුපිටට ශ්‍රාවය වී විසිරි යන කඳුළු පටලයේ කාර්ය භාරය සම්පූර්ණ කිරීම සඳහා තවත් ශ්‍රාව දෙකක් කඳුලට මිශ්‍ර විය යුතුය. ඇසෙහි කනීණිකා අපිච්ඡදයේ සෛල වලින් නිපදවන මියුසින් ස්තරය මගින් කඳුළු කනීණිකාව මත නොඇලී ගලා  යාම, ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි බැක්ටීරියා  වර්ධනය  වලක්වාලීම සලස්වයි. එමෙන්ම කඳුළු පටලයේ මතුපිටින්ම ඇති ලිපිඩ නැතහොත් මේද සියුම් ස්තරය මගින් කඳුළු ඉක්මණින් වාෂ්ප වී යාම වලක්වයි. (රූප සටහනෙහි ඇති ‘කඳුළු පටලයක ව්‍යුහය’ කොටස බලන්න). අශ්‍රැ (කඳුළු) ග්‍රන්ථි වල නිපදවෙන කඳුළු කුඩා නාලයක් ඔස්සේ ගලාවිත්, නාසය පැත්තේ ඇස මුල, ඇති විවරය මගින් ඇසට ගලායයි. වැඩිපුර නිපදවෙන කඳුළු වෙනත් නාලයක් ඔස්සේ නාස් කුහරයට වැගිරේ. සමහර අවස්ථාවලදී යම්කිසි හේතුවක් නිසා වැඩිපුර කඳුළු ගලන විට ඒ  සමග නාසයෙන්ද ද්‍රවයක් වැගිරෙන්නේ මේ නිසාය. අප ඇසිපිය ගසන සෑම අවස්ථාවකදීම ඇසෙහි කඳුළු කනිනිකාව මතුපිට විසිරී ගොස් ඇස්  වියලීම  වලක්වයි. කඳුළු ලුණු රසයකින් යුක්ත වන්නේ එහි සාමාන්‍ය ලුණු  (NaCl) ස්වල්ප වශයෙන් තිබෙන නිසාය. සාමාන්‍යයෙන් කඳුළු බින්දුවක ලුණු, 0.3 mg පමණ අන්තර්ගත වේ. එමෙන්ම සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට කඳුළු 150 ml කට වැඩි ප්‍රමාණයක් නිපදවන බවද සත්‍යයකි. 


කඳුළු ප්‍රභේද කිහිපයකි. 


විවිධ හේතු නිසා මිනිසාගේ ඇස්වල ස්වාභාවිකව පවතින කඳුළු, නිපදවීමට මුල්වන හේතුව සහ අවස්ථාව  අනුව සංයුතියෙන් වෙනස් බව නිරීක්ෂණය කර තිබේ. මෙසේ හටගන්නා කඳුළු අදාළ හේතු අනුව, පහත දැක්වෙන අයුරු ප්‍රභේද තුනකට වෙන් කළ හැකිය.

  1. සාමාන්‍ය (basal)  කඳුළු - නිරතුරුවම ඇසට ගලාඑන සාමාන්‍ය කඳුළු කනීණිකාව මත විසිරී ගොස් ඇසෙහි තෙතමනය රඳා පවත්වා ගන්නා අතරම ඇස් මතුපිට වියලීයාමද  වලක්වයි.

  2. ප්‍රතීක (reflex) කඳුළු - ඇසට නොරුස්නා යම්කිසි අපද්‍රව්‍යයක් හෝ ළූණු කැපීම  වැනි අවස්ථාවකදී හෝ  සුවඳ විලවුන් වාෂ්ප හෝ වෙනත් ආකාරයකින්  නිකුත් වන අහිතකර වායු (කඳුළු ගෑස්) වැනි කුමක් වුවද ඇසෙහි ගැටීමේදී නිපදවන්නේ  ප්‍රතීක කඳුළු වේ. අදාළ අපද්‍රව්‍ය හෝ වායුව ඇසෙහි ගැටුණු වහාම,ඇසට සම්බන්ධ ස්නායු මූලයට යැවෙන ප්‍රතීක පණිවුඩයක් මගින් අශ්‍රැ ග්‍රන්ථි වහාම උත්තේජනය වී ඇසට කඳුළු වැගිරේ.  

  3. චිත්තවේගීය (emotional) කඳුළු - යම්කිසි කෙනෙකුට වේදනාවක්, දුකක්, කේන්තියක්  හෝ වෙනත් ඕනෑම ආකාරයක චිත්ත වේගයක් ඇතිවූ විට, මොළයේ  චිත්තවේග සංජානන ස්ථාන  උද්දීපනය වේ. මෙහිදී මොළයෙන්  අශ්‍රැ ග්‍රන්ථි වලට යැවෙන පණිවුඩ මගින් ඒවා ක්ෂණයකින් උත්තේජනය වී ඇසට ගලා එනු ලබන කඳුළු චිත්තවේගීය කඳුළු වේ. චිත්ත වේග සෑමවිටම සෘණාත්මක නොවේ. සමහරවිට අධික ප්‍රීතිය, සිනහව ආදී ධනාත්මක චිත්ත වේග නිසාද කඳුළු හටගනී.   


සෑම කඳුළු වර්ගයකම ජලය, ලවණ, ලිපිඩ සහ හෝර්මෝන   තිබෙන අතර චිත්තවේගීය කඳුළුවල  මීට වඩා තරමක් සංකීර්ණ බවක් තිබේ. කෙනෙකුට කුමන අන්දමේ වුවද චිත්තවේගයක් එළඹී විට, ශරීරයේ ක්‍රියාකාරී පද්ධති හසුරුවනු  ලබන හොර්මෝන සමබරතාවය නැතහොත් සමස්ථිතිය අවුල් සහගත තත්ත්වයකට පත්වේ. මෙවැනි තත්ත්වයක් උදාවූ විට ඇතිවන චිත්තවේග, සමනය කිරීම සඳහා දායක වන වෙනත් හෝර්මෝන මෙන්ම ප්‍රෝටීන වර්ගද, නිපදවීමේ කෘතියක් කිරීමටද මොළයට හැකියාවක් තිබේ. මෙහිදී සිදුවනුයේ  මොළය මගින්  අදාළ සමනය  කිරීම් සිදුකරන හෝර්මෝන හෝ වෙනත් රසායන ද්‍රව්‍ය නිපදවෙන  මධ්‍යස්ථාන වලට පණිවුඩ යැවීමයි. මේ ආකාරයට නිපදවනු ලබන, සමබරතාවය පවත්වාගැනීමේ  හොර්මෝන සහ රසායන ද්‍රව්‍යද  කඳුළු වලටම එකතුවී චිත්තවේගී ආවේග ස්වභාවය ක්‍රමක්‍රමයෙන් තුනී කිරීමට පටන් ගනී.  


 කදුළු පිලිබඳ  විවිධ අදහස්  


සාහිත්‍යයේ, සංගීතයේ හෝ  ගද්‍ය හා පද්‍ය  පබැඳුම් වලදී  කඳුළු ගැන සඳහන් කිරීම් එමට දකින්නට ලැබේ.  බොහෝ විට මිනිසාට මුහුණ පෑමට සිදුවන, දුක් කම්කටොලු, බලාපොරොත්තු කඩවීම්, වියෝවීම්, විරහව  වැනි විවිධ ආවේගශීලී  අවස්ථාවලදී ඇතිවන හැඟීම් විස්තර කිරීමේදී කඳුළු සහ හැඬීම සම්බන්ධ කර ගැනීමට ප්‍රබන්ධකරුවෝ බොහෝ දක්ෂතා දක්වති. 


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පියෙකු වූ අමරසිරි පීරිස් ගායනා කරන “ඉකි ගසා හඬන” නම් ගීතයෙන්,  ගොළු වූ ඒක පාර්ශ්වික ආදරයකට නතුවූ කෙනෙකුගේ ‘සඟවාගත් හැඬීම සහ සඟවාගත නොහැකි කඳුළු’ පිළිබඳව මෙසේ හෙළිදරව්වක් කරයි. 

ඉකි ගසා හඬන අතීතයක,

කඳුළු එක්ක ගනුදෙනු කරනා

මට මගේ නොවන

මගේම ආදරයක් තිබුණා……..  

මේ ආකාරයට ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකුට මිනිසාගේ කඳුළු හෙලන ආවේගශීලී අවස්ථා පවා තවත් කෙනෙකුගේ හැඟීම්  දනවන ආකාරයට ඉදිරිපත් කළ හැකි බව මොනවට පැහැදිලිවේ. .


බෞද්ධ දර්ශනයේ දුක්ඛ දෝමනස්සයන්ට හේතුවන ප්‍රධාන කරුණු වශයෙන් ප්‍රිය විප්පයෝගය සහ අප්‍රිය සම්ප්‍රයෝගය ගැන විස්තර කර තිබේ. මෙහිදී කඳුළු හෝ කඳුළු හෙලීම ගැන සඳහන් කර නොමැති වුවත්, එවැනි ආවේගශීලී අවස්ථාවලදී සිත සන්සුන් කර ගැනීම සඳහා මෛත්‍රී, කරුණා, මුදිතා සහ උපේක්ෂා වැනි චිත්ත ශක්ති වල වැදගත්කම පෙන්වා දී තිබේ. මෙහිදී සිදු වනුයේද චිත්තාවේගයක් පැමිණිවිට ඒ ගැන කම්පා නොවී,  “මම සුවපත් වෙම් වා! දුකෙන් මිදෙම්වා !” වැනි ආකාරයකට  ධනාත්මකව සිතීමේදී,   හැඬීම හෝ කඳුළු සැලීම පාලනය කරගත  හැකි වීමයි. මෙසේ කිරීමේදී ආවේගය  මගහැර ගැනීමේ හෝර්මෝන හෝ වෙනත් සංකීර්ණ රසායනද්‍රව්‍ය මගින් සිදුවන උත්තේජන නිසා එම ස්වභාවය තුනී වී යයි. 


යුදෙව් භක්තිකයින්ගේ හිතෝපදේශයක මෙසේ සඳහන් වේ. ‘ළදරුවෙකු සෝදා පිරිසිදු කිරීම සඳහා සබන් භාවිත කරන ආකාරයට, යමෙකුගේ ආත්මය පිරිසිදුකර ගැනීම සඳහා කඳුළු ගැලීම ප්‍රයෝජනයට ගත හැකිය’. කඳුළු මගින් අධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට හැකිවෙනු ඇති බවට විශ්වාසයක් සමහර ජන කොටස් වල ඇති බවක්ද මෙයින් පැහැදිලිවේ. 


කඳුළු ගැන මේ සියල්ලටම වඩා වෙනස් මානයක ගැනෙන සංකල්පයකි  “කිඹුල් කඳුළු’’.  බොහෝ මිනිස් කොට්ඨාශ වල, අතීතයේ සිට පැවත එන මෙම  යෙදුම මගින් අදහස් වන්නේ, සත්‍ය  වශයෙන්ම නොපවතින ශෝකයක් පවතින බවක් මවා පෙන්වීමයි. එහෙත් එය එසේ නොවන සංසිද්ධියක් බව නිරීක්ෂණය කර තිබේ. චලතාපී (cold blooded) පෘෂ්ඨවංශීන් වන කිඹුලන්ගේද කඳුළු නිපදවෙන්නේ අශ්‍රැ ග්‍රන්ථි මගින්ය. මෙහිදීද කඳුළු මගින්  ඇස පිරිසිදු කිරීම, නිමීලන පටලය ඇස මතින් ගමන් කිරීම පහසු කරවීම සඳහා ඇස ස්නේහනය කරවීම, හා ඇසෙහි බැක්ටීරියා වර්ධනය වලක්වාලීම සිදු කරයි. කිඹුලන් දිගු වේලාවක් ගොඩබිම සිටින විට ඔවුන්ගේ ඇස් වියලීමට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස කඳුළු වැගිරේ. එසේම මෙම සතුන් ගොඩබිම සිට ගොදුරු ආහාරයට ගන්නා අවස්ථාවල තදින් හැපීම නිසාද අශ්‍රැ ග්‍රන්ථි උත්තේජනය වී කඳුළු හටගනී. මේ ආකාරයට  ‘කිඹුල් කඳුළු’ දැකගත හැකි නිසා, ‘කිඹුලන් තමන්ට ගොදුරු වූ සත්වයා පිලිබඳ ශෝකයෙන්’ කඳුළු සලන්නේ යයි යන පදනම  මත මෙම පැරණි කියමන ගොඩනැගී ඇතැයි සිතිය හැකිය. .


කඳුළු ගැන ගුප්ත අර්ථ නිරූපණයක් 


ලෝකප්‍රසිද්ධ ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වූ Giovanni Bragolin (1911–1981) විසින්,  Bruno Amarillo නම් අන්වර්ථ නාමයකින් අඳින ලද “හඬන ළමයා” (Crying Boy)  නමැති ඇස්  වලින් කඳුළු කඩා හැලෙන  පිරිමි දරුවෙකුගේ,  උඩුකය දක්වන ඉතාමත් ජනප්‍රිය ආලේඛ්‍ය චිත්‍රය අනුසාරයෙන් ලබාගත් මුද්‍රිත පිටපත් රාමු කර සෑදු පින්තුර, 1950 වර්ෂයේ සිට ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. මෙම පින්තුර අලෙවියෙන් විශාල වශයෙන් ලාභ ලැබූ ව්‍යාපාරිකයෝද සිටියහ.


1985  සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ, එසෙක්ස් ප්‍රාන්තයේ පුවත් පතක පළවූ, ගිනි නිවන හමුදා භටයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් නිසා රටෙහි  මහත් ආන්දෝලනයක් ඇතිවිය. ඔහුගේ ප්‍රකාශය අනුව, ඊට දින කිහිපයකට පෙර, ගින්නක් හටගෙන සම්පූර්ණයෙන් දැවී ගිය නිවසක, ඉහත සඳහන් කළ “හඬන ළමයා” පින්තුරය  කිසිදු හානියක් නොමැතිව තිබෙන බව දැක ගන්නට ලැබී ඇත. මොහු ගිනි  නිවීම සඳහා පළපුරුදු භටයෙකු වූ අතර ඔහුගේ ප්‍රකාශය සත්‍ය විස්තරයක් බවද සාක්කි සහිතව ඔප්පුවිය. මේ ආකාරට දැවී අළුවී ගිය වෙනත් නිවාස වලද මෙම පින්තුරය නිරුපද්‍රිතව තිබී ඇතිබවට ද, බොහෝ ආරංචි ලැබෙන බවද  පුවත් පත වැඩිදුරටත් වාර්තා කළේ ය.

මේ ආකාරයට මාසයක් පමණ ගතවන විට, මෙම “හඬන ළමයා” පින්තුරය ශාපලත් (cursed) එකක් බවත්, එය තබාගන්නා ඕනෑම නිවසක් දා අළුවී යාහැකි බවටත් මතයක් රට පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේය. 

https://lh3.googleusercontent.com/DRri3UIavzXutRMxk-6On6AH21B2YGGFTJ6VCElIe-oqi4c_Xxfyyk-CAMXBAnsHrLJOisRnXuQV9n7kdnitBX77l6DfyL2VBKRggH2JkPRqtL7SfRxZMf5T67VHlLLJpgpajDz6koK8NF67RVqWhks


මේ ප්‍රවෘත්තිය නිසා මහත් භීතියට පත්වූ, එම පින්තුරය නිවෙස් වල එල්ලා ගෙන සිටි නිවෙස් හිමියෝ, ඒවා විනාශකිරීම සඳහා යම්කිසි පියවරක් ගන්නා ලෙස ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙන් ඉල්ලා සිටියහ. ඒ සමගම දා අළුවී ගිය නිවාස රාශියක, මෙම පින්තුරය යහතින් තිබුණු බව සියැසින් දැක තිබෙන බව, ප්‍රාන්තයේ ගිනි නිවන හමුදා ඛණ්ඩයේ ප්‍රධානියාද, ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කළේය. මේ අනුව මහජනතාව විසින් තම පදිංචි   ප්‍රදේශයන්හි  නිවාස වලින්  සොයාගෙන  එවනු ලබන යථෝක්ත  “හඬන ළමයා” පින්තුර දහස් ගණනින් ගොඩගසා ගිනිබත් කිරීමේ වැඩ සටහනක්ද පුවත් පත මගින් ආරම්භ කරන ලදී.

“බිය නිසා ඇතිවන කඳුළු….ශාපලත් බවට, ගිනි නිවන භටයින් විසින් සනාථ කරනලද ආලේඛ්‍ය පින්තුරය” (‘Tears for fears… the portrait that firemen claim is cursed’) යන පාඨයද සහිතව මෙම පිංතුරය නිරතුරුවම පුවත් පතෙහිද පළ විය.


ප්‍රාන්ත වැසියන් මහත් භීතියට පත්කළ මෙම සිද්ධිය ඔස්සේ තොරතුරු සෙවීමෙහි නිරත වූ ප්‍රදේශයේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, එසේ බිය වීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශයට පත් කරනු ලැබුවත්, ජනතාවගේ බිය හා සැකය ඒ ලෙසටම පැවතුණි. මුලදී “හඬන ළමයා” පින්තූර අළෙවිය දහස් ගණනින් සිදුවූවද, පසුව එය සම්පූර්ණයෙන්ම නතර විය. මිනිස් සිත්වල ඇතිවූ ‘ශාපය පිලිබඳ’ බිය මුසු සැකය, ඒ ආකාරයටම තව බොහෝ කලක් පවතිනු ඇත. මීට ටික  කලකට පසු, යම්කිසි පර්යේෂකයෙකු විසින් ආලේඛ්‍ය පින්තුරයේ සිටින සත්‍ය දරුවාගේ වගතුග සොයා ගැනීමෙන් පසුව, ඔහු නිසාම චිත්‍ර ශිල්පියාගේ චිත්‍රාගාරය ඇතුළු තවත් නිවාස කිහිපයක්ම දා අළුවී ගොස් ඇති බවටද සාක්ෂි ලබාගෙන තිබේ. මෙවැනි සිදුවීම් ‘අදිසි බලවේග’ නිසා සිදුවන බව බොහෝ අය විශ්වාස කරනු ලැබුවත්, ඒවා අහම්බයෙන්ම සිදු විය හැකි සිද්ධීන් බව සිතනු විනා, වෙනත් සාධාරණ හේතු සෙවීම උගහටය. 

 

හැඬීම සහ කඳුළු - නව චින්තනය 


ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයයේ ජෛව රසායන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරෙයෙකුව සිටි, Perry A. Frey විසින් මෑතදී  කරන ලද පර්යේෂණ මාලාවකින්  ලබාගෙන ඇති දත්ත මගින් හැඬීම සහ කඳුළු පිලිබඳ තොරතුරු රාශියක් හෙළිදරව් කරගෙන තිබේ. ඔහුගේ පර්යේෂණය සඳහා මිනිසුන් (කාන්තාවන්ද ඇතුළුව) දහසකට ආසන්න සංඛ්‍යාවක් යොදා ගෙන තිබේ. මොවුන්ගේ  හැඬීම් ආශ්‍රීතව, කඳුළු ගැලීම් බහුතරයක් සිදුවනුයේ දුක්ඛ දෝමනස්ස චිත්ත වේග නිසා බව හඳුනාගෙන ඇත. ඒ සමගම චිත්ත වේගීය හැඬීම් පහකට එකක් සතුටු කඳුළු බවද නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම දහයකට එක්  අවස්ථාවක් සඳහා කේන්තිය හෝ ක්‍රෝධය මූලික වන බවද, ආවේග පසළොසකට එකක්   අනුකම්පාව නිසාත් විස්සකට එකක් කාංසාව (anxiety)   නිසාත්, තිහකට එකක් භය නිසාත් සිදුවන බවද  හෙළිවී තිබේ. මෙම පර්යේෂණයේදී හෙළිවී ඇති තවත් වැදගත් කරුණක් වනුයේ, සහභාගිවූ කාන්තාවන්  85% ක් සහ  පිරිමින්   73% ක් හැඬීම නිසා,  තමන් තුළ පැවතී චිත්තවේගී  ස්වභාවය පහව ගිය බව ප්‍රකාශ කර තිබීමයි.


ඇස් වල යහපත් ක්‍රියාකාරිත්වය සහ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට කඳුළු අත්‍යාවශ්‍ය සාධකයකි. සාමාන්‍ය කඳුළු සහ ප්‍රතීක කඳුළු මේ සඳහා ක්ෂණික ප්‍රතිචාර දක්වයි. මිනිසාගේ චින්තන ධාරාවේ  ධන සහ සෘණාත්මක ආවේග නිසා ඇතිවන කම්පන වලට ගැලපෙන ආකාරයට හැඬීම සහ බද්ධව, අවශ්‍යතා අනුව ගැලපෙන හෝර්මෝන සහ රසායනද්‍රව්‍ය ඇතුළත් කඳුළු සැපයීම සහ පසුව එම ආවේග සමනය කිරිම සඳහා අවශ්‍ය ප්‍රතිවිරුද්ධ කඳුළු සැපයීමද අශ්‍රැ ග්‍රන්ථි වලින් සිදුවන වැදගත්ම මෙහෙවර ලෙස සැලකිය හැකිය. 


(තොරතුරු පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි)


දයාරත්න වීරසේකර 

dayawee2@yahoo.com