බාඳුරා මල්, ‘රන් බිඟුන්’ (මීමැස්සන්) ගොදුරු කර ගන්නේද ?
දැනට දශක කිහිපයකට පෙර මර්වින් පෙරේරා සංගීතවත් කොට ගායනා කරන ලද ආදරේ රන් බිඟුන් නැසූ - බාඳුරා මල ඔබයි ලඳේ යන පද රචනය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීතයක් විය. මෙම ගීතයෙන් හුවා දක්වන අදහස වනුයේ, ‘බාඳුරා මල’ මගින් මීමැස්සන් ගොදුරු කර ගන්නා ආකාරයට තරුණියන් විසින් සමහර තරුණයින් බිලි බා ගන්නා බවද? එය එසේ නම් ස්වභාව ධර්මයේ අද්විතීය නිර්මාණයක් සඳහා වැරදි අර්ථ කථනයක් දී එය හෑල්ලුවට ලක් කිරීමක් කරන බව මගේ හැඟීමයි. එසේම ‘බාඳුරා මල’ නම් චිත්‍රපටයෙන් අදහස් කරන්නට ඇත්තේද එවැනිම හෙලිදරව්වක්ද?
නොඑසේනම් මෙය බාඳුරා ශාකයේ ඇති සුවිශේෂී ව්‍යුහයක් වන කෙණ්ඩිය (pitcher) සහ ශාකයේ හටගන්නා මල් යන කොටස් සහ ඒවායේ ස්වාභාවික කෘති පටලවා ගැනීමක්ද?
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ මධ්‍ය කඳුකරයේ නිසරු පසක් සහිත වගුරු බිම් ආශ්‍රීතව වැඩෙන බාඳුරා ශාකය උද්භිද විද්‍යාත්මකව ‘මාංශ භක්ෂක’ (carnivorous) ශාකයක් ලෙස හඳුන්වනු ලැබේ. බාඳුරා ශාකය ඉංග්‍රීසියෙන් (Pitcher plant) යන පොදු නමින්ද හැඳින්වේ. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් දකින්නට ලැබෙනුයේ Nepenthes distillatoria යන උද්භිද විද්යාත්මක නාමයෙන් හැඳින්වෙන බාඳුරා විශේෂයයි. මෙයට Pitcher plant යන නම ලැබෙනුයේ එහි ඇති ‘බාඳුරා බොක්ක’ නැතහොත් ‘කෙණ්ඩිය’ යන නමින් හැඳින්වෙන එම ශාකයටම ආවේණික ව්‍යුහය නිසාය.
බාඳුරා, කුඩා පඳුරු වශයෙන් වැඩී, ස්ථානයට ලැබෙන ආලෝක තීව්‍රතාව අනුව මීටර් එකහමාරක් පමණ උපරිම උසකට වර්ධනය වන ද්විබීජ පත්‍රික ශාකයකි. අනිකුත් සාමාන්‍ය ද්විබීජ පත්‍රීක ශාක වල මෙන් මෙහිද පුෂ්ප හට ගනී. පුෂ්ප හටගන්නේ පොකුරක් නැතහොත් පුෂ්ප මංජරියක් ලෙසටය. පහත රූපයේ දැක්වෙන පරිදි, බාඳුරා ශාකයේ ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙම ශාකය වැඩෙන්නේ, හිරු එළිය මඳ වශයෙන් ලැබෙන වදුල සහිත ස්ථානවල නිසා, අවශ්‍ය ආලෝකය ලබා ගැනීම පිණිස එයට වෙනත් ශාකයක හෝ එවැනි ආධාරකයක් මත යැපීමට සිදුවේ. මෙම කාර්යය ඉටු කිරීම සඳහා පත්‍රයේ මධ්‍ය නාරටිය පත්‍ර අග්‍රයෙන් පිටතට වැඩී අත්පහුරක් (tendril) ලෙස ක්‍රියාකරයි. පසුව එම ක්‍රියාකාරී අත්පහුර තව දුරටත් වැඩි එහි අග්‍රයේ කෙණ්ඩියක් විකරණය වේ. බාඳුරා මාංශ භක්ෂක ශාකයක් ලෙස දැක්වෙනුයේ එය තම පෝෂණය සඳහා ‘සත්ත්ව මාංශ’ ලබාගැනීමේ සුවිශේෂී යාන්ත්‍රණය නිසාය. ශාකයේ මෙම කෘතිය සඳහා සැදී පැහැදී සිටිනුයේ කෙණ්ඩියයි. බොහෝ දෙනෙකු මෙම කෙණ්ඩිය බාඳුරා මල ලෙස වරදවා තේරුම් ගෙන තිබේ.
ඉහත සඳහන් කර ඇති ගීතයේද මෙම වරද කර තිබේ. ගී පද රචකයා මුලින්ම කෙණ්ඩිය මලක් ලෙස සලකා එය තුළට ‘බිඟුන්’ නැතහොත් මී මැස්සන් වැටී විනාශ වන බවක් අඟවයි.
බාඳුරා කෙණ්ඩියක් තුළට මී මැස්සකු වැටී මරණයට පත්වීම නම් ඉතාමත් විරල සිද්ධියක් විය හැකිය. එම රූප සටහනේම දැක්වෙන පරිදි, බාඳුරා ශාකයේද අනිකුත් සපුෂ්ප ශාක වල මෙන්ම පුෂ්ප (මල්) හටගනී. පුෂ්ප මංජරියක් හෝ පොකුරක් වශයෙන් හට ගන්නා බාඳුරා මල් පොකුරේ එක් කිනිත්තක කුඩා මල් සතරක් හෝ පහක් දකින්නට ලැබේ.
ඊළඟ රූප සටහනේ දැක්වෙනුයේ බාඳුරා කිනිත්තක තිබෙන කුඩා මල්, සාමාන්‍ය ප්‍රමාණය මෙන් පස් ගුණයක් පමණ (x 5) විශාල කර දැක්වීමකි. මෙම මල් පරාගණය කිරීම සඳහාත්, ඒවායින් මල් රොන් ලබා ගැනීම සඳහාත් බිඟුන් නැතහොත් මීමැස්සෝ පැමිණෙති. එම මී මැස්සෝ තම පරාගණ කටයුත්ත ඉටු කර මල් රොන් ද රැගෙන යති. සාර්ථක පරාගණය සිදුවූ බාඳුරා මල්වලින් හටගන්නා බීජ වලින්, අලුත් බාඳුරා ශාක පරම්පරාවක් හටගනී. පරාගණය සඳහා පැමිණෙන මී මැස්සෝ එහි කෙණ්ඩිය පිලිබඳ කිසි විපරමක් නොකරති. අහම්බෙන්වත් බාඳුරා කෙණ්ඩියක් තුළ මී මැස්සෙකු වැටී මියගොස් ඇති බවක් නම් අසන්නටවත් ලැබී නොමැත.
දැන් ඊළඟ රූපයේ දැක්වෙන බාඳුරා කෙන්ඩිය දෙස සිත් යොමු කරමු. මෙහි ඇත්තේ පියන්පත විවර වූ කෙණ්ඩියකි. කෙණ්ඩිය ලපටි අවස්ථා වලදී පියන්පතින් වැසී පවතී. එය පරිණත වූ පසු පියන්පත විවෘත වී කෙන්ඩිය තුළ ඇති ද්‍රාවණය නිරාවරණය වේ. බාඳුරා වැඩෙන ස්ථානවල ඇති පසෙහි නයිට්‍රිජනීය පෝෂක කොටස් අඩු බැවින් ඒවා ලබා ගැනීම පිණිස මෙම ශාක වලට ස්වභාවයෙන්ම ලැබී තිබෙන විකරණය කෙණ්ඩියයි.
බාඳුරා පත්‍රයේ මැද නාරටිය දිගට වැඩී එහි අග්‍රයේ සෑදී නිමවන කෙණ්ඩිය පොළොවට සිරස්ව පිහිටයි. එය තුළ තිබෙන යම්කිසි එන්සයිම සහිත තරලය, මිලි ලීටර් දහයක පමණ ප්‍රමාණයක් තිබේ. ‘මාංශ භක්ෂණය’ සඳහා යොදාගන්නා එන්සයිම ඇත්තේ මෙම ද්‍රාවණයේය. මෙසේ විවෘතව පවතින තරලය සහිත කෙණ්ඩියේ පියන්පත අසල, සහ ගැටිය කොටසේ නිපදවෙන රසායනික ස්රාව වල ආඝ්‍රාණයට ආකර්ශනය වන කුහුඹුවන්, කඩි, කුඩා මකුළුවන්, කෝඳුරුවන් වැනි සත්තු එය මතට පැමිණෙති.
ඒ අසල සැරිසරන එම කුඩා සත්තු ගැටිය අසලට පැමිණ එහි අභ්‍යන්තරයද ගවේෂණය කරති. ඔව්හු නොදැනුවත්වම කෙණ්ඩි ගැටියේ ඇතුල් පැත්තටද යති. මෙම ගැටියේ ඉතා සියුම් කෙඳි ඇතුලට නැමී තිබෙන නිසා ඔවුනට යළි පිටතට පැමිණිය නොහැකිය. පිටතට ඒමට උත්සාහ කරන ඔවුන් නොදැනුවත්වම කෙණ්ඩියේ ලිස්සනසුළු බිත්තිය මතට පැමිණි විගස, ලිස්සා ගොස් පතුළෙහි ඇති ද්‍රාවණය තුළට වැටී ආපසු ඒමට නොහැකිව එම ‘දියේ ගිලී’ මරණයට පත්වෙති. මේ නිසා ද්‍රාවණය සහිත කෙණ්ඩිය බාඳුරා ශාකයේ සතුන් අල්ලා ගන්නා “උගුල” ලෙසද හැඳින්විය හැකිය.
මෙම උගුලේ ව්‍යුහය ඊළඟ රූප සටහනේ දික් කඩකින් දැක්වේ. කෙණ්ඩියේ පියන්පත විවෘතව ඇති ආකාරය සහ එහි අභ්‍යන්තරයේ ලක්ෂණ මෙහි පෙනේ.
මෙම සිදුවීම ‘මාංශ භක්ෂණය’ ලෙස හැඳින්වුවත් එය එම කුඩා සතුන් ආඝ්‍රාණය ඔස්සේ ගොස් කරගන්නා ‘සියදිවි නසා ගැනීම’ හෝ ‘දියේ ගිලී මියයාම’ ලෙස දැක්වීමද නිවැරදිය.
මෙයට පසු සිදුවනුයේ බාඳුරා ශාකයේ පෝෂණ ක්‍රියාවලියයි. කෙණ්ඩියේ පසු අග්‍රයේ බිත්තියේ ඇතුල් පැත්තේ ඇති ග්‍රන්ථි මගින් නිපදවන නිපෙන්තිසින් (nepenthicin) නමැති ප්‍රෝටියේස එන්සයිම එහි පතුළේ ඇති ද්‍රාවණයේ බහුලව තිබේ. මේ මගින් ජීවියාගේ මාංශය ජීර්ණ කර එහි ඇති ප්‍රෝටීන වලින් ලැබෙන පෝෂක ද්‍රාවණයට මුදාහැරේ. (නිපෙන්තිසින් එන්සයිමය අධික ආම්ලික හෝ අධික ක්‍ෂාරීය පරාසයක් තුළ - pH 3 සිට pH 12 දක්වා- සක්‍රීයව පවතින එන්සයිමයකි) මෙසේ ලැබෙන පෝෂක කොටස් කෙණ්ඩිය හරහාම ශාකයට උරාගනී. වෙනත් සාමාන්‍ය ශාක තම පෝෂක කොටස් මුල් වලින් උරා ගන්නා ආකාරයට, බාඳුරා ශාකය තම පෝෂණය මේ ආකාරයට ‘අයථා’ ක්‍රමයකට ලබාගැනීම සඳහා විකරණය වීම ස්වභාව ධර්මයේ හාස් කමකි.
කලින් විස්තර කළ පරිදි, බාඳුරා මලද වෙනත් බොහෝ මල් මෙන්ම බිඟුන් ආකර්ෂණය කර ගන්නා සියුමැලි කුඩා මලක් වන අතර, එය කිසිසේත් ‘ආදරේ රන් බිඟුන් නැසූ - බාඳුරා මල’ ලෙස නම් කර තිබීම කිසිසේත් නොගැලපෙන බව නම් නොකියාම බැරිය. බාඳුරා ශාකයේ හටගන්නා සුවිශේෂී විකරණයක් වන කෙන්ඩිය නැතහොත් ‘බාඳුරා බොක්ක’ (pitcher) අනියම් ආකාරයකට තම පෝෂණය ලබාගැනීමට සකස්වූ සුවිශේෂී ව්‍යුහයක් පමණක් බව විශේෂයෙන් සඳහන් කරමි. මෙය මාංශ භක්ෂණය කෙසේ වෙතත්, ‘උගුලක් ඇටවීමෙන්’ සතුන් දඩයම් කරගන්නා බව හැඳින්වීම වඩාත් යෝග්‍ය බවද පෙනේ.
-----------------------------------------
මෙම ලිපියටම අදාළ කර ගත හැකි තවත් සුවිශේෂී සිද්ධියක්ද මෙහිලා මතකයට නැගේ.
‘70 දශකයේ මුල් කාලයේදී විද්‍යා අධ්‍යාපනය ගැන විශේෂ උනන්දුවක් ලොව පුරාම ඇති වන විට අප රටේත් විවිධ විද්‍යා අධ්‍යාපන වැඩ සටහන් ක්‍රියාත්මක විය. ද්විතීය පාසැල් සම්බන්ධ කර ගනිමින් ආරම්භ කරන ලද ‘ස්ථානගත පරිසර අධ්‍යයන’ (On-site environmental studies) යන නමින් හැඳින්වූ ගුරු සිසු දෙපක්ෂය අතරම ඉතාමත් ජනප්‍රිය ප්‍රායෝගික වැඩ සටහන මෙයින් එකකි. 1978 වර්ෂයේදී, ශ්‍රීපාද කන්ද පාමුල පිහිටි රත්නපුරයේ ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලයයේ ක්‍ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ පවත්වනලද ෂේත්‍ර අධ්‍යයනයක සම්පත් දායකයෙකු ලෙස කටයුතු කිරීමට මටද අවස්ථාව ලැබිණ.
එම වැඩ සටහන නිරීක්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරි කණ්ඩායමක්ද පැමිණීමට නියමිත බවද දැනගන්නට ලැබිණ. මට පැවරී තිබුණේ, විදුහල් භූමියට නුදුරින් ගලාගිය, ඒ ප්‍රදේශයේදී දොළ පහරක් මෙන් වූ කළු ගඟ ඉවුරේ සිට, මීටර් දහයක් පමණ ඔබ්බෙන් තිබුණු ස්වාභාවික වගුරු බිම් කොටසක ජෛව විවිධත්වය පිළිබඳව, සිසුන් කණ්ඩායමක් සමග අධ්‍යයනයක් කිරීමය. මෙම සිසුහු දිස්ත්‍රික්කයේ විදුහල් කිහිපයකින් පැමිණි අය වූහ. එක් විදුහලකින් පැමිණි ගුරු මහත්මියක්ද අප කණ්ඩායමට එකතු වුවාය.
අප කණ්ඩායමේ සිසු සිසුවියන් දසදෙනක් සිටියහ. ක්‍ෂේත්‍ර අධ්‍යයන සඳහා අවශ්‍ය උෂ්ණත්වමාන, අත් කාච, ඩැහි අඬු, ෆෝමලීන්, බීකර, කුඩා ප්ලාස්ටික් මලු ආදී සියල්ල ඔවුන් ගෙනවුත් තිබිණ. අප විසින් එහි තිබුණු කොක්මොට, බිනර, පඹ, නියඟලා, පන් වර්ග වැනි ශාක කිහිපයක් සහ බත්කූරන්, ඉස්ගෙඩියන්, මිරිදිය මසුන්, පලාපෙත්තන්, කොරවක්කන් වැනි සතුන් ගේ වාසස්ථාන, අන්තර් සම්බන්ධතා, භෝජන විලාස, ආදිය පිළිබඳව සරල අධ්‍යයන කිහිපයක් අවසන් කළෙමු. ඉන්පසු, වගුරු පෙදෙසේ තරමක් වදුල සහිත ස්ථානයක තිබුණු බාඳුරා ශාක ගොන්නක් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටියෙමු.
මේ වන විටම අධ්‍යාපන අමාත්‍යංශයෙන් පැමිණි නිලධාරි කණ්ඩායම අපගේ අධ්‍යයන ස්ථානයට පැමිණියහ. එම කණ්ඩායමේ, නියෝජ්‍ය අධ්‍යාපන ඇමති තුමාද සිටින බව දැන ගතිමු.
අපි අපගේ බාඳුරා අධ්‍යයනය දිගටම කරගෙන ගියෙමු.
අප සිටි ස්ථානයට පැමිණි ඇමති තුමා අප කණ්ඩායම විසින් කරගෙන යනු ලබන අධ්‍යයනය දෙස තුෂ්නීම්භූතව බලා සිට සිසුන්ගෙන් ප්‍රශ්න කළේය.
‘මොනවද මේ දරුවෝ බොහොම ආසාවෙන් ඉගෙන ගන්නේ’
‘සර්, පරිසර අධ්‍යයනයක්. මේක මාංශ භක්ෂක පැළෑටියක්, නම බාඳුරා’ එක් ශිෂ්‍යාවක් පිළිතුරු දුන්නාය.
‘මාංශ භක්ෂක කියන්නේ මස් කන එක නේද? ඔය පැළෑටියේ මල නේද ඔය සත්තු අල්ලා ගන්නවායයි කියන්නේ’? ඇමති තුමා ඇසීය.
ශිෂ්‍යාව පිළිතුරක් දීමට අදි මදි කළ විට ශිෂ්‍යයෙකු පිළිතුර සැපයීය.
‘මේ පැළෑටියේ මල් වෙනම තිබෙනවා. ඒ උනාට සත්තු අල්ලා ගැනීම සඳහා සකස් වී තිබෙන්නේ මේ කෙණ්ඩිය’.
කියා ශාකයේ තිබුණු ‘බාඳුරා බොක්කක්’ (කෙණ්ඩියක්) සහ මල් වෙන වෙනම ඇමති තුමාට පෙන්වීය.
‘මම මෙච්ච්ච්ර කල් සිතා හිටියේ සත්තු අල්ලා ගන්න බාඳුරා බොකු, බාඳුරා පැළෑටියේ මල් කියලනේ’
මේ ගැන තව ටිකක් විස්තර කරන ලෙස ඇමති තුමා ඉල්ලීමක් කළ නිසා සිසුහු ශාකය පිලිබඳ විද්‍යාත්මක තොරතුරු රාශියක් ඉදිරිපත්කර, පියන්පත විවෘතව තිබෙන කෙණ්ඩියක් සහ පියන්පතින් වැසී තිබෙන කෙණ්ඩියක් වෙන වෙනම පෙන්වා, විවෘත කෙන්ඩිය තුලට වැටී සිටින කුඩා කෘමීන් සිටින බවද පෙන්වූහ.
එම ශාකයේම තිබුණු මල් රාශියක් සහිත කිනිත්තක් පෙන්වූ විට ඇමති තුමා තවත් පුදුමයට පත්විය.
‘අපුරු වැඩ ටිකක්නේ මේ අය කරන්නේ. මේවා රටේ අනිත් තැන් වලත් කරනවාද’? ඇමති තුමා නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කළේය.
අධ්‍යාපන නිලධාරියා තරමක සැකයෙන් යුතුව පිරිසේ අනිකුත් අය දෙස බලමින්
‘තව මධ්‍යස්ථාන කිහිපයක් තිබෙනවා. ඒ තැන් වලත් වැඩ ටිකක් කෙරෙනවා’. කියා සැකයෙන් මෙන් උත්තර දුන්නේය.
ක්‍ෂේත්‍ර අධ්‍යයනයක් පිලිබඳ මෙම සත්‍ය සිද්ධිය ඇතුළත් කළේ, නිසි වග විභාගයකින් තොරව සමහර අදහස් හෝ සිද්ධි සමාජගත වූවිට සත්‍යය යටපත් වන බව පෙන්වීම සඳහාය.
(චායාරූප ස්තුති පූර්වකව අන්තර්ජාලයෙනි.)