Wednesday, 18 September 2019

වනාන්තර වල අගය සහ ගසක මෙහෙවර ........



         1.            ගසක බැගෑපත් ඉල්ලීම
ස්පාඤ්ඤයේ  ‘සෙවිල්’ නම් ගමෙහි වනරොදක ඇති විශාල ගසක එල්ලා  තිබුණු ලෑල්ලක සටහන් කර තබන ලද  කව් පෙළක් (ඉංග්‍රීසි) සහ එහි  සිංහල පරිවර්තනයයි මේ. මෙවැනි විශාල වෘක්ෂයක් තම ඉරණම පිළිබඳව හඬගා කීම කවියෙකු දුටු ආකාරය ඔබටද කියවා රස විඳීම සඳහා මෙහි දක්වා ඇත. ඉංග්‍රීසියෙන් ‘TO THE WAYFARER ලෙස ලියැවී ඇති

මෙම කව් පෙළ, සිංහලට පරිවර්තනය කර ඇත්තේ “මගියානෙණි,”  යන යෙදුමෙනි. මෙහි රචකයා ගැන සඳහනක් නොමැත.  මිනිසෙකුගේ උපතේ සිට විපත දක්වාම  නැතහොත් තොටිල්ලේ සිට සොහොන් භුමිය දක්වා යන දිගු ගමනේදී ගසක නිෂ්පාදන වලින් කෙරෙන මෙහෙය සවිස්තරව දක්වන කවියා, පොරොවක් රැගෙන එන මිනිසාට මෙසේ  බැගෑපත් අයැදීමක්ද කරයි.                                                                                                                        

“මගියානෙණි”  “TO THE WAYFARER”

“Harm me not”                                                                                                                                       “විපතක් නොකරනු සගයනි, මාහට”
----------------------------  
           2.    ගසක වටිනාකම තවත් ආකාරයකට ....
වැඩුණු ගසක් වෙනුවෙන් වියදම් කරන සෑම රුපියල් සියයක් සඳහාම රුපියල් 582 ක ප්‍රතිලාභයක්  ලැබෙන බව ඇමෙරිකාවේ වනාන්තර සේවා ආයතනයක්  මගින් ගණනය කර තිබේ.

එසේම ඇමෙරිකාවේ වන වගා කරුවන්ගේ සංගමයක් මගින් 1992 වසරේ පළකර තිබෙන Growing Greener Cities  නම් පොතෙහි පළකර ඇති ආකාරයට, වසරකදී ගසක මෙහෙය මුදලින් මෙසේ ගණනය කළ හැකිය. (ඩොලර් ගණනය කිරීම රුපියල් වලට හරවා ඇත) .




මේ ආකාරයට ගසක් වසර 50 ක් පැවතුනහොත්, 5% ක අවම පොළියකුත් සමග  රුපියල් 1,433,200/=  වටිනාකමකින් යුක්ත සේවාවක් සපයා තිබේ.මෙයට අමතරව පහත සඳහන් මිල කළ නොහැකි සේවාවන්ද මෙයට එකතු කළ හැකිය.
                                                                                                
මේ සියල්ලටද අගයක් දුන් විට  ගසක වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට  වඩා වැඩිවිය හැකිය.  

මෙතරම් වටිනාකමක් ඇති වෘක්ෂයක් කපා හෙලීම අපරාධයක් නොවේද ?
-------------------------------------- 

            3.    ගසක මෙහෙවර ගැන නව සංකල්පයක් ....... ‘කාබන් පා සටහන


නූතන ලෝකයේ සිදුවෙමින් පවතින දේශගුණ අර්බුදයටද එකම පිළියම වශයෙන් සදහන් කළ හැක්කේ වනරෝපණය බව අද පරිසර විද්‍යාඥයෝ ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ‘කාබන් පා සටහන’ (Carbon Foot-print) නම් ඉතාමත් වැදගත් සංකල්පයක් දැනට භාවිතයට පැමිණ තිබේ.  මෙම සංකල්පය දේශගුණ විපර්යාස වලට මුලික වන වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව හා සම්බන්ධ ගණනය කිරීමකි.

වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය වැඩිවීම නිසා පරිසරය උණුසුම් වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ. මේ නිසා එය හරිතාගාර වායුවක් ලෙස සැලකේ. කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිපුර මුක්තවනුයේ ගල් අඟුරු, පෙට්‍රල්, ඩිසල් වැනි පොසිල ඉන්ධන දැවීම මගින්ය. ප්‍රභාසංශ්ලේෂණයේදී ගස් වැල් මගින්  කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගන්නා නිසා එහි සමතුලිතතාවයක් ඇතිවේ. මෙම සමතුලිතතාවය බිඳ වැටුණු විට පරිසර උණුසුම වැඩිවේ.

පරිසරයේ මෙම කාබන්ඩයොක්සයිඩ් වායු සමතුලිතතාවය මැනීම සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් එකක් ඒකකය ලෙස සලකා   ‘කාබන් පා සටහන’ (Carbon Foot-print) නම් ඉතාමත් වැදගත් සංකල්පය ගොඩ නගා තිබේ.

සාමාන්‍ය වයස් ප්‍රමාණයේ මිනිසෙකු තම ස්වසනය ඇතුළු ජීවත් වීමට අවශ්‍ය සියලුම ක්‍රියාවලියන් නිසා,  කෙලින්ම හෝ අනියමින්. මුක්ත කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඔහුගේ ‘කාබන් පා සටහන’ ලෙස සැලකේ. ඉතාමත් සූක්ෂම ආකාරයකට කර ඇති ගණනය කිරීමක් මගින්, වැඩුණු මිනිසෙකුගේ වාර්ෂික  දළ ‘කාබන් පා සටහන’ කාබන්ඩයොක්සයිඩ් ටොන් 41.48 ක් පමණ වන බව අනාවරණය වී තිබේ.

මේ ආකාරයටම කර ඇති තවත් ගණනය කිරීමකින් පෙන්වාදෙන අයුරු, සාමාන්‍ය ප්‍රමාණයේ වැඩුණු වෘක්ෂයක් විසින් වසරකදී, වායු ගෝලයෙන් උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ටොන් 0.07කි.

මෙය වෙනත් ආකාරයකින් දක්වතොත්, මිනිසෙකු වසරකදී  කාබන්ඩයොක්සයිඩ් වායු කිලෝග්රෑම් 41,480 පමණ මුදාහරින විට, වැඩුණු ගසකට උරාගතහැකි වනුයේ කාබන්ඩයොක්සයිඩ් වායුව  කිලෝග්රෑම් 70 පමණ ප්‍රමාණයකි.

මේ නිසා එක් මිනිසෙකු විසින් කරනු ලබන ‘පරිසර හානිය’ පිරිමැසීම සඳහා වැඩුණු වෘක්ෂ 593 ක් වත් අවශ්‍ය වේ.

මේ නිසා වනාන්තර රැකගැනීමට සහ වැඩි වැඩියෙන් ගස් සිටුවීම ගැන කාගේත් අවධානය යොමු විය යුතු බව මෙයින් පැහැදිලි වේ.

--------------------------------
        4.    තනි ගසක් වුවද පරිසර පද්ධතියකි.

ජෛව විවිධත්වය ගැන සලකා  බලන විට, විශාල තනි ශාකයක් වුවද බොහෝ විට පරිසර පද්ධතියක ලක්ෂණ විදහා දක්වන බව පෙනෙන්නට තිබේ. එවැනි ශාකයක් ආශ්‍රීතව තිබිය හැකි සිය ගණන් ක්ෂුද්‍ර පරිසර සහ ඒවා  වාසස්ථාන කරගනිමින් ජීවත් වන පියවි ඇසට පෙනෙන සහ නොපෙනෙන දහස් ගණන් ජීවීන් නිසා එවැනි වෘක්ෂයක් වුවද කුඩා පරිසර පද්ධතියක්  ලෙස හැඳින්විය හැකිය.

වෘක්ෂ පරිසර පද්ධතියක නේවාසික සහ ආගන්තුක ක්‍ෂීරපායීහු  සහ පක්‍ෂීහු  සිටිති. සමහරවිට කටුස්සන්, ඇහැටුල්ලන් වැනි උරගයින්ද, නොයෙකුත් කෘමි වර්ග, මකුළුවන්, පත්තෑයන්, ගෝනුස්සන්  වැනි සතුන් ගසේ පොතු සහ මුල් අතරේද, දිරාගිය කොටස් සහ ගසේ බෙන වලද ජීවත් වෙති. විශාල වෘක්ෂයක නේවාසික සතුන් බොහෝවිට ආහාර, කූඩු සාදාගැනීම, ආරක්ෂාව වැනි සියලු කටයුතු වෘක්ෂයෙන්ම ලබාගනිති. 
  

 මීට අමතරව විවිධ ලයිකන වර්ග, පාසි වර්ග සහ දිලීර වර්ගද ශාක කඳ සහ  පත්‍ර මතුපිට වැනි ස්ථාන වල බහුලව දකින්නට ලැබේ.

ඒ සමගම  බේඳුරු, කාසි පෙති වැනි අපිශාකී මීවන සහ නොයෙකුත් ඕකිඩ් වර්ගද විශාල ශාක මත වැඩෙනු දැකිය හැකිය. ආලෝකය සොයා ගස්වල එතෙමින් ඉහලට ඇදී යන පෝටාවැල්, පඹ වැනි දුර්වල කඳන් සහිත ආරෝහක ශාකද, පරපෝෂිතයින් ලෙස වැඩෙන පිළිල වර්ගද, බොහෝ විට විශාල වෘක්ෂ ආශ්‍රීතව දකින්නට ලැබේ. මේ ආකාරයට දකින්නට ලැබෙන විවිධ ජෛව ඒකක සමුහය ක්ෂුද්‍ර පරිසර ලෙස හැඳින්විය හැකිය. විශාල පරිසර පද්ධතිවල තිබෙන ආහාර දාම සහ ආහාර ජාලද තරමක් දුරට හෝ මෙම ජෛව පද්ධති තුලද දකින්නට ලැබේ.
එමෙන්ම ගසකින් ලැබෙන  සෙවනද  සතුන්ට මෙන්ම මිනිසාටද මහත් ආශීර්වාදයකි.



මේ නිසා තනි ගසක් වුවද ආරක්ෂා කිරීම වනාන්තරයක් ආරක්ෂා කිරීම තරමටම වැදගත් වන බව පැහැදිලිවේ.

බෞද්ධ ඉගැන්වීම් වලද සුත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ වනරෝපා සුත්‍රයේ වනාන්තර ගස්වැල් ආදිය වැවීම ගැන විශේෂ සඳහනක් කර තිබේ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ යම් ජනයෝ මල් වතු පලතුරු වතු හෝ ආරාමයන් වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු  පාලම ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හල් වැව පොකුණු කරවන්නේද, වාසස්ථාන දෙන්නෝද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු නිවනට යන දහමෙහි පිහිටි සිල්වත්තෝ ඒ ජනයෝයි.”

බුදු රජාණන්වහන්සේගේ බොහෝ දේශනා වලදී, උදාහරණ වශයෙන් පරිසරයට අදාළ බොහෝ කරුණු ධර්මානුකුලව පහදා දී තිබේ. බුද්ධ චරිතයේ නොයෙකුත් අවස්ථා වීශේෂයෙන්ම සිදුහත් කුමර උපත, බුද්ධත්වය ලැබීම, පරිනිර්වාණය වැනි වැදගත් කරුණු සියල්ලම සිදුවී තිබෙන්නේ   එළිමහනේ ඇති ශාන්ත පරිසරයේය.

           5.    අපි ඉදිරියෙන් සිටිමු.

ජෛව විවිධත්වය අතින් ලෝකයේ මුල් තැන ගන්නා රටක් වන ශ්‍රී ලංකාවේ වනාන්තර ගහකොළ ආදිය අතින් සහ සුවිශේෂී සංරක්ෂණ කටයුතු අතින්, අප  සැලකියයුතු ස්ථානයක් දිනාගෙන තිබේ. එයින් වැදගත් සිද්ධි කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය.

·        ලෝකයේ වාර්තා වී ඇති පළමු සංරක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ මිහින්තලේ ‘මිගදාය’ මුව උද්‍යානයයි.
·        අපගේ සිංහරාජවනාන්තරය ලෝකප්‍රසිද්ධ ස්වභාවික ජෛව විවිධත්ව විද්‍යාගාර 18 න් එකකි.
·        සංරක්ෂණය කරන ලද රක්ෂිත වනාන්තර විද්‍යානුකූලව රැක බලා ගැනීම අතින් අපි ඉදිරියෙන් සිටිමු. ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් සියයට 14  පමණ ස්වභාවික රක්‍ෂිත හෝ ස්වභාවික උද්‍යාන ලෙස නම්කර ඇත. මෙය ලෝකයේ පවතින ඉහලම අගයයන්ගෙන් එකකි.
·        ශ්‍රී ලංකාවේ  ඒක දේශීය ශාක විශේෂ ප්‍රතිශතය, ලෝකයේ ඉහලම අගයකි. රට තුළ දැනට හඳුනාගෙන ඇති ශාක විශේෂ 3200 කින් 850 ක් පමණ ඒක දේශීය ශාක වේ. මෙය 25 % ක ප්‍රතිශතයකි.
·        ඖෂදීය ශාක පිලිබඳ දැනුම සම්බන්ධයෙන් ඉතාමත් හොඳ එකතුවක් ශ්‍රී ලංකාවේ තිබේ. හඳුනාගෙන ඇති 3200 ක් පමණ වන ශාක විශේෂ වලින් 1500 ක් පමණ ඖෂධ සඳහා භාවිත කෙරේ.
·        ලෝකයේ වාර්තා ගත වී ඇති රෝපණය කරනලද පැරණිතම වෘක්ෂය ඇත්තේද  ශ්‍රී ලංකාවේ ය. මෙය අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියයි

          පරිසරය සුරකිමු, වැඩි වැඩියෙන් රුක් රෝපණය කරමු.

Monday, 26 August 2019

සොබා දහමේ විසිතුරු නිමැවුම් කිහිපයක්


          1.  කපාදමන ලද කෙසෙල් ගසක ‘මුව නැති කැනක්’.


මෙය කලකට පෙර face book සටහනක තිබුණු ඡායාරූපයකි. (පලකළ අය නොදනිමි. ඔහුට හෝ ඇයට මාගේ ස්තුතිය).  එහි විස්තරයක් පළකර නොතිබුණි. ආශ්චර්යමත් දෙයක් ලෙස දකින්නට ලැබුණත්, මෙය කෙසේ සිදුවූයේද යන්න විස්තර කර නොතිබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම විද්‍යාත්මකව අවබෝධ කර ගත හැකිය. 

මෙම කෙසෙල් ගස පීදීමට, නැතහොත් කැනක් ඒමට සූදානම්ව තිබියදී කපා දමා ඇති බව පෙනේ. එසේ කැපීමේදී, කෙසෙල් මුවයේ අග කොටස  පමණක් කැපී යන ලෙස පිහි පහර වැදී ඇත. කෙසෙල් මුවයේ මුල කොටසේ ස්වල්පයක් ඉතිරි වී තිබේ. එයින් පසුවද වර්ධනය වී ඇති කෙසෙල් මුව,  විවෘත වී පරාගණ ක්‍රියාවලියත් සිදුවී, ඇවරි දෙකක ගෙඩිද සාර්ථකව වර්ධනය වී තිබේ. සාමාන්‍ය කෙසෙල් කැනක් ගස මුදුනේ සිට පහලට එල්ලා වැටීම සිදුවනුයේ, ආරම්භයේදී මුවය බර නිසාය. මේ අවස්ථාවේදී, එවැන්නක් සිදු නොවී ඇත්තේ, මුවයේ විශාල කොටසක් කැපී ගොස් ඇති නිසා පහතට නැමීම සඳහා අවශ්‍ය බර නොලැබීම නිසා විය හැකිය. 
ශාකයේ සියලුම පත්‍ර නොමැතිව වූවත්, මෙසේ වැඩෙන කොටසට අවශ්‍ය පෝෂණය, පසෙහි තිබෙන රයිසෝමයෙන් (කෙසෙල් අලයෙන්)  ලැබේ. ගෙඩිවල ලෙල්ලට කොළ පැහැය ලැබෙනුයේ හරිතප්‍රද තිබෙන නිසාය. මේ නිසා ගෙඩි ආවරණයේ (ලෙල්ලේ) ප්‍රභාසංශ්ලේෂණ  කාර්යය සිදුවේ. මේ ආකාරයට, කැපූ ගසෙහි කැනක් හටගැනීම  ස්වාභාවිකවම සිදුවූ දෙයක් මිස කෙනෙකුට සිතා මතා පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.

           2.ගසෙහි තිබියදීම අඹ ගෙඩියක බීජය පැලවීම

   සමහර පොල් ගස්වල ගෙඩි ගසෙහි තිබියදීම පැලවීම කලාතුරකින් දකින්නට ලැබේ. එහෙත් අඹ ගෙඩියක් ශාකයේ තිබියදීම මේ ආකාරයට පැලවීම නම් පුදුම විය යුතු කරුණකි. අඹ ගෙඩියක බීජය පරිණත වන විට ගෙඩිය ඉදීම ස්වාභාවිකය.

සාමාන්‍යයෙන්, ඉදුණු ගෙඩියක් නටුවෙන් ගැලවී යන නිසා, එය බොහෝ විට බිමට පතිත වේ. එහි මාංශල කොටස පොළොවේ පසට එකතු වූ පසු, ටික කලක නිද්‍රාශීලී කාලයක් ගතකර, අවශ්‍ය පරිසර සාධක ලැබුනහොත් පමණක්  බීජය ප්‍රරෝහණය වී අලුත් පැලයක් හටගැනීමට ඉඩකඩ තිබේ.
මෙහිදී බීජයක ප්‍රරෝහණය සඳහා අවශ්‍ය වන ජලය, වාතය සහ උණුසුම යන සාධක  නොලැබී අඹ ඇටය පැලවීමට හේතු සාධක දැක්වීම තරමක් උගහටය.මෙහිදී  කරුණු කිහිපයක් සලකා බැලීම වටී. 1. සාමාන්‍යයෙන් ඵලයක් පරිණත වීමෙන් පසු නටුවෙන් වෙන්වී යා යුතුය. 2. පරිණත නොවූ අඹ ඇටයක් ප්‍රරෝහණය විය නොහැකිය. 3. අඹ ගෙඩියේ ඇති පලුදු වූ ස්ථානයෙන් ජලය සහ වාතය ලැබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි වුවත්, අඹ ගෙඩියේ ආම්ලික භාවය එයට බාධකයක් විය හැකිය. කෙසේ වුවත් මෙහි බීජය ප්‍රරෝහණය වී පැලයක්ද හටගෙන තිබීම පුදුමයකි !

                3.  විශ්වාස කළ නොහැකි ස්ථානයක ශාකයක් හටගැනීම
                 


මෙයද මාහට මිතුරෙකුගෙන් ලැබුණු ඡායාරූපයකි.  මෙහි දැක්වෙනුයේ ගඟක හෝ වෙනත් ජලාශයක පතුලේ මඩෙහි කාවැදී,  ජල මට්ටමෙන් ඉහලට නෙරා සිටින, දිරාපත්වෙමින් තිබෙන  ලී කොටයකි. කොටය අග්‍රයේ වාතයට නිරාවරණය වී ඇති කොටසේ හියුමස් එකතුවී තිබිය හැකිය. සුළඟේ පාවී ආ හෝ කුරුල්ලෙකු විසින් ගෙනෙන ලද බීජයක් එහි ප්‍රරෝහණය වන්නට ඇත. එසේ හටගත් ශාකය අද තරමක ගසක් වී තිබේ.

අවශ්‍ය සාධක තිබෙන ඕනෑම ස්ථානයක සොබාදහම ක්‍රියාත්මක වීම සඳහා සීමා මායිම් නොමැති බවට මෙය හොඳම සාක්ෂියකි. 

                       4. මේ සතෙක්ද ශාක පත්‍රයක්ද ?

අන්තර්ජාලයේ සම්කිසි කරුණක් ගැන තොරතුරු සොයද්දී හමුවූ අපූරු  ඡායාරූපයකි. බැලූ බැල්මට මෙය කුමක්යයි කිව හැකිද? එහි හැඩය සහ කොළ පැහැය නිසා එය ශාකයක  හරිත පත්‍රයක් ලෙස ඔබට පෙනෙනු ඇත. එහෙත් එය ශාක පත්‍රයක් නොවේ. ඉතාමත් විරල ගණයේ සතෙකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ ගල්පර සහ කොරල් පර ආශ්‍රීතව ජීවත්වන මුහුදු හංගොල්ලෙකු (Sea slug) වන මෙම සත්වයාට කවචයක් නොමැත. Elysia chlorotica  යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම සුවිශේෂී හංගොල්ලාට එම නම ලැබෙනුයේ උගේ ශරීර පටක තුල හරිතලව තිබෙන නිසාය.  




මුහුදු හංගොල්ලා  (Elysia chlorotica)  

මෙම හංගොල්ලා, මුහුදු තීරයේ තිබෙන Vaucheria litorea නමැති හරිත ඇල්ගී විශේෂයක සෛල බිත්ති සිදුරු කර ඒවායේ ඇති  හරිතලව උරාගනී. මෙසේ හංගොල්ලාගේ ශරීරයට ඇතුල්වන හරිතලව  ‘ආහාරයක්’ වශයෙන් භාවිත නොවී, ශරීරය මතුපිට පටක අතර විසිරී පවතී.  ශාක පත්‍රයක හැඩය ඇති සතාගේ ශරීරයට කොළ පැහැය ලැබෙනුයේ, පටක අතර විසිරී ඇති  හරිතලව නිසාය. මෙම මුහුදු  හංගොල්ලාට, මාස නවයක් පමණ කිසිම ආහාරයක් නොගෙන, ඇල්ගී වලින් ලබාගෙන තිබෙන හරිතලව සංචිතය මගින් ප්‍රභාසස්ලේෂණය කර තම ආහාර නිපදවා ගත හැකි බව නිරීක්ෂණය කර තිබේ.

මේ නිසාම මෙම අද්භූත මුහුදු හංගොල්ලාට , ‘සුර්ය බලශක්ති හංගොල්ලා’ (solar powered slug) යන අන්වර්ථ නාමයක්ද ලැබී තිබේ. අවස්චිථාවෝචිතව ජීවීන් විසින් ලබාගන්නා සුවිශේෂී අනුවර්තන කෙතරම් අර්ථවත්ද?

                  5. මෙහි කොපමණ වඩු කුරුල්ලෝ සිටිත්ද?


 වඩු කුරුලු කූඩු

වඩු කුරුල්ලා Ploceus philippinus ( The Baya Weaver)

  කුරුල්ලන් අතර, තම ගෘහ නිර්මාණයේ අති දක්ෂයෙකු ලෙස සැලකිය කුරුල්ලෙකි වඩු කුරුල්ලා. රංචු  වශයෙන් ජීවත්වන වඩු කුරුල්ලෝ, පිදුරු, කෙඳි වර්ග සහ වියලි තණකොළ භාවිත කර අතු අගිස්සක සිට පහලට එල්ලෙන කූඩු නිර්මාණය කරති. බොහෝවිට රංචුවේ සිටින  සියල්ලෝම එකම ජනපදයක ආකාරයට තම කුඩු සකස් කරති. 

දකුණු ආසියාවේ බහුල වඩු කුරුලු විශේෂ රාශියෙන් විශේෂ කිහිපයක්, ශ්‍රී  ලංකාවේ  වියලි කලාපයේද   දකින්නට ලැබේ. තෙත් කලාපයේද කුඹුරු යායවල් කිට්ටුව ගස්වලද වඩු කුරුළු කූඩු කලාතුරකින් දකින්නට ලැබේ. වඩු කුරුල්ලා ධාන්‍ය ආහාරයට ගනී.  මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ කුඹුරු යායක් අසල වනරොදක ඉඳි ගසක, ඉදි කර  තිබුණු වඩු කුරුළු ජනපදයකි. මේ ජනපදයේ  කූඩු සියයකට අධික සංඛ්‍යාවක්  දකින්නට තිබේ.

වෙනත් කුරුල්ලන් මෙන් වඩු කුරුල්ලන්ගේ පැටව්, ඇතිදැඩි වූ පසු තම දෙමාපියන් හැර නොයති. ඔවුහු  සියලු දෙනාම රංචුවේ සාමාජිකයින් ලෙස ජීවත්වෙමින් සිට පරිණත වූ පසු සහකරුවන් සහ සහකාරියන්  සොයාගෙන තමන්ගේම කුඩුද සාදා ගනිති. 

මෙහි දැක්වෙන වඩු කුරුළු ජනපදයේ ඊළඟ වසර වනවිට කුරුල්ලන්ගේ සංඛ්‍යාව තුන් හතර ගුණයක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ සිටින වඩු කුරුල්ලන් වෙන වෙනම කුඩු සාදා ගනු ලැබුවත්, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ  නැමීබියා වැනි රටවල වඩු කුරුල්ලෝ සියගණනක් සාමාජිකයින් සිටින තම රංචුවේ සියල්ලන්ටම ඉඩකඩ සහිත අති විශාල  කූඩු තනන බව වාර්තාවේ. 

වඩු කුරුල්ලන් අතර තිබෙන සමාජශීලී බව,  සාමුහිකව වැඩ කටයුතු කිරීම, සමගිය, අන්‍යොන්‍ය උපකාරය ආදී බොහෝ යහ ගුණ අද මිනිසා තුල එතරම් දුරට දකින්නට නොලැබීම අභාග්‍යයකි.!  



     

Wednesday, 7 August 2019

හේමන්තයේදී ගිය එක්දින චාරිකාව - (2019 ජූනි 1 )

හේමන්තයේදී ගිය  එක්දින චාරිකාව  -   (2019 ජූනි 1 )

(ඩැන්ඩිනෝන් - සොරෙන්ටෝ - ක්වීන්ස් ක්ලිෆ් -ජිලෝන් -   (මෙල්බර්න් හරහා) ඩැන්ඩිනෝන්)
   පගේ සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ, 2019 හේමන්තයේ එක් දින චාරිකාව, ගොඩ බිමින් සහ මුහුදෙන්ද යාමට සැලසුම් කර තිබුණු නිසා, එය තරමක් වෙනස් එකක් විය. චාරිකාව සඳහා තෝරාගෙන තිබුණේ මෝර්නින්ටන් අර්ධද්වීපයේ බටහිරට වන්නට පිහිටි  ෆිලිප් වරායේ මුහුදු බොක්ක ආශ්‍රිත ප්‍රදේශයයි. ඩැන්ඩිනෝන් සිට  සොරෙන්ටෝ තුඩුවට පැමිණ  එහි සිට ක්වීන්ස් ක්ලිෆ් තුඩුව දක්වා මුහුදෙන් ගමන් කර, එතැන් සිට ජිලෝන් දක්වා ගොස්, මෙල්බර්න් හරහා ආපසු ඩැන්ඩිනෝන් දක්වා ගමන කිලෝමීටර් දෙසිය පණහක් පමණ විය. අපගේ චාරිකාව සඳහා ලබාගත් බස් රථයද, මුහුදු යාත්‍රාවෙන්ම එගොඩ කිරීමට අවසර ලබාගෙන තිබුණි.


අපගේ ගමන ආරම්භ කළේ, 2019 ජූනි 1 වන දින පෙරවරු 8.30 ට පමණ, ඩැන්ඩිනෝන් දුම්රිය පළ අසලින්ය. චාරිකාව සඳහා සුඛෝපභෝගී බස් රථයක් ලබාගෙන තිබුණි. පදනමේ  සාමාජික සාමාජිකාවන් 60 දෙනෙකු පමණ ගමනට සහභාගිවූහ. අතරමග, ක්ලේටන් දුම්රියපල අසලින්ද කිහිප දෙනෙකු බස් රථයට ගොඩවීමට නියමිතව තිබුණු  නිසා, එම ස්ථානයේද මඳ වෙලාවක් බස් රථය රඳවා ගැනීමට සිදුවිය. එතැන් සිට නොනවත්වාම ගමන් ගත් බස් රථය, ෆ්රෑන්ක්ස්ටන්, මෝර්නින්ටන්, රෝස් බඩ්   යන උප නගර පසුකර, පෙරවරු 10.30 ට පමණ වන විට, සොරෙන්ටෝ තුඩුවට ලඟාවිය.

රෝස් බඩ් කුඩා නගරයේ සිට, සොරෙන්ටෝ තුඩුව දක්වා මාර්ගය මුහුදු වෙරළ අසලින්ම වැටි තිබුණු, දැකුම්කලු පරිසරයක් සහිත ප්‍රදේශයක් විය. මෙම මුහුදුබඩ බිම් තීරුව දශක කිහිපයක සිටම සංචාරක පුරවරයක් මෙන් සංවර්ධනය වී තිබේ. විශේෂයෙන්ම ගිම්හාන කාලයේදී, මෙම වෙරළ තීරය දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී යන බව දැනගන්නට ලැබුණි.

අප සංචාරයේ දෙවන අදියර වුයේ , ෆිලිප් වරායේ මුහුදු බොක්කෙහි දකුණු දිගින් පිහිටි, සොරෙන්ටෝ තුඩුව  සහ ක්වින්ස් ක්ලිෆ් තුඩුව වෙන්කරන, කිලෝමීටර්  නවයක් පමණ වූ මුහුදු තීරය තරණය කිරීමයි.  සොරෙන්ටෝ තොටුපලේ සිට  ක්වින්ස් ක්ලිෆ්  තොටුපල දක්වා මුහුදු තීරය  හරහා මගීන් ප්‍රවාහනය කිරීම පිණිස මගී යාත්‍රා සේවයක් තිබේ. සෑම පැයකට වරක් දෙපැත්තෙන්ම මගී ප්‍රවාහන යාත්‍රාව බැගින් පිටත්වේ. අපට වෙන්කර තිබුණේ සොරෙන්ටෝ  තුඩුවෙන් දහවල් 12.30 ට පිටත්වන යාත්‍රාවයි. සොරෙන්ටෝ සිට  ක්වින්ස් ක්ලිෆ් දක්වා මුහුදු ගමනට විනාඩි හතළිහක් පමණ ගතවේ.



නියමිත යාත්‍රාව පැමිණෙන තුරු පැයකට වැඩි  කාලයක් තිබුණු නිසා, අපට ජෙටිය අසල තණතිල්ලේ තුරුසවනේ, අතුරුපස සංග්‍රයක් විඳ, ගී කියමින් විනෝද වීමට අවස්ථාවක් ලැබිණ.


නියමිත වේලාවට යාත්‍රාංගනය අසලට ගිය අපට, යාත්‍රාවට ගොඩවිම සඳහා නැවත බසයේ අසුන් ගන්නා ලෙස, ඉල්ලීමක් කරන ලදී. මෙම යාත්‍රාවේ බිම් මහල, බස් රථ  හෝ මෝටර් රථ කිහිපයක් එකවර ගෙන යාමට හැකිවන අයුරු ඉඩකඩ ඇතිව සකස් කර තිබේ. යාත්‍රාවට ඇතුල්වීමෙන් පසු බසයෙන් පිටතට පැමිණි අපි, යාත්‍රාවේ දෙවෙන මහළේ සහ තුන්වන මහළේ සිට රිසිසේ අවට සිරි නැරඹුවෙමු. අහසේ වලාකුළු රහිතව හොඳින් හිරු පායන දිනවලදී මෙම ස්ථානයේ සිට උතුරු දෙස බැලූවිට කිලෝමීටර් හැටක් පමණ ඈතින් ඇති මෙල්බර්න් නගරයේ උස ගොඩනැගිලි, හොඳින් දර්ශනය වන බව දැනගන්නට ලැබිණ.  සමුද්‍ර ක්ෂීරපායීන් වන ඩොල්ෆින් සතුන්, ගිම්හානයේදී මෙම මුහුදු තීරයේ  බහුලව සිටින නමුත්, ඒ වනවිට ශීත ඍතුව එළඹ තිබුණු බැවින් අපට ඔවුන් දැකගත නොහැකි විය. 

මෝර්නින්ටන් අර්ධද්වීපයේ පිලිප් වරාය තුළ, උතුරෙන් පිහිටි නැව් තොට මෙල්බර්න් වන අතර, බටහිරට වන්නට ජීලෝන් නැව් තොට පිහිටා ඇත. මෙම ප්‍රධාන නැව් තොටවල් දෙක වෙත  ගමනාගමනය කරනු ලබන සියලුම නෞකා වරායට ඇතුල් වනුයේ, අපට තරණය කිරීමට තිබෙන, කිලෝමීටර්  අටහමාරක් පමණ පුළුල් වූ  පටු මුහුදු තීරය හරහාය.


හරියටම දහවල් 12.30ට යාත්‍රාව ගමන ආරම්භ කළේය. වරාය ආසන්නයේ නිසා මුහුද නිසලය. ඈත මුහුදේ තවත් යාත්‍රාවක්, අප පිටත්වූ ස්ථානය කරා එනු දකින්නට ලැබිණ. මිනිත්තු හතලිහකදී, අප ගමන් කළ  SEAROAdfERRIRS යාත්‍රාව ක්වීන්ස් ක්ලිෆ් තුඩුවේ ජෙටියට සේන්දු විය.

නැවතත් බසයට ගොඩවූ අපට මීළඟට  අවශ්‍ය වූයේ, දිවා ආහාරය ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමයි. එදින වැහිබර, අඳුරු, ශීතල දිනයක් වූ නිසා එළිමහනේ වැඩි වේලාවක් ගත කිරීම අසීරු බව කාටත් දැනෙන්නට විය.

මෙවේලේ  ලැබුණු සුභ ආරංචියක් නිසා කාගේත්  සිතට සැනසුමක් ලැබිණ. එම ආරංචිය ප්‍රකාශයට පත්කළේ සංචාරය සංවිධායකයින් විසිනි. කාටත් ඇසෙන සේ එම ආරංචිය බසයේ ඇති ශබ්ද විකාශන මෙවලම ඔස්සේ මෙසේ ඇසුණි.

“ජීලෝන්හි  ශ්‍රී ලංකා මිත්‍ර සංගමයෙන් අපට ආරාධනයක් ලැබී තිබෙනවා, දිවා ආහාරය ගැනීම සහ දිනයේ ඉතිරි කාලය, ඔවුන් සමග ගතකර ප්‍රීති වීම සඳහා, ඔවුන්ගේ  මිත්‍ර සංගම් ශාලාවට පැමිණෙන ලෙස. එම ස්ථානයට මෙහි සිට කිලෝමීටර් 40 ක් පමණ තිබෙන නිසා දිවා ආහාරය ගැනීම තරමක් ප්‍රමාද වේවි.”

එම යෝජනාව සඳහා, සියලු දෙනාගෙන්ම ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. මෙතෙක් දැක නොමැති ශ්‍රී ලාංකික හිතවතුන් පිරිසක් දැක හඳුනා ගැනීමට හැකිවීම ගැනද,  කා තුළ කුතුහලයක් ඇතිවිය.

පස්වරු 2.30 පමණ වනවිට, අපට ජීලෝන්හි  ශ්‍රී ලංකා  මිත්‍ර සංගම් ශාලාව වෙත පැමිණීමට හැකිවිය.

අපගේ බසය, රථවාහන ගාල වෙත පැමිණි විගසම, ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකු අප සියලු දෙනා පිළිගෙන, ඉතාමත් ආදරයෙන්  ශාලාව වෙත කැඳවා ගෙන ගියහ. අප බලාපොරොත්තු නොවූ ආකාරයට එම ස්ථානය සියලුම සැප පහසු කම් සහිත එකක් විය. අප කවුරුත් ගෙන ගොස් තිබුණු ආහාර ඒ වනවිට ශීතල වී තිබුණි. සීතලවූ අපගේ   දිවා ආහාර එහි තිබුණු ‘මයික්‍රෝ වේව්’ උදුනේ දමා රත්කර, ගැනීමට පහසුකමක් තිබීම හාස්කමක් වැනිය.  ඉතාමත් සුහදව, අපට ආගන්තුක සත්කාර සැපයූ නව මිතුරු මිතුරියන් සමග, අපේ ආහාරද  බෙදා හදා ගෙන භුක්ති විඳීමට ලැබීම,  සතුට ගෙන දෙන සුවිශේෂී සිද්ධියක් විය. ඔවුන් විසින් අප වෙනුවෙන්,  අයිස් ක්‍රීම්, පලතුරු සහ වෙනත් රස මසවුළු සහ අතුරු පස සකස් කර තිබුණි.


කවුරුත් එකතුවී බෙදා හදාගත් දිවා භෝජනය සප්පායම් වීමෙන් පසුව, ගී ගයා, නටා ප්‍රීතිවිමටත් අවශ්‍ය සියලුම පහසුකම්, අපගේ ජිලෝන් ශ්‍රී ලාංකික සත්කාරක සහෘදයින් විසින් සපයා තිබුණි. පැය එකහමාරක පමණ, සුහද හමුවේදී එකිනෙකා හඳුනා ගැනීම සහ මව් බිමේ ආගිය තොරතුරු කතාබස් කිරීම වැනි ළයාන්විත පිළිසඳරද නිසා එදින සවස් වරුවේදී  කා තුළත්  අමතක නොවන සිද්ධි රාශියක් සනිටුහන් වන්නට ඇත. අප ඔවුනට ආගන්තුකයින් වුවද, ටික වේලාවකින් කවුරු කවුරුත් කුළුපග මිතුරු මිතුරියෝ වූහ.

සමුගැනීමට පෙර සභාපති තුමා විසින්, ඔවුනටද අප සමග දිනයක් ගත කිරීමට සඳහා පැමිණෙන ලෙස ආරාධනයක්ද කරන ලදී. ඔව්හු මෙම ආරාධනය සතුටින් භාර ගත්හ.

මේ ආකාරයට දිනය සතුටින් ගතකළ  අපි, ඔවුන් සමග සමුහ ඡායාරුපයකටද පෙනී සිටියෙමු. පස්වරු පහට පමණ ඔවුනට ආයුබෝවන් කියා සමුගත් අපි ආපසු ගම් බිම් බලා ඒමට පිටත් වූවෙමු.     
                                                  *        *         *
අපගේ චාරිකාව සඳහා තෝරාගත් මෝර්නින්ටන් අර්ධද්වීපය, ඕස්ට්‍රේලියාවේ මෑත ඉතිහාසය සමග හොඳින් බැඳි ඇති ප්‍රදේශයකි. මේ පිළිබඳවද තොරතුරු ස්වල්පයක් පිලිබඳ දැනුවත් වීම කාටත් ප්‍රයෝජනවත් විය හැකිය.

නැගෙනහිරට මෝර්නින්ටන් අර්ධද්වීපයෙන් සහ බටහිරට දකුණු ඕස්ට්‍රේලියානු තුඩුවෙන් වටවී ඇති  විශාල මුහුදු ප්‍රදේශය පිලිප් වරායයි.  මෙල්බර්න්, ජිලෝන්, සොරෙන්ටෝ සහ ක්වීන්ස් ක්ලිෆ් යන සියළුම නැව් තොටවල් විවෘත වනුයේ මෙම වරායටය. මේ නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ, අන්තර්ජාතික කටයුතු සඳහා ඉතාමත් වැදගත් ස්ථානයක් මෙම ප්‍රදේශයට හිමිවේ. අපගේ චාරිකාවට සම්බන්ධ ස්ථානවල ඓතිහාසික තොරතුරු  පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.  

සොරෙන්ටෝ (Sorrento)

ඕස්ට්‍රේලියා මහාද්වීප  භුමියේ, මුල්ම යුරෝපීය   පදිචිකරුවන් 1803 වර්ෂයේදී ස්ථාන ගතවී තිබෙන්නේ සොරෙන්ටෝ අවට ප්‍රදේශයේය  (මෙල්බර්න් නගරය ස්ථාපිත කර ඇත්තේ ඊට වසර 30 කට පසුවය.) ටික කලක් මෙහි ජීවත්වූ ඔව්හු, මෙම ප්‍රදේශයේ, පානීය ජල පහසුකම් නොතිබුණු නිසා පදිංචිය  අතහැර දමා තිබේ.  දශක කිහිපයකට පසු, නැවතත් ඔව්හු මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත. සොරෙන්ටෝ අවට ප්‍රදේශයේ පාශාණිභුත හිරිගල් බහුලය. හිරිගල් බිත්ති වලින් නිමවූ, සංරක්ෂණය කරන ලද,  පෞරාණික ගොඩනැගිලි කිහිපයක් දැනටද මේ ප්‍රදේශයේ දකින්නට ලැබේ. සොරෙන්ටෝ නැව් තොටේ සිට, මුහුදු තීරුව හරහා ක්වීන්ස් ක්ලිෆ් නැව්තොට  කරා  ගමනාගමනය සඳහා ඇති SEAROAdfERRIRS මගී යාත්‍රා සේවය, කෙටි මුහුදු යාත්‍රා ගමනක් සඳහා ඉතා හොඳ සේවයක් බව සඳහන් කල හැකිය.

ක්වීන්ස් ක්ලිෆ් (Queens Cliff)

පිලිප් වරායේ සොරෙන්ටෝ තොටුපළේ සිට, කිලෝමීටර නවයක් පමණ බටහිරින් පිහිටි ක්වීන්ස් ක්ලිෆ්  දක්වා,  මුහුදු යාත්‍රාවෙන්  ගිය ගමන සඳහා මිනිත්තු හතලිහක් පමණ ගතවිය. දැනට මෙම තොටුපල හරහා වැඩිපුර ගමන් කරනුයේ, අප මෙන් සංචාරයේ යෙදෙන අය බව දැනගතිමු. කලකට පෙර, දිනපතා මගීන් විශාල සංඛ්‍යාවක් මෙම තොටුපලේ යාත්‍රා මගින් එගොඩ මෙගොඩ වී ඇතත්, දැනට ගොඩබිමෙන් යාම සඳහා මහාමාර්ග සහ මෝටර් රථ පහසුකම් තිබෙන නිසා, යාත්‍රා ගමනට මගීන් අඩු බව පෙනේ.  ක්වීන්ස් ක්ලිෆ්  අඩු ජනගහනයක් සහිත කුඩා නගරයකි. මේ ප්‍රදේශයට පැමිණි ප්‍රථම යුරෝපීයයා වශයෙන් සැලකෙන තැනැත්තා, සිරගතව සිට එයින් මිදී, වනගත වූ කෙනෙකු වන අතර, ඔහු වසර තිස් දෙකක්, ප්‍රදේශයේ සිටි ඇබෝරිජනල් ගෝත්‍රිකයින් සමග ජීවත්වී තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයට  ස්ථිර යුරෝපීය පදිංචි කරුවන් පැමිණ ඇත්තේ 1836 වසරේ දී බව වාර්තා වේ. මෙම තුඩුවට ක්වීන්ස් ක්ලිෆ් යන නම ලැබී ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නායිකාව වූ, වික්ටෝරියා මහරැජිනට ගෞරව දැක්වීම පිණිසය.

ජීලෝන් (Geelong)

වික්ටෝරියා ප්‍රාන්තයේ අග නගරය වන මෙල්බර්න් සිට කිලෝමීටර 75 ක් පමණ නිරිත දිගින් පිහිටා ඇති ජීලෝන්, වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරයයි. මෙම ප්‍රදේශයේ කලින් ජීවත්ව සිටි ‘වතොරෝන්ග්’ (Wathaurong) නමැති ඇබෝරිජිනල් ගෝත්‍රික ජනතාව විසින්, මෙම ප්‍රදේශය හැඳින්වීම සඳහා භාවිත කරන ලද, ‘ඩ්ජිල්ලෝන්ග්’ (Djillong) යන නම උච්චාරණය කිරීමෙන් බිඳී යාම නිසා, නගරයට ජීලෝන් (Geelong) නම ලැබී තිබේ. ගෝත්‍රික භාෂාවේ ඩ්ජිල්ලෝන් යන වචනයේ ‘දිව’ යන තේරුමක් තිබේ. පිලිප් වරාය තුළට නෙරා තිබෙන  මෙම භුමි ප්‍රදේශය ‘දිවක හැඩය’ ගන්නා නිසා, මේ නම ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. (ඉහත සිතියම බලන්න)

මේ කාලය වන විට ජීලෝන් නගරයේ සිට කිලෝමීටර් 80 ක් පමණ උතුරෙන් පිහිටි, බැලරාට් (Ballarat) ප්‍රදේශයේ රත්‍රන් ඉල්ලම් පෑදී, රන් ආකර ආරම්භ වීය. ඒ  සමගම, කිට්ටුවම තිබුණු ජීලෝන් නගරයද  ක්ෂණිකව දියුණුවන්නට විය. මුල්ම අවදියේදී මේ ප්‍රදේශයේ බැටලුවන්ගෙන් ලෝම නිෂ්පාදනය (wool), දැව සම්පත් වලින් කඩදාසි නිෂ්පාදනය සහ ගස් පට්ටා වලින් ශක්තිමත් කඹ නිෂ්පාදනය වැනි නව කර්මාන්ත ආරම්භ විය. ඒ සමගම ජනගහණයද  ශීඝ්‍රයෙන් වැඩිවන්නට විය. යටිතල පහසුකම්ද ඉක්මනින්ම වර්ධනය විය. රන් ආකර  නොසිතූ විරූ ආර්ථික සම්පතක් වූ නිසා,  1835 පමණ වන විට යුරෝපීය සංක්‍රමණිකයින් බහුලව මේ ප්‍රදේශයට ඇදී එන්නට වූහ. මේ වන විට ගෝත්‍රිකයින් සමග ඉතාමත් කුළුපගව සිටි, කලකට පෙර සිර අඩස්සියෙන් පැනගත්, යුරෝපීය ජාතිකයා සමාව ලබා, නව යුරෝපීය ජනාවාසවල නායකයාට එකතු විය. පසුව ඔහු, යුරෝපීයයන්ට ඇබෝරිජනල් ගෝත්‍රිකයින් සමග අදහස් හුවමාරු කරගැනීමේ භාෂා පරිවර්තකයෙකු ලෙස පිළිගන්නා ලදී. මෙය එකළ පාලකයින් විසින්  පිළිගත් සැලකියයුතු තනතුරක් විය. මේ කාලය වන විට යුරෝපයේ සිරගෙවල සිටි සිරකරුවන් දහස් ගණනක්, රන් ආකරවල සේවා සඳහා යෙදවීම පිණිස ඔස්ට්‍රේලියාවට ගෙන එන ලදී.

මේ කාලයේදී, රත්‍රන් ගැරීමේ කටයුතු සඳහා වැඩිපුර ජනතාව බැලරාට් ප්‍රදේශයට ඇදීයාමට පටන් ගත් නිසා, ජීලෝන් දිසාවේ සංවර්ධන කටයුතු තරමක් අඩපණවී ගියේය. එහෙත් 1900 ගණන් වලදී ජීලෝන් නගරය නැවතත් ප්‍රකෘති තත්වයට පත්වී, වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන නගරය බවට පරිවර්තනය විය. රට අභ්‍යන්තරයේ පිහිටි, බැලරාට් ප්‍රදේශයට අවශ්‍ය භාණ්ඩ සහ රන් ආකරවලට අවශ්‍ය උපකරණ ගෙන ඒම සඳහා, කිට්ටුවම තිබුණු නැව් තොට වූයේ ජීලෝන්ය. රත්‍රන් නිසා ඉක්මනින්ම ආර්ථික උද්දීපනයක් ළඟා කරගත් බැලරාට් ප්‍රදේශයට අවශ්‍ය සේවා, භාණ්ඩ සහ ප්‍රවාහන කටයුතු සපයන ජීලෝන් නගරයේ නැවතත්  ශීඝ්‍ර සංවර්ධනයක් ආරම්භ විය. මෙය හේතුකොටගෙන, මෙම ප්‍රදේශය  පදිංචිය සඳහාද යෝග්‍ය බවට පත්වී, ජනතා ආකර්ශණයද වැඩි වන්නට පටන් ගත්තේය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජීලොන්හි ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය සේවා, ගමනාගමන, වෙළඳ ආදී සියලුම කටයුතු  දිනෙන් දිනම දියුණුවට  පත්වී, ටික කලකදීම සෞභාග්‍යමත් නගරයක් බවට පරිවර්තනය වී තිබේ. අද ජීලෝන්  නගරය සියලුම යටිතල පහසුකම් අතින් දෙවෙනි වන්නේ, මෙල්බර්න් නගරයට පමණකි.









Thursday, 6 June 2019

සොබා දහම විසින් මවනු ලබන හේමන්තයේ මිහිර .......


     තු විපර්යාස තිබෙන රටවල වසන්තය, ගිම්හානය,හේමන්තය සහ සිසිරය (spring, summer, autumn and winter) යන අපූර්ව දේශගුණික ලක්ෂණ සහිත කාලසීමා හතරක් වෙන් කර ගත හැකිය. වසන්ත සමය ඉතාමත් සෞම්‍ය දේශගුණය සහිත කාලයයි. ගස් මල් පල වලින් බරවී තිබෙන මේ කාලයේ ගස්වැල් මෙන්ම මිනිසා ඇතුළු අනිකුත් සතා සීපාවන් තුළද, මහත් ප්‍රබෝධමත් ගතියක් දකින්නට ලැබේ.  ගිම්හානය තද හිරු රැස් සහිත, දිවා කාලය වැඩි, රාත්‍රී කාලය අඩු ඍතුවයි. මේ කාලයේදී මුහුදු වෙරළට ගොස් හිරු රැස්වල උණුසුම් පහස විඳ ආශ්වාදයක් විඳීම මහත් සුව දායකය.

ගිම්හානයේ පවතින උණුසුම ක්‍රමක්‍රමයෙන් අඩුවී යාමත් සමග එළඹෙන්නේ හේමන්තයයි. කඩින් කඩ කඩා හැලෙන වැසි සහ හිරිකඩය   සමග ඇතිවන හිරිගඩු පිපෙන සීතල සහිත හේමන්තයේ සුවිශේෂී ලක්ෂණයක් දකින්නට ලැබෙනුයේ පත්‍ර පතනය වන ශාක වලය. මේ කාලය එළඹෙන විට ‘සදාහරිත’ (ever-green) සහ  ‘පතනපත්‍ර’ (deciduous) ශාක වල මහත් වෙනසක් දකින්නට ලැබේ.


ඉදිරියේ එන සිසිර ඍතුවේ කර්කශ දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීම පිණිස මෙම ශාකවල  පත්‍ර සිය ප්‍රභාසංස්ලේෂණ කාර්යයන් නිමවා විවිධ වර්ණ විපර්යාසයන්ට භාජන වීම ස්වභාව ධර්මයේ අද්විතීය සිදුවීම් රටාවක් ලෙස සැලකිය හැකිය. සදාහරිත ශාක මෙම ලක්ෂණ නොමැතිව වෙනත් ආකාරයකින් කාලතරණය කරති.

සිසිරය ශීත ඍතුවයි. රාත්‍රී කාලය වැඩි, දහවල අඩු, මේ කාලයේ බොහෝවිට වටපිටාවේ අඳුරු ස්වභාවයක් දකින්නට ලැබේ. ඉඳහිට සුර්යාලෝකය යන්තමට පෙනී පැය කිහිපයකින් අවසන් වන බවද,  සිසිරයේදී දකින්නට ලැබේ. අධික ශීතලද නොසලකා, එය වාසි සහගත ස්වභාවික ක්‍රියාවලියක් බව පිළිගන්නා බොහෝ අය, සිසිරයේදී    හිම වැටෙන ප්‍රදේශවලට ගොස් , හිම ක්‍රීඩා වල නිරත වෙමින් මහත් චිත්ත සුවයක් ලබන බවද දකින්නට ලැබේ.

හේමන්තයේදී ශාකවල පත්‍ර වල කොළ පැහැය ක්‍රමක්‍රමයෙන් අඩුවී ගොස්, වෙනත් විවිධ වර්ණ සංකලණයන් ප්‍රදර්ශනය කරනු, දකින්නට ලැබේ. මෙය  වසන්තයේ දී දකින්නට ලැබෙන, ශාක මල්පල වලින් පිරියාම  තරමටම චමත්කාරජනක සංසිද්ධියකි.  ශාකවල මෙම වර්ණ සංකලනය සහ පත්‍ර පතිත වීම පිළිබඳව විවිධ කව් ගී සාහිත්‍යයට එකතු වී තිබේ.


හේමන්තයේදී විවිධ වර්ණ පෙන්වන ‘මේපල්’ පත්‍ර

Sharonda D. Chery නම් කිවිඳියක් විසින් ‘The Personality Of  Nature’ යන මැයින්  ලියන ලද පහත
දැක්වෙන ඉංග්‍රීසි පද්‍යය කියවා ආශ්වාදයක් ලැබූ මට, හේමන්ත සහ  සිසිර කාලයේදී ගස් කොලන් වල සිදුවන ආශ්චර්යාත්මක  සිදුවීම් මාලාව ගැන  මඳක් විමසා බැලීමට සිත්විය. කිවිඳියගේ පද්‍යය මෙසේය: 
As the season changes from hot to cold  
And I watch the leaves change their clothes
From green, to brown, from red to gold
They never seem to change their souls
.
They remain humble even as they grow old,

(As trees change from season to season, they continue to remain loyal and humble with their youthful spirits)

ශාක පත්‍ර පිලිබඳ ඇයගේ කවි සංකල්පනාව ගැන මගේ අදහස මෙසේය

උණුසුම ගෙවී තද සීතල වැඩි                 කරවා
තුරු ලිය කොළ වලත්  වෙනසක් ඇති    වනවා
කහ පැහැ ගැහී තද රතු පැහැයක්            එනවා
අවසන් මොහොත තෙක්  යුතුකම ඉටු  වෙනවා

ගිම්හානය ගියා, හේමන්තය                 එන වා
සිසිරය ළඟම එන ලකුණුත් ඇති         වෙනවා
වසන්තයේ ගහ කොළ සිරි අඩු              කරවා   
කොළ, කහ, රත් පැහැය වියැකී ගෙන   යනවා

දක්ෂිණ අර්ධ ගෝලයේ ඍතු විපර්යාස පවතින රටවල හේමන්තය මාර්තු මාසයේදී ආරම්භ වී මැයි මාසය දක්වා පවතී. සමහර විට මෙම සීමාවන් සතියක් දෙකක් ඉදිරියටද යන බව දකින්නට ලැබේ. උත්තර අර්ධ ගෝලයේ මෙම කාල වකවානුවේදී පවතිනුයේ වසන්ත සමයයි.
හේමන්තය එළඹීමත් සමගම සුර්යාලෝකය මඳ නිසාත්, උණුසුම අඩු නිසාත් ශාක පත්‍ර වල සිදුවන විපර්යාස රාශියක් පිළිබඳව බොහෝ විද්‍යාත්මක පර්යේෂණ කර තොරතුරු ලබාගෙන තිබේ. මෙසේ දකින්නට ලැබෙන ඉතාමත් පැහැදිලි ලක්ෂණය වනුයේ පත්‍රපතන ශාක පත්‍රවල සිදුවන වර්ණ විපර්යාසයයි. සූර්යාලෝකය සහ ශාක පත්‍ර වල ප්‍රභාසංස්ලේෂණය අතර ඉතාමත් පැහැදිලි සහ සම්බන්ධතාවක් තිබේ.

ශාක පත්‍ර වලට කොළ පැහැය ලැබෙනුයේ ඒවායේ අන්තර්ගත හරිතප්‍රද නිසාය. හරිතප්‍රද වලට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය උරාගෙන, වාතයෙන් ලැබෙන කාබන්ඩයොක්සයිඩ් වායුව, සහ මුල්මගින් උරාගන්නා ජලය භාවිත කර කබෝහයිඩ්රේට නිපදවා ගත හැකිය. සියලුම ජීවීන් හට ජීවය සපයනු ලබන මෙම සුවිශේෂී සංයෝගය නිපදවිය හැක්කේ හරිත ශාක වලට පමණකි.

එසේනම් හරිත පත්‍ර වල කොළ පැහැය නැතිවී යන්නේ ඇයි?

හරිත ශාක පත්‍රයක නිරතුරුව දකින්නට ලැබෙන්නේ කොළ පැහැයයි. මෙම කොළ පැහැති වර්ණකය හරිතප්‍රදයි. ඒ සමගම බොහෝ පත්‍රවල තිබෙන කැරොටින් සහ ඇන්තොසයනින් නම් වර්ණක, හරිතප්‍රද වලින් ආවරණය වී පවතී. මෙම වර්ණක, කබෝහයිඩ්රේට නිපදවීම සඳහා කෙලින්ම සම්බන්ධ නොවුවත්, පත්‍ර මගින් කෙරෙන වෙනත් කාර්යයන් සඳහා උපකාරි වේ.
හේමන්තය උදාවීමත් සමගම, ලැබෙන සුර්යාලෝක ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවන විට, ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලියද ටිකින් ටික අඩුවී යයි. පත්‍රයේ ඉතිරිව ඇති සියලුම පෝෂණ ද්‍රව්‍ය, කඳෙහි ආහාර රැස්කරන ස්ථාන වලට මුදාහැර, පත්‍රයේ කොළ පැහැය නැතිවී  ‘වයෝවෘද්ධ’ බවකට පත්වේ.  මෙසේ වන විට පත්‍ර නටුවේ ඇති ෆ්ලොයම නාල ඔස්සේ ශාකයේ වෙනත් ස්ථාන වලට යැවෙන පෝෂක ප්‍රමාණය අඩුවන විට, පත්‍ර නටුව කඳට සවිවන ස්ථානයේ, බාධක පටකයක් (abscission)  සකස් වීම ආරම්භ කෙරේ.

මෙතෙක් කල් හරිතප්‍රද වල කොළ පැහැයෙන් ආවරණය වී තිබුණු, කැරොටින් (carotin) වර්ණකය පත්‍රවල ඉස්මතුවේ. (කැරට් අලයේ කහ පැහැය ලැබෙනුයේද  කැරොටින් නිසාය.)  මේ නිසා පත්‍ර මදටිය පැහැයට හුරු කහ පැහැයක් ගනී. ටික දිනකින් පත්‍රයේ ඇති කැරොටින් අවසන්වූ පසු තුන්වෙනි වර්ණකය වන ඇන්තොසයනින් (anthocyanin) දිස් වෙන්නට පටන් ගනී. ඇන්තොසයනින් රතු පැහැය ඇති වර්ණකයකි. මේ නිසා තුන්වන අවස්ථාවේදී, පත්‍ර රතු පැහැයෙන් වර්ණවත් වේ. මේ වන විට පත්‍ර නටුවේ බාධක පටකය සම්පූර්ණයෙන්ම වාගේ අවසන් නිසා, පත්‍රය කඳෙන් හෝ අතු රිකිල්ලෙන් වියෝවීම ඉතාමත් ආසන්නය. සමහර ශාක පත්‍ර වල මේ අන්තිම මොහොතේ තවත් වර්ණකයක් වන ලිග්නින් (lignin) ක්‍රියාත්මක වී, පත්‍ර වලට දූඹුරු පැහැයක් ලබාදේ. මේ වන විට බාධක පටකය සම්පූර්ණයෙන්ම වැඩී පත්‍රය සහ අතු රිකිල්ල අතර ඇති සම්බන්ධය සහමුලින්ම කපාහරී. බාධක පටකය ඉතා දුර්වල එකක් නිසා සිය කෘති අවසන් කළ මහලු පත්‍රය මඳ සුළඟකින් වුවද, එම ස්ථානයෙන් වෙන්වී,  මව් ශාකයෙන් ගැලවී ගොස් ගස යටම පතිත වේ.  මෙසේ සියලුම පත්‍ර වැටි ගිය පසු, ශාකය සති ගණනාවක්ම ඉපලක් මෙන් තිබී, ඍතුව අවසානයේදී නැවත  සුර්යාලෝකය ලැබෙන විට, යළි දළු ලා,  ප්‍රකෘති තත්වයට පත්වේ.

මෙසේ ශාක පත්‍ර වැටි යාම නිසාම හේමන්තයේ අග සති කිහිපය සහ සිසිරයේ  මුල් සති කිහිපය එකට ගොනු කර ‘පතනය’ (Fall) යනුවෙන්ද හැඳින්වේ.

මේ අතින් බලන කළ මෙම ශාක, ඒ රටවල දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙමින්, සුවිශේෂී වර්ණ විපර්යාස රංගනයක් මගින් සොබා දහමට මහත් කළඑළියක්  ලබාදේ. හරිත වර්ණය තිබියදී මෙන්ම, ටික කලකට හෝ විවිධ වර්ණ සංකලනයන්ගෙන් සමන්විත තුරු වියන් දකින විට, තද ශීතල වටපිටාව ගැනද අමතක වී  මිහිරියාවක්ම ගෙන දේ.

ශීත රටවල් ලෙස හඳුන්වනු ලබන,  ඍතු විපර්යාස පවතින රටවල, පත්‍රපතන ශාකවල දකින්නට ලැබෙන මෙම ලක්ෂණය, ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ඒ තරමටම දකින්නට නොලැබේ. අපගේ රබර්, කොට්ටන්, බෝ වැනි ශාක විශේෂ කිහිපයක සියලුම පරිණත පත්‍ර එක්වරම වාගේ වැටී  ගියත්, ඒවා සතියකදී පමණ අලුතින් දළු ලා පළමු තත්ත්වයට පත්වේ.

          පුප්ඵං මිලායාතී යථා ඉධම්මේ - කායෝ තථා යාථි විනාශ භාවං

යන ගාථා ධර්මයෙන් කියවෙන පරිදි පුෂ්පයක ඇති අනිත්‍ය බව, තම ආහාර තමන් විසින්ම නිපදවා ගනිමින්, විශාල මෙහෙයක් කර, විචිත්‍රවත් රැඟුමක් පා වියැකී යන ශාක පත්‍ර වලින්ද නොඅඩුව පෙන්වන බව අපට සිහියට නැගේ. 'හටගැනීම, පැවතීම සහ වියැකී යාම' මිනිසා ඇතුළු සියලුම ජීවීන්ට මෙන්ම වෙනත් භෞතික වස්තු වලටද උරුමයක් බව තේරුම් ගැනීමට හේමන්තයේ ශාක පත්‍ර බිමට පතිත වීමද  උපයෝගී කර ගනිමු.