Thursday, 18 October 2018

ස්ත්‍රී පුරුෂ භාවය දක්වන සංකේත වල මූලික පදනම කුමක්ද?


    දැනට දශක කිහිපයකට ඉහතදී, අලුත උපන් දරුවෙකු සඳහා ජ්‍යෝතිෂකරුවකු ලවා   ජන්ම පත්‍රයක් සකස් කිරීම පුරුද්දක් වශයෙන් කරන ලදී. මෙම ජන්ම පත්‍රය ඇසුරෙන් පසුව සකස් කරනු ලබන ‘හඳහන’ ජන්මය පිලිබඳ වැදගත්ම සටහන විය. ඒ කාලයේ හඳහන, පුස්කොල තීරුවක පන්හිඳෙන් ලියා, කලු මැද, සකස් කරගන්නා ලද  සටහනක් විය. පුස් කොලයක් යනු විශේෂ ශාස්ත්‍රීය ක්‍රම වේද වලට අනුව සකස්කරගන්නා ලද තල්පතකි. මෙහි සටහන් වන බොහෝ කරුණු කියවා තේරුම් ගත හැකි වනුයේ ජ්‍යෝතිෂය ගැන දන්නා අයෙකුට පමණකි. උපන් වේලාව, නැකත, මුහුර්තය, ගණ පිහිටීම වැනි විවිධ ක්‍ෂේත්‍ර වලට අයත් බොහෝ කරුණු හඳහනෙහි ඇතුලත් වේ. 

දශක හතකට වඩා පැරණි මගේ හඳහන තවමත් ඒ ආකාරයෙන්ම පවතී. එය දෙතුන් වරකට වඩා ප්‍රයෝජනයට ගෙන නොමැති තරම්ය. මට මතක ඇති කාලය තුළදී නම් එහි ඇති කරුණු ගැන විමසිලිමත් වුයේ විවාහ වන අවස්ථාවේදී සහ නිවසක් සැදීමට මුල් පුරන අවස්ථාවේදී පමණය. මාගේ හඳහනේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කර ඇත්තේ ‘පිරිමියා’ යනුවෙනි. ස්ත්‍රී හඳහන් වල මෙය සඳහන් කරණුයේ  ‘ගෑණි’ යනුවෙන් බව දැක තිබේ. හඳහන් ලිවීමේ පැරණි කලාව දැන් දැන් ක්‍රමක්‍රමයෙන් තුරන් වෙමින් පවතින බව පෙනේ.

පැරණි ග්‍රීක් සටහන් වල දැක්වෙන පරිදි, ස්ත්‍රී සහ පුරුෂ බව දැක්වීම සඳහා සංකේත භාවිත කළ බව දකින්නට ලැබේ. මේ සඳහා ග්‍රහ වස්තුවල  සංකේත යොදා ගෙන තිබේ.


මෙයින්, පුරුෂ බව හඟවන කුජ සංකේතයේ දැක්වෙනුයේ පලිහක් සහ හෙල්ලක සංයෝජනයකි. එසේම ස්ත්‍රී බවෙහි සංකේතය වන සිකුරු දැක්වෙන්නේ මිටක් සහිත මුහුණ බලන කන්නාඩියක් ලෙසින්ය. මේවා ලොව පිළිගත් සංකේත බවට පත්විය. ග්‍රීක ව්‍යවහාරයේ ආරම්භ වූ මෙම සංකේත කිසිවක් අපගේ පැරණි හඳහන් වලනම්  දකින්නට නොලැබේ.

1751 වසරේදී ශාක අභිජනනය පිලිබඳ පර්යේෂණ කරණ ලද, ජීවින් නම්කිරීම සඳහා සකස් කර තිබෙන ද්විපද නාමකරණයේ නිර්මාතෘ ලෙස සැලකෙන, ස්විඩිෂ් ජාතික කාල් ලිනෙයස් විසින්, තම පර්යේෂණ සඳහා යොදාගත් ශාක පුෂ්ප, වෙන වෙනම හඳුනා ගැනීම සඳහා මෙම සංකේත භාවිත කර ඇත. දැනුදු විද්‍යාවේ  සහ වෛද්‍ය විද්‍යාවේ, පුං (male) සහ ජායා (female) භාවය දැක්වීම පිණිස මෙම සංකේත බහුලව භාවිත වේ. ලිනේයස්ගේ පර්යේෂණවලට සම්බන්ධ කළ බොහෝ ශාක, ද්විලිංගික වූ නිසා, ඔහුට තවත් සංකේතයක් අවශ්‍ය විය. මේ සඳහා මුල් සංකේත දෙකෙහිම සංයෝජනයක් සකස් කර ගැනීමට සිදුවිය. බුධ ග්‍රහයා සඳහා භාවිතා කළ සංකේතය මේ සඳහා බොහෝ දුරට අදාළ කර ගත හැකි විය.


දශක කිහිපයක් යන තුරුම මෙම සංකේත භාවිත වුවද මෑතක සිට ජීවීන්ගේ පෙළපත් සටහන් (pedigree charts) සකස් කිරීමේදී, පහසුව සඳහා, මුල් සංකේතත් සමගම වෙනත් ක්‍රමවේදයක් උපයෝගී කරගනු ලැබේ. එම සංකේත සටහන් මෙසේය.



ඔබට නිතර දකින්නට ලැබෙන වෙළඳ දැන්වීමක තිබෙන පහත දැක්වෙන සංකේතය හඳුනා ගත හැකිද?

මෙම සංකේතය වෙළඳ භාණ්ඩයක් ප්‍රචාරය සඳහා යොදා ගැනීමකි. එහි දැක්වෙනුයේ පුං භාවය පෙන්වන      “ ♂ ”  සංකේතයයි.

ග්රෙගර් මෙන්ඩල් විසින්, 1854 දී, ශාක වල ගති ලක්ෂණ විදහා දැක්වීම සඳහා ඉංග්‍රීසි අක්ෂර යොදා ගැනීමේ ක්‍රම වේදයක් සොයාගැනීමත් සමග, ජනක විද්‍යාව නමින් ප්‍රවේණිය පිලිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයක් ආරම්භ විය.  ජීවී පෙළපත් සටහන් සකස් කිරීමේදී  මෙම අක්ෂර සංකේත බහුලව භාවිත වේ.

ලිනෙයස් විසින් භාවිත කරන ලද සංකේත, බෙහෙවින් ප්‍රයෝජනවත් වන ආකාරය පහසුවෙන් අවබෝධ කරගත හැකි සරල ක්‍රමයක් පහත දැක්වේ.

සෑම ජීවී සෛලයකම න්‍යෂ්ටියක් තිබෙන බව අපි දනිමු. න්‍යෂ්ටිය තුළ වර්ණදේහ පිහිටන අතර, වර්ණදේහවල ජාන අන්තර්ගත වේ. පහත රූප සටහනේ ශාක සෛලයක ව්‍යුහය දැක්වේ.

                                    
ඊළඟ රුපයේ දැක්වෙන්නේ  වර්ණදේහ යුගලයක ජාන කිහිපයක් පිහිටා ඇති ආකාරයයි.

අප කලින් සඳහන් කළ පරිදි, ජීවීන්ගේ ගැහැණු හෝ පිරිමි භාවය හටගැනීම සඳහා න්‍යෂ්ටියේ ඇති සුවිශේෂී වර්ණ දේහ යුගලයක බලපෑම අවහ්‍ය වේ.

මිනිසා තුළ මෙම සංසිද්ධිය සිදුවන්නේ කෙසේදැයි සැකෙවින් විමසා බලමු.

සෑම  ජීවියෙකුගේම එක් එක් සෛලය තුළ න්‍යෂ්ටිය බැගින් තිබේ. මෙම න්‍යෂ්ටියේ යුගල වශයෙන් තිබෙන වර්ණදේහ සංඛ්‍යාව ඒ ඒ ජීවියාට සුවිශේෂී වේ. පලතුරු මැස්සා වැනි කුඩා ජීවියෙකුගේ වර්ණදේහ යුගල හතරකි. මිනිසාගේ යුගල 23 කි. මෙම වර්ණ දේහ වලින් එක යුගලයක් ලිංගිකතාව තීරණය කරයි. මිනිසාගේ ඉතිරි යුගල 22 හි ඇති ජාන මගින් අනිකුත් විවිධ ගති ලක්ෂණ හුවා දක්වනු ලබයි. වර්ණදේහ යුගලයෙන් එකක් මවගෙන් ලැබී ඇති අතර දෙවැන්න ලැබෙනුයේ පියාගෙනි.  එකාකාර වර්ණදේහ යුගලයක එකම සෙව්වේ තිබෙන ජාන මගින් යම්කිසි සුවිශේෂී ගති ලක්ෂණයක් පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන් මිනිසාගේ හිසකෙස් රැලි සහිත භාවය සඳහා අවශ්‍ය ජානය එක් වර්ණදේහ යුගලයක අන්තර්ගත වේ. මෙවැනි ගති ලක්ෂණ දහස් ගණනක් මෙහෙයවනු ලබන ජාන වර්ණ දේහ වල විසිරී පවතී.

සාමාන්‍ය වර්ණදේහ වල අන්තර්ගත ජාන මගින් බොහෝ ගති ලක්ෂණ පිළිබිඹු කරන අතරම,  ලිංගිකතා වර්ණදේහ වල පිහිටන ජාන මගින් පාරම්පරික ලෙඩ රෝග හටගැනීම, පිරිමින්ගේ තට්ටය පැදීම, වර්ණ අන්ධභාවය   වැනි ඉතා සුවිශේෂී ලක්ෂණ ඉස්මතු කරයි.

ඕනෑම ජීවී ගහණයක (මිනිස් හෝ වෙනත්), පුං (male) සහ ජායා  (female) ජීවීහු බොහෝ දුරට 1 : 1 අනුපාතයට අනුව දකින්නට ලැබේ. නැතහොත් පිරිමි සහ ගැහැණු ප්‍රතිශතය සියයට පනහ ප්‍රමාණයකට ආසන්නව පවතී. මෙම සංසිද්ධිය සොබා දහමේ ප්‍රාතිහාර්යයක් ලෙස සැලකිය හැකිය.

මෙම අති සුක්‍ෂම ක්‍රියාවලිය පහසුවෙන් විග්‍රහ කිරීම පිණිසද අප කලින් සඳහන් කළ සංකේත භාවිත කළ හැකිය.

මිනිසා ඇතුළු අනිකුත් සතුන්ගේ සහ ශාකවල අලුතින් ජීවියෙක් හට ගැනීම සඳහා පුං ජන්මාණු (male gametes) සහ ජායා ජන්මාණු (female gametes) සම්බන්ධ වී සංසේචනයක් සිදුවිය යුතුය. මෙය ලිංගික ප්‍රජනනයයි.

මෙහිදී ක්‍රියාත්මක වන්නේ කලින් සඳහන් කරණ ලද පරිදි, ජීවීන්ගේ ලිංගිකතාව විදහා දක්වන වර්ණදේහයි.  මිනිසාගේ ප්‍රජනන    ක්‍රියාවලිය සලකා බැලීමේදී, කලින් සඳහන් කළ ආකාරයට, මිනිස් ගහණයේ ස්ත්‍රී පුරුෂ සමානුපාතය බොහෝදුරට 1 : 1 මට්ටමෙන් රඳා පවතිනුයේ ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ ලිංගික වර්ණදේහ වල තිබෙන වැදගත් එකිනෙකට වෙනස් ලක්ෂණයක් නිසාය.


ස්ත්‍රියකගේ  එකාකාර ලිංගික වර්ණදේහ යුගලය XX ලෙස හඳුන්වන අතර පුරුෂයෙකුගේ එකිනෙකට වෙනස් ලිංගික වර්ණදේහ යුගලය XY ලෙස හැඳින්වේ. ස්ත්‍රියකගේ X වර්ණදේහය සහ පුරුෂයෙකුගේ X වර්ණදේහය බොහෝදුරට සමානය. එහෙත් පුරුෂයෙකුගේ Y වර්ණදේහය  X වර්ණදේහ වලට වඩා හාත්පසින්ම වෙනස් වේ.

ස්ත්‍රී භාවයේ සහ පුරුෂ භාවයේ  වෙනසට පාදක වනුයේ මෙම ලක්ෂණයයි.

ජන්මාණු හටගැනිමේදී සහ ජන්මාණු සංසේචනයකදී මෙම ප්‍රාතිහාර්යය සිදුවී මිනිස් ගහණයේ පුං (male) සහ ජායා  (female) ජීවී අනුපාතය (පිරිමි : ගැහැණු) සමතුලිතාව පවත්වා ගැනෙනුයේ කෙසේද යන්න විමසා බලමු.


                                                              
පිරිමියාගේ පුං ජන්මාණු වන ශුක්‍රාණු හටගනුයේ වෘෂණයේය. ස්ත්‍රියගේ ජායා ජන්මාණු වන ඩිම්බ හටගනුයේ ඩිම්බ කෝෂයේය. සාමාන්‍ය සෛල වල වර්ණදේහ යුගල වශයෙන් පැවතියත් ජන්මාණු හටගන්නා විශේෂිත ස්ථාන වල එම ක්‍රියාවලිය සිදුවන විට ලිංගික වර්ණදේහ යුගලයේ කොටස් දෙක එකිනෙකින් වෙන්වේ. එනම් පිරිමියාගේ XY යුගලයේ X සහ Yවෙන වෙනමත්, ස්ත්‍රියගේ XX යුගලය X සහ  X ලෙසත් වෙන්වේ. මෙසේ වෙන්වී ඒවා ජන්මාණු බවට පත්වේ. මේ නිසා පිරිමියෙකු දෙආකාරයක ශුක්‍රාණු නිපදවන අතර ස්ත්‍රියකගේ ඩිම්බ හටගනුයේ එක් ආකාරයකින් පමණකි. මෙය සිදුවන්නේ කෙසේද යන්න ඉහත සටහනේ දක්වා ඇත.

ලිංගික එක් වීමකදී පරිණත ඩිම්බයක්, ශුක්‍රාණුවක් මගින් සංසේචනය වීම ඉතාමත් අහඹු ලෙස සිදුවේ. මෙම අහඹු සිදුවීමෙහි ආකාර හතරක්  ඉහත සටහනේ දැක්වේ. අවසානයේදී සමස්ත මිනිස් ගහණයම පොදුවේ ගත් කළ, ස්ත්‍රී පුරුෂ අනුපාතය, 1 : 1  ලෙස පවතිනුයේ මෙම සංසිද්ධිය නිසාය.

ඕනෑම ජීවී ගහණයක, පුං සහ ජායා ජීවී සමානුපාතය, රඳා පවතින්නේ  පුං ජීවියාගේ ලිංගිකතා වර්ණදේහ යුගලයේ  Y වර්ණදේහය නිසා බව මෙයින් පැහැදිලි වේ.

විවිධ සංකේත වලින් හඳුන්වනු ලබන මිනිසාගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ අනිකුත් සියලුම ජීවීන්ගේ පුං සහ ජායා ලිංගික ස්වභාවයන් පවත්වා ගනිමින් ජෛව ලෝකයේ විවිධත්වය රඳා පවතින්නේ පුං  ජීවියාගේ Y සංකේතයෙන් හඳුන්වනු ලබන වර්ණදේහය නිසාය.







 




Wednesday, 10 October 2018

දිඹුල යන නමින්ද හැඳින්වෙන, අත්තික්කා ගස්වල, මල් හට ගන්නේද ?......

  දැනට වසර හාරසියයකට පමණ පෙර, අලගියවන්න මුකවෙටි තුමා විසින් රචනා කරන ලද සුභාෂිතය, ශ්‍රී ලංකාවේ ඉතා උසස් ගණයේ කාව්‍ය සංග්‍රහයක්  ලෙස ප්‍රචලිතය. අප අටවෙනි පන්තියේ ඉගෙනුම ලබද්දී, සිංහල සාහිත්‍යය සඳහා සුභාෂිතය එක් පාඨ ග්‍රන්ථයක් විය. සුභාෂිතයේ දැක්වෙන එක් කවියක ඇති උපමාවක් නිසා, මෑත කාලයේ  මා සහභාගිවූ සේවාස්ථ පුහුණුවකදී, ගැටලුවක් මතුවිය. එදින විමසිල්ලට ලක්වූ ගැටලුව සහ එයට අදාළ පද්‍යය  මෙසේය:
පහත දැක්වෙන මෙම පද්‍යයේ  සඳහන් පරිදි, දිඹුල ගස්වල මල් හට ගන්නේ නොමැතිද? 



දිඹුල යන නමින්ද හැඳින්වෙනුයේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම දකුණු ආසියානු රටවල, බහුලව දකින්නට ලැබෙන අත්තික්කා ශාකය වේ. මෙම ශාකය අයත් වන්නේ Ficus නම් ශාක ගණයටය. බෝ, නුග වැනි ශාකද මෙම ගණයටම වැටේ. ඔබට හුරු පුරුදු, බෝ ගස්වල හෝ නුග ගස්වල, වෙනත් මල් හටගන්නා  ගස් වල මෙන්, මල් පිපී තිබෙනු ඔබ කිසිවිටක දකින්නට නැති බව සත්‍යයකි. එහෙත් මෙම ගස්වල ගෙඩි හටගන්නා බව ඔබ නිරීක්ෂණය කර ඇත. Ficus ගණයටම අයිති, අත්තික්කා හෝ දිඹුල් ගස් වලත් එසේමය.  දිඹුල් ගසට උදුම්බර යන නමකුත් යෙදෙන බව සාහිත්‍ය පොත්වල හමුවේ.

ශීත දේශගුණය හෝ  මධ්‍යධරණී දේශ ගුණය පවතින රටවල Ficus ගණයටම අයිති  ෆිග් (Fig) නම් ශාකයේ ඵලය රසවත් පලතුරු විශේෂයකි. 

මෙම ගස් වල, පෙනෙන්නට මල් නොමැතිව ගෙඩි හටගන්නේ කෙසේද?  සුභාෂිතයේ  අලගියවන්න මුකවෙටි පඬිතුමා කියන්නේත්, මල් නොමැති දිඹුල් ගසකට කෙතරම් ජලය දමා සත්කාර කලත්, මල් හට නොගන්නා බවයි. මා කලින් සඳහන් කළ කාර්ය සැසියේදී මතුවූ ගැටලුව මෙයයි.

මල් හටගන්නා හෝ හටනොගන්නා බව සෙවීමට පෙර, මෙම Ficus ගණයට අයිති ඉහත සඳහන් කළ ශාක කිහිපයක තොරතුරු මඳක් විමසා බලමු. අප බොහෝ දෙනෙකු දැක ඇති අත්තික්කා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය Ficus recemosa වේ. මේවා ගංගා, ඇළ, දොළ ඉවුරුවල වැඩෙන, සාමාන්‍ය ප්‍රමාණයේ ශාක වේ. ශාකයේ ප්‍රධාන කඳේ සහ අතුවල ලොවි ගෙඩියක් තරම් විශාල, කහ පැහැයට හුරු කොළ පැහැති ගෙඩි, පොකුරු වශයෙන් හටගනී. ඉදුණු අත්තික්කා ගෙඩි රසවත් පලතුරකි.
    
   
අත්තික්කා ගසට වඩා කුඩා, ‘කොට දිඹුල’ ශාකයද ගංගා ඉවුරු වැනි ජලාශ්‍රීත ස්ථානවල වැඩෙන ශාකයකි. මේ ශාකයේ පත්‍ර බූව සහිතය. තද කොළ පැහැති ගෙඩි හටගනුයේ අත්තික්කා වල මෙන්ම කඳෙහිය. මෙහි ගෙඩි පළතුරක් ලෙස නොගනී. විද්‍යාත්මකව මෙම ශාකය හඳුන්වන්නේ Ficus hispida  යන නමිනි. සමහර අවස්ථාවල මෙය ‘කොට කිඹුල’ යන වැරදි නමකින්ද හඳුන්වණු දකින්නට ලැබේ.

අත්තික්කා  වලට බොහෝදුරට සමාන මධ්‍යධරණී ප්‍රදේශවල සහ ශීත රටවල වැවෙන ‘ෆිග්’ (Fig) නමැති ඉතාමත් ජනප්‍රිය පලතුරු වර්ගයක්ද තිබේ. මෙම ශාකය  හඳුන්වනුයේ  Ficus carica  යන නමින්ය. ෆිග් ඵලය රට ජම්බු ගෙඩියක් තරම් විශාල, මුලින් කොළ පැහැයට තිබී පසුව දම්පැහැයට හුරුව ඉදෙන ප්‍රනීත රසයකින් යුක්ත පලතුරකි. ඉදුණු ෆිග් ගෙඩියක රස විඳින ආකාරය මෙම දිගුව ඔස්සේ බලන්න. 
                       https://www.youtube.com/watch?v=n7uWSAfVO9g   
              
මේ කිසිම Ficus  ශාකයක බාහිරින් පෙනෙන මල් හට නොගනී. ඒවායේ හටගන්නා ඵල / පුෂ්ප මංජරියෙන්ම සැදුණු, ගෙඩි වල සුවිශේෂී ලක්ෂණය නිසාම උද්භිද විද්‍යාවේදී එයට cyconium යන නම ව්‍යවහාර වේ. පුෂ්ප මංජරියම මාංශල වී එය තුළ ඉතා කුඩා පුෂ්ප හටගැනීම යන අර්ථය එයින් හැඟවේ. මෙය සිංහල පාරිභාෂික පදමාලාවේ ‘ප්‍රාග් උදුම්බරය’ නම් රමණීය නමකින් දැක්වේ. මෙය පරිණත වී හටගන්නා ඵලය 'උදුම්බරය' නමින් හැඳින්වේ. (මෙසේ නම් කිරීමට හේතුවක් තිබේ). 

අත්තික්කා, නුග, බෝ වැනි ඕනෑම  Ficus ශාකයක උදුම්බරයක් දික් අතට කපා බැලුවහොත් අපගේ ගැටලුවට විසඳුමක් පහසුවෙන් ලබාගත හැකිය.  

 



                                                                                                                                   
මෙහි දැක්වෙනුයේ, උදුම්බරයක දික් කඩක සටහනකි. (තනි පුෂ්පය සියවරක් පමණ විශාලනය කර ඇත)  මෙම දික් කඩ හොඳින් නිරීක්ෂණය කළ විට, මාංශල උදුම්බරය තුළ කුඩා පූමංගි (male) සහ ජායංගි (female) පුෂ්ප රාශියක් තිබෙන බව දකින්නට ලැබේ. පුෂ්ප පරිණත වන විට උදුම්බරය අග්‍රයේ ඇති සිදුර විවෘතවේ. මෙය හරහා ඇතුල් වන කෝඳුරුවන් වැනි කුඩා කෘමින් පුෂ්ප පරාගණය කරති. උදුම්බරයක් තුළ කුඩා පුෂ්ප දහස් ගණනක් තිබේ. පරාගණයෙන් පසු මාංශල උදුම්බරය තුළ ඇති සෑම පුෂ්පයකින්ම ඉතා කුඩා බීජය බැගින් හටගනී. 

ඉදුණු ෆිග් උදුම්බරය ඉතා රසවත් පලතුරකි.

සුභාෂිත කතුවරයා සිතන්නට ඇත්තේ, සල්මලක් හෝ නා මලක් තරම් විශාල පුෂ්ප ගැන වන්නට ඇත. සාමාන්‍ය අත්කාචයක් තුලින් බැලීමෙන් උදුම්බරය තුළ ඇති මෙම කුඩා පුෂ්ප හඳුනා ගැනීම පහසුය. මේ නිසා Ficus ශාක, සපුෂ්ප ශාක බව නිගමනය කළ හැකිය.
ප්‍රායෝගික නිදර්ශනද සහිතව කරන ලද මෙම විස්තරය මගින් කාර්ය සැසියේදී මතුවූ ගැටලුව නිරාකරණය කර ගත හැකි විය.
      
·      අත්තික්කා ගෙඩියට උදුම්බර නාමය ගැලපීම ගැනද සාහිත්‍යයේ දැක්වෙන පැරණි සිද්ධියක පසුබිමක් තිබේ. එය මෙසේය: 

අපේ සාහිත්‍යයේ, ජාතක පොතහි  දිගම ජාතක කතා වස්තුව  උම්මග්ග ජාතකයයි. මෙහි අතුරු කතාවක් ලෙස සිරි කාලකන්නි ප්‍රශ්නය දක්වා තිබේ.


දිසාපාමොක් ඇදුරුතුමාගේ දක්ෂතම ශිෂ්‍යයා පිංගුත්තර නම් තරුණයෙක් විය. ඇදුරු තුමාගේ සිරිත අනුව, ඔහුගේ දක්ෂතම ශිෂ්‍යයා වන පිංගුත්තරට, තම දියණිය විවාහ කර දෙන ලදී. මේ තරුණයා ස්ත්‍රීන් ඇසුරට බොහෝ  අකමැති කෙනෙකි. විවාහ වී නව මනාලිය සමග, සිය ගම බලා යන ගමනේදී ඔවුනට කුසගින්නක් හට ගත්තේය. අතරමග ඉදුණු ගෙඩි පිරී  තිබුණු අත්තික්කා ගසක් දකින්නට ලැබුණි. පිංගුත්තර ගසට ගොඩවී, ගෙඩි කඩා කන්නට පටන් ගත්තේය. බිම සිටි කාන්තාව ඔහුගෙන් කෑමට   අත්තික්කා ගෙඩි ඉල්ලු විට “ඇයි ගසට නැග ගෙඩි කඩා ගන්නට තිට අත් පා නැද්ද?” කියා ඔහු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඇයට, තම සැමියාගෙන් පිළිසරණක් නැති බව දැනගත් විට, බඩගිනි නිසාම, ගෙඩි කඩා කෑම සඳහා ගසට ගොඩවීමට සිදුවිය. ඇය ගසට ගොඩවූ වහාම ගසෙන් බැසගත්  පිංගුත්තර, ඇයට ගහෙන් බැසීමට නොහැකි වන පරිදි,  ගස වටේට කටු ඉපල දමා පැන ගියේය. කාන්තාවට ගසෙන් බැස ගැනීමට  නොහැකිව ගස උඩම සිටියාය.

මේ වෙලාවේ, වේදේහ රජු, පරිවාර සෙනග සමග ඇතුන් පිට, සංචාරයේ යන විට ගස උඩ සිටින, මේ කාන්තාව දකින්නට ලැබුණි. ඇයගේ රූප ශෝභාවට රජුගේ සිත ඇදී ගියේය.  හිමිකාරයෙක් නැති වස්තුව තමන් සතු වන  නිසා, රජතුමා ඇය තමන් භාරයට ගෙන අග මෙහෙසිය කරන්නට යෙදුණි. අත්තික්කා නොහොත් උදුම්බරා ගහක් උඩ සිට හමු වුන නිසා ඇයට “උදුම්බරා දේවිය” කියා නම තබනලදී.

අපේ පාරිභාෂික වචන සකස් කිරීමේදී cyconium යන  දිඹුල් හෝ අත්තික්කා මාංශල ඵලයට ‘උදුම්බරය’ යන නම ලැබී තිබෙන්නේ මේ සිද්ධිය ආශ්‍රීතව බව පෙනේ.

Ficus ගණයේ සමහර ශාක, ඈත අතීතයේ සිටම, මිනිසාගේ සංස්කෘතික සහ ආගමික කටයුතු හා බැඳුනු තොරතුරු හා  සමබන්ධ වී ඇති  බව දකින්නට ලැබේ. 

   1. ගෞතම බුදුරජාණන් වහන්සේට  භාවනානුයෝගීව වැඩ සිට,  බුද්ධත්වය    ලබාගැනීමට සෙවන දුන්,  Ficus ගණයට අයත් පූජනීය වෘක්ෂය වනුයේ, ජය ශ්‍රී මහා  බෝධියයි.  එම උදාර සිද්ධිය නිමිති කරගෙන, බෝ ශාක,  Ficus religiosa යන  නමින් හැඳින්වේ. ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ලෙස අනුරාධපුරයේ  රෝපණය කර තිබෙන, ශ්‍රී මහා බෝධියට වසර 2250 කට වැඩි ඉතිහාසයක් තිබේ. ශ්‍රී මහා බෝධිය ලොව වාර්තා ගත, පැරණිම රෝපණය කරන ලද ශාකය ලෙසද, ඉතිහාස ගත වී ඇත.  ඝර්ම කලාපීය වනාන්තර වල බහුල, Ficus benghalensis  යන නමින් හැඳින්වෙන නුග ශාකද බෞද්ධ ඉතිහාසයේ බොහෝ සිද්ධි හා සමබන්ධව පවතී.

    2. මැද පෙරදිග නිජ භුමිය වන  Ficus carica,  ෆිග් (Fig) ශාකයද, ක්‍රිස්තු ආගමේ සමහර සිද්ධි හා බද්ධව පවතින බව පෙනේ. හීබෲ බයිබලයේ සඳහන් වන තුන්වන ශාකය ෆිග් ශාකයයි. එසේ සඳහන් වන පළමු සහ දෙවන ශාක, ජීවන ශාකය සහ ප්‍රඥා ශාකය වන අතර තුන්වැන්න සඳහා දක්වා ඇත්තේ ෆිග් (Fig) ශාකයයි. මෙයට අදාළ Genesis 3:7 බයිබල් පාඨය මෙසේය:
      
     The fig tree is the third tree to be mentioned by name in the Hebrew Bible. The first is the Tree of life and the second is the Tree of the knowledge of good and evil. Adam and Eve used the leaves of the fig tree to sew garments for themselves after the Fall, when they realized that they were naked (Genesis 3:7).    ආදම් සහ ඒව දැක්වෙන චිත්‍ර සටහන් වල, නග්න බව වැසීම සඳහා ෆිග් ශාක පත්‍ර යොදා ගනු ලබන්නේ මෙම බයිබල් වැකිය ආශ්‍රීතව විය හැකිය.
     
  3. මුස්ලිම් බැතිමතුන්ගේ, ශුද්ධ කුරානයේද, (Quran, 95:1) වාක්‍යයෙන් ෆිග් ඵලයෙන් ලැබෙනමහත් ඵල ප්‍රයෝජන සහ එහි  වැදගත් කම ගැන විග්‍රහයක් කර තිබෙන්නේ මෙසේය:
              
           

මම ෆිග් සහ ඔලිව් නාමයෙන් (දිවුරමි)

( The reference to the Fig fruit  in the first verse of Surat at-Tin, is a wisest one in terms of the benefits imparted by this fruit )
මෙම කරුණු ගැන සිතා බලනවිට, Ficus ගණයට අයත් ශාක, මිනිසාගේ  ආරම්භ යුගවල සිටම, මිනිසාට මහත් ඵල ප්‍රයෝජන ලබාදී ඇති බවට බොහෝ සාක්ෂි සොයා ගත හැකිය. 
අපගේ ඇසට, දුරක සිටම පෙනෙන පුෂ්ප නොදැරුවත්, මෙම ශාකවල උදුම්බරය තුළ, කුඩා අන්වීක්ෂීය පුෂ්ප, දහස් ගණනක් ඇත. මාංශල උදුම්බරය තුළ සැඟවී තිබෙන ඉතා කුඩා පූමංගි පුෂ්ප මගින්  ජායංගි පුෂ්ප පරාගණය කිරීම සඳහා, සමනලයින්, මිමැස්සන් වැනි කෘමින්ට ඇතුලට රිංගා යාමට නොහැකිය. ඒ වෙනුවට එම කාර්යය සඳහා උදුම්බරය අග්‍රයේ ඇති, ඉතා කුඩා විවරය හරහා යාමට හැකියාව තිබෙන කෝඳුරුවන් වැනි කුඩා කෘමින් අනුවර්තනය වී තිබේ. 
ස්වභාව ධර්මයේ අපූර්ව සිදු වීමක් වන මෙය, ශාක සහ සත්ත්ව විශේෂ අතර සහසම්බන්ධතාව සිදුවන ආකාරයට සිදුවී ඇති  පරිණාමයේ, හොඳම උදාහරණයක් ලෙසද සැලකිය හැකිය.
(බයිබලයේ සහ කුරානයේ පාඨ අන්තර්ජාලයෙනි.)  
 



Wednesday, 3 October 2018

මවකගේ සෙනෙහසේ ‘සුවඳ’ …

මවකගේ සෙනෙහසේ ‘සුවඳ’ …

2004 දෙසැම්බර් මස 26 වනදා ග්‍රීනිච් වේලාවෙන් හිමිදිරි පාන්දර, 1.00 ට පමණ ඉන්දුනීසියාවේ, සුමාත්‍රා දිවයිනේ උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ, මහා පරිමාණයේ භූ චලණයක් සිදුවිය. (එරට  වේලාවෙන් පෙරවරු  08.00 පමණ).  විශාලත්වය ඒකක 9.0 ක් ලෙස රිච්ටර් මාණකයේ සඳහන්වූ මෙම භූ චලණය නිසා, සුමාත්‍රා දිවයින අවට මුහුදේ සුනාමි තත්ත්වයක් හටගත්තේය. 

ඒ සමගම සිදුවූ තවත් මහා පරිමාණයේ කම්පන රාශියක් නිසා සුනාමි තත්ත්වය තවත් උග්‍ර විය. ඉන්දුනීසියාවෙන් ආරම්භ වූ සුනාමි මහා මුහුදු රළ, ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, මලයාසියාව, මාල දිවයින් සහ තායිලන්තය වැනි රටවලටත්, අප්‍රිකා  මහාද්වීපයේ නැගෙනහිර වෙරළේ පිහිටි, සෝමාලියාව, යේමනය වැනි රටවල මුහුදු තීර වලටද පැතිරී ගියේය.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9:40 ට පමණ සුනාමි රළ අපගේ මුහුදු තීරය ආක්‍රමණය කළේය. මෙම ව්‍යවසනය නිසා, මිනිත්තු කිහිපයකදී,  මෙතෙක් කිසිදිනක අසන්නට නොලැබුණු ආකාරයේ, මිනිස් ජිවිත සහ දේපල හානියක් සිදුවිය. ශ්‍රී ලංකාවේ මිනිස් ජිවිත 30,000 කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් මරු වැළඳ ගත්හ. මහා විනාශයක් සිදුවූ හම්බන්තොට වෙරළ තීරයේ පමණක් මිනිස් ජිවිත   4500 පමණ හානි වූ බව වාර්තා විය.

නැගෙනහිර වෙරළ තීරයේ සහ හම්බන්තොට ප්‍රදේශයේ මුහුදු රළ මීටර් හතක පමණ උසට විසිරුණු බවද , මේ නිසා වෙරළාසන්න ප්‍රදේශ යට කරගත් මහා ජලකඳ, සමහර ස්ථාන වල මීටර් දෙතුන් සියයක් දුරට රට අභ්‍යන්තරයටද  ප්‍රචණ්ඩ ලෙස ගලා ගිය බවද වාර්තා විය. 

පෙ.ව 6.50 ට කොළඹින් පිටත්වූ අංක 50 දරණ  මාතර ශීඝ්‍රගාමී දුම්රිය, මේ වෙලාව වනවිට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට  ධාවනය වෙමින් තිබිණ. මගීන් 1700 ක් පමණ රැගත් මෙම  දුම්රිය, හික්කඩුව තෙල්වත්තේදි සුනාමි දිය රකුසා විසින් ඩැහැ ගන්නා ලදී. මෙම දුම්රියේ ගමන් කල සියලු දෙනාම පාහේ පවුල් පිටින්ම මෙම ඛෙද වාචකයට ගොදුරු වූහ.

කඩිනමින්ම මෙම සිද්ධිය ලොව පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ලෝකයේ දස අතින්, විපතට පත් අයට උපකාර කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ සහන සේවා ගලා එන්නට විය. මේ අතර රට අභ්‍යන්තර විවිධ සංවිධාන මගින්ද සහන සේවා ක්‍රියාත්මක කරන ලදී. 

මුහුදුබඩ ප්‍රදේශවල සිදුවූ දේපල හානි, අවතැන්වීම් ආදිය පිලිබඳ සත්‍ය තොරතුරු ලබාගැනීම සහන සේවා සඳහා අත්‍යවශ්‍ය විය.  මේ සඳහා සති කිහිපයක් ඇතුලතදී ස්වෙච්ඡා  සේවා කණ්ඩායම් සියයක් පමණ ස්ථාපනය කිරීම පිණිස  ආපදා සේවා අංශය යොමු වූයේය.

එකල අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළ මටද, මෙයින් එක් කණ්ඩායමක් භාරව යාමට අවස්ථාව ලැබිණ. මගේ කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන් සහ තවත් ස්වේච්ඡා සේවා තරුණයින් දස දෙනෙක් විය. අපට පැවරෙන වැඩ කටයුතු පිළිබඳව එක්දින කාර්ය සැසියකින් පසු, අවශ්‍ය ලියකියවිලි සහිතව, ආපදා සිදුවී ඇති ස්ථාන වලට යාමට පහසුකම් සලස්වන ලදී. 

අපට යාමට සිදුවුයේ තංගල්ල නගරය අසල මුහුදු තීරයටය. එහි විහාරස්ථානයක තාවකාලික නවාතැන් ලැබිණ. එහි මුහුදු තීරයේ කිලෝමීටර තුනක් පමණ ප්‍රමාණය අපට අධීක්ෂණය කිරීමට සිදුවිය.

විනාශවූ ගෙවල් දොරවල්, වතුපිටි, දේපල ආදිය දුටු  අප කවුරුත් මහත් සංවේගයට පත්වූවෙමු.  විනාශය නිසා ඇතිවූ සුන්බුන් මත එකතුවූ, මුහුදු මඩ සහ සමහර ස්ථානවල වැසිකිලි වලවල් උතුරා යාම නිසා ගලාගොස් ඇති මිනිස් අසූචි, තැනින් තැන තිබුණු මියගිය සතුන්ගේ කුණුවෙමින් පැවති  සිරුරු ආදිය නිසා ඇතිවූ දුර්ඝණ්දයද නොතකා, අපට මහත් පරිශ්‍රමයකින් නියමිත කාර්යයන් කිරීමට සිදුවිය. 

කෙතරම් බාධක ඇතත් අපගේ සමීක්ෂණ කටයුතු ඉතාමත් නිවැරදිව කිරීමට අපි සමත් වූයෙමු.

සමීක්ෂණ කටයුතු ආරම්භ කර තුන්වන දිනයෙදී, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා (United Nations Volunteers – UNV) සහන සේවා කාර්යාංශයේ කාන්තාවක්ද, අපගේ කණ්ඩායමට සම්බන්ධ කරන ලදී. ඇය ළමා මනෝ විද්‍යාව පිළිබඳවද අධ්‍යයනයක් කර ඇති තැනැත්තියක වුවාය. 

තුන්වන දිනයේ සිට, අපට වැඩිකාලයක් ගත කිරීමට සිදු වූයේ, ඒ වන විට සහන කඳවුරු වල රඳවා සිටි අයගේ තොරතුරු ලබාගැනීමටය. මෙම ස්ථානවල සිටි දෙමාපියන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමාපියන් සහ  මේ කිසි දෙයක් ගැන හැඟීමක් නොමැති ළමා ලපටියන්ගේ ඛෙද වාචක අසා අපගේ ඇස්වලටද   කඳුළු ගලා ආ අවස්ථා එමටය.

අප කණ්ඩායමට එක්වූ විදේශීය කාන්තාව, ස්වීඩන් ජාතික, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වුවාය. එරට විශ්ව විද්‍යාලයයක, පෙරදිග භාෂා පිලිබඳ අධ්‍යාපනය ලබිමින් සිටි, කැරොලින් නම්වූ ඇය, චතුර ලෙස සිංහල කතාකිරීම අපට පුදුමයට කරුණක් විය. සිංහල දන්නා නිසාම, ශ්‍රි ලංකාවේ සුනාමි ආපදා කටයුතු සඳහා තමන් විශේෂයෙන් තෝරාගන්නා ලද බව ඇය සතුටින් ප්‍රකාශ කළාය. 

පිරිපුන් දේහ ලක්ෂණ සහ සුදු හම සහිත ඇය, හොඳින් සිංහල කතාකළ නිසාම, අනාථ කඳවුරුවල සිටි කාන්තාවන් අතර  ඉතාමත් ජනප්‍රිය වූවාය. බොහෝ විට කුඩා දරු දැරියන් ඇය පසුපස යමින් ඇයගෙන් නොයක් දේ ප්‍රශ්න කරන බව අපට දකින්නට ලැබිණ. කුඩා දරුවන් මුහුණපා සිටින අසහනයෙන්, මොහොතකට හෝ, ඔවුන් මුදාගැනීම ඇය මහත්සේ ප්‍රිය කළාය.

දින කිහිපයකින්ම ඇය දරුවන්ගේ ‘සුදු අම්මා’ විය.
  
පසු දිනක, අපට දෙමාපියන් අහිමිවූ දරුවන් පමණක් සිටින අනාථ කඳවුරක තොරතුරු ලබාගැනීමට සිදු විය. එහිදීද කුඩා දරුවන් ‘සුදු අම්මා’ සමග මහත්සේ කුළුපග විය. එහි සිටි වයස අවුරුදු තුන හතර පමණ වයසේ වූ සමහර දරුවන් ගැන කිසිම තොරතුරක් එතෙක් අනාවරණය වී නොතිබුණි. 

මේ අතර, වයස අවුරුදු පහක් හයක් පමණ විය හැකි එක් දැරිවියක් අන් අයගෙන් ඉවත්වී, ඇඟිල්ල උරමින්, ඉතාමත් දුක්මුසු විලාසයකින් පිටත බලාගෙන සිටිනු දකින්නට ලැබිණ. මේ බව දුටු ‘සුදු අම්මා’ ඇය වෙත ගොස් කථා කළාය. කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ දැරිය අහක බලා ගත්තාය. ඒ අසල තිබු පුටුවක හිඳගත් ඇය, දැරිය තමාගේ උකුලට ගෙන හිස අතගාමින් යමක් කීවාය. කිහිප වරක් ප්‍රශ්න කිරීමෙන් පසු දැරිය ඇයගේ නම තමාලි බව කීවාය. 

ඇස් වල කඳුළු පුරවාගත් දැරිය එක වරටම කැරොලින්ගේ  මුහුණ දෙස බලා,

‘අපේ අම්මා කෝ?’ කියා ප්‍රශ්න කළාය.

එයට පිළිතුරක් දීමට සැරසෙන විටම  දැරිය, 

‘මට ගෙදර යන්න  ඕනෑ’ කියමින් හඬන්නට පටන් ගත්තාය.

තම උකුලේ සිටි දැරියගේ හිස අතගාමින්ම ‘සුදු අම්මා’ තවදුරටත් ඇය අස්වැසුවාය.

‘මේ බලන්න......,  මම...නේ....., තමාලි දුවගේ අම්මා, බලන්නකෝ.... දුවත් මම වගේ.....මනේ...!’ කියමින් ඇය දැරිය තවත් තුරුල් කර ගත්තාය.

‘ඔයා සුදු නේ...., අපේ අම්මා ඔච්චර සුදු නැහැ.’ කී දැරිය ඇයගේ මුහුණ දෙස මඳ වේලාවක් බලාසිට,

‘කෝ ..... අපේ ‘අම්මගේ සුවඳ’ ඔයා ළඟ නැහැනේ!’ කියා  ‘සුදු අම්මා’ගේ උකුලෙන් බිමට බැස පසෙකට වුවාය.

කැරොලින්ට තරමක ලැජ්ජාවක් ඇතිවුවාක් මෙන් මට දැනිණ.

මට කථාකළ ඈ,

‘What does she mean by ‘අපේ අම්මගේ සුවඳ’? යන ප්‍රශ්නය ඉංග්‍රීසියෙන් ඇසුවාය.

දැරිය කැරොලින්ගේ ප්‍රශ්නයට දුන්  පිළිතුරේ සැඟවුණු අර්ථය සහ එය කැරොලින් තේරුම් ගත් ආකාරයත් අතර අති විශාල හිඩැසක් ඇති බව මට පහසුවෙන් වැටහී ගියේය. ඒ නිසා කැරොලින් මගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දීම සඳහා මට තරමක් දුරට කල්පනා කරන්නට සිදුවිය.

මා කල්පනා කරමින් සිටින  අතර කැරොලින්,

‘තමාලි, ඒ කියන්නේ එයාගේ අම්මගේ perfume එකක සුවඳ ගැනද?’ කියා නැවතත් මගෙන් සිංහලෙන් ඇසීය.

කැරොලින්ගේ perfume සම්බන්ධ දෙවන ප්‍රශ්නය නිසා අවස්ථාවට ගැලපෙන පිළිතුරක් දීම තවදුරටත් දුෂ්කර වන බව මට පෙනී ගියේය.

මවකගේ ‘සෙනෙහසේ සුවඳ’ සහ සුවඳ විලවුන් වර්ගයක ‘සුවඳ’ අහසට පොලොව මෙන් දුරස් බව අපගේ සංස්කෘතිය ගැන මනා හැඟීමක් නොමැති කැරොලින්ට විස්තර කිරීමට මට නොහැකි විය.

මට තමාලි ගැන මහත් අනුකම්පාවක් ඇතිවිය.  ‘අම්මගේ සුවඳ’  වශයෙන් ඇය කියන්නට ඇත්තේ මවගේ සෙනෙහස සමග තදින් බැඳී ඇති, ආඝ්‍රාණයට පමණක් සිමා නොවූ, පසිඳුරන්ටම දැනෙන  ඒ ආශ්චර්යමත් බලවේගය වන්නට ඇත. කුඩා දැරියට සෙනෙහස කැටිවූ එම ළයාන්විත භාවය, සුවඳක්ම විය හැකිය. දැරියගේ එම චිත්ත ස්වභාවය මම කැරොලින්ට විස්තර කර දීමට උත්සාහ කලෙමි. එහෙත් ඒ සඳහා නියම අර්ථය දනවන වචන මා දන්නා ඉංග්‍රීසියෙන්නම් සොයා ගැනීමට නොහැකිවිය.

අප විසින් සපයන ලද එදිනට නියමිත වාර්තාවට, මම මේ සිද්ධිය විස්තරාත්මකව ඇතුළත් කළෙමි.

මට ඊට පසු කිසිම දිනක, ඒ තමාලි හමුවී නැත.

තමාලි  දැරියගේ, හද කකියවන, ඒ දුක්මුසු වදන්වල ගැබ්වූ, මවකගේ සෙනෙහසේ නියම අර්ථය පිළිබිඹු කරනු ලබන අව්‍යාජ විග්‍රහයක් ගැන, එතෙක් මෙතෙක්, මට කියවීමට අවස්ථාවක්වත්  නොලැබුණු බවද, මෙහිලා සඳහන් කරමි.