Wednesday, 12 September 2018

‘SMART’ ජංගම දුරකථන භාවිත කිරීමේ උන්මාදයක් තිබේද...... ?


   ව තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් වන ජංගම දුර කථනය අද වනවිට, එදිනෙදා ජීවිතය සඳහා නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්වී තිබේ. ජංගම දුර කථන පහසුකම් වලට මඟ පෑදුනු  විද්‍යාත්මක සංකල්පය වන තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (communication satellites) ලොවට හඳුන්වා දුන්නේ, ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින් 1945 වර්ෂයේදීය. මෑතදී මෙලොවින් සමුගත් මෙතුමා ජිවිතයේ අවසාන කාලය ශ්‍රී ලංකාවේ ගතකළේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙසටය.


ආතර් සී. ක්ලාක් මැතිතුමාගේ තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා (Information satellites) නමැති නව සංකල්පයට, පහසුවෙන් තේරුම් ගතහැකි විද්‍යාත්මක සිද්ධාන්තයක් පසුබිම් වේ. මේ අනුව පෘථිවි ගෝලය මධ්‍යයේ සිට කිලෝමීටර් 42,164 ක දුරින් පිහිටි නිරක්ෂීය කක්ෂයක නැතහොත් පෘථිවි මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර් 35,787 ඉහලින් අභ්‍යවකාශයේ ඇති කක්ෂයක ස්ථානගත කරනු ලබන චන්ද්‍රිකාවක්, පෘථිවියේ  මතුපිට ඕනෑම ස්ථානයකට ජියාස්ථිතික (geostationary) ලෙස පිහිටයි.





මෙයින් අදහස් කරනුයේ, ඉහත මිනුම් වලට අනුකුලව උඩු ගුවනට යවනු ලබන  කෘතීම චන්ද්‍රිකාව පෘථිවියට ඉහලින් එකම තැනක රැඳී ඇතැයි පෙනෙන සේ කක්ෂ ගත වීමයි. මෙහිදී පෘථිවියේ භ්‍රමණ වේගයට සාපේක්ෂව චන්ද්‍රිකාවද භ්‍රමණය වීම නිසා එහි ජියාස්ථිතික පිහිටීමක් හට ගනී.
    (ඉහත  https://en.wikipedia.org/wiki/File:Geostat.gif link එක බලන්න)

ආතර් සී. ක්ලාක් අභ්‍යවකාශ විද්‍යාඥයා විසින්, තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා ගමන් කළයුතු, මෙම පථය  සොයාගැනීම  නිසා එය Clarke orbitයනුවෙන් නම්කර තිබේ. 1965 ප්‍රියෙල් හය වන දින මුල්ම ජියාස්ථිතික සන්නිවේදන තාක්ෂණ චන්ද්‍රිකාව (geostationary communication satellite) කක්ෂ ගත කර තිබේ. දැනට මෙම කක්ෂයේ තොරතුරු තාක්ෂණ චන්ද්‍රිකා තුන් සියයක් පමණ ස්ථානගත කර ඇත.

මෙම නව සොයාගැනීමත් සමග තොරතුරු තාක්ෂණයේ මහත් පෙරළියක් සිදුවි තිබේ. දැනට ලොව පුරා භාවිත වන, එම පෙරළිකාර යෙදවුම් කිහිපයක් මෙසේය:



1.    Navigation - සිතියම් කියවීම මගින් මුහුදු සහ ගොඩබිම් ගමන් මඟ හැසිරවීම - භුමි ස්ථානීය පිහිටුම් පද්ධතිය මෙහි උපාංගයකි  (GPS System)
2.    Communication - සන්නිවේදනය, ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික මාධ්‍ය මගින් තොරතුරු යැවීමේ ක්‍රම
3.    Weather - කාලගුණික තත්ත්ව දත්ත මගින් ඇතිවන සිදුවීම් නිරීක්ෂණය සහ පාලනය කිරීම පිණිස පියවර ගැනීම සහ අනාවැකි පළ කිරීම.   
4.    Earth observation - පෘථිවි නිරීක්ෂණ, වනාන්තර, වනජීවීන්, ආපදා ආදිය පිලිබඳ නිරීක්ෂණ  

මෙම දැනුම් සම්භාරයෙන්, සන්නිවේදන ක්‍ෂේත්‍රයේ අංශු මාත්‍රයක් ලෙස ගිණිය හැකි ජංගම දුර කථන භාවිතය පිලිබඳ අදහස් කිහිපයක් සඳහා පමණක් මෙහිලා සිත් යොමු කරවමි.

අද  බොහෝ සන්නිවේදන උපකරණ සහ උපාංග භාවිතයේදී SMART යන වචනය බහුලව භාවිත වේ. මෙම ඉංග්‍රීසි වචනයේ  සාමාන්‍ය භාෂා ව්‍යවහාරය සඳහා  හපන්, බුහුටි. කඩවසම්. කඩිසර, බුද්ධිමත්,  උද්‍යෝගිමත්, කැපීපෙනෙන, සුහුරු යන අදහස් රාශියක් සිංහලට ලබාගත හැකිය. එහෙත් නව සන්නිවේදන ක්‍ෂේත්‍රයේ SMART යන වචනය යෙදෙනුයේ දිගු වැකියක් මුලකුරු මගින් කෙටියෙන් හැඳින්වීම සඳහාය.


 “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තාකිරීමේ තාක්ෂණය” (Self-Monitoring Analysis and Reporting Technology) යන්න ‘SMART’ ලෙස දැක්වේ. 


එම වැකියේ අර්ථයට අනුකුලව සිංහල භාෂාවෙන්  ‘සුහුරු’ යන වචනය මෙම තාක්ෂණය සඳහා හොඳින්ම ගැලපෙන බව පෙනේ. අද භාවිත වන බොහෝ ජංගම දුරකථන ‘සුහුරු’ (‘SMART’) තාක්ෂණික උපාංග වේ. ‘SMART’ යනු ඉතාමත් බුද්ධිමත්ව හැසිරෙන සහ හැසිරවිය හැකි නව තාක්ෂණයකි.


ලොව පුරා ‘SMART’ විරුදාවලිය ලැබූ මෝටර් රථ, බස්රථ, දුම්රිය, කාර්යාල, පන්ති කාමර, රුපවාහිනි, බැංකු, නගර වැනි විවිධ ස්ථාන  සහ උපකරණ වල එකිනෙකට  අදාළ සන්නිවේදන පහසුකම් සමුහය බැගින්  ස්ථාපනය කර තිබේ. 


උදාහරණයක් වශයෙන් ‘SMART’ බස් රථයක් ගතහොත්, එහි රියැදුරාට තම ආසනයේ සිට, රථය ධාවනය කරමින්,  තම ආයතනය ඇමතීම, මගියෙකුගේ ගෙවුම් පත අලුත් කිරීම, ෆැක්ස් පණිවුඩයක් ලබාගැනීම සහ යැවීම, බස් රථය ඇතුලත ගැන සුපරීක්‍ෂාකාරිවීම වැනි කටයුතු රාශියක් කළ හැකිය. ශ්‍රී ලංකාවේද මීට දින කිහිපයකට පෙර එක්තරා විදුහලක ‘SMART’ පන්ති කාමරයක් විවෘත කළ බවට ප්‍රවෘත්තියක් අසන්නට  ලැබිණ.


‘SMART’  සංකල්පයට අනුකුලව ලොව වැසි සියලු දෙනාටම ‘සුහුරු’ හෝ කඩවසම් විය හැකිනම් එය ඉතා අගනේය. ප්‍රායෝගිකව මෙම සංකල්පයට  අදාළ කරගත හැකි උපාංග රාශියක් ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතී.


‘SMART’  ජංගම දුර කථනය අධ්‍යාපන කටයුතු සඳහා ඉතා හොඳ සහායකයෙකු ලෙස සැලකිය හැකිය. එහෙත් අද අප සමාජයේ බොහෝ අය, මෙයින් නිසි ප්‍රයෝජන ගන්නේද යන්න සැකයකි. සමහරවිට එසේ සිදුවනුයේ ‘SMART’  යන්නෙහි නියම අර්ථය වන . “ස්වයං අධීක්ෂණය මගින්, විශ්ලේෂණය  සහ වාර්තාකිරීමේ තාක්ෂණය” යන්න හරිහැටි අවබෝධ කර නොගැනීම නිසා වන්නට පුළුවන. 


තවමත් බොහෝ දෙනෙකු සිතනවා වියහැක්කේ, එවැනි ජංගම දුරකථනයක් තිබීම තමන් ‘ස්මාර්ට් හෝ කඩවසම්’ ගණයට ගෙන ඒමේ සංකේතයක් ලෙස පිළිගැනෙන බවය. අද නිතර දකින්නට ලැබෙනුයේ විශ්ව විද්‍යාලවල, වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල සහ පාසල්වල අධ්‍යාපනය ලබන බොහෝ තරුණ තරුණියන්  ‘SMART’  ජංගම දුරකථන ‘සෙල්ෆි, ගොසිප්, චැට්’ වැනි සම්පප්‍රලාඵ සඳහා යොදාගන්නා බවයි. මෙම විද්‍යාර්ථීන් එවැනි දේ සඳහා නාස්ති කරනුයේ අධ්‍යාපනය සඳහා වැය කළහැකි අගනා කාලය නොවේද? අප තරුණ තරුණියන්ගෙන් කී දෙනකු පර්යේෂණ කටයුතු, නිබන්ධන, පැවරුම්, අධ්‍යාපනික තොරතුරු සෙවීම්, වාර්තා සකස් කිරීම් වැනි කටයුතු  සඳහා ජංගම දුරකථන හෝ අන්තර්ජාලය යොදා ගනිත්ද?  මෙතරම් අග්‍රගණයේ තොරතුරු සපයන උපකරණයක් හුදු විනෝදය සඳහා පමණක් භාවිත කිරීම  කාලය, ශ්‍රමය සහ ධනය නිකරුනේ අපතේ යැවීමකි.  


පසුගිය දිනක පුවත් පතක කියවූ ලිපියකට අනුව ,  ඩේවිඩ් වොන්ග් නමැති අධ්‍යාපනඥයා ප්‍රකාශ කර තිබෙන  
නව තාක්ෂණය දෙවියෙකු හෝ යක්ෂයෙක් වන්නේ මිනිසුන් එය භාවිත කිරීමට තෝරා ගන්නා ආකාරය අනුවය 
යන කියමන මෙහිලා සඳහන් කිරීම වැදගත්ය.

අපගේ තරුණ පරම්පරාවද ‘දෙවියා වෙනුවට යක්ෂයා’ තෝරාගෙන ඇති බව බොහෝ දුරට පැහැදිලි වේ. මෙයට ස්වයං පාලනයක් නොඑළඹෙන තත්ත්වයක්  උද්ගත වන්නේනම් ඒ සඳහා නීතිමය පාලන ක්‍රමවේදයක් සකස් කිරීමට සිදුවේද?  බොහෝ තරුණ තරුණියන් අතර ‘SMART’  උන්මාදයක් හටගෙන ඇත්තේදැයි කෙනෙකු තුළ  සැකයක්ද ඇතිවිය හැකිය.

‘SMART’ වීම අගතියට යන අවස්ථාද නැත්තේ නොවේ. පාසල් පද්ධතියේ මෙවැනි දේ සිදුවන එක් අවස්ථාවක් පෙන්වාදිය හැකිය. 

සිසුනට පරිසරයේ විවිධත්වයට අදාළ සංකල්ප ඉගැන්වීමේදී ‘ස්ථානීය පරිසර අධ්‍යයන’ (on-site environmental studies) යන නමින් හැඳින්වෙන -පරිසරයට පිවිස, ඇසින් දැක, කනින් අසා, නහයෙන් ආඝ්‍රාණය කර, අතින් ස්පර්ශ කර- යම් යම් ස්වාභාවික ක්‍රියා දාමයන් හඳුනා ගැනීම් ආශ්‍රිතව ඉගැන්වීමේ ක්‍රමවේදයක්  ගුරු සිසු දෙපාර්ශවයම අතර බොහෝ ජනප්‍රියවී තිබේ. එහෙත් මෙසේ එළිමහනට ගොස් ආශ්වාදයක්ද භුක්ති විඳිමින්, ලබන ඉගෙනුම වෙනුවට වීඩියෝ දර්ශන වලට පමණක් සීමා වීමේ ප්‍රවණතාවක්ද ඇතිවීගෙන යන බවක් අසන්නට ලැබේ. 

දැන් සිදුවනුයේ වනාන්තරයක අසිරිය පවා පරිගණක තිරයෙන් දැක තොරතුරු සටහන් කර ගැනීමකි. වනාන්තර අධ්‍යයනයකදී, කෙනෙකුගේ සියලුම ඉන්ද්‍රියය වලට හසුකර ගනිමින් ආශ්වාදයක්ද ලබාගත හැකි  ක්‍රියාකාරකම් මගින් ලබන සංවේදීතාවය, ‘SMART’ වීම නිසා ඇසින් ඡායාරූප පමණක් දැකීමට සීමා වුවහොත්, එය ඛේදජනක තත්ත්වයකි. මෙය ගුරු සිසු කාගේත් අවධානයට යොමු විය යුතු කරුණකි.

අධ්‍යාපනයේ පමණක් නොව වෙනත් බොහෝ ක්‍ෂේත්‍ර වලද  ‘SMART’ වීම නිසා මෙවැනි පසුබෑම් සිදුවනු දකින්නට තිබේ. ඒ කෙසේ වෙතත් පොදුවේ ගත්කළ තාක්ෂණික වශයෙන් ‘SMART’ වීම, ප්‍රගතියේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මා කලින් සඳහන් කළ පුවත් පත් ලිපියෙහි ‘SMART’ යන්න පිලිබඳ අවබෝධයක් නොමැතිව වචනයේ අර්ථය පමණක් ගෙන SMART වීමට තැත් කරන බොහෝ තරුණ පිරිස් වල මෙම උන්මාදය ‘සුහුරු කුලප්පුව’ ලෙස නම්කර තිබේ. එම අර්ථ කථනය ඒ ආකාරයටම දැක්වීම යෙහෙකැයි මටද සිතේ. ඇත්තටම එය පාලනය කරගත නොහැකි, චර්යාවක් වී ඇති  නිසා ‘කුලප්පුවක්ම’ වේ.

නුදුරු අනාගතයේදීම තරුණ පරපුර  ‘සුහුරු කුලප්පුව’ නිසා සිදුවිය හැකි ආපදා වලින් බේරා ගැනීම සඳහා මහා විප්ලවයක් කළයුතු බවට මතයක් ගොඩ නැගීමටද කාලය එළඹ තිබේ යයි විශ්වාස කරමි.
මේ ගැන අවධානය යොමු කිරීම කාලෝචිතය.
(පොතපත සහ අන්තර්ජාලය ඇසුරෙනි.)

















Monday, 3 September 2018

“ලොකු උනහම, ....අපිත් විමලරත්න මහතාට .....” (ලී මෝල් හිමියාට....)


     මා සේවය කළ අධ්‍යාපන ප්‍රදේශයේ ඇති, කීර්තිමත් ඉතිහාසයක් සහිත විදුහලක උසස් පෙළ සිසුන් සඳහා පැවැත්වූ පරිසර විද්‍යා කාර්ය සැසියකට සම්පත් දායකයෙකු ලෙස සහභාගිවීමට, මටද ඇරයුමක් ලැබිණ. මා මිට කලින්ද කිහිප වරක්ම රාජකාරි කටයුතු සඳහා ගොස් තිබුණු මෙම විදුහල, නගරය මධ්‍යයේ පිහිටි සෞන්දර්යය අධ්‍යාපනය සඳහා ඉහල නමක් ලබා ඇති කේන්ද්‍රස්ථානයකි. විදුහල්  පරිශ්‍රයේ  ක්‍රමාණුකුලව වවා ඇති විවිධ ගහ කොල නිසා එය වන අරණක් ලෙස විචිත්‍රවත් වී තිබේ. ප්‍රසිද්ධ මහා මාර්ගයකට මුහුණලා පිහිටි විදුහල් භුමිය, දශක හත අටකට ඉහතදී මහා මාර්ගයෙන් වෙන් කර තිබුණේ පැළඉනි වැටකින් බව පැරණි ඡායාරූප වලින් පෙනේ.

කාලය ගෙවී යාමත් සමග, පැරණි පැළඉනි වැට වෙනුවට තාප්පයක් බැඳ තිබේ. මහා මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සඳහා ඉඩ සැලසීම පිණිස, තාප්පය ඉදිකර තිබෙනුයේ තරමක් පාසල් භුමිය ඇතුලට වන්නටය. මේ නිසා ආරම්භයේදී සිට, පැළඉනි වැටෙහි තිබී  වැඩුණු ගස් කිහිපයක් පාසලේ තාප්පයටත් මහා මාර්ගයටත් අතරේ ඉතිරිවී ඇත. 

මෙයින් එක් ගසක් ‘හොර’ ශාකයකි. දශක හත අටකටත් වඩා පැරණි විය හැකි එම ‘හොර’ ශාකය මීටර් හතළිහක් පමණ උසට වැඩුණු රූස්ස ගසකි. තනි කෙලින් ඉහලට වැඩී ඇති ගසෙහි අතු කිහිපයක් ඇත්තේ මුදුනේ පමණකි. ඒ නිසා රූස්ස හොර ගසෙන් වැඩි සෙවනක් නොලැබේ. හොර ඵලය සුළඟ මගින් ප්‍රචාරණය වීම සඳහා එයට පියාපත් දෙකක් වැනි අනුවර්තනයක්ද තිබේ. මාර්තු අප්‍රියෙල් මාස වලදී මේ ගසේ හොර ඵල (බීජ) සුළඟේ පාවී යන විට කුඩා සිසුන් ඒවා අල්ලා ගැනීම පිණිස පසුපස දුව යනුද මම දැක ඇත්තෙමි.

මෙම  හොර ශාකයේ බිජයකින්ම හටගන්නා ලදැයි සිතිය හැකි, තවත් හොර පැළයක්  මෑත කාලයේදී,  මව් ගසට මීටර් හතරක් පමණ ඈතින් තාප්පය අසලම පැළවී තිබේ. ඒ කාළයේ විදුහලේ සිටි විදුහල්පති තුමා විසින් වැටක් සකස් කරවා  හොර පැළය ආරක්ෂා කිරීම නිසා එය නිරුපද්‍රිතව වැඩී දැන් තරමක් ලොකු ‘හොර ශාක පැටියෙකු’ ලෙස දකින්නට තිබේ. මේ ගස අතු පතර විහිදී ගස යට සෙවනක්ද ලබාදේ. 
වනාන්තරයක වැඩෙනු වෙනුවට, නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක තිබෙන මේ  හොර ගස් දෙක දකින සෑම විටකම, ඒවාට උපද්‍රවයක් නොවේවා යයි මම බොහෝවිට ප්‍රාර්ථනා කළෙමි.
   
එදින නියමිත කාර්ය සැසිය සඳහා මා විදුහල් භූමියට පිවිසෙන විටම, හොර ගස් දෙක පිලිබඳ සිතුවිලි මාලාවක් සිතට නැගුණි. එකම හොර විශේෂයේ ලොකු ගසෙහි සහ කුඩා ගසෙහි දකින්නට ලැබෙන විවිධත්වය  ගැනද  මොහොතක් කල්පනා කළෙමි.

මා විද්‍යාගාරයට ගිය විගසම මා වෙත පැමිණි, ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා වන සෙනරත් එදින යෝජිත වැඩ සටහන ගැන මට මෙසේ පැවසීය.

‘සර්, අද අපේ වැඩ සටහනේ වැඩි කාලයක් මිඩංගු කරන්නේ, පාසල් වත්තේ තිබෙන තෝරාගත් ශාක විස්සක් පමණ හඳුනාගෙන, ඒවායේ විද්‍යාත්මක නම් සහ පොදු නම් සමග ගස ගැන සුළු විස්තරයක්,  නාම  පුවරු වල ලියා, ගස් අසල සවි කිරීමයි.’

එසේ කියමින් ඔහු විදුහල් පරිශ්‍රයේ, නම් කිරීම සඳහා තෝරාගෙන තිබෙන ශාක ඇති ස්ථාන දැක්වෙන සිතියමක්ද මට පෙන්වීය.

‘ඉතාම හොඳ අදහසක්නෙ’ කී මම සිතියම බලා,  විද්‍යාගාරය අසල තිබෙන ගස් සමුහය දෙස සිත් යොමු කළෙමි.

මට එකවරටම පාසල ඉදිරිපිට ඇති හොර ගස් මතක් විය.

‘මේ ලේඛනයට තව වැදගත් ගසක් ඇතුලත් වෙන්නටම ඕනෑ.’ යයි කී මම

‘ඇයි එළියේ තාප්පය අයිනේ තිබෙන හොර ගහ ඇතුලත් නොකළේ ’ යනුවෙන්  ප්‍රශ්න කළෙමි.

“ඒ ගහ දැන් අපට අයිති නැහැනේ’ සෙනරත් කීවේය.

‘එහෙම නොවෙයි. ඒකටත් නාම පුවරුවක් සවිකර අපි ඒකත් මේ ව්‍යාපෘතියටම අයිති කර ගනිමු. එතකොට ඒක සදහටම විදුහලටම අයිති ගහක්  වේවි.’ මම කීවෙමි.

සිසුහු  මගේ යෝජනාවට එක හඬින් කැමති වූහ. එයට විදුහල්පති තුමාගෙන් සහ ගුරු මහත්මා මහත්මීන්ගේද අනුමැතිය ලැබිණ.

නියමිත වෙලාවට කාර්ය සැසියේ වැඩ කටයුතු ආරම්භ විය. උසස් පෙළ සිසු සිසුවියන් පනස් දෙනෙකු සහ ගුරු මහත්මා මහත්මීන් කිහිප දෙනෙක්ද ආරම්භක සැසියට පැමිණ සිටියහ. විදුහල්පති තුමා විසින් කාර්ය සැසිය පිලිබඳ හැඳින්වීමක් කළ පසු, විද්‍යා ගුරු මහත්මියක් දිනයේ වැඩ සටහන පැහැදිලිව විස්තර කළාය. සම්පත් දායකයෙකු ලෙස පැමිණීම පිලිබඳව මා හට ස්තුති කළ ඇය, මෙවැනි ව්‍යාපෘති වල වැදගත්කම ගැන සිසුන් දැනුවත් කරන ලෙසද මගෙන් ඉල්ලීමක් කළාය.

මෙවැනි කාර්යයන් මගින් කා තුළත් පරිසරය පිලිබඳව සංවේදීතාවයක්, වැඩිදියුණු කළ හැකි බව පැහැදිලි කළ මම, පාසල් වත්ත ඉදිරිපිට තිබෙන හොර ශාකයේ අතීතය සහ ඒ අසලම තිබෙන කුඩා හොර පැළය ගැනත් දන්නා තොරතුරු කීවෙමි. ඒ ශාකද  මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කර ගත යුතු බව මම අවධාරණය කලෙමි. 
එයින් පසු එම ගස් දෙක කෙසේ හෝ රැක ගත යුතුය යන අධිෂ්ඨානයක්ද සිසුන් තුළ ඇතිවූ බව මට හැඟී ගියේය.

Dipterocarpus alatus  යන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම හොර විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බව පැහැදිලි කර,  එහි ඇති දැවමය වැදගත් කම ගැනත්, කෙලින් උසට වැඩෙන ශාකයක් නිසා, ගසේ කඳන් විදුලි රැහැන් සවි කිරීමේ කණු සඳහාද බෙහෙවින් ප්‍රයෝජනවත් බවද, පෙන්වා දුනිමි. 
මේ ශාකයට Dipterocarpus යන නම යෙදෙනුයේ ග්‍රීක් භාෂාවෙන් ‘පියාපත් දෙකක් සහිත ඵලය’ (di- දෙකක්, ptero-පියාපත්,  carpus-ඵලය)  යන අර්ථයෙන් බව තේරුම් කර දුන් මා, එම දිනවල (මාර්තු මාසයේ අග) ශාකයෙන් වැටෙන පරිණත ඵල (‘හොර කුරුල්ලෝ’) කෙතරම් දුරකට  සුළඟේ පාවී විසිරෙන්නේද  යන්න ගැන, සොයා බැලීමේ පවරුමක්ද පහසුවෙන්ම කළ හැකි බව පැවසුවෙමි.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වනාන්තර වල වැඩෙන හොර ශාකය තවම වඳවී යාමේ තර්ජනයට මුහුණපා නොමැත. එසේ වුවත් වාසභූමි විනාශය සහ අත්තනෝමතික ලෙස ගස් කැපීම වහාම  පාලනය නොකළහොත් නුදුරු අනාගතයේදීම මෙම ශාකයද, IUCN රතු දත්ත පොතෙහි ‘වඳවී යාමේ’ ලේඛනයට ඇතුලත් විය හැකි  බවට තොරතුරු ලැබී තිබේ.

එදින සවස් වන විට පාසල් වත්තේ ශාක විස්සක් සහ පාර අයිනේ හොර ශාකය සඳහා සකස් කරන ලද, ශාක නාමකරණය සහ එක් එක් ශාකය පිලිබඳ කෙටි විස්තරයක්ද සහිත නාම පුවරු අදාළ ගස් අසල, බිම සිටුවන ලදී. මේ සියල්ලෙන්ම  වැඩිපුර කැපී පෙනුනේ රූස්ස හොර ගස අසල සකස් කළ නාම පුවරුවයි.

දින කිහිපයකින්ම, විදුහලේ සිසුන් විසින් කරන ලද, ශාක නාමකරණ ව්‍යාපෘතියට, විවිධ අංශ වලින් පැසසුම් ලැබී ඇත. විශේෂයෙන්ම මහා මාර්ගය අසල ඇති හොර ශාකයට “නිහඬව හඬක් නැගීම” සඳහා ඉවහල්වූ සිසුන්ට විදුහලට සම්බන්ධයක් නොමැති අයගෙන් පවා සුබ පැතුම් ලැබී තිබේ. විදුහලේද  සෑම සිසුවෙකුම පාහේ තමන් නිතර දෙවේලේ දකින හොර ශාකය පිලිබඳ තොරතුරු සහ එහි විද්‍යාත්මක නාමයද ඉක්මනටම ඉගෙන ගත්හ.

මාස කිහිපයක් ගත විය. පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට දින නියම විය. විදුහල අසල නිවසක පදිංචි විමලරත්න  මහතාද මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දෙන ලදී.

මැතිවරණයට දින තුනකට ඉහතදී, පාසැල ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ ඔහුට අයිති ඉඩමේ ඡන්ද ප්‍රචාරක කාර්යාලයක් ඉදිවිය. විමලරත්න  මහතා යාබද නගරයක මහා පරිමාණයේ දැව ජාවාරම් කරනු ලබන ළී මෝලක හිමි කරුය. ඔහු මුදල් හදල් අතින් කැපී පෙනෙන පුද්ගලයෙක් විය. ඔහුගේ අවසාන ඡන්ද ප්‍රචාරක රැස්වීම එම ඉඩමේ පැවැත්වීමට සුදානම් කරන ලදී.

එදින සවස, විමලරත්න  මහතා සිනහ මුසු මුහුණින් පෙනී සිටින විශාල ඡායාරූපයක් සහිත මීටර් දෙකක පමණ පෝස්ටරයක්, කිසිවෙකුගෙන් නොවිමසා, මහා මාර්ගය අසල ඇති හොර ගසෙහි සවිකරන ලදී. මෙම දැවැන්ත පෝස්ටරය නිසා, සිසුන් විසින් විශාල ප්‍රයත්නයක් දරා සකස් කරන ලද ශාකය පිලිබඳ විස්තර ඇතුලත් පුවරුවද වැසී ගියේය. පෝස්ටරයේ “අපි විමලරත්න මහතාට” යනුවෙන් විශාල අකුරෙන් සඳහන් කර තිබිණ. මෙම අකටයුතු ක්‍රියාව දුටු බොහෝ අය කම්පා වූහ. එහෙත් කිසිවෙකු ඒ ගැන අදහස් ප්‍රකාශ නොකළහ.

අවසාන  ඡන්ද ප්‍රචාරක රැස්වීම හෙටට යෙදී ඇත.

හෙට දිනය උදාවිය.

හිමිදිරි උදයේම කුඩා හොර ශාකය අසලද තරමක් විශාල  පෝස්ටරයක්‌ දකින්නට ලැබිණ. එහි චිත්‍රයට නගා තිබුණේ 'කඳුළු සලන ගසක දුඃකිත විලාසයයි'. මේ චිත්‍රය දුටු කාගේත් ඇසට කඳුලක් උනන්නට ඇත. එහෙත් එහි අන්තර්ගත, දැඩි උපහාසය සහ ව්‍යාජෝක්තිය නිසා ඔවුන් සැනසුම් සුසුමක්ද හෙලන්නටද ඇත. එම පෝස්ටරයේ කඳුළු සලන ගසට යටින් අනික් පෝස්ටරයේ අකුරු තරමටම ලොකු අකුරෙන් “ලොකු උනහම, අපිත් විමලරත්න  මහතාට” කියා සටහන් කර තිබුණි.

මෙම දෙවන පෝස්ටරය කා විසින් සකස් කරන ලද්දක්ද යන්නත්, එය කුඩා හොර ගස යටට පැමිණියේ කෙසේද යන්නත්  කිසිවෙකු නොදත්හ.....

කෙසේ වෙතත් රැස්වීම පවත්වන වේලාව වනවිට පෝස්ටර් දෙකම අතුරුදන්වි ගොස් තිබුණි.

‘රූස්ස හොර ගස’ සහ ‘හොර ගස් පැටියා’ යන ශාක දෙකම, සාහසිකයෙකුගේ පොරොව පහරට හසු නොවී, තවමත් නිරුපද්‍රිතව තිබෙන බව දැනගන්නට තිබේ.

පාසල් සිසුන්ගේ සත් ක්‍රියාවට මාගේ ප්‍රණාමය !

Friday, 17 August 2018

ගව සම්පත, පස්ගෝරස සහ සත්ත්ව හිංසාව


   පැරණි ගැමි සමාජයේ ජීවත්වූ මිනිසාට දරු සම්පත, භවභෝග සම්පත තරමටම ගව සම්පතද, දිවි පෙවත පරිපුර්ණ කර ගැනීමට අවශ්‍යතම සාධකයක් විය. එදා ගම්බද බොහෝ නිවෙස්වල ගව සම්පතේ සංකේතයක් වශයෙන්, එළදෙනකු ඇති කිරීම සිරිතක් විය. එළ දෙන පවුලේ අයට සමීප සුරතල් සතෙකු සහ වසු පැටවා කුඩා  දරුවන්ගේ මිතුරෙකු විය. එළදෙනගෙන් ලැබෙන කිරි, පවුලේ පෝෂණය සඳහා වැදගත් ආහාරයක් වූ අතර, ගොම  ගෙවත්තේ වවනු ලබන එළවලු, පලා වර්ග, පලතුරු  ආදියට මහඟු ස්වභාවික පොහොරක් විය. 
එළදෙනට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහ පිදුරු ඉතා පහසුවෙන් වට පිටාවෙන්ම ලබාගත හැකි විය. එළදෙනට සහ පැටවාට නිදහසේ සිටීමට වෙල් එළියක හෝ  වෙනත් එලිමහනක දිගඑළි කර තැබීමද පුරුද්දක් වශයෙන් කරන ලදී.  එදා ගැමි ජන ජිවිතය පරිසරය සහ සතා සීපාවා සමග මනා සමතුලිත බවකින් යුක්ත වූ බව මෙයින් පැහැදිලිවේ. ගමෙහි භාණ්ඩ ප්‍රවාහණ කටයුතු සඳහා බරකරත්ත සහ බරබාග කරත්තද කිහිපයක් තිබුණි. එසේම වෙනත් ගමන් බිමන් සඳහා භාවිත කරන ලද්දේ බක්කි කරත්ත සහ රේස් කරත්ත විය. කරත්ත ධාවනය සඳහා අවශ්‍ය වන ගවයින්ද ගමෙහි අතරින් පතර  දකින්නට ලැබිණ. කිසිම ඉන්ධනයක් භාවිත නොකරන කරත්ත ඉතාමත් පරිසර හිතකාමී ප්‍රවාහණ ක්‍රමයක් විය.
ගමෙහි කුඹුරු වල බොහෝ කටයුතු සඳහාද ගවයින් අවශ්‍ය විය. අද මෙන් යන්ත්‍රෝපකරණ භාවිත නොකළ එදා කුඹුරු සී සෑම, ගොයම් පෑගීම වැනි කාර්යයන් සඳහාද ගවයින් යොදවා ගන්නා ලදී. සමහර ගම්වල එළ ගවයින් මෙන්ම මී ගවයින්ද දකින්නට ලැබිණ. විශේෂයෙන්ම කුඹුරු සී සෑමේ කටයුතු වලදී මී ගවයින් යොදා ගැණින. මී ගවයින් තරමක් හැඩි දැඩි ස්වරූපයකින් යුක්ත නිසා එතරම් සුරතල් සත්තු නොවූහ.
ගව සම්පතෙන් ලැබෙන පෝෂ්‍යදායි ආහාර පස්ගෝරස ලෙස හැඳින්වේ. කිරි, දී කිරි, මෝරු, වෙඬරු, ගිතෙල් යන ගව සම්පත් නිෂ්පාදන මෙම ප්‍රභේද වේ. ශ්‍රී ලංකාවේත් සමහර දේශීය ආහාර වර්ග නිෂ්පාදනයේදීත්, විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ සමහර  ඖෂධ සකස් කිරීමේදීත් පස්ගෝරස භාවිත කරනු ලැබේ. ඉන්දියාවේ නිර්මාංශ ආහාර වලට කැමැත්තක් දක්වන ජනතාව ජිවත්වන බොහෝ ප්‍රදේශ වල දැනටද පස්ගෝරස ඉතාමත් ජනප්‍රිය ආහාර බවට පත්වී ඇත. ගව සම්පතින්  ප්‍රයෝජන ගන්නා බොහෝ රටවල සකස් කරනු ලබන ප්‍රධාන කිරි නිෂ්පාදන වනුයේ, බටර් සහ චීස්ය. පොදුවේ ගත් කළ කිරි සහ කිරි නිෂ්පාදන, ප්‍රෝටීන, මේදය, ඛනිජ සහ විටමින් වැනි පදාර්ථ බහුල ආහාර  වශයෙන් ජනප්‍රියවී පවතී.
පසුගිය දශක කිහිපය තුලදී සිදුවූ කාර්මිකකරණය සහ නව තාක්ෂණය නිසා අපගේ ගව සම්පතද  ගැමි පරිසරයෙන් ටිකින් ටික ඈත්වෙමින් පවතී. එළකිරි වෙනුවට දැන් ගෙදර දොරේ කිරිපිටි භාවිත කරනු දකින්නට ලැබේ. කුඹුරු වැඩ සඳහා ගවයන් වෙනුවට  යන්ත්‍ර සුත්‍ර ආදේශ වී ඇත. එදා සාමුහිකව ශ්‍රමාභිමානයකින් යුක්තව කටයුතු කළ ගමෙහි ගොවියන් වෙනුවට, අද කුලි කම්කරුවන් යෙදවීමට සිදුවී තිබේ. මෙම යුග පරිවර්තනය කිසිසේත් වැළක්විය නොහැකි බව පෙනීයයි.
කාර්මිකකරණයත් සමග, අද, ගව සම්පත මහා පරිමාණයේ ගව පට්ටි බවට පරිවර්තනය වී තිබේ. එදා ගෙදර ඇතිකළ එළදෙන, වසු පැටවා සහ ගෙදර නිවැසියන් - විශේෂයෙන්ම කුඩා දරුවන් - අතර තිබුණු සහ සම්බන්ධතාව සහ ළයාන්විත භාවය අද දකින්නට නොලැබේ. ගව පට්ටි වල සිටින එළදෙනුන් අද කිරි ලබාදෙන යන්ත්‍ර බවට පත්වී ඇත. කිරි ලබාගැනීමද දෙවීමේ යන්ත්‍ර මගින්ය. කිරි උපරිම ප්‍රමාණයක් දොවා ගැනීම සඳහා යන්ත්‍ර සැලසුම් කර තිබේ. එළදෙනෙකුට පැටවා  බිහිවී, එක් දිනකින් මව සහ පැටවා වෙන් කිරීම සිරිතය. මේ නිසා පැටවාට මවගේ සෙනෙහසත්, එළදෙනට පැටවාගේ සුරතල් හැසිරීම් රටාව දැකීමෙන් සහ කිරි උරාබීම නිසා ඇතිවන මාතෘ සෙනෙහසත්  නොලැබී යයි. ඔවුන් දෙදෙනාම එකිනෙකාගේ සෙනෙහස නොලැබීම නිසා නිහඬව සන්තාපයකින් පසුවනු ඇත.
විශාල කිරි පට්ටි වල සිටින වසු පැටවුන්ට තම මවගේ කිරි වෙනුවට ලැබෙනුයේ පට්ටියේ දෙනුන් සියල්ලන්ගෙන්ම පොදුවේ එකතු කරගත් කිරි මිශ්‍රණයෙන් කොටසකි. මේ මිශ්‍රණයට වෙනත්  රසායන ද්‍රව්‍ය සහ විටමින, හෝර්මෝන ආදියද එකතුවේ. මහා පරිමාණයේ ගව පට්ටිවල පැටවුන්ගේ ආහාරය  සඳහා සකස් කෙරෙන කිරිවලට, පට්ටියේම සිටි, මස් සඳහා ඝාතනය කරනු ලබන ගවයින්ගේ රුධිරයද එකතු කරන බව වාර්තා වී තිබේ. එසේම එළ දෙනුන් ගැබ් ගන්වන්නේද කෘතීම සිංචනය මගිනි.
පශු නිෂ්පාදන බහුලව තිබෙන රටවල් කිහිපයක, රටෙහි මිනිස් ගහණයට වඩා ගව ගහණය වැඩි බව සංඛ්‍යා ලේඛන වලින් පෙනේ. දකුණු ඇමෙරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ජනගහනය මිලියන 3.5 කි. එහි ගව ගහණය මිලියන 12 ක් පමණ වන අතර නවසීලන්තයේ ජනගහනය මිලියන 4.5 වනවිට, ගව ගහණය මිලියන 10  ක් පමණ වන බව දැක්වේ. මෙවැනි මහා පරිමාණයේ ගව පට්ටි තිබෙන රටවල් තවත් බොහෝ ඇත. මෙම ගව පට්ටි හඳුන්වනුයේ ‘ගොවිපල කර්මාන්තශාලා’ (factory farms) වශයෙනි. මෙම රටවලට ගවයින් ‘ආර්ථික සම්පතක්’ වූවත්, පට්ටි වල ඇති කරනු ලබන ගවයින් කෲර ලෙස හිංසනයට පත්වන නිසා එම සතුන්ට නම් එය සම්පතක් කෙසේ වෙතත් ‘අසහනයක්ම’  වන බව නොරහසකි.
ගව පට්ටිවල ගවයින් හංවඩු ගැසීමද සතුනට පීඩාකාරී දෙයකි. මෙය සතුන් නිත්‍යානුකුලව හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන ක්‍රමෝපායයකි. හංවඩු ගැසීමේදී ගවයාගේ සම මතුපිට ගිනියම් කළ යකඩ කුරකින් සංකේතයක් යොදනු ලැබේ.
මෙහිදී සතාගේ සමෙහි ඇතිවන පිළිස්සුම් තුවාලය නිසා ඇතිවන ‘හණ’, හඳුනාගැනීමේ සංකේතයයි. ගිනියම් කළ යකඩ කුරකින් අහිංසක සතෙකුගේ සම අමු අමුවේ පිළිස්සීම කෙතරම් කෲර ක්‍රියාවක්ද?  ගවයාගේ මරණයෙන් පසු හමද කඩතොළු රහිතව ලබාගැනීමේ පරමාර්ථය ඇතිව ‘හණ’ ගැසීම සඳහා සමෙහි නිර්දේශිත ස්ථාන ඉහත රුප සටහනෙහි දැක්වේ.
මෙම විශාල ගව පට්ටි වල එළ දෙනුන් විසින් ප්‍රසුත කරනු  ලබන පිරිමි වසු පැටවුන් වැඩි සංඛ්‍යාවකට, තවත් රුදුරු ඉරණමකට මුහුණ දීමට සිදුවේ. මෙම වස්සන්ගේ වයස මාස දෙකක් ඉක්මවීමට පෙර ඔවුන් ‘පුස්සන්’ කරනු ලැබේ. මෙසේ කරනුයේ ‘කර ඇඹීම’ (castration) නම් අතිශය හිංසාකාරී එමෙන්ම වේදනා ගෙන දෙන ක්‍රියාවලියක් මගින්ය. ගව මස් ලබාගැනීම සඳහා එම සතුන් තවත් වසර කිහිපයකදී  රුදුරු මරණයකටද ගොදුරු කරනු ලැබේ. මෙම ගව පට්ටි වල පිරිමි සතුන්ගෙන් කිහිප දෙනෙකු  පමණක් ‘පට්ටි ගොනුන්’ (stud bulls) ලෙස ජීවත්වීමට වරම් ලබති. දෙනුන්ගේ කෘතීම සිංචනය සඳහා ශුක්‍රාණු ලබාගනුයේ මෙම පට්ටි ගොනුන් ගෙනි.
අප කුඩා කළ ජීවත්වූ ගම්බද පරිසරයේ, අප නිවසට යාබද පිහිටි එක්තරා ඉඩමක පදිංචි වී සිටි පවුලක අය සතු ගව පට්ටියක එළ හරකුන් සහ මී හරකුන්ද සිටියහ. එම නිවැසියන්ට  බර බාගයක්, රේස් කරත්තයක් සහ බක්කි කරත්තයක්ද තිබිණ. ගමෙහි ‘යමක් කමක්’ ඇති අය වූ ඔවුන්ගේ දරුවෝ අධ්‍යාපනය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූහ. එළකිරි සහ මුදවනලද මීකිරි වලින් ඔවුනට සෑහෙන ආදායමක්ද ලැබුණි. සී සෑම, ගොයම් පෑගීම වැනි  කුඹුරු වැඩවල ගවයින් යෙදවීමෙන්ද ඔවුනට අතමිට සරුවිය.  එම පවුල්වල අය සුරාව, සුදුව සහ වෙනත් විෂමාචාර වලට තදින් ඇබ්බැහිවී සිටි අතර හොර රහසේ ගව ඝාතනයද කළ බව දැනගන්නට ලැබිණ. පසු කාලයකදී, ඔව්හු එම දුරාචාර නිසාම පිරිහීමට පත්වී, ගවපට්ටි සහ අනිකුත් දේපල අහිමි වී ගොස් මහත් දුඃකිත ස්වභාවයක් පෙන්වුහ.
වසර කිහිපයකට වරක්, ගවයින් සිටි අප යාබද අසල්වැසි වත්තේ, තැන්තැන්වල වැඩිහිටි පිරිමි කුඩා කණ්ඩායම් රැස්වී කඹ වලින් ගවයින්ගේ පාද බැඳ, බිම පෙරළා යම් යම් දේ කරනු මම  දුර සිට දැක ඇත්තෙමි. ඒ සමගම එම ගවයින්  මර හඬ දී කෑගැසීමත් සමග මාංශ පුළුස්සන විට දැනෙන පුළුටු ගඳද නාසයට දැනී ඇත. මෙම සිද්ධිය පිළිබඳව අපගේ වැඩිහිටියන්ගෙන් විමසුවත් ලැබුණේ ‘හරක් හංවඩු ගසනවා’ යන පිළිතුර පමණකි. එහෙත් අපට ඒ අසලටවත් යාමට හෝ සිදුවන දේ ඈත සිටවත් බැලීමට  තහංචි පැනවිණ.
පසු කාලයකදී, දැනුම තරමක් මුහුකුරා ගිය පසු මට, හංවඩු ගැසීම පිලිබඳව  සහ ‘කර ඇඹීම’ නම්  කෲරතර ක්‍රියාවේ සුළමුල ගැනත් දැන ගැනීමට හැකිවිය.
මේ විස්තරයේ සඳහන් කාලයේදී වස්සන් ‘පුස්සන්’ කළ, ‘කර ඇඹීම’ නම්  කෲරතර ක්‍රියාව ගව සම්පතටම නිගාවකි. කිතුල් ලීයෙන් සකස් කළ මෝල් ගස් දෙකක් වැනි, ඊට වඩා මඳක් සිහින් දඬු දෙකක අග්‍ර දැඩි සරනේරුවකින් එකට යාකර සකස් කර ගන්නා  උපකරණය ‘කර ඇඹීමේ දණ්ඩ’යි. කකුල් බැඳ බිම පෙරලාගත් ලපටි වස්සාගේ වෘෂණ කෝෂ මෙම දැඩි දඬු අඬුවට හසුකර හොඳින් වැර යොදා උපකරණයේ නිදහස් දෙකෙළවර දෙදෙනෙකු විසින් විනාඩි කිහිපයක් තිස්සේ එකට තද කර ගෙන සිටී. වස්සා මරහඬ දී කෑගසන්නේ ඒ තෙරපීමෙන් ඇතිවන තදබල වේදනාව නිසාය. මේ මගින් කරනුයේ වෘෂණ කෝෂ තුළට රුධිර සංසරණය වැලක්විමයි. ඒ හේතුකොට ගෙන අසරණ වස්සාගේ වෘෂණ අක්‍රිය තත්ත්වයට පත්වේ. ස්වභාවයෙන් තම වර්ගයා බෝ කිරීම සඳහා පිරිමි සතාට ලැබී තිබෙන වරම එයින් අවසන්වේ. තදබල වේදනාව නිසා සති කිහිපයක් දුකසේ සිටින වස්සා පසුව ‘පුස්සෙකු’ ලෙස සුවය ලබයි. ඊට පසු එම ‘කර ඇඹූ’ ගොනාට ජිවිත කාලයම බර ඇදීමට සිදුවේ.
මෙම කෘරතර ක්‍රමය වෙනුවට ඊට වඩා සහනදායි ක්‍රමෝපායයන් දැනට භාවිත වේ.

මා අටවන ශ්‍රේණියේ (එවකට JSC) ඉගෙන ගන්නා කාලයේ ඉංග්‍රීසි රචනාවක බරකරත්තය යන්නට  ඉංග්‍රීසියෙන් භාවිතා වන bullock cart යන්න නොදැන ඒවෙනුවට bull cart කියා ලියා තිබී, අපට ඉංග්‍රීසි ඉගැන්වූ පෙරේරා සර් bullock සහ bull යන වචන දෙකෙහි වෙනස මට තේරුම් කර දුන්නේ මෙසේය
“A cart will be drawn by a bullock. A castrated ox is a bullock, but an ordinary ox is a bull. Bend down and look carefully in the oxen that you see on the road, you will realise what castration means.”
ගුරු තුමාගේ නිර්දේශයෙන් පසු මග තොටේදී කරන ලද එම ගව නිරීක්ෂණවලින්  පසු castration යනු කුමක්ද යන්න මම ඉක්මණටම අවබෝධ කර ගතිමි.
එළදෙන පැටවාගෙන් වෙන්කිරීම, පැටවාට මවගේ කිරි බීමට නොලැබීම, ගවයින් හංවඩු ගැසීම, වස්සන් කර ඇඹීම, වැස්සියන් කෘතීම සිංචනය කිරීම, පිරිමි සතුන් බහුතරය මස් සඳහා වෙන්කිරීම වැනි අමානුෂික ක්‍රියාවන් නිසා ගව පට්ටියක වැඩිපුරම දකින්නට ලැබෙන්නේ සත්ව හිංසාව බව පැහැදිලිය. මේ නිසා  වර්තමානයේ ගවයින් ඇති කිරීම ‘ගව සම්පත’ ලෙස කිසිසේත් සැලකිය නොහැකිය.     
පිරිමි ගවයෙකු හරියාකාර හඳුනා ගැනීම පිණිස ප්‍රායෝගික පිවිසුමක් ලැබුණු එම සිද්ධිය, දශක කිහිපයකට පසුව වුවද ආවර්ජනා කර, ඒ සඳහා මට හරි මග කියාදුන්, දැනට ජිවතුන් අතර නොමැති, ඒ ගුරු දේවයන්ට ප්‍රණාමය පුද කරමි.


Monday, 6 August 2018

විහිලු තහළු, උසුළු විසුළු, කවටකම් ආදිය දියුණු සමාජයක ලක්ෂණද?


   මිනිසා කෙතරම් දුරට සතුටින් සිටීද යන්න හඳුනා ගැනීම සඳහා නිවැරදිව යොදා ගත හැකි පොදු මිණුම් දණ්ඩක් මෙතෙක් හමුවී නොමැති ලෙසකි. එක් එක් පුද්ගලයාගේ සතුට විවිධ විය හැකි නිසා මෙවැන්නක් ගැන සිතීම පවා අපහසුය. සිනාමුසු බවකින් සිටීම හෝ මහ හඬින් සිනහවිම සතුට ප්‍රකාශ කිරීමේ එක් ක්‍රමයක් විය හැකිය. මෙය බොහෝ විට කුඩා දරුවන් තුළ දකින්නට ලැබේ. 

“සංතුෂ්ඨී පරමං ධනං” (happiness is the ultimate wealth) යන ධම්ම පද පාඨයට අනුව සතුට පරම ධනය වේ. මේ නිසා නූතන සමාජයේද පරම ධනය වන සතුට ලබාගැනිම සඳහා මිනිසා විසින් උපයෝගී කර ගන්නාලද ක්‍රමෝපායයන්වල තරමක් පැරණි පැතිකඩක් ගැන විමසුමකි මේ.

“සිනා සී තර වන්න” යනුවෙන් අපට හුරුපුරුදු පැරණි ප්‍රස්තා පිරුළක්ද  තිබේ. කෙසේ වෙතත්, එය සත්‍යයක් නම්, වර්තමාන සමාජයේ සමහරු සිනාසීමට මැළි වනු ඇත. එසේ වනුයේ ශීඝ්‍රයෙන් පැතිරෙන තරබාරු කම නමැති සංකුලතාව නිසාය. සිනාසීම සතුට පෙන්වන සාධකයක් වියහැකි නිසා දැනටද අප ජන සමාජයේ සතුට බෙහෙවින් ඇති බව පෙනේ. 

කවටකම්ද සිනහ දනවන සුළු ප්‍රකාශ වශයෙන් ගිණිය හැකිය. අතීතයේ ජීවත්වූ අන්දරේ, අංක එකේ කවටයෙකු වශයෙන් ප්‍රසිද්ධය. ‘රජවාසල කවටයා’  වූ අන්දරේ, රජතුමා සහ  බිසව ඇතුළු කාටත් ඇස් රතුවන කවටකම් කර තිබේ. එමෙන්ම යසලාලකතිස්ස රජතුමා සුභ නම් දොරටුපාලයා සමග එක්වී කරනලද කවට කමකින් රජතුමාට රජකම නැතිවූ සිද්ධියක්ද අප අසා ඇත.

එසේම අප සාහිත්‍යයේ එන ‘මහදැනමුත්තා’ ද මෝඩකම් යයි සැලකිය හැකි බොහෝ හාස්‍ය ජනක දේ කර අන් අය සිනහ ගන්වා තිබේ. කලකට පෙර අප රටෙහි කවට කම් වලටම වෙන්වූ ‘කවට මුත්තා’ නම් මාසික පත්‍රයක්ද පළවී ඇති බව ප්‍රකටය. කවටකම් සහ විහිලු තහළු ආශ්‍රිතව උපහාසයද හුවා දැක්විය හැකි අතර, එය සාහිත්‍ය රස විඳීමේ එක් මෙවලමක් ලෙසද භාවිත වේ. 

අපගේ සංස්කෘතික උරුමයන් ලෙස පිළිගැනෙන බලි, තොවිල්, සෙත් ශාන්ති වැනි අවස්ථාවලදීද, ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා හෝ කාලය මිඩංගු  කිරීම සඳහා බෙර වයන්නන් සහ නැට්ටුවන් අතර විහිලු ගණයේ සංවාද ඇතිවන බව අප දැක තිබේ. සමහර අවස්ථාවලදී මේවා ‘දෙපැත්ත කැපෙන’ ප්‍රකාශ බවටද පත්වේ. කෙසේ වෙතත් එවැනි විහිලු, සීමාව ඉක්මවා ගිය විට පිළිකුල් සහගත ප්‍රකාශයන්ද විය හැකිය. එසේම විහිලු තහළු උපහාසයෙන් ඔබ්බට ගොස් අපහාසය මූලික වූ ‘මඩ ගැසීමක්’ බවට පත්වුවහොත් ඒවාද  සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.

‘උසුළු විසුළු’ යනුවෙන් හැඳින්විය හැකි වාචික කවටකම් ප්‍රභේදයක්ද ඇත. මේවායේත් ‘රතු ඉර පැන්නූ විට’ අඬදබර, කළකෝලාහල වලින් පවා අවසන් විය හැකිය.  දැනට දශක කිහිපයකට පෙර සිටි කෙටිකථාකරුවෙකු වූ  ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා  මහතා තම කථා ඔස්සේ උපහාසය හොඳින් ඔප් නැංවිය. ඔහුගේ කෙටිකථාවල ‘භගලවති ඉස්කෝලේ හාමිනේ’ සහ ‘පණ්ඩිත ඔල්මොරොන්දම්’ වැනි චරිත සහ ‘කාකද්වීපය’ වැනි වටපිටාවල් ඒ කාලයේ බොහෝ ජනප්‍රිය විය.

අපගේ චිත්‍රපටි සහ වෙනත් නාට්‍ය වලද විකට නළු චරිත රාශියක් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ මුල් චිත්‍ර පටි කිහිපයක රඟපෑ එඩී ජයමාන්න,  ඩී.ආර්. නානායක්කාර සහ ෆ්‍රෙඩී සිල්වාත්, එසේම ‘විනෝද සමය’ වැනි  ගුවන් විදුලි සහ රුපවාහිනි වැඩ සටහන්වල විකට චරිත නිරූපණය කල සැමුවෙල් රුද්‍රිගු, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක වැන්නෝද  එයින් කැපී පෙනෙන නළුවෝ වූහ. මෙම වැඩ සටහන් වල කාන්තා විකට චරිත රඟපෑවේ මර්සි එදිරිසිංහ නිළිය බවද සඳහන් කළ යුතුය.

‘විනෝද සමය’ නමැති මෙම ජනප්‍රිය වැඩ සටහන ‘අන්දරේගෙන් පස්සේ’ යන අලුත් නමකින් මෑතදී නැවත ප්‍රචාරය විය.

බටහිර ලෝකයේද චාලි චැප්ලින් වැනි අසහාය විකට නළුවෝ ලොව පුරා ඉතා ජනප්‍රිය වූහ. අමෙරිකාවේ Mutual Film Cooperation වාර්තා කරන ආකාරයට චාලි චැප්ලින්  වයස අවුරුදු 26 දී ලෝකයේ වැඩිම ආදායම්  ලබන පළමු පස්දෙනා අතරට යාමට තරම් ජනප්‍රිය වී ඇත්තේ ඔහුගේ උපහාසාත්මක කථාබහ, බැල්ම, හැසිරීම් රටාව, අංග චලනය  වැනි ලක්ෂණ නිසාය.

චාලි චැප්ලින් ඔහුගේ චිත්‍ර පටයක.

මෑතකාලයේ බටහිර විකට චරිතයක් වන මිස්ට බීන් ද (Mister Bean) චාලි චැප්ලින් තරමටම වාගේ ප්‍රසිද්ධියක් ලබා තිබේ.

ශ්‍රී ලංකාවේ කාටුන් චිත්‍ර ශිල්පපීන්ගෙන්ද  විකට හා උපහාසාත්මක නිර්මාණ රාශියක් බිහිවී ඇති අතර, නව ශිල්පින් බොහෝ දෙනෙකුද ඉදිරියට එමින් සිටිති. මෙම ශිල්පීන් බොහෝ දෙනෙකුට කලඑළි බැසීමට දායක වී ඇත්තේ පුවත් පත්ය. ජී. එස්. ප්‍රනාන්දු සහ කොලට් ඒ කාලයේ සිංහල සහ ඉංග්‍රීසි පුවත් පත්වල කාටුන් නිර්මාණය කළ ප්‍රසිද්ධ ශීල්පියෝ වූහ. ඒ කාලයේත් මෙම කාටුන් වලින් බොහෝ දුරට උපහාසයට ලක් වූයේ  දේශපාලන ඥයින්ය. අදත් එසේමය.  තවත් කාටුන් ශිල්පියෙකු වූ අමිත අබේසේකරයන්ද සමාජයේ අඩු ලුහුඬු කම් වලට තියුණු පහර එල්ල කරමින් ‘විකට විට’ නම් තනි තීරුවේ කාටුන් නිර්මාණ  පුවත් පත්වලට සැපයූ කලාකරුවෙකි. දැනටද, තලංගම ජයසිංහ, දාස හපුවලානේ, පංකජ රුවින්ද වැනි දක්‍ෂ කාටුන් ශිල්පීන්ගේ අගනා සංකල්පනාවලින් පුවත්පත්වල පාඨක රස වින්දනය ඔප් නංවා තිබේ.

තලංගම ජයසිංහගේ නවතම සංකල්පනාවක්

දැනට දශක හතරකට පමණ ඉහතදී ප්‍රසිද්ධියට පත්ව සිටි  හෙන්රි තෙන්නකෝන් ඒ වකවානුවේදීම බිහිවූ වෙනත් මාදිලියේ කාටුන් ශිල්පියෙකි. කළුතර විද්‍යාලයයේ චිත්‍රකළා ගුරුවරයෙකු වූ ඔහු, මාගේ මිතුරෙකුද විය. මා එවකට සේවය කළේ කළුතර ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේය.  ඉරිදා ලංකාදීප පත්‍රයේ කලක් තිස්සේ පළවී පාඨකයින් අතර ඉතා ජනප්‍රිය වූ ‘සමාජ සමයං’ සංයුක්ත කාටුන් සටහන් ඔහුගේ අගනා කෘති විය.  ඒ කාලයේ අපට නිතර හමුවන ඔහු ඒ සෑම විටකම වාගේ  “නැද්ද බොස්..... අලුත් සමයං කෑල්ලක්”  කියා අපගෙන් ඇසීමට පුරුදුව සිටියේය.  ‘සමාජ සමයං’ කාටුන් වලදී ඔහුගේ සාකච්ඡා මඬුල්ලට බොහෝවිට එකතු වූයේ  ඒ මනඃකල්පිත පවුලේ උදවිය හෝ කාර්යාලයයක සේවය කරන අය  හෝ බසයක හෝ දුම්රියේ ගමන් කරන මගීන් සමුහයකි. ඔහුගේ සංකල්පනාවලට භාජන වුයේ එදිනෙදා ජිවිතයේ සුන්දර අත්දැකීම්ය. 
  
මේ කාලයේම ඉරිදා ලංකාදීප පත්‍රයේ පළවූ “පොඩි එකාගේ ලියුම” නම් උපහාසාත්මක තීරු ලිපියද පාඨකයින් ප්‍රිය කල තවත්  විශේෂ අංගයක් විය. මෙය කාගේ කෘතියක්ද යන්න මට අමතකය. කලකට පෙර  “පොඩි එකාගේ ලියුම” තීරුවක පළවී තිබුණු රසවත් නිර්මාණයක උපුටනයේ පිටපතක් උපුටාගත් අයට සහ නිර්මාණය කළ අයටද ස්තුති පුර්වකව මෙහි දක්වමි.

පොඩි එකාගේ ලියුම:
වරක් පොඩි එකා ඉතා උපහාසාත්මක සිද්ධියක් වාර්තා කලේය. එහි පසුබිම මෙසේය. පොඩි එකාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ මානිස් නම් වූ මුදලාලි කෙනෙකි. ඔහුගේ දුවගේ නම සාමාය. ඇය සනී නම් වූ තරුණයෙක් සමග පෙම් බැඳ සිටින්නීය. පොඩි එකාගේ පියා සංගීතඥයෙකි.
ඔහු 'ස රි, , , , , නි, ' ස්වර භාවිතයෙන් සංගීතය නිතර දෙවේලේ හදාරයි. පොඩි එකා ලියුම මෙසේ ලියයි.....

"අපේ තාත්තා සංගීතකාරයෙකි. තාත්තාගේ වැඩේ උදේ ඉඳල හැන්දැ වෙන කම් සංගීතය පුරුදු වෙන එකය. තාත්තා අලුත් සිංදුවක් හදල ඒකෙ ස්වර  පුරුදු වෙන කොට අල්ලපු ගෙදර මානිස් මුදලාලි තරහ වුනේය. ඒ මානිස් මුදලාලිගෙ දුව සාමා, මානිස් මුදලාලි හවස නිදා ගන්න කොට, එයාගෙ කොල්ල වන, සනී එක්ක පැනල ගිය එකට තාත්තා හින්ට් ගහනව කියලාය. සිංදුවේ තනුව මෙසේය. 
"මා..නි..සා, ..මා....නි..සා,  නි....ධා... ග..නී...// 
සා..මා,  සා... රි...   ධා... ග...නී...//      ස...නී    ස..ම..ග   ප..නී...// " 
                                Posted by සරත් ගුණතුංග at Sunday, November 16, 2008

අප සමාජයේ පොදු ජනතාව එදිනෙදා ජීවිතයේදී, විවිධ වස්තු බිජ අනුසාරයෙන් විහිලු තහළු හෝ උපහාසයෙන් අහිංසක වින්දනයක් ලබන බව නිතර දකින්නට ලැබේ. මෙයින් පෙනී යනුයේ සතුට සහ සිනහව ලඟාකර ගැනීම සඳහා මෙම මාධ්‍යය බොහෝ ප්‍රයෝජනවත් වන බවයි. සාක්ෂරතාව අතින් උසස් මට්ටමක සිටින අපගේ ජනතාවට මෙවැනි වින්දනයක් ලබාගැනීම පහසුවෙන්ම කළහැකි බව ඔවුන්ගේ නිර්මාණ වලින් පැහැදිලි වේ.  මට, මෑතකදී ෆේස් බුක් හරහා මිතුරෙකුගෙන් ලැබුණු,  මෙවැනි, එමෙන්ම කුතුහලය දනවන අහිංසක විහිළුවක් ලෙස දක්විය හැකි ලෝකයේ රටවල් කිහිපයක නම් සඳහා නව තේරුමක් බැගින් දී සකස් කරන ලද අපගේ දේශීය  නිර්මාණයක් පහත සඳහන් වේ.  (මෙහි නිර්මාණකරු පිලිබඳ තොරතුරු සොයාගැනීමට  නොහැකි විය ) 
ලෝකයේ රටවල් කිහිපයක  නම් සඳහා  නව අර්ථ කථනයක්.
1.    බියෙන් අරක් ගත් රට  -     අරා බිය  (අරාබිය)
2.    බල්ලන් සිප වැළඳ ගන්නා රට -     බලු කිස් ථානය (බලුකිස්ථානය)
3.    කාමභෝගී අය ජය ලබන රට -     කාම් බෝ ජය (කාම්බෝජය)
4.    සර්පයින් නිතරම මළ පහ කරන රට -     නයි ජී රියාව (නයිජීරියාව)
5.    පිදුරු සෙවිළි කළ කාර් ඇති රට -     මැඩ ගස් කාර් (මැඩගස්කාර්)
6.    හැමවිටම ලකුණු වැටෙන රට  -      ඩෙන් මාර්ක් (ඩෙන්මාර්ක්)
7.    සමාජයෙන් කොන්වූ අය සිටින රට -   හොං කොන් (හොංකොන්)
8.    අනික් රටවල් ඇමට යොදවන රට  -   ඇම රිකාව  (ඇමරිකාව)
9.    ‘සිම් කාඩ්’ නිපදවන රට  -   සිම්  බාබ්වේ  (සිම්බාබ්වේ)

10. ලියන් රාශියක් සිටින රට  ඉතාලිය (ඉතාලිය)  
11. යාමට මාර්ගයක් නැති රට  - නෝ වේ  (නෝවේ) 
12. ලොව සිරියාවන්තම රට - සිරියා  (සිරියාව)  
13. තම නාමය ලොව බබලවන රට  - වියට් නාමය (වියට්නාමය)    
14. ණය පිළිකුල් කරන රට  - චී නය  (චීනය)  
15. ණය සාගරයක ගිලී තිබෙන රට  - සී ලෝන්  (සීලෝන්)

මේ අතින් බලන කළ විහිලු තහළු, උසුළු විසුළු, උපහාසය, සරදම් ආදිය අපගේ සාහිත්‍යයට බොහෝ දුරට නෑකම් තිබෙන හාස්‍යය මුසු ප්‍රකාශණ ලෙස දැක්විය හැකිය. අනාගතයේදීත් මිනිසාට සතුට සහ සිනහව ගෙනදෙන මෙවැනි නව නිර්මාණ වැඩි වැඩියෙන්  බිහි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.