Thursday, 20 April 2017

විභාග වල අනුවේදනීය කතා කිහිපයක්.....

විභාග වල අනුවේදනීය කතා කිහිපයක්.....
අපේ විභාග වලදී වංචා සහගත කටයුතු කිරීමට නොහැකි වන ලෙස සෑම හිඩැසක්ම වැසීමට පියවර ගෙන තිබේ. එහෙත් සමහර අවස්ථාවලදී, විභාග කාර්ය මණ්ඩලයේ අපරීක්ෂාකාරී කම් නිසා වැරදි සිදුවවිය හැකිය. ක්‍රමවත් ලෙස නිරීක්ෂණ කටයුතු කරන නිලධාරීන් විසින් එවැනි වැරදි කළ අය හඳුනාගත් අවස්ථාද එමටය. මෙයින් කිහිපයක් පහත දැක්වේ.

                        1.  විභාග ශාලාවේදී උත්තර පත්‍ර වංචනික  ලෙස මාරු කර ගැනීම

මෙය නිතර අසන්නට ලැබෙන විභාග වංචාවකි. මා ශාලාධිපති ලෙස අධීක්ෂණ කටයුතු වල යෙදුන මධ්‍යස්ථානයක මෙවැන්නක් සිදුවිය. එය ඉංග්‍රීසි විෂයය විය. විභාගය ආරම්භ වී පැය භාගයකට පමණ පසු මා සිටි ස්ථානයට ආසන 10 ක්‌ පමණ ඉදිරි ආසනයේ සිටි සිසුවා, කඩදාසියක් ඔහුට පිටුපස ආසනයේ සිටි සිසුවාට දුන් අතර එම සිසුවා එම කඩදාසිය තම කඩදාසි ගොනුව යටින් තබා ගත්තේය. මෙය දුටු මම කඩදාසිය ලබාගත් සිසුවා වෙත ගොස් ඩෙස්කුවේ ලියා ඇති විභාග අංකය පරීක්ෂා කරන නියාවෙන් ඔහුගේ පිළිතුරු පත්‍ර වල අංක පෙරලා බැලුවෙමි. යටම තිබුණු කඩදාසියේ දමා තිබුණු විභාග අංකය වෙනස්ය. එය  ඔහුගේ අංකය නොවුනි. එම කඩදාසිය මා භාරයට ගෙන පැමිණීමේ ලේඛනය සහ ලකුණු ලේඛනය සමග සසඳා බැලීමි. එය ඉදිරියෙන් සිටින සිසුවාගේ අංකයයි. එම කඩදාසියේ පිටු භාගයක පමණ වාක්‍ය රචනාවක් ලියා තිබිණ. විභාග ශාලාවෙන් පිටවී යාමට පෙර ඔවුන් දෙදෙනාටම මා හමුවන ලෙස ඉතාමත් මිත්‍රශීලීව දැන්වීමි.
තමන් විසින් ලියන ලද වාක්‍ය රචනාව තමාට පිටුපස ආසනයේ සිටි  අයදුම් කරුට දුන් බව අදාළ ශිෂ්‍යයා පිළිගත් නමුත්, තමා එය නොඉල්ලූ බව දෙවැන්නා ප්‍රකාශ කළේය. දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබාගතිමි. තම වාක්‍ය රචනාව අනිකාට දුන් සිසුවාගේ උත්තර පත්‍රයේ රචනාවක් නොවීය. මේ සම්බන්ධයෙන් ආවරණ ලිපියක්‌ සකස්කර සිසුන්  විසින් අවසන් කරන ලද පිළිතුරු පත්‍ර දෙක, ලබාගත් ප්‍රකාශන, සිද්ධිය සත්‍ය බවට  නිරීක්ෂක වරුන් දෙදෙනෙකුගේ අත්සනද සහිතව වෙනම කවරයක බහා විමර්ශන ශාඛාවට යැවීම සඳහා පියවර ගන්නා ලදී. මෙම විස්තර සියල්ල සඳහන් කර ජර්නල් සටහනක්ද තැබීමි.
විමර්ශනයකින් පසු මෙවැන්නක් සිදුවී ඇති බවට ඔප්පු වුවහොත් අදාළ අයදුම් කරුවන්ට වසර කිහිපයක විභාග තහනමකට යටත් වීමට සිදුවේ.

            2.   අයදුම් කරු වෙනුවට වෙනත් අයෙකු පිළිතුරු ලිවීම (Impersonation) 
                                                                                    
   විභාගයකදී, නියමිත අයදුම්කරු වෙනුවට වෙනත් අයෙකු ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීම බරපතල වංචාවක් ලෙස  දැක්විය හැකියි. මෙවැනි සිද්ධි කලාතුරකින් වාර්තාවේ. මා සමග සේවය කළ සහෝදර නිලධාරියෙකු අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී එවැනි  සිද්ධියකදී කටයුතු කර ඇති   ආකාරය මෙහි දක්වමි. එදින තිබී ඇත්තේ ගණිත ප්‍රශ්න පත්‍රයයි. එක්තරා විභාග ශාලාවක (කොළඹට ආසන්න) මෙසේ සිදුවන බව විභාග දෙපාර්තමේන්තුවට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබී ඇත. එය පෞද්ගලික අයදුම් කරුවන් විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයකි. 
    විභාග පැවැත්වෙන සෑම විටකම, විභාග ශාලාවල ඇතිවිය හැකි ඕනෑම ගැටලුවකට පිළියම් සෙවීම සඳහා පළපුරුදු නිලධාරීන් කිහිප දෙනෙකු සූදානමින් සිටීම සිරිතකි.
නිලධාරීන් දෙදෙනෙකු වහාම එම මධ්‍යස්ථානයට ගොස් තිබේ. විභාගය මැනවින් පැවැත්වෙන අතර සිද්ධිය පිළිබඳව ශාලාධිපති වරයා කිසිවක් දැන නොසිටියේය. ඒ කාලයේ වැඩිපුරම තිබුනේ තැපෑල් කාර්යාල හරහා ලබාගත් හැඳුනුම් පත්ය. මෙවැනි අවස්ථාවකදී කළ හැකි එකම දෙය ඉදිරිපත් කර ඇති හැඳුනුම් පතෙහි ඇති ඡායාරුපය, එය දරණ  පුද්ගලයාගේමද යන්න තහවුරු කිරීම පමණකි. කෙසේ වෙතත් විභාග අපේක්ෂකයින්ට කරදරයක් නොවන ලෙසට මෙය කළයුතු වේ.
නිලධාරින් විසින් සියලුම නිරීක්ෂක වරුන්ට අවශ්‍ය උපදෙස් දී, තමතමන්ට නියමිත අයදුම්කරුවන්ගේ හැඳුනුම්පත් හොඳින් පරීක්ෂා කර, සියල්ල අනු පිළිවෙළට එකතු කරගෙන එන ලෙස දන්වා තිබේ. පැය භාගයකදී පමණ  සියලුම හැඳුනුම්පත් නිලධාරින් දෙදෙනා අතට ලැබුණි. මේවා නැවත පරීක්ෂා කිරීමේදී තැපෑල් කාර්යාල හැඳුනුම් පත් අතර ‘ලැමිනේට්’ කරන ලද හැඳුනුම්  පතක් දක්නට ලැබී ඇත. විශේෂ එකක් වූ එය හොඳින් පරික්ෂා කිරීමේදී හැඳුනුම් පත් දෙකක් හරි මැදින් සිරස්ව කපා එකක මුල් කොටස (සාමාන්‍ය තොරතුරු) සහ අනිකේ දෙවෙනි කොටස (ඡායාරූපය සහ අත්සන)  එකට තබා, ඉතාමත් සියුම් ලෙස ‘ලැමිනේට්’ කර ඇති  බව පෙනී ගොස් තිබේ. 
වංචාව එය බව පැහැදිලි වී ඇත . 
ඉදිරි පියවර ගෙන ඇත්තේ මෙසේය. අදාළ සිසුවාගේ හැර අන් අයගේ හැඳුනුම් පත් ආපසු නිවැරදිව බෙදා දුනි. සැකකාර සිසුවාට කථා කර ඔහු කර ඇති බරපතල  වරද තේරුම් කර දී,  ඔහුගේ  තොරතුරු සහ ව්‍යාජ අයදුම්පත පොලීසිය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
ගණිත විෂයය තිබුණේ තුන්වෙනි විභාග දිනයේය. ඔහු පෙනී සිට ඇත්තේ ගණිතය සඳහා පමණකි.
මෙවැනි බරපතල වරදක් කරන අයෙකුට, උසාවිය මගින්  නඩු පවරන අතර වසර හත අටක විභාග තහනමක්ද ක්‍රියාත්මක වේ. නියම අයදුම් කරුටද ව්භාග තහනමකට මුහුණ පෑමට සිදුවේ. 

           3 .   කලින් නිකුත් කල විභාග කඩදාසියක  ලියන ලද  පිළිතුරු ඇමිණීම

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග වල පිළිතුරු සැපයීම සඳහා විශේෂ කඩදාසියක් සපයනු ලැබේ. මේවා බෙදා දීමට පෙර නිරීක්ෂක වරයෙකු විසින් කෙටි අත්සන තබා, දිනය දැමිය යුතුය.
අපොස උසස් පෙළ විභාගයක අයදුම් කාරියක්, තමන්  විසින් කලින් ලියාගෙන එන ලද කඩදාසියක් උත්තර පත්‍රයට අමුණා තිබීම විභාග ශාලාධිපතිවරයෙකුට හසුවී තිබේ. එය ආර්ථික විද්‍යාව විෂයයයේ උත්තර පත්‍රයකි. විභාග මධ්‍යස්ථානයේ පෞද්ගලික අයදුම්කරුවන් පමණකි. 
සාමාන්‍යයෙන් විභාගයක් පැවැත්වෙද්දී වරින් වර කාලය පිළිබඳව දැනුම දීම සිරිතකි. එදින ප්‍රශ්න පත්‍රයේ කාලය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබියදී ඒ බව දැනුම් දී, ලියන ලද කඩදාසි සියල්ලම අනු පිළිවෙලට ගොනු කර අමුණා ගැට ගසන ලෙස කිහිප වරක්ම උපදෙස් දෙන ලදී.
එක් පන්ති කාමරයක සිටි ශිෂ්‍යාවක් ඕනෑ කමින්ම වාගේ අවසාන විනාඩි කිහිපය මිඩංගු කර කුඩාවට නමා තිබුණු කඩදාසියක් දිග හැර උත්තර පත්‍ර ගොනුවේ යටින්ම තබා ගැට ගසා උත්තර පත්‍රය නිරීක්ෂක වරිය අතට දී ඉක්මනින්ම ශාලාවෙන් පිටවී ගොස් ඇත.  නිරීක්ෂක වරිය මෙය ශාලාධිපතිට දැන්වූවාය. උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී එහි අවසාන පිටුව කලින් දිනයක බෙදාදුන් කඩදාසියක් බවත්, එය  නමා තිබුණු බවද   පැහැදිලිව දකින්නට ලැබුණි. නිරීක්ෂක වරිය ශාලාවෙන් පිටතට පැමිණ ශිෂ්‍යාව ගැන සොයා බැලුවත් ඒ වන විටත් ඇය පිටවී ගොස් තිබිණ. උත්තර පත්‍රය පරීක්ෂා කිරීමේදී, එය සම්පුර්ණ ප්‍රශ්නයකටම ගැලපෙන කලින් දිනයක නිකුත් කළ, අනවසරයෙන් පිටතට ගෙනයන ලද,  විභාග කඩදාසියක ලියන ලද එකක් බව හෙළිවිය. එහි අයදුම්කාරියගේ අංකයද ලියා තිබුණි.
මෙය වාර්තා කළයුතු වරදකි. ශාලාධිපති විසින් එම උත්තර පත්‍රය ආවරණ ලිපියක්ද සහිතව විභාග දෙපාර්ත මෙන්තුවේ විමර්ශන ශාඛාවට යොමුකර ජර්නල සටහනක්ද  තබා තිබේ. මෙයද වසර කිහිපයක් විභාග  තහනමකට ලක් විය හැකි බරපතල වරදකි.  


Friday, 14 April 2017

විභාග වල රස කතා

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විභාගයක් වන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ලකුණු කිරීමේදී හමුවූ හාස්‍යය මුසු සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ. 
දශක කිහිපයකට ඉහතදී උත්තර පත්‍ර පරීක්ෂක වරයාගේ පෞද්ගලික ලිපිනයට උත්තර පත්‍ර, තැපෑලෙන් යවන ලද අතර, ඔහුට අභිමත ස්ථානයක සිට ලකුණු කිරීමට අවසර තිබිණ.

මෑතදී, මෙම ක්‍රමය වෙනස් කර, ප්‍රධාන පරීක්ෂක වරයෙකුගේ අධීක්ෂණය යටතේ, 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් (පැනලයක් ) විසින් ලකුණු කිරීමේ (ඇගයීමේ) වැඩ පිළිවෙලක් සකස් කරන ලදී. මෙම ක්‍රමයේදී කණ්ඩායම එක්  ස්ථානයක (පාසල් පන්ති කාමරයක) රැස්වී අවශ්‍ය නම් ගැටළුද  සාකච්ඡා කරමින් ලකුණු කිරීම වඩාත් ඵලදායී විය. ප්‍රශ්න පත්‍රයේ ඇති ප්‍රශ්න වලට අනුකූලව කලින් සකස් කරනු ලබන ලකුණු දැමීමේ ක්‍රමය (marking scheme)  ඒ ලෙසටම අනුගමනය කිරීම වැදගත් කාර්යයකි. 
මටද වසර කිහිපයක්ම විද්‍යාව විෂයයේ ප්‍රධාන පරීක්ෂක වරයෙකු ලෙස, වරින් වර කොළඹ, කළුතර, හොරණ, ගාල්ල සහ රත්නපුර යන නගරවල විද්‍යාව ඇගයීම් මණ්ඩල භාරව කටයුතු කිරීමේ අවස්ථාව සැලසින.
එක දිගට දින දහයක්  පමණ එක තැනක සිට මනා සංයමයකින් යුතුව කරනු ලබන ඇගයීමේ ක්‍රියාවලිය සඳහා ගෙවීමක් කරනු ලැබූවත්, එය   අගනා සේවයක් ලෙස සැලකිය හැකිය. ප්‍රශ්න පත්‍රයේ දී ඇති ප්‍රශ්න වල, එක් එක් පිළිතුරට අයදුම් කරු ලබාගන්නා ලකුණු සහ බහු වරණ ප්‍රශ්න පත්‍රයේද ලකුණු, ක්‍රමානුකුලව එකින් එක ලකුණු ලේඛනයට නිවැරදිව ඇතුලත් කිරීම ඉතා ප්‍රවේශමෙන් කළයුතු ක්‍රියාවලියකි. මේ සඳහා යහපත් මානසික ඒකග්‍රතාවක් තිබිය යුතුය. අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා තෝරා ගනු ලබන්නේ, අදාළ විෂයය පාසල්වල ඉගැන්වීම කරන, විදුහල්පතිවරුන් විසින් නිර්දේශ කරනු ලබන, පළපුරුදු ගුරුවර ගුරුවරියන් පමණකි.
කණ්ඩායම් ඇගයීම වලදී විවිධ ගැටළු සහ සිද්ධි දකින්නට ලැබෙන අතර, අපට හමුවූ හාස්‍ය ජනක වුවත් අවාසනාවන්ත  සිද්ධීන් කිහිපයක් මෙහි සඳහන් කරමි.

 1.   වෙනත් කිසිවක් නොලියා, සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම, කිහිප වරක්  උත්තර පත්‍රයේ පිටපත්       කර තිබීම.

මෙය පෞද්ගලික අයදුම් කරුවෙකුගේ උත්තර පත්‍රයක් විය. කෙසේ හෝ විභාගය පැවැත්වූ ශාලාවේ සිටි නිරීක්ෂකයින්ටද මෙය හසුවී නැත.  පරීක්ෂකවරයා එම උත්තර පත්‍රය මා වෙත උපදෙස් සඳහා යොමු කළේය. උත්තර පත්‍රයට කිසිම් ලකුණක්‌ දීමට හැකියාවක් නොතිබුණි. ලකුණු බින්දුවක් දමා, ලකුණු ලේඛනයේ ද බින්දුව දමා, විශේෂ සටහනක්ද යොදා, අත්සන් කර, ජර්නලයේද සටහනක් යෙදුවෙමි. එම උත්තර පත්‍රය පැකට්ටුවෙන් ඉවත් කර විශේෂ කවරයක බහා  විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වෙත වැඩිදුර කටයුතු සඳහා යවන ලදී.
ඔහුට හිමිවුයේ ලකුණු බින්දුව නිසා  විෂයය ප්‍රතිඵලය වූයේ ‘අසමත්’ යන්න වූ අතර  පසු විපරම් කිසිවක් නොකරන ලදී.
කෙසේ වෙතත්, එම අයදුම් කරු මානසික ආබාධයකින් පෙළෙන අයෙකුද යන්න සොයා බැලීමට අදාළ ආයතනයකට යොමු කිරීමට මගක්‌ තිබුණේදැයි නොදනිමි.

        2.  උත්තර පත්‍රයට මුදල් නෝට්ටුවක් අමුනා තිබීම.

මෙම උත්තර පත්‍රය තිබුනේ පරීක්ෂක වරියකට් ලැබුණු පැකට්ටුවකය. අයදුම් කාරිය පාසල් ශිෂ්‍යාවකි. උත්තර පත්‍රයේ මැද පිටුවකට රුපියල් 100/- ක මුදල් නෝට්ටුවක් අමුණා තිබිණ. එයට යටින් දුක්මුසු අඳෝනාවක් ලියා සම්මාන සාමාර්ථයක් ලබාදෙන ලෙස බැගෑපත්ව ආයාචනයක්‌ද කර තිබිණ.  මෙය දුටු වහාම මා වෙත යොමු කෙරුණි. එය සුපුරුදු  ක්‍රමයට ලකුණු කරන ලෙස උපදෙස් දුනිමි. සාමාන්‍ය සාමාර්ථයක් ලබාගැනීමට අවශ්‍ය ලකුණු ලබාගෙන තිබුණු උත්තර පත්‍රයකි. පරීක්ෂක වරිය විසින් ලකුණු කළ පසු, මා ඒ සියල්ල නැවත බලා  ලකුණු දීම නිවැරදි බව තීරණය කර, ලබාගත් ලකුණු සහ ශ්‍රේණිය, ලකුණු ලේඛනයේද සටහන් කර, ජර්නල සටහනක් යොදා, පැකට්ටුවෙන් ඉවත් කර, මුදල් නෝට්ටුවද සමග  විශේෂ කවරයක බහා  විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වෙත වැඩිදුර කටයුතු සඳහා යැවීමි.
එම මුදල රජයේ ආදායමට බැරකළ බවත්, ශිෂ්‍යාවගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවා, විදුහල්පති මගින් අවවාදාත්මක ලිපියක් දෙමාපියන්ටද පිටපතක් සහ  මුදල සඳහා කුවිතාන්සියක්ද සහිතව යවන ලද බව පෞද්ගලිකව දැනගතිමි.
මෙය සුළු වශයෙන් තැකිය හැකි සිද්ධියක් නොවේ. නොදැනුවත්කම නිසා වුවත්  අල්ලසක් දීමට තැත් කිරීමේ වරදක්  ලෙස සැලකිය හැකිය.

         3.  අයදුම් කරු විභාග අංකය දමා නොතිබීම

එක්‌ මධ්‍යස්ථානයක උත්තර පත්‍ර ඇගයීම් කරද්දී පරීක්ෂක වරයෙකුට, විභාග අංකය ලියා නොතිබුණු උත්තර පත්‍රයක් හමුවිය. එය පෞද්ගලික අයදුම් කරුවෙකුගේය. මෙම ගැටලුව ඉතාමත් සැලකිල්ලකින් සොයා බැලිය යුතු එකකි. පැකට්ටුවේ ඇති උත්තර පත්‍ර වල විභාග අංක අනු පිළිවෙල වහාම සොයා බලා ලකුණු ලේඛනයද සමග සංසන්දනය කර බැලීමේදී, අනුමාන කළ හැකි අංකය සොයා ගත හැකිවිය. එසේ වුවත් උත්තර පත්‍රයේ අංකය ඇතුලත් කිරීමට අපට අවසර නැත. මෙහිදී විභාග ශාලාවේදී වරදක් සිදුවී ඇති බව පෙනුනි.
විභාග ශාලාවේදී විෂයය සඳහා පිළිතුරු සැපයීමට නියමිත අයදුම්කරුවන්, ඇතුලත් වීමේ ලේඛනය  සමග සසඳා  බලා, එම අංක ලකුණු ලේඛනයේ ඇතුලත්  කර යම්කිසි අයදුම්කරුවෙක් එම විෂයය සඳහා නොපැමිණියහොත් ලකුණු ලේඛනයේ අංකයට ඉදිරියෙන් නොපැමිණි යනුවෙන් ලියා, පැමිණීමේ  ලේඛනයේද  කතිරයකින් සටහන් කිරීම විභාග ශාලාධිපතිගේ වගකීමය.  මෙහිදී උත්තර පත්‍රය නියමිත තැන තබා තිබුනත් එහි අංකය දමා නොතිබීම ගැන විමසිලිමත් වී නැත.
මෙම උත්තර පත්‍රය නියමිත අයදුම් කරු විසින්ම ලියන ලද්දක්ද යන්න අපට විසඳිය නොහැකිය. නියමිත ආකාරයට පරීක්ෂක වරයා ලවා උත්තර පත්‍රය ලකුණු කරවා, මමද  නැවත පරීක්ෂාකර බැලුවෙමි. එයට සම්මාන ලකුණු ලැබී තිබුණි.
එම උත්තර පත්‍රයේ විශේෂ සටහනක්ද  යොදා, අනුමාන විභාග අංකය සඳහන් ආවරණ ලිපියක්ද සකස් කර, වෙනම ලකුණු ලැයිස්තුවක ලකුණු සටහන් කර (අංකය නොදමා) විමර්ශන ශාඛාව වෙත වැඩිදුර කටයුතු සඳහා යැවීමි
එය විභාග ශාලාධිපතිගේ නොසැලකිල්ල නිසා සිදුවී ඇති වරදක් බැවින් ඔහුගෙන් නිදහසට කරුණු අසා, වසර කිහිපයකට විභාග කටයුතු වලින් ඉවත් කරන ලද බව පසුව දැන ගතිමි.
අයදුම් කරුගේ විභාග ප්‍රථිඵල තාවකාලිකව අත්හිටුවා, ඔහු විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා දිව්රුම් ප්‍රකාශයක් ලබාගෙන, අත් අකුරු ඔහුගේම බව තහවුරු වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන ලදී.
මෙවැනි අත්දැකීම් සිය ගණනක්‌ වුවද සඳහන් කළ හැකිය.    



Thursday, 13 April 2017

අධ්‍යාපනයට ‘බින්න බැසීම’

අධ්‍යාපනයට ‘බින්න බැසීම’
   අප විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කරන කාලය රටෙහි නිදහස් අධ්‍යාපනයේ මහඟු ප්‍රතිඵල ඉතා මැනවින් දකින්නට ලැබුණු වකවානුවකි. ඒ සමගම ‘සැමට ම විද්‍යාව’ යන නව සංකල්පයද රටෙහි ප්‍රචලිත වෙමින් පැවතින. ’56 භාෂා පෙරළියෙන් පසු, උසස් අධ්‍යාපනය ස්වභාෂා වලින් දිය යුතුය යන මතවාදයද රටෙහි ගොඩ නැගෙමින් පැවතුනි. මේ නිසා රජයේ පාසල්වල, විශේෂයෙන්ම මධ්‍ය විද්‍යාල වලට තදබල විද්‍යා ගුරු ඉල්ලුමක් තිබුණි. කොළඹ ප්‍රධාන විදුහල් හැරෙන විට උසස් පෙළ විද්‍යා පන්ති පැවැත්වුනේ මධ්‍ය විද්‍යාල අතලොස්සක පමණකි. ඒ කාලයේ විද්‍යා උපාධි පාඨමාලාව තිබුනේ ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ පමණක් නිසා වසරකට විද්‍යා උපාධිධාරීන් පිටවන සංඛ්‍යාව 50 කට වඩා වැඩි නොවීය. මාර්තු, අප්‍රියෙල් මාස වල උපාධි අවසාන විභාග පවතින දිනවල, විදුහල්පතිවරු, විශ්ව විද්‍යාලයට පැමිණ සිසුන් තම පාසැල්වල ගුරුවරු ලෙස යාම පිණිස කැමති කරවා ගැනීමට මහත් වෙරක් දරති.
අපට වඩා වසරක් පහලින් සිටි මගේ මිතුරෙකු වන ආනන්ද (ඔහු පසුව රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරයා විය)   ගේ ඥාතියෙකු  දකුණේ මධ්‍ය විද්‍යාලයක විදුහල්පති වරයා විය. අපට විභාග අවසන් වූ දිනයේම විශ්ව විද්‍යාලයට පැමිණ සිටි එම ඥාතියාට ඔහුගේ විදුහලේ ගුරු පත්වීමක් සඳහා  ආනන්ද මා හඳුන්වා දුන්නේය. ගුරු පත්වීමක් සඳහා යාමට මා අදි මදි කලත්, ඔහු මාගේ ලිපිනය උපන් දින වැනි තොරතුරු ලබා ගත්තේය.
විභාග අවසන් වී ගෙදර ගොස් සතියකින් මට එම විදුහලට ගුරු පත්වීමක් ලැබුණි. මගේ තවත් හිතවතෙකුටද එම විදුහලට පත්වීමක්  ලැබී ඇති බව පසුව දැනගතිමි. වෙනත් රැකියාවක්‌ ලබාගන්නා තුරුවත් ගුරු පත්වීම සඳහා යාමට තීරණය කළෙමි.
නියමිත දිනට කලින් දිනයේ විදුහලට ගියෙමි. ඒ වන විටත් මගේ අනික් මිතුරා එහි ගොස් සිටියේය. විදුහලේ ශිෂ්‍ය නිවාසයේ ගුරු කාමරයක් අප වෙනුවෙන් වෙන්කර තිබුණි.
පසුදින උදයේ ශිෂ්‍ය නිවාසය භාර ගුරු මහතාද සමග අපි කාර්යාලයට ගියෙමු. ඒ වන විටත් පැමිණ සිටි විදුහල්පතිතුමා අප සාදරයෙන් පිළිගත්තේය. එදින උදය රැස්වීමෙදී අප සිසුනට හඳුන්වා දුන් විදුහල්පති තුමා උසස් පෙළ විද්‍යා පන්ති ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ බව ප්‍රකාශ කළේය. මට ‘උගුලකට හසුවූවාක්’ වැනි හැගීමක් ඇතිවිය.
විදුහල්පති තුමාම, අප විද්‍යාගාරය වෙත කැඳවාගෙන ගොස් සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ සිටි පන්තියට අප දෙදෙනා නැවත හඳුන්වා දුන්නේය.
අප දෙදෙනා ඉගැන්වීම ආරම්භ කළෙමු. උසස් පෙළ සත්ත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව  කාල ඡේද  අට බැගින්ද සාමාන්‍ය පෙළ පන්ති තුනක රසායන විද්‍යාව කාල ඡේද පහළොවක්ද මට පවරා තිබුණි.
ඉගැන්වීම එතරම් අපහසු නොවුවත් සිංහලෙන් ඉගැන්වීම සඳහා පාඨ ග්‍රන්ථ හිඟය සහ පාරිභාෂික වචන නොමැතිවීම මහත් ගැටළුවක් විය. බොහෝ වචන ශබ්ද කෝෂ වලද නොවීය.
සිසුන් විභාග සඳහා සූදානම් වන පන්තිවල ඉගැන්වීම අපට මහත් අභියෝගයක් විය. ඉගැන්වීම සඳහා උපදෙසක් ලබාගැනීමට ගුරු උපදේශක වරුද එකළ නොවීය. ඉගැන්වීම සඳහා අවශ්‍ය සටහන් ඉංග්‍රීසියෙන් සකස් කර සිංහලට පරිවර්තනය කරගැනීමට සිදුවිය. බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය වන තුරුද අප දෙදෙනා ඉගැන්වීම සදහා සූදානම් වූවෙමු. සිසුන් සියලු දෙනාම දක්ෂයින් වූ නිසා සිතට සතුටක්ද දැනිණ.
මේ අතර අප ගැසට් පත්‍රයේ සහ පුවත් පත්වල පුරප්පාඩු සඳහන් කර තිබුණු රැකියා සඳහා අයදුම් පත් යැවීමු. සම්මුඛ පරීකෂණයකට යාම සඳහා නිවාඩු ඉල්ලු විටක විදුහල්පති තුමා මේ  බව දැනගත්තේය. ඔහු එයට අකමැති බව දැනගන්නට ලැබිණ. මට ‘උගුලකට හසුවූවාක්’ මෙන් ඇතිවූ හැගීම  තහවුරු විය.
මාස කිහිපයක් ගතවිය. අපගේ ප්‍රතිඵල පිටවිය. අප දෙදෙනාම සමත් වී ඇත. භෞතික විද්‍යා විෂයයන් හැදෑරු මගේ මිතුරා දෙවන පෙළ සාමාර්ථයක් ලබා තිබුණි.
උසස් පෙළ පන්තියේ සිසුන් සංඛ්‍යාවද ටිකින් ටික වැඩි වන්නට විය. අප විදුහලට පැමිණ මාස පහකදී පමණ මගේ කාමර සගයාට අලුතින් පිහිටුවන ලද ග්‍රහලෝකාගාරයේ දේශකයකු වශයෙන් පත්වීමක් ලැබුණි. ඔහු ගිය පසු පන්තිවල වැඩ අඩාළ විය. මට මහත් උදාසීන ගතියක් දැණින. ශිෂ්‍ය නිවාසයේම සිටි මගේ පන්තිවලම  සිටි දක්ෂ සිසුන් කිහිප දෙනාගේ පාඩම් වල ගැටළු සඳහා සවස් කාලයේදී උදව් කිරීමට අවස්ථාවක් ලැබීම මට මහත් අස්වැසිල්ලක් විය.
උසස් පෙළ සත්ත්ව විද්‍යාව සඳහා සත්ත්ව විච්ඡේදන රාශියක් කිරීම එකළ අවශ්‍යතාවකි. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ප්‍රායෝගික පරීක්ෂණයක්ද විය. විෂයය නිර්දේශයේ තිබුණු ගැඩවිලා, කැරපොත්තා, මැඩියා සහ මීයා යන සතුන්ගේ පද්ධති කිහිපයක් විච්ඡේදනය කිරීම ප්‍රායෝගික අවශ්‍යතාවක් විය. මා බොහෝ විට සවස් කාලයේ සිසුන් සමග විද්‍යාගාරයට ගොස් විච්ඡේදන කිරීම් හෝ විද්‍යාගාරය ක්‍රමාණුකූලව සකස් කිරීම් වැනි දේ කළෙමි.
එක්‌ දිනක සිසුවෙක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල මැඩියෙකු (ගෙම්බෙකු)  අල්ලාගෙන මට පෙන්වීය. එම මැඩියා ප්‍රමාණයෙන් විශාල නිසා, කංකාල පද්ධතිය ආදර්ශයක් ලෙස සකස් කිරීමට යෝග්‍ය එකක් බව මට සිතාගත හැකිවිය. අපගේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් දේශනයකදී කංකාල දර්ශක සකස් කිරීම පිළිබඳව විස්තර කර තිබුණි. ඒ මැඩියාගේ කංකාලය සකස් කරමු යයි මම සිසුනට යෝජනා කළෙමි. ඔවුන් එයට එක හඬින් කැමති විය. එදින සවසට විද්‍යාගාරයේදී එම ව්‍යාපෘතිය කිරීමට සුදානම් කළෙමි.
‘UNESCO’ ගුරු අත්පොතක මෙවැනි ක්‍රියාකාරකම් සඳහා පැහැදිලි උපදෙස් තිබිණ.
මුලින්ම ක්ලෝරෝෆෝම් කර නිර්වින්දනය කරණ ලද ගෙම්බා, 5% පොටෑසියම් හයිඩ්රොක්සයිඩ් ද්‍රාවණයක පැය භාගයක් පමණ තම්බන ලදී. සිසුන්ට මෙන්ම මටද, මෙය නවතම අත්දැකීමක් විය. ඔවුන්ටද මෙහි කිසිම අප්‍රිය භාවයක් නොවීය. පැය භාගයක් තම්බන විට ගෙම්බාගේ මාංශ පේශි සහ අභ්‍යන්තර කොටස් දියවී ගොස් කංකාල කොටස් පමණක් ඉතිරිවී තිබිණ. පෙරණයකින් පෙරා, කංකාල කොටස් වෙන්කර, හොඳින් සෝදා ටික වේලාවක් වේලෙන්නට තබා ලෑලි කෑල්ලක සවි කළ සිහින් කම්බි අධාරකයක කංකාලය සවි කිරීමට පටන් ගතිමු. පාදවල අස්ථි පමණක් වෙන්වී තිබුණු නිසා අපට කාර්යය පහසු විය. වෙන්වූ කොටස් ලාටු වර්ගයකින් ඇලවීමට සිසුවෝ යුහුසුලු වුහ.
විද්‍යාගාරය තිබුණේ විදුහලට අවතීර්ණ වන පාර අසලමය. ඒ පාරේ විදුහලේ කාර්යාලය දෙසට යමින් තිබුණු මෝටර් රථයක්‌ නතර කර කෙනෙකු අප සිටි දෙසට පැමිණියේය. සිසුනට තම කාර්යයේ නිරත වීමට ඉඩ හැර මම ඉදිරියට ගොස් ආ පුද්ගලයා ගැන විපරම් කළෙමි. ඔහු මෝටර් රථයේ රියැදුරා  බව සිතා ගතිමි. ටිකකට පසු ඒ මෝටර් රථයේ පැමිණි අමුත්තා විද්‍යාගාරය දෙසට පැමිණෙනු දුටිමි. අප කළ වැඩය දිගටම කරගෙන ගියෙමු. ජාතික ඇඳුම සහ කර වැසූ කබායක් හැඳ  සිටි ඔහු පළාතේ මන්ත්‍රී තුමාදැයි සිසුහු සැක කළහ. මම ඔහු නොහඳුනමි. විද්‍යාගාරය තුළට පැමිණි ඔහු
‘මොකද මේ ළමයි අවේලාවේ ‘ලැබ්’ එකේ කරන්නේ’ කියා තරමක් උස්  හඬින් ඇසීය.
ඉදිරියට ගිය මා ‘මම මෙහෙ ගුරුවරයෙක්. ළමයිත් එක්ක ප්‍රැක්ටිකල් එකක් කරනවා’ යයි කීවෙමි.
‘ආෆ්ටර් ස්කූල් ප්‍රැක්ටිකල් මොනවද?’ කී අමුත්තා මේසය වෙත පැමිණ සිසුන් කරන කාර්යය දෙසස තුෂ්නිම්භුතව බලා සිට ‘UNESCO’ අත්පොතද පෙරලා බැලීය.
‘Mounting of animal skeletons ........’ යන පිටුව පෙරළු ඔහු ටික දුරක් කියවන විට, අමුත්තා මන්ත්‍රී වරයා නොවේ දෝයි මට සැකයක්ද ඇති උනා. පොතෙහි පෙරවදන ලියා ඇති අයගේ නම ඇඟිල්ල තබා පෙන්වා ‘මෙයා හඳුනනවාදැයි’ මගෙන් ඇසීය.
‘ඒ නම ජිනපාල අලස්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්’ විය.
‘මම දන්නේ නැහැ’ අවංකවම කීවෙමි.
‘කමක් නැහැ. දැන් දැන ගත්තානේ. ඒ මම’. ‘මමත් ඉස්සර කෙමිස්ට්‍රි ටීචර්  කෙනෙක්. මොකක්ද ළමයි එක්ක කරන වැඩේ ?’ අමුත්තා ඇසීය.
මම සියල්ල මුල සිට විස්තර කළෙමි.
‘අපූරු වැඩක්නේ. මෙතෙක් කල් ගුරුවරයෙක් මෙහෙම වැඩක් කරනවා මම දැක්කාමයි.’
කී අධ්‍යක්ෂ ජනරාල් වරයා ස්ටුල් එකක් ඇදගෙන සිසුන් සමග හිද ගත්තේය. සිසුන් නැගිටින්නට සැරසෙන විට ඔහු එය වැලක්වීය. ටික වේලාවක් මා හා සිසුන් සමග සුහදව කතාකළ අධ්‍යක්ෂක ජනරාල් තුමා වාහනයේ සිටි රියදුරුට කතාකර හෙමිහිට යමක්‌ කීවේය. ආපසු ගිය රියැදුරු ලිපි ගොනුවක් රැගෙන පැමිණියේය. එහි පිටු පෙරලු ඔහු මැද පිටුවක් ප්‍රවේශමෙන් නවා, සීරුවෙන් කඩා, ගොනුවෙන් වෙන්කර  මා අත තැබීය.
මට මෙය මහත් ගැටළුවක් විය. මා දෙස ටික වෙලාවක් බලාසිටි ඔහු.
‘ඔය අලුත්ම ගැසට් එකේ පිටුවක්. ඔය තනතුර සඳහා ඔල්ලුම් පත්‍රයක් යවන්න’.
‘සර්, මම වෙන ජොබ් ........’ මට වාක්‍යය සම්පූර්ණ කිරීමට ඉඩක් නොතබා
‘අපට ඕනෑ දැනුම ලබාදෙන ගුරුවරු. අඩු වයසෙන් ඔය තනතුර ලැබුනොත් ඉහලටම යන්නට් පුළුවන්’ කියා මා අස්වැසීය.
එහි වුයේ රජයේ ජේෂ්ඨ විදුහල් වල ගුරුවරු සඳහා ප්‍රදානය කරනු ලබන දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු පිලිබඳ ගැසට් නිවේදනයයි.
අමුත්තා නික්ම ගියේය.
අපි  කරමින් සිටි වැදගත් කාර්යය මැනවින් සම්පූර්ණ කළෙමු.
හදිසියේ හමුවූ අමුත්තා පිළිබඳව කී විට ගුරු මණ්ඩලයේ කව්රුත් පුදුම විය.
විශේෂ තනතරු පිලිබඳව අනිත් ගුරුවරු විවිධ මත පළ කළහ.
එක් ජේෂ්ඨ ගුරුවරයෙක් පමණක් ‘දෙවන ශ්‍රේණියේ විශේෂ තනතුරු වල මූලික වැටුප දැන් ලබන වැටුප වගේ දෙගුණයක්. මම හිතන්නේ ලැබුනොත් ලොකු වාසියක්. අවුරුදු විස්සක් සේවය කරලත් මම තවම ඒ තලයට ඇවිත් නැහැ.’ කී විට මට තරමක සහනයක් ලැබුනා.
සති දෙකක් පමණ අවිනිශ්චිත භාවයකින් සිට, අවසානයේදී මම අයදුම් පත තැපැල් කළා.
සති දෙකකින් පමණ අධ්‍යාපන අමාත්‍යංශයේ සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. එහිදී මට කීමට වැඩි යමක් තිබුණේ නැහැ. ශිෂ්‍යත්වධාරී දක්ෂ සිසුන්ට සවස් කාලයේදී පාඩම් වලට උදව් කරන බවත්, අමතර ප්‍රායෝගික වැඩ සඳහා මග පෙන්වන බවත් ප්‍රකාශ කළා. එපමණයි. එදා හමුවූ අමුත්තාත් පරීක්ෂණ මණ්ඩලයේ සිටියා. ඔහු මා දැක ඇති බවක්වත් ඇඟවූයේ නැහැ.
තවත් සති  කිහිපයකට පසු විදුහල්පති මගින් මට ලැබුණු ලිපියකින් මා දෙවන ශ්‍රේණියේ විශේෂ (විද්‍යා) තනතුරක් සඳහා තෝරාගත් බව දන්වා, සේවය ස්ථිර කිරීමෙන් පසුව නව වැටුප් තලයේ පිහිටුවන බවත් සඳහන් කර තිබුණා. මා කෙසේ හෝ ‘උගුලට ’ හසු වූ බව තේරුම් ගත්තා.

මා හට අධ්‍යාපනයේ  ‘බින්න බසින්නට’ සිදුවුයේ  මේ ආකාරයටයි.               

Monday, 10 April 2017

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’ දැක්කෙමු.

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’  දැක්කෙමු.

අප අපොස සාමාන්‍ය පෙළ (ඒ කාලයේ s.s.c) ඉගෙන ගනිද්දී සිංහල උගන්වන්නට ඉතා දක්ෂ ගුරු මහතෙකු  සිටියා. කතෝලික භක්තිකයෙකු වූ ඔහු නමින් වර්ණකුලසුරිය සන්තියාගෝ තිසේරා  විය. ඔහු නම ලිව්වේ වසන් තිසේරා කියාය. ගම හලාවත, කාක්කපල්ලිය  විය.    අප බොහෝ දෙනෙකුට, ඔහු නිසාම සිංහල ප්‍රියතම විෂයය විය. අප කිහිප දෙනෙකු සිංහල සාහිත්‍යයද විභාග විෂයයක් ලෙස තෝරා ගතිමු.
ඒ කාලයේ සිංහල විභාග ප්‍රශ්න පත්‍රයේ ඉංග්‍රීසි පාඨයක් සිංහලට පරිවර්තනය කිරීමටත් සිංහල පාඨයක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටත් තිබුණි. මෙම ප‍රිවර්තන සඳහා මට විශේෂ දක්ෂ කමක්ද තිබුණා. පන්තියේ සිටි මගේ හිතවතෙක්, ඒ කාළේ  අපට පරිවර්තනය කරන්නට දුන් පාඨයක් යළි හමුවී කෞතුක ලියවිල්ලක් ලෙස මෑතදී මට එවා තිබුණා.
පාසැල් අධ්‍යාපනයේදී කරනලද එම කටයුත්ත නැවත කරන්නට සිතුනා.
කලින් පරිවර්තනය ළඟ තිබුනානම් අද එක සමග සංසන්දනය කර වෙනස බලන්නට තිබුණා.
පරිවර්තනයට අලුතින් නමකුත් දැම්මා. 

ඉංග්‍රීසි කව් පෙළ මෙසේය.
  
Welcome cup of Tea... a touching true story...
 

A group of 15 soldiers led by a Major were on their way to the post in Himalayas where they would be deployed for the next 3 months.
The batch who would be relieved waited anxiously.
It was cold winter intermittent snowfall made the treacherous limb more difficult.
If someone could offer a cup of tea. .
the Major thought, knowing it was a futile wish..
They continued for an hour before they came across a dilapidated structure, which looked like a tea shop but locked. It was late in the night.
"No tea boys, bad luck", said the Major. But he suggested all take some rest there as they have been walking for 3 hours.
"Sir, this is a tea shop and we can make tea... We will have to break the lock", suggested one soldier.
The officer was in great dilemma to the unethical suggestion but the thought of a steaming cup of tea for the tired solders made him to give the permission.
They were in luck, the place had everything needed to make tea and also packets of biscuits.
The solders had tea biscuits and were ready for the remaining journey.
The major thought, they had broken open lock and had tea biscuits without the permission of the owner. They're not a band of thieves but disciplined soldiers.
He took out a Rs1000/- note from his wallet, placed it on the counter, pressed under sugar container, so that the owner can see.
The officer was now relieved of his guilt.
He ordered to put the shutter down and proceed.
Three months passed, they continued to do gallantly in their works and were lucky not to loose anyone from the group in the intense insurgency situation.
It was time for another team to replace them.
Soon they were on their way back and stopped at the same tea shop which was open and owner was present in the shop.
The owner an old man with meager resources was very happy to greet 15 customers.
All of them had tea and biscuits.
They talked to the old man about his life and experience specially selling tea at such a remote place.
The old man had many stories to tell, replete with his faith in God.
"Oh, Baba, if God is there, why should He keep you in such poverty ?", commented one of them.
"Do not say like that Sahib ! God actually is there, I got a proof.
3 months ago."
"I was going through very tough times because my only son had been severely beaten by terrorist who wanted some information from him which he did not have.
I had closed my shop to take my son to hospital. Some medicines were to be purchased and I had no money.
No one would give me loan for fear of the terrorists. 
There was no hope, Sahib".
"And that day Sahib, I prayed to God for help. And Sahib, God walked into my shop that day."
"When I returned to my shop, I found lock broken,
I felt I was finished,
I lost whatever little I had.
But
then I saw that God had left Rs 1000/= under the sugar pot.
I can't tell you Sahib what that money was worth that day.
God exists Sahib. He does."
The faith in his eyes were unflinching.
Fifteen pairs of eyes met the eyes of the officer and read the order in his eyes clear and unambiguous, "Keep quiet".
The officer got up and paid the bill.
He hugged the old man and said, "Yes Baba, I know God does exist.And yes, the tea was wonderful."
The 15 pairs of eyes did not miss to notice the moisture building up in the eyes of their officer, a rare sight.

The truth is

"YOU" can be God to anyone.
-----------------------------------------------------------------------------

තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’  දැක්කෙමු.
  ත්‍රස්තවාදී  යුද බිමක් ව පැවතුනු, හිමාල පර්වතය ආසන්නයේ පිහිටි අති දුෂ්කර යුද කඳවුරක තුන් මසක සේවය සඳහා යාමට මේජර් වරයෙකු ඈතුලු පසළොස් දෙනෙකුගෙන් යුක්ත හමුදා ඛණ්ඩයකට අණ ලැබිණ.
කලින් තුන් මස සේවය අවසන් කළ හමුදා ඛණ්ඩය, නව කණ්ඩායම එනතුරු පුලපුලා බලා සිටියහ.
එය ශීත ඍතුව වූ අතර, හිම පතනය, අධික වර්ෂාව, ඇඟ කිළිපොලා යන දැඩි සීතල  සහ චන්ඩ මාරුතය නිසා කඳු ශිඛර තරණය කිරීම මහත් අපහසුවක් විය.
‘කවුරුන් හෝ අපට උණු තේ කෝප්පයක් දෙතොත් කෙතරම් අගේද?’ මේජර් වරයාට සිතිණ. එහෙත් එය නිෂ්ඵල සිතිවිල්ලක් බව වැටහුණු ඔහු එම අදහස අත්හැර දැමීය.
තවත් පැයක් පමණ කඳු බැවුම් ඔස්සේ ගමන් කළ ඔවුනට අඩි පාර ආසන්නයේ තිබුණු ගරාවැටී ගිය  තේ කඩයක් වැනි කුඩා මඩුවක් දකින්නට ලැබිණ. එහි කිසිවෙක් නොසිටි අතර අබලන් දොර ඉබ්බෙක් දමා වසා තිබිණ.
ඒ වන විට මැදියම් රැයට ආසන්න බව ඔවුනට දැනුනි.
‘කොල්ලනි, කඩය වසා තිබේ. තේ කෝප්පයක්‌ බීමට වාසනාව නැහැ’යි    කී මේජර් වරයා, ඒ වන විට හෝරා තුනක් පමණ පා ගමනේ යෙදී සිටි සෙබලුන්ට එම ස්ථානයේ  ටික වෙලාවක් නතර වී විවේක ගන්නා  ලෙස අණ කළේය.
‘සර් මේක තේ කඩයක් නේ. අපට තේ සාදා ගන්නට පුළුවනි. ඉබ්බා කඩා ඇතුල් වෙමුද?’ එක් සෙබළෙක්‌ යෝජනා කළා
මෙම හමුදා විනය විරෝධී යෝජනාව පිළිබඳව මේජර් වරයා මහත් වික්ෂිප්ත භාවයට පත්වුවත් තද මහන්සිය දුරු කරන, දුම් දමමින් රස නහර පිනායන, ඉමිහිරි තේ කෝප්පයක ආස්වාදය ක්ෂණයකින් මෙනෙහි කළ ඔහු සෙබලාගේ යෝජනාවට අකමැත්තෙන් එකඟ වී, එයට අවසර දුනි.
දොර විවෘත කරගත් පසු ඔවුන් තරමක් වාසනාවන්ත බව පෙනුනි. තේ සාදා ගැනීමට අවශ්‍ය සියලු දේ සහ බිස්කට් ද එහි තිබිණ.
ඔව්හු බිස්කට් කා තේ බී, ආපසු ගමනෙහි  ඉතිරි කොටසට සුදානම් වුහ.
මඳක් නතරවූ මේජර් වරයා ‘දොර කඩා විවෘත කර ඇතුල් වී, බිස්කට්ද කා තේ බිව් අප සියලු දෙනා.  සොරු  නොවෙති. මනා හික්මීමක් සහිත නීති ගරුක සොල්දාදුවෝය’ යනුවෙන් මොහොතක් කල්පනා කළේය. වහාම තම පසුම්බිය විවෘත කර රුපියල් දහසක නෝට්ටුවක් පිටතට ගෙන මේසය මත තබා, අයිති කරුට පෙනෙන ලෙස,  හිස් සීනි බඳුන අඩයක් ලෙස ඒ මත තැබීය.
මේ මගින් නායකයා තම හිසෙහි තිබුණු ‘වැරැද්දක් කළේ’ යයි හැගීමේ ‘බර’ සැහැල්ලු කර ගත්තේය.
ඔහු, තේ කඩයෙහි දොර වසා ආපසු ගමන් අරඹන ලෙස පිරිසට අණ දුන්නේය.

ඔව්හු ඉදිරි තුන් මස කැරලි කරුවන්ගේ දහසක් කරදර මධ්‍යයේ තම සේවය හෘදයංගමව අවසන් කර කිසිවෙකුට අන්තරාවක් නොමැතිව ආපසු ඒමට පටන් ගත්හ.
ඔවුන් වෙනුවට තවත් කණ්ඩායමක් ඒමට නියමිතය.

ටික වෙලාවකින් ඔව්හු සුපුරුදු තේ කඩය අසලට පැමිණ නතර වුහ. එය විවෘත කර තිබිණ. එහි අයිතිකරු වූ අහිංසක පෙනුමකින් යුත් වයෝවෘධ මිනිසා, තේ බීමට පැමිණි, පසළොස් දෙනෙකුගෙන් යුක්ත එම පිරිස සාදරයෙන් පිළිගත්තේය.
ඔවුන් සියලු දෙනාම බිස්කට් කා තේ පානය කළහ.
ඔව්හු  මහලු මිනිසා සමග බොහෝ දේ කතා කළහ. විශේෂයෙන්ම, එම දූෂ්කර ඈත පරිසරයේ, යුද ගිනි සහ ත්‍රස්තවාදී කරදර මැද තේ සැපයීම පිළිබඳවද කතා කිරීමට අමතක නොකළහ.
මහල්ලාටද කතා කිරීමට බොහෝ දේ තිබුණු අතර, ‘දෙවියන්’ ගැන ඔහුගේ භක්තියද නොවළහා ප්‍රකාශ කළේය.
‘දෙවියන්’ සිටී නම් ඔහු විසින්, ඔබ ඔතරම් දුක්ඛිත තත්වයක තබා සිටින්නේ ඇයි’ දැයි එක් සෙබළෙක්‌ ප්‍රශ්න කළේය.
‘දැන උගත් මහත්මයාණෙනි, එහෙම කියන්නට එපා. හරියටම මාස තුනකට ඉහතදී දෙවියන් මා සමග සිටින බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූවා.’
‘ඒ දිනවල මගේ එකම පුතා, කැරලි කරුවන්ගේ ප්‍රහාරයකට ලක් උනා. ඔහු නොදන්නා තොරතුරක්‌ අසා, එය නොලැබුණු බැවින්, ඔහුට තදබල ලෙස තලා පෙළා පහර දුන්නා. ම්හු රෝහලට ගෙන යාම සඳහා, මට කඩය වසා දැමීමටත් සිදු උනා. ඔහු සඳහා බෙහෙත් මිලදී ගැනීමට මා ළඟ කිසිම මුදලක් තිබුණේ නැහැ. ත්‍රස්තවාදීන්ට බියෙන් කිසිවෙකු මට මුදල් ණයට දුන්නෙත් නැහැ.
‘මම එදා හරිම අසරණ උනා, මහත්වරුනි’.
‘මා දෙවියන් යැද මට උපකාර කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියා.’
‘විශ්වාස කරන්න මහත්වරුනි. එදින දෙවියන් මගේ කඩයට වැඩම කර  තිබෙනවා’
‘පසුදින මා  ආපසු කඩයට එනවිට දොරෙහි ඉබ්බා කඩා තිබෙනු දුටුවා.’
‘මගේ සේසතම අවසානයයි මට සිතුනා.’
එසේ වූවත්.......
‘එවලේම මා දුටුවා. සීනි බඳුන යට ‘දෙවියන්’ විසින් රුපියල් දහසක නෝට්ටුවක් තබා තිබෙන බව!.’
‘එදින ලැබුණු එම මුදල් නෝට්ටුවේ වටිනාකම මට මෙතෙකැයි කියා නිම කරන්නට බැහැ. දෙවියන් ජීවමානව සිටිනවා මහත්වරුනි.’
වයෝවෘද්ධයා,  දෙවියන් කෙරෙහි පවතින භක්තිය ඔහුගේ දෑසින් මනාව පිළිබිඹු වුවා.
සෙබළුන්ගේ ඇස් යුගල පසළොසක් එක්වරටම මේජර් වරයාගේ දෙනෙත් දෙසට යොමු වුවා. ඒ දෙනෙත් වලින් ඔවුනට දෙනලද ’නිහඬ වනු!’ යන නියෝගය ඔවුන් සියලු  දෙනාම වහාම තේරුම ගත්තා.
නායකයා නැගිට තේ සහ බිස්කට් වල ගාස්තුව ගෙවා දැම්මා.
ඔහු ඒ සමගම මහලු මිනිසා වැළඳගෙන ‘සත්තකයි. ‘දෙවියන්’ සිටිනවා. ඔබගේ තේ වල පුදුමාකාර රසයක් තිබෙනවා’ යයි කීවා.
තුෂ්නිම්භූතව, අයා ගත් ඇස් යුගල පසළොසට, තම නායකයාගේ නෙත් අග කඳුළු බිඳු හටගනු දකින්නට ලැබිණ.
‘මෙය ඔවුන් දුටු ඉතාමත් විරල දසුනකි.’
--------------------------------------------------------------
‘ඔබට’ ඕනෑම තැනකදී  ‘දෙවියෙකු’ විය හැකිය 
--------------------------------------------------------------             
මේ සමගම මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් 'දෙවියන්' සිටින තැන් ගැන ලියන ලද කවි පෙළක කොටසක්ද මතක් විය. එයද මෙහි සටහන් කරමි.
  
He is there, where the tiller is tilling the hard    
Ground and where, the path maker is breaking stones.   
He is with them, in sun and in shower and his 
Garment is covered with dust.                                                                                     .


                 

Wednesday, 5 April 2017

ශිෂ්‍යයෙකුගේ කුතුහලය නිසා කරන ලද විමසුමක් ඔස්සේ අලුතින් බොහෝ දේ ඉගෙන ගතිමි.

මා විද්‍යා අධ්‍යාපන නිලධාරියෙකුව සිටියදී නගරයෙන් ඈත පාසල්වලට ගොස් ඉගැන්වීමේ කටයුතු වලට අවශ්‍ය උපදෙස් ලබාදීමටත් විද්‍යා උපකරණ සපයා දීමටත් කැමැත්තක් දැක්වීමි. මෙසේ ගිය එක් අවස්තාවකදී 10 වන ශ්‍රේණියේ සිසුවෙකු විසින් ඉදිරිපත් කළ ගැටලුවකට තොරතුරු සෙවීමේදී මටද අලුතින් බොහෝ දේ ඉගෙන ගත හැකිවිය.
නගරයෙන් තරමක් ඈතින් පිහිටි එම විදුහල සම්පත් අතින් තරමක් අඩු තත්වයකින් පැවතින. එදින මා විදුහලට යන විට එහි සිටි එකම විද්‍යා ගුරුවරයා 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම උගන්වමින් සිටියේය. එදින ඔහු උගන්වමින් සිටියේ කලින් ආරම්භ කරන ලද ආහාර සහ පෝෂණය පාඩමේ අවසාන කොටසයි. ඔහු සමග මොහොතක් කතා කළ මා පන්තිය පිටුපස ආසනයක හිඳගෙන ඉගැන්වීම නිරීක්ෂණය කලෙමි. ඔහු ආහාර වර්ග කිහිපයක්ද පන්තියට පෙන්වා ආහාර සඳහා සරල පරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කර සාර්ථක පාඩමක් අවසන් කළේය. කිරිපිටි වැනි  සැකසූ ආහාර දවටන (පැකට්ටු)  කිහිපයක්ද ගුරු මේසය මත තිබිණ.
පන්තියේ සිසුවෙකුද සමග මා වෙත පැමිණි  ගුරු මහතා
‘සර්, පසුගිය විද්‍යා පාඩමේදී මේ ළමයා ඉදිරිපත් කළ අපේ ආහාර වලට අදාල ප්‍රශ්නයකට මට පිලිතුරක් දෙන්නට බැරි උනා. ඒ ගැන දන්නවාද කියා බලන්න’ කියා ප්‍රශ්නය කියන ලෙස සිසුවාට කිව්වා.

එවිට ඔහු අතේ තිබුණු ‘Nestle' සමාගමේ  කිරිපිටි හිස් පැකට්ටුවක් මා වෙත දිගු කර
‘මේ පැකට්ටුවේ තිබෙන  Nestle  කියන වචනයත් කුරුළු කුඩුවත් එකට  සම්බන්ධ කර තිබීමේ තේරුමක් තිබෙනවා ද?'

කියා මගෙන් ඇසුවා. එය අතට ගෙන බැලු මට වැඩි අමුත්තක් තේරුනේ නැහැ.

Image result for nestle company logo history
එම කිරි පැකට්ටුවේ තිබුනේ කිරිල්ලිය, කුරුළු  පැටව්, කුරුළු කැදැල්ල සහ Nestle වෙළඳ නාමය සහිත මෙම ලාංචනයයි.

     
'මේක ප්‍රචාරක වෙළඳ ලකුණක්. මව් කිරිල්ලිය පැටවුන්ට කවන eකෙන් පෙනෙන්නේ  ආහාරයක් සඳහා හොඳ එකක් බව නේද?'
කියා මා ඔහුට කීවා.මගේ පිළිතුරෙන් ඔහු සෑහීමකට පත් නොවූ බව මට තේරුනා. මේ අවස්ථාවේදී ගුරුවරයාද
'ඔය Nestle කියන වචනය සම්බන්ධ කර ගැනීමයි සර් ගැටලුව' කියා කීවා.

'Nestlings කියා කුරුළු පැටවුන්ට කියනවා. ඒ උනත් ඔය තැනට ගැලපීම ගැන නම් මටත් එතරම් තේරුමක් නැහැ'
කියා මා අවංකවම කීවා.
'කොහොම වෙතත් මේ ගැන තව තොරතුරු ටිකක් සොයා දන්වන්නම්'
කියා පොරොන්දු වුවා.
ඒ කාලයේ මෙවැනි කරුණු ගැන තොරතුරු සොයා ගැනීමට අන්තර්ජාලය වැනි පහසු මාධ්‍යයන් තිබුනේ නැහැ. පුස්තකාලයක වුවත් විමර්ශනය කිරීමේ පහසුකම් ප්‍රධාන නගරවලට පමණක් සීමාවී තිබුනා. ටෙලිෆෝන් පහසුකම් හරිම අඩුයි. ටෙලිෆෝන් පණිවුඩයක් ගැනීම සඳහා ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්‌ථානයට කතා කර සම්බන්ධ කරන තුරු පැය ගණනක්‌ සිටීමට සිදු වෙනවා, ඒ කාළේ මොබයිල් ෆෝන් ගැන හිතලාවත් නැහැ.
මා කාර්යාලයට පැමිණ, තව කිහිප දෙනෙකුද සමග කථාකර කිරිපිටි වැනි ළදරු ආහාර බෙදා හරින  කොළඹ පිහිටි ආයතනයක ලිපිනය ඩිරෙක්ටරියකින් සොයා ගත්තා. මගේ ගැටලුව පිළිබඳව ලිපියක් සකස් කර ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයාගේද නිර්දේශයක් සහිතව එම ආයතන ප්‍රධානියාට තැපෑල් කළා. සියලුම රාජකාරි ලියුම් යැවිය යුතුව තිබුනේ ඉංග්‍රීසියෙන්.
සති දෙකකට පමණ පසු ඔවුන්ගෙන්  ලැබුණු ලිපියේ, එම ආයතනය Nestle  නිෂ්පාදන බෙදාහරින ඒජන්සියක් බවත් අප අසා තිබුණු තොරතුරු කිසිවක් නොදන්නා බවත් දන්වා තිබුණා. ඒ සමගම ස්විස්ටර්ලන්තයේ Nestle ප්‍රධාන කාර්යාලයේ ලිපිනයද එවා තිබුණා.
මෙයින් පසුබට නොවූ මා, නැවත ලිපියක් සකස් කර ස්විස්ටර්ලන්තයේ Nestle ප්‍රධාන කාර්යාලයට 'sea mail' මගින් විස්තරාත්මක ලිපියක් යැව්වා. රුපියල් හතක්‌ අටක්‌ පමණ වූ තැපෑල් ගාස්තුව අධ්‍යාපන කාර්යාලයෙන් ගෙවිය නොහැකි බව පරිපාලන නිලධාරි වරයා මට පැවසු නිසා, එය මට දැරීමට සිදු විය. ඒ කාලයේ රුපියල් අට දැන් රුපියල් අට සියයක් විතර ඇති. මා පිට රටකට යවන ලද පළමු ලිපියත් මෙය වීම විශේෂත්වයක්.

මාස කිහිපයක් යනතුරු ලිපියට කිසිම පිළිතුරක් ලැබුනේ නැහැ. විද්‍යා ගුරු මහතා මට හමුවූ කිහිප වතාවක්ම මගෙන් ඒ ගැන විමසුවා. ඒ වන තුරු කිසිම තොරතුරක් නොලැබුණු බව කියන්නට සිදු විය.


තවත් සති කිහිපයකට පසු බදාදා දිනයක මා කාර්යාලයේ  සිටියදී අධ්‍යක්ෂක තුමා මට කතා කර
'මෙන්න ස්විස්ටර්ලන්තයෙන් ලියුමක්'
කියා ලිපි ගොනුවක්  මගේ අතට දුන්නා.
Nestle  ආයතනයේ ලියුමත් සමග තවත් තොරතරු රාශියක් ගොනුවේ තිබුනා.
අපගේ විමසුම ගැන ස්තුති කර, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව අදාළ සිසුවා සිටින විදුහලට ගොස් එම සිසුනට සියලු තොරතරු සපයන ලෙස, මෙරට සිටින ඔවුන්ගේ නියෝජිත ආයතනයට උපදෙස් දුන් බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුනා.
අධ්‍යක්ෂක තුමාගේ උපදෙස් පරිදි, විද්‍යාලයේ විදුහල්පතිද සමග සාකච්ඡා කර ඒ සඳහා දිනයක් නියම කරගෙන නියෝජිත  ආයතනයට ලිපියක් යැව්වෙමු.
නියමිත දිනයේදී නියෝජිත ආයතනයේ පිරිසක් අධ්‍යාපන කාර්යාලයට පැමිණියහ. ඒ පිරිසේ ස්විස් ජාතික කළමනාකරුවෙක්, භාෂා පරිවර්තකයෙකු සහ තවත් කිහිප දෙනෙක් සිටියහ, පිරිස සමග මමද විදුහලට ගියෙමි.
විදුහල්පතිගේ  පිළිගැනීමකින් පසුව, පිරිස ටික වෙලාවක්  ඔහු සමග සාකච්ඡා  කර විදුහලේ සියලුම දෙනාට කිරිපිටි පැකට්ටුව බැගින් බෙදා දෙන බවත්, ඉහල පන්තිවල සිසුන් හමුවී කෙටි සාකච්ඡාවක් කළ හැකි බවත් කීහ.

පන්ති භාර ගුරුවරු මගින් කිරිපිටි පැකට්ටු බෙදා දීම  සාර්ථකව සිදු කෙරිණ.

අටවන ශ්‍රේණිය සිට ඉහලට පන්තිවල සිසුන් සඳහා රැස්වීමක් පන්ති කාමරයක සුදානම් කෙරුණි. ප්‍රධාන අමුත්තා ඉංග්‍රීසියෙන් කරන ලද කථාව භාෂා පරිවර්තකයා විසින් සිංහලට නගන  ලදී. රැස්වීම අතරතුරේදී එහි සිටි පිරිසට එම වර්ගයේ කිරි වීදුරුවකින් සංග්‍රහයක්ද පවත්වන ලදී.  

Related image
මුල්ම ආකෘතියේ තිබුණු කුරුළු කැදැල්ල, කුරුළු පැටව් තුන්දෙනා සහ හොටයේ පණුවෙක් දරා සිටින  මව් කිරිල්ලිය. මෙහි 'Nestle'  වෙළඳ නාමය නැත.

දේශනයෙන් අනාවරණය වූ  කරුණු කිහිපයක් මෙසේය.
1. මෙම ආයතනය 1886 වර්ෂයේදී ආරම්භ කර ඇත්තේ හෙන්රි       නෙස්ලේ (Henri Nestle) නම් ව්‍යාපාරිකයෙකු විසිනි. 'Nestle'  ඔහුගේ නමයි. එය ජර්මන් භාෂාවෙන් 'කුඩා කුරුළු කැදැල්ල ' යන අරුත ගෙන දේ.
2. ඔව්හු ඉහත දැක්වෙන එම 'කුඩා කුරුළු කැදැල්ල' සිය පවුලේ ලාංචනය ලෙස තෝරා ගෙන තිබේ. එමගින් පවුලේ එකමුතුබව, ලෙන්ගතුකම සහ සුහදතාව පිළිබිඹු කරයි.
3. කුරුළු කැදැල්ල සංකේතයට  Nestle නම් ඔහුගේ නමද එකතුකර තම ව්‍යාපාරයේ වෙළඳ නාමය ලෙස යොදාගෙන ඇත්තේ කලකට   පසුවය.
කෙසේ වෙතත්, 'කුඩා කුරුළු කැදැල්ල' මුල් සංකේතය වරින් වර සංශෝධනය කර දැනට භාවිත කරන වෙළඳ ලකුණ නිර්මාණය කර තිබේ. නව වෙළඳ ලකුණෙහි සුවිශේෂී වෙනස් කම් දෙකක් ඇත. මුල් ලාංචනයේ කුරුළු පැටවුන් තිදෙනෙක්  සිටින අතර නව ලාංචනයේ සිටිනුයේ දෙදෙනෙකි. මව් කිරිල්ලියගේ හොටෙහි රඳවා ගෙන සිටින පණුවාද දෙවැන්නේ  නැත.

මෙම වෙනස් කම් කිරීමට සුවිශේෂී හේතු තිබෙන බවද එදින සාකච්ඡාවේදී හෙළි කරන ලදී. එකල ස්විට්සර්ලන්තයේ පවුලක දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකු වීම ප්‍රශස්ත සංඛ්‍යාව  බවත් ළදරු ආහාරයක ලාංචනයේ පණුවෙකු පෙන්නුම් කිරීම අයෝග්‍යයයි සැලකු නිසාත් වෙනස් කම් සිදුකර ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
  
එම වෙළඳ ලකුණෙහි දැක්වෙන්නේ ශීත රටවල බහුල 'thrush' නම් කුරුල්ලායි. ශ්‍රී ලංකාවේත් මධ්‍ය කඳුකරයේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ දකින්නට ලැබෙන සිංහලෙන් 'අරන්ගයා' නමින් හැඳින්වෙන්නේ  මෙම ගණයේ කුරුල්ලෙකි. මිහිරි හඬින් ගී ගයන අරන්ගයාගේ විද්‍යාත්මක නාමය  Myophonus blighi වන අතර රතු දත්ත පොතට අනුව අරන්ගයා වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි. 

වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති අරන්ගයා


සිසුන්තුළ සහජයෙන්ම පවතින කුතුහලය හොඳින් අවබෝධ කර ගෙන ඒ ඔස්සේ ඔවුනට දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට සැලැස්වීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්වීමට මෙම ක්‍රියාකාරකම හොඳ නිදසුනක් බව මගේ හැඟීමයි.  

Thursday, 30 March 2017

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.!

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.!
      පහසුකම් ඉතාම අඩු ඈත පිටිසර පාසැලක ගුරුවරයෙකුගේ කැපවීම පිළිබඳව මේ සටහන තබමි.

රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරින් පිහිටි එම පාසැලේ 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වින. ගමන් අපහසුව සහ නවාතැන් නොමැති කම නිසා ගුරුවරු යාමට ඉතා අකමැති පාසැලකි. වසර ගණනක සිට විද්‍යා ගුරුවරයෙකු නොසිටි මෙම විදුහලට යාමට කැමති තරුණ ගුරුවරයෙකු මට හමුවිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගමක රත්නපාල නමැති තරුණයෙක් වූ ඔහු  නගරයේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබා විද්‍යා ධාරාවෙන් විෂයය දෙකක් පමණක් සමත් වී තිබිණ.

මෙය ඔහුගේ පළමු පත්වීමයි. කාර්යාලයට ලැබී තිබුණු ලේඛනයෙන් පුරප්පාඩු තිබුණු පාසැල් වලට විද්‍යා ගුරුවරු නිර්දේශ කිරීම මට පැවරී තිබුණු රාජකාරියයි. තම විදුහලට වසර තුනක සිට  විද්‍යා ගුරුවරයෙකු නොමැති බව එම විදුහලේ විදුහල්පතිවරයා මා හට පවසා තිබී, පසුව ඒ බව සිහිපත් කර ලිපියක්ද ඒවා තිබුණි. ගුරු පත්වීම් ලේඛනයේ සිටියේ පිරිමි තිදෙනෙක් පමණකි. ඉතිරි සියලු දෙනාම කාන්තාවන්ය. පාසැල් තෝරා දීම මහත් ගැටළුවක් විය. සෑම කෙනෙක්ම ඉල්ලා සිටියේ නගරයේ පාසැල්මය. බොහෝ අයට එසේ ඉල්ලීමට හේතුද තිබිණ. විවාහ වීමට ආසන්න බව, දරුවෙකු ලැබීමට සිටින බව, වයසක දෙමාපියන් බලා ගැනීමට ඇති බව ආදිය එවැනි හේතු විය. මට එම මැසිවිලි වලටද කන් දීමට සිදුවිය. නවක ගුරුවරුන්ගේ සහතික බලා පාසැල් තෝරා, පත්වීම් දීම සඳහා නිර්දේශ කිරීම මට සහ පරිපාලන නිලධාරි සිරිසෝමටත් පැවරිණ. හතරවන අංකයට සිටි රත්නපාල සහතික බැලීම සඳහා කැඳවීමු.

උප්පැන්න සහතිකය චරිත සහතික ආදිය පරීක්ෂා කළේ සිරිසෝම විසිනි. එම ගුරුවරයා  මනා පෞරුෂයකින්  සහ ආචාරශීලී බවෙන් යුක්ත අයෙකු බව තේරුම් ගෙන   ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතාගත් මා 'රත්නපාල මහත්මයාගේ ගම් පළාත  කොහේද ?' 
කියා විමසුවෙමි. 
'මම කෑගල්ලේ ......... ගමේ'
'පත්වීම ලැබුනහම මෙහෙ නවාතැන් ගන්න වෙනවා නේද?
ඒ මගේ දෙවන ප්‍රශ්නයයි.
'පත්වීම ලැබෙන තැන අනුව තැනක් සොයා ගන්නවා'.
ඔහු නොපැකිලව උත්තර දුන්නා.
ගුරුවරයෙකු නොමැතිව උග්‍ර ප්‍රශ්නයකට මුහුණ පා තිබෙන, මා කලින් සඳහන් කළ විදුහල ගැන මට එක්වරම මතක් විය.
'ටිකක් ඈතක, හොඳට වැඩ කරන්නට හැකි විදුහලක් තිබෙනවා. පත්වීම එතනට ලැබුනොත් යන්නට කැමතිද?
'මම ලැබෙන ඕනෑම විදුහලකට  පිළි ගන්නට කැමතියි. අගු පිලක හෝ නතර වී රාජකාරිය කරනවා'.
ඔහුගේ ප්‍රකාශයෙන් අපට පුදුමයකුත් ඇති විය. ඔහු එම විදුහලට යවා ඉදිරියටත් හැකි අයුරින් උදව කිරීමට මා  තීරණය කර ගත්තා.


නවක ගුරුවරු සියලු දෙනාටම යන්තමින්වත් සාධාරණය ඉටුවන අයුරු පත්වීම් ලේඛනය අවසන් කිරීමට හැකි වීම ගැන  අප දෙදෙනාට සතුටක්ද ඇතිවිය. නවක ගුරුවරුන්ට පත්වීම් ලිපි සකස් කර දෙන තුරු ඔවුනට පැය කිහිපයක් නතරවී සිටින ලෙස උපදෙස් දී අපගේ අනිකුත් කටයුතුවල නිරත වුවා. 

ටික වෙලාවකට පසු දුෂ්කර විදුහලේ විදුහල්පති මගේ කාමරයට එබිකම් කර
'සර්, අපට ගුරුවරයෙක් දැම්මාද?' 
කියා මගෙන් ඇසුවා.
අලුතින් ගුරුවරු පැමිණ තිබෙන ආරංචිය ඒ වන විටත් විදුහල් වලට ගොස් තිබෙන බව මට තේරුනා.
'මහත්මයා හොඳ වෙලාවට ආවේ. රත්නපාල නමින් ගුරුවරයෙක් ඒ විදුහලට දැම්මා. එයා එළියේ ඇති. කෑගල්ලේ ළමයෙක්. කතා කරගෙන කොහොමහරි නවාතැනක් සොයා දෙන්න.'
කුමන හේතුවක් නිසාදෝ මා විදුහල්පතිගෙන් ඉල්ලීමක්‌ කළා.
'ගුරු නිවාසයේම නතර වෙන්නට පුළුවන්. මම විතරයි ඒකේ ඉන්නේ. මම ඒ මහත්මයා සමග කතා කරගන්නම්. සර්ට ස්තුතියි.' 
කී ඔහු මහත් සතුටකින් පිටවී ගියා.  
      
කෙසේ වෙතත් මගේ ඉල්ලීම පැකිලීමකින් තොරව පිළිගත් එම ගුරුවරයාට නවාතැන් සපයා දීමට මටද  අවස්ථාවක් ලැබීම ගැන මමද සතුටට පත්වීමි.  නවක ගුරුවරයෙකු වූ ඔහුට ඉංග්‍රීසි විෂයය ගැනද දක්ෂ කමක් තිබිණ.

අලුතින් ගුරුවරු පත් කළ පසු  ඔවුනට අවශ්‍ය උපදෙස්  දීම පිණිස එම පාසල්වලට නිතර යාම මගේ සිරිත විය. පත්වීම් ලබාදී මසකින් පමණ මට එම විදුහලට යාමට අවස්ථාවක් ලැබිණ. කලක් තිස්සේ විද්‍යා විෂයය උගන්වා නොතිබුණු විදුහලේ අලුත් ගුරුවරයා නිසා මහත් විද්‍යා ප්‍රබෝධයක් ඇතිවී තිබෙන බව විදුහල්පති වරයා මට මුලින්ම පවසා ස්තුතියක්ද කළේය. 

ඒ විගසම ඔහු මා  විද්‍යා කාමරයට කැඳවාගෙන ගියේය. ඒ වන විටත් රත්නපාල මහතා   8 ශ්‍රේණියට උගන්වමින් සිටියේය. ඔහුගේ පාඩම උෂ්ණත්ව මාන සහ උෂ්ණත්වය මැනීම පිළිබඳව විය. ගුරු මේසය මත සාමාන්‍යඋෂ්ණත්ව  මාන දෙකක්, ශරීර උෂ්ණත්වය මැනීම සඳහා උපයෝගී කර ගන්නා 'උණ කටුවක්', ප්ලාස්ටික් බේසමක් සහ ඉවතලන ප්ලාස්ටික් බෝතල් කපා සකස් කර ගන්නා ලද බීකර වැනි බඳුන් කිහිපයක් විය. ඔහු සිසුන්ද සමග මා සාදරයෙන් පිළිගත්තේය. ඔහු පාඩම නතර කිරීමට සැරසෙන විට, පාඩම කරගෙන යාමට ඉල්ලා සිට මා පන්ති කාමරයේ පිටුපස ආසනයක වාඩිවී පාඩමට සවන් දුනිමි. 
ඔහු අනුයෝගී උපකරණද  භාවිතා කරමින්, ඉතා අගනා පාඩමක් කරන ලදී. පාඩම අවසන් කිරීමට විනාඩි කිහිපයක් තිබියදී පන්තිය ඇමතු ඔහු, මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයා ලෙස හඳුන්වාදී ඔහු විදුහලට පැමිණියේ මා නිසා බවද ප්‍රකාශ කළේය. වහාම පන්තිය ඉදිරියට ගිය මා ගුරුවරයාගේ අවසරය ඇතිව සිසුන් සමග කතා කළෙමි. පන්තියේ සිසු සිසුවියන් 12 දෙනෙක් සිටියහ. එදින පාඩමේ අන්තර්ගත කරුණු පිළිබඳව මා විසින් අසන අලද ප්‍රශ්න වලට සිසුන් නොපැකිලව පිළිතුරු දුන්හ. 


(විද්‍යාගාරයේ 'උණ කටුවක්' නොමැති නිසා සිසුනට පෙන්වීම සඳහා එය අසල බෙහෙත් ශාලාවකින් ඉල්ලා ගෙන තිබිණ. බීකර වෙනුවට, කපා ගන්නා ලද ප්ලාස්ටික් බෝතල් භාවිතා කළේය. ජලය රත් කර ගැනීමට පහසු කමක් නොතිබුණු නිසා, සිසුන් සඳහා තේ පිළියෙළ කරන ස්ථානයෙන් උණු ජලය ලබාගෙන ඇත. පාඩම සාර්ථක වුයේ මේ සියල්ල නිසාය.)  


වල් බිහිව තිබුණු විද්‍යාගාරය සිසුන් සමග එකතුවී හෙළි පෙහෙළි කරගත් ආකාරයත් විදුහලේ තිබෙන විද්‍යා උපකරණ ස්වල්පය නම්කර පිළිවෙලකට අල්මාරියක තබාගත් ආකාරයත්, විද්‍යා කාමරය ඉදිරිපස කුඩා උද්භිද උයනක්‌ සකස් කිරීමට සැලසුම් කරන බවත්  ඔහු විස්තර කළේය. අඩුපාඩු උපකරණ ගැන මා ඔහුගෙන් අසන තුරුම ඔහු ඒ ගැන කිසිවක් කීවේ නැත.

විද්‍යාගාරයේ බීකර නොමැති නිසා ප්ලාස්ටික් බෝතල් කපා බීකර වැනි භාජන සාදාගත් ආකාරයත්, බෝතල් වල ඉහල කොටස පුනීල ලෙස භාවිත කළ හැකි බවත් ඔහු මට පෙන්වීය. ඒ සමගම, ප්ලාස්ටික් බෝතලයක් ඒ අයුරින්ම කපා තනාගත් වර්ෂා මානයක්ද විද්‍යාගාරයෙන් පිටත කුඩා බංකුවක් මත තබා වර්ෂාපතනය මැන ගන්නා ආකාරයත් ඔහු මට පැහැදිලි කර දුන්නේය. ඔහු ඉගැන්වීම් සටහන්, වාර සටහන් ආදියද ඉතාමත් ක්‍රමානුකුල ලෙස සකස් කර ගෙන තිබෙන බවද මට දැක ගන්නට හැකිවිය, මෙම පළමු අධීක්ෂණයෙන්ම ඔහු දක්ෂ ගුරුවරයෙකු බව මට නිගමනය කළ හැකි විය. ඔහු විද්‍යාව විෂයයට අමතරව ගණිතය සහ පන්ති කිහිපයක ඉංග්‍රීසිද උගන්වන බවද පසුව දැනගතිමි.

රත්නපාල විද්‍යා ගුරු මහතා පිළිබඳව ඉතා හොඳ සවිස්තරාත්මක ලොග් සටහනක් විදුහල් ලොග් පොතේ ලියා තැබීම මට මහත් ප්‍රීතියක් විය.

එවකට අපගේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා වුයේ අරම්පත්ත මැතිතුමාය. ඉතාමත් කාර්ය ශූරයෙකු වු එතුමා පාසැල් පද්ධතිය, ගුරුවරු සහ අධ්‍යාපන නිලධාරීන් පිළිබඳව මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ අධ්‍යාපනඥයෙකි. අධ්‍යාපන සංවර්ධනය සඳහා කේෂ්ත්‍ර නිලධාරීන්ගේ ඇප කැපවීම  ඉතාම වැදගත් වන බව ඔහු තදින්ම විශ්වාස කළේය. පාසැල් අධීක්ෂණයයේදී  නිලධාරීන් විසින් තබන ලද ලොග් සටහන් පවා කාර්යාලයට ගෙන්වාගෙන නිරීක්ෂණය  කර අඩු පාඩු පෞද්ගලිකව පෙන්වා දීම  ඔහුගේ සිරිත විය. බොහෝ විට මාසික නිලධාරි රැස්වීමේදී, පන්ති අධීක්ෂණය කිරීමේ නව ශිල්ප ක්‍රම, ගුරුවරු සහ සිසුන් සමග කතාබස් කරන ආකාරය වැනිදේ පවා විස්තර කරදෙන අතර  සමහර අවස්ථාවලදී නිලධාරීන් විසින් තබන ලද ලොග් සටහන් ද ඇගයීමට ලක් කළේය. මේවා නිසා නිලධාරීන්ගේ වැඩ කටයුතු වල ගුණාත්මක භාවය නිරතුරුවම වැඩිවිය. 

අරම්පත්ත අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා අද ජීවතුන් අතර නැත.


ඒ මාසයේ නිලධාරි රැස්වීමේදී විවිධ දේවල් සාකච්ඡා කිරීමෙන් පසුව, මාසය තුළදී ලැබුණු හොඳම ලොග් සටහනද ඉදිරිපත්කරන ලදී. ඔහු එය කියවන විට කිහිප දෙනෙක් හැරී මා දෙස විමසිල්ලෙන් බලා සිටියහ.
ඇත්තෙන්ම, අධ්‍යක්ෂක තුමා කියවා ඇගයීමක් කළේ ම විසින් රත්නපාල ගුරු මහතා පිළිබඳව තැබූ ලොග් සටහනයි. මෙය මට මහත් පුදුමයක් විය.
මා නොසිතු අයුරු එම ලොග් සටහනෙහි තිබුණු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳවද අධ්‍යක්ෂක තුමා  පැහැදිලි කළේය. ඒවා මෙසේය.

1.  ගුරුවරයාගේ කාර්ය භාරය හොඳින් හඳුනා ගැනීම
2.  කෙටි අධීක්ෂණයකින් බොහෝ දේ අවබෝධ කර ගැනීම 
3.  දක්ෂතා ඇගයීමට ලක්කර ගුරුවරයාට ප්‍රසංශා කිරීම 
4.  ගුරු භූමිකාව සඵල කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම 


ටික දිනකට පසුව අධ්‍යක්ෂක තුමා මගේ පන්ති සමීක්ෂණය පිළිබඳව ප්‍රශංසාත්මක ලිපියක් නිකුත් කර, එහි පිටපතක් මගේ පෞද්ගලික ලිපි ගොනුවටද යවා තිබුණි.

(තවත් මාස දෙකකට පමණ පසුව, මා ඊළඟට එම විදුහලට ගිය අවස්ථාවේදී, ප්‍රාදේශීය විද්‍යා ගබඩාවෙන් ලබාගත් සරල විද්‍යා උපකරණ තොගයක් ගෙනගොස් දුනිමි.) 

මෙම සිද්ධි මාලාවේ සම්බන්ධය පිළිබඳව මා බොහෝවිට කල්පනාකර තිබේ. එහෙත් ඒ සියල්ල එකට ගොනුවුයේ කුමක් නිසාදැයි යන්න  නම් මට තවමත් ගැටලුවකි. 
   
    
     

Sunday, 5 March 2017

අධ්‍යක්ෂ තුමා හරි!. අපටයි වැරදුනේ........!


මම  කලක් රත්නපුර අධ්‍යාපනයේත් වැඩකළා.

කාර්යාලයේ සිටි ලාබාලම අධ්‍යාපන නිලධාරියා මමයි. එ  කාලයේ දිස්ත්‍රික්කයටම තිබුණේ එකම අධ්‍යාපන කාර්යාලයයි. අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා හැඳින්වුයේ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂක කියායි. මේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමට කලින්ය. සෑම මැතිවරණ කොට්ඨාශයකටම මාණ්ඩලික අධ්‍යාපන නිලධාරිවරයෙක් සිටියා. මණ්ඩලයේ අධ්‍යාපන කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් ගැන වගකීම තිබුණේ ඔහුටයි. මුළු දිස්ත්‍රික්කයේම, විද්‍යාව, වාණිජ්‍යය , චිත්‍ර කලා, ගෘහ විද්‍යාව, ක්‍රීඩා  කටයුතු ආදී විශේෂ විෂයය  භාරව එක් නිලධාරියා බැගින් සිටියා. ඔවුන් විශේෂඥ අධ්‍යාපන නිලධාරීන්  ලෙස හැඳින්වුවා. මම විද්‍යා. පළාත් සභා ක්‍රමයෙන් පසු මේ සියල්ල වෙනස් වූවා. 

දැන් අපේ සිද්ධියට බසිමු. 

ඒ කාලයේ 'කණ්ඩායම් සමීක්ෂණ' (team inspection) නමින් වැදගත් අධ්‍යාපන ඇගයීම් ක්‍රමයක් තිබුණා. බොහෝ විට අධ්‍යාපන අධ්‍යක්ෂක සහ අනිකුත් නිලධාරීන් සියලු දෙනාම එයට සහභාගී වූවා. මෙය 'කඩා පනින හමුදාවක්' නොවෙයි.

එදින නියමිතව තිබුණේ බලන්ගොඩ කිට්ටුව විදුහලකට යාමටයි. නිලධාරීන් සියලු දෙනාම පෙරවරු හත පමණ වනවිට හමුවී  කාර්යාල වැන් රථයෙන් ගමන ආරම්භ කළා. අධ්‍යක්ෂක තුමා ඉස්සරහ ආසනයේ. අපි සෙසු නිළධාරීන් පසු පස ආසන වල.  අප පිරිසේ සිටි ගෘහ විද්‍යා නිලධාරිනිය තරමක් 'reserved type'  කෙනෙක්. 'jokes' එහෙම නොතේරෙන ලෙසටයි සිටින්නේ. 

අධ්‍යක්ෂක තුමා කතාබහට කැමති බොහෝ විට කව්රුත් සිනහ ගන්වන විහිලු කතාත් කියන කෙනෙක්. ස්ත්‍රී පක්ෂය කෙරෙහි වැඩි අවධානයකුත් තිබුණා.

අපි දැන්, පැල්මඩුල්ල පසුකර කිලෝමීටර් දෙක තුනක් ගොස්. වටපිට සෞන්දර්යය මන බඳින සුළුයි. මහා මාර්ගයේ වම් පැත්තේ අඩි 50 කට 60 කට පමණ පහලින් කළු ගඟේ අත්තක් වන 'මා දොළ' ගලා බසිනවා. හිමිදිරි උදයේ හිරු රැස් වැටී අවට අමුතුම ආලෝකවත් බවක් පෙන්නුම් කළා. ටික වෙලාවක් නිශ්ශබ්දව සිටි අධ්‍යක්ෂක තුමා වාහනයේ පිටු පස සිටි අප දෙසට හැරී ඉඟි මරා ' අයිසේ මේ හරියෙන් යන කොට මට මගේ මුලු  සර්වාංගයම සලිත වෙනවා. ඔය නෝනලා ට මහත්වරුන්ට එහෙම එකක් නැද්ද? ' කියා ඇසුවා. 

අපගේ 'reserved type' නිලධාරිනිය, තරහෙන් මෙන් 
'ඔන්න පටන් ගන්න හදනවා. පහළ ගඟේ ගැහැණු නානවා දැකලා වෙන්න ඇති ' 
කියා මුහුණ ඇඹුල් කරගත්තා. 
'අපටත් ටිකක් දැනෙනවා වට පිට බලන කොට. සර්ටත් එහෙමද?' 
අපේ සගයෙක් ඇසුවා. 
'ඔයාලා මොනවා ගැනද මේ කියන්නේ. අඩමාන නැහැ. ගඟ පැත්තේ බලාගෙන වෙන්න ඇති.'  'ඔය මිසිස්‌ ...........ගෙන් අහලා බැලුවොත් ඇත්තම කියාවි.' 
අධ්‍යක්ෂක තුමා කෝමල ස්වරයකින් 'reserved type' ට විහිලුව එල්ල කළා. 
'අනේ සර් මට ඔය කුණුහරුප ත්රෙන්නේ නැහැ.' 
ඇය බොරු කේන්තියක් මවා ගත්තා.
'ඔන්න බලමු  'every  thing is vulgar to the vulgar minded' මම කිසිම නරක දෙයක් කිව්වේ නැහැ.' කී අධ්‍යක්ෂක තුමා 

'කාටත් අමතක උනානේ අප දැන් මේ පසු කරමින් යන්නේ 'කාමරංගපිටිය'. ඉතින් කාමරංග පිටියේදී වත් ඇඟ සලිත නොවෙනවා නම් එහෙම අයට මොකක් හරි අඩු පාඩුවක් තිබෙනවා.'
සියලු දෙනාම මහ හඬින් සිනහසුනා  ගෘහවිද්‍යා නිලධාරිනිය මුහුණ පුම්බාගෙන බොහෝ වෙලාවක් කේන්තියෙන් මිරිකෙමින් සිටියා.

අධ්‍යක්ෂක තුමා ඇඟට නොදැනී 'reserved type' ට එල්ල කළ පහර ගැන කවුරුත් සිත යටින් සතුටු වන්නට ඇති. කිසිවෙක් ඒ බව ප්‍රකාශ කලේ නම් නැහැ..

ඒ කාලයේ  රත්නපුර දිස්ත්‍රික්කයයේ සිටි අධ්‍යාපන නිලධාරි  අතලොස්ස වෙනුවට දැන් දිස්ත්‍රික්කය කලාප හතරකට  බෙදා එක් එක් කලාපයකට අධ්‍යක්ෂක වරයා බැගින් දමා තව නිලධාරි පිරිසකුත් බැගින් පත් කරන්නට යෙදුනා. මේ අනුව පසු කාලයකදී රත්නපුර දිස්ත්‍රික්කය  කලාප හතර සහ කොට්ඨාස පහළොවේ  නිලධාරි සංඛ්‍යාව 100 ක් පමණ වී තිබෙනවා. එසේ වුවත් මේ විශාල වෙනස් වීමේ තරමට අධ්‍යාපන ගුණාත්මක බවත් වැඩිවී තිබේද යන්න සැක සහිතයි.